Wednesday, February 26, 2014

සෙව්වන්දිය

රූ රාජිනි
නෙත් අගින් පෑ නූරා ආරධනා
මුලා වේ වී ඇදී යාවී
රූ සොබා සෑමදා නිශාන්තේ දී
කුල්මත් කලේ  මා නෙත් විලේ

තිගේ මල් මුවින් වැහේනා මී විතෙන්
තෙමාපන් ලදේ සහසි මාගේ ලවන්
උරා බී මී නුරාවෙන් වෙලී
සොයාපන් ඇගේ රහස නිල් තණ මතින්

හොවා ලැම හසුන් ලයට මාගේ සෙමින්
තෙමාපන් තිගේ ළ මැද මුදු උණුසුමින්
එන මෝදු වී සේ මල පිපී
තබාපන් දසන් ලකුණු කැකුලෙහි තුඩින්

Monday, February 24, 2014

89 සතිය

මා නිවනට යොමු කරන්නාද, හුදෙක් මගෙන් උදව් ලබාගන්නාද මාගේ කල්‍යාණ මිත්‍රයන්ය. මන්ද ඔවුන් මට අත්හැරීම පුහුණු කරවයි.

Saturday, February 22, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 22

 “මගේ උපන් ගම මහත්තයා බදුල්ලේ, බදුල්ලේ ස්ප්‍රින්වැලි වල. ඒ කාලේ අපේ අම්මලා වැඩකරල තියෙන්නේ සුද්දන්ගේ තේ වතුවල. ඉතින් අපේ ආච්චි ගැන වත්තෙ සුදු මහත්තයගේ හිත ගිහින් ආච්චිව කසාද බැදලා තියෙනවා. ඉතින් අපේ අම්මා ඉපැදෙද්දි හරිම සුදුයි ලු. ඒ කාලේ අපේ අම්මා තරම් ලස්සන කෙනෙක් ඒ පාලාතේ නැතිතරම්ලු. ඉතින් අම්මට මාව ලැබිලා අවුරුදු දෙක තුනක් යද්දි කරදරයක් වෙලා තියෙනවා. කවුරුහරි සල්ලාලයෙක් අපේ අම්මාව මරලා. ඒ සිද්ධියෙන් පස්සේ අපේ තාත්තා මාවත් අරන් කොළඹ ඇවිත් තියෙනවා. මොකද මාත් ඒ කාලේ හරිම ලස්සනයි ලු. ඉතින් තාත්තට මං ගැන බයක් ඇතිවෙලා තියෙනවා ඒ පළාතේ තියා ගන්න. 

තාත්තා මාවත් අරන් කොළඹ ඇවිත් කුළිවැඩ කර කර ගෙවල් ගානේ ගිහින් තමා මාව බලාගෙන තියෙන්නේ. ඉතින් ඔහොම තැන තැන යද්දි ජයසිංහ මුදලාලීගේ ගෙදරටත් ඇවිත් තියෙනවා. එහේ දවසක් දෙකක් නැවතිලා කූලී වැඩක් කරලා. එහේ ඉන්නවා මගේ වයසම ගැණු ළමයෙක්. එයත් එක්ක මං ඒ දවස් දෙකට හොදටම යාලුවෙලා ඉදල තියෙන්නේ. ඉතින් අපි එහෙන් එද්දි එයා හොදටම අඩන්න පටන් අරන්. ඒක නිසා ජයසිංහ නෝනා කිව්වලූ තාත්තට, මාව හදාගන්නම් මාව එහේ තියල යන්න කියලා. තාත්තා ඒකට ගොඩක් කැමති වෙලා. මොකද මං ගෑණූ දරුවෙක්. තැන තැන එක්ක යන්නත් බෑ. ගෑණූ ළමයෙක් තාත්තා කෙනෙකුට හදාගන්න අමාරු වැඩක්නේ. අනික ඕන වෙලාවක ඇවිත් මාව බලලා යන්නත් පුළුවන්නේ. 

කොහොම හරි කාලයක් යද්දි තාත්තා පොඩි ගෙයක් හදා ගත්තා ලෑලි වලින් මරදාන කොච්චිපාර අයිනේ. ඒත් තාත්තා මාව ලොකු වෙනකම් හදාගන්න ජයසිංහ නෝනටම බාර දීලයි තිබුනේ. ඒ නෝනාත් අපි දෙන්නටම හරිම ආදරෙයි. එයාගේ දුවයි මායි කියලා වෙනසක් කලේ නෑ. මායි අනූෂායි එකටමයි ස්කෝලේ ගියෙත්. 

ඔහොම අපි සතුටින් කාලයක් හිටියා. ඒත් මං ලොකු ළමයෙක් උනාට පස්සේ ජයසිංහ මුදලාලි මට වැඩිපුර ආදරේ පෙන්නන්න පටන් ගත්තා. සමහර වෙලාවට මාව ඇදල අරන් උකුලෙන් තියාගෙන ඔලුව අතගානවා, මූණ ඉඹිනවා, එක එක රසකැවිලි හොරෙන් ගෙනත් දෙනවා. මං මුලින් හිතුවේ මුදලාලි මට තාත්තා වගේම ආදරෙයි කියලා. ඒත් මට තේරුණා ඒ හැම දෙයක්ම කලේ එක්කො ගෙදර කවුරුත් නැති වෙලාවට, එහෙම නැත්නම් කවුරුවත් පේන්න නැති වෙලාවට කියලා. මට අවුරුදු 16ක් විතර වෙද්දි මුදලාලිගේ හැසිරීම එන්න එන්න නරක අතටයි හැරුණේ. සමහර වෙලාවට ගෙදර කවුරුත් නැති වෙනකං ඉදලා මගේ කාමරේට ඇවිත් මගේ දුවට මං හාද්දක් දෙන්න ඕන කියලා මාව බදාගෙන හේමිට නරක තැන් පවා අල්ලන්න හැදුවා. ඒ වෙලාවට මං මොකක් හරි බොරුවක් කියලා බේරිලා එනවා. මට එවා කියන්න කෙනෙක් නෑ. අම්ම කෙනෙක් නැති අඩුව මට හොදටම තේරුණේ ඒ කාලේ. 
කොහොම හරි ටික දවසක් යනකොට ජයසිංහ නෝනාට මේක තේරුණා. ජයසිංහ නෝනා කිව්වා වහාම මාව තාත්තා ගාවට යවන්න කියලා. ඊට පස්සේ මං තාත්තත් එක්ක තමා හිටියේ. තාත්තා, මට එහේදී වේච්චි කිසි දෙයක් දැනං උන්නෙ නෑ. ඒත් හදිස්සියෙම අපිට ආයේ හෙනහුරා පාත්උනා මහත්තයා. අපේ තාත්තා ගහකින් වැටිලා අසනීප උනා. ඉතින් ජයසිංහ මුදලාලී තාත්තව බලන්න ඇවිත් තාත්තට කිව්වා ඇක්මන් උන්නැහේ දුක් වෙන්න එපා, ඔක්කොම වෙන්නෙ මනුස්සයොන්ටනේ, මං දුවට රස්සාවක් හරිගස්සලා දෙන්නම් කියලා.

ඉතින් මහත්තයා ඒ මිනිහා මට දුන්නු රස්සාව තමා මේ. මුලින්ම මාව ස්ටාර් සර්විස් ආයතනයේ වැඩට දැම්මා. ඒ දීලා සතියක් විතර ගියාට පස්සේ ඒකේ අයිතිකාර මහත්තයා ඇවිත් ඇහුවා එයාගේ නංගිගේ වයින් ස්ටෝර්ස් එකේ වැඩ කරන්න කැමති ද කියලා. මං මුලින්ම ඒකට කැමති උනා. මොකද තාත්තගේ බේත් වලටත් ගොඩක් වියදම් තිබුණා. ඒත් එතන ගිහින් ඇග විකුනන්න තියෙන්නේ කියලා දැනගත්තාම මං ඒකට විරුද්ධ උනා. නමුත් ඒ මිනිහා මට තර්ජනය කලා රස්සාව දිගටම කරන්න ඕන්නම් එතනත් වැඩ කරන්න කියලා. 
මගේ තාත්තට දැන් අංශභාගේ මහත්තයා. මං කොහොමද රස්සාවක් නොකර තාත්තව බලා ගන්නේ. මට වෙන කරන්න දෙයක්  තිබුනේ නෑ මහත්තයා“ කී ඈ අඩන්නට පටන් ගත්තා.

 මං ඒ කතාව අහං හිටියේ දැහැනට සම වැදිලා වගේ.මට උන් හිටිතැනුත් අමතක වෙලයි තිබුනේ.

Next chapter - http://asanka-mind.blogspot.com/2014/03/23.html

Saturday, February 15, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 8

මගේ පටිච්ච සමුප්පාද විවරණය කියවූ කෙනෙක්ට එන්න පුලුවන් එක් ගැටළුවක් තමයි සියලු හේතූන් ද ඵලයන්ද එක විටම ඇති වී එකටම නිරුද්ධ වනවා නම් කොහොම ද කර්ම ඵල විග්‍රහ කරන්නේ කියන එක. ඒ ගැන යම් විස්තරයක් මගේ කර්මය3 ලිපියේ සදහන් කලා. නමුත් මං මෙතැන දී එක් උදාහරණයකින් එය පැහැදිලි කරන්නම්.

එක ළමයෙක් වැස්සට තෙමෙනවා. මේ හේතුවෙන් මේ ළමයට උණ හැදෙනවා. මේ දරුවා පරික්ෂා කරන වෛද්‍යවරයා බෙහෙත් නියම කරනවා. දැන් මේ ළමයගේ මවගෙන් ඇහුවොත් උණ ගන්න හේතුව අම්මා කියාවී වැස්සෙ තෙමුණ නිසා කියලා. නමුත් වෛද්‍යවරයා කියා වී වෛරස් එකක් ශරීරයේ තියෙනවා ඒ නිසා උණ හැදිලා කියලා. දැන් මෙතැන කවු ද හරි උත්තරය දුන්නේ? අම්මා ද වෛද්‍යවරයා ද? අපිට පේනවා දෙන්නම හරි. නමුත් අම්මා ට ළමය ව සුව කරන්න බෑ. මොකද අම්මා කියන්නේ අතීත හේතුවක්. ඒ වගේම ඒ උත්තරය 100%ක් හරි නෑ. මොකද ඇත්තටම වැස්සට තෙමුණ නිසා නම් උණ ගන්නේ, තෙමෙන හැමෝටම උණ හැදෙන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නෑ. වෛද්‍යවරයා කියන්නේ වර්තමාන හේතුව. ඒකට වෛරසය නැතිකලාම උණ නැති වෙනවා. ඒ වගේම ඒ වෛරසය තියෙන හැමෝටම උණ හැදෙනවා. ඒ නිසයි ධර්මය පච්චුප්පන්න කියන්නේ.
ඒ වගේ අපිට යම් ප්‍රතිඵලයක් දුටු විට එහි හේතුව ද ඒ වෙලාවේම දකින්න පුලුවන්. එසේම ඒ හේතුවට හේතුව, නැවත ඒ හේතුවට හේතුව ආදී වශයෙන් අතීතයට බැලීමෙන් අතීත හේතුවක් ද දක්වන්න පුලුවන්. මං හිතනවා ඒ ගැටළුවට ඒ උදාහරණය ප්‍රමාණවත් කියලා.

ඊ ළගට කෙනෙක් ට එන්න පුලුවන් ගැටළුවක් තමා හේතුව නැති කලාම ඵලය නැති වෙනව නම්, තණ්හාව නැති කලොත් පිලිවෙලින් වේදනාව ද, ඵස්ස ද, .........., නාමරූප ද,..........අවිද්‍යාව ද ආ දී වශයෙන් සියල්ල ම නැති විය යුතුයි නේද? එසේ නම් රහතන් වහන්සේලාට නාමරූප, පංචස්කන්ධ, තියෙන්නේ කොහොමද? නිවන් දකිනකොට සියල්ල අතුරුදහන් විය යුතුයි නේද? කියලා. මේ ගැටළුව ටිකක් තේරුම් ගැනීමට අපහසු ගැටළුවක්.

මා හිතන විදියට නිවන් දකිනකොට පටිච්ච සමුප්පාදයේ දැක්වෙන සියල්ලම නැති වෙනවා. ඉතිරි වන්නේ ඒ එක් කොටසටවත් අයිතිනැති දෙයක්. ඒක හරියට මං කලින් ලිපියේ සදහන් කල උදාහරණය වගේ. කොළපාට කණ්නාඩි දාන අපිට කවදාවත් දම්පාට දකින්න නොලැබෙනවා වගේ අපිට නිවන් දකිනකම් ඇත්ත ස්භාවය පෙනෙන්නෙ නෑ. කොලපාට කණ්නාඩි දාලා දම්පාට බැලුවම කලුපාට පේනවා වගේ අපි ට පෙනෙන්නෙම රහත් උන උතුමන්ලාගේ කිසි වෙනසක් සිදු නොවූ බවයි. ඇත්තම කිව්වොත් අපිට තියෙන්නෙත් රහතන් වහන්සේලාට තියෙන දේවල් ම තමයි. නමුත් අවිද්‍යාව නමැති කොලපාට කණ්නාඩියෙන් බලන අපිට අපිව පේන්නෙත්, රහතන් වහන්සේලාව පෙන්නෙත් නාමරූප හැටියටමයි. ඒකයි අවිද්‍යා පච්චයා නාමරූප කියන්නේ. මේ නිසා අපිට පටිච්ච සමුප්පාදය මේ විදියට ද දක්වන්න පුලුවන්
අවිද්‍යා පච්චයා සංකාරා
අවිද්‍යා පච්චයා විඥාන
අවිද්‍යා පච්චයා නාමරූප
අවිද්‍යා පච්චයා සලායතන
අවිද්‍යා පච්චයා ඵස්ස
අවිද්‍යා පච්චයා වේදනා
අවිද්‍යා පච්චයා තණ්හා
අවිද්‍යා පච්චයා උපාදාන
අවිද්‍යා පච්චයා භව
අවිද්‍යා පච්චයා ජාති

දැන් කෙනෙක්ට එන්න පුළුවන් ගැටළුවක් තමා, එහෙනම් ජාති (යමක ඇති වීම) අවිද්‍යාව නිසා විද්‍යාමාන වන දෙයක් නම් මේ ලෝකයේ ඇතිවන දෙයක් නැද්ද? මේ ලෝකේ ශුන්‍ය ද කියලා. අවිද්‍යාව නිසා තියෙනව වගේ පේනවා විතරද, ඇත්තටම නැද්ද කියලා. ඒකට පිළිතුරක් ඊ ළග ලිපියෙන් මං මගේ දැනීමේ හැටියට ඉදිරිපත් කරන්නම්

ගැටළුවක් ඇත්නම් ඉදිරිපත් කරන්න
ඔබට නිවන් සුව ලැබේවා !

Monday, February 10, 2014

88 සතිය

අපව දුකට පත්කරන්න හෝ සතුටට පත් කරන්න හැකි කිසිවකු නැත.

Saturday, February 8, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 21

උඩ තට්ටුවට නැග්ගාම දිග කොරිඩෝවක් තිබුනා. දෙපැත්තෙන් කාමර පේලී දෙකක්. මුලින්ම තිබුනු කාමර දෙකෙන් දකුණු අත පැත්තේ කාමරේ අංක එකත් අනිත් පැත්තෙ කාමරේ අංක 20ත් ගහලා තිබුණා. මං ටිකක් වෙලා දොර ගාව ඉදල හෙමීට දෙපාරක් තට්ටු කලා. ඇතුලෙන් අනූ "කම් ඉන්" කියලා කිව්වා. මං හෙමීට අගුල කරකවලා ඇතුලට දොර තල්ලු කලා. කාමරෙන් පිච්ච මල් හරි රෝස මල් හරි සුවදක් කඩාගෙන ආවා. එයා හිටියේ ඇදක් උඩ වාඩිවෙලා බිම බලාගෙන වෙන්න ඕන. මොකද මං දොර ඇරලා බලනවත් එක්කම එයා මං දිහා බැලුවා.

කාමරේ කෙලවර වොෂ් රූම් එකක් තිබුනා. ඇද ගාවම මේසයක් උඩ එක එක වර්ගයේ ක්‍රීම් වර්ග, තෙල් වර්ග බෝතල් ගොඩකුත් තිබුනා. මාව දැක්ක ගමන් එයා මාව ඇදිරුවා. "මහත්තයා !, මං හිතුවා ආයේ මහත්තයා එන එකක් නෑ කියලා. ඉතින් මහත්තයා ආවේ මගේ කතාව අහන්නම ද නැත්නම්....." කියලා අනූ මං දැක්ක ගමන් අහලා යන්තම් හිනා උනා. ඒ වෙලාවේ මං එයා ව දැකලා වශී වෙලා වගේ උන්නේ. මොකද එයා ඒ වෙලාවේ ඇදගෙන හිටියේ තුවායක් විතරයි. ඒක හරියටම මොන පාටද කියන්න අමාරුයි. මොකද කාමරේ තිබුනේ රතුපාට පොඩි බල්බයකින් ආපූ එලිය විතරයි. ඒ නිසා මට ඔක්කොම පෙනුනේ රතු පාටට.

මං කිව්වා "ම්... ආ.. ඔව් ඔව් ඒකටම තමා. මං එහෙම බොරු පොරොන්දු දෙන කෙනෙක්  නොවෙයි" කියලා. "ආ ඒකත් එහෙමද, එහෙනම් ඇවිදින් මෙතැනින් වාඩිගන්නකෝ" කියලා ඇදට තට්ටුවක් දැම්මා. ඉද ගන්න වෙන තැනකුත් තිබ්බෙ නැති නිසා මං ඇදේ මේ කෙලවරේ ඉද ගත්තා. එයා මං ලගට හෙමින් කිට්ටු වෙලා "මහත්තයා වොෂ් එකක් දාගන්නවද?" කියලා ඇහුවා. එහෙම ඇහුවම මට මං ගැන ලැජ්ජාවක් වගේ දැනුනා. ඉතින් මං ඇහුවා "ඇයි මං ලග ගදයිද ?" කියලා. ඊට පස්සේ එයා හිනා වෙලා කියනවා "නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි, ඔයාට මහන්සි පාටයි ඒකයි ඇහුවෙ" කියලා. මටත් ඒ වෙලාවේ ඇත්තටම දාඩිය දමලයි තිබුනේ. ඉතින් මං කිව්වා "ඔව් ටිකක් මූණ කට හෝද ගත්තොත් හොදයි" කියලා.

ඊට පස්සෙ මං මූණ කට හෝදලා ආපහු ඇවිත් ඇද උඩින් වාඩිඋනා කතාව අහන්න. එයත් මං ගාවින් වාඩිවෙලා "දැන් මහත්තයාට මොනවද මගෙන් දැනගන්න ඕන." කියලා ඇහුවා. මං කිව්වා "මට දැනගන්න ඕන ඇයි ඔයා මේ වගේ රස්සාවක් කරන්නෙ, තව හොද රස්සාවක් තියෙද්දි. ඔයා කිව්වනේ මේක කරන්නේ කැමැත්තෙන් නෙවෙයි වෙන කරන්න දෙයක් නැති නිසාය කියලාත්".

"ඔව් මහත්තයා, මහත්තයලා දන්නෙ නෑ මේ රස්සාවේ හැටි. මේකට එක එක ජාතියෙ මිනිස්සු එනවා. සමහරු හැසිරෙන්නෙ තිරිසන්නු වගේ. උන් හිතන් ඉන්නෙ සල්ලි දුන්නම ඕන එකක් කරන්න පුලුවන් කියලා. මේ බලන්න මහත්තයා" කියලා අනූ එයාගේ පපුවේ තිබුනු දත් පාරවලුයි, උරහිසේ තිබුනූ නියපොතු පාරවලුයි පෙන්නන්න ගත්තා. මට ඒවා දැක්කාම එයා ගැන සෑහෙන්න අනුකම්පාකුත් දුකකුත් ඇති උනා. මං ඇහුවා "මං හිතුවෙ නෑ මේ වගේ තිරිසන්නු මෙවට ආවා කියලා මේවගේ තිරිසන් වැඩ කරනවා කියලා. ඉතින් ඇයි මෙහෙම දුක් විදගෙන මේ රස්සාව කරන්නේ අනූති" කියලා.

"ඒක දිග කතාවක් මහත්තයා. මහත්තයලා වගේ ඇයෝ මෙහෙම දේවල් කරනවා අඩුයි. නාකි හැත්ත තමයි මේ වගේ වනචර වැඩ කරන්නේ. උන් කියන කියන විදියට අපි හිටියෙ නැත්නම් ඒකට ලොකු මැඩම්ගෙන් බැනුම් අහන්නෙත් අපි" කියලා අනු ඉකි ගහන්න පටන් ගත්තා. මට හරිම දුකයි, මං කිව්වා "හරි හරි ලමයෝ දැන් අඩන්නැතුව කතාව කියන්නකෝ. මං තකහනියක් ආවෙම ඒක අහන්නනේ. කවුන්ටරේට රුපියල් පහක් බැදලයි ආවෙත්" කියලා.
"හරි හරි, ම්... කොතනින්ද මං ඒක පටන්ගන්නේ...." කියලා නහයෙන් හුස්මක් ඉහලට ඇදලා ටිකක් කල්පනා කල ඈ කතාව කියන්න පටන් ගත්තා. 

Next chapter - http://asanka-mind.blogspot.com/2014/02/22.html

Sunday, February 2, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 7

භව පච්චවයා ජාතී කිව්වත්, විඥාන පච්චයා නාමරූප කිව්වත් සිද්ධ වන්නේ පංචස්කන්ධයාගේ පහල වීමමයි. මොකද නාමරූප කියනකොට එතැන මනසිකාර, ඵස්ස, වේදනා, සංඥා, චේතනා (සංස්කාර) කියන නාම ධර්මතා ටිකත් අපට අරමුණු වන රස, පහස, වර්ණ, ශබ්ද, ගන්ධ යන රූප ධර්මතා ටිකත් ඇතුලත් වී ඇත. ජාති හෙවත් පංචස්කන්ධයේ පහල වීම දී වන්නෙත් මේවායේ පහල වීමමයි.

දැන් පටිච්ච සමුප්පාදයේ අපට සාකච්චා කරන්න තියෙන්නේ නාමරූප පච්චයා සලායතනත්, සලායතන පච්චයා ඵස්ස කියන කොටස් දෙකත් පමණයි. ඒ දෙකනම් තේරුම් ගැනීම එතරම් අපහසු නෑ. මොකද අපි කලිනුත් සදහන් කලා අපට බාහිරින් කනක් තියෙනව වගේ පෙනුනත් ඇත්තටම කනක් පහල වෙන්නේ ශබ්දයක් ඇසෙන කොට පමණක් බව. ඇසක් තිබුනත් රූප නොපෙනේ නම් එය ඇසක් නොව මස් ගොබයක් පමණි. ඒ නිසා නාමරූප නැත්නම් එකම ආයතනයක් වත් විද්‍යාමාන වෙන්නෙ නෑ. අනෙක් අතට නාමරූප පහලවෙන්න ආයතනයක් ද තිබිය යුතුයි.ආයතනයක් නැතුව ස්පර්ශයක් නෑ, වේදනාවක්, සංඥාවක්, චේතනාවක් පහල වෙන්නෙත් නෑ. ඒ කියන්නේ නාමරූප පහල වෙන්න ආයතනයක් තිබිය යුතුමයි.

දැන් නාමරූප ආයතනයන්ට හේතු වන හැටිත් ආයතනයන් නාමරූපයන්ට හේතුවන හැටිත් පැහැදිලි ඇතැයි සිතමි. ඒ අනුවත් පටිච්ච සමුප්පාදයේ අංග සියල්ලම එකවිට පහලවී එකවිට නිරුද්ධ වන බව පැහැදිලි වෙනවා. ඒවා එකක් පසුපස දැක්වුවත්, චක්‍රාකාරව දැක්වුවත් සියල්ල එකටම පහල වී එකටම නිරුද්ධ වන ධර්මතාවයන්ය.
අවසාන වශයෙන් සාරාංශයක් ලෙස ගතහොත් එක් එක් ක්ෂණයක් පාසා එකිනෙකට උපකාර වන්නාවූ ධර්මතා නිසා යම් ප්‍රතිඵලයන් හටගන්නා බවත් ඒ හේතූන් ඒ ඒ මොහොතේම නිරුද්ධ වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නැවතත් ඊළඟ ක්ෂණයේ දීත් ඒ දේම නැවත සිදුවන බවත් පටිච්ච සමුප්පාදයේ ස්භාවය යැයි කිව හැක.  

දැන් මට තේරෙන හැටියට පටිච්ච සමුප්පාදය විවරණය කරල ඉවරයි. දැන් තියෙන්නේ නොපැහැදිලි සහ ගැටළු සහිත තැන් නිරාකරණය කර ගැනීමයි. මින් ඉදිරියට පොදුවේ කාටත් ඇතිවියහැකියයි මා අනුමාන කරන ගැටළු වලට පිළිතුරු සැපයීමට බලාපොරොත්තු වන අතර ඔබට යම් ගැටළුවක් ඇත්නම් එයද සදහන් කරන ලෙස ඉල්ලා සිටිමි.

ඔබට නිවන් සුව ලැබේවා !

Saturday, February 1, 2014

87 සතිය

අපි හැමෝටම අයිතිවාසිකම් තියනවා. ඒවා ලබා ගන්න ඕන නෑ. ඒවා ලැබිය යුතුයි.