Friday, March 30, 2012

25 සතිය

දුක් විඳීමෙන් සැප නොලැබේ. සැප ලැබීමට සැප විඳිය යුතුය.

අළුත් නවාතැන

අතීතයෙන් තවමත් මතක තිබෙන සිදුවීම් වලින් තවත් එක් මතකයක් තමයි මං මේ කියන්නේ. ඔයගොල්ලො දන්නවා මං පොඩී කාලේ ඉදන් මාසයකට සැරයක් වත් ඩොක්ටර් අංකල් හමුවෙන්න යන බව. දැන් මට අවුරුදු4 1/2යි. ඒ කියන්නේ දෛවඥයන්ට අනුව මට තව ඇත්තේ මාස6 ක් පමණයි. ඇත්තටම මං මේ වෙනකොට හිටියේ ඉතා දුර්‍වල තත්වයක. ඒ නිසා වහාම සැත්කමක් කල යුතුබැව් වෛද්‍ය මතය විය.
   එදා1993 9 26 වැනිදාය. අපේ අයියාගේ ඉස්කෝලේ ( අම්මාගේ හා තාත්තාගේ ද පාසල) සංගීතයක් තිබූ එදා මාත් අයියාත් තාත්තා සමග එය බැලීමට ගියෝය. එවිට මහා සද්දෙන් රෝස තොල් සිඹින යන ගීතය ගැයුවා මට මතකය. ඒ ඩ්‍රම්ස් හඩ මට මගේ පපුවට ගසන්නාක් මෙන් ඇසුනු නිසා කොයිවේලේ හෝ හදවත බිමට වැටේ යැයි බියෙන් දෝ හෝයි මම "තාත්තේ අපි යමු    "දැයි ඇසුවෙමි. ඒ නිසා තාත්තා නැවතත් අප කැටුව ආවේය. ඊලග දවසේ කොළඹ යා යුතු බැවින් අම්මා හනිකට මාව නිදි කෙරෙව්වාය. මට නින්ද යන විට ද ඈතින් කපුගේ ගේ උන්මා ද සිතුවම් ගිතය ඇසුණි.
  ඊ ළග දවසේ අප කෝච්චියෙන් කොළඹ පැමිණියෝය. එදා හවස් වන විට මාව කොළඹ මහ රෝහලේ 24 වාට්ටුවට ඇතුලත් කළේය. මාත් අම්මාත් ඒ ස්ථානයට ගියේ හොද නින්දක් දමන්නටය. මොකද උදේ පාන්දර නැගිට ඉතා වෙහෙසකර ගමනකින් පසුව අප එම නවාතැනට පැමීණ සිටි බැවිණි.
   ඒ නම් මා කිසිසේත් බලාපොරොත්තු නොවූවකි. එය හිගන්නන්ගෙන් පිරි කාමරයකි. තැනක වේදනාවෙන් කෑ ගසන සීයා කෙනෙකි. තැනෙක හිගන්නෝ කීප දෙනෙක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටී. අපට සුවසේ නිදා ගැනීමට සුදුසු වටපිටාවක් තියා තැනක්වත් එහි නොවීය. අපට සිදු වූයේ මේසයක් යට දමා තුබූ පැදුරක නිදා ගැනීමටයී. කෙසේ වෙතත් මට හුරු පුරුදු බෙහෙත් සුවද එහිද පැතිර තිබුණී.
කෙසේ හෝ තෙහෙට්ටුව නිසාදෝ මොන බාධක තිබුනත් මට නම් අගේට නින්ද ගියේය. නමුත් රාත්‍රියේ මට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇතිවී ඇහැරුණේය. "අම්මේ අම්මේ මට කක්ක බරයි" අම්මා ඇහැරවා ගත් මා අම්මා සමග කොරිඩෝව දිගේ කෙලවරට ඇවිද ගියේය. එහි කෙලවර හුස්ම ගැනීමට අපහසු තරම් සුවදක් එන කාමරයකට මාව රැගෙන ආවාය. එය වලලුකර දක්වා වතුර පිරුණු කාමරයකි. එහි ඇතුලට ඇගිලි තුඩුවලින් ගිය විට වැසිකිලී පේලියක් දක්නට ලැබිණි. ඒ සෑම එකක්ම පාහේ උතුරමින් තිබුණා මට මතකය. අනෙක් පස කොමඩ් පේලියකි. ඉන් සමහරක් කෑඩී තිබුනේය. මටද කොමඩ් එකක් මුලින්ම දක්නට ලැබුණේ එහිදීය. වෙන කරන්නට දෙයක් නොතිබූ බැවින් මා එය මත නැග මලපහ කලේය. පසුව අම්මා කොහේදෝ සිට වතුර බාල්දියක් ගෙනැවිත් මාව සේදුවාය.
   එසේ අළුත් නවාතැන් පොලේ එක දවසක් ගතවිය. මට එය දුකක් යැයි කිසිවිටකත් නොසිතුනේය. නමුත් අද නැවත මතක් වන විට මට සිතෙන්නේ අම්මාත් තාත්තාත් කෙසේ මේවා විද දරා ගත්තාද යන්නය.  

Saturday, March 24, 2012

6 ලිපිය - මමත්වය හා පව්කම් අවසානය 

දැන් අපට වැටහෙනවා කුසලාකුසලත් පින් පව් වලත් මූලික වෙනස. ඒ තමයි මමත්වය. කුසලාකුසල යනු නැවත නැවත යෙදීම තුලින් පුරුද්දට යන්නා වූ හැකියාවක්. නමුත් පින් පව් ඇතිවන්නේ තමාට එය දැනෙන ප්‍රමාණයටය. නැතිනම් එය කෙතරම් තමාගේ කරගන්නවාද යන්න මතයි.
  උදාහරණයකින් පැහැදිලි කරනවානම් අපි දන්නවා සත්ව ඝාතනය අකුසලයක් මෙන්ම පවක් ද වන වග. නමුත් මරණ සතාගේ හැටියට පවේ බරපතලකම නැතිනම් විශාලත්වය වෙනස් වෙනවා. කර්මයේ නම් වෙනස් වෙන්නේ නෑ. මා දන්නා පරිදි ආනන්තරීය පාප කර්ම මිස අකුසල කර්ම නෑ.  සමහර අය කියනවා ගවයකු මැරීම බල්ලකු මැරීමට වඩා පවක්, මිනිසකු මැරීම ඊටත් වඩා පවක් බව. නමුත් ඇත්තටම ගතහොත් එහි බරපතලකම තීරණය වන්නේ ඝාතකයාගේ ස්භාවය අනුවයී. යමෙක් තමා ඉතා ආදරය කල සුනඛයා ක්ෂණික කෝපය මත ඝාතනය කලේ නම් ඒ පව නන්නාදුනන මිනිසකු  මැරීමට වඩා බරපතල විය හැක. මන්ද ඒ තමාගේ බල්ලා නිසාය.
  තව එක් උදාහරණයක් දක්වා මම මෙම ලිපිපෙල අවසාන කරන්නම්. අපි දන්නවා කලු ගලක් කුලුගෙඩියකින් ගසා විනාශ කිරිම පාප කර්මයක් නොවන බව. නමුත් කලු ගලින් කරන ලද පිළිමයක් කඩා දැමීම විශාල පවක් ලෙස සලකනවා. හෞතික වශයෙන් කර්ම දෙකම සමානයි. නමුත් එම පුද්ගලයා පිළිමය ආත්ම වශයෙන් ගත් නිසා තමයි එය කඩා දැමීම පවක් වුයේ. එය පිළිමයක් බව නොදන්නා කෙනෙක් එය කඩා දැමුවේනම් ඔහුට කිසිම පාපයක් සිදු වන්නේ නෑ.

Monday, March 19, 2012

24සතිය

විවාහ වීම යනු අනිවාර්ය ප්‍රශ්න සහිත ප්‍රශ්නපත්‍රයකට ලියාපදින්චි වීමකි.

මගේ මොන්ටිසෝරි ගමන

මට අවුරුදු  4 1/2 වන විට මාව ලදරු පාසලකට යැවිය යුතුයයි ගෙදරම්මා යෝජනා කලේ අයියාද අවුරුදු 4  සිටම පෙර පාසලකට යැවූ බැවිනි. අයියා ගියේ වතුගෙදර ගෙදරතාත්තාගේ සාප්පුව ඉදිරිපිට තුබූ පන්සලකටය. නමුත් මාගේ හැටියට එතරම් දුරක් බසයෙන් යැම අපහසු බැවින් මහගෙදර( අම්මාගේ දෙමව්පියන් ජිවත් වූ ගෙදර) අසලම මදක් දුරින් වූ පෙරපාසලකට මාව ඇතුලත් කලේය. එහි සිටියේ තරුණ ගුරුවරියකි.
    හැමදාම උදයටත් දවල්ටත් මා රැගෙන යාම ඒම කලේ ගෙදරම්මා විසිනි.හුග වේලාවට ඈ මාව වඩාගෙන ගමන් කලාය. නමුත් ඇයට ද එය මහත් අපහසුවකි. එබැවින් සමහර අවස්ථාවල ඈ මාව අතින් අල්වාගෙන ගිය නමුත් අඩි දෙක තුනක් ගිය තැන මට හතිය හැදෙන බැවින් මා ඇවිදගෙන ගියාට වැඩිය ඇදගෙන යාම සිදුවිය. මා කෙතරම් හති ලෑවේද යත් මා හුස්ම ගන්නා හඩ මයිනහමක හඩ වැනි විය.
     අපේ ටීචර් හරිම හැඩය. හැමදාම සාරියක් අදින ඈ දිනක් මුව පැටියකු ගැන කවියක් කියා දුන්නා මතකය. තවත් දිනක ලමයකු මට මූසලයා යැයි කීවේය. එවෙලෙහි මට ඒකව මරන්න තරම් වුවද මා ඉවසා සිටියේය. එය මා එතෙක් අසා තුබූ නරකම වචනය විය.
     මම පෙර පාසලට බාර දී සති 2 කින් පමණ තවත් දිනක් විවේක කාලයේදී මා යාලුවකු සමග සීසෝ පදිමින් සිටියේය. හදිසියේම සීනුව නාද විය. එවෙලෙහිම සීසෝවේ පහල සිටි අනෙක් ලමයා පැන දිව්වේය. මට ද එවේලෙහි කරගතහැකි දෙයක් නොතිබිණි. මාව අඩි දහයකින් පමණ සිට බිමට ඇද වැටුණා මට මතකය. ඉන් පසු කුමක් වූවාදැයි මතක නැත. නමුත් ඒ මොන්ටිසෝරියේ අවසන් දවස විය. යලි මා කවදාවත් පෙර පාසලකට නොගියේය.

Friday, March 16, 2012

සිහින කුමරිය

ඊයේ රෑ මා සිහිනෙන් දුටු ඒ කුමරිය කොහිදෝ ඉන්නේ
මේ ඉර හද යට කොතැනක හිටියද  හමුවන තුරු ඉවසන්නේ
මිහිබට නැති ඒ සුර අගනක්දෝ දෙව් ලොවසිටදෝ එන්නේ
ජීවවමාන ලෙස ඈ හමුවන තුරු සිත මා පෙරුම් පුරන්නේ

කොමඩු දෙපලුවන් දෙතොල් සලා ඈ ගීයක් හිමිහිට මුමුණයි
මේ මිහිපිට ඇති සුමිහිරි වදනක් ඒ ගීයෙන් මට ඇගවෙයි
ආදරයයි ආදරයයි කියමින් දෙසවන් සනහයි
දෙනෙතට මා රසදුනක් මවා වත කමල සලා ඈ රගදෙයි

මා හිස ඈ ලය තුරුලෙ හොවාලා ආදරයෙන් මා නලවයි
හිස අතගා ඈ සිනහ මවාලා දෙකොපුල් සිඹ හද ජල්වයි
නෙත ඇහැරී මා බලනා කල ඈ සයනේ හැරදා  පැනයයි
ඈ මා වෙන්කල නපුරු හිරුට ඒ හදවත මා දොස් පවරයි

Monday, March 12, 2012

දන් දීමයි ! පින් දීමයි !

බොලාට කියන්න මට පරණ හුටපටයක් මතක් වුනා නෙව. ඉතින් ඕං මට හිතුණා බොලාට මෙක කියාපිනාලා යන්න.
 මීට ටික දොහකට කලියෙන් මං කොම්පීටර කලාස් ගියා නෙව. ඉතින් අපේ ගෙදර තියෙනවා ජම්බූ ගහක් ඕං. ඕකේ ජම්බු හැදෙන්න ගියාම ලොරියකට ජම්බු. ඉතින් නිකාං නිරපරාදේ ඉදිලා වැටිලා යනවා. කොරන්ට දෙයක් නැති කමට මාත් ඕං සිලි සිලි මල්ලක් පිරෙන්ටම ඇරන් ගියා කියමුකෝ කලාස් එකට. හප්පේ ඉතින් දන්නැද්ද පෙරෙත හැත්තට අමුර්තය හම්බවුනාහේ ඒව්වා ගිලින ගමන් මට කියාපි බොට වැඩි වැඩියෙන් ජම්බු ලැබෙන්ට ඔනෑ කියාලා. අනේ අම්මාපල්ල මුන්ගේ @#$@#^&* ට මං කියෙව්වා යකුනේ බොලාට බැරිද ඊලග වතාවේ ජම්බු වෙනුවට ඇපල් ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කොරන්න. මං මේ ජම්බු එපා වෙලා කරලන්න දෙයක් නැතිව ඉන්නවා මුන් තව වැඩි වැඩියෙන් ලැබෙන්නලු.
      මං මේ බොලාට කියන්නේ කවුරු නමුත් මොනවා හරි දුන්නාම එව්වාම ලැබෙන්න කියාලා ප්‍රාර්ථනා කොරන්ට යන්න එපා. මොකද සමහරු ඔය පිනට දෙන්නේ කරලන්න දෙයක් නැති නොටනේ. නැත්නං ඕං ඇඹුල් තියල් කොරල හරි තියා ගනී. ඒ හින්දා ඒ මනුස්සයා ප්‍රාර්ථනා කොරන දෙයක් ලැබෙන්නැයි කියාලා ප්‍රාර්ථනා කොරාපිය. 

Saturday, March 10, 2012

6 ලිපිය - මමත්වය හා පව්කම් 2

පව්කම් ගැන තවදුරටත් ටිකක්සොයා බැලීම වටී යැයි මට සිතේ. අපි බුදුදහමට අනුව පස්පව් නමැති පව්කම් 5ක් අහල තියෙනවා. නමුත් පව්කම් සීමාවක් නෑ. ඕනෑම ක්‍රියාවක් පවක් කර ගැනීමේ හැකියාව අපට තිබෙනවා. මන්ද සිහි කිරීමෙන් දුක්වීම පව ලෙස සලකන නිසා යහපත් වූ දෙයක් හෝ යහපත් හෝ අයහපත් හෝ නොවන ක්‍රියාවක් වුවද සිහි කිරීමෙන් දුක්වීම තුලින් එය පාපයක් කර ගැනීමේ හැකියාව තියනවා.
 මං එය අවබෝධ කරගැනීමට එක් උදාහරණයක් දක්වන්නම්. එක් හාමුදුරු නමක් ගසක කොළයක් කඩනවා. නමුත් ගස්වල කොළ නිකන් කඩා දාන්න එපායැයි බුදුන් කියා ඇති බව සිහිවී තමා අතින් ආපත්තියන් (නොකල යුත්තක්) වූවා යැයි ඒ මහණතෙම දුක් වුනා. උන්වහන්සේ මියයන මොහොතේ ද එය සිහි වී මරණින් මතු අපායේ උපත ලැබුවා.
 මෙයින් පැහැදිලි වන්නේ යමෙක් තමා කල යම් කරුණක් ගැන දුක් වෙයිද එය පවක් වන බවයි. ඔබ දන් දුන්නා යැයි සිතන්න. ඔබ පසුව ඒ ගැන දුක් වේ නම් එයද පවක් බවට පත් වෙනවා. එනිසා ඒ පාප කර්මයට ඔබට ප්‍රතිපල ලැබෙනවා. එසේම දන් දීම කුසල කර්මයක් බැවින් එයටද කුසල විපාක ලැබෙනවා. ඒ නිසා අප දැන ගතයුත්තේ යම් ක්‍රියාවක් පවක් වන්නේ එය සිහිකිරිමෙන් තමා දුක් වන්නේ නම් පමණක් බවයි. නමුත් සමහර ක්‍රියා කිරිමෙන් පසු ඒ ගැන දුක් නොවී සිටිය හැකියයි සිතන්න එපා. මන්ද පව්කම් සිහි කිරීමෙන් සතුටු වීම සැමදා කල නොහැක්කකි.
   ඔබට තෙරුවන් සරණයි!

23සතිය

ඔබට යමක් හෝ යමෙක් හමුවූ විට ඒ මොහොතේ සිට එය අහිමි වීමේ හැකියාව පවතී. ඵබැවින් ඕනෑම මොහොතක එය අත්හැරීමට සූදානමින් සිටින්න.