Wednesday, December 31, 2014

මගේ කතාව 2 - අනුරාධා

දිස්නා අක්කාලහා ඇරුණම අපි සෙල්ලම කරන්නට ගියේ අපේ අල්ලපු ගෙදරටයි. සාමී පුල්ලේ මාමා දෙමළ කෙනෙක් නෙවේ. නමුත් එයාගේ නම නම් ඒ වගේ තමා. සාමි පුල්ලෙ මාමා අපේ පවුලත් එක්ක ඒ කියන්නේ අපේ දෙමව්පියන් එක්කනම් එච්චර හිත හොදින් නෙවේ උන්නේ. නමුත් එහෙම තරහක් පෙන්නුවෙත් නෑ. ගම්වල ඉතින් ඔයවගේ දේවල් කොහොමත් අල්ලපු ගෙදරත් එක්ක තියනවනේ. මොකද දෙගොල්ලන්ටම තියෙන්නේ එක වැට මායීමයිනේ. සමහර දේශසීමාවල වගේ වැටමායිම් දෙකක් නෑනේ.

වැඩිහිටියන්ගේ අමනාපකම් වලින් අපිට ඇති වැඩක් නෑනේ. මාමට ලස්සන දුවෙක් ඉන්නවානම් ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න අපිට එකතුවෙලා සෙල්ලම් කරන්න බාධාවක් කරගන්නේ මොකටද?. ඉතින් ඒ දුව තමා අනුරාධා කියන්නේ. කම්බි වැට යටින් රිංගලා අනුරාධාලගේ දිහා ගිහින් සෙල්ලම් කරන එක නිවාඩු කාලෙට අපේ පුරුද්දක්. හැබැයි ඉතින් එයාට නම් අපේ ගෙදර තියා වත්තටවත් එන්න එයාගේ අප්පච්චි ඉඩ දුන්නේ නම් නෑ. අපිත් එක්කනම් සාමි පුල්ලේ මාමාට ගැටළුවක් තිබුනෙම නෑ. ඉතින් එයාගේ ගෙදර ස්තෝප්පුවේ කඩයක්, සෙල්ලම් ගෙයක්, නැත්නම් කැටපිලක් දානවට මාමාගේ විරුද්ධත්වයක් තිබුනේ නෑ.

නිවාඩු දවසට මමයි නංගියි එහේ යනවා. අයියා සමහර දාට තමා එන්නේ. මොකද එයා කැමති කොල්ලො කරන වැඩ කරන්න ලු. සෙල්ලම් ගෙවල් දාන්නේ ගෑනු ලමයි ලු. ඉතින් එයා කරන්නේ බයිසිකල් පදින එක, නැත්නම් ක්‍රිකට් ගහන එක, එහෙමත් නැත්නම් ටාසන් එක්ක දඩයමේ යනඑක. ඒත් එයාට සෙල්ලම් කරන්න කවුරුත්ම නැත්නම් අපිත් එක්ක සෙල්ලම් ගෙයක් දාන්න, කැට ගහන්න එහෙම එනවා. ඒ ආවත් වැඩිවෙලා සෙල්ලම් කරන්නෙ නැතුව ඔක්කොම කඩාකප්පල් කරලා දාලා යනවා යන්න මෝඩයා.
සෙල්ලම් ගෙයක් දැම්මම නංගි අම්මා, මමයි අනුරාධායි දරුවෝ. නැත්නම් මායි නංගියි හරි, මායි අනුරාධායි එක පවුලක් ඉතුරුවෙන කෙනා අනෙක් පවුල. එහෙමත් නැත්නම් අනුරාධායි නංගියි දෙන්නම අම්මලා, මම තනියෙන් හෝ මමයි අයියයි තාත්තලා. අනුරාධා මගේ වයසමයි. හැබැයි අනුරාධාට වඩා බාල චරිතයක් වෙන්න නංගි කැමති උනේ නෑ. හතර දෙනාම ඉන්න දවසට මායි අයියයි බයිසිකලෙන් වැඩට යනවා. නංගීයි අනුරාධායි ළමයි බලා ගන්නවා. අපි දෙන්නා වැඩට ගිහින් එන ගමන් කඩෙන් බඩු ගේනවා උයන්න. මස් වෙනුවට රෝස පාට ගල්, එලවලු වෙනුවට දෙල් පට්ටා, මල්ගස් වල කොල වර්ග, හාල් වෙනුවට වැලි, සල්ලි වෙනුවට කාසී වැල්වල* කොල අරගෙන ගෙදර ආවම අම්මලා දෙන්නා උයලා අපිට කන්න දීලා ළමයින්ටත් කවනවා.

අපිට තිබුනේ රෝද තුනේ බයිසිකලයක්. ඒකේ පිටිපස්සෙත් ආසනයක් තිබුනා. අයියා මායී නංගියි පස්සේ දාගෙන ඒක පදිනවා. අයියා ටිකක් ලොකු වෙනකොට එයාට ඕන උනේ රෝද දෙකේ බයිසිකලයක්. ඒක නිසා රෝද තුනේ බයිසිකලේ මට සින්නක්කරේටම දීලා එයා තාත්තාගේ බයිසිකලේ තල්ලු කරගෙන ටික දුරක් දුවගෙන ගිහින් එක පැඩලයක නැගිලා ටිකක් දුර යනවා. පස්සේ පස්සේ එයා පොල්ල යටින් කකුල දාලා පැඩලය පොඩ්ඩ පොඩ්ඩ පාග පාග පදින්න පුරුදු උනා. එයා ඒ විදියට හන්දියේ කඩේටත් ගියා. එයාට හැමදාම ඕන උනේ ලොකු මිනිස්සු කරන වැඩ කරන්න. විශේෂයෙන්ම පිරිමි කරන වැඩ. ඒක නිසා අපේ කල්ලියට එයා එච්චර පෑහුනේ නෑ. ඒ නිසා අනුරාධාගේ එකම පිරිමි යාලුවා වෙන්න මට පුලුවන් උනා. පස්සේ පස්සේ ගෙවල් දෙක අතර තිබුනු ප්‍රශ්න උග්‍ර වෙන්න ගත්තා. ඒක අපේ සෙල්ලම් වලටත් බලපෑවා. ඒත් අපිව නවත්තන්න නම් බැරි උනා. අපේ වැටමායීමේ අනුරාධලගේ පැත්තේ තිබුනු බූල් ඇපල් ගහේ හෙවන වතු දෙකටම වැටුනු නිසා අපේ සෙල්ලම් ගේ ඒ ගහ යට දාන්න අපිට පුලුවන් උනා.   

* - පොල් ගස්වල හැදෙන පරපෝශී ශාකයක්.  රවුම් හැඩයක් ගන්නා සතයේ කාසියක් පමණ පත්‍ර ඇති වැලකි.

Friday, December 26, 2014

සොරකම

දුටු විගස මා බසයෙ දී නුඹ හිනැහුනේ ඇයි කුමරියේ
හිනැහුනේ මා ඔබත් සමගින් කවුරුදැයි නුඔ නොදැනමයි

සෙනග අතරින්පැමිණ මා ලඟ නැවතුනේ ඇයි කුමරියේ
තෙරපුනේ මා ඉඩක් දීමට කවුරුදැයි නුඔ නොදැනමයි

බලා මා දෙස නෙත් අඟින් දොඩමලු වුනේ ඇයි කුමරියේ
කතා කෙරුවෙත් ඔබත් සමගින් කවුරුදැයි නුඔ නොදැනමයි

හී සැරක් මෙන් හැරදමා මා බැසගියේ ඇයි කුමරියේ
දැනගතිමි නුඹ හිත් හෙරක් වග ඒත් දැන් මා අසරණයි


Tuesday, December 23, 2014

120 සතිය

සියල්ලන්ටම ආදරය කිරීමටත් කිසිවකුට ප්‍රේම නොකිරීමටත් උත්සහ කරන්න

Saturday, December 13, 2014

119 සතිය

කොයිවෙලේ දාලා යන්න වෙයිද දන්නෙ නැති මැරුණම සත පහක් නොවටිනා ශරීරය වෙනුවෙන් අපි කොච්චර දේවල් කරනවද ? ඒත් සංසාරය පුරාවට ගෙනයන සිත වෙනුවෙන් අපි මොනවද කරන්නෙ?




Wednesday, December 3, 2014

118 සතිය

 අන්අය වැරදි කිරීම, තමා කල වැරැද්දට නිදහසට කාරණයක් නොවේ.

Friday, November 28, 2014

මගේ කතාව 2 - බලු වෙදා

ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ පනෙල්කන්ද හන්දියෙ සොහොන් බිම අසලින් ඇතුලට ඇති ගුරු පාර කොහාට යන පාරක්දැයි මම නොදනිමි. නමුත් ඒ පාරෙන් අපේ ගෙදරට යා හැකි බව නම් දනිමි. පාර අයිනේ පාරේ නම ගැසූ පුවරුවක් තිබීම සාමාන්‍ය දෙයක් වුවත් මගේ මතකයේ ඇත්තේ එවැනි පුවරුවක සටහනක් නොව "පිස්සු බලු රෝග වෙද මහතා" යැයි කෙටූ ලැලී පුවරුවක්. අපේ ගෙදර පිහිටියේ තරමක් උසින් කදු ගැටයකයි. පල්ලමේ ගෙදර වූයේ මේ වෙද මහතාගේ ගෙදරයි. කවුරුත් 'බලුවෙදා' යැයි ඔහුව ඇමතුවේ ඔහුට නිග්‍රහ කිරීමට නොව භාවිතයේ පහසුවට යි.

ඒ වෙදමහතාට අපි සීයා කීවෙමු. නමුත් ඔහුගේ බාල දියණිය නැන්දා නොව දිස්නා අක්කාය. අප කුඩා කල දෙමව්පියන් වැඩට ගිය විට දිස්නා අක්කා සමඟ ඒ ගෙදරට වී සිටිමු. පාසැල් යන දිනවල ගෙදරම්මලාගේ ගෙදර සිටියත් නිවාඩු කාලයට බලු වෙදාගේ නිවසේ කෙළිදෙලෙන් කාලය ගත කලෙමු. දිස්නා අක්කාත් ඇයගේ මවත් ස්වයං රැකියාවක් ලෙස කොහු ලණු අඹරයි. මම ද ඊට සහය වන්නේ බොහොම ආසාවෙනි.

 හීං ලණු තුනක් ගෙන එකට තබා කෙලවර  හිල් පොල්කටුවක් තුලින් යවා ගැටයක් දමයි. ඊ ළගට ඉතිරි කෙලවරවල් තුන එකට තබා පොල්ලක ගැටගසයි. එක් අයෙක් පොල් කටුවෙන් අල්ලා සිටින අතර අනෙකෙක් ලණු ඇදෙන සේ පොල්ල අල්ලාගෙන කරකවයි. එවිට ලණු තුන එකට ඇඹරේ. හොදට ඇඹරුණු පසු ලණුවේ මැදින් කෙනෙක් අල්ලා සිටිය දී කෙලවර දෙක එකට තබා මැදින් අල්ලා සිටින තැන නිදහස් කරයි. එවිට ලණුව හොඳට ඇඹරී කඹයක් බවට පත්වෙයි. බොහෝ විට එහි අවසන් කොටස වන මැදින් අල්ලා සිටින්නා මම වෙමි.

අප එහි ගියවිට දහවල් ආහාරය ගන්නේ ද සියාගේ ගෙදරිනි. දිස්නා අක්කා හෝ සීයා අපට ආහාර කැවීම සිදු කරයි. එසේ ආහාර කවන විට කතන්දර කීම සීයාගේ පුරුද්ද කි. මුලින් මුලින් කවන වේලාවට පමණක් කතා කීව ද අපේ කතා ඇසීමට තුබූ ආසාව නිසා සියාට හැකි හෑම අවස්ථාවකම කතාවක් කීමට සිදු විය. අවසානයේ අවසානයක් නැති කතා ද සීයාට කීමට සිදුවිය. ඒ අපගෙන් ගැලවීම උදෙසාය. එවැනි එක් කතාවක් මෙසේ ලියමි.

"ඔන්න එක කැළැවකට ආවලු කෝච්චියක්, ඉතින් ඒ කෝච්චියට සත්තු ඔක්කොම නගින්න පටන් ගත්තලු. මුලින් අලි නගිනවලු, ඊ ළගට සිංහයෝ, කොටි වල්ස්සු නගිනවලු. ඊ ළඟට නරි නගිනවලු, ඉතින් තාම සත්තු කෝච්චියට නගිනවලු"

"ඉතින් ඊට පස්සේ ?" අපි සීයාගෙන් අසමු. "ඉතින් තාම නගිනවනේ, නැගලා ඉවර උනාම කියන්නම්කෝ" සීයා කියයි. ඔය වගේ ඉවරයක් නැති කතා ද සෑහෙන ප්‍රමානයක් සියා කියා ඇත. සීයාගේ කටේ නිතරම කියැවෙන සින්දු කැල්ලක් ද ඇත. එය මට තාමත් මතක ඇත. "කොස් තම්බා පොල් ගාලා කන්න දුන්නේ මං, මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලූ දැන්" යනු ඒ කවියයි.

සීයා ලෙඩුන් අඩු කාලවලට මාළු ඇල්ලීමට යයි. ඒ යන ගමනට මා කවදාවත් රැගෙන නොගියත් අයියා නම් සීයා සමඟ මාළු  ඇල්ලීමට බොට්ටුවෙන් ගඟේ යයි. ඒ නිසා බොහෝ දිනවල දවල්ට වෙල් මාළු හෝ ගඟේ මාළු කෑමට ලැබෙයි. ඊට අමතරව ඌරු මස් ද සීයාගේ ගෙදර වෙයි. ඒ පිස්සු බලු රෝගය හඳුනා ගැනීමට රෝගින්ට ඌරු මස් කන්නට දෙන නිසායී.

මගේ කූඩා අවදියේ මතකයන් අතරේ සදා අනුස්මරණිය චරිතයකි වෙද සීයා. හේ කියා දුන් කයි කතන්දර තාමත් මට අද ඊයේ වගේ මතකය. දිස්නා අක්කා ද ඒ මතකයේ සිටියත් ඇගේ මවත් අයියලා දෙන්නා ගැනත් ඇත්තේ බොඳ වූ මතකයකි.

Tuesday, November 25, 2014

ඔබ ඔහුගේ වීමෙ වටිනාකම

ඔහු අහසයි -නුඔ සදවතියයි
ඒ් අහසේ බබළන
ඔහු වැස්සයි - නුඔ දේදුන්නයි
පිනි බිදුමත දිදුලන

මා මහ පොළවයි සද  එළියේ සැනහෙන
අහසට වැඩියෙන් අදුනන්නේ පොළවයි සදුගේ සොමිගුණ

මා වැහි ළිහිණෙකි නුබ ගැඹරේ පියඹන
පින්නට නොපෙනෙන දේදුන්නේ විසිතුරු දකිමින් නැළවෙන

Friday, November 21, 2014

Thursday, November 13, 2014

116 සතිය

ඉවසීම යනු කල්මැරීම නොව අත්හැරීමයි

Friday, November 7, 2014

මගේ කතාව 2 - ටාසන්

මගේ මවගේ මහගෙදර පිහිටියේ කරණ්දෙනිය නගරාසන්නයේ මහේදණ්ඩ නම් ප්‍රදේශයේය. කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයට එහි සිට තුබුනේ හූවක් තරම් දුරකි. ඒ නිසායි අප එහි රදවා අම්මත් තාත්තාත් රැකියාවට ගියේ.
නුමුත් තාත්තාගේ මහගෙදර පිහිටියේ නගරයෙන් වසන්ව තිබූ කිරිණුගේ ග්‍රාමයේය. එහි යාමට තිබුනේ එක් බස්රථයක් පමණි. දවසට දෙවරක් බස්රිය බටපොල සිට අම්බලන්ගොඩට ගොස් නැවත බටපොලට පැමිණේ. පුද්ගලික වාහනයක් නොමැති වූවෝ බස්රිය එන වේලාව අනුව තම ගමන් බිමන් සූදානම් කර ගතයුතුය. නැතිනම් පයින් ගමන් කල යුතුය. එ වැනි අවස්ථාවල පාරේ යන කරත්තයක හෝ ලැන්ඩ්මාස්ටර් වර්ගයේ ට්‍රැක්ටරයක හෝ නංවාගෙන යාමට ගම්වැසියන් පුරුදුව සිටියා.
තාත්තාට පාසැල් යන කාලේ සීයා විසින් බයිසිකලයක් අරන් දී තිබුනා. ඒ නිසා නිවාඩූ දින වලදී බයිසිකලයෙන්  ගෙදරතාත්තාගේ (සීයා) දිහා යාමට පුරුදුව සිටියා. ඒ ගොස් එනවිට තාත්තා ගෙදරට අවශ්‍ය යමක් රැගෙන එනවා. එසේ එක් දිනක් රැගෙන ආවේ බලු පැටියෙකි. අවුරුද්දක් විතර වයස තිබූ නිසා තාත්තා ඌ රැගෙනවිත් තිබුනේ දිග පටියක් බෙල්ලේ ගැටගසා අනෙක් කෙලවර බයිසිකලයේ ගැටගසාගෙනය. බල්ලාට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් කියන්නැහේ ඌ මුලු දුරම බයිසිකලය පස්සෙන් ඇවිත් තිබුණි.
බල්ලා දුටු පමණින් සත්තුන්ට මහත් ආදරයක් දක්වන ලොකු අයියා ඌට කැමති විය. බල්ලා ඔහුගේ ජීවිතයේම කොටසක් විය. අපි ඌට ටාසන් යන නම දැමුවෙමු. ඌගේ හොම්බ දිගයි. සුදු ශරීරයේ තැනින් තැන කලු වයිරම් තිබුනු නිසා ඌට තිබුනේ හොදවර්ගයේ සුනකයකුගේ පෙනුමකි. ටාසන්ගේ ස්වාමීයා වූ ලොකු අයියාට ඌ ඉතා ලෙංගතු විය. නිතරම අයියාගේ පස්සේමය.

අයියා ඌට නොයෙකුත් ක්‍රියා පුරුදු කලේය. අයියාගේ අණට බොහෝවිට කීකරුව සිටි නිසා පස්සා ගාත් දෙකෙන් ඇවිදීමට, අතට අත දී ආචාර කිරීමට, ඉහල ඇති දෙයක් උඩපැන කඩා ගැනීමට, ඈතට විසිකරන යමක් අහුලා ගෙනත් දීමට සහ තව නොයෙක් දේ කිරීමට ටාසන් පුරුදු කිරීමට හැකිවුනා. නිවාඩු කාලයට වත්ත පිටුපස වූ කැලැවේ ටාසන් සමඟ දඩයමේ යැම අයියාගේ සිරිතකි. මගේ අසනීප තත්වය මත එවැනි ගමන් වලට මා සහභාගී කරගත්තේ කලාකුරකිනි. එවැනි එක් අවස්ථාවක් මගේ මතකයේ තවමත් ඇත.
ඒ කැලෑවක් කීවට එය තණ පිටියක් කීවොත් වඩා නිවැරදිය. එහි අපටත් වඩා උස තණකොල ගස් වෑවී තිබුණා. ඒ කියන්නේ අඩි 4ක් 5ක් විතර. ඒ කැලෑවේ හාවන් බහුලව සිටියා. ඊට අමතරව තලගොයි, කබරගොයි තමයි වැඩිපුර හිටියේ. මොකද කනත්ත තිබ්බෙත් ඒ කිට්ටුවමනේ. ඉතින් අපි කැලෑවේ ඇවිදිනකොට, ඒ කියන්නේ කෝපි දන්ඩක් නවලා දෙකෙලවරට ලණුවක් ගැටගහලා හදාගත්තු දුන්නකුත් කෝපි කෝටු සුද්ද කරලා හදාගත්තු ඊ තලත් අරගෙන යනකොට දැක්කා සුදු හාවෙක්. සාමාන්‍යයෙන් කැලෑ හාවෝ අලු පාට හෝ දුඹුරු පාටයි.  අයියා වහාම ක්‍රියාත්මක වෙලා විද්දා හාවට. හැබැයි වැදුනේ පඳුරට. මොනාකරන්න ද, හාවා කඩාගෙන බිදගෙන දුවන්න පටන්ගත්තා. ඊ ළඟට ක්‍රියාත්මක උනේ ටාසන්. වහා ම ඌ හාවා ලුහුබැඳ අතුරුදහන් උනා. අපි ටාසන් එනකම් බිං කළුවර වැටෙනකම්ම බලා හිටියත් ඌ  ආවේ නැති නිසා දුකෙන් ගෙදර ආවා. ඌ රෑට කන්නවත් ආවේ නැතිනිසා අයියට නම් ගොඩක් දුකයි. ටාසන් කබර ප්‍රහාරයකටවත් ලක්වුනාදෝයි අපි බයෙන් උන්නේ. නමුත් පහුවෙනිදා උදේ ටාසන් නිරුපද්‍රිතව පැමිණ සිටියා. ඒත් ටාසන්ට හාවා අල්ලාගන්න හැකි  උනාදැයි අපි දන්නේ නෑ.

අපි උදේ ගෙදරින් එනවිට මෝටර්සයිකලය පසුපස මදක්දුර පැමිණිම ටාසන්ගේ පුරුද්දක්. ඒ ඌට මෝටර් සයිකලයේ වේගයට ලඟා වීමට නොහැකි වූ නිසයි. නමුත් දිනක් ටාසන් ඉවපාරේ ගෙදරඅම්මාලාගේ නිවසට ආවේ ය. එදා සිට ඌ ගෙදරම්මලාහට වී අයියා පාසැල් ඇරී ගෙදර එනතුරු බලාසිටීමට පුරුදු විය. එක් දිනක් එසේ බලා සිටි ටාසන් අයියා එනු දැක ඉදිරියට ගොස් ඔහුව පිලිගත්තතේ ය. එවෙලාවේ ගෙයි සිට පැමිණි ගෙදරම්මා අයියාට කඩේට ගොස් යමක් රැගෙන එන ලෙසට කිව්වා. ටාසන් අයියා පසුපස  එමට සැරසෙන බවදුටු නිසා "මල්ලී ඔකා මගේ පස්සෙන්   කඩේට ඒවී. පොඩ්ඩක් මං යනකන් ටාසන්ව අල්ලා ගන්න" කියා කිව්වා. මම ද අයියා නොපෙනී යනතෙක් ටාසන්ගේ කරපටියෙන් අල්ලා සිටිමුත් යම් බුරුලක් ලද ඇසිල්ලේ ඌ අයියා ගිය දිසාවට දිව ගියා. අයියා නැවත එන විට ඌ ද පිටුපසින් එමින් සිටියත් හදිසියේ පාරෙන් එහා පැත්තේ උන් බල්ලෝ රැලක් අයියාට බුරන්නට පටන්ගත් නිසා කෝප වූ ටාසන් ඒ බල්ලන්ට බුරාගෙන පාර පැන්නා. ඒත් සමගම පැමිණි ලොරියක ටාසන්ව ගැටී ඈතට විසි උනා. ඒත් සමගම නැගිටගත් ඌ ලේ පෙරාගෙන කැලේට දිව්වා. ටික මොහොතකින් මහගෙදර පිටුපසින් පැමිණි ටාසන් ලේ බේරෙමින් ගේ මැද්දෙන් දුවන්නට උනා. ඒ දුටු චූටිමම්මා (චූටී පුංචි) කොස්සක් ගෙන ඌව එලවා දැමුවා. අයියා "අනේ ඌව එලවන්න එපා. අල්ලගෙන බෙහෙත් දාමූ" යි කෑ ගැසුවත් පලක් නොවිනි. නැවත කැලයට දුවගිය ඌ නැවත අපට දකින්නට ලැබුනේ ඊට සතියකට පමණ පසූ අපේ ගෙදර මිදුලේ ය. අපේ ටාසන් ගෙදර ඉස්සරහා මිදුලේ තණබිස්ස උඩ මැරී සිටිනු අපට දැකගතහැකි උනා.  
    

Tuesday, October 28, 2014

115 සතිය

ලොව වඩාත්ම වේගවත් දේ වෙනස් වීමයි. අප පුදුම විය යුත්තේ යමෙකු වෙනස් වීම ගැන නොව නොවෙනස් වීම ගැනයි.

Saturday, October 25, 2014

අරවින්දගෙන්

කෙලෙසක හෙටදින ඵලබර වන්නද
මේ මල් දෙක එක ගසක දරා
කෙලෙසක ඔබහට පහදා දෙන්නද
එය රහසක් වී තිබෙන තුරා

දෛවයෙ සරදම් ලබනට අප ඇයි
මෙලෙසින් එකමග හමුවූයේ
හමු වූ මුල් දින අප සිත්තුල ඇයි
ප්‍රේමයෙ බිජුවට තෙත් වූයේ

දැරියක් වූවට ඉහලින් අග හිග
තිබුනලු ගෙයි වහලට බරවී
දෙතැනක වැඩුනත් ඔබමගෙ සොයුරිය
බව දැනගත්තේ මා පසු වී

Saturday, October 18, 2014

114 සතිය

ඔවුන්ගේ විශ්වාසවන්තභාවය පෙන්වීමට තව අවස්ථාවක් දෙන්න. නමුත් ඔවුන්ව විශ්වාස කරන්න එපා.

Sunday, October 12, 2014

මගේ කතාව 2 - පළමු පාසැල

ඒ් 1995 වර්ශයේ අාරම්භයයි. මටත් මා නිසා පවුලේ සියල්ලටමත් ගෙවන්නට සිදු වූ අදුරු කාලපරිච්ඡේදක අවසානයයි. ඒ වාගේම පස්චාත් යුද සමයෙහි අැරඹුමයි.මන්ද සැත්කම අවසාන වුවත් මසකට වරක් දෙවරක් වත් සායන සදහා කොළඹ ඒමට සිදුවිය.  ඒ වනවිට මගේ වයස අවුරුදු හය සම්පූර්ණ වීමට අැත්තේ තුන් මසක් පමණි. මා පාසලට අැතුලත් කල යුතුයයි මගේ දෙමව්පියන් සිතන්නට අැත්තේ ද ඒබැවිනි.

මා 1995 පළමු මස 10 වැනි දින 6108 වැනි සිසුවා ලෙස ගාල්ල කරණ්දෙනිය කණිටු විදුහලට අැතුලත් කෙරිණි. ඒ් මගේ පළමු පාසල වූ අතර ඒ පාසලේ උගෙනීමට ලැබුනේ අවුරුද්දක පමණ කාලයක් පමණි. ඒ් නිසාම ඒ් පාසැල ගැන අැත්තේ ඉතා කෙටිකාලීන මතකයකි. නමුත් ඒ මතකයන් මගේ සිතේ තදින් කා වැදී අැත.
සැමදා උදෑසන රැස්වීමට අප පෝලිම් ගැසී ගියහැටිත්, පාසලේ ස්වාමීන් වහන්සේ පන්සිල් සමාදන් කරවූ පසු මුල් ගුරුතුමාගේ දේශනය හා ඉන් පසු යෙදෙන ගුරු මෑණීයකුගේ හෝ ගුරු පියකුගේ දේශනයත් වැඩිහිටි ශිෂ්‍යයකුගේ කතාවත් අවසන් වනතුරු බිම පහුරු ගාමින් ද වටපිට බලමින් ද ලග සිටින සගයා සමග නොයෙක් දේ කරමින් ද සිටි හැටිත් මගේ මතකයේ තවමත් නොමැකී තිබේ.
ඉන්පසු පන්ති බාර ගුරුමෑණියන් අපට නොයෙක් දේ උගන්වයි. නමුත් මගේ මතකයේ අැත්තේ අෑ අපට අත්වැඩ ඉගැන් වූ හැටි පමණි. මම චූටිමම්මාගේ ද උපකාර අැතිව සාදාගෙන ගිය කාඩ්බෝඩ් ගෙවත්ත තවමත් මගේ මතකයේ අැත.
විවේක කාලය ළමුන් සෙල්ලමට යෙදුනත් මගේ අසනීප තත්වය නිසා මා බොහෝ විට කරන්නේ අරලිය ගසක් යට හිදමින් හෝ පන්ති කාමරයට වී ඒ දෙස බලා සිටීමයි. ඒළුවන් අැල්ලීම, ගස් මාරු කිරීම, බට්ටා පැණිම, අල්ලන සෙල්ලම් කිරීම හා හැංගි මුත්තම් කිරීම ඒ අතර වෙයි. අයියා නම් විවේක කාලය තුල  ගෙදරම්මා ගේ ගෙදර ගොස් සප්පායම් වී මටද යමක් රැගෙන පැමිණේ.
ඒ පාසලේ අමතක නොවන සිදුවීම් කීපයකි. ඉන් ඒකක් මෙසේය. පාසලේ වැසිකිලි පද්ධතිය පිහිටියේ මදක් අැතුලට වන්නට පිහිටි කදු ගැටයක් පාමුලය. දිනක් මම "මිස් මං පිස් කරලා ඒන්නම්" කියා මුත්‍රා කරන්නට ගියෙමි. ඒ යනවිට වැඩිහිටි සිසුන් කීප දෙනෙක් පාර හරස්කරගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටියා. මට ඒතැනින් යාමට අැත්තේ ගසකට බරදී දකුණතින් ගස අල්ලා සිටින සිසුවකුගේ ඒ අත යටින් පමණි. මම ඔහුගේ අත යටින් ගියවිට ඔහු මාව නවතා ගත්තේය. " ඒයී ඔහොම ඉන්නවා, දන්නේ නැද්ද අතයටින් යන්න හොද නෑ කියලා. දැන් තමුසෙගේ ඔලුවේගෙඩියක් ඒවී." ඔහු ඒසේ කියා මා බියගැන්වීය. මම ද ඉන් බිය විමි. "ඒක නැතිකරගන්න අාපහු මගේ අතයටින් අනික් පැත්තට යනවා" යැයි ඔහු ගෝරනාඩු කලවිට මාද ඒසේ කලෙමි. මා ඒතැනින් ඉවත් වන විට ඔවුන් මහ හඩින් සිනාසෙනු අැසින. කෙසේ හෝ මා වැසිකිලිය අසලට යන විට සිසුන් කීප දෙනෙකු කණ්ඩිය උඩ පෙළට හිටගෙන තාප්පයට ඉහලින් පාර දෙස බලා සිටියා. මා ඒනු දුටු ඔවුන් "අා චූ කරන්න ද, ඒනවද අපිත් ඒක්ක වැඩිම දුර චු කරන කෙනා බලන්න" මගෙන් විමසීය. මම ද ඔවුන් හා ඒක් වී තාප්පයට ඉහලින් අැතට මුත්‍රා කලෙමි. නමුත් ජයග්‍රහනය හිමි වූයේ පාරින් ඒහා පැත්තේ තිබූ පදුර දක්වා අෑතට මුත්‍රා කල සිසුවෙකුට ය.
ඒ් වෙලාවේ පාරේ කිසිවකු හෝ ගමන් නොකිරීම නම් වාසනාවකි.    

Sunday, October 5, 2014

113 සතිය

යමක් නැති වීමෙන් ප්‍රතිඵලය නැති නොවේ නම් එය හේතුවක් නොවේ.

Friday, October 3, 2014

මගේ කතාව 2 - ඇරඹුම

මගේ කතාව කියවූ පාඨකයන් කීප පොලක්ම ඊට පස්සේ කුමක් උනාදැයි අපිට කියන්නෙ නැද්දැයි මගෙන් විමසී ය. නමුත් ඒ වන විටත් මා පැදුනු මිණිමුතු වීය ගිනිසිළු නම් කතාව ලියමින් උන් බැවින්ද නවකතා දෙකක් සමාන්තරව ලිවීම නුසුදුසු යැයි හැඟුන බැවින්ද එය පසුව ලියන්නෙමියි කියා පොරොන්දු විය.
 මගේ කතාව බොහෝ දෙනෙකුගේ ජිවිත හා සැසඳීමේ දී එතරම් විශේෂයෙන් දැක්විය යුතු කතාවක් ද නොවේ යන්න මගේ හැඟීමයි. කෙනෙකුට කියවාගතයුතු බොහෝ ජීවිත කතා ඇතිමුත් ඒවා අකුරු බවට පත් වී අප අතරට එන්නේ නැතිවීම කණගාටුදායක ය. කෙසේ වෙතත් ඕනැම කෙනෙකුගේ ජිවිතයකින් අපට ගතහැකි දේ බොහෝමයක් ඇත. ඒ නිසා මගේ කතාවේ තවත් පරිච්ඡේදයක් ඔබට ඉදිරිපත් කිරීමේ වරදක් ද නැත.
 මෙම බ්ලොග් අඩවියට පැමිනෙණ මිතුරන් දෙස බැලිමේ දී, මුල් අවදියේ බොහෝ පිරිසක් ලංකා වාසීන් වුවද දැන් දැන් බොහෝ එක්සත් රාජධානියේ පාඨක පිරිස් පැමිනෙමින් සිටි. එයින් පෙනී යනුයේ ඔවුන් තම විවේක කාලය තමාගේ මව්බිමින් එන සුළඟ විදගැනීමට යොදවන බවයි. සමහර විට ඒ සුළඟ රළු වියළි සුළඟක් වුවද ඔවුන් එයට ආදරය කරන බවයි. සම්භාවනීය කෘතියක් නොවූව ද ඔවුන් මගේ බ්ලොග් අඩවියට පැමිනණෙන්නේ ඒ අදහස ඇතිවයැ යි මගේ හැඟීමයි. ඔවුන් වෙනුවෙන් යමක් ලිවීම ඔවුන් මව්බිමට දක්වන ආදරයට කරන උපහාරයක් යැයි ද මට හිතේ.
ඉහත සඳහන් සියළු කාරණා කරණ කොටගෙන මගේ කතාවේ තවත් පරිච්ඡේදයක් ඉඩකඩ සැලසෙන පරිදි ලියා පළකල යුතුයැයි ඉටා ගතිමි. ඉතින් මෙතැන් පටන් ඒ මටවත් අර්ථකතනය කල නොහෙන මිනිසාගේ කතාව කියවා දෙන්නට අවසරයි.

ඔබේ ප්‍රතිචාරය මට උපකාරයක් වෙවා.      

Saturday, September 27, 2014

Friday, September 26, 2014

කුමට ඇලුනි දෝ - කුමට බැදිනි දෝ

මසිත කුමට බැදුනා දෝ
මසිත කුමට ඇලුනා දෝ
රන් මිනි මුතු දියමන්තී
එක් වී නුඹ සැදුනා දෝ

ඔය නෙතු නිල් මිනි කැට ද නොවේ
නෙතු කදුලැලි දියමන්ති නොවේ
දා බිදු මිනි මුතු කැට ද නොවේ
හිස කේ රන් දම් රැසක් නොවේ

ඔය සම සැදි රන් පතක් නොවේ
මුව කමලෙන් මල්  සුවඳ  නො ඒ
දෙතොලඟ අම මී ගලා නො ඒ
නව දොර කස්තුරි පිරී නොවේ

Tuesday, September 16, 2014

111 සතිය

හෘදයසාක්ෂිය නිවැරදිකරු ලෙස පිළීගන්නා තෙක් අප නිවැරදිකරුවන් වෙමු.

Saturday, September 13, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු - පසු වදන

ඇත්තටම මං කිව්ව විදියටම “  පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු“ කතාව මගේ කතාව ටත් වඩා වැඩි පාඨක පිරිසක් අතරට ගියා. මං හිතුවටත් වැඩියෙන් පිරිසක් ඒ කතාව වැළඳ ගත්තා. ඇත්තට ම තාත්තා ලියපු විදියටම ඒ කතාව ඉදිරිපත් කරන්න තිබුනා නම් මීටත් වඩා වැඩි ප්‍රතිචාරයක් ලැබෙයි.
තාත්තා සරසවියේ ඉගෙන ගන්න කාලේ ලියපු ඒ කතාව අවසානයේ “පළමු කොටස නිමියේ ය.“ කියලා තිබුනා. ඒ පොත කියවපු හුඟ දෙනෙක් දෙවැනි කොටස ලියන්න කියලා ඉල්ලලාත් කිබුණා ලූ. ඒත් තාත්ත කවදාවත් දෙවැනි කොටස ලිව්වෙ නෑ. නුමුත් තාත්තා ගේ හිතේ තිබිල තියෙනවා දෙවැනි කොටස මේ වගේ කියලා. ඒත් දැන් ඒකත් මතක නෑ. ඒ නිසා ඇත්තම “ පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 2“ ඔබ ට කවදාවත් කියවන්න බැරි වෙයි.
මං හිතනවා මා ලියූ මේ කතාවෙන් තාත්තා ගේ මුල් කෘතියට විශාල හානියක් නොවුනා කියා. ලැබුනු ප්‍රතිචාර වලින් ඒ බව සපථ වුනා. ඉතින් මෙතුවක් කල් “ පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු“ කිය වූ සහ කියවා නිසඟ අදහස් දැක් වූ සියළු දෙනාට මාගේ හද පිරි කෘතඥතාව පළ කරමි.   

ඔබට ස්තූති යි!

Saturday, September 6, 2014

110 සතිය

කොච්චර මිතුරන් අාදරවන්තයන් හිටියත් යමෙකුගේ කරුම බාරගන්න පුලුවන් කෙනෙක් නෑ.

Saturday, August 30, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 30 (අවසන් කොටස)

කාර් එක ඇවිත් අපි දෙන්නා ඉස්සරහින් නැවැත්තුවා. කාර් එකේ ඉස්සරහින් අවුරුදු 35 ක් විතර පෙනුම තියෙන ගැණු කෙනෙක් වාඩීවෙලා හිටියා. ඈ මං දිහා බලලා අමාරුවෙන් හිනා උනා. ඒ හිනාවෙ නම් කිසිම ලෙන්ගතු කමක් තිබ්බෙ නෑ. ඒ ගැනී නම් ඩෙල්සි නෝනාගේ නෑයෙක් බව දැක්ක ගමන් තේරුණා.

ඉනෝකා ඉදිරියට පැනලා කාර් එකේ පිටිපස්සෙ දොර අරින ගමන් “මේ මගේ මමී, මේ ඩැඩී“ කියලා තාත්තාගේ පැත්තට ඇඟිල්ල දික්කලා. මම ටිකක් නැවිලා එයාගේ තාත්තා දිහා බැලුවා. මිනිහා මං දිහා බලලා කටපුරා ලොකු හිනාවක් දැම්මා.  “නගින්න පුතා වාහනේට“  කියලා තාත්තා ඉස්සරහ බලා ගත්තා. ඒ මිනිහාගේ මූණ දැක්ක ගමන් මාව ගැස්සිලා ගියා. මොකද ඒ ඩ්‍රයිවර් සීට් එකේ හිටියේ මගේ තාත්තමයි.

ඉනෝකා නැග්ගට පස්සේ මාත් කාර් එකට නැගලා ඉනෝකාට නොගෑවෙන විදියට ඉදගත්තා. ඊට පස්සේ කාර් එක ඉස්සරහට ගියා. යන ගමන්  තාත්තා මගෙන් ප්‍රශ්න කරන්නන පටන්ගත්තා. “පුතා ගාල්ල පැත්තෙ කිව්ව නේද ?තාත්තා ඇහුවා. “ආ.. ඔව් ඔව් අම්බලන්ගොඩ කිරිණුගේ “ කියලා මං කිව්වම මිනිහාගේ මූණ බයඋන බවක් කණ්නාඩියෙන් මං දැක්කා. “අරවින් ද ගැන ගොඩාක් දේවල් ඉනෝකා අපිට කියල තියෙනවා. පුතාගේ තාත්තා නැති උනේ අසනීප වෙලාද? “ තාත්තා ඇහුවා. “නෑ... බෝම්බෙකට අහුවෙලා...“  කියලා මං කිව්ව ගමන් ඒක පාරටම වාහනේ රේස්වෙලා හිට්ටා. “ මොකද ඩැඩී උනේ?“ ඉනෝකාගේ අම්මා එකපාරටම ඇහුවා. “නෑ මේ ක්ලච් එක එකපාරට අතඇරුණා“  කියලා වාහනේ නැවත පණගන්වගෙන ගියා.

ඊට පස්සේ ටිකක් වෙලා යනකන් කවුරුත් කතාකලේ නෑ. මං මාත් එක්කම කතා කරන්න පටන් ගත්තා. මේක පුදුම වැඩක් ඉනෝකාගේ තාත්තට තියෙන්නෙත් අපේ තාත්තගේ මූණමයි. අපේ වාසගමුත් එකමයි. මේ නම් තාත්තගේ සහෝදරයෙක්ම වෙන්න ඕනෑ කියලා මට හිතුනා. එහෙම හිතලා මං ඇහුවා “තාත්තට සහෝදරයෙක් හිටිය ද ගුණපාල නානායක්කාර කියලා“ “නෑ නෑ මට ගුණපාල නෙවේ කිසිම සහෝදරයෙක් නෑ“ නෑ කියලා මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා. ඒක මහ ව්‍යාජ හිනාවක්  බව හොදටම තේරූණා. ඊට පස්සේ මිනිහා කතාව වෙන පැත්තකට හැරෙව්වා. මගේ අනාගතේ ගැනත්, මිනිහගේ බිස්නස් වලට මාව සම්බන්ධ කරගන්න බවත් මිනිහා කිව්වා. අන්තිමට තාත්තා මට මෙහෙම කිව්වා. “අපේනම් කිසිම විරුද්ධක්වයක් නෑ මේ සම්බන්දෙට. නමුත් පුතා පොරොන්දම් හරියට ගැලපෙනවද කියලා බලලා තමා තීන්දුවක් ගන්න ඕන.“ එහෙම කිව්ව ගමන් ඉනෝකා බය උනා. “ඩැඩී කවදාවත් හඳහන් බලපු කෙනෙක්වත් ඕවා විශ්වාස කරපු කෙනෙක්වත් නෙවීනේ. ඇයි මේ එකපාරටම එහෙම හිතුනේ“ ඉනෝකා ඇහුවා. “ඒ මොනවා උනත් දුව මේ කාරණාවලදි හදහන් නොබලා වැඩ කරන එක හොඳම නෑ“ කියලා තාත්තා උත්තර දුන්නා.
මට තේරුණා ඒක නම් හොදකට කියපු දෙයක් නෙවේ කියලා. මොකද ඉනොකා මටත් කියලා තිබුනා තාත්තා ඔවා හොයල බලන කෙනෙක් නෙවේය කියලා. ඇත්තම කාරණයනම් ඒ මිනිහා වෙන කවුරුවත් නෙවේ. මගෙත් තාත්තමයි. තාත්තට ඉනෝකාගේ අම්මා හම්බවෙලා තියෙන්නේ බිස්නස් වලට කොළඹ ආපුවාමලූ.
මං පස්සෙ ඔක්කොම විස්තරේ තාත්ගෙන්ම අහගත්තා.

අරවින්ද එසේ කියද්දි මට මතක් උනේ, අරවින්දගේ තාත්තා බොම්බෙට අහුවුන වෙලාවේ තාත්තව හැඳුන්ම්පතින් අඳුරගත් බව අරවින්ද පැවසූ බවයි. එ බැවින් මං ඒ ගැන අරවින්දගෙන් විමසුවෙමි.
 “ඒත් උඹ කිව්වානේද බොම්බෙට අහුවෙච්ච වෙලාවේ තාත්තව අදුරගත්තා කියලා?“ 
 “ඔව් ඒ වෙලාවේ තාත්තගේ හැදුන්ම්පතින්නෙ අදුරගත්තේ. එදාම තාත්තගේ පර්ස්එක ගැටකපන්නෙක් අරගෙන තියෙනවා. ඒ මිනිහා තමා මැරිලා තියෙන්නේ, තාත්තා නෙවේ.“ අරවින්ද මා ඇසු පැනයට එලෙස පිළිතුරු දුන්නේය. ඒ පිළිතුරින් මට තවත් දහසක් දේ අරවින්දගෙන් අසා දැනගැනීමට ඉතිරි විය. නමුත් ඒ වෙලාවේම ඉදිරිපස උළුවස්සෙන් එළියට එබුනු අරවින්දගේ බිරිද “අනේ ඔයාලා තාම නිදි නැද්ද?, හෙට වැඩට යන්නෙ නැද්ද, දැන් එකටත් කිට්ටුවෙලානේ.“ කීවාය. ඇය කිවේ සත්‍ය බව ජනෙල් කවුළුව තුලින් සාලයේ බිත්තියේ එල්ලා තිබුනු බිත්ති ඔරලෝසුව දෙස බැලීමෙන් මට පසක් විය.

“ඇත්තමයි.. මිසිස් අරවින්ද මේ අරවිගේ කතාව අහන් ඉන්නකොට වෙලාව යනවා දැනුනේම නැ නෙව“ කියූ මම “එහෙනම් හෙට රෑට උඹේ කතාවේ ඉතිරි ටික කියපන්කෝ “ කියමින් පුටුවෙන් නැගිටිටෙමි. “හා හා එහෙනම් දැන් නිදාගමු. පළවෙනි දවසෙම ජොබ් එකට පරක්කුවෙලා ගියොත් එහෙම උඹට හෙටම ගෙදර නවතින්න වේවී“ කියා හිනාවක් දැමූ අරවින්ද “මේ කරුණේ ගේ බෙඩ් එක රෙඩි නේද අනුලා “  කියමින් අප පිටුපසින් ගෙට ඇතුළු විය.
ඒත් සමගම අනුලා දෙස බැලුනු මට අනූති හෙවත් අනුලා  සිහිපත් විය. මේ ඉන්නේ ඒ අනුලා ම දැයි සැකයක් එවේලේ මගේ සිතට ඇතුළු වූයේ නිරායාසයෙනි.

පළමු කොටස නිමියේ ය. 

Postscript - http://asanka-mind.blogspot.com/2014/09/blog-post.html 

Monday, August 18, 2014

109 සතිය

අපි හැමෝම ගමන්කරන්නේ එකම ගමනාන්තයකට වුවත් එකම මග නොයන්නෙමු. නමුත් අපේ මාවත් එක්වන තැන් වලදී අපි නැවත නැවතත් හමු වෙමු. ගමනාන්තයට යනතුරු අපේ එක්වීම ද වෙන්වීමද සදාකාලික නොවේ.

Sunday, August 10, 2014

108 සතිය

යමක් අප කැමති විදියට සිදු නොවේ නම් එය අවසානය නොවේ.

Sunday, August 3, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 29

“ආ පුතා මොකද අද පරක්කු, මං මේ පුතා එනකම්මයි උන්නෙ“ කියාගෙන මුදලාලී මහත්තයා මාව දැක්ක ගමන් කවදාවත් නැති ලෙංගතුකමක් පෙන්නගෙන මං එන දිහා බලං හිටියා. මං උත්තරයක් දෙන්න කලින්ම මුදලාලීම කතාව පටන්ගත්තා. “ඔන්න මං පුතාගෙයි අපේ දූගෙයි වෙඩින් එකට ඔක්කොම ප්ලැන් කරල ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ පුතාගේ අම්මව මෙහෙට ගෙන්නගන්න එක විතරයි. ඔයාගේ අම්මට මේක ඇහුවම සතුට ඉවසගන්න බැරිවෙයි නේද අරවින්ද?“.  මං මොකුත් නොකියා කෙලින්ම කාමරේට රිංග ගත්තා. මේ මිනිහා මොනවා කියවනවද මන්දා කියලා මට මාර තරහක් ආවේ. මට හිතාගන්න බැරි උනේ ඇයි මේ යකා මෙච්චරම අනූෂා ව මට බන්දල දෙන්න වලිකන්නේ කියලා. පස්සේ තමා දැනගන්න හම්බවුනේ අනූෂා ප්‍රෙග්නට් වෙලා කියලා. මොකද අනූෂා මට ඊට දවස් දෙක තුනකට පස්සෙ  දවසක රෑ ඒ ගැන කිව්වා.

එදා රෑ අනූෂා මගේ කාමරේට ආවේ ඇස්වල කඳුළු පුරෝගෙන. ඇවිත් “අරවින්ද මට සමාවෙන්න, මං හින්දා ඔයා අමාරුවෙ වැටෙනවා මට බලං ඉන්න බෑ. අපේ ඩැඩී මාව ඔයාට බන්දල දෙන්න දඟලන්නේ, ඉවෝන් නිසා මට දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා. මං එදා මේ ගැන ඔයාට කිව්වේ නැත්තේ ඔයා මෙහෙන් යාවී කියලා හිතලා. ඒත් මං ඩැඩීට ඒ ගැන කිව්වේ ඉවොනුයි මායි ඩැඩීට අහුවෙච්චි දවසෙමයි. දැන් ඉතින් ඇත්ත කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති නිසයි ඔයාට මේ ගැන කිව්වේ. අරවින්ද මට එක උදව්වක් කරන්න. ඔයාට මෙහෙන් යන්න බැරිනම් ඉවොන්ට මාව මෙහෙන් අරන් යන්න කියන්න.“ කියලා කියාගෙන කියාගෙන ගියා. මං මොකක් කියන්නද මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ටිකක් වෙලා ඉදලා “හොදයි මං ඉවොන් හම්බෙලා මේ ගැන කියන්නම්, අනේ මං දන්නෑ ඒකෙන් මේ ප්‍රශ්නේ විසදේවිද කියලා" කියලා කිව්වා. "මං කියලා වෙන මොනවා කරන්නද අරවින්ද" කියලා අනූෂා යන්න ගියා. මට ඒ් වෙලේ මතක් උනේ මං ගණිකාවක් ඒක්ක ඉදලා කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්නවා, ඒ්ත් ගැනියෙක් මිනිහෙක් ඒක්ක හිටියම මුළු ලෝෙකෙම නින්දාවට පත් වෙනවා නේද කියලා.
පස්සේ මං ඉවොන්ව හම්බෙලා මේ ගැන කිව්වම මිනිහාට මාර අප්සෙට් ගියා. මිනිහා දැනගෙන ඉදලත් නෑ අනූෂා ප්‍රෙග්නට් කියලා. පස්සේ මට ලියුමක් ලියලා දුන්නා අනූෂාට දෙන්න කියලා. මටත් කිව්වා දැනට මගුලට කැමතී වගේ හිටපන්, මං ඒ්කිව පන්නගෙන යන්නම්, උඹව අමාරුවේ දාන්නත් බෑනේ කියලා.

අන්තිමට ඔක්කොම ප්‍රශ්න මැද්දේ ඉනෝකාගේ තාත්තව හම්බෙන දවසත් අාවා. පන්තියට ගියත් උගන්නපු කිසිම දෙයක් ඔලුවට අාවේ නෑ. ඉනෝකාගේ තාත්තා මොනවා අහවිද, මං අන්ත දුප්පත් කොල්ලෙක් නිසා ඉනෝකාව අත් හරින්න කියයි ද දන්නෙත් නෑ. බාගවිට ඉන්ග්‍රීසියෙන් කතා කරලා මාව දෙකේ කොලෙට දාලා ඉනෝකා ඉස්සරහම මේ ගොඩය ද දූ ඔයා බදින්න අහන්නේ කියලා පාච්චල් කරයි ද දන්නෙත් නෑ, කිය කියා නොයෙක් දේවල් කල්පනා කර කර හිටියා මිසක් උගන්නපු කිසි දෙයක් අහන් උන්නේ නෑ. කොහොම හරි පන්ති ඉවර වෙලා ඉනෝකායි මායි ඒයාගේ තාත්තා ඒනකන් බලං හිටියා. අෑත ඉනෝකාගේ බෙන්ස් කාර් ඒක දකින කොටම මගේ හිත ගොඩදාපූ මාළුවෙක් ගානට ගැහෙන්න ගත්තා. ඒ්ත් ඉනෝකාගේ මූනේ නම් තිබුනේ ඉහවහා ගිය සතුටක්.   

Next chapter - http://asanka-mind.blogspot.com/2014/08/30.html 

Thursday, July 31, 2014

107 සතිය

කලණ මිතුරා යනු තමාව වඩාත් සතුටු කරන්නා නොව, ඇත්ත ඇති සැටියෙන් පෙන්නා දෙන්නාය.

Saturday, July 26, 2014

මස් ‍ගෝනියක්...

මස් ගෝනියක් වාගෙයි අපේ මේ සරීරය මල්ලී
කිසි සාරයක් වටිනාකමක් නෑ ඒ මස්ගොඩේ මල්ලී

මේ සිතත් රැවටී ඇතේ සුරඹුන් කියා කෙල්ලී
සිත හරි අන්ධයෙක් මල්ලී

ඒ උනත් 
මස් ගෝනියක් වාගෙයි....

අපේ ජාතිය මෝහ ජාතියයි
අනේ සිත ඒ දකින්නේ සාරයටයි
ආ............
කොයි කාගේ රූපකයත් අපිට එකයි
ආ ..........
සිතට ඕනේ ඒ රූපය බදාගන්නයි සහෝදරවරුනි

ඒ උනත්

මස් ගෝනියක් වාගෙයි....... 

Thursday, July 24, 2014

106 සතිය

මිනිසුන් ලස්සන දේවල් වලට ආසය. ඔවුන් ඒවාම සොයා යති. නමුත් තමා හොයන දේ (ලස්සන) අර්ථකතනය කල හැකි කෙනෙකු නැත.

Monday, July 21, 2014

‍මේ මානසික රෝගය ඔබටත් තිබේද?

ආයූබෝවන්ඩ ඔහේලට මං මේ අද කියාපිනාලන්ට හදන්නේ දරුණු මානසික රෝගයක් ගැන ඕං. මේ රෝගය බොහෝමයක් දෙනාට තියෙන රෝගයක්. බොලාට කියන්න මේක තරුණ කාලෙදි තමා හැදෙන්නේ, මේ රෝගින්ගේ හැසිරීම දකින අයට බෝවෙන්නත් ඉඩ තියෙනවා. එක එක අය එක එක නමින් මේ රෝගේ හදුන්වනවා.
මේක හැදුනු අයගේ රෝග ලක්සොන තමා, ඔය කැහි කෙළ, වමනේ එහෙම දාපිනාලන්ට හදාපිනාලා තියෙන කැසිකිලි කටවල් වගේ එව්වා ඉඹින්න, ලෙවකන්න එහෙම ආස හිතෙනවා. ඒක රෝගෙ හැදුනු මුල් කාලේ එන හැගීමක්. ඊ ළගට ඕං අර මුත්‍රා කරන්න හදාපිනාලා තියෙන පිස් පෝච්චි, මුත්‍රා බට වගේ එව්වා පිරිමදින්න, ලෙවකන්න එහෙමත් හිතෙනවා. ලෙඩේ දරුණුම වෙනකොට ඕං අර මළපහ කොරන්න තියෙන එව්වට ඇගිලි ගහපිනාලන්න, සිප ගන්න එහෙමත් හිතෙනවා.

ඉතිං මේ මානසික රෝගය හරිම දරුණුයි. සමහරු ගෙදරට අරවගේ එව්වා ගෙනැල්ලා ගෙදර තියන් ක‍ාටවත් නොදි ඉඹිනවා, අතගාපිනාලනවා, ලෙවකාපිනාලනවා. ලෙඩේ උත්සන්න වෙච්චි එවුන් හොටෙල්, තානායම් වල එහෙම තියෙන එව්වා පාචිව්වි කොරාපිනාලනවා, නැත්නම් ඕං තමන්ම ඒ වගේ තැන්වලට අරන් ගෙහුං පාචිච්චි කොරපිනාලනවා. දරුණුවටම මානසික රෝගේ තියෙන එවුන් අනුන්ගේ ගෙවල්වල තියෙන පිස්පෝච්චි, කැසිකිළි වලවල් වගේ එව්වා අතගාපිනාගන්න, ලෙවකාපිනාලන්න උනත් පෙළඹෙනවා.

අම්මපල්ලා බොලාට කියන්න ඔය බිසිනොස්කාරයෝ මේ රෝගින් දඩමීමා කොරගෙන අරකියෙව්වා ගෙනැල්ලා තියාගෙන කුළියටත් දෙනවා. මේ රෝගේ කොච්චර පොදු රෝගයක් ද කියනවානම් දෙමව්පියන්ගේ ආසිරිවාද මැද්දේ පාටි දාලා තමන්ටම කියලා අරවගේ කැහිකෙළ, වමනෙ, මුත්‍රා, මළ දාපිනාලන්‍ට තියෙන එව්වා සැට් එකක් ගෙන්නගෙන ඉඹිනවා, අතගාපිනාලනවා, නොයෙක් එව්වා කොරාපිනාලනවා.

ඉතින් ඔන්න ඔය වගේ මානසික රෝගයක් තියෙනවා ඕං. බලාපල්ලකෝ බොලාටත් මේක තියේද කියාලා.


Friday, July 11, 2014

105 සතිය

ධර්මයට නිගා කරන්නේ අන්‍යාගමිකයන් නොව අගමානුකූලව නොහැසිරෙන තමා එහි ආගමිකයෙකුයැයි කියන්නාය.

Saturday, July 5, 2014

104 සතිය

හිත මෙල්ලකරගැනීම කුළු මී හරකෙකු මෙල්ලකරනවාට වඩා අමාරුය. මිනිසුන් ලෝකය වෙනස් කරන්නෙ එබැවිනි.

Tuesday, July 1, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 28

කොහොමහරි ඊළඟ දවසේ මං පන්ති ගියාම ඉනෝකාට ඇත්තම කිව්වා. ධම්මිට කිව්වා, ඉනෝකාගේ කාර් එක ආවම ඉනෝකා යාළුවෙක්ගේ පාටී එකකට ගියා, එනකොට රෑ වෙයි කියන්න කියලා. එහෙම කියලා පන්ති ඇරිලා මායි ඉනෝකායි ගෝල්ෆේස් එකට ගියා.හැන්දෑ වරුව හින්දා අව්වක් එච්චර තිබුනෙත් නෑ. නැත්නම් හුළං පාරට අව්ව දැනුනේ නෑ. ඒත් ඉනෝකා කුඩයත් ඉහළගෙන මගේ උරහිසට බරදීලා මං ළඟින්ම වාඩිවෙලා හිටියා. මං දැන් කොහොමද කතාව පටන්ගන්නේ කිය කියා කල්පනා කරනවා. මොකද එයාගේ හිත රිදෙනවට මට හරි බයෙන් උන්නේ. අන්තිමට කොහොම හරි එයාම කතාව පටන් ගත්තා.

අරවින්ද ඇත්තටම ඔයාගේ තාත්තට මොකද උනේ කියලා ඔයා මට කිව්වේ නෑනේ. ඔයා කිව්වෙ ඔයාගේ තාත්තා බොම්බෙකට අහුවෙලා නැතිවුනා කියලනේ, ඉතින් තාත්තා කොහෙද වැඩ කලේ. කොළඹ ද?
මං වෙන කල්පනාවක හිටිය හින්දා එයා අහපු ප්‍රශ්නේ තේරුම් යන්න ටිකක් වෙලා ගියා. “ ම්.. ආ ඔව් තාත්තා වැඩකලේ කොළඹ තමා. තාත්තා කරපු රස්සාව හරියටම මං දන්නේ නැ. අම්මා කිව්වේ බිස්නස් කරනවා කියලා. තාත්තා ගෙදර එන්නේ සතියට දවසක් දෙකක් තමා, ඒකත් හිටපු ගමන්. ඒ තරම් මහන්සියෙන් තමා අපේ තාත්තා හම්බු කරේ. මට තාත්තව හොදට මතකයි ඒ කාලේ, තාත්තව මුස්ලිිම් කෝලහාල කාලේ තමා නැතිවුනේ. තාත්තව අදුරගන්න බැරි තරමටම පිච්චිලා, තාත්තගේ හැදුනුම්පතින් තමා අදුනගෙන තිබුනේ. තාත්තා වැඩිය අපිත් එක්ක උන්නෙ නැති හින්දා මට ඒ ගැන දුකක් තිබ්බෙත් නෑ“ කියලා මං කිව්වා. ඊට පස්සේ අපි ගොඩාක් විස්තර කතා කලා. අන්තිමට මං කොහොම හරි අනුලා ගැන කියන්න අවස්ථාවක් හදාගත්තා. මං කිව්වා “ඉනෝකා මං අද ඇත්තටම ඔයත් එක්ක ගෝල්ෆේස් ආවේ ඔයාට වැදගත් දෙයක් තියෙනවා තියන්න.“ කියලා. එතකොට එයා ඇහුවා “ඒ මොකක්ද අප්පේ එච්චරම වැදගත් දේ, අපේ වෙඩින් එක ගැනද ආ..“ කියලා. “නෑ එහෙම දෙයක් නෙවේ. ඇත්තටම මං මහා ජරා මිනිහෙක් ඉනෝකා, මං ආදරයේ පොරොන්දුව මහ නරක විදියට කඩලා දාපු කෙනෙක්, මං ගිය සතියට කලින් සතියේ ගණිකාවක්ගෙන් සතුටු වුනා. මට ඒ වෙලාවේ මහ නරක විදියට ඔයාව අමතක උනා. මං ගියේ අපේ මුදලාලි මහත්තය ගැන යමක් දැනගන්න හිතාගෙන උනත් මං එයා ඉස්සරහා රාගයෙන් අන්ධ උනා. තවදුරටත් මං ඔයාට සුදුසු නෑ ඉනෝකා. මට සමාවෙන්න කෙල්ලේ “ කියලා. මට කියාගන්න හම්බුනේ එච්චරයි. මගේ කටහඩ වෙවුලන්න පටන්ගත්තා, ඇස්වලින් කදුළු බෙරෙන්න පටන්ගත්තා. ඉනෝකාගේ ඇස්වලත් කදුළු. එයා කිසි දෙයක් අදහාගන්න බැරි විදියට මං දිහා ටිකක්වෙලා බලා ඉදලා මූන දෑතින් බදාගෙන අඩාගෙන දුවගෙන ගියා. ගිහින් ගෝල්ෆේස් එකේ මුහුද පැත්තට හදලා තියෙන කොටුවට ගිහින් මුහුද දිහා බලාගෙන හිටියා. මාත් වාඩිවෙච්චි තැනම වාඩිවෙලා හිටියා. එයා ආවෙම නෑ. ගොඩක් රෑ වෙන නිසා අන්තිමට මං එයාගෙ ලගට ඇවිදං ගියා “අපි ගෙදර යං “ මං  කිව්වා. “ඇයි අරවින්ද ඔයා එහෙම දෙයක් කලේ, ඔයා හිතනවද ඔයා මොන වැරැද්ද කලත් ඔයා නැතිව මට ඉන්න පුලුවන් කියලා“ එයා හරිම බයාදු විදියට එහෙම ඇහුවා. “මට තෙරෙන්නෑ ඉනෝකා, මට ඒවෙලාවේ මොන යකා වැහුනද කියලා, මේ රාගය නිසා මිනිස්සු පුදුම විදියට අන්ධ වෙනවා“ කියලා මං කිව්වා. ඒ පාර ඉනෝකා කියනවා “මට හරි පුදුමයි, මෙච්චර කාලෙකට ඔයා මට මෙහෙමයි කියලා වරදක් කරල නෑ. අඩුගානේ දෙමව්පියන්ගේ අවසරය නැතුව එක හාදුවක්වත් දෙන්න අකමැති ඔයා එහෙම දෙයක් උනේ තොහොමද?“ කියලා. ඊට පස්සේ මං “දැන් අපි යමු. ඔයාගේ තාත්තා බයවෙලා ඇති දැන් හොදටම“ කියලා අපි දෙන්නා ගෙදර ගියා. මං ඉනෝකාව එයාගේ ගේ ගාවටම ඇරලුවා. අන්තිමට ඉනෝකා කිව්වා “ඔයාව අපේ තාත්තට මිට් වෙන්න ඕන කිව්වා, හුඟක් දුරට ලබන සතියේ තාත්තා ඒවී“ කියලා.

Next chapter - http://asanka-mind.blogspot.com/2014/08/29.html

Wednesday, June 25, 2014

103 සතිය

ගමනක් යාමේදී මුලින්ම අවසාන නැවතුම්පොල කෙසේ විය යුතුදැයි තීරණය කරන්න. මග නවතින තැන් පසුව තීරණය කල හැක. අපේ ජීවිත ගමනේ ඉලක්කය විය යුත්තේද අවසාන නැවතුම්පොල කෙසේ විය යුතුදැයි තීරණය කිරීමයි.

Friday, June 13, 2014

102 සතිය

අපේ අරමුණට උපකාර වන දේ හොද දේ වන අතර අපකාර වන දේ නරක දේ වේ. අනෙක් ඒවා හොද හෝ නරක හෝ නොවේ.

Saturday, June 7, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 27

"මට කොහොමත් එකයි " මං කිව්වා. පස්සේ අපි නුවර වැව  පහුකරලා හුන්නස්ගිරිය පැත්තට යනකොට හමුබුවෙච්චි තානායමක නැවතුනා.රෑ කෑම කන්න පොල්අතු හට් එකක් යට ලැස්ති කරල තිබූනේ. බැදපු වැව්මාලූ සමග රයිස් එකක් තමා මුදලාලී ඕඩර් කරල තිබුනේ. මිනිහා නම් බියර් එහෙකුත් බිබී මාත් එක්ක කතාව පටන් ගත්තා.
"අරවින්ද අඩියක් පුඩියක් ගහනවනම් කියන්න මං ඕඩර් කරන්නම්, මං නම් ඕවා එච්චර ඔලුවෙ තියන් ඉන්න මිනිහෙක් නෙවේ." මං ඉතින් ගමේ ඉන්දැද්දි උඔලත් එක්ක රා ටිකක් බීල තිබ්බට ඔය රට බීම බොන එකෙකේ නෙවේනේ. මං කිව්වා"අනේ සර් මං ඕවා පාවිච්චියක් නෑ, සර් බොන්න" කියලා. එතකොට මිනිහා කියනවා "මං දන්නවනේ අරවින්ද ගැන, මං නිකමට වගේ ඇහුවේ, අරවින්ද බෙදාගෙන කන්න මං මේක ෆිනිෂ් කරපු ගමන් කනවා" කියලා මිනිහා බියර් කෑන් එකෙන් උගුරක් බීලා ටිකක් මගේ පැත්තට නැඹුරු වෙලා ටික්ක සීරියස් විදියට කියනවා  " පුතා දන්නවනේ මං අනූෂා ව හදාගත්තේ මගේ පණ වගේ. මට ඉතින් මගේ චුටී මැණිකේ තරම් දෙයක් තියනවද, ඒ ළමයා මොන වරදක් කලත් මං දන්නවා අපේ පවුලට අවනම්බු වන විදියෙ දෙයක් නොකරන වග. තරුණ ළමයි උනාම ප්‍රේම සම්බන්ධතා ඇතිවෙනවා. මං කියන්නෙ නෑ ඒක වරදක් කියලා. පුතායි අපේ දුවයි දැන් සෑහෙන කාලයක් ලගින් ඇසුරු කරන නිසා ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න බැරිකමකුත් නෑනේ. බය වෙන්න එපා එහෙම දෙයක් තියෙනවනම් කෙලින්ම කියන්න, අම්මපා එහෙම දේකට මගේ කිසීම ආරෝවක් නෑ. මං උනත් මගේ දුවට හොයන්නේ සල්ලිකාරයෙක් නෙවේ. සල්ලිනම් මට ඕනතරම් තියෙනවා, එහෙම ඇයෝත් ඕන තරම් අදුරනවා. ඒත් මනුස්සකම කියන එක හැමෝම ළඟ නෑනේ."
මිනිහා මොකාටද එන්නෙ කියලා මට තේරුණා. අනූෂා කලින්ම මට මේක කියලනෙ තිබුනේ. මට ඇත්තටම ඒ වෙලාවේ මහා පිළිකුලක් ඇතිවුනේ. මිනිහා නිකන් කතාකලේ මේලෝකේ ඉන්න හොදම තාත්තා එයා වගේ. ඒ මිනිහා අර අහිංසක කෙල්ල බිල්ලට දීලා තමන්ගේ දුව නින්දාවෙන් බේරගන්න දඟලට හැටි. මට එහෙමයි ඒ වෙලාවේ හිතුනේ.
මිනිහා දිගටම කතාකරගෙන කරගෙන ගියා.
"අරවින්ද මගේ දුවත් එක්ක සම්බන්ධකමක් තියෙනම් කියන්න, මගේ කිසිම විරුද්ධත්වයක් නෑ ඒගැන"මං කිව්වා " අනේ මුදලාලී මං කන්න දීපු සර්ට එහෙම කරනවද, අනූෂාට මං සැලකුවේ මගේම සහෝදරියකට වගේ" කියලා.
 එහෙම කිව්වම මිනිහා ටිකක් තරහින් වගේකිව්වා "හරි හරි එහෙම වෙන්න ඇති, ඒ වුනාට අරවින්දට මගේ දුවව බදින්න බැරි වෙන්න හේතුවක් නෑනේ, එයා ඔයාගේ සහෝදරියක් නෙවේනේ, මේ දේපල ඔක්කොම එයාට මං ලියල තියෙන්නේ, ඔහේට රජෙක් වගේ ඉන්න හැකි. මොකද අනූෂාගේ ගතිගුණ වල වැරැද්දක් තියෙනවද, අර අයිවන් කාරයා අනූෂෘව රවට්ටගත්තට ඒ ළමයා වරදක් කරගෙන නෑනේ. අරවින්ද ටිකක් මේ ගැන කල්පනා කරනවා මනුස්සයෝ, මං මේ ඔහේට අම්ම අප්පවත් නොකරන දෙයක් කරන්නේ."

අනූෂා ගැන මං නොදන්නවයෑ, මං දැක්කනේ ෆිල්ම්හෝල් එකේ ඉවෝන් එක්ක උන්නහැටි, කොහොම හරි ඒකීව මගේ ඇගේ ගහලා බෙරෙන්න මේ යකා හදන්නේ කියලා මගේ හිත මට කියන්න ගත්තා. ඒත් ඉතින් දැන් මට බැරිය කීවොත් මේකා මෙතන ඩෙගා නටන්න පටන්ගනීවී. මොකක් හරි කියලා ෆේප් වෙන්න ඔනෑ කියලා හිතලා මං කිව්වා. "හොදයි සර් මං කල්පනා කරලා කියන්නම්කෝ, දැන් සර් කන්න මං කාලා ඉවර වෙන්නත් ලඟයි " කියලා.

කොහොම හරි එදා දවස එහේ ඉදලා ඊ ළඟ දවසේ උදේම කොළඹ ආවා. ඒ එන අතරතුර කලින්දා රෑ සිද්ධවෙච්චි දේ ගැන නොයෙක් දේවල් කල්පනා උනා. ඇත්තටම මට අනූෂාගේ වැරැද්දක් ඒ වෙලාවට මතක් උනත් අනික් අතට බැලුවාම මං කියන තරම් හොද මිනිහෙක් ද? මං මොකද්ද කරේ ඉනෝකාට වචනයක් දීලා තියෙද්දි ගණිකාවක් එක්ක නිදි වැදුනා. ඒ අතින් බලද්දි අනූෂා කොල්ලෙක් එක්ක නිදි වැදිලා නෑනේ. මං කොහොමද දැන් ඉනෝකාට මුහුණ දෙන්නේ. හොදම දේ තමයි ඉනෝකාට ඇත්තම කියලා අනූෂාට කැමති වෙන එක. ඔන්න ඔය වගේ දේවල් තමා මගේ හිතේ කොළඹට එනකම්ම තිබුනේ. මොකද  අනූෂාගේ හිතෙත් මං ගැන අදහසක් තිබුණු බව එයාගේ හැසීරීම් වලින් ඒ වෙනකොට මට දැනිලා තිබුනේ.  

Next chapter - http://asanka-mind.blogspot.com/2014/07/28.html

Friday, May 30, 2014

101 සතිය

යමෙක් ඔබේ තේ කෝප්පය ඔබේ කමිසයට පෙරැලුවොත් ඔහු සමග තරහ ගැනීමෙන් හෝ කිසිදු ක්‍රියා මාර්ගයකින් පෙරැලුණු තේ එක නැවත ලබා ගත නොහැක. නමුත් ඔබ බුද්ධිමත්නම් ඔබේ කමිසය බේරා ගැනීමට හැකිය.

Monday, May 26, 2014

ප්‍රේමයේ රස විද ගන්නට මේ වේලාවයි

නුඹ නිදා සිටින්නේ ඇයිද මෙසේ මේ සදුගේ හෝරාවයි
මා බලා සිටින්නේ මේ හෝරාවේ
ප්‍රේමයේ රස විදගන්නයි

දිවාකලේ සුන්දර ලොව දුටුවද
සිනාසිසී නුඹ හිරු එළියේ
ඝනදුර පැතිරුන සදුගේ ලෝකය
විදගන්නට මේ වේලාවයි

කලුවර ගිලගත් මැදියම වූ වද
නිදා නොයිද මේ සද එළියේ
හුරු කර දෑසට සදුගේ ලෝකය
සැනසෙන්නට මේ වේලාවයි

ගෙවුනත් දහවල් හිරුගේ ලෝකය
වෙහෙසක් නොමැතිව හිරු එළියේ
වෙහෙසී සුන්දර සදුගේ ලෝකය
දැක ගන්නට මේ වේලාවයි

Friday, May 23, 2014

100 සතිය

ගල් යුගයේ සිටි මිනිසාගේත් නූතන මිනිසාගේත් නිදහසේ හා තෘප්තිමත් බවේ වෙනස කොපමණද?

Sunday, May 18, 2014

මමත් දැන් සිංහයෙක් !

මෙන්න බොලේ ලංකාවේ සිංහයෙක් !. මෙ දවස්වල ඕං මාධ්‍යවල සෑහෙන්න ප්‍රචාරයක් යනවනෙව එකපාරටම මතුවෙච්ච සිංහයෙක් ගැන. ඉතින් ඕං අපේ සම හරක් ඇයීන්ට ඊට වඩා දෙයක් නෑ නෙව. කට්ටියක් කියනව මොන සිංහයොද බොල ලංකාවේ ඔය බල්ලෙක් නෙව  බොලව් කියල. තව කට්ටියක් කියනව නෑ නෑ ඒ නම් සිංහයෙක්ම තමා බොල කියලා.
ඔයින් මෙයින් ඉතින් සම හරක් යනව මේ අපූරු සිංහපෝතකයා බලාකියාගන්ට කියල. සම හරක් පලු යන්න බයිනවා මොන බල්ලෙක් ද මේ කියාලා. මාධ්‍යවේදි උන්දැලටත් කල්ලමරේ, ඔන්න එකපාරකට නියපොතු පෙන්නනවා කියලා ප්‍රචාරය කරනවා, ආයේ කියනව අහවල් දවසට කේසර පුම්බන්න යන්නේ කියලා. ඉතින් මේ සත්වයාටත් මරු චැන්ස් එක. එක එක ධනපතියෝ, පතිනියො ඇවිත් හොද හොද මස් වර්‍ග එහෙමත් ගෙනත් දෙනවා. ඉතින් ඌත් මොකැ කියන්නේ "බලන්න මගේ වලිගෙ මයිල් දිහා, බලු වලිගයක් ද සිංහ වලිගයක් ද කියාලා, ඔහේලටම පරික්ෂා කරල බලාගන්න බැරියෑ" කියාලයි. 

ඕං ඉතින් මගේ යාලු මිත්තරයෙකුත් මේකව ටෙලිවිසොන් එකේ දැකලා මගෙන් අහපි "ඇත්තටම ජොරෝ මොකෑ උඹ කියාන්නේ, එකා ඇත්තටම සිංහයෙක්ද?" කියාලා. මං කියෙව්වා "අනේ බාං ඕකා සුනකයෙක් උනත් මට ඇති ප්‍රයෝජනයක් නෑ, සිංහයෙක් උනත් මට ඇති අහවල් ප්‍රයෝජනයක්ද?, මං මේ මං ගැන හොයනවාය, උබත් කොහෙවත් නැති සතෙක් ගැන හොන්නැතුව තමන් මොන ජාතියෙ සතෙක් ද කියලා බලා ගන්න එක තමා හොඳ" කියාලා. 


Wednesday, May 14, 2014

99 සතිය

නියමිත කාලය නොදැන යමක් සැලසුම් කල හැක්කේ කෙසේද?

Saturday, May 3, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 26

ඔයවගේ දාහක් දේවල්වලින් ඔලුව කුරුවල් වෙලා තිබ්බ හින්දා එදා රෑම මට හරියට නින්දක් තිබ්බෙ නෑ. ඊ ළඟ දවසේ වැඩපලට ගිහිල්ලත් සිමෙන්ති උරයක් බිම දාගෙන නිදාගත්තා. කොහොම හරි ඊ ළඟ ඉරිදා මං පන්තියට ගියාම ඉවොන්ව හම්බ වුනා.

එදා මං තනියමයි පන්තියට ගියේ. අනූෂාට පන්ති තහනම් කරපු නිසා මටත් බස් එකේ තමයි පන්ති යන්න උනේ. කොහොම හරි ඉවොන් කාරයා මාව දැක්ක ගමන් "කෝ අනූෂා, අද මොකද තනියම, කාර් එක හිට්ටද?" කියාගෙන කිසි ගානක් නැතුව මං දිහාට ආවා. ඒකා මොකුත් නෙවිච්ච ගානට එහෙම අහද්දි මට වෙච්චි සිද්ධිය මතක් කරන්න බෑනේ. ඉතින් මං කිව්වා " එයා ආයේ පන්ති එන්නේ නෑ. එයාට මුදලාලි පන්ති යන්න එපා කීවා". කියලා. එහෙම කිව්වම ඉවොන් " එහෙනම් කේස් එක දරුණුවටම ෆයිල් වෙලා වගේ. පව් අහිංසක කෙල්ල." කියලා එයාටම මුමුණ ගත්තා. පස්සෙ මට යමක් මතක් වෙලා මං ඉවොන්ගෙන් ඇහුවා "මචං මට උදව්වක් කරන්න පුළුවන්ද?" කියලා.

"කියපන්, පුළුවන් දෙයක්නම් කරලදෙන්නම්" කියලා ඉවොන් පුදුම වෙලා වගේ කිව්වා. මොකද මං කවදාවත් මිනිහගෙන් උදව් ඉල්ලලා නෑනේ. "ලොකු දෙයක් නෙවේ, උඹට මේක කරන්න පුළුවන්, මං අඳුරන ගෑනූ ලමයෙක් ඉන්නවා, රස්සාවක් හොයනවා, පුංචි එකක් උනත් කමක් නෑ. කොළඹට ටිකක් දුරින් උනත් කමක් නෑ. අහිංසක කෙල්ලක්" කියලා මං අනුලා ගැන කිව්වා. මිනිහා එතකොට මහ පල් හිනාවක් දාලා "ආ හා ලඟම යාලුවෙක් වෙන්න ඇති නේද?" කියලා ඇහුවා. ඊට පස්සේ මං කිව්වා "අනේ මේ මං උඹ වගේ කෙල්ලො දෙන්න තුන්දෙනා තියාගෙන ඉන්නේ නෑ. මේක මේ මං අදුරන දුප්පත් අසරණ කෙල්ලෙක්ගෙ වැඩක්" කියලා. එහෙම කිව්වම මිනිහා මගෙන් අනුලා ගැන විස්තර ඇහුවා. පස්සෙ මං මිනිහට වෙච්චි ඔක්කොම කිව්වම මිනිහා කියනවා " ආ මං ඒකිව දන්නවා, දන්නැද්ද මාත් ඉදල හිටලා අඩියක් ගහන්න ඔය ස්ටොස් එකට ගිහින් තියෙනවා. ඒත් ඉතින් මං ඔහොම දෙයක් දන්නෙ නෑ. හරි හරි මං මොකක් හරි කරන්න බලන්නම්. ඒ පැත්තෙනම් ඕකි ප්‍රසිද්ධයි. ඒ නිසා කොළඹට ටිකක් එහායින් තමා ජොබක් හොයන්න වෙන්නේ " කියලා. මං කිව්වා "ඔව් මචං ලොකු උදව්වක් ඒකිගේ තාත්තටත් අංශබාගේ හැදිලානෙ ඉන්නේ." කියලා.

උඹට කියන්න කරූ මිනිහා මොනවගේ ජඩ වැඩ කලත් හරිම හොද හිතක් තිබ්බ එකෙක් කියලා දැන ගත්තේ ඒ සිද්ධියෙන් පස්සේ. මොකද මෑන් අනූට රස්සාවක් හොයලා දුන්නා, සැලුන් එහෙක. තාත්තවත් ප්‍රයිවෙට් හොස්පිටල් එහෙක නතර කෙරෙව්වා, මිනිහා ගානේ. ඉතින් කොහොම හරි ඉවොන්ගෙන් මං අනුලා ට රස්සාවක් ඉල්ලුවට පස්සේ දවසේ ඒ කියන්නේ  නෙක්ස්ට් මන්ඩේ , මුදලාලිත් එක්ක මට බිස්නස් වැඩකට නුවර යන්න සිද්ධ උනා. ඒ වැඩේ ඉවරවෙලා මුදලාලි කිව්වා "මහන්සියටත් එක්ක හොද තානායමක නැවතිලා ඊ ළඟ දවසෙම යං" කියලා.

Next chapter - http://asanka-mind.blogspot.com/2014/06/27.html

98 සතිය

හොද හෝ නරක යනු මමත්වය නිසා තීරණය කරනු ලබන්නක් මිස ඇති දෙයක් නොවේ.

Monday, April 28, 2014

වදිම් මුනිදු ධා

ඕදාත නීල පෑ විහිදා සදුන් කුටිය තුල වඩනා
වදිම් සාදු සිත පහදා  සුගත් මුනිදු ධා

තුන්ලෝ සත වෙත කරුණා මෙත් ගගුලේ සිසිල බෙදා
දසබිම්බර මරු පැරදු බුදුහිමි වැඩ සිටිනා සේ සිතට දැනෙනවා

 නරලෝ සත සිත තෘෂ්ණා ගත් පාවක  නිවා සදා
නිවන පතනු රිසින් දනා බුදුහිමි දැක වදිනා සේ ධාතු වදිනවා

Thursday, April 24, 2014

97 සතිය

යතාර්ථවාදීව හෝ මවක ගේ දෑසින් හෝ ලෝකය දිහා බලන්න. ඔබට වැරදිකරුවකූ සොයාගත නොහැකි වනු ඇත.

Friday, April 18, 2014

96 සතිය

අප සියලු දෙනාටම ආදරය කලද සියලු දෙනාම විවාහ කරගත නොහැක. එසේම විවාහය ආදරය කිරීමට සීමා පනවයි නම් විවාහ නොවීම වඩා හොඳය.

Sunday, April 13, 2014

අපේ සංස්කෘතිය මොක ?

මේ දවස්වල ඉතින් හැම තැනම වෙනදට වඩා වෙනස් වෙලා නෙව. යකඩෝ සුපිරි මාර්කටු වලත් රෙද්ද හැට්ට ඇදගත්තු ලමිස්සියෝ ආයුබෝවන්ඩ කියලනෙව අපිව පිළිගන්නේ. හැබෑට මං බැලෙව්වා මොකෑ මේ වෙනස කියලා. බලාපිනම් මේ සංස්කෘතික මංගල්ලයක් නිසාලුනෙව. අපේ සංස්කෘතිය සාරසොබාවට පෙන්නන්ටලු නෙව ඔහොම ඉන්නේ.

හත්තිලව්වයි, මං මෙච්චරකල් හිතා උන්නේ අපේ සංස්කෘතිය නාඹර වයසේ නාම්බොයි නෑම්බියොයි  කියල වෙනසක් නැතිව කොයි කවුරුත් කලිසන් සෝර්ට් ඇදල ඉන්න එක කියලනෙව. මං උන්නේ ඒ අපේ සංස්කෘතික ඇදුම කියලමයි ඕං. උදේට මුලිච්චිවුන කෙනෙක්ට මෝර්නින්ග් කියන එකත් යනකොට බායී කියන එකත් අපේ සංස්කෘතියේ චාරිත්‍රයක් කියල නෙව මං හිතා උන්නේ. බැලින්නම් කවුරුහරි මුලිච්චි උනාම ආයුබොවන්ඩ බැහැරක්ද කියලා දොඩන එකලුනෙව අපේ සංස්කෘකිය.
ඒ විතරක්යෑ අපේ සංස්කෘතිය පෙන්නන්න කියලා උත්සවයක් තිබ්බොත් කියන්නෙම ජනකවි ජනගී නෙව. මං උන්නේ අපේ සංස්කෘතියේ ගීත නැටුම් කියන්නේ ටෙලිවිසොන් එකෙයි,  සැටොප් එකෙයි නිතර දේවේලේ යන එව්වා කියලනෙව. බැලින්නම් හප්පොච්චියේ අපේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් නෙව.

මං මෙතුවක් කල් හිතාන උන්නේ රටක සංස්කෘතිය කියන්නේ ඒ රටේ බහුතර මිනිස්සුගේ ජීවන රටාව, කන බොන අදින පළදින විදිය කියල නෙව. දැං බැලින්නම් සංස්කෘතිය කියන්නේ ආදීවාසීන්ගේ ජීවන රටාවටනෙව. ඔය අර එදාහෙළදිව ලියපු සුදු මහත්තයා    වගේ පරදේසක් කාරයෙක්ට හිතුනොත් ලංකාවේ සංස්කෘතිය ගැන අද්දියොනයක්, පරීක්සොනයක් කාරිය කොරන්ට උන්නැහේ අලි අමාරුවක නෙව වැටෙන්නේ. උන්නැහේට බක්මහේ විතරයි නෙව ලංකාවේ සංස්කෘතිය ගැන අද්දියොනය කොරන්ට වෙන්නේ. අනේකාලේ වනේවාසේ කියන්නැහේ අපේ සංස්කෘතිය පෙන්නන්ටෙයි කීවම අපි කොරන්ටේ මේ ආදීකාලේ මිනිස්සු කොරපු කියපු ඒව පෙන්නන එක මිසක්කා අපේ වර්තමාන සංස්කෘතික ලක්සොන පෙන්නන එක නොවේය කියලත් මට හිතෙනව අප්පා.

මේ ඇත්තටම අපේ සංස්කෘතිය මොක?  

Thursday, April 10, 2014

95 සතිය

අප පවින් වැලකිය යුත්තේ අපේ යහපකට නොව බහුතරයකගේ නියම යහපතටයි. එවිට අපේ නියම යහපතද සැලසේ.

Saturday, April 5, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 25

අනූෂාගේ මූණ හරියට නිකන් යකෙක් දැකලා බය වෙච්ච එකක් වගේ ඒ වෙලාවේ තිබුනේ. හාන්සි වෙලා උන්නු මම එයා දැකක් ගමන් ඉද්ද ගැහුව වගේ කෙලින් උනා. කෙලින් වෙලා ඇද මිට්ටමට හේත්තු වෙලා අනූෂාගෙන් ඇහුවා "මොක ද අනුෂා මේ රෑ, මොකක්ද ප්‍රශ්නේ ?" කියලා. එතකොට එයා කිව්වා "අනේ අරවින්ද ඔයාට ඉනෝකා ඕනනම් මෙහෙන් යන්න. මට හරි බයයි අරවින්ද " කියලා. මං බැලුවා මොකක්ද මේ එකපාරටම කඩන් වැටිච්ච හෙනේ, මට නම් මෙලෝ දෙයක් තේරුණේ නෑ. ඉතින් මං අනූෂාට කිව්වා "හරි හරි දැන් මොකක් ද වෙලා තියෙන්නේ ඇයි මං මෙහෙන් යන්නේ කලබල නැතුව මෙහෙන් ඉදගෙන හරියටම මොකක්ද උනේ කියන්න" කියලා.

අනූෂා දොර ලග තිබුනු පුටුව දිහා බලලා ඒක උඩ ඉන්දඋනා. ඊ ළගට ටිකක් වෙලා බලන් ඉදලා "අද අපි දෙන්නව ඩැඩීගේ අතටම අහුවුනා. මායි ඉවෝනුයි ක්ලබ් එකේ ඉන්නකොට ඩැඩී එකපාරටම ක්ලබ් එකට ආවා. මායි ඉවෝනුයි සැටි එකක් උඩ හිටියේ. ඩැඩී ළගට එනකම්ම දැක්කෙ නෑ. එක පාරටම "අනූෂා.." කියලා මගේ අතින් ඇදලා අරන් කම්බුලට පාරක් ගහලා "පලයං ගිහින් කාරෙකට නැගපන්.." කියලා මාව තල්ලු කලා. ඊ ළගට ඉවොන් දිහා බලලා "උඹ ගැන මං පස්සේ බලා ගන්නම් සිරිල්ගේ කටු කන බල්ලා.." කියලා මාවත් ඇදගෙන ඇවිත් කාරෙකට නග්ගගෙන ගෙදර ආවා. ගෙදර ඇවිත් මට හොදටම දෙහි කපලා අන්තිමට කිව්වා "තෝ ආයේ ඉගෙන ගන්න ඕන නෑ. ඔය ඉගෙන ගත්ත හරිය ඇති. දැන් ඉතින් කසාදයක් කරල දෙන එකයි තියෙන්නේ. උඔ ලැස්ති වෙයන් අරවින්ද ව බදින්න" කියලා. ඔයා දන්නේ නෑඅපේ ඩැඩිගේ හැටි, එයා දෙයක් කිව්වොත් කිව්වා. අනේ අරවින්ද ඔයා මෙහෙන් ගිහින් වෙන කොහේ හරි ඉන්න. නැත්නම් ඩැඩී ඔයාව මට බන්දන එක නම් ෂුවර්" කියලා කිව්වා.

අලි මදිවට හරක් කියන්නැහේ මේ මොකක් ද බොල මේ වෙන්නේ කියලා මාව තුෂ්නි:භූත වෙලා ගියා. එයා කියපු දේවල් හරියට මොලේට තේරුම් යනකන් ටිකක් ඉදලා මං කිව්වා "එහෙම කොහොමද අනූෂා මිනිස්සුන්ව බලෙන් බන්දන්නේ, ඔයා බය නැතුව ඉන්න. අනික ඔය තාත්තා තරහට කියපු දෙයක් මිසක් හිතලා කියපු දෙයක් නෙවේ. ඔයාගේ තාත්තට පිස්සුයෑ මං වගේ හිඟන්නෙකුට තමන්ගේ එකම දුව බන්දල දෙන්න. පිස්සු නැතිව ගිහින් බුදිය ගන්න අනූෂා" කියලා.ඒ පාර අනූෂා කියනවා "විහිළු නෙවේ අරවින්ද ඩැඩී ඒක කියපු විදියට නම් එයා මාව ඔයාට බන්දලා දේවීමයි. මං කියන දේ අහලා ඉනෝකාගේ තාත්තට කියලා හරි කමක් නෑ, වෙන රස්සාවක් හොයාගෙන මෙහෙන් යන්න ප්ලීස්.." කියලා. මං ඉතින් එයාගේ හිත හදන්නත් එක්ක "හරි හරි ළමයෝ මං ඒක බලා ගන්නම්, ඔයා දැන් ගිහින් බුදිය ගන්න, දැන් මුදලාලී මේ පැත්තට ආවොත් විසුමක් වෙන්නේ නෑ, මාත් කපෝතියි" කියලා කිව්වා. ඊට පස්සේ අනූෂා " මං ඔයාගේ හොදටයි කිව්වේ, මං කොහොමත් ඉවොන්ට ආදරේ කලේ නෑ, ඒත් ඔයයි ඉනෝකායි අතර තියෙන්නේ ඇත්තම ඇත්ත ආදරයක්, එහෙම නේද අරවින්ද?, ඒක නිසා ඔයාට ඉනෝකාව ඕන්නම් මෙහෙන් යන්න.." කියලා ඉක්මනට දොර ඇරගෙන එළියට ගියා. 

එයා ගියාට පස්සේ මට අමුතු බයක් දැනෙන්න පටන් ගත්තා. මාව නිකන් කුම්නත්‍රණ කාරයෝ ගොඩකට අහුවෙලා වගේ දැනෙන්න පටන් ගත්තා. කවුරු හරි ද කවුරු වැරදි ද, මං කා ගැන ද විශ්වාස තබන්නේ කියලා හිතාගන්න බැරුවයි මන් උන්නේ. ඇත්තටම අනූෂා කියපු දේ ගනන් ගත යුතු දෙයක් ද?, තාත්තලා තරහ ගියාම ඔයවගේ දේවල් කියන එක සාමාන්‍ය දෙයක්නේ. ඒක හරියට තෝ මං කියන විදියට හිටියේ නැත්නම් නරියෙකුට බන්දලා දෙනවා කිව්ව වගේ කතාවක්නේ කියලා මට හිතුනා. ඒත් එක්කම මුදලාලී කියපු දෙයකින් ආයෙත් හිත ගැස්සෙන්න පටන් ගත්තා. මොකද මිනිහා කිව්වනේ  මට පුතත් එක්ක වැදගත් කාරණාවක් තියෙනවා කතා කරන්න කියලා.ඒ මේ කාරණාව ගැනද? නැත්නම් වැඩපලේ දෙයක් ගැනද? 

Next chapter - http://asanka-mind.blogspot.com/2014/05/26.html

Tuesday, April 1, 2014

94 සතිය

ඉගෙනීම යනු ආයතන හයට ලැබෙන අරමුණු අනුව සිදුවන මානසික හා කායික ක්‍රියාවලිය නිසා ඇතිවන ආකල්පමය හා ක්‍රියාකාරී වෙනසයි.

Thursday, March 27, 2014

කීකරු නෑ සිත ඉස්සර වාගේ

කීකරු නෑ මට අවනත නෑ සිත - ඉන්නෙම නෑ මගෙ ලඟට වෙලා
ඔබ දුටු දා සිට  මුරණ්ඩු වී ඇත  - යන්නෙම ඔබ හා දැවටීලා

උඩු සුළඟට අසු වී සේවෙන් මිදිලා - ඈතට ඇදෙනා සරුංගලේ වාගේ
යුවනෝදෙට මැදි වී ආලෙන් වෙලිලා - ඒ සිත අද නෑ නිසංසලේ මාගේ

මහ වැස්සක සැඩ වී වේගෙන් ගලලා - සයුරට ඇදෙනා මහෝඝයක් වාගේ
අඩ නින්දක පසු වී හීනෙන් මිදිලා - උඹවම සොයනා ආතුර සිත මාගේ

Tuesday, March 25, 2014

93 සතිය

යමක් කිරීම අවශ්‍යම නම් හා එය කිරීමට අකමැතිනම්/බයනම් සිතීම නතර කල යුතුය. එවිට එය කිරීම අපහසු නොවනු ඇත.

Friday, March 21, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 24

එතනින් එළියට ආවට පස්සේ මගේ ඔලුව නිකන් යකාගේ කම්මල වගේ වැඩ කරන්න පටන් ගත්තා. ඔලුව නිකන් පැලෙන්න වගේ. එක පැත්තකින් ගණිකාවක් ඇසුරු කිරීම ගැන මගේ හිත මටම දෙස් තියනවා. අනෙක් පැත්තෙන් මගේ සත්ගුණවත් මුදලාලියා මහ ජඩ නරුමයෙක්. ඒ විතරක් නෙවේ ලෝකෙට සුදනා කියල පෙන්නන ඉනෝකාගේ තාත්තා රැ ඩැනියෙල් දවල් මිගෙල් වගේ දෙබිඩි චරිතයක්.
මං දැන් මොනා කරන්නද කියලා හිත හිත තමයි මං ගෙදර ආවේ. ගෙදර එනකොටම මුදලාලියා ඉන්නවා ඉහඅත බදාගෙන හාන්සි පුටුවකට බරවෙලා අහස පොළව ගැටලන්න වගේ උඩ බලාගෙන. මට දැන් ඒ මිනිහා දිහා කෙලින් බලන්නත් මොකක් ද වගේ. ඒත් අමාරුවෙන් බොරු හිනාවක් මවාගෙන ගෙට ගොඩවුනා.
එතකම්ම මිනිහා මාව දැක්කෙ නෑ. මං ස්තෝප්පුවට ගොඩඋන ගමන් මිනිහා මාව දැකලා මට කතා කලා. "ආ අරවින්ද මොකද මේච්චර රෑ වෙලා. සෑහෙන්න මහන්සි පාටයි. මොකද වැඩ හොදට යනවනේ". මට අහපු ප්‍රශ්නේ එකපාරට ඔලුවට ආවේත් නෑ. මං "ආ.. ම්මෙ.. ඔව් ඔව් ඒවා ඔක්කොම හරි" කියලා මං ගෙට ඇතුල්වෙන්න හැදුවම මිනිහා කිව්වා " මට පුතත් එක්ක වැදගත් කාරණාවක් තියෙනවා කතා කරන්න, ඒත් දැන් රෑ වෙලා වැඩී. ඒක පස්සෙ වෙලාවක  නිදහසේ කතාකරන්න ඕන කාරණාවක්". මුදලාලී මට පුතා කියලා කතා කරන්නේ බොහෝම කලාතුරකින්. ගොඩක් වෙලාවට අයිසේ, තමුසේ, කොල්ලෝ වගේ නම් වලින් තමා කතා කලේ.ඉතින් ඒක නම් සෑහෙන්න වැදගත් දෙයක් වෙන්නැති කියලා මට හිතුනා. ඒත් ඒ වෙලාවේ මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා. මාත්" හොඳයි මුදලාලී " කියලා කාමරේට වැදිලා ඇද උඩ පෙරලුනා. ටිකක් එහෙම ඉදලා වොශ් එකක් දාගෙන සරමට බැහැලා හාන්සියක් දාගෙන උන්නා. මොන, හාන්සියක් දැම්මට කිසි වැඩක් උනේ නෑ. අනුලාගේ කතාවයි, මං අහුවෙලා ඉන්න මේ දුශ්ඨ ලොකේ ගැනයි නොයෙක් දේවල් සොරොව්ව ඇරපු වැවක වතුර වගේ හෝ ගාලා ඔලුවට ගලාගෙන එනවා.

අන්තිමට මං තීරණය කලා සමාජය මොන වගේ උනත් ඒක මගේ වැඩ වලට බාධාවක් නෙවෙයි. මං මුදලාලී ගාව වැඩ කලාට එයාගේ ජරා වැඩ වලට අනුබල දෙන්නෙත් නෑ. ඉනෝකාගෙ තාත්තා මොන විදියෙ මිනිහෙක් උනත් ඉනෝකා හොදට හැදිච්චි ලමයෙක්. ඉතින් මං මොකට ද ඕන්නැති දේවල් ඔලුවට දාගන්නේ කියලා.

ඉතින් ඔයවගේ දේවල් කල්පනා කර කර ඉන්නකොට කවුද කාමරේ දොරට තට්ටු කරන හඩක් ඇහුනා. ඒක  හරිම හෙමින් ඇහුනේ. කවුද මේ වෙලාවේ හෙමීට දොරට තට්ටු කරන්නේ. මුදලාලීගේ හිතේ තියෙන කාරණාව ඉවසන් ඉන්න බැරුව ද දන්නෙත් නෑ. ඒක එහෙමනං ඒ කාරණාව බොහොම රහසිගත එකක් වෙන්න ඕන. නැත්නම් මගේ කාමරේට එන්නවත් හෙමීට දොරට තට්ටු කරන්නවත් හේතුවක් නෑ නෙව කියලා මට හිතුණා. මං "කවුද දොර ඇරල තියෙන්නේ " කියලා කිව්වා.
"මං මේ අනූෂා" කියලා හේමීට කියාගෙන අනූෂා දොර හෙමීට ඇරගෙන ඇතුලට ඇවිත් ටක්ගාලා දොර වැහුවා. 

  Next chapter - http://asanka-mind.blogspot.com/2014/04/25.html

Sunday, March 16, 2014

92 සතිය

අනාගතයේ විය හැකි සෑම දේටම සුදානම් විය නොහැක. ඒ නිසා සූදානමින් සිටින්න.

Friday, March 14, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 10

මේ වන විට පටිච්ච සමුප්පාදය ගැන මූලිකව යම් අදහසක් ඇතිවන්නට ඇතැයි මා සිතමි. ඒ නිසා තව දුරටත් එය ගැඹුරින් සාකච්ඡා නොකර සරළව එය තේරුම් ගැනීමේ පහසුව සදහා උදාහරණ කීපයක් දක්වන්නට බලාපොරොත්තු වන අතර මෙය පටිච්ච සමුප්පාදය යටතේ එන අවසන් ලිපියද වේ.

අද වන විට මගේ බ්ලොගිය නැරඹු වාර ගණන 10 000ක් වීමත් සතුටට කාරනයක් වන අතර මේ අවස්ථාවේ මාව දිරිමත් කරන එම පිරිසට සතුට අනුමෝදනා වේවායි පතමි.

පටිච්ච සමුප්පාදය ඉතා ගැඹුරු ධර්මතාවයක් වුවත් ඕනෑම උගත් මට්ටමක් ඇති අයකුට වැටහෙන පරිදි උදාහරණ මගින් එය සරලව පැහැදිලි කල හැක. නමුත් මා විචිත්‍ර ධර්ම කතිකයෙක් නොවන නිසා ඒවාද ටිකක් තේරුම් ගැනීම අපහසු විය හැක. නමුත් හොද සතියෙන් යුතුව කියවන කෙනෙකුට තේරුම් ගතහැකි වේවි.

වතුරට එබෙන බල්ලා
වතුරට එබෙන බල්ලෙකුට උගේ රූපයම පෙනේ. මේ බල්ලා ඒ රූපය තවත් බල්ලෙක් යැයි වරදවා වටහාගනී. බල්ලා බුරන විට ඡායාමාත්‍ර බල්ලා ද බුරයි. එවිට බල්ලා තවත් කෝප වෙයි. මේ බල්ලා සිතන පරිදි ඡායාමාත්‍ර බල්ලා මා මෙතෙන්ට එන්න කලිනුත් ඉන්න ඇති, මා ගියාට පසුවත් ඉදීවී කියා රැවටී වෙනත් බල්ලෙකුට අතන පිටස්තර බල්ලෙක් ඉන්නවා යැයි පවසයි. ඒ දෙවැනි බල්ලා ද ගොස් ඒ බල්ලාගේ ඡායාවට රැවටෙයි.
නමුත් ඇත්තටම එතන වුනේ ඒ මොහොතේ හිරු එලිය, ජලයේ ඔපය, බල්ලා කියන කාරනා 3 නිසා ඡායාවක් හටගැනීමක් පමණයි. එහි ඡායාවට අතීතයක් හෝ අනාගතයක් නෑ. දැන් මේ බව දන්නා බුද්ධිමත් බල්ලෙක් එතන ඇති බල්ලෙකු නැති බවත් ජලයේ ඔපය නිසා හටගත් ඡායාවක් ඇති බවත් මේ බල්ලාට පැහැදිලි කරයි. දැන් මේ බල්ලා එසේනම් මා ජලයේ ඔපය බැලිය යුතුයැයි ජලයට එබෙයි. නමුත් ඒ බල්ලාට ඔපයක් නොපෙනී ඡායාවම පෙනෙයි. එයින් පැහැදිලි වෙනවා ඔපය තිබෙන්නේ වස්තුවක් නැති විට පමණයි. ඔපයට වස්තුවකින් එන ආලෝක කිරණ එකතු වීමෙන් ඡායාව හට ගන්නා බවත් තව දුරටත් එතැන ඔපය නැති බවත් තේරුම් ගතයුතුයි. ඒ වාගේ අපි මෝහය සහිතව කෙතරම් ලෝකය දෙස බැලුවත් යතා ස්භාවය වන ඔපය නොපෙනෙන බවත් යතා ස්භාවයට මෝහය එකතු වීම නිසා නිර්මාණය වන මන:කල්පිත ලෝකය වන ඡායාවම පෙනෙන බවත් තේරුම් ගත යුතුයි.

මිරිඟුව 
මිරිගුව කියන්නේ ජලය සේ පෙනෙන වලාකුළු වල ඡායාව බව අපි දන්නවා. නමුත් මිරිඟුව ගැන අදහසක් නොමැති කෙනෙක් ඒ ජලය යැයි රැවටෙනවා. නමුත් එතන ජලය නෑ. ජලය එතන තියෙන්නේ අර මනුස්සයා ඒ දෙස බලනතුරු විතරයි. වෙනත් විදියකින් කීවොත් ඒ මනුස්සයට සාපෙක්ෂව එතන වතුර තියනවා. අපි කොච්චර නෑ කිව්වත් ඒ මනුස්සයා එහෙනම් ඔය පෙනෙන්නේ අහවල් එකක් ද කියමින් වාද කරනවා. නමුත් ඇත්තටම එතන ජලයවත් ඡායාවක් වත් නෑ. හොදට කල්පනා කරල බලන්න එතන සිද්ධ වෙන්නේ හිරු කිරණ වලාකුළු වල වැදිලා පරාවර්තනය වෙලා පොළවෙ වදිනවා. එච්චරයි. ඒතන ඡායාවක් වත් නෑ. නමුත් ඒ පොළවෙ වදින කිරණම මනුස්ස ඇසේ වැදිලා උත්තේජනයක් ඇති කරනවා. අන්න එතකොට අර මනුස්සයා තමන්ගේ දැනුමට අනුව එතන ජලය හෝ වළාකුලේ ඡායාව හෝ ඇත කියා මනසින් සංස්කාරයක් ඇති කරගන්නවා. නමුත් එහෙම දෙයක් එතන තිබුනෙත් නෑ ඇත්තෙත් නෑ. දකින මොහොතේ පමණක් තියෙනවා සේ පෙනෙනවා.

තවත් උදාහරණ දැක්විය හැකි නමුත් ලිපිය දීර්ඝ වන බැවින් මෙතැනින් නවතිමි. අප දැනගත යුතු කාරණයක් වන්නේ අපට පෙනෙන, ඇසෙන,දැනෙන, හිතෙන හැම දෙයකටම අපේ ඉන්ද්‍රියනුත්, මෝහයත් හේතු වන බැවින් ඒ හේතු නැති කිසිම අවස්ථාවක එනම් අතීතයේ හෝ අනාගතයේ ඒ දේවල් නැති බවත් ඒ සියල්ලම මනසතුල ගොඩනැගී ඇති සිතුවිලි මාත්‍රයයන් ම පමනක් බවත් ය.

ගැටළුවක් ඇත්නම් විමසන්න. ඔබට නිවන් සුව ලැබේවා !.

Monday, March 10, 2014

91 සතිය

විශ්වාස කලා හෝ නොකලා යන්නේ හරි පාරේ නම් බෑ බෑ එපා එපා කිව්වත් ගමනාන්තයට ලගා වෙනවාමයි. හුදෙක් විශ්වාසය මත කිසිවක් වෙනස් නොවේ.

Saturday, March 8, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 23

මගේ අත මටත් නොදැනීමයි එයාගේ මූණේ තිබුනු කදුලු පිහදැම්මේ. මං කිව්වා "අඩන්න එපා අනූතී මං කොහොමහරි ඔයාව මේ නරාවලින් ගොඩ ගන්නවා" කියලා. එහෙම කියනකොට එයා එයාගේ මූණේ තිබුනු මගේ අතින් අල්ලලා කිව්වා "මට අනූති කියන්න එපා මහත්තයා, මං ඒ නමට කොහොමත් ම කැමති නෑ. මගේ නම අනුලාවති, මෙහෙට අවට පස්සෙ තමයි අනූති කියලා දැම්මේ"කියලා. ඉතින් මං කිව්වා "එහෙනම් මං අනුලා කියලා කියන්නම්" කියලා.අනූ මගේ ඇස්දෙක දිහා බලලා එකපාරටම මගේ කමිස කරෙන් අල්ලලා එයාගේ පැත්තට ඇද්දා. එහෙම අදිනගමන් "මහත්තයා මට අනූති නැතිව ඕන නමක් කියන්න මහත්තයා" කියලා හැගුම්බර විදියට කිව්වා.

මාව එකපාරටම තුශ්නි:භුත වෙලා ගියා. මට හිතා ගන්න බැරි උනා මේ මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. මාව කාන්දමක් වගේ එයාගේ පැත්තට ඇදුනේ. මට මාවම පාලනය කරගන්න බැරිඋනා. එයාගේ මූණ දිහාට මගේ මූණ ඇදිල ගිහින් එයාගේ තොල්පෙති මත මගේ තොල්පෙති පතිත උණා. ඒ තොල්පෙති වල අමුතුම මිහිරක් තිබුනේ. බුලත් කහට නිසාද කොහෙද ඒවායේ මිහිරි රසයක් තිබුනේ. එත් සුලු මොහොතකින් මං ආයේ පියවි ලෝකෙට ආවා.

මං මේ මොකක්ද කරන්නේ, මං මේවෛශ්‍යාවක් නේද සිපගන්නේ කියලා එකපාරටම සිතට ආවා. මං ඉක්මනට එයාගෙන් ඉවත් උනේ දුන්නක් දිගඇරෙන්න වගේ. ඒ පාර එයත් ගැස්සිලා ගියා. "ඇයි මහත්තයා මොකද උනේ" කියලා අනූ මගෙන් ඇහුවා. "නෑ නෑ අනුලා මට ඔයාට මෙහෙම කරන්න බෑ. මං කොහොමද ඔයාට මෙහෙම රිදවන්නේ" කියලා මං ඇහුවා. එතකොටම එයා හිනාවෙලා කියනවා "නැව් යන සාගරේ බොට්ටුවක් ගියා කියලා පාර හිටින්නෑ මෝඩයෝ " කියලා මං දිහා සරාගී විදියට බලලා ඇස් දෙකෙන් මට ආරාධනාවක් කලා.

උඹට කියන්න කරූ ඒ වෙලාවේ එයා මං දිහා බලපු විදියට මට පිස්සු හැදිච්ච නැති එක විතරයි. එයා ඇදට බර වෙද්දී මාත් ඒ පැත්තට බර උනේ කවුරුහරි මගේ බෙල්ලෙන් අල්ලලා බලෙන් මාව පාත් කලා වගේ.

එතනින් එහාට සිද්ධ උන හැම දෙයක්ම වගේ අරවින්ද මට කියාගෙන කියාගෙන ගියේ අද ඊයේ චෙච්ච දෙයක් කියන්න වගේ. නමුත් ඒ සියල්ල මෙහි සදහන් කිරීම නුසුදුසු යැයි හැගෙන බැවින් සදහන් නොකර ඉමි. ඒ විදියට අරවින්දත් අනුලාත් මුලින්ම ලොකාස්වාදභිරතියෙහි යෙදුනු හැටි මට විස්තර කරගෙන ගියා.

අන්තිමට එයා මගේ පපුවට ඔලුව තියාගෙන වැතිරිලා හිටියා. "හුග කාලෙකින් තමයි මහත්තයා මෙච්චර සතුටක් මට ලැබුනේ" කියලා අනූ මගේ අත දිගේ ඇගේ දඹරැගිල්ල දුවවන ගමන් කිව්වා. මාත් ටිකක් වෙලා හාන්සිවෙලා ඉදලා "මං දැන් යන්න ඕන අනුලා" කියලා නැගිටලා බාත්රූම් එකට ගිහින් ඇගපත හෝද ගත්තා. අන්තිමට ඇගේ අතින් රුපියල් දෙකේ කොලයක් ගුලිකරලා " මං ඔයාව මෙතනින් බේරගන්නවාමයි අනූලා " කියලා එතනින් පිටවෙලා ආවා. මට තව රුපියල් දෙකක් කවුන්ටරේටත් ගෙවන්න උනා. 

Next chapter - http://asanka-mind.blogspot.com/2014/03/24.html

Tuesday, March 4, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 9

ගියවර ලිපියේ අවසානයේ මං සදහන් කලා මේ ලෝකයේ අපේ පංචෙන්ද්‍රියට හසුවන සියල්ල අවිද්‍යාව නිසා හටගත් දේවල් ය කියලා. එතකොට අවිද්‍යාව නැතිනම් මේ ලෝකේ කිසිවක් නැද්ද කියන ගැටළුවට විසදුමත් මේ ලිපියෙන් සදහන් කරන්නම් කියලාත් කිව්වා. ලෝකයේ සංයුතිය ගැන 2 ලිපියේ අපි සාකාච්ඡා කරපු නිසා එය කියවපු අයටනම් මේ ගැටළුව එන එකකුත් නෑ. නමුත් එය අපහැදිලි අයත් ඉන්න පුළුවන් නිසා මෙතැන දී ද ඒ පිළිබද යම් විස්තරයක් මං කරන්නම්.

මේ ලෝකයේ සියළු භෞතික දේවල් හැදිල තියනව කියන්නේ ශුද්ධාශ්ඨක වලින්ලූ. මේ ශුද්ධාශ්ඨක අපේ පසිදුරුන්ට ගෝචර දෙයක් නොවෙයි. ඊට අයත් වන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා යන අටයි. බැලූ බැල්මට අපට හිතෙනවා මේවා අපිට පේන, දැනෙන දේවල් කියලා. එහෙම හිතෙන්නේ ගොඩක් අය වර්ණ කිව්වම හිතන්නේ මේ අපිට පෙනෙන රතු, කලු, සුදු ආදී වර්ණ ගැන කියනවා කියලයි. නමුත් වර්ණ කියන්නේ මේ අපිට පෙනෙන පාටම නෙවේ. ඒ ඒ වස්තුවේ අපිට පාට පෙනීමට උපකාර වන හේතුව හෙවත් ප්‍රත්‍ය තමයි වර්ණ කියලා හදුන්වන්නේ.

ඒක උදාහරණයකින් දක්වනව නම්, අපි දන්නවා ලේ රතු පාටයි. මේ ලේ රතුපාට වන්නේ හිමොග්ලොබින් නිසා. හිමොග්ලොබින් කරන්නේ සුදු ආලෝකය උරාගෙන රතු වර්ණය පරාවර්තනය කරන එක. අන්න ඒ කාර්යය කරන හිමොග්ලොබින් වල තියෙන ගුණය තමයි එහි වර්ණය වන්නේ. නැතුව රතුපාට නොවේ. දැන් අපිට ලේ රතු පාටට පෙනුනට වෙනත් සත්වයකුට ඒක වෙනත් පාටකට හෝ පාටක් නැති දෙයක් ලෙස හෝ පෙනෙන්න පුලුවන්. එතකොට පැහැදිලි වෙනවා මේ රතු පාට කියන දේ ඇති දෙයක් නෙවේ, ඒක මිනිස් මනසින් නිර්මාණය කරන දෙයක් විතරයි කියලා. මේ වගේ ඉහත සදහන් කොටස් අටම අපිට ගෝචර වන දෙයක් නොවෙයි. අපිට පෙනෙන ඇහෙන දැනෙන සියලු දේ නොදන්නා කම නිසා මනසින් කරන හදුනාගැනීම් පමණක් බව තේරුම් ගත යුතුයි.

තව එක උදාහරණයක් විතරක් දක්වලා මං මේ ලිපිය අවසන් කරන්නම්. දැන් පිරිමි කෙනෙකුගෙයි ගැහැණු කෙනෙකුගෙයි මුහුණු ගත්තම මේ දෙන්නටම පෙනෙන්න තියෙන්නේ එකම ඉන්ද්‍රියයන්. ඒවා හැදිල තියෙන්නෙත් එකම ද්‍රව්‍ය වලින් ( හම, කෙස්, ලොම් ආදී) තවත් හොදට බැලුවොත් එකම ශුද්ධාශ්ඨක වලින්. නමුත් ඇස් පෙනෙන ඕන කෙනෙක්ට දැක්ක ගමන් කියන්න පුලුවන් මේ පිරිමි මූණක්, මේ ගෑණු මූණක් කියලා. එතකොට පැහැදිලි වෙනවා මේ වෙන් කිරීම කලේ ලෝකය නෙවෙයි අපේ මනසයි (විඥ්‍යානයයි) කියලා. මනස ඒ දේ කලේ අතීත සංස්කාර නිසා. එතකොට මේ ලෝකය නිර්මාණය කරගෙන තියෙන්නේ අපේම මනසින් මිසක් ඇත්තටම ලෝකේ තියෙන්නේ ශුද්ධාශ්ඨක ගොඩක් නේද?

මේ විග්‍රහය කලේ මගේ දැනුමෙන් බැවින් 100% ක් නිවැරදි නොවිය හැක. ගැටළුවක් ඇත්නම් ඉදිරිපත් කරන්න. අපි සාකච්ඡා කරමු.

ඔබට නිවන් සුව ලැබේවා. !

Monday, March 3, 2014

90 සතිය

අපේදුකින් 90% ක් විතර ඇත්තේ අතීතයෙත් අනාගතයෙත් ය. අපි වර්තමානයේ ජීවත්වේනම් ඇත්තේ දුකින් 10% පමණය.

Wednesday, February 26, 2014

සෙව්වන්දිය

රූ රාජිනි
නෙත් අගින් පෑ නූරා ආරධනා
මුලා වේ වී ඇදී යාවී
රූ සොබා සෑමදා නිශාන්තේ දී
කුල්මත් කලේ  මා නෙත් විලේ

තිගේ මල් මුවින් වැහේනා මී විතෙන්
තෙමාපන් ලදේ සහසි මාගේ ලවන්
උරා බී මී නුරාවෙන් වෙලී
සොයාපන් ඇගේ රහස නිල් තණ මතින්

හොවා ලැම හසුන් ලයට මාගේ සෙමින්
තෙමාපන් තිගේ ළ මැද මුදු උණුසුමින්
එන මෝදු වී සේ මල පිපී
තබාපන් දසන් ලකුණු කැකුලෙහි තුඩින්

Monday, February 24, 2014

89 සතිය

මා නිවනට යොමු කරන්නාද, හුදෙක් මගෙන් උදව් ලබාගන්නාද මාගේ කල්‍යාණ මිත්‍රයන්ය. මන්ද ඔවුන් මට අත්හැරීම පුහුණු කරවයි.

Saturday, February 22, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 22

 “මගේ උපන් ගම මහත්තයා බදුල්ලේ, බදුල්ලේ ස්ප්‍රින්වැලි වල. ඒ කාලේ අපේ අම්මලා වැඩකරල තියෙන්නේ සුද්දන්ගේ තේ වතුවල. ඉතින් අපේ ආච්චි ගැන වත්තෙ සුදු මහත්තයගේ හිත ගිහින් ආච්චිව කසාද බැදලා තියෙනවා. ඉතින් අපේ අම්මා ඉපැදෙද්දි හරිම සුදුයි ලු. ඒ කාලේ අපේ අම්මා තරම් ලස්සන කෙනෙක් ඒ පාලාතේ නැතිතරම්ලු. ඉතින් අම්මට මාව ලැබිලා අවුරුදු දෙක තුනක් යද්දි කරදරයක් වෙලා තියෙනවා. කවුරුහරි සල්ලාලයෙක් අපේ අම්මාව මරලා. ඒ සිද්ධියෙන් පස්සේ අපේ තාත්තා මාවත් අරන් කොළඹ ඇවිත් තියෙනවා. මොකද මාත් ඒ කාලේ හරිම ලස්සනයි ලු. ඉතින් තාත්තට මං ගැන බයක් ඇතිවෙලා තියෙනවා ඒ පළාතේ තියා ගන්න. 

තාත්තා මාවත් අරන් කොළඹ ඇවිත් කුළිවැඩ කර කර ගෙවල් ගානේ ගිහින් තමා මාව බලාගෙන තියෙන්නේ. ඉතින් ඔහොම තැන තැන යද්දි ජයසිංහ මුදලාලීගේ ගෙදරටත් ඇවිත් තියෙනවා. එහේ දවසක් දෙකක් නැවතිලා කූලී වැඩක් කරලා. එහේ ඉන්නවා මගේ වයසම ගැණු ළමයෙක්. එයත් එක්ක මං ඒ දවස් දෙකට හොදටම යාලුවෙලා ඉදල තියෙන්නේ. ඉතින් අපි එහෙන් එද්දි එයා හොදටම අඩන්න පටන් අරන්. ඒක නිසා ජයසිංහ නෝනා කිව්වලූ තාත්තට, මාව හදාගන්නම් මාව එහේ තියල යන්න කියලා. තාත්තා ඒකට ගොඩක් කැමති වෙලා. මොකද මං ගෑණූ දරුවෙක්. තැන තැන එක්ක යන්නත් බෑ. ගෑණූ ළමයෙක් තාත්තා කෙනෙකුට හදාගන්න අමාරු වැඩක්නේ. අනික ඕන වෙලාවක ඇවිත් මාව බලලා යන්නත් පුළුවන්නේ. 

කොහොම හරි කාලයක් යද්දි තාත්තා පොඩි ගෙයක් හදා ගත්තා ලෑලි වලින් මරදාන කොච්චිපාර අයිනේ. ඒත් තාත්තා මාව ලොකු වෙනකම් හදාගන්න ජයසිංහ නෝනටම බාර දීලයි තිබුනේ. ඒ නෝනාත් අපි දෙන්නටම හරිම ආදරෙයි. එයාගේ දුවයි මායි කියලා වෙනසක් කලේ නෑ. මායි අනූෂායි එකටමයි ස්කෝලේ ගියෙත්. 

ඔහොම අපි සතුටින් කාලයක් හිටියා. ඒත් මං ලොකු ළමයෙක් උනාට පස්සේ ජයසිංහ මුදලාලි මට වැඩිපුර ආදරේ පෙන්නන්න පටන් ගත්තා. සමහර වෙලාවට මාව ඇදල අරන් උකුලෙන් තියාගෙන ඔලුව අතගානවා, මූණ ඉඹිනවා, එක එක රසකැවිලි හොරෙන් ගෙනත් දෙනවා. මං මුලින් හිතුවේ මුදලාලි මට තාත්තා වගේම ආදරෙයි කියලා. ඒත් මට තේරුණා ඒ හැම දෙයක්ම කලේ එක්කො ගෙදර කවුරුත් නැති වෙලාවට, එහෙම නැත්නම් කවුරුවත් පේන්න නැති වෙලාවට කියලා. මට අවුරුදු 16ක් විතර වෙද්දි මුදලාලිගේ හැසිරීම එන්න එන්න නරක අතටයි හැරුණේ. සමහර වෙලාවට ගෙදර කවුරුත් නැති වෙනකං ඉදලා මගේ කාමරේට ඇවිත් මගේ දුවට මං හාද්දක් දෙන්න ඕන කියලා මාව බදාගෙන හේමිට නරක තැන් පවා අල්ලන්න හැදුවා. ඒ වෙලාවට මං මොකක් හරි බොරුවක් කියලා බේරිලා එනවා. මට එවා කියන්න කෙනෙක් නෑ. අම්ම කෙනෙක් නැති අඩුව මට හොදටම තේරුණේ ඒ කාලේ. 
කොහොම හරි ටික දවසක් යනකොට ජයසිංහ නෝනාට මේක තේරුණා. ජයසිංහ නෝනා කිව්වා වහාම මාව තාත්තා ගාවට යවන්න කියලා. ඊට පස්සේ මං තාත්තත් එක්ක තමා හිටියේ. තාත්තා, මට එහේදී වේච්චි කිසි දෙයක් දැනං උන්නෙ නෑ. ඒත් හදිස්සියෙම අපිට ආයේ හෙනහුරා පාත්උනා මහත්තයා. අපේ තාත්තා ගහකින් වැටිලා අසනීප උනා. ඉතින් ජයසිංහ මුදලාලී තාත්තව බලන්න ඇවිත් තාත්තට කිව්වා ඇක්මන් උන්නැහේ දුක් වෙන්න එපා, ඔක්කොම වෙන්නෙ මනුස්සයොන්ටනේ, මං දුවට රස්සාවක් හරිගස්සලා දෙන්නම් කියලා.

ඉතින් මහත්තයා ඒ මිනිහා මට දුන්නු රස්සාව තමා මේ. මුලින්ම මාව ස්ටාර් සර්විස් ආයතනයේ වැඩට දැම්මා. ඒ දීලා සතියක් විතර ගියාට පස්සේ ඒකේ අයිතිකාර මහත්තයා ඇවිත් ඇහුවා එයාගේ නංගිගේ වයින් ස්ටෝර්ස් එකේ වැඩ කරන්න කැමති ද කියලා. මං මුලින්ම ඒකට කැමති උනා. මොකද තාත්තගේ බේත් වලටත් ගොඩක් වියදම් තිබුණා. ඒත් එතන ගිහින් ඇග විකුනන්න තියෙන්නේ කියලා දැනගත්තාම මං ඒකට විරුද්ධ උනා. නමුත් ඒ මිනිහා මට තර්ජනය කලා රස්සාව දිගටම කරන්න ඕන්නම් එතනත් වැඩ කරන්න කියලා. 
මගේ තාත්තට දැන් අංශභාගේ මහත්තයා. මං කොහොමද රස්සාවක් නොකර තාත්තව බලා ගන්නේ. මට වෙන කරන්න දෙයක්  තිබුනේ නෑ මහත්තයා“ කී ඈ අඩන්නට පටන් ගත්තා.

 මං ඒ කතාව අහං හිටියේ දැහැනට සම වැදිලා වගේ.මට උන් හිටිතැනුත් අමතක වෙලයි තිබුනේ.

Next chapter - http://asanka-mind.blogspot.com/2014/03/23.html

Saturday, February 15, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 8

මගේ පටිච්ච සමුප්පාද විවරණය කියවූ කෙනෙක්ට එන්න පුලුවන් එක් ගැටළුවක් තමයි සියලු හේතූන් ද ඵලයන්ද එක විටම ඇති වී එකටම නිරුද්ධ වනවා නම් කොහොම ද කර්ම ඵල විග්‍රහ කරන්නේ කියන එක. ඒ ගැන යම් විස්තරයක් මගේ කර්මය3 ලිපියේ සදහන් කලා. නමුත් මං මෙතැන දී එක් උදාහරණයකින් එය පැහැදිලි කරන්නම්.

එක ළමයෙක් වැස්සට තෙමෙනවා. මේ හේතුවෙන් මේ ළමයට උණ හැදෙනවා. මේ දරුවා පරික්ෂා කරන වෛද්‍යවරයා බෙහෙත් නියම කරනවා. දැන් මේ ළමයගේ මවගෙන් ඇහුවොත් උණ ගන්න හේතුව අම්මා කියාවී වැස්සෙ තෙමුණ නිසා කියලා. නමුත් වෛද්‍යවරයා කියා වී වෛරස් එකක් ශරීරයේ තියෙනවා ඒ නිසා උණ හැදිලා කියලා. දැන් මෙතැන කවු ද හරි උත්තරය දුන්නේ? අම්මා ද වෛද්‍යවරයා ද? අපිට පේනවා දෙන්නම හරි. නමුත් අම්මා ට ළමය ව සුව කරන්න බෑ. මොකද අම්මා කියන්නේ අතීත හේතුවක්. ඒ වගේම ඒ උත්තරය 100%ක් හරි නෑ. මොකද ඇත්තටම වැස්සට තෙමුණ නිසා නම් උණ ගන්නේ, තෙමෙන හැමෝටම උණ හැදෙන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නෑ. වෛද්‍යවරයා කියන්නේ වර්තමාන හේතුව. ඒකට වෛරසය නැතිකලාම උණ නැති වෙනවා. ඒ වගේම ඒ වෛරසය තියෙන හැමෝටම උණ හැදෙනවා. ඒ නිසයි ධර්මය පච්චුප්පන්න කියන්නේ.
ඒ වගේ අපිට යම් ප්‍රතිඵලයක් දුටු විට එහි හේතුව ද ඒ වෙලාවේම දකින්න පුලුවන්. එසේම ඒ හේතුවට හේතුව, නැවත ඒ හේතුවට හේතුව ආදී වශයෙන් අතීතයට බැලීමෙන් අතීත හේතුවක් ද දක්වන්න පුලුවන්. මං හිතනවා ඒ ගැටළුවට ඒ උදාහරණය ප්‍රමාණවත් කියලා.

ඊ ළගට කෙනෙක් ට එන්න පුලුවන් ගැටළුවක් තමා හේතුව නැති කලාම ඵලය නැති වෙනව නම්, තණ්හාව නැති කලොත් පිලිවෙලින් වේදනාව ද, ඵස්ස ද, .........., නාමරූප ද,..........අවිද්‍යාව ද ආ දී වශයෙන් සියල්ල ම නැති විය යුතුයි නේද? එසේ නම් රහතන් වහන්සේලාට නාමරූප, පංචස්කන්ධ, තියෙන්නේ කොහොමද? නිවන් දකිනකොට සියල්ල අතුරුදහන් විය යුතුයි නේද? කියලා. මේ ගැටළුව ටිකක් තේරුම් ගැනීමට අපහසු ගැටළුවක්.

මා හිතන විදියට නිවන් දකිනකොට පටිච්ච සමුප්පාදයේ දැක්වෙන සියල්ලම නැති වෙනවා. ඉතිරි වන්නේ ඒ එක් කොටසටවත් අයිතිනැති දෙයක්. ඒක හරියට මං කලින් ලිපියේ සදහන් කල උදාහරණය වගේ. කොළපාට කණ්නාඩි දාන අපිට කවදාවත් දම්පාට දකින්න නොලැබෙනවා වගේ අපිට නිවන් දකිනකම් ඇත්ත ස්භාවය පෙනෙන්නෙ නෑ. කොලපාට කණ්නාඩි දාලා දම්පාට බැලුවම කලුපාට පේනවා වගේ අපි ට පෙනෙන්නෙම රහත් උන උතුමන්ලාගේ කිසි වෙනසක් සිදු නොවූ බවයි. ඇත්තම කිව්වොත් අපිට තියෙන්නෙත් රහතන් වහන්සේලාට තියෙන දේවල් ම තමයි. නමුත් අවිද්‍යාව නමැති කොලපාට කණ්නාඩියෙන් බලන අපිට අපිව පේන්නෙත්, රහතන් වහන්සේලාව පෙන්නෙත් නාමරූප හැටියටමයි. ඒකයි අවිද්‍යා පච්චයා නාමරූප කියන්නේ. මේ නිසා අපිට පටිච්ච සමුප්පාදය මේ විදියට ද දක්වන්න පුලුවන්
අවිද්‍යා පච්චයා සංකාරා
අවිද්‍යා පච්චයා විඥාන
අවිද්‍යා පච්චයා නාමරූප
අවිද්‍යා පච්චයා සලායතන
අවිද්‍යා පච්චයා ඵස්ස
අවිද්‍යා පච්චයා වේදනා
අවිද්‍යා පච්චයා තණ්හා
අවිද්‍යා පච්චයා උපාදාන
අවිද්‍යා පච්චයා භව
අවිද්‍යා පච්චයා ජාති

දැන් කෙනෙක්ට එන්න පුළුවන් ගැටළුවක් තමා, එහෙනම් ජාති (යමක ඇති වීම) අවිද්‍යාව නිසා විද්‍යාමාන වන දෙයක් නම් මේ ලෝකයේ ඇතිවන දෙයක් නැද්ද? මේ ලෝකේ ශුන්‍ය ද කියලා. අවිද්‍යාව නිසා තියෙනව වගේ පේනවා විතරද, ඇත්තටම නැද්ද කියලා. ඒකට පිළිතුරක් ඊ ළග ලිපියෙන් මං මගේ දැනීමේ හැටියට ඉදිරිපත් කරන්නම්

ගැටළුවක් ඇත්නම් ඉදිරිපත් කරන්න
ඔබට නිවන් සුව ලැබේවා !

Monday, February 10, 2014

88 සතිය

අපව දුකට පත්කරන්න හෝ සතුටට පත් කරන්න හැකි කිසිවකු නැත.

Saturday, February 8, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 21

උඩ තට්ටුවට නැග්ගාම දිග කොරිඩෝවක් තිබුනා. දෙපැත්තෙන් කාමර පේලී දෙකක්. මුලින්ම තිබුනු කාමර දෙකෙන් දකුණු අත පැත්තේ කාමරේ අංක එකත් අනිත් පැත්තෙ කාමරේ අංක 20ත් ගහලා තිබුණා. මං ටිකක් වෙලා දොර ගාව ඉදල හෙමීට දෙපාරක් තට්ටු කලා. ඇතුලෙන් අනූ "කම් ඉන්" කියලා කිව්වා. මං හෙමීට අගුල කරකවලා ඇතුලට දොර තල්ලු කලා. කාමරෙන් පිච්ච මල් හරි රෝස මල් හරි සුවදක් කඩාගෙන ආවා. එයා හිටියේ ඇදක් උඩ වාඩිවෙලා බිම බලාගෙන වෙන්න ඕන. මොකද මං දොර ඇරලා බලනවත් එක්කම එයා මං දිහා බැලුවා.

කාමරේ කෙලවර වොෂ් රූම් එකක් තිබුනා. ඇද ගාවම මේසයක් උඩ එක එක වර්ගයේ ක්‍රීම් වර්ග, තෙල් වර්ග බෝතල් ගොඩකුත් තිබුනා. මාව දැක්ක ගමන් එයා මාව ඇදිරුවා. "මහත්තයා !, මං හිතුවා ආයේ මහත්තයා එන එකක් නෑ කියලා. ඉතින් මහත්තයා ආවේ මගේ කතාව අහන්නම ද නැත්නම්....." කියලා අනූ මං දැක්ක ගමන් අහලා යන්තම් හිනා උනා. ඒ වෙලාවේ මං එයා ව දැකලා වශී වෙලා වගේ උන්නේ. මොකද එයා ඒ වෙලාවේ ඇදගෙන හිටියේ තුවායක් විතරයි. ඒක හරියටම මොන පාටද කියන්න අමාරුයි. මොකද කාමරේ තිබුනේ රතුපාට පොඩි බල්බයකින් ආපූ එලිය විතරයි. ඒ නිසා මට ඔක්කොම පෙනුනේ රතු පාටට.

මං කිව්වා "ම්... ආ.. ඔව් ඔව් ඒකටම තමා. මං එහෙම බොරු පොරොන්දු දෙන කෙනෙක්  නොවෙයි" කියලා. "ආ ඒකත් එහෙමද, එහෙනම් ඇවිදින් මෙතැනින් වාඩිගන්නකෝ" කියලා ඇදට තට්ටුවක් දැම්මා. ඉද ගන්න වෙන තැනකුත් තිබ්බෙ නැති නිසා මං ඇදේ මේ කෙලවරේ ඉද ගත්තා. එයා මං ලගට හෙමින් කිට්ටු වෙලා "මහත්තයා වොෂ් එකක් දාගන්නවද?" කියලා ඇහුවා. එහෙම ඇහුවම මට මං ගැන ලැජ්ජාවක් වගේ දැනුනා. ඉතින් මං ඇහුවා "ඇයි මං ලග ගදයිද ?" කියලා. ඊට පස්සේ එයා හිනා වෙලා කියනවා "නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි, ඔයාට මහන්සි පාටයි ඒකයි ඇහුවෙ" කියලා. මටත් ඒ වෙලාවේ ඇත්තටම දාඩිය දමලයි තිබුනේ. ඉතින් මං කිව්වා "ඔව් ටිකක් මූණ කට හෝද ගත්තොත් හොදයි" කියලා.

ඊට පස්සෙ මං මූණ කට හෝදලා ආපහු ඇවිත් ඇද උඩින් වාඩිඋනා කතාව අහන්න. එයත් මං ගාවින් වාඩිවෙලා "දැන් මහත්තයාට මොනවද මගෙන් දැනගන්න ඕන." කියලා ඇහුවා. මං කිව්වා "මට දැනගන්න ඕන ඇයි ඔයා මේ වගේ රස්සාවක් කරන්නෙ, තව හොද රස්සාවක් තියෙද්දි. ඔයා කිව්වනේ මේක කරන්නේ කැමැත්තෙන් නෙවෙයි වෙන කරන්න දෙයක් නැති නිසාය කියලාත්".

"ඔව් මහත්තයා, මහත්තයලා දන්නෙ නෑ මේ රස්සාවේ හැටි. මේකට එක එක ජාතියෙ මිනිස්සු එනවා. සමහරු හැසිරෙන්නෙ තිරිසන්නු වගේ. උන් හිතන් ඉන්නෙ සල්ලි දුන්නම ඕන එකක් කරන්න පුලුවන් කියලා. මේ බලන්න මහත්තයා" කියලා අනූ එයාගේ පපුවේ තිබුනු දත් පාරවලුයි, උරහිසේ තිබුනූ නියපොතු පාරවලුයි පෙන්නන්න ගත්තා. මට ඒවා දැක්කාම එයා ගැන සෑහෙන්න අනුකම්පාකුත් දුකකුත් ඇති උනා. මං ඇහුවා "මං හිතුවෙ නෑ මේ වගේ තිරිසන්නු මෙවට ආවා කියලා මේවගේ තිරිසන් වැඩ කරනවා කියලා. ඉතින් ඇයි මෙහෙම දුක් විදගෙන මේ රස්සාව කරන්නේ අනූති" කියලා.

"ඒක දිග කතාවක් මහත්තයා. මහත්තයලා වගේ ඇයෝ මෙහෙම දේවල් කරනවා අඩුයි. නාකි හැත්ත තමයි මේ වගේ වනචර වැඩ කරන්නේ. උන් කියන කියන විදියට අපි හිටියෙ නැත්නම් ඒකට ලොකු මැඩම්ගෙන් බැනුම් අහන්නෙත් අපි" කියලා අනු ඉකි ගහන්න පටන් ගත්තා. මට හරිම දුකයි, මං කිව්වා "හරි හරි ලමයෝ දැන් අඩන්නැතුව කතාව කියන්නකෝ. මං තකහනියක් ආවෙම ඒක අහන්නනේ. කවුන්ටරේට රුපියල් පහක් බැදලයි ආවෙත්" කියලා.
"හරි හරි, ම්... කොතනින්ද මං ඒක පටන්ගන්නේ...." කියලා නහයෙන් හුස්මක් ඉහලට ඇදලා ටිකක් කල්පනා කල ඈ කතාව කියන්න පටන් ගත්තා. 

Next chapter - http://asanka-mind.blogspot.com/2014/02/22.html

Sunday, February 2, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 7

භව පච්චවයා ජාතී කිව්වත්, විඥාන පච්චයා නාමරූප කිව්වත් සිද්ධ වන්නේ පංචස්කන්ධයාගේ පහල වීමමයි. මොකද නාමරූප කියනකොට එතැන මනසිකාර, ඵස්ස, වේදනා, සංඥා, චේතනා (සංස්කාර) කියන නාම ධර්මතා ටිකත් අපට අරමුණු වන රස, පහස, වර්ණ, ශබ්ද, ගන්ධ යන රූප ධර්මතා ටිකත් ඇතුලත් වී ඇත. ජාති හෙවත් පංචස්කන්ධයේ පහල වීම දී වන්නෙත් මේවායේ පහල වීමමයි.

දැන් පටිච්ච සමුප්පාදයේ අපට සාකච්චා කරන්න තියෙන්නේ නාමරූප පච්චයා සලායතනත්, සලායතන පච්චයා ඵස්ස කියන කොටස් දෙකත් පමණයි. ඒ දෙකනම් තේරුම් ගැනීම එතරම් අපහසු නෑ. මොකද අපි කලිනුත් සදහන් කලා අපට බාහිරින් කනක් තියෙනව වගේ පෙනුනත් ඇත්තටම කනක් පහල වෙන්නේ ශබ්දයක් ඇසෙන කොට පමණක් බව. ඇසක් තිබුනත් රූප නොපෙනේ නම් එය ඇසක් නොව මස් ගොබයක් පමණි. ඒ නිසා නාමරූප නැත්නම් එකම ආයතනයක් වත් විද්‍යාමාන වෙන්නෙ නෑ. අනෙක් අතට නාමරූප පහලවෙන්න ආයතනයක් ද තිබිය යුතුයි.ආයතනයක් නැතුව ස්පර්ශයක් නෑ, වේදනාවක්, සංඥාවක්, චේතනාවක් පහල වෙන්නෙත් නෑ. ඒ කියන්නේ නාමරූප පහල වෙන්න ආයතනයක් තිබිය යුතුමයි.

දැන් නාමරූප ආයතනයන්ට හේතු වන හැටිත් ආයතනයන් නාමරූපයන්ට හේතුවන හැටිත් පැහැදිලි ඇතැයි සිතමි. ඒ අනුවත් පටිච්ච සමුප්පාදයේ අංග සියල්ලම එකවිට පහලවී එකවිට නිරුද්ධ වන බව පැහැදිලි වෙනවා. ඒවා එකක් පසුපස දැක්වුවත්, චක්‍රාකාරව දැක්වුවත් සියල්ල එකටම පහල වී එකටම නිරුද්ධ වන ධර්මතාවයන්ය.
අවසාන වශයෙන් සාරාංශයක් ලෙස ගතහොත් එක් එක් ක්ෂණයක් පාසා එකිනෙකට උපකාර වන්නාවූ ධර්මතා නිසා යම් ප්‍රතිඵලයන් හටගන්නා බවත් ඒ හේතූන් ඒ ඒ මොහොතේම නිරුද්ධ වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නැවතත් ඊළඟ ක්ෂණයේ දීත් ඒ දේම නැවත සිදුවන බවත් පටිච්ච සමුප්පාදයේ ස්භාවය යැයි කිව හැක.  

දැන් මට තේරෙන හැටියට පටිච්ච සමුප්පාදය විවරණය කරල ඉවරයි. දැන් තියෙන්නේ නොපැහැදිලි සහ ගැටළු සහිත තැන් නිරාකරණය කර ගැනීමයි. මින් ඉදිරියට පොදුවේ කාටත් ඇතිවියහැකියයි මා අනුමාන කරන ගැටළු වලට පිළිතුරු සැපයීමට බලාපොරොත්තු වන අතර ඔබට යම් ගැටළුවක් ඇත්නම් එයද සදහන් කරන ලෙස ඉල්ලා සිටිමි.

ඔබට නිවන් සුව ලැබේවා !

Saturday, February 1, 2014

87 සතිය

අපි හැමෝටම අයිතිවාසිකම් තියනවා. ඒවා ලබා ගන්න ඕන නෑ. ඒවා ලැබිය යුතුයි.

Wednesday, January 29, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 20

එදා මං එයත් එක්ක ගොඩක් දේවල් කතා කලා. එයාගේ තාත්තා හරිම හොඳ කෙනෙක්ලූ. ස්ටාර්ස් ග්රූප් ඔෆ් කමපැණි එකේ අයිතිකාරයගේ දුව තමයි එයාගේ අම්මා. සීයා මළාට පස්සේ ඒකේ  කම්පැණිස් ටික දුවල දෙන්නට බෙදල දීල තියෙනවා. එයාගේ අම්මට හම්බවෙලා තියෙන්නේ ස්ටාර්ස් සර්විස් කියන කන්ට්‍රැක් බේසිස් වර්කර්ස්ලා සප්ලයි කරන එක. පුංචිලා තමයි අර ස්ටාර්ස් වයින් ස්ටොර්ස් එක කරන්නේ. ඒ ගොල්ලන්ගේ තව හොටෙල්ස් එහෙමත් තියෙනවා.

ඒ විස්තර ඇහුවාම මට තවත් බය හිතුනා. මේ මිනිස්සුත් එකක් මං කොහොම පෑහෙන්නද කියලා. ඒත් ඉනොකානම් කියන්නේ එයාගේ තාත්තා සල්ලි වලට එච්චර කෑදර නෑ, පුලුවන් තරම් දුප්පත් මිනිස්සුන්ට සලකන්නමයි බලන්නේ කියලා. ඒක නිසා බය නැතුව තාත්තාව ගිහින් හම්බෙන්නලු

කොහොම හරි ඒ කතාවෙන් මට අර අනූතී ව ආයෙ මතක් උනා. ඈ වැඩ කලේ ස්ටාර්ස් සර්විස් එකේනේ. ගණිකා වෘත්තිය කලෙත් ඒකෙම කම්පැනියක් වෙච්චි ස්ටාර්ස් වයින්ස්ටෝර්ස් එකේ. එහෙම බැලුවම ඉනෝකාලගෙ තාත්තා සමාජ සේවය කරද්දි පුංචි මඩමක් දාගෙන සුරා සූදුව වපුරනවා. මෙතන මොන හුට්ටප්පරයක් වෙනවද කියලා මට තෙරුනේ නෑ. අන්තිමට මං ආයේ අනූති හම්බවෙන්න ගියා. මොකද මං පොරොන්දුත් උනානේ එයාගේ කතාව අහන්න එනවමයි කියලා.

එදා ටිකක් හැන්දෑ වෙලා තමා මං අනූ හමබවෙන්න ගියේ. මං ගිය ගමන් අරගෑනී මාව අදුර ගත්තනේ. මාව දැක්කගමන් ඇහුවා"ආ සන් හුග දවසකින්, හව් හව් මොකද ජයේ සනීපෙන් ඉන්නවද?" කියලා.
මං කිව්වා" මහත්යට නම් වරදක් නෑ. මාව දැක්ක ගමන් අදුර ගත්ත නේද?" කියලා.
"අපෝ සන්ට තියෙන්නේ අපේ මස්සිනාගේ ෆේස් එකනේ. මට එහෙම අමතක වෙනවද?" කියලා ඒ ගෑණි කිව්වා.ඒ පාර මං හිනාවක් දාලා "වෙන්න ඇති වෙන්න ඇති" කියලා "මං ආවේ අනූති හම්බවෙන්න කෝ ඈ ඉන්නවද?" කියලා ඇහුවා. ඒ පාර ඒ ගැණිගේ මූන නරක් උනා. "අයියෝ සන් එයාට මේ දවස්වල බිසී. සෑහෙන්න කස්ටමර්ස්ලා එනවා, දැනුත් කෙනෙක් ඇවිත් ගියා විතරයි" කියලා ඒ අම්මන්ඩි කිව්වා.
 මං ඉතින් "නෑ නෑ මාත් එයාගේ කස්ටමර් කෙනෙක් තමා. අද මං පැයක් හමාරක් ඉන්න බලාගෙනමයි ආවේ" කියලා අනිත් පැත්තට කිව්වා. නැත්නම් අනූව හම්බවෙන්න වෙන්නේ නැති බව මට තේරුණා.

ඒ පාරනම් ගැණිගෙ මූණට හිනාවක් ආවා. ඒ පාර ඒ අම්මන්ඩි මගේ දිහාට අමුතු බැල්මක් දාලා "ඕ හෝ මට තේරුණා මට තේරූණා මිස්ටර්ගේ යාලුවොත් ඔහොම තමා. මුලින් ජයේගේ පණිවිඩ වලට තමා මෙහෙට ආවේ, බය වෙන්න දෙයක් නෑ බෝයි, මං ඕවා ජයේට කියන්න යන්නෙ නෑ" කියලා කට කනේ තියාගෙන කිව්වේ.

මං සාක්කුවෙන් රුපියල් පහක් අරන් මේසේ උඩ තියලා "ම්මේ.... මේ... රූම් එක මොකක්ද කිව්වේ?" කියලා ඇහුවා. "රූම් ටුවෙන්ටි, අර දොරෙන් කෙලින්ම උඩට ගියාම තියෙන ෆර්ස්ට් රූම් එක" ඒ ගැණි උත්තර දුන්නා. "ස්තූතියි" කියලා මං හොල් එකේ කෙලවරේ තිබුන ඩෝ එකේන් උඩට නැග්ගා

Next chapter - http://asanka-mind.blogspot.com/2014/02/21.html 

Sunday, January 26, 2014

86 සතිය

ඈනුමක් පාලනය කරගන්න බැරි මං කොහොමද ගැනියෙක් පාලනය කරන්නේ ?

Saturday, January 25, 2014

හිරු සදු හා මිහිකත

හිරු දුන් උණුසුම් කිරණෙන් ලැබදුන්
ජීවය අමතක කරදා කෙලෙසද
හිරුගේ එලියෙන් බිදුවක් දුන් සිසි
වෙතට ස්නේහයෙන් ඇලුම් කලේ ඔබ

හිරු ඔබවට කැරකුන බව සිතනා මුත්
ඔබ නොවෙදෝ හිරුවට කැරකෙන්නේ
ඒ හිරු එතැනම නොසැලී සිටිනා මුත්
සඳ නොවෙදෝ ඔබවට කැරකෙන්නේ

රාත්‍රියේ අදුරේ මග පෙන්වූයේ සඳ මුත්
හිරු නොවෙදෝ සඳ එලිය සඳුට දුන්නේ
සොමිසඳ මඩලට ගුණ ගී ගයනා මුත්
හිරු නොවෙදෝ සොමි ගුණය සඳුට දුන්නේ

Wednesday, January 22, 2014

85 සතිය

අප සතුට ඇතැයි සිතන ඕනෑම දෙයක සතුට ඇත. ඒ නිසා සදාකාලික දෙයක සතුට ඇති බව සිතන්න. එවිට අපට සදාකාලික සතුට ලැබේ.

Tuesday, January 21, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 6

පසුගිය ලිපියේ භව දක්වා කතා කලා. භව යනු උපාදානයේ ස්භාවය අනුව නැවත යමක් ඇති කිරීමට අවශ්‍ය පරිසර තත්වය වැනි දෙයක් බව එහිදී සදහන් කලා. මේ තත්වය ඇති වූ විට ඒ සමඟම නැවත ඇසක පහල වීම කනක පහල වීම ආදී වශයෙන් ආයතනත් ඒ හා බැදි විඥානයත් පහල වේ එය භව පච්චයා ජාතී වේ.

මෙය තව දුරටත් පැහැදිලි කල යුතුය. දැන් අපි වාහනයක යන විට එලිය බලාගෙන ගියොත් පාර දෙපස ඇති සියල්ල ඇස ගැටේ. නමුත් අපිට දැක්කා කියන අදහස එන්නේ දේවල් කීපයක් පමණයි. එනම් ඇස පහල වීම සිදුවන්නේ ඒ ඒ වස්තූන් කෙරෙහි පමණයි. එනම් පුද්ගලයකු ඉපැදෙන්නේ ඒ ඒ අවස්ථාවල පමණයි. ඒ අනුව අපේ විඥානය යම් තැනක පහල නොවේද එතැන රූපයක් (ශබ්ද, රස, ගන්ධ, පහස, වර්ණ) පහල වීමක් ද නැත. අපි හිතුවත් අපි නොදැක්කත් ඒක එතැන තිබුනා කියලා ඇත්තටම එතැන අපි හිතන ජාතියේ දෙයක් නෑ. ඒ නිසා තමයි විඥාන පච්චයා නාමරූප කිව්වේ.

එය උදාහරණයකින් පැහැදිලි කලොත් නිල්පාට හා රතුපාට එකතු වීමෙන් හැදෙන්නේ දම්පාට. දැන් මේ දම්පාට දිහා කොල පාට කන්ණාඩියක් දාපු කෙනෙක් බැලුවොත් පෙනෙන්නේ කලු පාට. ඒ කලුපාට ඇතිවුනේ ඒ මනුස්සයා දම්පාට දිහා බැලූ මොහොතෙමයි. ඊට කලින්වත් පසුවවත් කලුපාට තිබුනේ නෑ. නමුත් අර මනුස්සයා හිතන්නේ කලුපාට දිගටම එතැන තියෙනව කියලයි. මනුස්ස ඇසත් විඥානයත් බාහිර රූපයක් මතට වැටුණු විට (එක්වූ විට) එතැන අලුත් රූපයක් උපදිනවා. ඒ වගේම අනික් පැත්තත් එහෙමයි. කලුපාට ඇතිවන්න පාට තුනම එකතු වන්න ඕන. ඒ නිසා විඥානයක් (හැදින ගැනීමක්) උපදින්නත් නාමරූප තිබිය යුතුයි.
උදාහරණයකින් කියනවනම් යමක් බලන කොට වෙන දෙයක් ඇහෙන්නෙ නෑ. එතකොට ශබ්ද රූපයක් පහල වෙලා නෑ. තියෙන්නේ ශබ්ද තරංග නැත්නම් චලනය වන අංශු ස්භාවයක්. ඒක ශබ්ද රූපය නොවේ.
ශබ්ද රූපය යම් තැනක පහල වේ නම් ඒ සමගම සෝත විඥානයද පහල විය යුතුයි. ඒ නිසා නාමරූප පච්චයා විඥාන කියන්නත් පුලුවන්. එම විඥානයත් නාමරූපත් පහල වීම (හට ගැනීම) ජාති ලෙස දක්වන්න පුලුවන්.

දැන් භව පච්චයා ජාති හා විඥාන පච්චයා නාම රූප යන කොටස් දෙකත් පැහැදිලි ඇතැයි සිතමි. මා පෙර සදහන් කල පරිදි සියල්ලෙහිම හටගැනීමත් නිරුද්ධ වීමත් එකට එක මොහොතෙම ඇතිවන ධර්මතා බව පැහැදිලි ඇතැයි ද සිතමි.

ඔබට නිවන් සුව ලැබේවා !

Monday, January 13, 2014

84 සතිය

අපි වඩාත් උත්සහ කලයුත්තේ අත්‍යවශ්‍ය දේ හා ගෙන යා හැකි දේ ලබා ගැනීමටයි.

Sunday, January 12, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 19

ඉබ්බා දියේ දාන්න ඇහුම බෑ කියන්නැහේ මාත් “අපි කොහේ යන්න ද ඉනෝකා අනික එහෙම පන්ති කට් කරන එක හරියෑ“ කියලා අකමැත්ත ප්‍රකාශ කලා. “අනේ මොකද්ද අරවින්ද, එක දවසක් කට් කලා කියලා මැරෙනවයෑ. අපි අද ගෝල්ෆේස් පැත්තෙ ගිහින් එමු. මට ඔයාට කියන්න කොච්චර දේවල් තියේ ද“ කියලා ඉනෝකා ඇවිටිලි කරන්න පටන්ගත්තා. මාත් ඉතින් “අනේ මන්දා ඉනෝකා කවුරුහරි දැක්කොත් මං ඉවරයි“ කියලා බොරු අකමැත්තක් පෙන්නගෙන පාර පැත්තට ගියා. එයත් අඩිය ඉක්මන් කරල ඇවිත් මගේ අතේ එල්ලුනා.

අපි දෙන්නා කාර් එකේ නැගලා ගෝල්ෆේස් එක ලඟින් බැහැගත්තා. ඊට පස්සෙ මුහුද පැත්තට ඇවිදගෙන ඇවිදගෙන ගියා. සීතල සුළං වලට මගේ ඇගේම හිරගඩු පිපිලා. ඉර බැසගෙන යන වෙලාව හින්ද අව්වත් නෑ. අපි වගේ ජෝඩු සැහෙන්න වැල්ලෙ හිටියා. සමහරඋන් කුඩ යටට වෙලා නොකරන දෙයක් නෑ. අපි දෙන්නා හුඟාක් වෙලා කතා කර කර හිටියා වෙලාව යනව දැනුනෙවත් නෑ. ඒ වෙලාවේ මාර වැඩක් උනා. මං දැක්කා අර ඉවෝන් කාරයා ගැනු ළමයෙක් එක්ක වැල්ල දිගේ හිල්ටන් එක පැත්තට ඇවිදගෙන යනවා. මං මුලින් හිතුවෙ වෙන කවුරු හරි වෙන්න ඇති කියලා. ඉතින් මං සැකේටත් එක්ක ඉනෝකාටත් පෙන්නුවා.

“අර බලන්න ඉනෝකා අර යන්නේ ඉවෝන් නේද?“ කියලා මං ඇඟිල්ල දික්කලා. ඉනෝකාත් ගානක් නැතුව “ආ ඔව් ඒ ඒ මිනිහා තමා. ඒකාගේ වැඩේ ඕක තමා. කෙල්ලෝත් එක්ක රවුම් ගහන එක“ කියලා කිව්වා. මට නිකන් අන්දොස් වගේ. මං ඒ පාර ඉනෝකාගෙන් ඇහැව්වා “ඔයත් මාර ළමයෙක්නේ, ඇයි ඉතින් ඔයා අනූෂාට ඒක දැනගෙනත් නොකිය ඉන්නෙ“  කියලා. ඉනෝකාට මං පුදුමවෙලා බලං ඉන්න හැටි දැකලද කොහෙද බකස් ගාලා හිනා ගියා. හිනා වෙලා “අයියෝ ඒක අනූෂා දන්නවා. ඕක කියන්නත් දෙයක් ද, හැමෝම ඉවොන් ආශ්‍රය කරන්නෙ ෆන් එකට, මං නං ඔය විකාර වලට කැමති නෑ. ඒත් ඉතින් ඉවෝන්ගෙ සල්ලි වලට කෙල්ලො වහ වැටිලා ඉන්නේ. ඒ මිනිහත් අත දිග ඇරලා වියදම් කරනවා. සිරිල් මන්ත්‍රීගේ බලය පෙන්නගෙන ඉන්නේ“ කියලා කිව්වා.

මට නම් හරි පුදුමයි. අපේ පැතිවල නම් ගෑනූ ළමයෙක් ඔයවගේ එකෙක් එක්ක පැටළුනොත් ඒකී කසාද බැදලා හමාරයි. පාරෙවත් යන්න හම්බවෙන එකක් නෑ. මේ කොළඹ රට කියන්නෙ මහ පුදුම එකක් කරූ. මට ඒ වෙලාවේ අනූෂා ගැන දුකක් වගෙම තරහකුත් ආවා. එක දවසක් ලයිෆ් එක එන්ජෝයි කරන්න මටත් කියල දෙන්නම් කියලා ඇක්සිඩන්ට් වෙන්නත් ගියානේ. මුදලාලී මහත්තයා මේව දන්නවනම් අනූෂා ව මරයි කියලා මට හිතුනා ඒ වෙලාවේ.

ඉතින් බිං කලුවර වැටීගෙන එනකොට තමයි දන්නෙ රෑ වෙලා කියලා. ඉර මුහුදේ ගිලෙනකොට අහස රතුම රතුපාටට ඈත හරිම ලස්සනට පේනවා වෙරළට. ඒත් ඉතින් රෑ වෙන්න කලින් අපි හනිකට කාර් එ‍කේ නැගලා ආවා. ඒ එනකොටත් පන්ති ඇරලා. සෙට් එක අපි එනකන් බලං ඉන්නවා. අපි දෙන්නා ආවා විතරයි උන් ඔක්කොම ටික අපි ව වට කරගෙන වදේ ගැහුවා. අන්තිමට බේරෙන්නම බැරි තැන කැන්ටිමට ගිහින් මං ගානේ ඔක්කොටම ටී අරන් දෙන්න උනා.

Next chapter - http://asanka-mind.blogspot.com/2014/01/20.html

Tuesday, January 7, 2014

83 සතිය

යමක් ලබා ගැනීමේදී අශාවට නොව අවශ්‍යතාවයට මුල් තැන දෙන්න !

Sunday, January 5, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 5

අද මා ලියන්නේ යථාර්තය සොයා ලේබලය යටතේ එන 50 වැනි ලිපියයි.  පටිච්ච සමුප්පාදය යටතේ අපි ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා කියන තැනට වෙනකන් සහ අවිද්‍යා පච්චයා සංස්කාර දක්වා ද සාකච්චා කලා. මොකද මේ හේතු ඵල දහම රේඛිය හෝ චක්‍රාකාර දෙයක් ලෙස විග්‍රහ වුනත් ඉහත සාකච්චා කල කොටස් දෙක සමාන්තරව සිදුවන දෙකක්. වඩාත් නිවැරදිව කියනවනම් මේ මුලු පටිච්ච සමුප්පාද චක්‍රයම ක්‍රියාත්මක වෙන්න ගතවන්නෙ එක මොහොතක් පමණයි. සමහරු එය ආත්ම  බවයන් 3ක් දක්වා ගෙන යනවා.

අද සාකච්චා කරන්න තියෙන්නේ යම් අරමුණක් පැමිණි පසු එය අදුනාගැනීමෙන් අනතුරුව සිදුවන්නේ කුමක් ද යන්නයි. අපි යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසක්, පහසක් හෝ සිතුවිල්ලක් හදුනාගැනීමෙන් අනතුරුව ඒ පිලිබද සිතේ උපදින කැමැත්ත හෝ අකමැත්ත (තණ්හාව) මත කර්ම සිදු වෙනවා. වෙන විදියකින් කියනවනම් සංස්කාර උපදවනවා. “මේ ලස්සන කාර් එකක් ඒක මට ලැබේවා“, මේ මගේ හතුරෙක් ඕකව විනාශ වේවා“ ආදී වශයෙන් එක්කෝ යම් ක්‍රියාවක් කිරීමට සිතෙනවා නැත්නම් යම් සිතුවිලි පරම්පරාවක් හටගන්න පටන්ගන්නවා ඒත් නැතිනම්, ඉරිසියාව, ලෝභය, ද්වේශය ආදී හැඟීම් පහළ වෙන්න පටන් ගන්නවා. මේ සිද්ධියට කියනවා නැවත යමක් ඉපැද්දවීමේ, කිරීමේ, සිතීමේ, ආශාව හෙවත් උපාදානය කියලා.

පරණ උදාහරණයම ගතහොත් වචනය හදුනාගැනීමෙන් පසු එහි ඉතුරු වචන හෝ ඊළඟ වාක්‍ය කියවීමේ උවමනාව ඇතිවෙනවා. මේ උවමනාව නිසා ඇස ඊළඟ වචනය දෙසට යොමුවෙනවා. මෙහිදී තේරුම් ගතයුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඊ ළඟ වචනය දෙසට ඇස හැරෙනවා කිව්වට ඇත්තටම වෙන්නෙ, ඇසක් පහළවීමට නැතිනම් පහල කිරීමට ඇති කැමැත්ත නිසා ඊ ළඟ වචනය අරමුණූ කරගෙන ඇසක් ඇති වීමයි. එයට කියනවා ඇසක් ඉපදුනා කියලා. ඒක කලින් තිබුණු ඇහැක් නෙවෙයි. එතකොට ඒ ඇස මොන ඇසක් ද යන්න තීරණයක් තිබිය යුතුයි. මොකද ඒක අලුත්ම ඇහැක් නිසා. ඒක බලු ඇහැක් ද, මනුස්ස ඇහැක් ද, දේව ඇහැක් ද ආදී වශයෙන් ඇහැ හටගන්නේ මොන විදියද කියන එක තීරණය විය යුතුයි. ඒ තීරණයටත් හේතු ගොඩක් තියෙනවා. එකක් තමා කැමැත්තේ ස්භාවය, ඒ කියන්නේ උපාදානය ඒ වගේම කර්ම ස්භාවය, ඒ කියන්නේ මොහොතකට පෙර තිබූ නිමිත්ත, දැන් ද්වේශයක් ඇත්නම් ඇසත් ඊට සුදුසු පරිදි තමයි පහල වෙන්නේ. ඒ වගේ හේතු තව තියෙන්න පුලුවන්. ඒ අතරිනුත් වැඩියෙන්ම බලපාන දෙයක් තමා භවය.  භවය යන්න හරියටම විග්‍රහ කරන්න මට තේරුමක් නැතත් ඒක නිකන් හරියට “සුදුසු පරිසරය“ වැනි අදහසක් දෙන දෙයක්.

උදාහරණයකින් කියනවනම් සෘණ උෂ්ණත්ව වලදී ජලයේ හට ගැනීම ඝණ ස්භාවය, සාමාන්‍ය උෂ්ණත්ව වලදී ද්‍රව ස්භාව හා වැඩි උෂ්ණත්ව වලදී වාශ්ප ස්භාවය ගන්නවා. අන්න ඒ වගේ උෂ්ණත්වය අනුව ජලයේ ස්භාවය වෙනස් වන විදියට භවයේ ස්භාවය අනුව පහළ වන්නේ මොනවාගේ ඇසක් ද යන්න තීරණය වෙනවා. භවය සකස් වෙන්නේ උපාදානයේ හැටියටයි. එය ද්වේශ සහගත උපාදානයක් නම් (මේ මගේ හතුරෙක් ඕකව විනාශ වේවා වගේ) ඇස පහළ වන භවය ද්වේශ සහගත කාම භවයක්. අනෙක් හේතු මත සාමාන්‍යයෙන් ජීවිතය පවතින තාක් අපට පහළ වෙන්නෙ මිනිස් ඇසක් ම තමයි. නමුත් මේ මරණ මොහොත නම් ඊ ළඟ ඇස සතර අපායේ තැනක පහල වෙන්නත් පුළුවන්.

දැන් තණ්හාවේ සිට භව දක්වා එන හැටි පැහැදිලි ඇතැයි සිතමි. අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවන හැටිත් ඒ සමඟම උපාදාන ඇතිවන සැටිත් පැහැදිලි ඇතැයි සිතමි. යම් ගැටළුක් හෝ අදහසක් හෝ විවේචනයක් ඇත්නම් සදහන් කරන්න.

ඔබට නිවන් සුව ලැබේවා !