Wednesday, April 27, 2016

මට සැප නැති නුඔට වටින මා

ඔබ කෙතරම් මිහිරි වදන් පැවසූවත් කුමට ඉතින් 
 ආදරයෙන් බලා ගත්තු දෙසවන මගෙ නෑසී යා නම්
ඔබ කෙතරම් වත්සුනු ගා හැඩ වූවත් කුමට ඉතින් 
ආදරයෙන් බලා ගත්තු දෙනුවන් මගෙ නොපෙනී යා නම්
ඔබ කෙතරම් රසමසවුලු මට දුන්නත් කුමට ඉතින් 
ආදරයෙන් බලා ගත්තු දිවට මගේ නොදැනී යා නම්
ඔබ කෙතරම් ආදරයෙන් ලඟ උන්නත් කුමට ඉතින්
 ආදරයෙන් බලා ගත්තු සිරුර මගේ වලංගු නැති නම්

Wednesday, April 20, 2016

163 සතිය

තමාට සාපේක්ෂව ලෝකය දෙස නොව ලෝකයට සාපෙක්ෂව තමා දෙස බලන්න.

Sunday, April 17, 2016

මගේ කතාව 2 - පවුල් බර

මාගේ දෙවන සැත්කම සඳහා  කැපවීමෙන් දෙමව්පියන් කටයුතු කලත් පවුලක් පවත්වාගෙන යාම හුදෙක් වර්තමාන ප්‍රශ්න වලට පිලිතුරු සෙවීම පමනක් නොව අනාගතය ගැනද සැලකිලිමත් වී පවුලේ සියලු සාමාජිකයන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම බව ඔවුන් හොඳින් වටහාගෙන තිබුණි. ඒ නිසා ළමයින්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකවරණය මෙන්ම ගුණ ධර්ම වර්ධනය කෙරෙහි ද අම්මා තම අවධානය යොමු කලාය. ඈ අප අළුත් කුළි නිවසට පැමිණි වහාම කලේ අප තිදෙනා අලුත් දහම්පාසලකට යොමු කිරීමය. ඒ දහම්පාසල තරමක් පොහොසත් පවුල්වල දරුවන් සිටී දහම් පාසලක් විය. අපි මුලින් ගිය දුප්පත් දහම්පාසලට සාපේක්ෂව විශාල ශිෂ්‍ය පිරිසක් සිටී මෙහි එක් වසරක් සඳහා පන්ති කීපයක්ම තිබුණි. කලින් දහම්පාසලේ තරම් නිදහස් බවක් ඒ ලොකු දහම්පාසලේ නොතිබුණි. විනය ඉතා තදින් ක්‍රියාත්මක වුන ඒ දහම්පාසැල තරඟ විභාග ඉලක්ක කර අධාපනය ලබා දීමට ක්‍රියා කලේය. ඒ නිසා ඒ දහම්පාසල පෙර දහම්පාසල මෙන් අපට සිත් ගත්තේ නැත.

අපව දහම්පාසැලකට යොමු කිරීමෙන් අනතුරුව අපව ඉංග්‍රීසි පන්තියකට යොමු කිරීමට අම්මා කටයුතු කලාය. එකල ඉංග්‍රිසී නැතිනම් කිසිවක් කරගත නොහැකි යැයි මතයක් ගොඩනැගෙමින් පැවිතිනී. මේ නිසා ගහක් ගලක් ගානේ ඉංග්‍රීසි පන්ති බිහි විය. වඩාත්ම ප්‍රචලිත වූයේ ස්පොකන් ඉංග්ලිෂ් ක්ලාස් ය. එය කෙතරම් විශාල රැල්ලක් වී ද යත් වැඩිහිටියන්ට පවා ඉංග්‍රූීසි පන්ති පැවැත් විනි. අම්මා ද "මම ඉගැන්වීමටම උපන්නෙමි" කියා ස්පෝකන් ඉංග්ලිෂ් කල ගුරුවරයකු ගාවට ක්ලාස් ගියාය. එකල ඔහු නෑගී එන තරුණ ගුරුවරයකු විය. නමුත් මාස කීපයකින්ම අම්මා එය අත්හැර දැමුවේ අම්මාට ඊට වඩා බොහෝ දේ පවුල වෙනුවෙන් ඉටු කිරීමට තිබූ බැවිනි. අප තිදෙනා ගිය ඉංග්‍රීසී පන්තිය, අසල නිවසක වූ අක්කා කෙනෙකු විසින් කල පන්තියකි. අප එහි දී ඉංග්‍රීසී ඉගෙන ගත්තාදැයි යන්න සැක සහිතය. නමුත් පන්ති අවසානයේ ඒ ගෙදර උන් අයියා කෙනෙකු සමඟ ක්‍රිකට් ගැසූ හැටි නම් හොඳටෝම මතකය.

අම්මා ඊ ළගට මුල් තැන දුන්නේ අපේ පෝෂණයටයි. ඉරිදා පොළට යන ඈ එළවළු වලට අමතරව උගුරැස්ස, වෙරළු, පේර ආදී දේශීය පලතුරු වර්ග කීපයක් ද රැගෙන එයි. මසකට වතාවක් පමණ ඉස්සො කකුළුවො වැනි උෂ්ණ ආහරයක් ගෙනෙයි. ඒ ගෙනෙන දවසට මුරුංගා කොල ගෙන ඒමට මාව පිටත් කර හරී. එදාට මුං ඇට හෝ කොළකැඳ අනිවාර්යය. නිතරම ආහාරවේල සම බල කිරීමට ඈ උත්සහ කලාය. ඉරිදා දවසට ඈ අප තුන්දෙනාටම කවන්නී ය. සතියේ දවස් වල අපගේ ආහාරය කෙසේ සිදු ව්න්නේ දැයි ඇයට නොපෙනේ. ඒ නිසා අම්මා ඉරිදාට වඩාත් පෝශදායි ආහාරවේලක් සකසා විශාල හැලියකට බත් බෙදාගෙන අප තිදෙනාටම කවයි.
පවුලක බර උසුලන්නේ තාත්තා කීව ද අම්මා ඊටත් වඩා පවුල වෙනුවෙන් වෙහෙස වන්නේ යැයි මට සිතේ. මන් ද අපේ ගෙදර තාත්තාට වඩා වැඩි පඩියක් ගන්නේ අම්මා ය. ගෙවල් කුලියත් බිල් ටිකත් ගෙවූ විට තාත්තාගේ පඩියෙ ඉතුරුවක් නැති තරම්ය. ඉතුරු සියල්ල කරන්නේ අම්මාගේ පඩියෙනි. සාමාන්‍යයෙන් තාත්තාට සහය වන්නී අම්මා යැයි කීවද අපෙ පවුලේ නම් සියල්ල සැලසුම් කරමින් පවුල ඉදිරියට පවත්වාගෙන ගියේ අම්මා ය. තාත්තා ඈට සහය විය.

එක් අතකින් මාගේ අසනීපය ය. අනෙක් අතට අප තිදෙනාගේ අධ්‍යාපනය ය. කූලී ගෙදර ප්‍රශ්න තවත් පැත්තකිනි. ඒ සියල්ලම අතරේ රස්සාව කල යුතුය. මේ නිසා 1998 වසර ඉතා දිගු වසරක් විය. ඒ වර්ශය අවසන් වූයේ ගැටළු අවසන් කර නොව තව තවත් ගැටළු රාශියක් ඇති කරමිනි.    

Saturday, April 9, 2016

162 සතිය

මේ ලෝකේ පිළිකුල් කලයුතු දෙයක් නැත. ඇත්තේ පිළිකුල් කලයුතු ක්‍රියාවන් පමණි.

Thursday, April 7, 2016

අවීචිකම හා සමාජසේවය

ඔන්න එකෝමත් එක කාලෙක අවිචියේ නරකයන් එකතුවී අවිචීකම රැකගැනීම හා සමාජසේවය පිළිබඳ රැස්වීමක් තිබුණා. ඉතින් එක් නරයෙක් නැගිට මෙසේ අදහස් ඉදිරිපත් කලා. “අපි අපේ අවිචීකම සමාජසේවය උදෙසා පාවිච්චි කල යුතුයි. අපි අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ නරකාදියේ අපි විඳින දුක නැති කිරීමට කටයුතු කල යුතුයි. නැතිනම් ඔවුන් අපට සාප කරාවී. ඒ නිසා මා යෝජනා කරනවා මේ කටු ඉඹුලේ කටු මොට කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් ලෝදිය සිසිල් කිරීම සඳහා පර්යේෂණ කිරීම සඳහා අපේ උගත් බුද්ධිමත් පුද්ගලයන්ට පැවරීමටත්.

මේ කතාවට බොහෝ දෙනෙක් අත්පොලොසන් දුන්නා. ඊ ළඟට තවත් අයෙක් නැගිට කම අදහස ඉදිරිපත් කලා. “අපේ සහෝදරයා ප්‍රකාශකලා වගේ අපි මේ නරකාදිය සුරපුරයක් කලයුතුයි. එය අපේ අනාගත පරම්පරාවට වගේම අපටම කරගන්නා සේවයක් වෙනවා. මන්ද නැවත අපි මේ නරකාදියේ උපදිනකොට මෙය දියුණු ලෝකයක් වී තියේවී. ඒ නිසා මා යෝජනා කරනවා කටු ඉඹුල කුෂන් කිරීමටත් ලෝදිය හැලිය උණු කරන ලිප නොදැල්වෙන ආකාරයේ නව තාක්ෂණික ක්‍රමවේදයක් සොයා ගැනීමට පර්යේෂණ කලයුතු බවටත්.

මෙසේ ඔහුගේ අදහසත් ඉදිරිපත් කල පසු තවත් නරකයෙක් නැගිට මෙසේ අදහස් ප්‍රකාශ කලා. “ මට පෙනෙන විදියටනම් අපි මුලාවට පත්වෙලයි ඉන්නේ. කලින් අදහස් දැක් වූ දෙදෙනා නිවැරදි ලෙස ගැටළුව අධ්‍යනය නොකර ඇති බවයි හැඟී යන්නේ. ඔවුන් යෝජනා කරන දේවල් තාවකාලික විසඳුම් පමණක් බවයි මගේ හැඟීම. ඔවුන් ප්‍රකාශ කල පරිදි අපි කටු ඉඹුල කුෂන් කලත් මොට කලත් නැවත අලුතින් කටු සැදී එනවිට පරන කටු හැලී යනවා. ඒ වගේම අපි ලෝදිය උණු කරන ලිපේ ගිනි නැති කලත් යමපල්ලෝ විදුලියෙන් හරි ලෝදිය උණු කරාවී. අපිට කවදාවත් මේ නරකය සුරපුරයක් කරන්න නොහැකී. එම නිසා මා යෝජනා කරන්නේ අපි මේ නරකාදියෙන් බේරී පලා යාමට මාර්ගයක් සොයාගතයුතු බවත් ඒ මාර්ගය ලෝකය පුරා ප්‍රචාරය කර අනාගතයේ මෙහි නොපැමිනෙන ලෙසට ඒ මාර්ගය සියල්ලන්ටම උගැන්වීමත් ය. එවිට අපට නැවතත් කිසි දිනක මේ දුක උරුම නොවනු ඇත. එසේයි අප සමාජසේවය කලයුත්තේ.


ප.ලි. මනුස්ස ලෝකයේද මනුස්සකම හා සමාජසේවය පිළිබඳ මෙවැනි කතා අසන්නට ලැබේ.

Saturday, April 2, 2016

මගේ කතාව 2 - තාත්තාගේ වෑයම

මගේ දෙවන සැත්කම කර ගැනීම උදෙසා අම්මාත් තාත්තාත් සෑහෙන වෙහෙසක් ගන්නට විය. එන්න එන්නම මගේ හතිය වැඩි වීමත් ශරීරය දුර්වල වීමත් නිසා ඔවුන් වඩාත් බිය වන්නට ඇත. මට අවුරුදු නවය ලබන විට එනම් 1998 මාර්තු මාසය වන විට තාත්තා මාව සායනයන්ට රැගෙන ගිය අතර ඩොක්ටර් නරෙන්ඳ්‍ර සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව ද උදා විය. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නෙවාසිකව ප්‍රතිකාර ලබමින් සැත්කමට පෙරාතුව කලයුතු පරික්ෂණ සඳහා කටයුතු කෙරිණි. නමුත් වෛද්‍යවරයා නිතර නිතර විදේශ ගතවීම නිසා සියල්ල පරීක්ෂණ වලට සීමා විය. එය රජයේ රෝහලක් නොවූ නිසා සෑහෙන විදමක් දැරීමට ද දෙමව්පියන්ට සිදුවිය. හතර වසර අවසන් වනතෙක්ම විටින් විට රෝහලේ නෙවාසිකව පරික්ෂණ කෙරුණු අතර විවිධ හේතුන් මත සැත්කම කල් දැමීමට සිදුවිය.

මේ අතර ඩොක්ටර් නරේන්ද්‍ර දිගු කාලයකට ඉන්දියාවට යන බව පවසා තම මිතුරකු වන ඩොක්ටර් පනෙල් ගුණරත්නට මගේ වගකීම පැවරීය. එතැන් පටන් එම වෛද්‍යවරයා යටතේ නැවත පරික්ෂණ වලට මා භාජනය කල නමුත් ඒ සෑම පරික්ෂණයකම අවසාන ප්‍රතිඵලය වූයේ සැත්කමට දිනයක් සොයා ගැනීමට නොහැකි වීමයි. හදිසි සැත්කම් කිරීමට ඇති බැවින් මාගේ සැත්කම දිගින් දිගටම කල් යැවුණි. නමුත් තාත්තා උත්සහය අත් නොහැර මාගේ සැත්කම ඉක්මනින් කරදෙන මෙන් වෛද්‍යවරයාට කන්නලව් කලේය. අම්මාගේ අඳා්ෙවැඩියාව නිසා තාත්තාට නිතර නිතර වෛද්‍යවරයා හමුවීමට සිදුවිය.

එහි දී ලොකුම ගැටළුව වූයේ කෙලින්ම වෛද්‍යවරයා මුණගැසීමට ඇති බාධාවයි. වෛද්‍යවරයා මුණගැසීම සඳහා දිනයක් වෙනු වූ අතර එදිනටද රෝගින් විශාල ප්‍රමාණයක් පෝලිමේ සිටි බැවින් තාත්තාට නිවාඩු දමා සායනයන්ට සහභාගි වීමට සිදුවිය. එය දිගටම කලහැකි කටයුක්තක් ද නොවූ බැවින් තාත්තා ඊට කදිම උපායක් යෙදී ය. තාත්තා කොපමණ වාරයක් රෝහලට පැමිණ ඇත්දැයි කිවහොත් ආරක්ෂක අංශ විසින් තාත්තා පරික්ෂා නොකර ඇතුළු කරන තරමටම තාත්තාව ඔවුන්ට මතක තිබිණි. මේ කරුණ ප්‍රයෝජනයට ගත් තාත්තා සුදු කලිසමක් හා සුදු කමිසයක් හැඳ රෝහල් සේවකයකු සේ රෝහලට ඇතුලු වී කෙලින්ම වෛද්‍යවරයාගේ කාමරයට ගොස් වෛද්‍යවරයා හමු විය. වෛද්‍යවරයා ද යහපත් අයෙකු වූ බැවින් තාත්තාගේ තත්වය තේරුම් ගත්තේය. තාත්තා රෝහලේ කිසිවකුටත් සැක නොසිතෙන අයුරින් උදේ පාන්දරම ගොස් දින කීපයක්ම වෛද්‍යවරයා හමු වීමට සමර්ථ විය. එහි ප්‍රතිඵලයක් ලෙස මාගේ තත්වය බරපතල බවද වහා සැත්කම කල යුතු බවට ද වෛද්‍යවරයාගෙන් නිර්දේශයක් ලබා ගත්තේ ය. ඒ අනුව එම වර්ශය අවසන් වනවාත් සමඟම තාත්තාගේ ද අම්මාගේ ද උත්සහය සාර්ථක විය.

කෙසේ වෙතත් සැත්කමට පෙර කලයුතු පරීක්ෂණ රාශියක් විය. මන්ද ඒ වනවිට කර තිබූ පරික්ෂණ ප්‍රතිඵල ඒවා සිදුකල මාසයන්ට පමණක් වලංගු වීමය. මේ නිසාම සැත්කමට අමතරව සෑහෙන මුදලක් අනවශ්‍ය ලෙස වියදම්ව තිබිණ. ඒ නිසා මී ළඟට දෙමවුපියන්ට මුහුණපෑමට සිදුවූයේ මුදල් සොයා ගැනීමේ ගැටළුවටයි. ඒ අනුව ජනාධිපති අරමුදලෙන් ද, හිත මිත්‍රාදින්ගෙන ද, ටිකට් පත් විකිණිමෙන් ද, මාගේ ජීවිත රක්ෂණයෙන් ද, ඉඩමේ කොටසක් විකිණිමෙන් ද සහ බැංකු ණය ලබා ගැනීමෙන් ද අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට තීරණය කෙරිණි. මෙලෙස මාගේ දෙවන සැත්කම කිරීමට අවශ්‍ය මූලික පියවර සකස් කෙරිණි.