Saturday, January 31, 2015

මගේ කතාව 2 - වසන්තයේ නිමාව

මගේ පළමු සැත්කම සාර්ථකව නිම කිරීමෙන් පසු අපේ පවුලට යහපත් කාලයක් උදා උනත් ඒ සතුට වැඩි කාලයක් විඳ ගන්නට කාලයා ඉඩ දුන්නෙ නෑ. ටාසන්ව එක්කගෙන එන්න උනෙත් මේ නිසයි. ඒ කියන්නේ අපේ ගෙදරට හොරු පනින්න පුරුදු උනා.

 ඒ කියන්නේ මහ දවල් හොරු ගෙදරට ඇවිත් නිකාන් බොරුවට දොර ජනෙල් වල අගුළු කඩලා දානවා. මොකද ඉතින් හොරකන් කරන් යන්න තරම් වටින දෙයක් ගෙදර තිබුනේ නෑනේ. ගෙනියනවනම් ඉතින් තිබුනේ අල්මරිය ඇඳ රූපවාහිනිය වගේ වාහනයක දාගෙන යන බඩු විතරයි. ඒ නිසා එක පාරක් විදුලි ස්තිරික්කයයි ප්‍රධාන විදුලි පේනුවයි අරගෙන ගිහින් තිබුණා. හවස ගෙදර එනකොට විදුලියත් නෑ. තව දවසක ඇවිත් අයියාගේ සෙල්ලම් තුවක්කුව අරන් ගිහින් තිබුණා. තව දවසක ගල්ඉන්න අරන් ගිහින්. මේ නිසා දවල්ට ගෙදර කවුරුත් නැති එක ප්‍රශ්නයක් වෙලයි තිබුනේ. අල්ලපු ගෙදර මිනිස්සුත් එච්චර හිතවත් කමක් නොතිබුන නිසා අපේ ගේ ගැන සැලකිල්ලක් දැක්වුවෙත් නෑ. අන්තිමට ටාසන්ට පිං සිද්ධ වෙන්න ටිකක් ඒක නැතිව ගියා.

නමුත් ටික කලක් යද්දි මන්ද මානසික ළමයෙක් අපේ ගෙවල් පැත්තේ ඇවිත් අපේ ගෙදරින් ඉල්ලගෙන කන්න පුරුදු උනා. අපිත් ඒ අයියාත් එක්ක සෙල්ලම් කලා. ඒ අයියාගේ නම බ්‍රසීල්. ඒක ටිකක් අමුතු නමක් හින්දා මට අදටත් ඒ නම හොඳට මතකයි. ටාසන් උනත් ඒ ළමයාට සැලකුවේ පවුලේ කෙනෙක් හැටියටයි. පස්සෙ පස්සේ මේ ළමයා සතියේ දවස්වල අපේ ගෙදර ඇවිත් අපි නැති නිසා ගේ වටේ තියෙන බඩු මුට්ටු අරන් යන්න පුරුදු උනා. මන්ද මානසික ත්තවය නිසා දෙමව්පියන්ටත් බැනලා බය කරලා එලවන්න බැරි උනා. ටික කලක් තරහා වෙලා ඉඳලා ආයෙත් එනවා.

මේ අතරෙම වැට මායිමට රන්ඩු වෙලා සොම්පුල්ලෙ මාමාත් ඉඩං නඩුවක් දැම්මා. තාත්තට ඒකටත් සෑහෙන්න වියදම් කරන්න සිද්ධ උනා. මේ නිසා එක්දහස් නවසිය අනු පහ අළුත් අවුරුද්ද අවසන් වුනේ අපේ පවුලේ වසන්ත සමය ද නිමා කරමිනි. 

Thursday, January 29, 2015

මතකය

ඇයි මා රවටන්නේ බොරු කරලා
මා නුඹ අතහැර යන්නෙමි කියලා
නුඹ මා ගෙන් සමුගත් දා ඉදලා
රැ සිහිනෙන් මා ලග නුඹ රැදිලා

හිරුගේ ලොවෙදි මා හැර ගියමුත්
සදුගේ ලොවෙදි මා වෙත එන්නේ
මා හැර යන්නට බැරි හින්දා දෝ
කියනු සොදුරියේ මා නොරිදා

මටදුන් සියලුම දේ යලි ගත්නුඹ
ඔබගේ රුව හද ඉතිරිකර ගියේ
සදහට වෙන්වනු බැරි හින්දා දෝ
කියනු සොදුරියේ මා නොරිදා

Thursday, January 22, 2015

123 සතිය

වේදනාව ඇති බව තවකෙකුට සාධනය කොට ඔප්පු කල නොහැක. එය තමා විසින් ම අැති නැති බව ප්‍රත්‍යක්ෂයෙන් දත යුතුය .

Monday, January 12, 2015

122 සතිය

මේ ලෝකේ සැපයැයි කියන සියලු දේ අයිසිං කල අසූචි වැනිය. ඉවසීමත් සිහි කල්පනාවත් නොමැති වුවහොත් අසූචි කෑමට සිදුවේ.

Saturday, January 3, 2015

121 සතිය

කොපමණ කාර්යක්ෂම සහ වේගවත් යන්ත්‍ර සෑදුවත් විවේකය ලබා ගත නොහැක. මේ මොහොත තුල හුදකලා වූ විට අපට චිත්ත විවේකය ලැබේ.