Sunday, July 26, 2015

තාම මං තනිකඩය

ගං තෙරේ හැමදාම දිය දහර ගැලුවාට
ළිං පතුල තාමත් ඉරි තලයි දිය නොඑන
තුන්යාමේ සිහිනයක නුඹ මාව සිම්ඹාට
කන්වයින තාමත් තනිකඩය නිදි යහන

කතර ගඟුලක් වේද මල් තුහින වැස්සාට
මලේ පැණි රස වේද සමනළුන් වැසුවාට
සඳේ ලප නැතිවේද වළාවෙන් පිස්සාට
තාම මං තනිකඩය නුඹ ලඟින් හිටියාට

සයුර මට හිමිවේද රළ පතුල් තෙමුවාට
පැලේ තනි නැතිවේද නුඹ ගැනම සිතුවාට
ලඳේ නූඹ මගෙ වේද තුටු වදන් දෙඩුවාට
ප්‍රේම රන් මන්දිරය ඇරෙන්නේ කවදාට

140 සතිය

බොහෝ දෙනා අන් අය ගැන විවෙචනය කරද්දි තමන් තමන් ගැන විවේචනයක යෙදෙන්න

Thursday, July 16, 2015

ඊනියා ආත්ම ගරුත්වය

මගේ හිතවත් මිත්‍රයන් මට කියනවා ඇයි බං උඹ මිනිස්සු ඉස්සරහා චාටර් වෙන්නේ. මිනිස්සුන්ට විහිළුවක් වෙන්න එපා බං උඹ මෝඩයෙක් වගේ පේනවා. උඹ උපාධිධාරියෙක් නේද? ඔහොම නෝන්ඩි වෙන එක උඹේ ආත්ම ගරුත්වයට හොඳ නෑ බං.

ඉතින් මට මෙහෙම කල්පනා වෙනවා, රන් මුතු මැනික් වලින් නැතුව සෙම් සොටු සැරව මළ මුත්‍රාදියෙන් හැදුනු මගේ ආත්ම ගරුත්වය මොක? කලින් අසූචි කන මැස්සෙක් වෙලා හිටියද, ඊ ළගට සෙවල පෙරේතයෙක් වෙිද, එලෝ මෙලෝ නොදන්න, කොහෙන් ආවද කොහේ යන්නෙද නොදන්න මගේ ආත්ම ගරුත්වය මොක? අඩුම තරමින් ලස්සන කෑමක් දැක්කම කටට කෙල උනන එක නවත්තගන්න බැරි කෙලතොල්ලෙක් වගේ ඉන්න, පොත්ත සුදු ලමිස්සියෙක් දැක්කම අහවල් එක කෙලින් වෙනඑකවත් නවත්තගන්න බැරි, නිදහස් වෙලාවක වැසිකිලි යාමවත් යොදාගන්න බැරි මගේ ආත්ම ගරුත්වය මොක?

ඉතින් එහෙම චාටර් මං නිසා හරි, මට හරි මිනිස්සු හිනාවෙන එක කොච්චර දෙයක්ද බොලව්?
 ආත්ම ගරුත්වයට හානි උනා කියලා කෝටි ගනණ් වන්දි ඉල්ලන මහ ලොකු කියුම් කාරයෝ මාරයා "හා දැන් යං පුතා " කිව්වම රෙද්ද පල්ලෙන් බෙරෙන ඊනියා ආත්ම ගරුත්වය. බම්බුව තමා ! 

Monday, July 13, 2015

139 සතිය

සැනසීම යනු අනාගතයත් අතීතයත් කියන බර දෙකෙන් නිදහස් වීමයි

Saturday, July 4, 2015

මගේ කතාව 2 - ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා ලොකු අයියා

අම්මාග‍ේ නිගමනයෙන් පසු එදිනෙදා ගමන් බිමන් සඳහා බයිසිකලය භාවිතා කිරීම ද තහනම් විය. ඒකත් පුදුම දෙයකි. ඒ දිනවල බයිසිකලය නිසා අපේ පවුල කොතරම් වැඩකටයුතු පහසු කර ගත්තාද? ඒත් දැන් ඒ බයිසිකලයම පවුලට අපලයක් වෙලා ලූ. කොහොමින් හෝ අවසානයේ මාවත් අයියාවත් පාසැල් වෑන් රථයකට දැමුවේය. තාත්තා බසයෙන් රස්සාවට ගියේ ය. බයිසිකලයට ගැණූම්කරුවකු ලැබෙන තුරු හදිසි අවස්ථාවකට පමණක් එය ගෙයින් පිටතට ගත්තේ ය.

නිවාඩු කාලයට මමත් අයියාත් නංගීත් ගෙදර දමා අම්මත් තාත්තාත් වැඩට යන නිසා අපේ ආරක්ෂාවට එය තර්ජනයක් යැයි සිතූ නිසා දෝ අම්මලා වැඩට යනවිට අපව අර හුන්ඩුවක් වැනි ගෙයි දමා දොර අඟුළු ලා යන්නෝය. අපිට සිදුවන්නේ ගෙයි ඇතුලට වෙලා කරන සෙල්ලමක් කරන්නයි. මමත් නංගීත් කුඩා බැවින් ඒ පිළිබඳ එතරම් ගැටළුවක් නැතත් කොලු වයසට පැමිණ සිටී අයියාට නම් එය දඟගෙයි ලෑමකි. අප ඒ දිනවල ගෙයි ඇතුලට වෙලා කරන සෙල්ලම් ගැන වෙනම ලියන්නට තරම් දේවල් ඇත.

අපේ කූලී නිවසට දකුණු පැත්තේ තිබුනේ දෙමහල් නිවසකි. එහි ජීවත් වූයේ දමිළ පවුලකි. පිටු පසින් පිහිටියේ මැලේ පවුලක් ජීවත් වූ නිවසකි. එහි ගරාජය පිහිටියේ අපේ නිවසට වම් පැත්තෙනි. නාන කාමරය අසලින්ම ඇති එලිමහන් කොටස රෙදි වේලීමට භාවිතා කෙරිණි. එය දෙපැත්තකින් තාප්පයෙන් වට වී තිබුනා. එක් පැත්තක් පාරට ද අනිත් පැත්ත අල්ලපු ගෙදර ගරාජයට ද සම්බන්ධ විය. ගෙයි ඉදිරිපස දොර විවෘත වන්නේ කෙලින්ම පාරට ය.  අප හදිසියේ වත් එලියට පැන්නොත් පාරේ යන වාහනයකවත් හැප්පේ වී යැයි දෙමව්පියන්ට හිතෙන්නට ඇත. මේ නිසා නිවාඩූ කාලයේ දී අපට සිදු වූයේ සිංහබාහූටත් සිංහ සීවලීටත් සිදු වූ දෙයයි.

නමුත් අයියාට එය තවදුරටත් දරා ගැනීමේ හැකියාවක් නොවීය. මේ නිසා අයියා ලීයක් තාප්පයට හේත්තු කොට තාප්පය උඩට නැංගේ ය. පාර පැත්තට පැනීමට නොහැකි තරම් තාප්පය උස විය. මේ නිසා සිදු වූයේ අල්ලපු ගෙදර ගරාජයට පැනීමට යි. ඒ ගෙදර අපේ අයියාට වඩා අවුරුද්දක් හෝ දෙකක් වැඩිමල් අයිය කෙනෙක් හිටියා. ඔහු ගේ නම රිචී ය. අයියා ඔහුව මිතුරු කරගෙන ඒ පැත්තෙන් ද පුටුවක් තබ්බවා ගත්තේ ය. ගේට්ටුව ද අරවා ගත්තේ ය. පසුව තාප්පයෙන් පැනගත් අයියා රීචී සමඟ සෙල්ලමට වැටිණි.

රිචී ගෙදර නැති දවසට අයියා අමාරුවෙන් ගේට්ටුව දිගේ පහළට බඩ ගා එළියට පැන ගනී. ඉන් පසු අසල් වැසි කොල්ලන් සමඟ රස්තියාදු වේ යන්නේ ය. මෙසේ අයියා ලෙනින් පැන ගත් නමුත් මටත් නංගීටත් කල හැක්කක් නොවී ය. මේ නිසා අපිට සිදු වූයේ සෙල්ලං ගෙවල් හදන්නට පමණි. නමුත් අපි අලුත් වැඩක් ද මේ අතර පටන් ගත්තා. මමත් නංගීත් පෙට්‍රල් සුවඳ ට දැඩි කැමැත්තක් දැක් වීය. මේ නිසා ගෙදර තිබූ බයිසිකලයේ තෙල් ටැංකිය බාගෙට හැර එහි සුවඳ ආග්‍රහනය කරන්නට පටන්ගත්තෙමු. මෙයින් සිදු වූයේ අපව මත් වීමයි. මට විවිධ රූප, පාට සහ විකාර පෙනෙන්නට පටන් ගත්තේ ය. මං එතනින් එහාට සිදුවන්නේ කුමක් දැයි නොදනිමි. නමුත් හවස අම්මා ගෙදර එනවිට අප තැන තැන වැටී නිදා උන්නෙමු. අම්මා සිතන්නේ අප නිදිමතට මෙසේ වැටි නිදා ගන්නවා කියාය. අම්මා “පව් පොඩි එවුන් “ යැයි කියනු ද මට ඇසී ඇත.

මෙසේ අපේ ජිවිත හුදකලාවේ වැඩිහිටියකුගේ ආරක්ෂාවකින් තොරවම වැඩිවියට පත්විය. ඒ වන විට අයියා පහ වසරේ ද මං තුන වසරේද නංගි පළමු වසරේ ද විය.