Friday, June 28, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 9

ඔය ඉවෝන් කියන හාදයා සිරිල් මන්ත්‍රි ගේ චක් ගෝලයෙක්ගෙ පුතෙක්ලු. මිනිහගෙ හරි නම අයිවන් සිරිතුංග. ඒ වුනාට මෑන් කැමති ඉවෝන් කියනවට. මොකද මිනිහා ටිකක් නහරයා. පොලවට ටිකක් ඉහලින් තමයි ඉන්නේ. ක්ලාස් එන්නෙත් බෙන්ස් එහෙක. කොයිවෙලෙත් යතුර අතේමයි, දබරැඟිලෙ දාගෙන කර කව කව ඉන්නවා. කෙල්ලො පන ඇරලා ඒකට. ඇයි ඉතින් බෙල්බොටමක් ගහලා ට්ඩිඩ් කමිසයක් ඇදලා සපත්තු එහෙම දාලා හැන්ඩියා වගේනේ ඉන්නේ. කොන්ඩෙත් තෙල් අට්ටියක් විතර ගාලා තලාගෙන තමයි ඉන්නේ. අපි ඉතින් ඒ දවස්වල හම්පඩයොනෙ හි හි.
ඉතින් ඒකත් එක්ක අනුෂගෙ පටලැවිල්ලක් තිබුණා. ඒක තාත්තට කියයි කියල තමයි එයා බයවෙලා හිටියේ. අපි ආපහු එනකොට එයා කිව්වා “ ප්ලීස් අරවින්ද ඩැඩිටනම් ඉවෝන් ගැන කියන්න එපා. මං දන්නවා ඩැඩි ඔයාව මේ පන්තියට දැම්මෙ මං ගැන ඔත්තු බලන්න තමයි“.
 “අනේ නෑ මිස් සර් හරි හොදයි. මට සර් එහෙම දෙයක් කිව්වෙ නෑ මිස්.“ කියලා මං කිව්වා. එතකොට එයා කිව්වා “ හරි හරි ඒ වුනාට ඩැඩීට මුකුත් කියන්න එපා. අනිත් එක මට මිස් මිස් කියන්නත් එපා, අරුන්ට ඇහුනොත් එහෙම මට වදේ දාවී.“   “හරි හරි අනූෂා මිස්“ කියලා මං කිව්වම ඒකිට හිනාවක් ගියා.

ඊ ළඟ සතියෙත් අනූෂයි මායි කාර් එකෙන් පන්තියට ගියා. එදා අපි යනකොට ඉවොන්ගේ කාර් එකත් පාර්ක් එකේ තිබුනා. අපේ කාර් එක නැවැත්තුවා විතරයි මිනිහා කාර් එකේ ඉදන්ම අනූෂට අත වැනුවා. ඊට පස්සෙ අනුෂා බැග් එකෙන් ටියුට් වගයක් අරගෙන “ අරවින්ද අද මං ඉවෝන් එක්ක ගමනක් යනවා. ඔයා ක්ලාස් එකට යන්න, මං ක්ලාස් ඉවරවෙන වෙලාවට මෙතන ඉන්නම්. මේ ටියුට් ටික ඉනෝකාට දෙන්න. ඩැඩීටනම් කියන්න එපා හොදේ“ කියලා කිව්වා. මං ඒ පාර කිව්වා “අනේ මිස් නෑ.. අනුෂා මාව අමාරුවෙ දාන වැඩනම් කරන්න එපා“කියලා. “අනේ මේ ඔහේ බය නැතුව ඉන්නවා ඩඩාලට මේවා තේරෙන්නෑ. මං වේලාවට ඇවිල්ලා ඉන්නම්“ කියලා කිසි ගානක් නෑ වගේ කිව්වා. මං ඉතින් මොනා කරන්න ද මාත් ටියුට් ටිකත් අරගෙන පන්තියට ගියා.
මං යනකොට පන්තියෙ ළමයි පිරිලා. බර්ටියා ඉන්නව දැකලා මං ගියා මිනිහා ලගට. ගිහින් ඇහුවා “ මේ ඉනෝකා කියන්නෙ කවුද“ කියලා. මිනිහා මාව දැක්ක ගමන් “ආ කෝ අනූෂා........ආ සම්ජා සම්ජා ඕ.. නහි ඉනෝකා ආවෙ නෑ“ කියලා කිව්වා. මං කිව්වා “ එයාට මේ ටියුට් ටික දෙන්න කියලා කිව්වා“ කියලා.
 ඒ පාර  බර්ටියා කියනවා “අදත් ඉනෝකා එයිද දන්නෑ, ඔය ටික ඔයාම තියාගන්න කියලා. ඒ වෙලාවෙම ඈත ධම්මි එනවා දැකලා මිනිහා පැනලා ඒ පැත්තට ගියා “ආවෝනා ආවෝනා මේරේ ප්‍රේමී“ කියාගෙන. මාත් ඉතින් තාම එක දවසනේ ක්ලාස් ගිහින් තිබුනේ. යාලුවොත් නැති එකේ මං ගිහින් ඉස්සරහින්ම ඉදගත්තා. කොහොමත් අනිත් උන් පස්සෙ සීට් අල්ල ගන්නවනේ.

කොහොමහරි ක්ලාස් පටන් අරගෙන ටික වේලාවක් යනකොට ආවා නිකන් අමුතු ලස්සනක් තියෙන ගෑනූ ළමයෙක්. ඇවිල්ලා “එක්ස්කියුස් මී සර්“ කියාගෙන පස්සට යන්න හදනකොට මං වාඩීවෙලා හිටපු තැන පෙන්නලා “කම් කම් ෆෝවඩ් සිට් හීයර්“ කියලා කිව්වා. මට නිකන් කරන්ට් එක වැදුන වගේ උනා ඒක ඇහිලා හී... එයාගෙනම් මූන ඇඹුල් වෙලා ගියා. මොනවා කරන්නද ඉතින් මාත් එක්ක අමාරුවෙන් වගේ හිනා වෙලා ලගින් ඉදගත්තා.   

Next chapter - http://asanka-mind.blogspot.com/2013/07/10.html

Wednesday, June 26, 2013

තාරුකා

රාත්‍රීයේ පිපෙන්නේ තාරුකා
නුඹෙ නෙත් විලේ දිලෙන්නෙ තාරුකා
මා දිහා බලන්න - ලංවෙලා හිදින්න
ආදරෙයි කියන්න තාරුකා

තාරුකා තාරුකා මා ඔබේ කියන්න තාරුකා //

මාහදේ ආදරේ-සේ රැදේ සාගරේ
මා ලගින් හිදින්න - ආදරෙන් බලන්න
ලංවෙලා කියන්න තාරුකා
තාරුකා තාරුකා මා ඔබේ කියන්න තාරුකා

රාත්‍රියේ පිපෙන්නෙ....../

ජීවිතේ යාවුනේ-මීවිතේ සේ දැනේ
මේ වගේ හිදින්න - වෙන්වෙලා නොයන්න
මංමුලා නොවන්න තාරුකා
තාරුකා තාරුකා මා ඔබේ කියන්න තාරුකා

රාත්‍රීයේ පිපෙන්නෙ....//

Sunday, June 23, 2013

60 සතිය

ජීවිතයත් ක්‍රිකට් වැනිය, අරමුණක් ඇතත් මූණ දිය යුත්තේ පන්දු එන හැටියටය.

Saturday, June 22, 2013

11 ලිපිය - සතුට 9

අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සතුටින් සිටීමේ අවසාන ක්‍රමයේ අවසාන කොටසයි. ඒ තමයි අත්හැරීමේ දෙවැනි ක්‍රමය:
පරම අර්ථය තුලින් අත්හැරීම
මොකක්ද මේ පරම අර්ථය තුලින් අත්හරිනවා කියන්නෙ? එයින් මා අදහස් කරන්නේ ලෝකයේ පරම සත්‍ය හදුනාගැනීම තුලින් ආසාවන් අත් හැරීමයි. ගිය ලිපියෙන් අපි සාකච්ඡාකලේ අපිට පෙනෙන දැනෙන ලෝකයේ ඇති අසුබ පිළිකුල් ස්භාවය මෙනෙහි කරමින් ආසාවන් අත්හරින ආකාරයයි.

නමුත් මෙම ක්‍රමය ලෝකයේ යතාර්ථය නැතිනම් ලෝකයේ සංයුතිය හා පැවැත්ම පිළිබද පරම සත්‍ය මෙනෙහි කිරීම තුලින් ආසාවන් අත් හැරීමයි. ඒ සදහා අප මුලින්ම යතා ස්භාවය දැනගතයුතුයි.  මා පළමු ලිපි තුලින් ලොකයේ සංයුතිය හා පැවැත්ම පිළිබද සාකච්ඡා කර ඇත.

අපිට යම් දෙයක් පිළිබද දුකක්, වේදනාවක්, තරහවක් ඇතිවන්නේ ඒ පිළිබද අපතුල යම් බලාපොරෝත්තුවක් ආසාවක් ඇති නිසයි. අපි යතාර්ථය දන්නේ නම් අපිට කල්පනා කරන්න පුලුවන් අපි මේ ඇලෙන හෝ ගැටෙන දෙය ආපෝ,තේජෝ, වායෝ, පඨවි හා විඥ්‍යාන කියන මූලික ධාතුවලින් සෑදුනු කිසිවකුගේ පාලනයකින් තොර හේතු නිසා හටගත් හේතුන්ගේ අස්ථිර බව නිසාම සෑම විටම වෙනස්වන ස්භාවයක් පමණක් බව. එවිට අපේ හිතේ ඇතිවුනු ඇලීම හෝ ගැටීම නැතිවෙලා යනවා.

මේ මොන මෝඩ වැඩක්ද මගේ හිතින් මං ඇලිලා ඉන්නේ හේතු නිසා වෙනස්වෙමින් යන ධාතු ගොඩකට නේද කියලා අපි කල්පනා කරනකොට අපට ක්‍රමයෙන් ආසාවන් අඩුකරගන්න හැකියාව ලැබෙනවා.

සාමාන්‍ය ජීවිතයේ දී අපිට අත්විදින්න වන බොහෝ සංවේදී දේවල් වලදී මෙම ක්‍රමයතුලින් සිත හදාගන්න අපිට පුලුවන්. ඒ වාගේම අප මෙම ලෝකය දෙස යතාර්ථවාදී ව කල්පනා කිරීම තැම්පත් වූ ශාන්ත සිතකින් කරන්න පුළුවන්නම් එය නිවන් දැකීමටද හේතු වෙනවා. මන්ද එවිට යතාර්ථය අවබෝධ වන බැවිනි. 

මෙතැනින් සතුටින් සිටීමේ ක්‍රමයන් විශේෂයෙන් මා ප්‍රායෝගිකව භාවිතාකර ප්‍රතිඵල ලබා ඇති ක්‍රමයන් අවසන් වෙනවා. මේ ලිපි පෙලෙහි සාරාංශයක් ඊ ළඟ ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබට නිවන් සුව ලැබේවා!

Friday, June 14, 2013

59 සතිය

ආදරය යනු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බඹ විහරණ මිස යමෙක් කෙරෙහි ඇතිවන ඇල්ම නොවේ.

Sunday, June 9, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 8

මොකක්ද දන්නවද මුදලාලී මහත්තයගෙ යෝජනාව, මිනිහා කියනවා “අයිසෙ තමුසෙ යනවා අනූෂා යන ඉංග්‍රීසි ක්ලාස් එකට, ඩොන්ට් වොරි අබවුට් ක්ලාස් පීස්, සල්ලි ගැන මං බලාගන්නම්, ඒක අනූෂටත් හොදයි.
දෙන්නත් එක්ක වැඩ කරනකොට එයත් හැදේවී. “

ඊළඟ දවසේ හවස මහත්තයා අනූෂට මේ ගැන කිව්වා. “ අනූෂා හෙට ඉදන් අරවින්දත් එනවා ඔයාගෙ ටියුෂන් එකට. එයාටත් ඕන කරන පොත් පෑන් දෙන්න. ඕකේ. “ ඒක ඇහුවම ගෑනිගේ මූණ ඇඹුල්වෙලා ගියා මං දැක්කා. තාත්තා යනකන් ඉදලා ඒකී මට කියනවා “ආවට කමක් නෑ ඩැඩීගේ කන්ට්‍රැක්ට් බාර ගන්නව නෙවෙයි“. මොන කන්ට්‍රැක්ද මිස් කියලා මං ඇහුවම “හරි බලමුකෝ“ කියලා ගසාගෙන යන්න ගියා.

පහු වෙනිදා අනූෂා එක්ක මාත් ක්ලාස් යන්න සෙට් වුනා. කොහොමත් මං එයාව ඩ්‍රොප් කරන්න යනවනේ. වෙනදට එයාව ඩ්‍රොප් කරගෙන මං සයිට් එකට යනවා. අද වාහනේ පාර්ක් එකට දාලා දෙන්නත් එක්කම පන්තියට යනකොට ඉස්සරහට ආවා ජෝඩුවක්. “ආ අද ඩ්‍රයිවරුත් පන්ති ඇවිල්ලා වගේ“ කියලා එතනට ආපු කෙල්ල අනුෂගෙ අතින් ඇදල ලඟට ගත්තා. මට ඉතින් පොළව පලන් යන්න තරම්. “නෑ එයා අපේ ගෙදර නැවතිල ඉන්න කෙනෙක්. වෙනදට වැඩට යනගමන් මාව ඩ්‍රොප් කරගෙන යනවා. ඩඩා කිව්වා එයාවත් එක්ක යන්න කියලා“ කියලා අනූෂා මගේ නම්බුව බේර ගත්තා හොද වෙලාවට.
එතනට ආපු අනෙක් හාදයා ටිකක් කොට පොරක්. මිනිහගෙ නම බ(ර්)ටි. ඒ වුනාට බර්ටි, බෙටී, බට්ටා වගේ එක එක වෙලාවට එක එක නම් වලින් තමයි කතා කරන්නෙ.

මිනිහා ටිකක් විහිලු කාරයා. එක පාරටම අනූෂයි ධම්මී කතා කර කර ඉන්න මැද්ට පැනලා “ අන්න ඉනෝකා කිව්වා අද එයාටත් එක්ක ටියුට් ගන්න උඹට කියන්න කියලා සම්ජා.. “ කියලා අනුෂට ඇඟිල්ලක් උලුක් කරා. "තමුසෙට කොහෙන් ද එයාව මීට් වුනේ“ කියලා ධම්මී ඇහුවා. “ඇයි අනේ අපි හැන්දෑවට ප්ලේ කරන්න යන්නේ ඒකිගෙ ගේ ගාවින්නේ. ඔන්න ඊයෙත් අපි මැච් ගහන්න යනකොට මෙන්න ඉනෝකා ඉන්නවා මධුරි දිස්ටිය වගේ සදලු තලේ බලාගෙන. මාව දැක්ක විතරයි අතක් වනලා හයියෙන් කෑ ගහලා මට අඩගහනවා. ඒයී... බර්ටී, ඒයී.. බර්ටී දේකෝනා. මේහු නහී කම් ටුමාරොන්ගේ, ටියුට් ගන්න අනූෂාට බෝලෝනා.. සම්ජා කියලා කිව්වා. ඉතින් ඒක මං ඔන්න දැනුම් දුන්නා සම්ජා...“ කියලා මිනිහා ඇක්ටින් පාරකුත් දැම්මා

එතකොටම එතෙන්ට ආපූ කොල්ලෙක් “ අනේ පල පල ඩෝ. තෝයී මායී දන්න හින්දි“ කියලා බර්ටියට පල් එකක් දැම්මා. දාලා අනූෂා දිහා බලලා මං දිහාත් බලලා කවුද මූ කියලා අහන්නා වගේ ඇහි බැම අකුලලා ආයේ අනූෂා දිහා බලලා මූන උලුක් කලා.

“ඇයි බබා මං ඔයාට කිව්වේ.. අර අපේ ගෙදර නැවතිලා මට අකවුන්ට්ස් උගන්නනවා කියලා. එයා තමා මේ අරවින්ද“ කියලා අනූෂා කිව්වම ඒ යකා මට අත දික් කරලා “ හලෝ අයිම් ඉවෝන්“ කියලා කිව්වා. මාත් ඉතින් අතට අත දීලා මුදලාලි මහත්තයා කරන්න වගේ “නයිට් සූ මීට් ටූ“ කියලා කිව්වා. ඒ පාර මිනිහට බකස් ගාලා හිනා ගියා. ආයෙ ඔලොක්කුවට වගේ හිනා වේගෙන අනුෂෘ දිහා හැරිලා “වටර් රූස්ටික් ගයි“ කියලා හෙමීට කියලා ඈගේ කරට උඩින් අතක් දා ගත්තා.   

Next chapter - http://asanka-mind.blogspot.com/2013/06/9.html

Friday, June 7, 2013

58 සතිය

භය යනු තිරිසන් සතුන්ගේ ආවේණික ලක්‍ෂණයකි. යහපත් මිනිසුන් කිසිවකට භය නොවේ.

Wednesday, June 5, 2013

11 ලිපිය - සතුට 8

මෙතුවක් කල් සතුටින් සිටීමේ ක්‍රමයන් සාකාච්ඡා කල අපි අද අවසාන ක්‍රමය ගැන සාකච්ඡා කරන්නයි යන්නේ. මෙම ක්‍රමය තමයි සදාකාලිකවම දුක නැති කිරීමේ එකම ක්‍රමය. ඒ වාගෙම අපහසුම ක්‍රමය. නමුත් අපට මෙම ක්‍රමය  ද යම් තරමකින් හෝ දුක නැතිකිරීමට භාවිතා කල හැක. එම ක්‍රමය තමයි තණ්හාව නැති කිරීම. නැතිනම් ආසාව නැති කිරීම. එය කියන තරම් හෝ පෙනෙන තරම් පහසු දෙයක් නොවෙයි. එම ක්‍රමය ද ක්‍රම දෙකක් යටතේ සාකච්ඡා කිරීමට මා බලා පොරොත්තු වෙනවා. එනම්,
  1. සම්මුතිය තුලින් අතහැරීම
  2. පරම අර්ථය තුලින් අතහැරීම
මෙම ක්‍රමයන් බුද්ධ භාෂිතයන් යැයි වරදවා නොගන්නා ලෙස මුලින්ම කිව යුතුයි. බුදු දහම මට තේරුම් ගිය ආකාරය අනුව ඉදිරිපත් කිරීමක් පමණකි මෙය.

සම්මුතිය තුලින් අත්හැරීම ලෙස මා අදහස් කරන්නේ අපට පෙනෙන ඇසෙන දැනෙන ලෝකයේ වන දේවල් අත් දැකීම තුලින් අත් හැරීමට පුරුදු වීමයි. සිදුහත් කුමරා ද පළමුව කලකිරීමට පත් වුයේ මෙම සත්‍ය දැකීම නිසයි. එනම් මේ ජීවිතයේ හා සියලුම ලෞකික දෙයහි ඇති අස්ථිර අනියත බව දැකීමයි.

මූලික වශයෙන් අප සියල්ලන්ම වයසට යෑම, ලෙඩ වීම, මරණය කියන පොදු ධර්මයට යටත් බව වටහාගත යුතුය. ඊ ළඟට එම ධර්මතාවයට අප යටත් නම් යමක් අල්ලා ගැනීමේ ප්‍රයෝජනය හා වැදගත්කම කල්පනා කල යුතුය. අප යමකට ආසා වූ සැනින්ම කල්පනා කල යුත්තේ එහි ස්ථිර අස්ථිර බවයි. යමක් අප කැමති විදියට පවත්නා කාලය කොපමණ ද?
ඔබට අලුත්ම කාර් එකක් නොමිලෙම ලැබුනොත් එය ඔබ සතුව ස්ථිරවම පවතින කාලය කොපමණ ද? අවුරුද්දක්, මාසයක්, දවසක්, පැයක්, විනාඩියක්? එය කොහොමටවත් කිය නොහැක. සියල්ල ඒ තරම්ම අස්ථිරය. ඔබට ලැබුණු වාහනය නැවත අයිතිකාරයා ඉල්ලුවොත් මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම ඔබේ සිතේ කාරය පිළිබද තිබූ ආසාවේ ප්‍රමාණයට වේදනාවක් ඇතිවෙනවා.
මේ ලෝකයේ ආසාවක් ඇතිවන සියල්ලම මේ වගේ අස්ථිරයි. ඔබේ පෙම්වතා/ පෙම්වතිය ඊ ළඟ මොහොතේ වෙනස් නොවේ යැයි කාට කිව හැකිද, ලෙඩ නොවේ, මිය නොයයි කාටනම් කිව හැකිද? තමාට ඊ ළඟ  මොහොතේ සිදුවන දේ ස්ථිරව කිව හැක්කේ කාටද?
දැන් ඉතින් ඔය අත් හරිනව කියන එක අනිත්‍ය බව දැනගත්තා කියලා අත්හරින්න පුලුවන් කාටද?
අම්ම කෙනෙක්ට තමාගේ එකම දරුවා මිය ගියොත් “අනේ ඕක මොකක්ද, අපි කවුරුත් මැරෙනවා නේ“ කියලා හිත හදාගන්න පුලුවන් ද? ඒක නිසා තමයි මා කිව්වේ මේක අමාරුම ක්‍රමය කියලා.

ඒ නිසා අත් හැරීම කියන්නෙ ටික ටික පුරුදු කලයුතු දෙයක් කියලා. ඒ සදහා ඔබට අනවශ්‍ය වැඩිපුර ඇති දේ දන් දීමෙන් පටන් ගෙන ක්‍රමයෙන් තමා වඩ වඩාත් කැමති දේවල් දීමට පුරුදු විය හැක. තමා බඩ ගින්නේ ඉන්න විට තමාගේ කෑම එක වෙනකාට හරි දීලා එයා ඒක කන දීහා බලන් ඉදල තියෙනවනම් දන්නව ඇති අපි බඩගින්නේ හිටියත් දැනෙන සතුට.
මේ අතරම අපි තව දෙයක් කල යුතුයි. එනම් අසුභය, පිළිකුල් හෝ මරණානුස්සතිය වැනි භාවනාවක් කිරීම. මෙය පැත්තනට වෙලා කලයුතු දෙයක්ම නොවෙයි. නිකන් ඉන්න හැම වේලාවේම මේ ශරීරයේ ඇති තිස් දෙකක් වූ කුණූප කොටස් ගැන, ලෙඩ රෝග වර්ග ගැන, මැරුණ කෙනෙකුගේ ශරීරය කුණු වෙන ආකාරය ගැන කල්පනා කල හැක. මෙය තමාට යම් ආසාවක් ඇතිවූ විටම කල හැකිනම් වඩා ප්‍රායෝගිකයි. මොකද මං එහෙම කරල තියෙන නිසා. ගෑණු ළමයෙක් ගැන තදින් හිතට ආසාවක් ආ විට මා කල්පනා කරන්නේ ඔය ඇදුමට යටින්, සමට යටින් තියෙන්නේ මොනවා ද කියලයි.
ලස්සනට තියෙන කෙස් ටිකක් කන පරිප්පු එකේ තිබුනොත් කොහොමද?, අපස්මාරය හැදිලා කටින් සෙම දදා හිටියනම් මොන වගේ ද?, වයසට ගිහින් හම රැළි වැටිලා, හකු බැහැලා, මූණේ ලප දාලා ඉන්නකොට කොහොමද? මට මේ ආසාවක් ඇති වුනේ අපි අකමැති කැතම කැත කෙල්ලෙකුටත් තියෙන දේවල් වලටම නේද? මගේ ඇස් නොපෙනුනානම් ආච්චි කෙනෙකුගෙයි මේ කෙල්ලගෙයි වෙනස මොකක්ද?

මෙන්න මේ වගේ නිතරම තමාට දකින්න ලැබෙන සියලු භෞතික දේවල් ගැන කල්පනා කරන කොට අපේ හිතේ ඒ දේවල් වලට තියෙන ආසාව ටික ටික නැති වෙලා යනවා. ඊට පස්සෙ ඒ දේවල් ඇතත් නැතත් සිතට ආසාවක් බයක් ඇති වෙන්නේ නෑ.

මෙය ටිකක් අපහසු, ඉතා කල්පනාකාරීව ප්‍රඥ්‍යාවෙන් යුතුව කලයුතු සහ ගොඩක් අය අකමැති ක්‍රමයක්. මොකද එකක් එවිට ජීවිතය ගැන කලකිරේවී කියන බය. මොකද ගොඩක් අයට ඕන නිවන් දකිනවට වඩා කාලා බීලා ජොලියෙ ඉන්නයි. අනිත් කාරණයනම් ප්‍රඥ්‍යාවෙන් තොරව  අසුභය, පිළිකුල් හෝ මරණානුස්සතිය ගැන කල්පනා කොට ජීවිතය එපා වීමයි. කලකිරීම ගැටලුවක් නැතත් ජීවිතය එපා උනොත් සමහර විට සියදිවි නහගැනීමට වුනත් සිතෙන්න පුලුවන්.

කෙසේ වෙතත් මෙම ක්‍රමය තුලින් ආසාවන් නැති කිරීමටත්, දුක නැති කරගැනීමටත් හැකියාව ඇත. ප්‍රඥ්‍යාවන්තව ලෝකයේ සිදුවන දේවල් ගැන විමසා සිත හදාගැනීමට හැකියාව ලැබේවා.
ඔබට නිවන් සුව ලැබේවා !