Sunday, December 29, 2013

82 සතිය

දිගු ගමනක් යන අප රැයක් ගත කරන අම්බළමට ගහ මරා ගන්නේ ඇයි ? එවිට එය වෙහෙසකාරී දිගු ගමනක් වේවි.

Thursday, December 26, 2013

මාර දූතිකාව

මාර දුවක් මා අභියස මැවිලා
ඈ වෙත මා අලවන්න බලයි
ඉගිබිඟි කරමින් පියබස් තෙපලයි
මා සිත ඈ ළඟ සසල වෙලා

පහන් සිලකි ඈ දෙන ආලෝකේ
දල්වන්නට සිත මාන බලයි
ගිනිගෙන දැවෙනා පළඟැටි වාගේ
බැදි රා ගින්නෙන් සිත ඇවිලෙයි

පෙණ පිඬ වාගේ රූපය ලෝකේ
බුදු හිමි දෙසු බණ පද සිහිවෙයි
අනියත බව පෙන්වා මා ඈගේ
හිමිහිට හදවත නිසල කරයි

Sunday, December 22, 2013

81 සතිය

යම් සේ රියදුරකු ඉදිරියේ ඇති ප්‍රපාතය දැක එය නොසලැකීමෙන් හෝ තමා රක්ෂණය කිරීමෙන් හෝ වැලකි තිරිංග තද කිරිමට උත්සුක වන්නා සේ අපද මාරයා අමතක කර හෝ මතු බවයට පිං කිරිමින් සිටීමට වඩා ගමනට තිරිංග යෙදීමට උත්සුක විය යුතුය.

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 18

“ඇයි ඉනෝකා“ මට නිකන්ම කියැවුනා. “මට ඔයාට වැදගත් දෙයක් තියෙනවා කියන්න. ම්ම්ම් මේ.... අපි කොහාට හරි යමුද?“ ඉනොකා එහෙම කියලා මගේ දිහා ඇස්දෙක ලොකු කරගෙන බලං හිටියා. ඒ වෙලාවේ එයාගේ ඇස් දෙක දිලිසෙනවා මං දැක්කා.

“ඕ හෝ ප්යාර් හෝගයා කාජල් මිල්ගයා.. හරි හරි චෝරි චෝරි නේ... කම් නහි බාබුජී...පලයන් පලයන් අපි මෙතනම ඉන්නම්“ කියලා  බර්ටියා පපුවට අතකුත් තියාගෙන මොනවද බහු බූත කියවන්න පටන්ගත්තා. ඉනෝකා රවලා බැලුවා බර්ටියා දිහා බැලිල්ලක් ඌ දැක්කනම් බෂ්ම වෙලා යන්න.

මං ටක්ගාලා “ හරි හරි අපි කැන්ටිම දිහාට යන්කෝ “ කියලා ඒ පැත්තට ගියා. එතකොට ඉනෝකාත් පස්සෙන් ආවා. අපි බංකුවක් උඩ වාඩි උනා. වාඩි වෙලා මං ඉනෝකගෙන් ඇහුවා මොනවහරි බොමුද කියලා. “ඔයාට ඕනනම් ගන්න“ එයා කිව්වා. මං ඒ පාර ඇහුවා මොනාද බොන්නෙ කියලා. ඈ “ඕන දෙයක් ගන්න අරවින්ද මට තිබහ නෑ“ කියලා නුරුස්සන විදිහට කිව්වා. “මෙයාට මාර තදියමක්නෙව තියෙන්නෙ“ මං මටම කියා ගත්තා. “ආ හරි හරි, ටී දෙකක් දාන්න“ කියලා මුදලාලිට කියලා “දැන් මොකද්ද ඔච්චරටම ඉස්පාසුවක් නැතිව කියන්න හදන්නේ“ කියලා ඇහැව්වා.

“අර ඔයා අනූෂාට කියල තිබුනේ?“ කියලා ඈ මං දිහා බැලුවා. “ මොකක්ද?“ මංඇහුවා. “ඇයි අනේ ඔයා කියල තිබුනේ අපේ පේරන්ට්ස්ලා කැමතිනම් ඔයා කැමති කියලා“ එයා කිව්වා.
  “ඉතින්“ 
කියලා මං ගානක් නෑ වගේ කිව්වා. මං දන්නවා දැන් මොකාටද මේ එන්න හදන්නෙ කියලා. මගේ පපුවත් දැන් ටික ටික ගැහෙන්න පටන් ගත්තා. “ඉතින් කියන්නේ, මං තාත්තට ඔයා ගැන කිව්වා. තාත්තා කිව්වා එයාට ඔයත් එක්ක කතා කරන්න ඕන කියලා“ ඉනොකා කිව්වා. ඒක ඇහුනා විතරයි මගේ පපුව හිර වුනා. “න්නෑ“ මට කියවුනා. මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බැරි උනා. මං තුෂ්නි:භුත වෙලා බලා උන්නා.
“මොකද අරවින්ද ගල් ගැහිලා වගේ බලං ඉන්නේ. බය වෙන්න එපා අපේ තාත්තා ඔයාට කැමති වෙනවමයි. මොකද ඔයාට තියෙන්නෙත් අපේ තාත්තගෙ ගතිගුණමයි. එයා කතා කරන්නෙත් ඔයා වගේ. දැන් ඔයා මොකද කියන්නෙ අරවින්ද?“ 
“අනේ මන්දා ඉනෝකා, මට නං හිතෙන්නෙ ඔයාගේ තාත්තා හදන්නෙ මට ඔයාගෙන් ඇත් වෙන්න කියලා බල කරන්නද දන්නෑ“ මං කිව්වා. “නෑ නෑ අපේ තාත්තා එහෙම කෙනෙක් නෙවේ. එහෙනං එයා ඒක මටයි කියන්නෙ. මට විශ්වාසයි එයා ඔයාට කැමති වෙනවමයි.“ එක පාරටම එයා කිව්වා. මේක සතුටුදායක ආරංචියක්ද නැත්නම් භයානක ආරංචියක් ද කියලා මට හිතා ගන්න බැරුවයි හිටියේ. අන්තිමට මං කිව්වා “හොඳයි එහෙනම් මං තාත්තව හම්බුවෙන්නම්, එතකන් අපි උන්නු විදියටම ඉමු“ කියලා. ඒ උත්තරේට ඉනෝකා සැටිස් උනේ නෑ. එයා කිව්වා “ හරි කමක් නෑ. මට මේක කියන්න, ඔයා මට ආදරේ ද කියල කියන්න, මට ඒක ඔයාගෙ කටින්ම අහන්න ආසයි“ කියලා.

මං මුකුත් ම කියන්නැතුව ටිකක් වෙලා ඉනෝකාගේ ඇස් දෙක දිහා බලං හිටියා. එයත් මා දිහා බලං හිටියා. එහෙම ඉන්නකොට මගේ ඔලුවේ එයා හම්බවෙච්චි වෙලේ ඉදන් සිද්ධ වෙච්ච හැමදේම මතක් වෙන්න ගත්තා. එයා දැකපු මුල් දවස, එයත් එක්ක කතා කරපු දේවල්, එයා ලස්සනට ඇදගෙන ඇවිත් මා එක්ක ඇස්වලින් කතා කරපු හැටි, මගේ උරහිස උඩ ඔලුව තියන් හිටපු දවස, ඒ ඔක්කොම මැවිලා පෙන්න ගත්තා. අන්තිමට “ඔව් ඉනෝකා, මං ඔයාටආදරෙයි, හැමදාම මං ඔයාට ආදරෙයි“ කියලා කියවුනා. ඒක ඇහුනා විතරයි කෙල්ලගෙ මූණ මලක් වගේ පිපිලා ආවා. “මාත් ඔයාට ගොඩාක් ආදරෙයි පන“ කියලා මගේ අතින් අල්ලා ගත්තා.
ඒ වෙලාවේ අත හිරි වැටිලා සීතල වෙලා ගියා. මං වටපිට බැලුවා, කවුරුත් හිටියෙ නෑ. මං වෙලාව බැලුවම කමයි දැක්කෙ පන්ති පටන් අරගෙන විනාඩි පහලොවක් විතර ගිහින් කියලා. මං දඩබඩ ගාලා පන්තියට දුවන්නයි හැදුවේ. “ අප්පටසිරි පන්ති පටන් අරගෙන, ඉක්මනට යමු ඉනෝකා “ කියලා මං නැගිට්ට විතරයි ඉනෝකා ආයේ මගේ අතින් අල්ලලා “ අද අපි වෙන කොහේ හරි යමු?“ කියලා කිව්වා. 

Next chapter - http://asanka-mind.blogspot.com/2014/01/19.html      

Sunday, December 15, 2013

80 සතිය

පවතින තත්වය තුල සතුටු නොවන්නා සියල්ල ලදත් දුප්පතෙකි.

Saturday, December 14, 2013

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 4

පසුගිය ළිපි දෙක කියවූ අය අතරින් සමහරක්ට පැහැදිලිව ඵස්සයේ සිට තණ්හාවට එන හැටිත්, අවිද්‍යාවෙන් සංස්කාර ඇතිවන හැටිත් තේරුම් ගැනීමට හැකිවන්නට ඇති නමුත් සමහර අයට කිසි දෙයක් නොතේරී යන්නටත් ඇති. (නිකන් මඤ්ඤං වගේ ඇති)
ඒ නිසා ඊළඟ කොටසට යන්න කලින් උදාහරණයකින් ඒ ටික නැවත විග්‍රහ කිරීම සුදුසු යැයි සිතුණා.

යම් රූපයක් මිනිස් ඇසට පෙනෙන විදියත් ඒ රූපයම වෙනත් සත්වයකුට පෙනෙන ආකාරයත් සිතන්න. උදාහරණයකට ඔබ ප්‍රෙඩේටර් නරඹා ඇත්නම් ඒ සත්වයාට මිනිසුන් පෙනෙන්නේ රතු ගිනිගොඩක් වගේ. මොකද ඌට තිබෙන්නේ උෂ්ණත්වයට සංවේදී ඇසක් නිසා. අපිට දෘෂ්‍ය පරාසයට අයත් ආලෝකයට සංවේදී ඇස් තිබෙන්නේ. මේ නිසා අපට පැහැදිලි වෙනවා අපි දකින විදිය හෝ ප්‍රෙඩේටර් දකින විදිය හෝ ඇත්තටම ඒ රූපයේ ස්භාවය නොවන බව. ඇත්තටම ඒ රූපය මොන ස්භාවයද යන්න කිසිවෙකුට මසැසින් දැකිය නොහැකි. එසේනම් අපි දකින, ඇසෙන, දැනෙන, විදින කිසි දෙයක් අරමුණේ ප්‍රකෘති ස්භාවය නොව වෙනත් ස්භාවයක් බව පැහැදිළි ඇති.
 අපිට ලස්සනට පෙනෙන ස්ත්‍රී හෝ පුරුෂ රූපයක් ප්‍රෙඩේටර් ට පෙනෙන විදියට පෙනෙන්න ගත්තොත් ඒ ලස්සන තව දුරටත් එතැන නෑ. අඩුම තරමේ ස්ත්‍රී පුරුෂ භාවයවත් දකින්නට නෑ. එසේනම් මේ ලෝකය අපට පෙනෙන ආකාරය සම්පූර්ණයෙන්ම මනස විසින් නිර්මාණය කරන ලද්දක් මිස සැබෑ ලෝකය අපට දකින්නට නෑ.

අපි තව උදාහරණයක් ගනිමු. අපි දන්නවා අපේ ඇස සංවේදී වන්නේ ආලෝකයට පමණයි. එනම් අපට පෙනෙන්නේ වර්ණ ගොඩක් විතරයි. මේ වර්ණ එකක් උඩ එකක් ලෙස පිහිටීම මගින් අපට විවිධ රූප නිර්මාණය කරල පෙන්වනවා. චිත්‍ර ශිල්පියෙක් උනත් කරන්නේ මේ ටිකම නේද?. විවිධ වර්ණ එක මත එක උලා විවිධ රූප මතු කරනවා. ඒ වාට අපි වර්ණ ගොඩක් නොකියා ගසක්ය, මලක්ය, මිනිසෙක්ය ආදී නම් දෙනවා. මේක තමයි මුලාව, අවිද්‍යාව. අපි දකින දකින ඒවට ආලෝක කිරණ නොකියා විවිධ හැදින්වීම් නැතිනම් සංඥා ලබා දෙනවා. එසේනම් මේ සකස් කිරීම කරන්නේ විඥානය මගින් අවිද්‍යාව හෙවත් නොදන්නා කම නිසයි. මේ නිසයි බුදු හාමුදුරුවෝ විඥ්‍යානය මායාකාරයෙක් වගේ කිව්වෙ. නැති දෙයක් ඇති දෙයක් ලෙස පෙන්වනවා. නිකන්ම නිකන් වර්ණ ගොඩක් මේ ඉන්නේ උඹේ අම්මා, මේ උඹේ කෙල්ල, මේ උඹේ තරහකාරයා ආදී වශයෙන් මවා පෙන්වනවා. එසේනම් අවිද්‍යා පච්චයා සංස්කාරෝ යන්න හැම මොහොතෙම සිද්ධ වන දෙයක්.

ඒ හැම මොහොතකම ස්පර්ෂයත්, වේදනාවත්, තණ්හාවත් ඇතිවෙනවා. ඒසේනම් අවිද්‍යා නිසා වැරදි සංස්කාර ඇතිවන හැමවිටම ස්පර්ෂයත්, වේදනාවත්, තණ්හාවත්, උපාදානත් ඇතිවන බව පැහැදිලි. මෙහි උපාදාන යනු දැඩි උවමනාවයි. අනාගතය ගැන ඇති බලාපොරොත්තුවයි. එය වඩාත් පැහැදිලි ලෙස ඊ ළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.  

ගැටළු හෝ විවේචන ඇත්නම් ඉදිරිපත් කරන්න. ඔබට නිවන් සුව ලැබේවා. !

Sunday, December 8, 2013

79 සතිය

ඔබේ සතුට නැති කරගත හැක්කේ ඔබට පමණමයි. අන් අයට කලහැක්කේ අනුබල දීම පමණයි.

Saturday, December 7, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 17

උඹට කිව්වට මොකද ඒක ලව් ලෙටර් එකක් නොවේ. එයාගේ තාත්තවයි මාවයි කම්පෙයාර් කරල එවපු එකක්. මං ළග ඉන්නකොට එයාට දැනනෙන්නේ තාත්තා ලඟ ඉන්නවා වගේලූ, තාත්තගේ දාඩිය සුවඳ මං ගාවින් දැනෙනවලු. එයා තාත්තට ගොඩාරියක් ආදරේලූ. තාත්තා නැති දවසක ඒ අඩුව පුරවන්න පුළුවන් එකම කෙනා මං විතරයිලු. ඔන්න ඔය වාගේ විකාර තමා වැඩි හරියක් තිබුනේ. කොහොම හරි යන්තම් සනීප වේගෙන එනකොටම ඒ ලියුම ලැබිච්ච එකෙන් උනේ ආයේ හිත ඔද්දල් වෙන එක.
මං ඒ යොජනාව ගැන සෑහෙන්න කල්පනා කලා. එයා මොනා කීවත් මචං මං අප්ප නැති අන්තිම දුප්පත් කොයි වෙලේ ජොබ් එක නැති වේද දන්නෙ නැති නිකමෙක්. ඒ වගේ, පෝසත් රටේ සුප්‍රසිද්ධ බිස්නස් කාරයෙක්ගේ දුව දෙයිද බං මට. මං ඊළඟ සතියෙ පන්ති ගිහින් ලියුම කියෙව්වෙ තියා දැක්කෙවත් නැති ගානට උන්නා. ඒත් වෙනදා වගේ එදා ඉනෝකාත් එක්ක සැහැල්ලුවෙන් හිනා වෙලා කතා කරන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ.
එදා රෑ අනූෂා ආවා මගේ කාමරේට. ඇවිත් මගෙන් ඇහුවා "අරවින්දත් එක්ක මට ටිකක් කතා කරන්න පුළුවන්ද?" කියලා. මං කිව්වා "අපෝ පුළුවන්, ඇයි දැන් ඔය යසට කතාකලේ කියලා. "විහිළු නෙවේ මෝඩයෝ, මං ආවේ ඉනෝකගෙන් බේරෙන්න බැරි කමට, අර ලියුමට උත්තරයක් ගන්න කියලා ඒකිගෙන් එක වදයයි" කියලා අනූෂා ඇවිත් ලියන මෙසේ උඩ වාඩිඋනා.
ඒ පාර මං ඇහුවා "ඇයි අනූෂා ඔයා ඔච්චර මෝඩද, තේරෙන්නැද්ද ඉනෝකායි මායි අහසයි පොළවයි වගේ කියලා. ඔච්චර උඩ අතු අල්ලන්න ගිහින් අතපය කඩාගන්න මට බෑ" කියලා.

ඒ පාර එකී කියනවා "ඔයා සල්ලි වලින්ද ආදරේ මනින්නෙ අරවින්ද, මං ඉනෝකා ගැන හොදට දන්නවා, එයා අපි වගේ නෙවේ හරිම හොද ළමයෙක්, කවදාවත් කොල්ලෙක් එක්ක රවුම් ගහලවත් මං වගේ ක්ලබ් ගානේ ගිහින්වත් නෑ. එයාලට සල්ලි වලින් වැඩක් නෑ. තියෙන සල්ලිවලට කරන්න දෙයක් නැතුව එයාලගේ ඩැඩි දන්සැල් දානවා. එයාලට ඕනේ ඔයා වගේ උගත් බුද්ධිමත් නිහතමානී කෙනෙක් මිසක් තව සල්ලි කාරයෙක් නෙවේ." කියලා.
මටම පුදුමයි මේ අනූෂාමද කියලා. එයා ඔය තරම් හැඟීමෙන් කතා කරනවා මං කවදාවත් අහල නෑ. මට කට උත්තරත් නෑ. අන්තිමට මං කිව්වා "මේ ගැන මං තව ටිකක් කල්පනා කරන්න ඕන. ඔයා මොනා කියැව්වත් ඉස්සෙල්ලම ඒ දෙමව්පියන්ගේ අවසරය ගන්න ඕන" කියලා.
ඒ පාර අනූෂා "මේ මොන මොඩයෙක් ද මන්දා, කොයි ලොකෙද දෙමව්පියන්ගෙන් අහලා ලව් කරන්නේ. මෙයාව නම් හදන්න බෑ" කියාගෙන ගස්සගෙන ගියා.  



ඊට පස්සෙ සති දෙකක් විතර කිසි හැල හොල්මනක් නැතිව ගෙවිලා ගියා. ඔන්න එක දවසක් ඉනෝකා ලස්සනම ලස්සන දම්පාට ගවුමක් ඇදලා කොණ්ඩේ ලස්සනට ගොතලා මල් කුමාරියක් වගේ පන්ති ආවා. එයා එදා අමුතු සතුටකින් උන්නේ. අපි සෙට් එක උන්නු තැනට ඇවිත් මා දිහා හොරෙන් බලලා  බිම බලාගෙන තනියම හිනා වෙනවා. ටිකක් වෙලා නිෂ්ශබ්දව ඉදලා එකපාරටම "අරවින්ද" කියලා හෙමිට බිම බලාගෙනම කතා කලා. ඒක කොච්චර ලයාන්විතව කිව්වද කිව්වොත් හැමෝම තම තමන්ගෙ කතා නවත්තලා ඉනෝකා දිහා බැලුවා.

Next chapter - http://asanka-mind.blogspot.com/2013/12/18.html

Sunday, December 1, 2013

78 සතිය

කෙතරම් දුක් මහන්සියෙන් ආර්ථික දියුණුව ලැබුව ද සියල්ල මොහොතින් නැතිවිය හැක. නමුත් මොහොතක උත්සහයකින් ලබා ගන්නා අධ්‍යාත්මික දියුණුව නැති නොවේ.