Pages

Saturday, October 5, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 14

මිනිහගේ කතාව මට එච්චර ඇල්ලුවෙ නෑ .මට සැකයක් ආවා මෙතන මොකක් හරි හුටපටයක් තියෙනවා කියලා. මොකද මිනිහගෙ මූණ හනිකට වෙනස් වුනා ,මට තේරුනා මිනිහා අමාරුවෙන් බොරු හිනාවක් දැම්මා කියලා. ඒත් මට ආයෙ හිතුනා මගේ හිතේ සැකෙන් බලපු නිසා එහෙම පෙනුනදෝ කියලා. මොකද ඒ ගෑණි ගණිකාවක් උනාට වැඩ කරන්නෙ ප්‍රසිද්ධ කොම්පැණියකටනේ, ඉතින් ඔය ඩෙල්සි නොනා ඒකේ කවුරුහරි වෙන්න ඇති කියලත් හිතුනා. අපේ මුදලාලි මහත්තයත් ලොකු ලොකු කොම්පැණි එක්ක කනෙක්ෂන් තිබුනු කෙනෙක්නේ. කොහොම හරි ඊළඟ දවසෙම මට හෝඩුවාවක් දැන ගන්න ලැබුණා. මොකද මිනිහා මගේ අතේ තමා අර ලියුම යැව්වේ.

පහුවෙනිදා සර් මට කතා කරල කිව්වා "අයිසේ මෙන්න මේ ලියුම අර ඩෙල්සි නෝනාට දෙන්න ඕන. මට හදිස්සියෙම අර මහේන්ද්‍ර මහත්තයා හම්බෙන්න යන්න තියෙනවා. මෙන්න මේ ඇඩ්ඩ්‍රස් එකට ගිහින් බලනවා එතන ඇති ස්ටාර්ස් වයින්ස්ටෝර් කියලා තැබැරුමක්. අන්න ඒකේ කවුන්ටරේ ඉන්න ගෑනූ කෙනාට මේක දෙනවා. දීලා පුලුවන් ඉක්මනට එනවා වැඩපලට, තමුසෙ නැතිව මට අර මහත්තයට ගණන් හිලව් බේරන්න බෑ" කියලා. මං "හා හොදයි මහත්තයා" කියලා කෙලින්ම ගියා වැඩපලට. මොකද මට ඕන වෙලා තිබුණා අර කෙල්ලගෙ නම දැනගන්න. ප්‍රේමයාගෙන් නමත් අහගෙන මං ගියා ඒ කිව්ව තැනට. ඒක කොල්ලුපිටියේ ප්ලේස් එකක්. මං කෙලින්ම ගාලූ පාරට ඇවිත් ගාල්ල බස් එකක එල්ලිලා ඉක්මනට ම කොල්ලු පිටියට ආවා. එතන තැබෑරුමක් කිව්වට නිකන් හෝටලයක් වගේ. අර ගමේ තැබෑරුම් වගේ නෙවේ.

මං කෙලින්ම ඇතුලට ගියා. කවුන්ටරේ ටිකක් තරබාරූ අම්මන්ඩියෙක් හිටියා. දැක්කහම ටිකක් බය හිතෙන පෙනුමක් තිබ්බේ. හැබැයි ඇස් දෙකනම් ලස්සනයි,හොදට දැකල පුරුදුයි වගේ. ගෑණි මං දැක්ක ගමන් කටපුරා හිනාවක් දාලා ටිකක් ඇහිබැම හකුලලා"මේ මහත්තයා දැකල පුරුදුයි වගේ. ඒත් නිච්චියක් නෑ." කියලා කිව්වා. මාත් හිනාවක් දාලා "මේ ඩෙල්සි නොනා වෙන්න ඇති, මං ආවේ ජයසිංහ මුදලාලිගේ පණිවිඩේකට, හැබැයි මං නං මෙහෙ ආවේ පළවෙනි වතාවට" කියලා කිව්වා. ඒ පාර ඒ ගෑනී මහ හයියෙන් හිනා වෙලා "ඕ හොහ් හෝ වෙන්න ඇති වෙන්න ඇති, යස් යස් ඉතින් ඉතින් ජයේ මොකක්ද කිව්වේ " කියලා ඇහැව්වා. මං කිව්වා "මෙන්න මේ ලියුම දෙන්න කිව්වා" කියලා ලියුම දුන්නා. "ඕකේ ඕකේ සන්, ම්ම්.... මුකුත් ඩ්‍රින්ක් එකක් ගන්නවද" කියලා අහලා ලියුම දිහා ටිකක් බලලා ඒක ලාච්චුවට දා ගත්තා.

"නෑ මට මොකුත් ඕන නෑ. මට පුලුවන්ද අර අනූති  කියන ගෑණු කෙනාව හම්බවෙන්න" කියලා මං ඇහැව්වා. ඒ පාර ඒ ගැනී ටිකක් පුදුමෙන් වගේ බලං ඉදලා ආයේ අමුතු හිනාවක් දාලා "ඕ හොහ් හෝ යස් යස් වයි නොට් බෝයී වයි නොට් ඔය කෙලවරේ තියෙන ඩෝ එකේන් උඩට නැග්ගාම  කෙලින්ම හෙවන්" කියලා ඒ පැත්තට අත දික්කරලා පෙන්නුවා.

ඒ කාමරේ මේස වටේට පුටුවල මිනිස්සු බීබී කයිය ගහනවා. ඒක ඇතුල බියර් ගදේ බෑ. ඒකේ කෙලවරට වෙන්න දොරක් තිබුණා. මං "ස්තූතියි නොනා කියලා ඒ පැත්තට යන්න හදනකොටම ඒ ගෑනී " ඕ.. . මිස්ටර් පොඩ්ඩක් ඉන්න" කියලා කිව්වා.       

Next chapter - http://asanka-mind.blogspot.com/2013/10/15.html

No comments:

Post a Comment