Saturday, January 21, 2012

කාටත් එක වගෙයි.

සියොතුනේ එන්න - සිව් දිගින් එන්න
හදෙහි දොර අගුළු හැරී ඇත
හද ලැගුම් ගන්න 

රණ හසුනි මෙහි එන්න - රණ මයුර පැමිණෙන්න
රණ ගිරවියන් රෑන් රෑන්
ඇවිද රග දෙන්න

කවුඩනී එන්න - කෑරලුන් එන්න
ඇවිත් උලමාවියන්
රැයම මොරදෙන්න

ඇවිත් රග දෙන්න - එහිම පහරන්න
මගේ හද අගුළු ඇරී ඇත
සියොතුනේ එන්න

සැවුල නුඹ පැහැය - නොවෙයි මට අගය
කාලවන් කැවිඩියන්
සැවොම එක සමය

රණ මයුර රග දෙන්න - උලම මොර දෙන්න
මෙමට ඉන් පලක් නැත
සැමට එක සිතය.

21සතිය

යමෙකුගේ මරණය ගැන දුක් වන්නා මෝඩයෙකි. නැතිනම් ආත්මාර්ථ කාමියෙකි.

Tuesday, January 17, 2012

කතුවරයාට සමු දුනිමි

ඉතින් යාලුවනේ ලියන්න කියලා පටන්ගත්තට මොකද ලියන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි. දැන් මගේ කතාවේ මට අවුරුදු හතරක් වෙනකං වෙච්චිදේවල් කෙටියෙන් නමුත් ඔයගොල්ලෝ දන්නවනේ. ඒ දක්වා සිදුවුන කිසිම දෙයක් මගේ මතකේ නම් නෑ. ඒ නිසා තමයි ජොරා විසින් ඒ දෙවල් ඔයාලට ඉදිරිපත් කලේ.
 ඉතින් මට හිතුනා මෙකනින් පස්සේ මගේ කතාව මන්ම කියන එක හොදා කියලා. මං මට මතක හැටියට මගේ කතාව කියන්නම්. මං හිතනවා ඔයාලා ඒකට කැමති වෙයි කියලා. මගේ මතකේ එතරම් නැති උනත් පොඩි සිද්ධීන් දෙකක් කියලම කතාව පටන් ගන්නම්කෝ.
 ඉතින් ඒ වෙනකොට මට අවුරුදු 3 2\1 ක් විතර ඇති. මං අපේ අර අලුත් ගෙදර, ඇයි අනේ අපේ නංගි ඉපදෙන්න ඔන්න මෙන්න තියලා හදලා ඉවර කරපු ගේ. ඉතින් මං මිදුලේ ඇවිදිනකොට මට මාර මහන්සියක් ආවා. ඉතින් ඉදගත්තා මිදුලෙන්. එන්න පටන් ගත්තා පරික්ෂණ කරන්න. මුලින්ම දැක්කා දිලිසෙන ගල් කැටයක්. හ්ම්ම්... මැණිකක් ! මට මතක් උනා තාත්තා කියපු කතාවක්. " ඔය මැණික් ගරන අය මැණිකක් දැක්ක ගමන් ගිලිනවා පස්සේ කැලේට ගිහින් කක්ක කරලා ඒක ගන්නවා". ඉතින් මටත් මැණිකක් හම්බ උනානේ. හේහේ නෑ නෑ ප්‍රෂශ්නයක් උනේ නෑ. ඒකට මක් උනාද කියන්න මන් දන්නෙ නෑ. හැබැයි පස්සෙ කාලෙත් මං අයියලත් එක්ක ඔට්ටු අල්ලලා දිලිසෙන තිරුවානා ගල් ගිලලා තියෙනවා. ඒකනේ තාමත් ගල් ගිල්ල වගේ ඉන්නේ.
 ඉතින් ඊට පස්සේ හම්බඋනේ මොකක් ද දන්නවද? අපේ අම්මා මට බත් කවද්දි පෙන්නන රතු පාට ටිකක් දිග සතෙක්. ඔන්න ඉතින් අල්ලා ගත්තා පරික්ෂණයට දන්නවනේ ඉතින් ඔය වයසෙදි කොහොමද පරික්ෂණ කරන්නේ කියලා. කෙලින්ම කටට. හප්පේ මේ මොකක්ද මං කරගත්තේ මහා කටුක ගදක් එක්ක දිව ඇඹරිලා යන රසක්. දැන් ඉතින් මක් කරන්නද හූ තියලා අඩනවා මිසක්. ඔන්න ඒ පාර සද්දෙට අම්මා දුවන් ආපි. මාර කේස් එක මගේ කටින් ලේ එනවා. අම්මා බයවෙලා මාව වඩාගෙන කට තුවාලවෙලාද කියලා බලනවා. මොන තුවාලද පන පිටින්ම හැකරැල්ලෙක්ව කාල නේද මේකා. "අයියෝ මක් කරගත්තද පුතේ" කියපු අම්මා කටට අත දාලා ගත්තා හැකරැල්ලව එලියට අරගෙන කටත් හේදෙව්වා. කොහොමත් ටික දවසක් යනකන් තොල් ඉදිමිලාත් තිබුණා.

ඒ කතාව ඉවරයිග. එන්න ඉතින් තව දවසක් ඔය වගේම පරික්ෂණ කරන වෙලාවක මට හම්බුනා වී ඇටයක්. ඒකේ හැඩේ හැටියටනම් කරන්න ඕන මුඛ පරික්ෂාව නෙමේ කන් පරික්ෂාව, බලන්න ඕන මේක කනේ ගහලා මේ මොකක්ද කියලා. මදෑ කොලා! කනට දානකොටම ඒක අත ඇරිලා ගියා නෙව කන ඇතුලටම. ආයෙත් පුරුදු නිගමනයමයි. හූ තියා ඇඩීම. මේ පාර දුවන් ආවේ තාත්තා. බැලුවා මක්කවෙලාද කියලා. මමත් කන කන  කියලා අඩපු නිසා තාත්තා දැන ගත්තා කනේ මොකක් හරි දාගෙන කියලා. ඒ පාර මාව අරන් ගියාඉස්පිරිතාලෙට. වෛද්‍යවරයා පරීක්ෂණ කරලා තීරණය කරා කණ ඔපරේෂන් කරන්න මහ ඉස්පිරිතාලෙට ගෙනියන්න. ඔන්න ඉතින් අරන් ගියා කරාපිටියට. ඒකෙ දි දොස්තර ඉන්න කාමරේ දොරගාවදි සුපිරියෙන්ටන් අංකල් කෙනෙක් දැකලා ඇහැව්වා ළමයාට මොකද කියලා. ඉතින් තාත්තා විස්තරේ කිව්වම ඒ අංකල් හිනා වෙලා තාත්තට කිව්වා අයියෝ මහත්තයා ඔකට ඔපරේෂන් කරන්න ඕනේ නෑ එන්න මාත් එක්ක කියලා. පස්සේ එයා තව පොඩි දොස්තර කෙනෙක්ට කියලා වී ඇටය එලියට ගැනීමේ මෙහෙයුම පටන් ගත්තා. මුලින්ම ගත්තා වතුර පිරවූ සින්ජරයක්. විද්දා කනට ඇද්දා ආපසු. වී ඇටේ සින්ජරය ඇතුලේ. මෙහෙයුම සාර්ථකයි.
 ඉතින් ඔන්න ඔහොමයි උනේ.

Friday, January 6, 2012

අළුත් ඇරඹුමක්

ඉතින් යාලුවනේ දැන් 2012 වසර ආරම්භයත් සමග නැවතත් ලියන්නට සිතුවේ මගේ ලගම මිතුරන් කීප දෙනෙක්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල නොහැකි නිසාය. මීට   මාස දෙකක් පමණ කාලයකට පෙර මෙම බ්ලොගිය ලිවීම නතර වූයේ සරසවියේ වැඩ අධික වූ නිසාත් මෙහි වටිනාකම මිනුම් කල නොහැකි වූ නිසාත්ය. නමුත් පසුගිය කාලය තුල මට නොයෙක් විදියේ ඇරයුම් ලැබුණා නැවතත් ලියන මෙන්. ඉන් මෙහි යම් වටිනාකමක් ඇති බව මට වැටහුනා. ලියන්නට නොහැකි වීම ගැන මම ඔවුන්ගෙන් සමාව ඉල්ලන අතර මාව දිරිමත් කිරීම වෙනුවෙනුත් අඩුපාඩු පෙන්වා දීම වෙනුවෙනුත් ඔවුන්ට කෘතඥ වෙමි. වැඩ රාජකාරි බහුල වුවත් ඔවුන් වෙනුවෙන් ඉඩ ලැබෙන හැටියට ලියන්නට මා සිතමි. සෑම විටම සතුටින් සිටින සමාජයක් බිහි කිරීම මෙහිලා මාගේ අරමුණ කොට ගනිමි. මෙවර මට කොතක් දුරට ගමන් කල හැකිදැයි යන්න ඔබේ ප්‍රතිචාර මත තීරණය වේවි. මින් ඉදිරියටත් ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙමින් නැවතත් ඔබට ආයුබෝවන් කියමි.