Saturday, October 19, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 15

"ඩිපොසිට් ෆයිව් රුපීස් තියල යන්න මිස්ටර්. පැයකට වැඩියෙන් ඉන්න හැම පැය භාගයකටම වන් රුපී ඇඩ් වෙනවා. එහෙමයි මෙහෙ විදිය“ කියලා ඒ ගැනී කිව්වා. මං හොල්මන් වෙලා ගියා. “නෑ නෑ මට එයාව විනාඩි පහකට මුණ ගැහෙන්නයි ඕන“ මං කිව්වා. ඒ පාර ඒ ගැනී ඇහි බැම අකුලලා යටැහින් මා දිහා ටිකක් වෙලා බලා හිටියා. ඊට පස්සෙ “ ඕ... එහෙමද එහෙනම් ඔය ටේබල් එකෙන් වාඩි වෙලා ඉන්නකො“ කියලා එතන උන්නු මනුස්සයෙක්ට කතා කරලා “විල්බට් අර විස්ස කාමරේ ඉන්න ගර්ල්ට කියනවා පොඩ්ඩක් පහලට එන්න කියලා“ කිව්වා.

මං එතන තිබුනු ටේබල් එකේ වාඩිවෙලා ඉන්නකොට අර දොරින් අනූ එලියට ආවා. මට හිතා ගන්න බැරිඋනා ඇත්තටම ඒ එදා මං දැකපු එක්කෙනාමද මේ කියලා. මොකද එයා ඇදන් හිටපු ඇදුමටම එයාට තිබුනේ පුදුම කාමුක පෙනුමක්. දණහිසට දිග රතුපාට සායක් ඇදලා හිටියට ඒක දෙපැත්තෙන්ම පලලා තමයි තිබුනේ. ඇවිදගෙන එන කොට දූරියන් ගෙඩියක ඇටේ පාට කලව දෙක හොදට පෙනුණා. උඩට ඇදලා තිබුනු හැට්ටයෙ නූල තදට ගැට ගහලා නෑ කියලයි මට හිතුනේ. ඊට උඩින් දුහුල් සලුවක් පොරවගෙන හිටියත් රතු පාට බල්බ් එලියට දුහුල් සලුව යටින් හැට්ටයෙන් එලියට පනින්න දඟලන හන්ස යුවලක් වැනි ලැම දිලිසෙමින් තිබුනා. ඇය මං ලඟට එනකන්ම මට තේරුනේ නෑ.

“ඇයි මහත්තයා, ජයසිංහ මුදලාලීගේ පනිවිඩේකටද? “ කියලා අහනකන්ම මං හිටියේ එයාගේ ඇස් දෙකේ අතරමං වෙලා වගේ. ඒ තරම්ම ඒ ඇස් දෙකේ අමුතු සුන්දරත්වයක් තිබුණා. එදා ඈතට දැක්කට එවෙලෙනෙ ලඟට දැක්කේ. කම්මුල් දෙකේ රෝසපාට ගාලා කොණ්ඩේ සූරියකාන්ත මලක් වගේ කොණ්ඩ කටුවක් ගහලා විසිරෙන්න නොදී හිර කරලා තිබුණා. බුලත් කහට නිසා තොල් දෙක රතුම රතු පාටයි. සුවඳ විලවුන් වල සුවඳට නහය කඩාගෙන යනවා. ඉතින් කරූ මං මගේ ශරීරය පාලනය කරගත්තෙ කොච්චර අමාරුවෙන්ද? අරහෙම ඇහුවම තමයි ඒ දැහැනින් මං බිදුනේ.

“ආ...ඕඕ..නෑ නෑ මං මේ ආවේ ඔයාගෙන් යමක් දැනගන්න“ මං කිව්වා. ඊට පස්සෙ  එයා ටේබල් එක ලඟ අනිත් පුටුවකින් වාඩි උනා. “ඔයැයි අපේ සර්රුයි අතරෙ තියෙන සම්බන්ධය මොකක්ද?. ඇයි ඔයැයි වගෙ කෙනෙක් අතේ අපේ සර්ට පණිවිඩ එවන්නේ“ කියලා මං එකපාරටම මගේ හිතේ තිබ්බ දේ කෙලින්ම ඇහුවා. ඒක ඇහුව ගමන් ගෑනි අප්සෙට් ගියා. ඒකි මට කියනවා “ මහත්තයට මොකොටෙයි ඒ වගක්. මහත්තය ආව වැඩේ කරගෙන යන්න මහත්තයා යන්න, ආවා මෙතන තෝම්බුව හොයන්න“ කියලා. ඒ පාර මටත් ටිකක් කේන්ති ගියා. මං කිව්වා “අපේ මහත්තයා වැදගත් මහත්තයෙක් ඔහේ වගේ ගෑණූ අතේ අපේ මහත්තයට පණිවිඩ ගෙනාවම මිනිස්සු ඒ මනුස්සයට කතා හදනවා. ඒ මහත්තයා දන්නෙත් නැතුව ඇති ඔහේ මේ වගේ රස්සාවකුත් කරනවා කියලා. මට ඔයැයිගේ තෝම්බුවක් ඕන නෑ. ඒත් අපේ මහත්තයට කතා හැදෙනවට මං කැමති නෑ“ කියලා. ඒ පාර ඒකී බයවෙලා වගේ මං දිහා බලං ඉදලා “වැදගත් හාහ් හා හා.. වැදගත්“   කියලා හිනා වෙලා ආයෙ  අඩන්න පටන් ගත්තා. “මං දන්නවා මුලු ලොකෙම මිනුස්සුන්ට පෙන්නේ අපේ වැරුද්ද, අපිව මේ තත්වෙට ඇදලා දාපූ අපේ රීරි මාංසෙ හූරන් කන හැත්තට වැදගත් මහත්තැන්ලා විදියට සලකනවා. මට මගේ පාඩුවේ ඉන්න දීලා යන්ඩ මහත්තයා යන්ඩ මෙතනින්“  කියලා අත් දෙකෙන් මූණ වහගෙන ඉකි ගහන්න ගත්තා. හොද වෙලාවට එතන ටිකක් කරුවල තැනක්.

“හරි හරි ළමයෝ අඩන්න එපා. මට සමා වෙන්න. මට ටිකක් තරහ ගියා. ඇත්තටම ඇයි ඔයා නංගි මේ වගේ රස්සාවක් කරන්නේ“ කියලා මං කරුණාවන්ත ස්වරයෙන් ඇහුවා. මොකද අනූ අඩනවා බලන් ඉන්න බැරිතරමටම දුකයි. ඒ ඇඬීමට මගේ පපුව හෝස් ගාලා ගියා. ඊට පස්සෙ එයා අඬන ඒක නවත්වලා ටිකක් වෙලා බිම බලන් ඉදලා ආයේ මං දිහා බලලා ආයෙත් බිම බලාගෙන “ ඒක දිග කතාවක් මහත්තයා“ කියලා තමාටම කියා ගත්තා.

“මං ආසයි ඒ කතාව අහන්න“ මං කිව්වා.
 “ඒක මෙහෙම කියන්න පුලුවන් කතාවක් නෙවේ“ කියලා  අනූ එකපාරටම මං දිහා තියුණු බැල්මක් දාලා “මගේ රූම් එකට යන්ද“ කියලා ඇහැව්වා. ඒ බැල්මට මාව පිස්සු වැටුනා.
 “ නෑ නෑ මං වෙන වෙලාවක එන්නම් ඒ කතාව අහන්න, මට දැන් ඉක්මනටම යන්න ඕන. මුදලාලී බලාගෙන ඇති“ කියලා මං ඔරලෝසුව දිහා බලලා නැගිට්ටා. නැගිටලා සාක්කුවෙන් රුපියල් දෙකේ කොලයක් අරන් එයාගෙ අතින් තියලා “මං අනිවාර්යයෙන්ම ඔයාගෙ කතාව අහන්න එනවා“ කියාගෙන එතනින් පිටවෙලා ආවා.

Next chapter - http://asanka-mind.blogspot.com/2013/11/16.html
   

No comments:

Post a Comment