Saturday, January 26, 2013

වල්මත් වී....

කවුද එතැන ඉන්නේ //
එගොඩහ ඉවුරේ -නාරි ලතාවේ
කවුද එතැන ඉන්නේ

බිරිදත් දරුවොත් ඔරුවේ ඉන්නේ
ඔරුව ගිලී යන්නේ
එනමුත් මා නෙත් ඒ දෙස නොබලයි
කවුද එතැන ඉන්නේ

ගගුලෙහි ජලයත් කැරකී කැරකි
දිය සුළි නංවන්නේ
බටුයෙමි දියබට ඈ දැක ගන්නට
කවුද එතැන ඉන්නේ

Wednesday, January 23, 2013

45 සතිය

ඕනෑම දෙයක් දැඩි විශ්වාසය ද දැඩි අවිශ්වාසයද මුලාවට හේතු වේ.

Sunday, January 20, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 2

අරවින්ද ත් මමත් කුඩා කාලයේ පටන්ම මිතුරෝ විය. අප දෙදෙනාම ගියේ එකම පාසලටය. ඔහු කුඩා අවදීයේ දීම ඔහුගේ පියා ඔවුන්ව හැර දමා ගොස් තිබිණ. කූඩා කාලයේ පටන් ඔහුව හදා වඩා ගැනීමට බේබි නැන්දා නොගත් උත්සහයක් නොමැත. ගල් කැඩූවාය. ලණු ඇඹරුවාය. පොල් අතු විව්වාය. කූලී වැඩ කලාය. කඩවල් වලට ආප්ප පිච්චුවාය.

 ඔහුත් මාත් උසස් පෙළ දක්වාම එකම පන්තියේ ඉගෙන ගත්තෙමු. ඔහුට උසස් පෙළට සාමාන්‍ය සාමාර්ථ තුනක් සමග සම්මාන සාමාර්ථයක් තුබුනේය. මට සම්මාන සාමාර්ථ දෙකක් සමග අධි සම්මාන සාමාර්ථ දෙකක් තිබුණි. එබැවින් සරසවි වරම් ඔහුට අහිමි විය. මා සරසවියට බදවාගෙන ඇති බව දැනගත් ඔහු හුගාක් සතුටු විය. ඊට සතියකට විතර පසු ඔහු රස්සාවක් හොයාගෙන කොළඹ යන බව පවසා ගෙදරින් පැනගොස් තිබිණ. ඉන් පසු මට ඔහුව මුණ ගැසුනේ මා නිවාඩුවට ගෙදර පැමිණි එක් අවස්ථාවකත් බේබි නැන්දාගේ ඉලව් ගෙදරදීත් පමණි. පළමු වර හමු වූ අවස්ථාවේ ඔහු පැවසුවේ තමා ලොකු ගොඩනැගිලි ඉදිකිරීම් වැඩපලක වැඩ කරන බවය. 

“කොහුවල බහින අය ඉස්සරහින් බැහැගන්න“

ඒ හඩින් නැවතත් පියවි ලොවට ආ මා විගහට බසයෙන් බැස ගතිමි.
කොහුවල හන්දියෙන් බැස ගත් මම අසල පිහිටි ලොතරැයි කූඩුව වෙතට ගියෙමි. මොහිදිම්බෙක් මහතාගේ
“සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා“ ගීතය හි හඩ යටපත් කරගෙන මා “ මේ උන්නැහේ කැළණි හෝල්ට් කොහෙද තියෙන්නේ“යැයි කූඩුව තුල උන් පුත්ගලයාගෙන් විමසිමි.
“ ආ.... මේ.. කැළණි හෝල්ට් ද? ඔහොම උඩහට කෙලින්ම ගියාම බස් ගහල ඇති මහත්තයා “ කියූ ඔහු මිටියක් ගෙන ලැල්ලෙහි ඇති ඇණ වලට තට්ටු කරන්නට විය.
“බොහොම ස්තූතියි මහත්තයා“ කියූ මම එතැනින් පිට විය. තවමත් යකඩ කටින් ගීතය වාදනය වෙමින් පැවතින.
පන ගියත් පෑගී අද වාසනාව අද අදිනවා.....

කැළණි හොල්ට් එකට ආ මට 2 වන පටුමග සොයා ගැනීම අපහසු නොවිණි. එහි මදක් දුර ගිය විට කොල පාට ගේට්ටුවක් සහිත දෙමහල් ගොඩනැගිල්ල පහසුවෙන්ම සොයා ගත හැකි විය. ඇත්තටම අරවින්දගේ දියුණුව දැක මට මහත් සතුටක් ඇතිවිය.
මම ගේට්ටුවට දෙවරක් තට්ටු කලෙමි. ටික මොහොතකින් ගේට්ටුව විවෘත වී කාන්තා මුහුණක් එලියට එබින. මද වෙලාවක් මදෙස බලා සිට “කරුණාරත්න ?“ යැයි ඇසීය.
මමද සිනාසී හිස සැලුවෙමි.
“ආ එන්න එන්න මහත්තයා අපෙ එක්කෙනා කිව්වා මහත්තයා අද මෙහෙ නවතින්න එන වගක්. එයාට අද වැඩනේ මං හිතන්නේ හාර්ෆ් ඩේ එකක් දාලා ඒවී. “
“මිසිස් අරවින්ද මීට කලින් මාව දැකල නැතුව ඇති. මට මගුල් ගෙදරවත් එන්න හම්බ උනේ නෑනේ“ මා ඇසිමි.
“ආ ඔව් ඔව් මට අරවි, මහත්තයා ගැන කියලා තියෙනවා ඕන තරම්. එන්න මහත්තයා ඇතුලට. එහෙන් උදේම එන්න ඇත්තේ. ගේ හොයා ගන්න අමාරු උනේ නෑ නේ?“ ඈ විමසීය.
“ඔව් උදේ 5.30හේ ආවේ. ගේ හොයා ගන්න අමාරු උන්නෑ. තට්ටු දෙකේ ගෙයක් තියෙන්නේ මේ ගේ විතරනේ “. මා එසේ කියූ විට ඇගේ මුහුණට ආඩම්බර බවක් ආරූඪ විය.
“ ඉදගන්න මහත්තයා.  මහත්තයා අපේ මහත්තයාට සෑහෙන්න උදව් කලාලු නේද ඉගෙන ගන්න කාලේ.“

ඇත්තටම අරවින්ද මුල අමතක නොකරන හොද මිත්‍රයයෙකි. “ ආ ඔව් අපි දෙන්නා උසස් පෙළ වෙනකම්ම එකටමයි හිටියේ.“
“ඉන්නකො මං බොන්න මොනව හරි හදන් එන්නම්. එතකන් මහත්තයා මෙතනම ඉන්නවද කාමරයට ගිහින් ඉන්නවද ? හ්ම්ම් කමක් නෑ එන්නකො කාමරය පෙන්නන්න. “

ඈ සාලය අසලම වූ කාමරය වෙත පිය මැන්නාය. මාද ගමන් මල්ල රැගෙන ඈ පසු පසින් කාමරයට ගියෙමි.දොර අසලම බිත්තිය අයිනේ එහි ඇදක්ද, දොර කෙලින්ම වූ බිත්තියේ ජනේලය අසල ලියන මේසයක්ද , ඇදට ඉහලින් ඇදුම් රදවනයක් හා ඒ අසලම අල්මාරියක් ද විය.
“බොහොම ස්තූතියි මිස්.“ කියු මම ඇද උඩ ඇදුම් බෑගය තබා ඒ අසලින් හිද ගතිමි. ඇය කාමරයෙන් ඉවත් විය.
Next chapter - http://asanka-mind.blogspot.com/2013/02/3.html

Thursday, January 17, 2013

11 ලිපිය - සතුට 2

සතුටින් ඉදීමේ ලෝක සම්මත ක්‍රමය නම්. “ඔබට උවමනා දේ ඉටු කර ගැනීම“ යන්නයි. ඒ අනුව,
තරහව නැති වන්නේ පලි ගැනීමෙන්.
දුක නැති වන්නේ නැති වූ දේ ලබා ගැනීමෙන් හෝ එසේ නොහැකිනම් මිය යාමෙන්.
අසාව නැති වන්නේ ඒ දේ ලබා ගැනීමෙන්.

නමුත් ඒ ක්‍රමයෙන් සතුට ලබා ගැනීම සාර්ථකද? ඔබ තරහ ගිය විට එකට එක කීරීමට ගියොත් ඔබට බයෙන් ඉන්න වෙනවා. මොකද නැවත කොයි වේලේ හෝ ඔහු/ඇය නැවත මගෙන් පලි ගනීවී කියලා.
ඒ වගේම ඔබ සතු කිසිවක් නැති උනොත් ඔබ දුක් වෙනවා. නැවත එය ලැබෙන තෙක්ම හෝ කාලයත් සමග දුක නැතිවන තෙක්ම. නැතිනම් දුක ඉවසන්න බැරුව සියදිවි හානි කර ගනීවි.
ඔබට යම් කිසිවකට ආස හිතුනම එය ලබා ගන්නකම් සැනසුමක් නෑ. ඒත් ඒක ලැබුනම ඔබට වෙන දෙයක් ඕන වෙනවා. කවදාවත් සෑහීමකට පත් වෙන්නෙ නෑ.
දැන් පැහැදිලි ඒ ක්‍රමයට සතුට හොයන්න ගියොත් ඒක මරණයෙන් තමයි කෙලවර වෙන්නේ. දැන් ඔබට වාහනයක් ගන්න හිතුනම වාහනයක් ගත්තොත් ඒකෙන් සතුටක් ලැබේවී. ඒත් මෙච්චර කල් නොතිබූ ගැටළු රාශියක් අලුතෙන් ඇවිත්.
*වාහනය නඩත්තු කරන්න ඕන.
*සොරුන්ගෙන් ආරක්ෂා කරන්න ඕන.
*අනතුරු වලින් ආරක්ෂා වෙන්න ඕන.
*සමහර විට ෆිනෑන්ස් ගෙවන්න ඕන.
 බලන්න ඔබට සැනසීම ලැබිලද කියලා.

හොදයි, සතුට අපිට තාවකාලික හා සදාකාලික කියලා බෙදන්න පුලුවන්. සදාකාලික සතුට ලබන්න නිවන් දකින්න වේවී. තාවකාලික සතුට ක්‍රම දෙකකට ලැබිය හැකි. එකක් ඉහත සදහන් කල ක්‍රමය. ඒත් ඒ ක්‍රමයෙ දුර්වලතා තියෙනවා. එකක් ඒකෙන් අනිටු ප්‍රතිඵල ලැබීම. අනික සැනසීම ලැබීමට කල් ගත වීම.
අනෙත් ක්‍රමය සිත හදා ගැනීමයි. ඒක ටිකක් අපහසු ක්‍රමයක්. නමුත් ඒකෙන් අනිටු විපාක ලැබෙන්නෙ නෑ. අනිත් එක ඒ ක්‍රමය පුරුදු උනොත් දුක, බය, තරහව වගේ සිතුවිලි ක්ෂණයකින් නැති කර ගන්න පුලුවන්.

මා ඉදිරියෙදි කතා කරන්නේ අන්න ඒ ක්‍රමය කොහොමද ප්‍රායෝගිකව යොදා ගන්නෙ කියලා. ඒකත් ක්‍රම දෙකක් යටතේ සාකච්ඡා කරනවා.
1. වෙනත් කෝණයකින් බැලීම
2. අත් හැරීම.

ඊළග ලිපියෙන් මේ ගැන සකච්ඡා කරමු. ඔබට නිවන් සුව ලැබේවා !

Monday, January 14, 2013

44 සතිය

ප්‍රේමයට බලාපොරොත්තු ඇත. ආදරයට බලාපොරොත්තු නැත.

Saturday, January 12, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 1

ගෙදරින් උදේ 5.30 බස් එක අල්ලගත්ත නිසා අව්ව වැටෙන්න කලින් කොළඹට ආවා. නැත්නම් අව්වේ ඇවිදින්න ගියානම් පිස්සු හැදෙනවා මා මටම කියා ගත්තේ  තවමත් උදේ 9.20 බැව් අත් ඔරලෝසුවේ සටහන් වී ඇති බව දැකිමෙනි. 120 බස් එකක් බලලා නැගගත් මම ජනේලයක් අසල ඉදගත්තෙමි.

තවමත් සමහර කඩ වසා ඇත. සමහර කඩවල සේවකයින් දුම් අල්ලති, කහ වතුර ඉසිති. සමහරෙක් මැස්සන් එලවිමේ අදහසින් ද එසේ කරයි. හිගන්නෝ නම් උදැසනින්ම වැඩ අරඹා ඇත. එක් යාචකයෙක් කඩයක් ඉදිරියේ සිටගෙන සිටි. කඩේ මුදලාලි හදුන්කූරු කීපයක් දල්වා භාණ්ඩ වලට ද දුම් අල්ලා බිත්ති මුල්ලේ වූ කුටියක ගසා වැදගෙන මොනව ද මුමුණන්නට පටන් ගත්තේය. යාචකයා ද මේ සියල්ල අවසන් වනතුරු ඉවසිල්ලෙන් බලා සිට කඩයේ දොරකඩට ගොස් කිසිවක් ඉල්ලන අයුරින් අත දික්කලේය. එවිටම මුදලාලි ඔහුගේ ඇගට කඩා පැන්නේය.
“යනවා මිනිහො යන්න ආවා උදේ පාන්දරම.... දවසම ....“ බසය ඉදිරියට ඇද්දු බැවින් නෙත් දර්ශන තලයෙන් ඉවත් විය.

කොන්දොස්තර මහතා බසයේ ඉදිරිපස සිට පිළිවෙලින් ටිකට් කඩමින් එනු දැක මා නැවතත් කමිස සාක්කුවේ තිබූ කොල කෑල්ල ගෙන පිරිස්සා ඇතුලට දාගත්තේය. මදක් එසවී පිටුපස කලිසම් සාක්කුවෙන් මුදල් පසුම්බිය ගෙන  රුපියලේ කොලයක් හා දෙකේ කොලයක් අතට ගත්තෙමි.
“කොහුවලට කීයද? “ මම ඇසිමි.
“35 යි“.
මම රුපියලේ කොලය දික් කලෙමි.

දෙහිවල ජල සම්පාදන මණ්ඩලයට පලමු පත්වීම ලැබුණු බැවින් කොළඹ නවාතැනක් සොයා ගැනීමට මට සිදුවිය. ඒ ගැන මගේ මිතුරෙකු ට දන්වා කූලී නිවසක් සොයා ගැනීමට තීරණය කලෙමි. මගේ කුඩා කාලයේ සිටම අතිජාත මිත්‍රයකු වූ අරවින් ද මට අන්තිමට මුන ගැසුනේ ඔහුගේ මවගේ මළ ගෙදරදීය. එදින ඔහුගේ ලිපිනය ඉල්ලා ගැනීමට මට හැකි විය.
මා යැවූ ලිපියට පිලිතුරු වශයෙන් ඔහු කියා තිබුනේ හදිසියේම කූලී ගෙයක් සොයා ගැනීම අපහසු බවත් නිවසක් සොයා ගන්නාතෙක් තම නිවසේ නතරවන ලෙසත්ය.

Next chapter - http://asanka-mind.blogspot.com/2013/01/2.html

Wednesday, January 9, 2013

11 ලිපිය- සතුට 1

ඔබේ මීලග සහ අවසාන බලාපොරොත්තුව මොකක්ද?  කියලා මං ඇහුවොත් එක එක පිලිතුරු මට ලැබේවී. ගෙයක් හදා ගැනීම, හොද රස්සාවක් හොයා ගැනීම, දරුවන් විවාහ කරදීම ආදී නොයෙක් දේවල්. ඒත් මේ හැම බාලාපොරොත්තුවකම අවසාන අරමුණ නම් සැනසුමෙන් ඉදීම. එහෙමත් නැත්නම් සතුටින් ජීවත් වීම. ඇත්තටම නම් අපිට ඕන දුකක් නැතිව ජීවත් වීමටයි. ඒක තමයි නියම සතුට.

මොකද සතුට කියන්නේ හිනාවෙලා ජොලියෙ ප්‍රීතියෙන් ගත කිරීම කියලා ඔබ හිතනවනම් ඔබට එය හැමදාම කල නොහැකි දෙයක්. මොකද විනෝදයෙන් කාලය ගත කිරීම කියනඑක යමක් ලබා ගැනීමෙන් ඇතිවන දෙයක්. සාදයක්, උත්සවයක්, විනෝද චාරිකාවක් වගේ අවස්ථාවකදී හෝ තමා බලාපොරොත්තුවන කෙනෙක් දෙයක් ලැබුනොත් තමා අපි ප්‍රීතියට පත්වෙන්නේ. ඒ හැම දෙයක්ම තාවකාලිකයි.

හැබැයි අපිට පුලුවන් හැමදාම සතුටින් ඉන්න. ඒ තමයි දුකක් නැති කම. සමහරවිට ඔබ රට රැකියාවකට යන්නෙ යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව. ඒ හැම බලාපොරොත්තුවකම අවසාන අරමුණ සතුටින් ජීවත්වීම. මට ගෙයක් හදා ගත්තොත් මගේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි. එහෙම නැත්නම් මට මෙයාව ලබා ගන්න තියෙනවනම් ඊට වඩා සතුටක් නෑ. ඔබ ඉතාම දුප්පත් කෙනෙක්නම් කියාවී අනේ මහත්තයෝ මට තුන් වේල කාලා ඉන්න ඇත්නම් ඒ ඇති කියලා. සමහර විට ඔබට හැම සම්පතක්ම තියෙනවනම් කියාවී මට කිසිම සැනසිල්ලක් නෑ මහත්තයෝ කොයි වෙලේ ගෙට හොරු පනීද කියලා.

මං ඇහුවොත් සතුටින් ඉන්න කෙනෙක්ගෙන් ඔයාට තව මොනවත්ම බලාපොරොත්තුවක් නැද්ද කියලා එයා කියාවී මට වාහනයක් විතරයි අඩු එහෙම නැත්නම් මට දරුවො දීගතල දුන්නට පස්සෙ මන් නිදහස් කියලා. ඉතාමත් කලාතුරකින් කෙනෙක් තමයි කියන්නේ මං හරිම සැහැල්ලුවෙන් ඉන්නේ මං ඉතින් මැරෙනකම් මෙහෙම ඉන්නවා කියලා. ඒත් ඒ ගොඩක් වෙලාවට සැදෑ සමය ගත කරන අය. ඒ අයත් එහෙම කියන්නෙ ලෙඩක් හැදෙනකන් විතරයි.

ඔබට ඔබේ දරුවා හෝ මව්පියන් හෝ ප්‍රේමවන්තයා /වන්තිය මැරුනොත්, වේදනාකාරී ලෙඩක් හැදුනොත් හෝ වෙනත් විය හැකි ඕනෑම තත්වයක දී කියන්න පුලුවන්නම් ඕවා ඔහොම තමයි මට ඕවයෙ ගානක් නෑ කියලා සැහැල්ලුවෙන් ඉන්න.

මේ ලිපි පෙලින් මං උත්සහ කරන්නේ ප්‍රායෝගිකව මං අනුගමනය කරන, දුකක් හෝ සිත් තැවුලක් සිතට ආ විට එය නැති කරගන්නා ක්‍රම කීපයක් ඔබ සමග බෙදා ගන්නයි.  ඒ ක්‍රම කෙතරම් පහසුවෙන් ඔබට අනුගමනය කලහැකිදැයි යන්න නම් කිව නොහැක. 

නිවන් සුව ලැබේවා !

Sunday, January 6, 2013

43 සතිය

භාහිර අරමුණු වලට සිත පීඩාවට පත් කරන්න ඉඩ දෙන්න එපා. ඒ සියල්ල සිහිනයන් සේ බැහැර කරන්න.

Friday, January 4, 2013

කතෘගෙන්.....

මං කිව්වනේ අලුත් අවුරුද්දේ අලුත් කතාවක් කියනවා කියලා. මේක හැබැයි ඉතින් මගේම කතාවක් නෙවෙයි. මේක අපේ පියාණන් විසින් ලියපු කතාවක් ඇසුරින් ලියන එකක්.

අපේ තාත්තා වාසිටියේ ඉන්දැද්දි ලියපු නව කතාවක්  අහම්බෙන් වගේ මීට අවුරුදු  10කට විතර කලින් මා සතු වුනා. ඒකේ නම තමයි “පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු“. මං ඒ කතාව තුන් පාරක් විතර කියෙව්වා. ඒක ලියල තිබුණේ තාත්තාගේ යාලුවෙකුගෙ අත් අකුරින් ඒ කියන්නේ ඒක තමයි ඔරිමජිනල් පොත. මන් ඒක මීට අවුරුදු 8කට විතර කලින් මගේ මිත්‍රයෙක් ට කියලා බයින්ඩින් කරවගෙන තියා ගත්තා. නුමුත් කවුරුන් හෝ විසින් ඒක අරගෙන.

මං හිතුවා ඒ කතාව ඔයාලට කියන්න ඕන කියලා. තාත්තා ලියපු විදියට නොවුනත් ඒ කතාව මට මතක හැටියට හෝ ඔබට කියන්නේ ඒ කතාවෙන් මේ සමාජය ගැන හොද පාඩමක් කියාදෙන නිසයි. මං හිතනවා ‘මගේ කතාව‘ වගේම නැත්නම් ඊටත් වඩා ඔයාලා මෙ කතාව වැලදගනී කියලා.

Next chapter - http://asanka-mind.blogspot.com/2013/01/1.html

Wednesday, January 2, 2013

වෙනස

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම !.

මං ප්‍රාර්ථනා කල පලියට අවුරුද්ද සුභ වෙනවනම් ඉතින් මොනා කරන්න බැරිද නේද?. කමක් නෑ ඉතින් ඒක අපේ සංස්කෘතිය නෙව. ඉතින් තවත් දින දර්ශනයක් ඉවර උනා. අවුරුදු 1.5 ක් විතර වෙන මගේ බ්ලොගිය දිහා බැලුවම මහ ලොකු ප්‍රසිද්දියක් නැතත්  යම් ජනප්‍රියතාවයක් ඇති බව පේනවා. පෝස්ට් 150ක්, අනුගාමිකයන් 28ක්, කොමෙන්ට් 150ක්, කට්ටිය 4500ක් විතර ඇවිත් ගිහින් තියෙනවා. මෙතෙක් කල් මා සමග හිටපු හැමෝටම බොහොම ස්තූතියි !.

මේ අවුරුද්දේ මං හිතුවා වෙනසක් කරන්න. මහ ලොකු වෙනසක් නෙවෙයි. මගේ කතාව පළමු පරිච්ඡේදයත්, යථාර්තය සොයා යෑමේ ගමනත් අවසන් කරපු නිසා මං හිතුවා වෙනස් මාතෘකා දෙකක් පටන් ගන්න. මගේ කතාව වෙනුවට ඉදිරියට ඔයාලට මම නව කතාවක් ගේන්නයි ඉන්නේ. යථාර්තය සොයා යෑම (මං හිතනවා ඔයාලට දැන් ලෝකය ගැන හොද අවබෝධයක් ඇති කියලා ) අවසානයේ මං හිතුවා අපේ රටපිට ඉන්න මිත්‍රයන්ටත් ප්‍රයෝජ්ජන් වෙයි කියලා සතුටින් සිටිමේ ක්‍රම කීපයක් විස්තර කරන්න.

ඉතින් මං හිතනවා මෙතෙක් කල් මාත් එක්ක හිටිය වගේම ඉදිරියටත් ඔයාලා මාත් එක්ක ඉදී වී කියලා. එක් පුද්ගලයෙක් හෝ මගේ ලිපි කියවලා ප්‍රඥාව දශමයකින් හෝ වැඩි කර ගත්තානම් ඒ තමා මගේ එකම බලාපොරොත්තුව. ඔබ සැමට නිවන් සුව ලැබේවා !