Friday, November 28, 2014

මගේ කතාව 2 - බලු වෙදා

ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ පනෙල්කන්ද හන්දියෙ සොහොන් බිම අසලින් ඇතුලට ඇති ගුරු පාර කොහාට යන පාරක්දැයි මම නොදනිමි. නමුත් ඒ පාරෙන් අපේ ගෙදරට යා හැකි බව නම් දනිමි. පාර අයිනේ පාරේ නම ගැසූ පුවරුවක් තිබීම සාමාන්‍ය දෙයක් වුවත් මගේ මතකයේ ඇත්තේ එවැනි පුවරුවක සටහනක් නොව "පිස්සු බලු රෝග වෙද මහතා" යැයි කෙටූ ලැලී පුවරුවක්. අපේ ගෙදර පිහිටියේ තරමක් උසින් කදු ගැටයකයි. පල්ලමේ ගෙදර වූයේ මේ වෙද මහතාගේ ගෙදරයි. කවුරුත් 'බලුවෙදා' යැයි ඔහුව ඇමතුවේ ඔහුට නිග්‍රහ කිරීමට නොව භාවිතයේ පහසුවට යි.

ඒ වෙදමහතාට අපි සීයා කීවෙමු. නමුත් ඔහුගේ බාල දියණිය නැන්දා නොව දිස්නා අක්කාය. අප කුඩා කල දෙමව්පියන් වැඩට ගිය විට දිස්නා අක්කා සමඟ ඒ ගෙදරට වී සිටිමු. පාසැල් යන දිනවල ගෙදරම්මලාගේ ගෙදර සිටියත් නිවාඩු කාලයට බලු වෙදාගේ නිවසේ කෙළිදෙලෙන් කාලය ගත කලෙමු. දිස්නා අක්කාත් ඇයගේ මවත් ස්වයං රැකියාවක් ලෙස කොහු ලණු අඹරයි. මම ද ඊට සහය වන්නේ බොහොම ආසාවෙනි.

 හීං ලණු තුනක් ගෙන එකට තබා කෙලවර  හිල් පොල්කටුවක් තුලින් යවා ගැටයක් දමයි. ඊ ළගට ඉතිරි කෙලවරවල් තුන එකට තබා පොල්ලක ගැටගසයි. එක් අයෙක් පොල් කටුවෙන් අල්ලා සිටින අතර අනෙකෙක් ලණු ඇදෙන සේ පොල්ල අල්ලාගෙන කරකවයි. එවිට ලණු තුන එකට ඇඹරේ. හොදට ඇඹරුණු පසු ලණුවේ මැදින් කෙනෙක් අල්ලා සිටිය දී කෙලවර දෙක එකට තබා මැදින් අල්ලා සිටින තැන නිදහස් කරයි. එවිට ලණුව හොඳට ඇඹරී කඹයක් බවට පත්වෙයි. බොහෝ විට එහි අවසන් කොටස වන මැදින් අල්ලා සිටින්නා මම වෙමි.

අප එහි ගියවිට දහවල් ආහාරය ගන්නේ ද සියාගේ ගෙදරිනි. දිස්නා අක්කා හෝ සීයා අපට ආහාර කැවීම සිදු කරයි. එසේ ආහාර කවන විට කතන්දර කීම සීයාගේ පුරුද්ද කි. මුලින් මුලින් කවන වේලාවට පමණක් කතා කීව ද අපේ කතා ඇසීමට තුබූ ආසාව නිසා සියාට හැකි හෑම අවස්ථාවකම කතාවක් කීමට සිදු විය. අවසානයේ අවසානයක් නැති කතා ද සීයාට කීමට සිදුවිය. ඒ අපගෙන් ගැලවීම උදෙසාය. එවැනි එක් කතාවක් මෙසේ ලියමි.

"ඔන්න එක කැළැවකට ආවලු කෝච්චියක්, ඉතින් ඒ කෝච්චියට සත්තු ඔක්කොම නගින්න පටන් ගත්තලු. මුලින් අලි නගිනවලු, ඊ ළගට සිංහයෝ, කොටි වල්ස්සු නගිනවලු. ඊ ළඟට නරි නගිනවලු, ඉතින් තාම සත්තු කෝච්චියට නගිනවලු"

"ඉතින් ඊට පස්සේ ?" අපි සීයාගෙන් අසමු. "ඉතින් තාම නගිනවනේ, නැගලා ඉවර උනාම කියන්නම්කෝ" සීයා කියයි. ඔය වගේ ඉවරයක් නැති කතා ද සෑහෙන ප්‍රමානයක් සියා කියා ඇත. සීයාගේ කටේ නිතරම කියැවෙන සින්දු කැල්ලක් ද ඇත. එය මට තාමත් මතක ඇත. "කොස් තම්බා පොල් ගාලා කන්න දුන්නේ මං, මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලූ දැන්" යනු ඒ කවියයි.

සීයා ලෙඩුන් අඩු කාලවලට මාළු ඇල්ලීමට යයි. ඒ යන ගමනට මා කවදාවත් රැගෙන නොගියත් අයියා නම් සීයා සමඟ මාළු  ඇල්ලීමට බොට්ටුවෙන් ගඟේ යයි. ඒ නිසා බොහෝ දිනවල දවල්ට වෙල් මාළු හෝ ගඟේ මාළු කෑමට ලැබෙයි. ඊට අමතරව ඌරු මස් ද සීයාගේ ගෙදර වෙයි. ඒ පිස්සු බලු රෝගය හඳුනා ගැනීමට රෝගින්ට ඌරු මස් කන්නට දෙන නිසායී.

මගේ කූඩා අවදියේ මතකයන් අතරේ සදා අනුස්මරණිය චරිතයකි වෙද සීයා. හේ කියා දුන් කයි කතන්දර තාමත් මට අද ඊයේ වගේ මතකය. දිස්නා අක්කා ද ඒ මතකයේ සිටියත් ඇගේ මවත් අයියලා දෙන්නා ගැනත් ඇත්තේ බොඳ වූ මතකයකි.

Tuesday, November 25, 2014

ඔබ ඔහුගේ වීමෙ වටිනාකම

ඔහු අහසයි -නුඔ සදවතියයි
ඒ් අහසේ බබළන
ඔහු වැස්සයි - නුඔ දේදුන්නයි
පිනි බිදුමත දිදුලන

මා මහ පොළවයි සද  එළියේ සැනහෙන
අහසට වැඩියෙන් අදුනන්නේ පොළවයි සදුගේ සොමිගුණ

මා වැහි ළිහිණෙකි නුබ ගැඹරේ පියඹන
පින්නට නොපෙනෙන දේදුන්නේ විසිතුරු දකිමින් නැළවෙන

Friday, November 21, 2014

Thursday, November 13, 2014

116 සතිය

ඉවසීම යනු කල්මැරීම නොව අත්හැරීමයි

Friday, November 7, 2014

මගේ කතාව 2 - ටාසන්

මගේ මවගේ මහගෙදර පිහිටියේ කරණ්දෙනිය නගරාසන්නයේ මහේදණ්ඩ නම් ප්‍රදේශයේය. කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයට එහි සිට තුබුනේ හූවක් තරම් දුරකි. ඒ නිසායි අප එහි රදවා අම්මත් තාත්තාත් රැකියාවට ගියේ.
නුමුත් තාත්තාගේ මහගෙදර පිහිටියේ නගරයෙන් වසන්ව තිබූ කිරිණුගේ ග්‍රාමයේය. එහි යාමට තිබුනේ එක් බස්රථයක් පමණි. දවසට දෙවරක් බස්රිය බටපොල සිට අම්බලන්ගොඩට ගොස් නැවත බටපොලට පැමිණේ. පුද්ගලික වාහනයක් නොමැති වූවෝ බස්රිය එන වේලාව අනුව තම ගමන් බිමන් සූදානම් කර ගතයුතුය. නැතිනම් පයින් ගමන් කල යුතුය. එ වැනි අවස්ථාවල පාරේ යන කරත්තයක හෝ ලැන්ඩ්මාස්ටර් වර්ගයේ ට්‍රැක්ටරයක හෝ නංවාගෙන යාමට ගම්වැසියන් පුරුදුව සිටියා.
තාත්තාට පාසැල් යන කාලේ සීයා විසින් බයිසිකලයක් අරන් දී තිබුනා. ඒ නිසා නිවාඩූ දින වලදී බයිසිකලයෙන්  ගෙදරතාත්තාගේ (සීයා) දිහා යාමට පුරුදුව සිටියා. ඒ ගොස් එනවිට තාත්තා ගෙදරට අවශ්‍ය යමක් රැගෙන එනවා. එසේ එක් දිනක් රැගෙන ආවේ බලු පැටියෙකි. අවුරුද්දක් විතර වයස තිබූ නිසා තාත්තා ඌ රැගෙනවිත් තිබුනේ දිග පටියක් බෙල්ලේ ගැටගසා අනෙක් කෙලවර බයිසිකලයේ ගැටගසාගෙනය. බල්ලාට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් කියන්නැහේ ඌ මුලු දුරම බයිසිකලය පස්සෙන් ඇවිත් තිබුණි.
බල්ලා දුටු පමණින් සත්තුන්ට මහත් ආදරයක් දක්වන ලොකු අයියා ඌට කැමති විය. බල්ලා ඔහුගේ ජීවිතයේම කොටසක් විය. අපි ඌට ටාසන් යන නම දැමුවෙමු. ඌගේ හොම්බ දිගයි. සුදු ශරීරයේ තැනින් තැන කලු වයිරම් තිබුනු නිසා ඌට තිබුනේ හොදවර්ගයේ සුනකයකුගේ පෙනුමකි. ටාසන්ගේ ස්වාමීයා වූ ලොකු අයියාට ඌ ඉතා ලෙංගතු විය. නිතරම අයියාගේ පස්සේමය.

අයියා ඌට නොයෙකුත් ක්‍රියා පුරුදු කලේය. අයියාගේ අණට බොහෝවිට කීකරුව සිටි නිසා පස්සා ගාත් දෙකෙන් ඇවිදීමට, අතට අත දී ආචාර කිරීමට, ඉහල ඇති දෙයක් උඩපැන කඩා ගැනීමට, ඈතට විසිකරන යමක් අහුලා ගෙනත් දීමට සහ තව නොයෙක් දේ කිරීමට ටාසන් පුරුදු කිරීමට හැකිවුනා. නිවාඩු කාලයට වත්ත පිටුපස වූ කැලැවේ ටාසන් සමඟ දඩයමේ යැම අයියාගේ සිරිතකි. මගේ අසනීප තත්වය මත එවැනි ගමන් වලට මා සහභාගී කරගත්තේ කලාකුරකිනි. එවැනි එක් අවස්ථාවක් මගේ මතකයේ තවමත් ඇත.
ඒ කැලෑවක් කීවට එය තණ පිටියක් කීවොත් වඩා නිවැරදිය. එහි අපටත් වඩා උස තණකොල ගස් වෑවී තිබුණා. ඒ කියන්නේ අඩි 4ක් 5ක් විතර. ඒ කැලෑවේ හාවන් බහුලව සිටියා. ඊට අමතරව තලගොයි, කබරගොයි තමයි වැඩිපුර හිටියේ. මොකද කනත්ත තිබ්බෙත් ඒ කිට්ටුවමනේ. ඉතින් අපි කැලෑවේ ඇවිදිනකොට, ඒ කියන්නේ කෝපි දන්ඩක් නවලා දෙකෙලවරට ලණුවක් ගැටගහලා හදාගත්තු දුන්නකුත් කෝපි කෝටු සුද්ද කරලා හදාගත්තු ඊ තලත් අරගෙන යනකොට දැක්කා සුදු හාවෙක්. සාමාන්‍යයෙන් කැලෑ හාවෝ අලු පාට හෝ දුඹුරු පාටයි.  අයියා වහාම ක්‍රියාත්මක වෙලා විද්දා හාවට. හැබැයි වැදුනේ පඳුරට. මොනාකරන්න ද, හාවා කඩාගෙන බිදගෙන දුවන්න පටන්ගත්තා. ඊ ළඟට ක්‍රියාත්මක උනේ ටාසන්. වහා ම ඌ හාවා ලුහුබැඳ අතුරුදහන් උනා. අපි ටාසන් එනකම් බිං කළුවර වැටෙනකම්ම බලා හිටියත් ඌ  ආවේ නැති නිසා දුකෙන් ගෙදර ආවා. ඌ රෑට කන්නවත් ආවේ නැතිනිසා අයියට නම් ගොඩක් දුකයි. ටාසන් කබර ප්‍රහාරයකටවත් ලක්වුනාදෝයි අපි බයෙන් උන්නේ. නමුත් පහුවෙනිදා උදේ ටාසන් නිරුපද්‍රිතව පැමිණ සිටියා. ඒත් ටාසන්ට හාවා අල්ලාගන්න හැකි  උනාදැයි අපි දන්නේ නෑ.

අපි උදේ ගෙදරින් එනවිට මෝටර්සයිකලය පසුපස මදක්දුර පැමිණිම ටාසන්ගේ පුරුද්දක්. ඒ ඌට මෝටර් සයිකලයේ වේගයට ලඟා වීමට නොහැකි වූ නිසයි. නමුත් දිනක් ටාසන් ඉවපාරේ ගෙදරඅම්මාලාගේ නිවසට ආවේ ය. එදා සිට ඌ ගෙදරම්මලාහට වී අයියා පාසැල් ඇරී ගෙදර එනතුරු බලාසිටීමට පුරුදු විය. එක් දිනක් එසේ බලා සිටි ටාසන් අයියා එනු දැක ඉදිරියට ගොස් ඔහුව පිලිගත්තතේ ය. එවෙලාවේ ගෙයි සිට පැමිණි ගෙදරම්මා අයියාට කඩේට ගොස් යමක් රැගෙන එන ලෙසට කිව්වා. ටාසන් අයියා පසුපස  එමට සැරසෙන බවදුටු නිසා "මල්ලී ඔකා මගේ පස්සෙන්   කඩේට ඒවී. පොඩ්ඩක් මං යනකන් ටාසන්ව අල්ලා ගන්න" කියා කිව්වා. මම ද අයියා නොපෙනී යනතෙක් ටාසන්ගේ කරපටියෙන් අල්ලා සිටිමුත් යම් බුරුලක් ලද ඇසිල්ලේ ඌ අයියා ගිය දිසාවට දිව ගියා. අයියා නැවත එන විට ඌ ද පිටුපසින් එමින් සිටියත් හදිසියේ පාරෙන් එහා පැත්තේ උන් බල්ලෝ රැලක් අයියාට බුරන්නට පටන්ගත් නිසා කෝප වූ ටාසන් ඒ බල්ලන්ට බුරාගෙන පාර පැන්නා. ඒත් සමගම පැමිණි ලොරියක ටාසන්ව ගැටී ඈතට විසි උනා. ඒත් සමගම නැගිටගත් ඌ ලේ පෙරාගෙන කැලේට දිව්වා. ටික මොහොතකින් මහගෙදර පිටුපසින් පැමිණි ටාසන් ලේ බේරෙමින් ගේ මැද්දෙන් දුවන්නට උනා. ඒ දුටු චූටිමම්මා (චූටී පුංචි) කොස්සක් ගෙන ඌව එලවා දැමුවා. අයියා "අනේ ඌව එලවන්න එපා. අල්ලගෙන බෙහෙත් දාමූ" යි කෑ ගැසුවත් පලක් නොවිනි. නැවත කැලයට දුවගිය ඌ නැවත අපට දකින්නට ලැබුනේ ඊට සතියකට පමණ පසූ අපේ ගෙදර මිදුලේ ය. අපේ ටාසන් ගෙදර ඉස්සරහා මිදුලේ තණබිස්ස උඩ මැරී සිටිනු අපට දැකගතහැකි උනා.