Saturday, October 8, 2011

5 ලිපිය - නියාම ධර්ම2

පසු ගිය සතියේ නියාම ධර්ම පහෙන් විඥ්‍යානය සම්බන්ධ වන නියාම ධර්ම 2 පිලිබද සාකච්ඡා කලානේ. අද අපි බලමු අනෙක් නියාම ධර්ම තුන කොහොමද ලෝකයේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කියලා. ඔබට මතක ඇති මං කිව්වා කොහොමද වැස්ස ඇතිවෙන්නේ කියලා ලෝකයේ ක්‍රියාකාරිත්වය සොයා බැලීමේදී. එහි කර්මයේ සම්බන්ධයක් හෝ සිතුවිලිවල සම්බන්ධයක් තිබුනේ නෑ. ඒක ස්භාවධර්මයේ හේතුඵල දහමට අනුව ක්‍රියාත්මක වන්නක්. එවැනි ස්භාවධර්මයේ සිදුවන ක්‍රියා අධ්‍යයනය කිරීමෙන් සොයාගත් නියම 3ක් තමයි මේ බීජ නියාම, ධම්ම නියාම, හා සෘතු නියාම කියන්නේ.
  වැස්ස ඇතිවීම අයිතිවන්නේ ධර්ම නියාම හා සෘතුනියාම දෙකට අනුවයි. නමුත් මං කලින් කිව්වා වාගේ මේ නියාමත් සත්‍ය වන්නේ අනෙක් කාරණා බලනොපාන විටයි. උදාහරණයකින් කිව්වොත් හිරුත් පෘථිවියත් අතර දුර වැනි කාලගුණික තත්ව මත වැසි සමය ග්‍රීස්ම සමය වැනි කාලයන් ඇති වනවා. එය සාතු නියාමය. සාතු නියාමයට අනුව වැසි සමයේහී වැසි ලැබෙනවා. නමුත් මිනිසුන් ගස් කැපීම වැනි පාරසරික හේතුන් මත වැසි නොලැබී යා හැකි. ඒ නිසා සෘතු නියාමය සත්‍යවන්නේ අනෙක් සාධක බලනොපාන විටයි.
   බොහෝ දෙනා නියාම ධර්ම දන්නා බැවින් මං කෙටියෙන් සදහන් කරන්නම් ලිපියේ සම්පූර්ණත්වය සදහා. බීජ නියාමයෙන් දැක්වෙන්නේ මව් ජාන ස්භාවය අනුව ඊලග (දුහිතෘ) හට ගැනීමේ ලක්ෂන පහල වන බවයි. සරලව කියතොත් දෙමව්පියන්ගේ ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂනය වන බවයි. සමහරු ගායන කුසලතාවක් ඇති විට එය දෙවියන්ගෙන් ලැබුණු දෙයක් සේ සලකයි. පියාටත් එම හැකියාව ඇත්නම් ඒ දෙවියා පියා වේ. නැතිනම් කර්ම ඵලයක් විය හැක.  සෘතු නියාම යනු පෘථිවියේ ස්භාවික වෙනස්කම් මත අව්ව වැස්ස සහ අනෙකුත් සෘතු විපර්යාස ඇතිවන බවයි. සමහරෙක් මගේ කරුමෙට වහිනවා යැයි පවසතත් සිදු විය හැක්කේ එහි අනෙක් පැත්තයි. එනම් වහින විට කර්ම ඵලය ලැබීමට පරිසරය සකස් වීමයි. ධම්ම නියාම යනු දුක්ඛ යන යථාස්භාවය නිසා සිදුවන දේවල්ය. සෑම දෙයක්ම ක්‍රමයෙන් විනාශයට  ( දිරා යාමට)  පත් වන බවමේ නියාම ධර්මයේ කොටසකි.
  මේ අනුව අප අවබෝධ කරගත යුත්තේ සියල්ල හේතු ඵල දහමට අනුව ක්‍රියා කරන ස්වයංක්‍රිය පද්ධතියක් බවත් එහි යම් යම් රටා අවබෝධ කරගැනීම තුලින් අනාගතය ගැන අනාවැකි පැවසිය හැකි බවත්ය.මේ අනුව මට පෙනියන කරුණ නම් කිසිවෙකුට අතීතයට හෝ අනාගතයට ගමන් නොකලහැකි බවත් බුදුන් පවා අනාගතය ගැන කීවේ අනාගතයට ගොස් බැලීමෙන් නොව ඉහත දැක්වූ රටාව හදුනා ගැනීමෙන් බවයි. ඔබලාටත් එම යථාර්තය අවබෝධ කරගැනීමට හැකි වේවා.!  

Friday, October 7, 2011

එහෙනං ඕං

ඕං දැන් කටකහනවට මං නොයෙක් එව්වා කියෙව්වානෙව. දැන් ලිපි 19 ක්ම නොයෙක් දේවල් කියෙව්වට මොකද කැහිල්ල නං හිංගිත්තක් වත් අඩු වෙලා නෑ නෙව. බොලාලාත් එව්වා කියෙව්වා කියවලා සමහර ගොල්ලෝ නිකා හිටියා සමහර ගොල්ලෝ එක එක එව්වා ලියෙව්වා. ඒ මොනව කලත් මෙකෙ ඒ හැටි තේරුමක් පල ප්‍රයෝජනයක් නෑ වගෙයි පෙනෙන්නේ.

මෙ ගොඩ වෙදකං කොරාලා මේ ලෙඩේ කඩන්න බෑ වගෙයි. බෙහෙත් අහන්නෑ නෙව. ඉතින් බොල මං කල්පනා කොලේ ඉංගිරීසි බෙහෙත් වත් අරං බලන්න කියාලා. මං වෙනුවෙන් මගේ කට කහන එක නවත්තන්න කොමෙන්ට් කොරාපු නොයෙක් විදියෙන් මාව දහිරිමත් කොරාපු ඔක්කෝමන්ලෑට බොහෝමත්ම ස්තූතියි ඕං. එහෙනං ඕං මං ගෙහුං එන්නම්. ඉංගිරීසි බෙහෙත් අහන්නෙත් නැත්නම් මක් කරන්නද දිගටම කට කහනවට එක එක එව්වා කිය කියා ඉන්නව මිසක්කා නෙවෙද්ද.

20 සතිය

අන් අය තමා ගැන හිතන ආකාරය මෙලොව දියුණුවටද තමා, තමා ගැන හිතන ආකාරය ලෝකොත්තර දියුණුවටද හේතු වේ.

Sunday, October 2, 2011

මෙතෙක් කතාව

දැන් කොටස් 18 ක් තිස්සේ ඔබට "මගේ කතාව" ලෙසින් ශෂික අසංක නමැත්තාගේ කතාව ඔබට ඉදිරිපත් කලේය. දැන් සමහර අයට මුල මතකත් නැතුව ඇති. සමහර අයට ඒ දීර්ඝ කතාව කියවීමට අපහසුත් ඇති. ඒ නිසා මං හිතුවා මෙතෙක් කතාව යලි ඔබට කෙටියෙන් පවසන්නම්.
 
 කරුණාරත්නත් නන්දාත් දකුණු පලාතේ අම්බලන්ගොඩ ගමේ ජීවත් වූ එකම පාසලේ ඉගෙන ගෙන තරුණ වයස ඉක්මයාමට ආසන්න වියේදී විවාහ වූ යුවලකි. කරුණාරත්න දිළිදු පවුලක ද නන්දා මධ්‍ය පාන්තික පවුලක ද හැදී වැඩුනේය. ඔවුන් නොයෙක් බාධක මැද විවාහ වී සූට්කේස් දෙකක් පමණක් අතැතිව මඩකලපුවේ කුලී නිවසක ජීවත් විය. විවාහ වී අවුරුදු පහක් පමණ යන තෙක් දරු සම්පත් නොලැබ දුකින් සිටියේය. අවසානයේ ඔවුන් ලැබූ  පලමු දරුවා පිරිමි දරුවෙක් විය. එහි අවුරුදු 6ක් පමණ ජීවත් වූ ඔවුන් සෑහෙන තරම් දියුණු විය. පසුව දෙවන දරුවා ලෑබීමට පෙර ඔවුන් තමන්ගේ මව් ගම වූ අම්බලන්ගොඩට පැමිණෙන්නේ ඔවුන්ගේම කියා නිවසකට පැමිනේ. එය කටු මැටි ගෙයක් විය. මේ කාලය ඇතුලත දෙදෙනාම රැකියා ස්ථාන දෙකක වැඩ කර තිබිණ.

 නව නිවසට පැමිණි පසු අපගේ කතා නායකයාගේ උපත සිදු විය. ඉන් පසු ඔවුන්ගේ ජීවිත වලට කනකොකා හැඩීය. මන්ද ඔහු හදවත් රෝගියෙක් විය. ඒ දින වල එවැනි දරුවන් ජීවත් නොවූයේය. නමුත් දෙමව්පියන්ගේ දැඩි කැපවීම මත අවුරුදු හතරක් වන තෙක්ම ඔහුව ජීවත් කරවීමට සමර්ථ විය. මේ කාලය තුල මෙම පවුලට අලුත් සාමාජිකාවක් ද එක් විය. අපේ කතා නායකයා වෙනුවෙන් දෙමව්පියන් නොකල දෙයක් නැත. අවුරුදු 4ක් වුවත් ඔහු තාමත් කරන්නේ අවුරුදු දෙකේ ළමයකු කරන වැඩය.
  දැන් ඔහුට අවුරුදු හතරකි. අයියාට හයකි. නංගීට එක හමාරකි. දැන් ඔවුන් ගඩොලින් අලුත් නිවසක් තනා අවුරුදු හතරට ආසන්නය. සියල්ල හොදින් සිදුවී යද්දී නැවත ඔවුන්ගේ ජීවිතවලට කරදර පැමිනෙන්නට විය.

Saturday, October 1, 2011

5 ලිපිය - නියාම ධර්ම

මෙම නියාම ධර්ම පහ අධ්‍යයනය පහසුව සදහා කොටස් දෙකකට වෙන් කර ගත හැකි. එනම් විඥ්‍යානය සම්බන්ධ නියාම ධර්ම හා සතර මහා භුත සම්බන්ධ නියාම ධර්ම ලෙස. කර්ම නියාමය හා චිත්ත නියාමය පලමු කොටසටත් අනෙක් තුන දෙවන කොටසටත් අදාල වේ. කර්මය පිලිබද අපි 4 වන ලිපි පෙලින් කතා කල නිසා ඒ ගැන වැඩි විස්තරයක් අවශ්‍ය නැතැයි මට සිතේ. විශේෂයෙන්ම කර්ම විපාක එවේලේ ලැබෙන බවත් ජනක කර්මය ලෙසින් එය භවයෙන් භවයට යන බවත් දැන ගත යුතුය. පෙර භවයේ ඥාතීන් කොතරම් පිං අනුමෝදං කලද එය මේ බවයේ විඥ්‍යානයට දැනගත නොහැකි නම් ඒ පිං අනුමෝදං කල නොහැක්කේ ඒ නිසාය. අනිවාර්යයෙන්ම කර්මය ක්‍රියාත්මක වීමට විඥ්‍යානය දැනුවත්ව සිදු විය යුතුයි. සත්ව ඝාතනයක් නොකල තැනැත්තෙක් වුවද තමා සත්ව ඝාතනය කලා යැයි විඥ්‍යානයේ සටහන් වුවොත් ඔහුට ප්‍රාණ ඝාත අකුසල කර්මයේ විපාක ලැබේ.

චිත්ත නියාමය යනු යම් අරමුණක් ලැබුණු පසු දිගින් දිගට සිතුවිලි පහල වීමයි. යම් ස්පර්ශයක් සිදු වූ තැන් සිට එය හදුනා ගැනීම තැන් දක්වා සිතුවිලි පහල වීම පෙර කර්මය නිසා සිදු වන්නක් නොව හේතු ඵල දහමට අනුව සහ චිත්ත නියාමයට අනුව සිතුවිලි පහල වීමකී සිදු වන්නේ.  එම චිත්ත වීථි සකස්වන ආකාරය  3 ලිපිය - ලෝකයේ ක්‍රියාකාරිත්වය 2  ලිපියෙන් දක්වා ඇත. ඒ නිසා තමන්ට එන සෑම සිතුවිල්ලක්ම කර්මය නිසා එන සිතුවිලි නොවේ. අනෙක් නියාම ධර්ම තුන ලබන ලිපියෙන් සාකච්ඡා කරමු. මේ ලිපි පිලිබද ඔබට ඇති ගැටළු සදහන් කරන්නේ නම් අපට තවත් සඵලදායී ලෙස මේ සාකච්ඡාව කල හැකි යැයි සිතමි. ඔබට නිවන් සුව ලැබේවා!