Saturday, August 30, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 30 (අවසන් කොටස)

කාර් එක ඇවිත් අපි දෙන්නා ඉස්සරහින් නැවැත්තුවා. කාර් එකේ ඉස්සරහින් අවුරුදු 35 ක් විතර පෙනුම තියෙන ගැණු කෙනෙක් වාඩීවෙලා හිටියා. ඈ මං දිහා බලලා අමාරුවෙන් හිනා උනා. ඒ හිනාවෙ නම් කිසිම ලෙන්ගතු කමක් තිබ්බෙ නෑ. ඒ ගැනී නම් ඩෙල්සි නෝනාගේ නෑයෙක් බව දැක්ක ගමන් තේරුණා.

ඉනෝකා ඉදිරියට පැනලා කාර් එකේ පිටිපස්සෙ දොර අරින ගමන් “මේ මගේ මමී, මේ ඩැඩී“ කියලා තාත්තාගේ පැත්තට ඇඟිල්ල දික්කලා. මම ටිකක් නැවිලා එයාගේ තාත්තා දිහා බැලුවා. මිනිහා මං දිහා බලලා කටපුරා ලොකු හිනාවක් දැම්මා.  “නගින්න පුතා වාහනේට“  කියලා තාත්තා ඉස්සරහ බලා ගත්තා. ඒ මිනිහාගේ මූණ දැක්ක ගමන් මාව ගැස්සිලා ගියා. මොකද ඒ ඩ්‍රයිවර් සීට් එකේ හිටියේ මගේ තාත්තමයි.

ඉනෝකා නැග්ගට පස්සේ මාත් කාර් එකට නැගලා ඉනෝකාට නොගෑවෙන විදියට ඉදගත්තා. ඊට පස්සේ කාර් එක ඉස්සරහට ගියා. යන ගමන්  තාත්තා මගෙන් ප්‍රශ්න කරන්නන පටන්ගත්තා. “පුතා ගාල්ල පැත්තෙ කිව්ව නේද ?තාත්තා ඇහුවා. “ආ.. ඔව් ඔව් අම්බලන්ගොඩ කිරිණුගේ “ කියලා මං කිව්වම මිනිහාගේ මූණ බයඋන බවක් කණ්නාඩියෙන් මං දැක්කා. “අරවින් ද ගැන ගොඩාක් දේවල් ඉනෝකා අපිට කියල තියෙනවා. පුතාගේ තාත්තා නැති උනේ අසනීප වෙලාද? “ තාත්තා ඇහුවා. “නෑ... බෝම්බෙකට අහුවෙලා...“  කියලා මං කිව්ව ගමන් ඒක පාරටම වාහනේ රේස්වෙලා හිට්ටා. “ මොකද ඩැඩී උනේ?“ ඉනෝකාගේ අම්මා එකපාරටම ඇහුවා. “නෑ මේ ක්ලච් එක එකපාරට අතඇරුණා“  කියලා වාහනේ නැවත පණගන්වගෙන ගියා.

ඊට පස්සේ ටිකක් වෙලා යනකන් කවුරුත් කතාකලේ නෑ. මං මාත් එක්කම කතා කරන්න පටන් ගත්තා. මේක පුදුම වැඩක් ඉනෝකාගේ තාත්තට තියෙන්නෙත් අපේ තාත්තගේ මූණමයි. අපේ වාසගමුත් එකමයි. මේ නම් තාත්තගේ සහෝදරයෙක්ම වෙන්න ඕනෑ කියලා මට හිතුනා. එහෙම හිතලා මං ඇහුවා “තාත්තට සහෝදරයෙක් හිටිය ද ගුණපාල නානායක්කාර කියලා“ “නෑ නෑ මට ගුණපාල නෙවේ කිසිම සහෝදරයෙක් නෑ“ නෑ කියලා මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා. ඒක මහ ව්‍යාජ හිනාවක්  බව හොදටම තේරූණා. ඊට පස්සේ මිනිහා කතාව වෙන පැත්තකට හැරෙව්වා. මගේ අනාගතේ ගැනත්, මිනිහගේ බිස්නස් වලට මාව සම්බන්ධ කරගන්න බවත් මිනිහා කිව්වා. අන්තිමට තාත්තා මට මෙහෙම කිව්වා. “අපේනම් කිසිම විරුද්ධක්වයක් නෑ මේ සම්බන්දෙට. නමුත් පුතා පොරොන්දම් හරියට ගැලපෙනවද කියලා බලලා තමා තීන්දුවක් ගන්න ඕන.“ එහෙම කිව්ව ගමන් ඉනෝකා බය උනා. “ඩැඩී කවදාවත් හඳහන් බලපු කෙනෙක්වත් ඕවා විශ්වාස කරපු කෙනෙක්වත් නෙවීනේ. ඇයි මේ එකපාරටම එහෙම හිතුනේ“ ඉනෝකා ඇහුවා. “ඒ මොනවා උනත් දුව මේ කාරණාවලදි හදහන් නොබලා වැඩ කරන එක හොඳම නෑ“ කියලා තාත්තා උත්තර දුන්නා.
මට තේරුණා ඒක නම් හොදකට කියපු දෙයක් නෙවේ කියලා. මොකද ඉනොකා මටත් කියලා තිබුනා තාත්තා ඔවා හොයල බලන කෙනෙක් නෙවේය කියලා. ඇත්තම කාරණයනම් ඒ මිනිහා වෙන කවුරුවත් නෙවේ. මගෙත් තාත්තමයි. තාත්තට ඉනෝකාගේ අම්මා හම්බවෙලා තියෙන්නේ බිස්නස් වලට කොළඹ ආපුවාමලූ.
මං පස්සෙ ඔක්කොම විස්තරේ තාත්ගෙන්ම අහගත්තා.

අරවින්ද එසේ කියද්දි මට මතක් උනේ, අරවින්දගේ තාත්තා බොම්බෙට අහුවුන වෙලාවේ තාත්තව හැඳුන්ම්පතින් අඳුරගත් බව අරවින්ද පැවසූ බවයි. එ බැවින් මං ඒ ගැන අරවින්දගෙන් විමසුවෙමි.
 “ඒත් උඹ කිව්වානේද බොම්බෙට අහුවෙච්ච වෙලාවේ තාත්තව අදුරගත්තා කියලා?“ 
 “ඔව් ඒ වෙලාවේ තාත්තගේ හැදුන්ම්පතින්නෙ අදුරගත්තේ. එදාම තාත්තගේ පර්ස්එක ගැටකපන්නෙක් අරගෙන තියෙනවා. ඒ මිනිහා තමා මැරිලා තියෙන්නේ, තාත්තා නෙවේ.“ අරවින්ද මා ඇසු පැනයට එලෙස පිළිතුරු දුන්නේය. ඒ පිළිතුරින් මට තවත් දහසක් දේ අරවින්දගෙන් අසා දැනගැනීමට ඉතිරි විය. නමුත් ඒ වෙලාවේම ඉදිරිපස උළුවස්සෙන් එළියට එබුනු අරවින්දගේ බිරිද “අනේ ඔයාලා තාම නිදි නැද්ද?, හෙට වැඩට යන්නෙ නැද්ද, දැන් එකටත් කිට්ටුවෙලානේ.“ කීවාය. ඇය කිවේ සත්‍ය බව ජනෙල් කවුළුව තුලින් සාලයේ බිත්තියේ එල්ලා තිබුනු බිත්ති ඔරලෝසුව දෙස බැලීමෙන් මට පසක් විය.

“ඇත්තමයි.. මිසිස් අරවින්ද මේ අරවිගේ කතාව අහන් ඉන්නකොට වෙලාව යනවා දැනුනේම නැ නෙව“ කියූ මම “එහෙනම් හෙට රෑට උඹේ කතාවේ ඉතිරි ටික කියපන්කෝ “ කියමින් පුටුවෙන් නැගිටිටෙමි. “හා හා එහෙනම් දැන් නිදාගමු. පළවෙනි දවසෙම ජොබ් එකට පරක්කුවෙලා ගියොත් එහෙම උඹට හෙටම ගෙදර නවතින්න වේවී“ කියා හිනාවක් දැමූ අරවින්ද “මේ කරුණේ ගේ බෙඩ් එක රෙඩි නේද අනුලා “  කියමින් අප පිටුපසින් ගෙට ඇතුළු විය.
ඒත් සමගම අනුලා දෙස බැලුනු මට අනූති හෙවත් අනුලා  සිහිපත් විය. මේ ඉන්නේ ඒ අනුලා ම දැයි සැකයක් එවේලේ මගේ සිතට ඇතුළු වූයේ නිරායාසයෙනි.

පළමු කොටස නිමියේ ය. 

Postscript - http://asanka-mind.blogspot.com/2014/09/blog-post.html 

Monday, August 18, 2014

109 සතිය

අපි හැමෝම ගමන්කරන්නේ එකම ගමනාන්තයකට වුවත් එකම මග නොයන්නෙමු. නමුත් අපේ මාවත් එක්වන තැන් වලදී අපි නැවත නැවතත් හමු වෙමු. ගමනාන්තයට යනතුරු අපේ එක්වීම ද වෙන්වීමද සදාකාලික නොවේ.

Sunday, August 10, 2014

108 සතිය

යමක් අප කැමති විදියට සිදු නොවේ නම් එය අවසානය නොවේ.

Sunday, August 3, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 29

“ආ පුතා මොකද අද පරක්කු, මං මේ පුතා එනකම්මයි උන්නෙ“ කියාගෙන මුදලාලී මහත්තයා මාව දැක්ක ගමන් කවදාවත් නැති ලෙංගතුකමක් පෙන්නගෙන මං එන දිහා බලං හිටියා. මං උත්තරයක් දෙන්න කලින්ම මුදලාලීම කතාව පටන්ගත්තා. “ඔන්න මං පුතාගෙයි අපේ දූගෙයි වෙඩින් එකට ඔක්කොම ප්ලැන් කරල ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ පුතාගේ අම්මව මෙහෙට ගෙන්නගන්න එක විතරයි. ඔයාගේ අම්මට මේක ඇහුවම සතුට ඉවසගන්න බැරිවෙයි නේද අරවින්ද?“.  මං මොකුත් නොකියා කෙලින්ම කාමරේට රිංග ගත්තා. මේ මිනිහා මොනවා කියවනවද මන්දා කියලා මට මාර තරහක් ආවේ. මට හිතාගන්න බැරි උනේ ඇයි මේ යකා මෙච්චරම අනූෂා ව මට බන්දල දෙන්න වලිකන්නේ කියලා. පස්සේ තමා දැනගන්න හම්බවුනේ අනූෂා ප්‍රෙග්නට් වෙලා කියලා. මොකද අනූෂා මට ඊට දවස් දෙක තුනකට පස්සෙ  දවසක රෑ ඒ ගැන කිව්වා.

එදා රෑ අනූෂා මගේ කාමරේට ආවේ ඇස්වල කඳුළු පුරෝගෙන. ඇවිත් “අරවින්ද මට සමාවෙන්න, මං හින්දා ඔයා අමාරුවෙ වැටෙනවා මට බලං ඉන්න බෑ. අපේ ඩැඩී මාව ඔයාට බන්දල දෙන්න දඟලන්නේ, ඉවෝන් නිසා මට දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා. මං එදා මේ ගැන ඔයාට කිව්වේ නැත්තේ ඔයා මෙහෙන් යාවී කියලා හිතලා. ඒත් මං ඩැඩීට ඒ ගැන කිව්වේ ඉවොනුයි මායි ඩැඩීට අහුවෙච්චි දවසෙමයි. දැන් ඉතින් ඇත්ත කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති නිසයි ඔයාට මේ ගැන කිව්වේ. අරවින්ද මට එක උදව්වක් කරන්න. ඔයාට මෙහෙන් යන්න බැරිනම් ඉවොන්ට මාව මෙහෙන් අරන් යන්න කියන්න.“ කියලා කියාගෙන කියාගෙන ගියා. මං මොකක් කියන්නද මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ටිකක් වෙලා ඉදලා “හොදයි මං ඉවොන් හම්බෙලා මේ ගැන කියන්නම්, අනේ මං දන්නෑ ඒකෙන් මේ ප්‍රශ්නේ විසදේවිද කියලා" කියලා කිව්වා. "මං කියලා වෙන මොනවා කරන්නද අරවින්ද" කියලා අනූෂා යන්න ගියා. මට ඒ් වෙලේ මතක් උනේ මං ගණිකාවක් ඒක්ක ඉදලා කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්නවා, ඒ්ත් ගැනියෙක් මිනිහෙක් ඒක්ක හිටියම මුළු ලෝෙකෙම නින්දාවට පත් වෙනවා නේද කියලා.
පස්සේ මං ඉවොන්ව හම්බෙලා මේ ගැන කිව්වම මිනිහාට මාර අප්සෙට් ගියා. මිනිහා දැනගෙන ඉදලත් නෑ අනූෂා ප්‍රෙග්නට් කියලා. පස්සේ මට ලියුමක් ලියලා දුන්නා අනූෂාට දෙන්න කියලා. මටත් කිව්වා දැනට මගුලට කැමතී වගේ හිටපන්, මං ඒ්කිව පන්නගෙන යන්නම්, උඹව අමාරුවේ දාන්නත් බෑනේ කියලා.

අන්තිමට ඔක්කොම ප්‍රශ්න මැද්දේ ඉනෝකාගේ තාත්තව හම්බෙන දවසත් අාවා. පන්තියට ගියත් උගන්නපු කිසිම දෙයක් ඔලුවට අාවේ නෑ. ඉනෝකාගේ තාත්තා මොනවා අහවිද, මං අන්ත දුප්පත් කොල්ලෙක් නිසා ඉනෝකාව අත් හරින්න කියයි ද දන්නෙත් නෑ. බාගවිට ඉන්ග්‍රීසියෙන් කතා කරලා මාව දෙකේ කොලෙට දාලා ඉනෝකා ඉස්සරහම මේ ගොඩය ද දූ ඔයා බදින්න අහන්නේ කියලා පාච්චල් කරයි ද දන්නෙත් නෑ, කිය කියා නොයෙක් දේවල් කල්පනා කර කර හිටියා මිසක් උගන්නපු කිසි දෙයක් අහන් උන්නේ නෑ. කොහොම හරි පන්ති ඉවර වෙලා ඉනෝකායි මායි ඒයාගේ තාත්තා ඒනකන් බලං හිටියා. අෑත ඉනෝකාගේ බෙන්ස් කාර් ඒක දකින කොටම මගේ හිත ගොඩදාපූ මාළුවෙක් ගානට ගැහෙන්න ගත්තා. ඒ්ත් ඉනෝකාගේ මූනේ නම් තිබුනේ ඉහවහා ගිය සතුටක්.   

Next chapter - http://asanka-mind.blogspot.com/2014/08/30.html