Pages

Saturday, July 13, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 10

“උඹට මතකද පද්මාව, අර මං වගේමයි කියලා කොල්ලො ජරා කතාවක් හැදුවේ. මතකනේ උඹයි මායි එකෙට්ට පතබෑවේ වදේ ගහන්න ඇවිත්“. අරවින්ද මගෙන් අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

“ඔව් ඔව් උඹේ තාත්තයි පද්මාගේ තාත්තයි එක්කෙනෙක් කියලා කියපු එකාටනේ, උඹයි මායි දුන්නෙ සම්බුව, මට මතකයි ඉතින්?“ මම ද කතාවේ හොදම හරිය දැන ගැනීමේ අටියෙන් තව තවත් අරවින්දගේ මූනට එබිමි.

අන්න ඒ පද්මාව තමයි මට ඒ කෙල්ල දැක්ක ගමන් මතක් උනේ. ඒ හින්ද වෙන්නත් ඇති ඒ ළමයා දැක්කම මට අමුත්තක් හිතෙන්නත් ඇත්තෙ. අනූෂා වගේ නෙමෙයි එයාට තිබුන අහිංසක පාටකුත්. අනූෂාට තිබුනෙ ටිකක් සරාගී පෙනුමක්නේ. මේ කෙල්ල කොණ්ඩෙ ගොතලා දණහිස ලඟට රතුපාට ගවුමක් ඇදලා පිළිවෙලකට ඇවිත් මා ගාව වාඩි වෙලා හිටියා.
සර් පාඩම ආයෙත් පටන් ගත්තා. අර කෙල්ල ලඟ ටියුට් තිබුනෙත් නෑ. මගේ ටියුට් එකට හොරෙන් එබෙනවා මං දැක්කා. ඒ පාර මං කලේ ඉනෝකාට දෙන්න කියලා දුන්නු ටියුට් එකක් අරගෙන එයාට දීලා කිව්වා “මේක ගන්න, ඕක වෙන ළමයෙක්ට ගත්තෙ. ඒක නිසා මුකුත් ලියන්න එපා“ කියලා. එයා මං දිහා බලලා හීං හිනාවක් දාලා ඇහෙන නොහැන ගානට තැන්ක් යූ කියලා ටියුට් එක ගත්තා. මං හිතන්නෙ එයා තැන්කියු එක ගිල්ලා. මං එයා දිහා ටිකක් බලං ඉන්නකොට මට මතක් උනේම පද්මාව. කොල්ලො කතා හදපු නිසාමද කොහෙද පද්මාව මට පෙනුනෙ මගේම නංගි කෙනෙක් වගේ. සර් ගෙ කටහඩ නොඇසෙන හින්දා මගේ අවධානය ආයේ වර්තමානයට ආවම තමයි දැක්කෙ සර් මං දිහා වපරැහින් බලන් ඉන්නවා.

ඉතින් එදා පන්ති ඇරුනම මං ගියා කාර් එක ලගට අනූෂා ඇවිල්ල ද කියලා බලන්න. ඒත් එයා එතන හිටියෙ නෑ. මං කාර් පාර්ක් එකේ ඉවොන් කාරයගෙ වාහනේ තියනවද කියලා බැලුව ඒකත් නෑ. මට ඉතින් නිකන් තොන්තුව වගේ. මේ ගෑනි රෑ උනොත් එහෙම මට මහත්තයගෙන් විසුමක් වෙන්නෑ. ඒ පාර මං ගේට් එක පැත්තට ගියා බලන්න. මෙන්න පාර අයිනෙ ඉන්නව නඩේම. පස් දෙනාම එතන කැකිරි පලනවා. මට අදහගන්නත් බෑ. අර අලුත් කෙල්ලත් එතන. එයාගෙ අතින් අල්ලගෙන අනූෂා හිනා වෙනවා ඉනාවක් කැවිල ගානට. මාව දැක්ක විතරයි වක්කඩේ කැඩුව වගේ හිනාව හෝස් ගාලා ගියා නිකන් සර්කස් එකේ ජෝකර් දැක්ක වගේ.
මමත් බොරු හිනාවක් මවාගෙන ගියා. මෙන්න බර්ටියා අර කෙල්ල පැත්තට හැරිලා “නහි වොරින්ගෙහේ දේකෝ ටියුට් කර්තාහේ. නහි මාන්ගේ ටියුට් හෙනා නහි කුරුටු කර්තාහේ සම්ජා..“ කියලා දෙකට නැවිලා ෆයිල් එකක් දික්කරා. මං දැනගත්තා වැඩේ ජෝන්බාස්ට ගිහින් කියලා.
අලුත් කෙල්ල ඒ පාර බර්ටියාට රවලා “පව් අනේ ඒ ළමයා“ කියලා කිව්වා. මටත් ඉතින් ඇඩෙන්න වාගේ. මං ඉනෝකාගෙ ටියුට් ටික අරගෙන අනූෂාට දුන්නා. දීලා  “ඉනෝකා අදත් ඇවිත් නැද්ද කොහෙද“ කියලා කිව්වා විතරයි ඔක්කොම ටික හූ තිය තිය පැලෙන්න ගත්තා. බර්ටියනම් උඩ පැන පැන හිනා වෙනවා රිලවෙක් වගේ. ඉවොන් කාරයනම් මහ නෝන්ජල් හිනාවක් දාගෙන හිටියා. කෙල්ලො තුන් දෙනත් හිනා වෙනව කදුලු බේර බේර. ඒ පාර අනූෂා බොහොම අමාරුවෙන් හිනාව යටපත් කරගෙන “ඔහේ ටියුට් දීලා තියෙන්නෙ ඉනොකාට තමා මෝඩයෝ“ කියලා කිව්වා.
මට නිකන් හුස්ම හිරවෙලා වගේ. එක වෙලාවෙම හිනාවයි ඇඩිල්ලයි දෙකම එලියට පනින්න හදනවා. කොහොම හරි ඒ වෙලාවෙම වගේ ඉනෝකාගේ මොරිස් මයිනර් කාර් එක ආවා. ඊට පස්සෙ කට්ටියම විසිර ගියා.
ඉවොනුයි මායි අනූෂායි විතරයි ඉතුරු උනේ. ඉවොන් මගෙ පැත්තට හැරිලා “අයිසෙ තමුසෙ අනූෂාගේ ඩැඩීට අනම් මනම් කියන්න එපා. විශේෂයෙන් අද අනූෂා පන්තියෙ හිටියෙ නැති වග හරිනේ“ කියලා කිව්වා. මටත් “හොදයි සෑර්“ කියලා කියැවුනා. ඒ පාර   මිනිහා හිනා වෙලා කියනවා “මොකක්ද අයිසෙ සැර් කියන්නෙ. අපි ෆ්‍රෙඩ්ස්ලා නෙ. තමුසෙගෙ ගොඩේ ගතිනම් තාම ඇරිල නෑනේ“ කියලා. මාත් ඉතින් හිනාවෙලා නිකන් හිටියා.
පස්සෙ මිනිහා අනූෂාගෙ නළල ඉඹලා ගුඩ් නයිට් චෙරියො ඩාර්ලින් කියලා කාර් එකට ගොඩ උනා. ඒක දැක්කම මගේ හිතටත් නිකන් ඉරිසියාවක් වගෙත් ආවා. ඊට පස්සෙ අපි දෙන්නත් කාර් එකේ ගෙදර ආවා.

එන ගමන් මං ඉනෝකා ගැනත් ඇහුවා. “ඉනෝකාලා ගාල්ල පැත්තෙද ?“
“ඇයි එහෙම අහන්නෙ ?“
“නෑ නිකන් එයාගෙ පෙනුම ටිකක් ඒ පැත්තෙ වගේ“
“නෑ එයාලා මෙහේ ඉන්නෙ, එයාගෙ තාත්තා ලොකු බිස්නස්මන් කෙනෙක්.“
මං ආයෙත් ඇහුවා එයා මොකොද ඉතින් ගිය සතියෙ නෑවිත් ඉදල තියෙන්නෙ කියලා.  

Next chapter - http://asanka-mind.blogspot.com/2013/08/11.html

2 comments:

  1. මචෝ මේ නම් ලියලා තියන විදියෙන් එක වරම ස්ත්‍රී පුරුෂ බව හොයාගන්න අසීරුයි. ඒ ගැටලුව නැත්තං මරු.
    හැම නමක්ම ඒ වගේ
    උදා අනුෂ අනුෂා
    පද්ම පද්මා
    / “අයිසෙ තමුසෙ අනූෂගේ ඩැඩීට අනම් මනම් කියන්න එපා. විශේෂයෙන් අද අනූෂා පන්තියෙ හිටියෙ නැති වග/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පෙන්නල දුන්නට. මං ඒක හදන්නම්.
      සෝදුපත් බලන්න කෙනෙක් ගන්න වෙයි වගේ. :/

      ප්‍රින්ටින්ග් මිස්ටේක්. :D

      Delete