Friday, September 30, 2011

හරි කොයිකද?

ආදරේ කියෙව්වම තරුණ එවුන්ගේ ප්‍රධානතම මාත්තුරුකාව නෙව. ඉති මේ අවුරුදු 24 25 වන විට පෙම් හබ දෙක තුනක්ම හමාර කොරාපු එවුන් ඉන්නව නෙව. ගෑනු පිරිමි කියල වෙනසක් නෑ බං. ඒත් ඔය දෙගොල්ලන්ගේ කොරමේ වෙනසක් තියෙයි. මං අත්දැකල තියෙන විදියට නං ඕං කොල්ලො ඉන්නව නෙව. උන් දෙක තුනක් හමාර කොලත් පලවෙනි එක ගැන උනන්දුවෙන් තමයි ඉදින්නේ. ඒකිට මක් උනාද දැන් වෙන එකෙක්ව බැද ගෙනද යහතින් ඉන්නවද කියාලා ඉතින් හොයා බලපිනා. අමතක කොරන්ට හරි අමාරුයි. යාලුවෙක්ගෙන් නමුත් විස්තරයක් දැනපිනා ගන්ට හරි ආසයි නෙව.

 ඒකට මොකද ඔය ගෑනු ඉන්නව නේද එවුන් දැන් ඉන්නේ මොකා එක්කද ඒකාට පණ ඇරලා. කවුරුහරි හරහට වචනයක් කතාකොලත් ඇගට කඩා පනිනවා. ඇබැයි ඕං කලින් උන්නු එකෙක් ගැන මතක් කලොත් එහෙම "අනේ ඕකව මතක් කොරන්ට එපා"ය කියලා නෙව පටන් ගන්නේ. අනේ මන්දා ඒ දවස්වල නම් ඒකා තරන් ජගතෙක් නෑ නෙව. දැන් ඉතින් ඌට වඩා මූ දාහින් සම්පතයි. ඉතින් ඔය කොරොම දෙකට අනුව කොයිකද නියම ආදරේ. හොදයි කියමුකෝ බලන්න?

Thursday, September 29, 2011

19 සතිය

සෑම මොහොතම අලුත් අවුරුද්දක් ආරම්භ වේ. ඒ නිසා සෑම මොහොතම නැවුම්ව ගතකරන්න.

Sunday, September 25, 2011

18 කොටස

දරුවා සාසනයට පුජා කල පසු සියල්ල අවසාන නොවීය. නන්දා තව තවත් පින් කම් වලම යෙදෙන්නට විය. හැමදාම රාත්‍රියට පිරිත් කියා එම දවසේ කල දේ නැවත සිහිපත් කර ඒ සත්‍යයේ බලයෙන් දරුවා සුව කරන මෙන් සත්‍ය ක්‍රියා කිරීම ද ඇගේ දින චර්යාවේ කොටසක් විය.ඈ කළුතර රැකියාව කරන අතර කෑම පැයේ කළුතර බෝධිය වන්දනා කිරීම ද පුරුද්දක් ව පැවතියාය. දිනක් ටික ටික එකතු කල මුදල් පන්සලේ පැයක විදුලි බිල වෙනුවෙන්පූජා කලාය. මෙසේ ගැහැණුන්ගේ ජන්ම ගතියක්සේ පවතින ආගම ධර්මයට ඇති විශ්වාසය නිසාම ඈ දිගින් දිගටම එවැනි දේ වල නිරත විය.

නමුත් කරුණාරත්න සැම විටම විශ්වාස කලේ ප්‍රතිකාර කිරීමෙන් ළමයා ගොඩ ගැනීමට ඇති හැකියාවයි. ඔහු   අරූද කොල කොටා හිස ගැල්වූයේ හිස කෙස් එනු පිණිසය. ආහාර රුචිය වැඩෙනු පිණිස පැරඩෝල් නමැති විටමිනය ද, ශරීර ශක්තිය වැඩෙනු පිනිස සස්ටජන් පිටි ද ගෙනැවිත් දුන්නේය.

මේ අතර දිනක් නන්දා තම මහගෙදර ගියේ දරුවා ද රැගෙන දෙමව්පියන් බැලීමටය. ඕ එහි යන විට ඇගේ මාමා කෙනෙකු පැමිණ සිටියේය. දරුවා දුටු හේ දරුවාගෙන සුරතල් කරන්නට විය. "අප්පොච්චියේ මේ බලාපල්ලකෝ මෙකා ඉන්නහැටි කිරි දරුවෙක් වගේ. ඇයි බං උඹ මේකාට කන්න දෙන්නැතෙයි?".
" අනේ බලන්නකෝ මාමා දරුවගේ පපුවේ සිදුරක්ලු. අවුරුදු පහට වඩා ජීවත් වෙන එකක් නෑ කියලයි කියන්නේ" යි කියමින් ඈ හිල්ලූවාය. " කවුද දරුවෝ කියන්නේ. උඹ බය නැතුව හිටහන් මේ කොච්චර හොද කොලු පැටියෙක් ද, මට බැලුවම කියන්නැහැකි මේකා කවද හරි විස්සවිජ්ජාලේ ගොහිනුයි නතර වෙන්නේ, නේද කොලුවෝ" ඔහු දරුවා දෙස බැලුවේය. ඔහු කියන්නේ මොනවාදැයි සිතාගත නොහෙනු දරුවා යන්තම් සිනා සී බිම හොත්තේය. දරුවා බිම හිද ගන්නේ නැත. මලපහ කිරීමට ඉදගන්නා අයුරින් ඇනතියා ගැනීම කරන්නේ පිටුපස බිම තෑබූ විට හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවන බැවිණි. පුටුක වුවද ඉදගත්තේ එසේමය.

 ලද ප්‍රතිකාර හේතුවෙන් දරුවාගේ හිසකෙස් නම් ටිකෙන් ටික වැඩෙන්නට විය. දරුවා දෙමව්පියන්ට මුරණ්ඩු නොවීම ඔවුන්ට පහසුවක් විය. ආහාර කැවීමේ දී එපා නොකියා කවන තරමක් කටේ ඔබා ගත්තේය. නමුත් ටික වේලාවක් යන විට ඇස්ගෙඩි දෙකෙන් කදුළු බේරෙන්නට පටන් ගනී. එවිට ආහාර දීම හමාර වෙයි. මෙසේ ඉතා වෙහෙස මහන්සියෙන් නන්දාත් කරුණාරත්නත් දරුවා අවුරුදු හතරක්ම රැක ගත්තෝය. නමුත් තවත් අවුරුද්දක් දරුවා සිටිනුයේ මරු අභියසය.

කාරිය කෙරෙන තුරු කරන රගපෑම

නුඹ වටා සමලුන්
ගුම් නදින් රග දේවී
ඒත් උඹ දැනගනින්
උන් එන්නෙ රොනට බව

යම් දිනක සමලුන්
නුඹ දමා පැන යාවී
එවිට නුඹ දැනගනින්
රොන් නුඹෙන් රැගෙන බව

ඒත් උඹ සැනසියන්
නුඹේ සිහියට ඒවී
උන් උඹේ කරුණා රොනින්
මන් වඩා ගත්තු බව

Saturday, September 24, 2011

5 ලිපිය - ආරම්භය

අපි දැනගත්තනේ සියලුම දේවල් වලට වාගේම හේතුන් පවතින බව. සදාතනික ධර්මතා හැරුණු විට අනිත්‍ය දුඛ්‍ය අනාත්ම ලක්ෂණ සහිත සියලු දේ හේතු ඵල දහමට අනුව සකස් වෙන බව. ඉතින් යම් ප්‍රතිඵලයක් විග්‍රහ කිරීමෙන් අපට පුලුවන් මේකට හේතූ මෙවාය කියලා කියන්න. අනෙක් අතට ගත් කල ඒ හේතු සකස් වූ විට ලැබෙන ප්‍රතිඵලයත් කියන්න පුළුවන්. මේකට කියනවා විද්‍යාත්මක ක්‍රමය කියලා. අපිට පුළුවන් පරීක්ෂණය කරලා නීරික්ෂණය කරලා නිගමනයකට එලැබෙන්න. මේම නිගමනයන් පසුව නියමයන් බවට පත්වෙනවා.

මෙන්න මේ වගේම යම් කෙනෙකුට හැකියාවක් තියෙනවා හේතු ඵල දහම අධ්‍යයනය කිරීමෙන් නියමයන් සොයා ගන්න. අප මහා බුදු රජාණන් වහන්සේ ද ඉතාමත් දීර්ඝ කාලයක් කල පරික්ෂණ මගින් නියාම ධර්ම පහක් ඉදිරිපත් කර ඇති බවට සදහන් වෙනවා.

 සාමාන්‍යයෙන් නියමයක් ඉදිරිපත් කිරීමේදී උපකල්පන කීපයක් මත තමයි ඒක සත්‍යයැයි කියන්නේ. මේ නියාම ධර්ම පහ ද එසේමයි. ඒවා ද සත්‍ය වන්නේ යම් යම් තත්ව වලදී. උදාහරණයකින් කියනව නම් ඉහත ලිපියේ සාකච්ඡා කල කර්ම විපාක දීම එකම කර්මය කල දෙදෙනෙකුට බලපාන ආකාරය දෙවිදියක් බව පැහැදිලි කලේ. දැන් මොනවද මේ පංච නියාම ධර්ම?. කර්ම නියාම, ධර්ම නියාම, බීජ නියාම, සෘතු නියාම හා චිත්ත නියාම යනු ඒ පසයි. මේ නියාම ධර්ම පිළිබද ඊළග ලිපියෙන් සොයා බලමු. ඔබට නිවන් සුව ලැබේවා!

Friday, September 23, 2011

මළ ගෙදරද? මල ගෙදරද?

ඔය මගුල වගේම උත්සවශ්‍රියෙන් කොරන එකක් නෙව අවමගුල. හැබෑටම කෙනෙක් මළාට පස්සෙන් පහු ලක්සො ගණන් වියපැහැදම් කොරාගෙන සමරන්න ඕනැමද?. සමහර ඈයින් මළාට පස්සෙන් පහු පූර්ණ ගෞරව සහිතව, බෝතල් පාටී, කැරම් තරගාවලි, බූරු කුට්ටම් පොර, දුම්බීම දන්සැල් තියලා මීනී බැන්ඩ් ගහලා ගජරාමෙට පවත්වනවනේ හැබෑටම.
 ඔය ගම්පලාත්වල බලන්න එපෑයෑ අම්මාපල්ල ජීවිතේට සමාජ ආස්සොරයක් නැති එකෙක් සෙත්තපෝච්චි උනත් ගමකට සෙනග ඉන්නව නෙව ඉළව් ගෙදර. උන්ට කෝපී දීලම ගෙදර ඇත්තො නන්නත්තාර වෙනවා. සමහර එවුන් දවස් හතම නිදිමරාගෙන ඉන්නේ හැබැයි ඕං මළ එකා ගෑනුද පිරිමිද කියලවත් දන්නෑ නෙව.
 මං අහන්නේ හැබෑටම ඔයහැටි වියපැහැදං කොරාගෙන මනුස්ප සරීරයක් කුණු කර කර තබාගන්නේ මක්කටෙයි. මං අහල තියෙයි ඔය සමහර පැති වල කුලියට අඩන ගැනුත් ඉන්නවනෙව කියාලා. ඉන්නකං පැත්ත බලන්නැතුව හිටපු අඹු දරුවෝ බලන්ට එපෑයැ අනේ අපිව දාලා යන්න ඒපෝ කියලා හූ තියන හැටි. ඕක ඇහුනම ඉතින් අර මළ එකා ඒ ගෙදරම බින්න බැහැ ගන්නවා පෙරේතයෙක් වෙලා හරි ඕං. පස්සෙන් පහු බනිනවා මූ මැරිලවත් අපිට ඉන්න දෙන්නේ නැති හැටියක්ය කියාලා. ඉස්සරනං ඕං යසෝධරාවත හරි වෙස්සන්තර කව හරි කියලා තමයි දුක තූනී කොරගන්නේ.
 මං කියන්නේ අර මුස්ලිම් ඇත්තෝ වගේ මළදාම වලදෑම කොරානං අහවරනෙව. සමහර අවස්ථා වල තියාගන්නම වෙනවනම් විතරක් තියා ගත්තනම් ගැටලුවක් නෑ. ඒත් ඉතින් ඉලව් ගෙදර එක එක එවුන්ගේ සූදු පොලයි සුරා පොලයි නොකර ඒ කාසී වලින් පිනක් දහමක් කොරාලා අර මැරිච්ච මනුස්සයට පිං අනුමෝදං කොරානම් අහකයිනේ.

Wednesday, September 21, 2011

18 සතිය

ජීවිතය යනු අපි බලාපොරොත්තු වන දේ නොව අපිට ලැබෙන දේ. 

Saturday, September 17, 2011

17 කොටස

" ඉතින් ඔයාට පුළුවන්නෙව ඉඩමක් ගන්නවයි කියාලා ලෝන් එකක් ගන්න. මමත් ලෝන් එකක් ගන්නවා ගේ හදන්න".
  කොහොමින් කොහොමින් හෝ අතේ රුපියල් පන්දාහක් ඇතිව අලුත් නිවසෙහි වැඩ ආරම්භ විය. කටුමැටි නිවස අසලින්ම නව නිවසට මුල් ගල තැබීය. ගේ එසේ ඉදිවද්දි නන්දාගේ දරු ගැබද වැඩෙන්නට විය. එම අවුරුද්ද අවසාන වන විට විසිත්ත කාමරයක් ද නිදන කාමර දෙකක් හා කුස්සියක් සහිත නිවසේ වැඩ අවසන් විය.
 ඒ එකදාස් නවසිය අනූ දෙක වර්ශය ආරම්භ වූ මාසයයි. සුපුරුදු පරිදි නන්දාත් කරුණාරත්නත් රැකියාවට ගියෝය. නමුත් නන්දාට සුපුරුදු පරිදි වැඩ කිරීමට නොහැකි විය. ඈට වැඩපලේදීම අමාරු වී රෝහල් ගත කලාය. එතැනින් බොරකන්ද රෝහලට මාරු කරණු ලදුව එහිදී තෙවන දරුවා උපත ලැබුවාය. ඒ රෝස පාට හුරතල් දැරිවියකි. ඈ පළමුවම පයගැසුවේ අලුත් නිවසෙහිය.
 කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යන්නේය. මිත්තනියට දරුවන් තිදෙනකු බලා ගැනීම අපහසු බැවින් ද කිරි දීමේ ගැටලු ද නිසා ළමුන් තිදෙන බලා ගැනීම සදහා කරුණාරත්නගේ පොඩි මල්ලිගේ බිරිද පුෂ්පා ඉදිරිපත් විය. ඊට අමතරව පහල නිවසේ පදිංචිව සිටී පිස්සු බලු රෝග වෙදාගේ දියණිය වූ දිස්නා නමැත්තිය ද ඉද හිට පැමිණියාය. පුෂ්පාට ද ඒ වසරේදීම දරුවකු ලැබුණාය. එම නිසා ඈ පූර්ණිකාගේ ද කිරි මව විය.
 අපගේ කතා නායකයාගේ වයස දැන් අවුරුදු තුන හමාරකි. ඔහු වෙනුවෙන් නන්දාත් කරුණාරත්නත් වෙහෙසුනෝය. නන්දා දිගින් දිගටම දෛවඥයෝ පසුපස ගියාය. ඒ බොහෝ   දෙනාගේ මතය වූයේ දරුවා අවුරුදු පහට වඩා ජීවත් නොවන බවය. අවුරුදු පහ පන්න ගත්තොත් ළමයා ගොඩක් කල් ජීවත් වෙයි අයෙක් කීවේය. තව සමහරෙක් කීවේ අවුරුදු දහයෙන් ළමයා මැරෙණ බවය. මේ අපල වලින් ගැලවීමට ඈ නොකල දෙයක් නැත. මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමට මුදල් එකතු කලාය. යාචකයන්ට මෙන්ම බලු කපුටු දාන ද දුන්නාය. බෝධිපූජා පැවැත්වුවාය. දෙවියන්ට කන්නලවු කොට බාර හාර විය. මේ අතර එක් දෛවඥයෙක් මෙසේ පැවසුවේය. " නොනාට මේ දරුවා ජීවත් කරවන්න ඕනම නම් දරුවව සාසනයට භාර කරන්න".
 අවසානයේ දී ඈ එයද උත්සහ කර බැලීමට තීරණය කලාය. කරුණාරත්නට මේ බව පවසා ඔහු ද ඊට එකග කර ගත්තාය. නන්දාගේ සිත හැදීමට විනා කරුණාරත්න ඒවා ගැන එතරම් විශ්වාස නොකලේය. ඔවුන් දරුවා ද රැගෙන තිස්සමහාරාම විහාරයට ගියෝය. එහිදී නායක හාමුදුරුවන් මුණගැසී දරුවා සාසනයට භාර කලෝය. "දරුවට කැමති දවසක ඇවිල්ලා මහණ වෙන්න අවසර තියෙනවා" ලොකු හාමුදුරුවෝ අවසානයේ කීවේය.

Friday, September 16, 2011

4 ලිපිය - අවසානය

කර්මය පිලිබද සොයා යාමේදි එක් එක් කර්මයට ලැබෙන ප්‍රතිපලය මෙයයැයි නියම කල නොහැක. මන්ද මේ ලොකේ සියල්ල සිදුවන්නේ හේතු ඵල දහමට අනුවයි. එමනිසා එකම කර්මය කලද අනෙක් හේතූන් මත ඒවායේ ප්‍රතිඵල වෙනස් වෙනවා. කෙනෙක්ට පුලුවන්නම් යම් කර්මයක් කොට ඉතා ආරක්ෂිතව වෙසෙන්න කරාමය අරිනතුරු ජලය නොඑන්නා සේ එහි විපාක ලැබීම කල් යවා ගතහැකිය. ඒ නිසා තමයි සමහර මිනිස්සු කියන්නේ දුප්පත් අපිටමයි හැමදේම වන්නේ අර මිනිස්සු කරන තරමක් දහ ජරා වැඩ කරලත් කිසි ප්‍රශ්නයක් නෑ කියල . කෙනෙක්ගේ දුප්පත්කම, කම්මැලිකම, නොසැලකිලිමත් බව වැනි දේවල් නිසා ඔවුන් කරන ලද අකුසල් ශක්තිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය වටපිටාව හදනවා හරියට කරාමය අරින්නා වාගේ. නමුත් තැනට සුදුසු නුවණ, බලය, සැලකිලිමත්බව වැනි දේවල් මගින් කරන ලද අකුසල කර්ම ඵල දීමට ඇති ඉඩකඩ අඩු වේ. කෙනෙකුගේ කර්ම ශක්තිය ප්‍රබල වුන පලියටම අහසින් ගලක් වැටී මිය යන්නෙවත් සල්ලි මල්ලක් වැටෙන්නෙවත් නෑ. එහෙම වන්නනම් ඒ සදහා අවශ්‍ය භෞතික හේතුද සකස් විය යුතුමය.

 මෙයින් කිසිම විටක අනිත්‍ය දුඛ්‍ය අනාත්ම හෝ හේතුඵල දහම යන සත්‍ය බිද දමන්නට කර්ම ශක්තියට හැකියාවක් නෑ. සියල්ල හරිම තර්කාණුකූලයි. එසේනම් මෙ ලොකේ සිදුවන හා අනාගතයේ සිදුවෙන දේවල් කර්මයට අනුව පමණක් පැහැදිලි කල නොහැක. එතකොට ඒවා විස්තර කිරිමට දැන ගතයුතු අනෙක් දේවල් මොනවාද යන්න ඊලග ලිපියෙන් සොයා බලමු. ඔබට නිවන් සුව ලැබේවා.

වවුලාගේ මගුලට යන්නේ කොහොමෙයි?

ස්ටයිල් කොරන්න කවුද බොල අකමැති? දැන් මේ කලියුග කාලේ නා නා ස්ටයිල් එනව නෙව. ඉතින් බොලාලට කියන්න මොන විධියේ  පැසොන් ආවත් එව්වා කොරන තැනක් පිලිවෙලක් තියෙන්ට එපායැ. මොකද මගුලකට යන්නැහේ ඉලව්වකට යන්න ඇහැක්යෑ. තැනට ඔබින විධියක් එපැයි.

බලන්න එපායැ පෝයකට පන්සලකට ගෙහුන්. අම්මාපල්ලා මේ කොල්ලො කුරුට්ටොයි, කෙල්ලොයි ඇදන් එන විකාර වැරහැලි. ඒ විතරක්නම් මදෑ, මේ කොල්ලෝ අමු රස්තියාදු කාරයො වගේනෙව. ඒ මදිවට කෙල්ලෝ අඩ වතින් සැරසීගෙන කැකිරි පැලෙන්න හූ තියනවා අම්මාපල්ලා පන්සල කියල ගානක්වත් ඇද්ද මං කියන්නේ. හැබැයි ඕං සබාවක් ඉස්සරහට ගෙහුන් කතාවත් කොරන්ට කිව්වම බෙහෙත් කාපූ ගොළුවො වගේ අල්ලපු එකාට ඇහෙන්න කතා කොරගන්න බෑ.
 දැන් බලන්න මං මේ විස්සො විද්දියාලෙ නෙව ඉන්නේ. මේක තමන්ගේ පාසල් මව වගේම ගෞරව කොරන්ට ඕන තැනක් නෙවෙද? ඉසකේ හට හට කේසීගේ වගේ සමහරු හිස් වැසුම් දාගෙන, ඒ මදිවට නිස්සද්දව ඉන්න ඕන විභාග, දේශන , රැස්වීම් ශාලාවල දෙක වෙන්න කෑ කොස්සන් ගහනවා. මුන්ට විනෝද ගමනක් යනකොට බුදි. අනේ ඇත්තට තැනට ඔබින විදියට හැසිරෙන්න දන්නේ නෑ නෙව.
 ස්ටයිල් ආ පලියට දෙමව්පියන් බඩට නොකා හමුබුකොරන සේසතම වියදං කොරාගෙන ස්ටයිල් කොරන්නැතුව තැනට සුදුසු විදියට නව විලාසිතා කොලාට මයෙ අමනාපයක් නෑ. හැබැයි ඕං අලුත්ම පැසොන් එක කියලා සරොන් ගහගෙන වවුලගෙ ගෙදර ගෙහුං පස්සෙං පහු මං නොකිව්වාය කියන්ට එපා ඈ.  

Thursday, September 15, 2011

17 සතිය

මෝඩයා යනු මෝහය ඇත්තා වේ. එනම් යමක් හෝ කෙනෙක් මාගේ යයි සිතන්නාය.

Monday, September 12, 2011

16 කොටස

ඔවුන් දිගින් දිගටම දරුවා වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් කැප කලෝය. මාස හයෙන් හයට සායනය සදහා දරුවා රැගෙන ගියෝය. හේ දැන් නිතරම ලෙඩවන ගතිය අඩු නමුත් අවුරුදු දෙකක ළමයකුට වඩා බොහෝ දුර්‍වල වූයේය. තවමත් ඇවිදීමට අපහසුය. ඇවිද්දත් ඒ යමක් අල්ලාගෙනය. වචන දෙක තුනක් කතා කල විට විනාඩියක් දෙකක් හතිලෑවේය. හිස කෙස් සියල්ලම ගැල වී ගොස්ය. කෙතරම් කෙට්ටු වී ද යත් ගෙලට හිස දරා ගැනීමටත් අපහසු තරම් විය.
  නමුත් කාලයත් සමග මේ සියල්ල කරුණාරත්නටත් නන්දාටත් සාමාන්‍ය දේවල් විය. මේ අතර නන්දාගේ තාවකාලිකව ලබා ගත් මාරු වීම කල් ඉකුත් වීම නිසා නැවත කළුතරට මාරු වීමක් ලැබිණ. මේ නිසා සෑමදාම පාන්දර තුනේ කනිසමට ඇහැරෙන නන්දාත් කරුණාරත්නත් ආහාර පිස සූදානම් වී දරුවන්ට කිරි දී, සියල්ල සූදානම් කර හතර හමාර වන විට දරුවන් දෙදෙන මිත්තනියගේ නිවසේ  රදවා යන්නෝය. යතුරු පැදියෙන් අම්බලන්ගොඩ දක්වා යන ඔවුන් එය දන්නා නිවසක දමා දුම්රියෙන් ගමන් කලෝය. නැවත රාත්‍රියේ පැමිණ දරුවන් දෙදෙනද රැගෙන නිවසට යන්නේ ඊලග දිනයට සූදානම් වීමටය. සියලු වැඩ අහවර කොට නින්දට යන විට රාත්‍රි දහයද ගෙවී ගොස් ය. මෙසේ කාලය යන්නේ, නන්දාගේ කුසේ තවත් දරුවකු වැඩුනේය.
 දිනක් නන්දාට මෙසේ කල්පනා විය. තව ටික දොහකින් පවුලේ සාමාජිකයන් පහක් වන්නේය. මෙ මැටි නිවසේ දිගින් දිගටම සිටීම දෙවන දරුවාට ද අපහසුවකි. දැන් අම්මලාගේ නිවසේ හිටිය ද යම් දිනක ඔහුට මේ නිතරම දූවිලි පිරුණූ නිවස තුල ජීවත් වීමට සිදු වන්නේය. මේ නිසා ගඩොලින් ගෙයක් සාදා ගත යුතුය. මෙලෙස කල්පනා කල ඈ අවසානයේ එය තම ස්වාමියාට යෝජනා කලාය.

 " නන්දා ඔයාට පිස්සු හැදීගෙන එනව ද ගෙයක් හදන්න මං මේ ඔළුව ගිනි අරන් ඉන්න වෙලාවේ.... ඔයැයි හිතුවද ගෙවල් හදන එක සෙල්ලම් වැඩක්ය කියලා" එම යෝජනාව ඇසුනු මොහොතෙම කරුණාරත්න පෙරලා ඇසුවේය." නෑ කරුණේ මං කියන්නේ ගෙයක් නෙවෙයි අපි අත්තිවාරම වත් දා ගමු" කරුණාරත්න වැඩක් පටන් ගතහොත් එය මග නතර නොකරන බව දත් හෙයින්දෝ නන්දා කීවාය. " අනික ඉස්සරහට පස් දෙනෙක් වෙනවා. අර ළමයා කොහොම ද මේ දූවිලි ගොඩේ තියන්නේ. " ඈ තව දුරටත් කියාගෙන ගියාය.
 කරුණාරත්න වෙන මොහොතක නම් කර ඇරීමට උත්සහ කල ද දරුවකු කුසේ සිටින කල නන්දාගේ හිත පෑරීමට හේ අකමැති විය. " එත් නන්දෝ කොහේ තියෙන සල්ලියක් ද, අනේ මන්දා මොනව හරි බලමුකෝ. ගෙයක් හදනවා කියලා ලෝන් එකක් අරගත්තොත්...හ්ම්" කී ඔහු මදක් කල්පනාවේ නික්මී " හරි මට ආවා අදහසක්...මේ ඉඩම තියෙන්නේ මගේ නමටනේ " එක පාරටම නැවතත්  කටහඩ අවදි කලේය. "ඉතින්" ඈ කුතුහලයෙන් පිලිවිසියාය. "ඉතින් අපි බදිනකොට ඔයාගේ සැර්නේම් එක වෙනස් කලෙ නෑනේ. ඉතින් මට ආවා අදහසක්" කරුණාරත්න තම අදහස කීමට අසල තූබූ ලී පුටුවේ ඉද ගත්තේය.

Saturday, September 10, 2011

4 ලිපිය - කර්මය3

කර්ම කිරීම තුලින් සිතට නැතිනම් විඥ්‍යාන ධාතුවට ශක්තිය සැපයෙන ආකාරය ඉහත ලිපියේ දී පැහැදිලි කලානේ. එහි දී පෙනී ගිය කරුණක් නම් චේතනාවක් රහිතව කරන ක්‍රියාවකින් විඥ්‍යාන ධාතුවට බලපෑමක් නෑ කියන එක. අද අපි සොයා බලමු කර්මය පල දෙන්නේ කෙසේද කියා.
  සෑම කර්මයකම එවෙලෙහි ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. යමක් කල විටදී හා කරමින් සිටින විටදී ඇතිවන හැගීම හා ඒ හැගීම අරමුණු කරගෙන සිදුවන ක්‍රියා එවෙලෙහිම ලැබෙන ප්‍රතිඵල ලෙස හදුන්වන්න පුලුවන්. යම් අකුසල හෝ පාප ක්‍රියාවක් කිරීමේ දී ඇතිවන බය එහි පලමු ප්‍රතිඵලයන් ලෙස පෙනෙනවා. බය හේතු කොටගෙන සිදුවන හෞතික ප්‍රතිඵලයන් කර්ම විපාක හැටියට සාමාන්‍ය ව්‍යවහාරයේ දී හැදින්වෙනවා. අධික රුධිර පීඩනය, වෙව්ලීම, තැති ගැන්ම මෙන්ම නීතියෙන් හා සමාජයෙන් දඩුවම් ලැබීම , කරන්නට යන පාපී ක්‍රියාව වැරදීයාම නිසා අනතුරට පත්වීම යන සියලු ප්‍රතිඵල කර්ම විපාක ලෙස දැක්විය හැකියි. කුසල් හා පුණ්‍ය කර්ම වලදී ද මෙවැනි ප්‍රතිඵල ලැබේ. සතුට, ජනතා පැසසුම් , තෑගි බෝග ලැබීම් එවැනි විපාක කීපයකි. මෙලෙසම පසුව ලැබෙන ප්‍රතිඵල ද දැකිය හැකි.මේ භවයෙම පසුව ලැබෙන පල විපාක ලෙස නැවත නැවත සිහි කිරීමෙන් ඇතිවන සතුට හෝ භය, සම්මාන හෝ නීතියේ රැහැනට හසු වීම් වැනි දෑ දැක්විය හැකි.
     යම් පුද්ගලයකු කරන ලද කර්මයක් ඊලග භවයට බලපාන්නේ කෙසේද?. කෙනෙක් මැරෙන මොහොතෙ දි තමා කල කර්මයන් සිහි වීමෙන් සිතට එන සිතුවිල්ල අනුව ඊලග භවය සකස් වීම නිසයි බොහෝ කර්ම ඵල ඊලග භවයට ගෙන යන්නේ. අවසාන සිත සතුටුදායක නම් ඊට අනුරූප රුපයක් ඇසුරු කොට ඊලග භවය සකස් වේ. ඒ අනුව දේව, බ්‍රහ්ම හෝ මනුෂ්‍ය  භවයක හෝ ප්‍රතිසන්ධි සිත හට ගැනීම සිදු වෙනවා. මෙහිදි තමා කල අල්ප වරදක් හෝ ගැන පසුතැවීමකින් මිය යන්නේ නම් ඊලග භවය තැවෙන රුප හෙවත් අපාගාමී සත්වයන් ඇසුරු කොට හට ගන්නවා. උදාහරණයකින් කියනවනම්,  අනේ මං අර ගසට පය තැබීමෙන් පවක් කරගත්තා යැයි තැවෙන සිතින් මල කෙනෙකු වෙන කිසිම වරදක් නොකලද සතර අපායෙන් එකක හට ගැනීමට පුලුවන්.
  ඉහත පැහැදිලි කිරීම් වලින් පෙනී යන තව කරුණක් ඇත. එනම් ක්‍රියාවත් ප්‍රතිඵලයත් අතර කාල වෙනසක් නෑ කියන එක. ඒක ටිකක් පැහැදිලි නැතුව ඇති. මෙහෙමයි, ඇත්තටම මැරෙන මොහොතෙදි  කර්ම සිහි වීම තමයි ඊලග භවයෙ හට ගැන්මට හේතු වුනේ. නැතුව ඒ කර්මයම නොවෙයි. මන්ද පෙර කර්ම කර තිබුනද අවසන් සිත (චුතුප්පාද සිත) අනුවයි ඊලග සිත හට ගන්නේ. ආනන්තරීය පාප කර්මයකදි වන්නේ අනිවාර්යෙන්ම කර්මයේ බරපතලකම නිසා අවසාන සිතට එය අරමුණු වීමයි. මෙහිදි දැන ගත යුතු වන්නේ ටැංකියේ කොපමන ජලය තිබුනද කරාමය විවෘත කරන තුරු ජලය නොඑන්නා සේ කොතරම් අකුසල් කලද එය පල දිමට සුදුසු වටපිටාව සකස් විය යුතුය යන්නයි. එසේම කරාමය අරිනතාක් ටැංකියේ ජලය හිස් නොවන්නා සේ කර්ම ශක්තියද පල දෙන තුරු තමා පසුපස එන බවද දැන ගතයුතුය. එසේම ටැංකියේ ජලය ස්වල්පයක් ඇති කල්හි වාශ්ප වීම වැනි ක්‍රියා මගින් අහවර වන්නා සේ සමහර සුලු කර්ම අහෝසී වී යන්නට ද හැකි බවයි. මන්ද මේ සියල්ල ශක්තීන් වන බැවිනි.

Friday, September 9, 2011

තාක්සොනේට ඇහැක් වෙච්චි දේ

දැන් බොලා අපිලා ඉන්නේ 21 වැනි සත වර්සොයේ නෙව. ඉතින් බලන්ට එපෑයැ දියුණුව. මට එකවෙලාවකට හිතෙනවා අම්මපා අපිට නැති මගුලක් නෑ නෙව කියාපිනාලා. දැන් කොච්චරවත් බයිස්කෝප් තියෙයිද එක එක තාක්සොනය පාවිච්චි කොරන. 3ඩි සවුන්ඩ්ද ,3ඩි ඇෆෙක් ද මොනවද කියයි, ඉතා පැහැදිලි වර්ණ රූප කියයි. බොලාට කියන්න මොකද මන් දැක්කව නෙව බයිස්කෝප් පෙන්නන තැනක්, බයිස්කෝප් ඒකේ තියෙන දේවල් අපිට දැනෙනව නෙව බලාපිනාගෙන යනකොට. ඕං ඒකේ පැපොල් කන දර්ශොණයක් යනකොට පැපොල් පුසුඹේ බෑ බාං. පුසුඹ කියෙව්වාම මතක් උනේ දැන් කාලේ නැති පුසුඹක් තියෙයිද නොයෙක් පරික්සොණ කොර කොර ලොවෙත් නැති පුසුඹවල් හදනවනෙව. ඕං මං අහගෙන අපේ ජැසොමින් අයියගේ පුසුඹත් හදාපිනාලලු. මී හරක්ට ගහන්ට වෙන්ටෑ මයෙ හිතේ.
 දැන් බලාන්ට එපෑයැ හොද හොටෙලේකින් කාලා දිව පිනවන්න නොකරන දෙයක් ඇත්ද දිවිය ලොකෙවත් නැතිව ඇති එයිවගේ අමුර්ත පාන. ඊලගට බැලුවම හදන තරමක් පරික්සොන කොර කොර හදාපිනාලා තියෙන්නේම සැප ගන්ටම ඔනෑ දේවල්මනෙව. උපත්පාලන කොපුද පෙතිද කියයි, කෝ හැබෑටම ඔය හිත පාලනය කොරගන්න කොපුවක් තියා විල්ලක්වත් හදාලා තියෙයි මහලොකුවට. අපිට පාඩමක් කොරන්ට හරි වෙන වැඩක් කොරන්ට හරි ගියාම තියෙන ලොකුම පුරස්නේ නෙව එක විදියකට එක අරමුණක ඕක තියාගන්ට බැරි එක. කෝ ඉතින් ඔය මහලොකු තාක්සොනේට ඇහැක් වෙලා තියෙද ඒකට මැසිමක් තනන්ට. අහවල් එක පාලනය කරන්නනම් හදාවි එක එක විගඩන් මහලොකුවට. පිනවල අහවරයක් කොරන්ට පුලුවන් එකක්ද මං අහන්නේ ඇත්තටම ඔය තාක්සොනේ පාවිච්චි කොර කොර ධනය විනාස කොරපිනාලා කරන්ට තනන්නේ?  

Thursday, September 8, 2011

16 සතිය

මිතුරා යනු දුක සැප බෙදා ගන්නා නොව දුක නැතිකර සැනසීම ලංකර දෙන්නාය

Sunday, September 4, 2011

15 කොටස

"ලංකාවේ ප්‍රථම හදවත් සැත්කම සාර්ථක වේ" යන ශීර්ෂ පාඨය ලොකු අකුරින් තිබෙනු දුටු නන්දා වහා එය යෙහෙළියගෙන් උදුර ගත්තාය. ලංකාවේ දී හදවත් සැත්කමක් සාර්ථක වූ පලමු අවස්ථාව මෙය බවද ඉන්දියාවේ සිට පැමිණි ඩොක්ටර් නරේන්ද්‍ර ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සැත්කම සිදු කර ඇති බව ද රෝගියාගේ දෙමව්පියන් ඒ පිළිබද ස්තූතිය පල කල බවද එහි වැඩි දුරටත් සදහන් වී තිබුණි.
 සවස වැඩ ඇරී එන අතරතුරදීම කරුණාරත්න වෙත මෙම ආරංචිය පැවසූ ඇය පසුවදාම කොළඹ යාමට ඇවිටිලි කලාය. පසු දින දරුවාද සමග කොළඹ පැමිණි ඔවුන් රෝහල වෙත ගොස් පුවත්පත ඉදිරිපත් කොට එම වෛද්‍යවරයා හමුවිය යුතු බව සැලකලෝය.  නමුත් ඔවුන්ට දැන ගන්නට ලැබුණේ එම වෛද්‍යවරයා දැනට කොළඹ ජාතික රෝහලට අනුයුක්තව සේවය කරන බවත් වෛද්‍යවරයා මුණ ගැසීමට එහි යා යුතු බවත්ය. එබැවින් කරුණාරත්නටත් නන්දාටත් සිදු වූයේ නැවතත් මහ රෝහල වෙක යාමටයි. එහි ගියද ඔවුන්ට වෛද්‍යවරයා මුණ ගැසීමේ අවස්ථාව ඇහිරීගියේ ඒ වන විට වෛද්‍යවරයා නැවත විදේශගතවී හුන් බැවිණි. නැවත මාස තුනකින් පමණ නැවත වෛද්‍යවරයා පැමිනෙණ බවද එබැවින් නැවත තුන් මසකින් දරුවා රැගෙන එන ලෙසද දන්වා සිටියේය.
  ඉන් තුන් මසක් ඉක්ම ගිය පසු ඔවුන්ට වෛද්‍යවරයා මුණගැසීමේ අවස්ථාව උදා විය. එහි දී දරුවා විශේෂ පරික්ෂා කීපයකටම භාජනය කෙරිණි. එහි දි අනාවරණය වූයේ දරුවාගේ හදවතෙහි සිදුරක් පමණක් නොව ශිරා දෙකක්ද සිහින් වී ඇති බවය. එබැවින් එකවර සැත්කමකින් එය සිදු කල නොහැකි බවත් එය අවස්ථා දෙකක දී සිදු කලයුතු බවත් තීරණය කෙරිණි. එසේම දරුවාගේ වයස තවම අවුරුදු දෙක බැවින් එවැනි සැත්කමක් නොකල හැකි බවද අවම වශයෙන් අවුරුදු පහ සම්පූර්ණ විය යුතු බවද තව දුරටත් දරුවා පරික්ෂා කල වෛද්‍යවරු පවසා සිටියෝය.
 නැවතත් දරුවාගැන තුබූ අලුත් බලාපොරොත්තුව ද වළාවකින් වැසි ගිය සදක් මෙන් අදුරු වන්නට විය. දරුවා නැවතත් අවුරුදු පහ දක්වා ආරාක්ෂා කිරීමේ වගකීම දෙමාපියන් මත පැටවින. නමුත් වෛද්‍යවරුන් ඒ සදහා බෙහෙත් වර්‍ග කීපයක් ද විටමින වර්ග කීපයක් ද ලබා දෙන ලෙස අනුමත කල අතර මාස හයෙන් හයට දරුවා පරික්ෂාවන් සදහා යොමු කරන ලෙස ද කියා සිටියෝය. 

Saturday, September 3, 2011

4 ලිපිය - කර්මය2

 මුලින් අපි කුසලාකුසල සහ පින්පව් අතර වෙනස උදාහරණ ඇතිව සොයා බලමු. බොහෝ විට ඔය අවස්ථා දෙකෙහිම කතා කෙරෙන ක්‍රියාවක් තමයි දානය. දානය කර්ම අවස්ථා හතරින් කුමන අවස්ථාවකට වැටේද? දන් දීම මගින් අත් හැරීමක් සිදු වේ නම් එය නිවනට උපකාර වන හැකියාවකි. එම නිසා එවිට එය කුසල් ගණයටයි වැටිය යුත්තේ. නමුත් කෙනෙක් දන් දීම තුලින් යමක් බලා පොරොත්තු වේ නම් , මාලු අල්ලන්නකු දමන ඇමක් බවට එම ක්‍රියාව පත් වෙනවා. එවිට එය අත්හැරීමේ කුසලතාව වලකන බැවින් අකුසල ගණයට වැටෙනවා. වෙනත් විදියකින් දක්වනවා නම් එයින් ලෝභය ස්මතු වීම නිසා නිවන් මග අවුරන බැවින් අකුසල් වෙනවා.
 නමුත් එය නැවත නැවත සිහිපත් කිරීමෙන් සිතට සතුටක් දැනෙන බැවින් පිනක් සිදු වෙනවා. නමුත් යමෙක් නොදී බැරි කමට දන් දී දුන් දෙය ගැන සිතමින් දුකට පත් වේ නම් එය පවක් ලෙස සැලකිය යුතුයි. මේ ආකාරයට බාහිර ක්‍රියාව එකක් ලෙස පෙනුනද සිත ක්‍රියා කරන ආකාරය අනුව විඥ්‍යාන ධාතුවට ශක්කිය ලැබෙන ආකාරය ද වෙනස් වෙන බව පේනවා. එම නිසා එක් එක් පුද්ගලයාට ලැබෙන ප්‍රතිඵල ද වෙනස් විය යුතුයි. මෙම උදාහරණයට අනුව පින් කල කෙනාද අකුසල් කල කෙනාද බොහෝ විට දෙව්ලොව යා හැකි. කුසල් කල කෙනා අත්හැරීම දියුණු කිරීම තුලින් බ්‍රහ්ම ලෝක දක්වා ගමන් කල හැකියි. නමුත් පව් නල කෙනා බොහෝ විට දුගතිගාමී විය හැකි.
 අප කරන බාහිර ක්‍රියාව අනුව මොහු යහපත්ය අයහපත්ය යැයි ස්ථීරව කිව නොහැකි ද මේ නිසාවෙනි. මේ අනුව යම් ක්‍රියාවක් සමාජයට යහපත් ලෙස බලපෑව ද එමගින් කතෘට අයහපත් ප්‍රතිඵලයක් ලබා දේ. මෙය කෙතරම් පුලුල්ද කිවහොත් යමෙකු තවකෙකුගේ ගෙල කපන්නේ ඔහු දෙව්ලොව යාමටත්, මලක් සිඹින ලද්දකු අපා ගත වීමටත් හැකියාවක් පවති. මෙහි ක්‍රියාකාරීත්වය නැතහොත් ප්‍රතිඵල ලැබෙන ආකාරය හැකි පමණ ඊලග ලිපියෙන් සොයා බලමු. 

සියතින් ගෙල මිරිකා ගැනීම

 අපේ ගැන්සිය කොයි වේලේත් මානන්නේ සැට් වෙන්න ස්පාසුවක් ලැබෙනකම් නෙව.මං නං ඉතින් ඔය සුරාව හැරලයි බොල ඉන්නේ. ඉතින් බොලාට කියන්න මං ඒවා ඇරියට මොකද ඔය බයිට් ටිකයි සැන්ඩියී අරින්නේ නෑ. මාත් සැට් එකත් එක්කම තමා.
        ඉතිං ඕං කස්ටිය පඩි කොල දෙක තුනක් වියපැහැදම් කොරලා ජොලියක් දාන්ට සැට් වෙනවයි කියමුකෝ. බෝතල් දෙකක් විතර අහවර වෙනකොට නෙව ජොලිය තියෙන්නේ. එකෙක් පටන් ගන්නවා මට ඇති වගේ බං මං පොඩ්ඩක් එලියට ගොහින් එන්නම් කියල යන්න. මායි තව එකෙකුයි විතරයි නෙව කෙලින් කටින් ඉන්නේ. ඉතින් ඕං අපි දෙන්නා ගෙහුන් බලනකොට මූ කබරයා දානවා. ඕං අරූ පැනලා පිට අතගානවා, මූ බඩ අතගා ගන්නවා. ඒ පාර තව එකෙක් ගේ ඇතුලෙම කබරයා දාලා. ඉතින් කුම්බලායින් මාළු කෑවානම් විදවාපන් බළලෝ කියන්නැහේ බයිට් කාපිනාලා සැන්ඩි බීවානම් අස්කොරාපන්කෝ අපි දෙන්නා. ඒක අහවර වෙන කොට තව එකෙක් මිදුලෙ දපලා බඩගානවා. සමහරක් විට පිගානක් වීදුරුවක් පොලවෙ අතාරිනවා.ඉතින් ඕං ඔලුව කැරකෙනවා, මත් වෙලා විකාර දොඩවනවා, පස්සෙන් පහු වෙන්දාත් ඇගට අමාරුලු.  ඕං ඔහොමතමා ආතොල් එක හමාර වෙන්නේ. 
  හැබැටම ඔයි තරම් අමාරුවෙන් ඔක උගුරට දමාපිනා ගන්න ඕක අමුරුත රස වෙන්ටෑ කියලා මූඩියෙන් එකක් මාත් දමාපිනා ගතිමි කියමුකෝ. ඕං එතකොට තමා තේරුණේ මක්කෙයි ඕකට ගිනි වතුර කියන්නෙ කියාලා. ඒ වංගියේ ඒක උගුර කට පුච්චාගෙන ගෙහුන් ආමාසෙත් දවාපිනාලූවනෙව. ඒ විතරක්යෑ ඉහමොලත් රත්වෙලා කදුලුත් පැනපි. මස් කෑලී තුන හතරකට වගකියල තමා ඒ දාහේ නිවා ගත්තේ. අම්මාපල්ල මුන් මොන මගුලකට මේ දහජරාව බොනවද මන්දා. තෙලිඡ්ඡ නං ඕං පැණි රසවත් කිව හැකි.

Thursday, September 1, 2011

15 සතිය

මේ ලෝකෙ නිර්මාණය වී තිබෙන්නේ ගතිගුණ වලින් පමණි.