Wednesday, October 31, 2012

අමාරුම වැඩේ

මං මේ කටකහනවට ඇදබාන එව්වා තමන්ගේ මට්ටං තම්මැට්ටන් කියලා ආරෝවක් නැතිව තම තමන්ට අඩංගු වන තරමට ගනිල්ලා....

මේ ලගදි ඕං මට ඇහුනා කවුදෝ කියාපිනා මේ ලොකේ අමාරුම වැඩේ ගැනියෙක් දරුවෙක් බිහි කොරන එකය ඒකත් හරියට බඩවිරේක ඇරගෙන පුක මහගන්නවා වාගේය කියාලා. ඇත්තටම ඕක ඔච්චරම අමාරුනම් මොකට කොරනවද? මං කියාපියන්නේ ඕක ගැනම නොවෙයි. ඕනෑම අමාරු වැඩක් අපිට ජිවිතේ ගැටගහගන්න අත්තියාවස්ස නැතිනම් කාරිය නොකර ඉන්ට බැරි ඇයි.

දැන් ඕං සමහරක් ඇයින් කියාපිනා පවුල් කන එක තරම් අමාරු වැඩක් නෑ බාං කියාලා. මං ඉතිං ඇහෙව්වා එහෙනං මක්කටෙයි බැදගත්තේ කියාලා. අම්මාපල්ලා මංනං ඕං අමාරු වැඩ අත්තියවස්ස නැත්තං කොරන්නෙ නෑ නෙව. මෙකනෙව කාරනාව අපේ උන් ඕනැ එකයි එපා එකයි අහවල් එකයි හැම මගුලම බදා ගන්න යනවනෙව.
එකෙක් මක්කහරි කොරාම අනිත් එකාටත් ඒ මගුල ඕනෑ වෙනවා. අල්ලපු එකා ලෙඩක් හදා ගත්තම මේකාටත් ඒක ඕනැ වෙනවා. ඒක මට මොකැටෙයි කියාලා හිතන්නෑ නෙව. පස්සෙන් පහු අමාරුයි අමාරුයි කිය කියා ඉන්ටවා.
මේ ලගදි දවසක් මගේ මිත්‍ර සගයෙක් ඇවිත් කියාපිනා මට මේ අහවල් විභාගේ එපා වෙලා බාං තියන්නේ කියාපිනාලා. මං ඇහැව්වා ඕක කොරාම මක්කෙයි ලැබෙන්නේ කියාලා. හොද රස්සාවක් ලැබෙයිලු. ලොකූ පඩිපතක් ලැබේලූ. මං කියෙව්වා උඹට ජීවත්වෙන්න අවස්ස අවම පඩිය ලැබුනම මදෑ අමාරුවෙන්නම් ඕක නොකර හිටපන් කියාලා. ඌ කියාපි නෑ බං අපේ නැන්දගෙ දුවත් කොරනවා අම්මට මාවත් දාන්න ඕනෑ උනානෙව කියාලා.

හැබැයි ඕං මං බොලාලාට එකක් කියන්නං දැන් නැති සැප පස්සෙං පහු ලැබෙන්නෙත් නෑ. කල යුතු වැඩක් ඇත්නම් ඒක ගැන හිත හිතා අමාරුය, දුකය කියාපිනන්නේ නැතිව ඒක කොරපල්ලා. අර විලිරුදාව උනත් මතක් කොරනකොට, බලං ඉන්නකොට අමාරුම වැඩේ වගේ පෙනුනට ඒ වෙලාවට අම්මට නම් එහෙම හිතෙන්නැතුව ඇති. මොකෑ කියනවනම් පිරිමි අරහෙම කියෙව්වට අම්මා කෙනෙක් කියනවා නම් මං අහලා නැතිය.

Friday, October 26, 2012

මිල් ගයා


සිත පිරුණා - මගෙ හදවත පිරුණා//
ඔබ පැමිණි - හද පිරුණි
සිත පිරුණා - මගෙ හදවත පිරුණා//

නෙත පිරුණා - ඔබ මැවුණා
නෙත යන සැම තැන
ඔබ සිටියා
මග නැවතී - මම සිටිමි
බිතු සිතුවම් මත
ඔබ දකිමි

සිත පිරුණා - මගෙ හදවත පිරුණා//

කණ පිරුණා - හඩ ඇසුණා
ඔබ මට අමතන
හඩ ඇසුණා
රථ නැවතී - හඩ තලති
මම සිටියේ මහ
මග නැවතී

සිත පිරුණා - මගෙ හදවත පිරුණා//

Thursday, October 25, 2012

36 සතිය

විභාග ජය ගැනීමෙන් මරණය ජය ගත නොහැක. එම නිසා විභාග වලට මදකුදු බිය නොවෙමු.

Wednesday, October 24, 2012

10 ලිපිය - ගැටළු වලට පිළිතුරු

ඉතින් යාලුවනේ ලියන්න උවමනාව තිබුනත් සරසවි වර්ජනය අවසන් උන නිසා ලියන්න ඉස්පාසුවක් ලැබුන්නෑනේ. දැන් උනත් වැඩ ගොඩක් තියෙද්දී නොලියා බැරිනිසයි ලියන්නේ.

ඔයාල දන්නවා මෙච්චර දවසක් මං ඔයාලට කිව්වේ මං ඉගෙනගත් දේවල් මට වැටහුන විදියටයි. ඒ නිසා සමහර කරුණුවල සත්‍යතාව ඔබ විසින් අවබෝධයෙන් යුතුව වටහාගන්නැයි මා ඉල්ලා සිටිමි. මොකද මං අවසාන ලිපියේ සදහන් කල පරිදි බුදු දහම හුදෙක් විශ්වාසය මත පදනම් වූ දෙයක් නොව තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කලයුතු දෙයක් බව. ඒ නිසා මං කල්පනා කලා මින් ඉදිරියට මං ප්‍රත්‍යක්ෂ කරගත් දේවල් ඉදිරිපත් කිරීමට. මෙයින් අදහස් වෙන්නේ නෑ මෙතෙක් කල් කියූ කිසිම දෙයක් මං ප්‍රත්‍යක්ෂ නොකල බව.

කෙසේ නමුත් අලුත් ලිපියක් ලියන්නට පෙර මා සිතුවා මෙතෙක් දවස් මා වෙත එළැඹි ගැටළු කීපයකට පිලිතුරු දීම සුදුසුයි කියා.
1. දුක යනු වෙනස් වීමයැයි 1 ලිපියේ මා අර්ථදක්වා තිබූ නමුත් ධම්මචක්කපවත්වන සූත්‍රයේ “ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ....“ ලෙස විස්තර කිරීම පරස්පරයි නේද?
2.  අකාලික යනු කුමක්ද? අතීත වර්තමාන අනාගත කාල තුනෙහිම පවතිනවා යනු එහි තේරුම නොවේද?
3.සංසාරය චක්‍රයක් නම් එකම දේ නැවත නැවත විය යුතුයි නේද?
4. මැරුණු ගමන් නැවත ඉපදෙනවද, අන්තරා භවයක් නැද්ද?

ඉහත ගැටළු ඔබටත් ඇති. මේ සිල්ලටම විසදුම් මේ කොටසින් ලියන්න අමාරු බැවින් ඉදිරියේ දී විස්තරාත්මකව පැහැදිලි කරමි. මේ දිනවල කාලය සොයා ගැනීම ඉතා අපහසුයි. මා හැකි සෑම විටම මේ සදහා කාලය යොමු කරමි. මීට අමතරව මගේ ලිපි කියැවීමේ දී හෝ වෙනත් අවස්ථාවක දී යම් ගැටළුවක් ආවේ නම් පවසන ලෙසද ඉල්ලා සිටිමි. මගේ අවබෝධයේ හැටියට මා පිළිතුරු සපයන්නම්.

ඔබලාට නිවන් සුව ලැබේවා !

Saturday, October 13, 2012

35 සතිය

ඔබ ආදරයෙන් පැරදී දුක් වෙනවාද? වහාම සූදුව නවතා ආදරය කරන්න පටන් ගන්න.

Friday, October 5, 2012

අවසාන දින කීපය

දැඩිසත්කාර ඒකකයේ සිටි සති දෙකෙන් පලමු දින දෙක දී මට කිසිදු ආහාරයක් නොලැබුනු අතර වතුර ද ලැබුනේ තොලකට තෙමා ගැනීම සදහා පමණි. අවශ්‍ය සියළු දේ ලැබුනේ බට ආධාරයෙනි. ඒ සති දෙක අවසානයේ සියලු බට ඉවත් කෙරිණි. එය සිදු කලේ හිරි වැට්ටවීමෙන් පසුවය. නමුත් මා බලා සිටිද්දීම ඒවා ඉවත් කිරීම ඇග කිලිපොළා යන්නකි.

සති දෙක අවසානයේ මා ළමා වාට්ටුවට ඇතුලත් කෙරිණ. එහි ඇදන් උසය, ඇද වටා යකඩ වැටකි. මෙතෙක් දවස් අම්මා නිදා ගත්තේ පුටුවක වාඩි වී ඇද මත හිස තබාගෙනය. නමුත් මෙහි දී වැට නිසා එය කල නොහැකි බැවින් අම්මා ද මා සමග ඇදේ නිදා ගත්තාය. දිනක් මහ රෑ ශබ්දයකින් ඇහැරුනි. නර්ස් කෙනෙකු අම්මාට බැන වදිමින් සිටියාය.
"ඔය ළමයව මරා ගන්නද හදන්නේ, ඇද තියෙන්නේ ලෙඩාට මිසක් අම්මලට නෙවෙයි" යනාදී දොස් නගමින් නර්ස් කෑ ගැවාය. ඒ හඩින් ඇහැරුණු අනෙක් ළමෝද පූස් පැටව් මෙන් චෑස් චෑස් ගාන්න ගත්තෝය.  එදායින් පසු අම්මා නිදා ගත්තේ ඇද යටය. මට අම්මා ගැන දුක සිතුණි.

දිනක් හදිසියේ බබෙක්ව වාට්ටුවට ඇතුල් කලේය. ඩොක්ටර් ඇවිත් ළමයාට සේලයින් දිය යුතු බැවින් සමනල කටුවක් ගෙනෙන ලෙසට මවට දැන්වීය. වාට්ටුවේ සිටින සියලු අය එවැනි කටුවක් ලග තබා ගැනීමට උපදෙස් ලබා ඇත. ඒ අවස්ථාවේ දී කිසිවකුත් තමා සතු කටුව දීමට ඉදිරිපත් නොවූයෙන් ඇයට සිදුවූයේ ෆාමසියක් සොයා යෑමටයි. ඒත් එවේලෙහි අම්මා මා වෙනුවෙන් තබා ගෙන සිටි කටුව ඇයට පිරිනැමූ බැවින් වහා ළමයාට ප්‍රතිකාර කල හැකි විය.

රෝහලේ සිටි අවසාන දින කීපයේ මා බැලීමට නෑදැයින් හා හිතවතුන් කීප දෙනෙකුම පැමිණියෝය. ඒ අතර මට ලේ දුන්නු අමරේ මාමා ද , නිහාල් අංකල්ද සිටියෝය. තාත්තා ද මට ලේ දී තිබිණ. නමුත්  බොහෝ දිනවල මට තනිවම දිවා කාලය ගෙවා දැමීමට සිදු වූයේ  අම්මා සැමදා වැඩට ගිය බැවිණි. සමහර දිනවල වෙනත් ලෙඩුන් බලන්නට එන අය මා සමගද කතා කර ගියේ මා තනිවම ඇදේ සිටිනු දැක විය හැක.

අවශ්‍ය පරීක්ෂණ සදහා ද මා තනිවම ගියේය. රෝහල මට ගෙදර තරම්ම විය. බොහෝ දෙනෙකු මා ගැන ආඩම්බර විය. මට තෑගී බෝග ද ලැබිණ. මෙසේ මාසයක් පමණ ළමා වාට්ටුවේ ගත කලේය.

Wednesday, October 3, 2012

34 සතිය

යමෙක් ඔබට උපකාර කෙරේද අපකාර කෙරේද ඒ දෙකම අමතක කරන්න