Saturday, September 28, 2013

70 සතිය

දැන දැන කරන ලොකුම මෝඩකම නම් වෙනස්වන දෙයහි ඇලීමයි.

Thursday, September 26, 2013

අබිනික්මන

කෝපි මල් සුවද දැනෙනා වදුලු වන පෙතේ
මා හුදකලා උනත් නුඹ ලඟ සිටිනු සේ දැනේ
මුලු ලෝකයම මකා දැමුවත් මම මගේ සිතේ
නුඹ මතක නැති කරන්නට ඇයි මට නොහැකි උනේ

අබිනික්මන් කෙරුවත් මා හැරදා ගිහිගේ
නුඹ සක්මන් කරන්නෙ ඇයි තවම මගෙ හදේ
යලි හොල්මන් කරමින් නුඹ හදවතෙහි මගේ
පෙම් යදමින් සන්තානයෙ තව තවත්  බැදේ

හැම පැතුම් දවා දැමුවත් සව්සිතින් මගේ
නුඹ ඉතිරි උනේ කොහොමද මට කියා දෙන් හදේ
මට එතෙර වන්න සහය දෙන්න මේ සසර ගගේ
නුඹ දුන් පොරොන්දු අද අමතක උනා දෝ ලදේ

Saturday, September 21, 2013

12 ලිපිය - ගැටළු වලට පිළිතුරු 4

අද ලියන්න යන්නේ මේ ලිපි පෙළහි අවසාන ලිපිය. අන්තිමට අපි නතර උනේ මොකක්ද යතාර්ථය දැන ගැනීමේ ඇති වැදගත්කම කියන ප්‍රශ්නෙන් සහ යතාර්ථය දැන ගැනීමෙන් විමුක්තිය ලැබිය හැකිද යන ප්‍රශ්නෙන්.

යතාර්ථය කියන්නේ විද්‍යාවයි. එනම් මේ ලෝකේ නියම තත්වය දැන ගැනීමයි. විද්‍යාවෙන් ලැබෙන ප්‍රයෝජන ම යතාර්ථය දැන ගැනීමෙන් ද ලැබෙනවා. එකක් තමයි අපිට යම් අවස්ථාවන් වලදි තින්දු තීරණ ගැනීමට උපකාර වෙනවා. උදාහරණයකින් කියනවනම් තමන් ආදරය කරන කෙනෙක් තමන්ව දාලා ගියාම මොකද කරන්නේ? එයත් එක්ක තරහ වෙනවද? අඩ අඩා දුක් වෙනවද? නැත්නම් ගිය එකා ගියාවේ කියල වෙන එකෙක් එක්ක යාලු වෙනවද? නැත්නම් සියදිවිහානී කරගන්නවද? නැත්නම් එයාව මරාගෙන මැරෙනවද?
දැන් යතාර්ථය දන්න කෙනා දන්නවා ඒ දාල ගියකෙනා මං යාලු උන කෙනා නෙවෙයි, වෙනස්වන කයකුත් සිතකුත් පමණයි. මම එයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු නිසා මගේ මෝඩකම නිසා තමයි මට මෙවැනි දුකක් ඇති උනේ කියලා. එහෙම දන්න කෙනාට පුලුවන් හිත හදාගෙන මීට පස්සෙ අනිත්‍ය වෙලා යන දෙයකට ප්‍රෙම නොකර ඉන්න.

දෙවැනි ප්‍රයෝජනය තමයි දන්නා බව. නැතිනම් සැක නැති බව. යමක් සිද්ධ උනාම එතැන සිද්ධ උනේ මොකක්ද? ඇයි එහෙම උනේ කියන එක වැටහෙනවා. එතකොට තමන් ඒ ගැන දන්නා බව නිසා සිතේ සැක පහල වෙන්නෙ නෑ. ඒ වගේම වැරදි මත වලට යන්නෙ නෑ. කවුරුත් දන්න උදාහරණයක් කිව්වොත් අර කණ්නාඩියක් නොදැකපු ගමරාල මේ මගේ තාත්තාගේ රූපය කියලා කණ්නාඩියට දුම් අල්ලන්න ගියා වගේ වැඩ වෙන්නෙ නෑ. යතාර්ථය දන්න කෙනා දන්නවා දර්පණය කියන්නෙ මොකක්ද, කොහොමද ඒකෙන් රූප පෙන්නෙ යනාදිය. ඒ නිසා එයා වැරදි නිගමන වලට එන්නෙත් නෑ. සැක ඇති කරගන්නෙත් නෑ. තමාගේ දැනුවත්බව ගැන සතුටු වෙන්නත් පුළුවන්.

ඊ ළඟ ප්‍රයෝජනය තමයි යතාර්ථය තමාගේ දියුණූවට (සතුටට) යොදාගන්න පුලුවන් වීම. සැම ක්‍රියාවකටම සමාන  හා ප්‍රතිවිරුද්ධ බලයක් ඇති බව දැනගත් නිසා තමයි අද රොකට් හදන්න පුළුවන් උනේ. ඒ වගේ යතාර්ථය දන්න කෙනා දන්නවා කොහොමද අතහැරීමෙන් සතුට වැඩි කරගන්නෙ කියලා. සහ ඒ වගේ සතුට (පරම ධනය) වැඩි කරගන්නා බොහෝ ක්‍රම සොයා ගන්න.
ඉතින් යතාර්ථය දැන ගැනීමෙන් මේ වාගේ ලෞකික වශයෙන් බොහෝමයක් ප්‍රයෝජන තියෙනවා.

දැන් ඊ ළඟ ගැටළුව තමයි යතාර්ථය දැන ගැනීමෙන් විමුක්තිය ලැබිය හැකිද යන්න. අනෙක් බොහෝ ආගම් වල විමුක්තිය මරණින් මතු ලැබෙන දෙයක් බැවින් යතාර්ථය දැන ගැනීමෙන් විමුක්තිය නොලැබෙන බව පැහැදිලි. බුදු දහමේ විමුක්තිය මේ ආත්මයේම ලැබිය හැකි දෙයක් බැවින් මෙම ගැටලුව සාකච්ඡා කල යුතුයි. ඇත්තටම යතාර්ථය දැන ගැනීමෙන් අපට දැන ගන්න ලැබෙන්නෙ දුක හා දුකට හේතුවත් පමණයි. “යතාර්ථය සොයා“ ලිපි පෙළ කියවු අයෙකුට නම් ඒ බව පැහැදිලි ඇති.  ඒ හේතුව නැති කිරීමෙන් විමුක්තිය ලැබෙන බව අපට සිතා ගත හැක. නමුත් එය කරන ක්‍රමය කුමක්ද යන්නදැනගැනීම සහ ඒ ක්‍රමය ක්‍රියාවට නැංවීම යන දෙක සිදු නොකර විමුක්තිය ලැබිය නොහැක. එම නිසා ඒ ක්‍රමය සොයාගෙන ඒ මාර්ගය තුල ගමන් කිරීමෙනුයි විමුක්තිය ලැබෙන්නේ.

ඒ සදහා අඩිතාලම යතාර්ථ දැනගැනීමෙන් ලැබෙන වැදගත්ම ප්‍රයෝජනයයි. ඒ නිසා යතාර්ථය දන්නා ඔබ විමුක්තිය ලැබීමේ මාර්ගය දැනගෙන ඒ මඟ ගමන් කර විමුක්තිය ලබා ගනිත්වා !

ඔබට නිවන් සුව ලැබේවා! 

Thursday, September 19, 2013

69 සතිය

නැතිවීමේ දුකත් බයත් ආශාවේ ප්‍රමාණයට අනුලෝම වේ.

Saturday, September 14, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 13

“ජයසිංහ මුදලාලී නම් නෑ. ප්‍රේමදාස මුදලාලී නම් ඉන්නවා. මොකෝ නංගි කානූවක් කපා ගන්නද? පොළව මට්ටම් කර ගන්නද?“ ප්‍රේමදාසයා කෑ ගහල ඇහුවා.
“අනේ පලයන් මහත්තයො යන්න මගෙන් මුකුත් නාහ“ ඈ ප්‍රේමසදාසයට බැණ අඩගැහුවා.

ඈ ඇද හිටියේ කලු සායකුත් අළු පාට හැට්ටයකුත්ය. හැට්ටයට උඩින් තවත් රතුපාට බැනියමක් ඇදගෙන හිටියා. ඒකේ පිටිපසිනුත් ඉදිරියෙනුත් ‘ස්ටාර් සර්විස්‘ යනුවෙන් සදහන් කර තිබුනා. එයින් ඇය ස්ටාර් සර්විස් ආයතනය මගින් කන්ට්‍රැක්ට් බේසිස් නගර සභාවට අනුයුක්ත කල කෙනෙක් බව දැන ගත්තා. ඒත් ඇය අපේ මහත්තයා හොයන්නේ මොකටෙයි කියලා මට කුකුසක් තිබ්බා. ඒ නිසා මං ඇහුවා
“මුදලාලි මහත්තයා අද මෙහෙ එන්නෑ. මක්කටෙයි මුදලාලී මහත්තයා හොයන්නේ?“ කියලා. ඊට පස්සෙ ඈ මා දිහා ටිකක් වෙලා බලන් ඉදලා කිව්වා “ අනේ මහත්තයා ජයසිංහ මුදලාලිට කියනවද ඩෙල්සි නොනා හම්බුවෙන්න කිව්වා කියලා“ .  ඊට පස්සෙ “හා මං කියන්නම්“ කියලා මං කිව්වම මාත් එක්ක හිනා වෙලා නැවතත් අනිත් උන් දිහාට විරිත්තලා ඉදලත් අද්දව අද්දව යන්න ගියා. කොල්ලො ටික ඈට හූ තියමින් කෑ ගැසුවා.

ඈට ඉතා සුරූපී ඇග පසඟක්  තිබූ බව ඇත්තය. නමුත් රස්සාවක් තියෙද්දි මොකටද ගණිකා වෘත්තිය කරන්නෙ? කාම තණ්හාවත් මුදල් තණ්හාවත් නිසා ස්ත්‍රීන් තම ඇඟ විකුණාගෙන කෑමට තරම් පහතට වැටෙන්නේ ඇයිදැයි ඒ වෙලාවේ මට හිතුනා. ඒත් ඇත්තටම ඈ ගණිකාවක්ද කියලත් සැක හිතුණා. “ඇත්තටම ඒකී වෙසගනක්ද බාං “ කියලා මං ඇහැව්වා. “ඔව් බං ඔව්, එකී වේසියක් තමා. බොරුනම් ලොක්කගෙන් අහාල බලහං“ කියලා ජයේ කිව්වා.

ඈ කවුරු උනත් ලොකු මහත්තයට නිග්‍රහ කරපු එකට නම් මට තරහ ගිහිල්ලයි තිබුනේ. “අනේ අපේ මුදලාලි මහත්තයා රත්තරන් මනුස්සයා. කන්න දෙන අත හපාකන්න එපා බාල්ලා“ කියාගෙන මං එතනින් නැගිටලා එන්න ආවා.

මං එදා රෑ නිදාගන්න යනකොට හවස වෙච්චි සිද්ධිය නැවත මතක් උනා. ඇත්තටම ඇගේ නියපොතු වවා රතු වර්ණ කර තිබූ බවත් තැන තැන දූවිලි වැදී අවපැහැගැනුණූ සමට යටින් දිලිසෙන රන්වන් සමක් තිබූ බව හැට්ටය අතරින් මා දැකගත් බවත් මතක් උනා. මට ඈ ගැන ඇති වුනේ පිළිකුලක්. කෙනෙකුට මේ මගේ අම්මා, සහෝදරී, දුව කියල කියන්න බැරි රස්සාවක් මොකට කරනවාද. ඔවුන් ගැන විතරක් නෙවේ ඔවුන්ගෙන් පහස ලබන්න යන කාමාතුරයන් ගැනද මට තිබුනේ පිළිකුලක්.

කොහොම හරි එදා මුදලාලී මහත්තයා මොකක්හරි හේතුවක් නිසා ගෙදර නොසිටිය නිසා පණිවිඩය කියන්න බැරි උනා. ඊට දවස් දෙකකට විතර පස්සෙ හවස් වරුවක මහත්තයා මගෙන් වැඩකටයුතු හොදින් කෙරීගෙන යනවාදැයි විස්තර කතා කර කර උන්නා. ඔය වෙලාවේ මට ඒ සිද්ධිය මතක් වෙලා ඒ ගැන මහත්තයට කිව්වා.
“ආ මහත්තයාට මට කියන්න අමතක වුනානෙව. කවුද නගර සභාවේ වැඩ කරන ගෑනූ කෙනෙක් ඇවිත් මහත්තයාව ඇහැව්වා පෙරේදට පළමු දා හැන්දෑවේ. මං නැතෙයි කියෙව්වම මහත්තයට ඩෙල්සි ද ඩල්සි ද කියලා නෝන කෙනෙක් හමබ වෙන්න කියන්නෙයි කිව්වේ“.
ඒක කිව්වා ගමන් මිනිහගේ මූන ඇඹුල් වෙලා ගියා. ආයේ අමාරුවෙන් හිනාවක් දාලා, “ආ ඔව් ඔව් ලියුමක් තියෙනවා ගිහින් දෙන්න“ කියලා කිව්වා.    

Next chapter - http://asanka-mind.blogspot.com/2013/10/14.html

Monday, September 9, 2013

68 සතිය

අපිට අපි කැමති විදියට අපව පාලනය කල හැකිනම් අපිට අපි කැමති විදියට අපි කැමති කෙනාව ද පාලනය කල හැකිය.

Saturday, September 7, 2013

12 ලිපිය - ගැටළු වලට පිළිතුරු 3

යතාර්ථය හා විමුක්තිය කියන්නේ එකක් ද? දෙකක් ද? මේ ගැටළුවට පිළිතුරු දීමට නම් යතාර්ථය හා විමුක්තිය කියන දෙක තෝරා ගතයුතුයි. යතාර්ථය කියන්නේ මොකක් ද කියන එක කලින් ලිපියේ සදහන් කලා. කෙටියෙන් කියනවනම් යතාර්ථය කියන්නේ ලෝකයේ ඇත්ත තත්වය සහ පැවැත්ම සිදුවන ආකාරයයි. නැත්නම් මේ ලෝකයේ අපට විශය වන දේවල් වන්නෙ ඇයි මොකක්ද හේතුව කියන කාරණයයි .

එතකොට විමුක්තිය කියන්නෙ මොකක් ද? ඕනෑම ආගමක මූලික පරමාර්ථය වන්නේත් මේ විමුක්තිය ලබා ගැනීමයි. එහි වචනාර්ථය ගත්කල එන්නේ නිදහස් විම යන්නයි. මොකෙන්ද නිදහස් වෙන්නෙ, දුකින්. එතකොට මේ ලෝකේ දුක බව (ත්‍රිලක්ෂණයේ එන දුක නෙවේ) ඕනෑම ආගමක් අදහන කෙනෙක් දන්නවා. එතකොට ඒ දුකින් නිදහස් වී සදාකාලික සැපයට පත් වීමට කියනවා විමුක්තිය ලබනවා කියලා.

එහෙනම් පැහැදිලි වෙනවා යතාර්ථය හා විමුක්තිය දෙකක් බව. එතකොට අපිට ගැටළුවක් එනවා විමුක්තිය හා යතාර්ථය දෙකක් නම් ඇයි අපි විමුක්තිය ලබා ගැනීමේ ක්‍රමය අනුගමනය නොකර යතාර්ථයක් හොය හොය යන්නේ (මේ ගැටළුවම ඩීප් මාළු යාලූ ටත් ඇවිල්ලා තිබුණා) කියලා.

හැම ආගමකම තියෙනවා විමුක්තිය ලැබීමේ මාර්ගයක්. හැබැයි ඒ එකකට එකක් වෙනස්. එතනදි ගැටළුවක් එනවා දැන් කොයි මාර්ගයද හරි කියලා තෝරගන්න. අන්න එතනදි අපට සිදුවෙනවා මං මේ මේ ආගමේ, ඒ නිසා මේක තමයි හරි කියන රාමුවෙන් එලියට ඇවිල්ලා ඇත්තටම මේ දුක මොකක්ද, ඇයි මේ දුක ඇතිවෙන්නේ කියලා සොයා බලන්න. නමුත් අපිට ඒ තරම් නුවණක් නැති නිසා අපට කල හැක්කේ එක් එක් දේශනා අරගෙන ඒවා යතාර්ථයත් එක්ක ගැලපෙනවද කියලා හොයල බලන එකයි.
උදාහරණයක් කිව්වොත් අපිට බඩගිනි වෙන්නේ බඩේ පණූවොන්ට කන්න ඕන නිසාද? ( පොඩිකාලේ කියන්නෙ එහෙමනේ)  නැත්නම් ඒක දෙවියන්ගෙ කැමැත්තද?  ,නැත්නම් යක්ෂ බලවේගයක් නිසාද? එහෙමත් නැතිනම් බඩේ තියෙන පිත( ආම්ලිකතාව)  නිසා ආමාශයේ ඇතිවන දැවිල්ල නිසාද? නැතිනම් හැමදාම කාලා කාලා කන්න නැතිඋනාම හැදෙන මානසික රෝගයක් ද?
මෙන්න මේ වගේ එකින් එක අරගෙන බලලා හරියටම දැන ගන්න ඕන. එතකොට ඒ නිවැරදි පිළිතුර ලබා දීල තියෙන්නේ කොයි ශාස්තෘන් වහන්සේද?  කියලා දැනගන්න පුළුවන්.

ඒ මං දැක්වූ වේ යතාර්ථය දැන ගැනීමේ එක් ප්‍රතිඵලයක් පමණයි. නමුත් විමුක්තිය ලැබීමට මෙහා යතාර්ථය දැන ගැනීමේ වාසී රාශියක් තියෙනවා. ඒ වාසීත් සමඟම යතාර්ථය දැනගැනීමෙන් විමුක්තිය ලැබේද? යන ගැටළුවටත් ඊළඟ ලිපියෙන් පිළිතුරු ලබා දෙන්නම්      

ඔබට නිවන් සුව ලැබේවා!   

Sunday, September 1, 2013

ආදරයේ නාමයෙන්

මේ ලඟදි දොහක අපෙ අම්මා කියාපිනා “ඈ බං හිච්චි එකෝ දැන් දැන් උඹට විසි හතරත් ඉවරයි, තව නැද්ද ගෑනූ ලමිස්සියක් හොයා ගත්තේ“ කියාලා. ඉතිං මං ඇහැව්වා “හිච්චි එකාලාට මොකටෙයි ගෑනූ“ කියාලා.

ඒක නොවෙයි මං මේ කියන්ට හැදුවේ. මං ඒත් ඒ වෙලාවේ කල්පනා කොලේ ඇත්තටම දෙමවිපියෝ මක්කටද මේ දරුවෝ විවාහ කොරල දෙන්න මෙච්චරටම වලිකන්නේ කියාලා. ඒ අයගෙන් ඇහැව්වම නම් කියන්නේ “උඹ තනියෙන් දුක් විදිනව බලන්ට අපට බෑ“ නැත්නම් “උඹ ගෙදෙට්ට නාකි වෙන්ට දෙන්න ඇහැක්යෑ“ එහෙමත් නැතිනම් “ උඹ තනිවෙන්ට දාලා අපි කොහොමෙයි නිදහසේ ඇහැ පියා ගන්නේ“ වගේ දේවල්නේ. ඒ කතා වලින් නම් අපට දැනෙන්නේම අපිට ආදරේට බන්දන්ට හදනවායි කියාල නෙව. හැබැයි ඕං සමහර මව් දෙමව්පියොනම් කෙලින්ම කියනව “අපිට ඇහැක්යෑ තවත් තොපිලව රක්ෂා කොරන්ට, බොලාගෙන් නිදහස් වෙන්ට එපැයෑ“ කියලත්. ඒත් ඉතින් රස්සාවක් නැති ගෑනු ළමයෙක්ට නෙව එහෙම කියන්ට පුලුවන්.

ඔය කොයිහැටි වෙතත් සමස්තයක් වසයෙන් බලාපිනාම ආදරේට නොවැ ළමයි සරණපාවා දෙන්නේ. අපි අනෙක් අය පැත්තට දාමූ. බෞද්ධ ඕනෑම කෙනෙක් දන්නව නෙව බැදීම් දුකක් කියලා. එහෙම බලාපිනාම අපෙත් මව් දෙමව්පියෝ ආදරෙටනේ කියාලා අපිව දුකටනෙව දාන්ට යන්නෙ. කොයි දෙම්ව්පියෝද කියන්නේ “ඇයි දරුවො පෙන්නැද්ද මේ බැදීම් නිසා නේද දුක ඇතිවෙන්නේ, ඒ හන්දා බදින්න නම් එපා. පේන්නැද්ද අපි මේ බැදලා දරුවෝ හදන්නයි, වාහේ සතුටු කොරන්නයි විදින වදයක්. උඹ ගෙහුං මහණ වෙලා සසර දුකින් එතෙර වෙයං මයෙ පුතේ“ කියාලා. දැන් ඉතින් බලාගෙන ගියාම දෙමව්පියොත් ආදරේ නාමයෙන් ළමයි දුකටනෙව තල්ලු කොරන්නේ.

අනෙක් කාරණාව තමා ඔය ආදරවන්තයෝ මක්කටද ආදරය කරන ඇයොම බදින්න හදන්නේ. අම්මාපල්ලා මං නම් කියන්නේ තරහකාරයෙක්ම තමා බදින්ට ඕනෑ. මොකොද එතකොට බැරියෑ, ගෙදරදොරේ වැඩ, ළමයින්ගෙ වැඩ පඩියක් නොගෙවාම කොරගන්න. නෑ මං අහන්නෙ කොයි වාහෙද කියන්නෙ, “අනේ මං උඹට පනවගේ ආදරෙයි, උඹ මහන්සිවෙනවා දුක්වෙනවා බලන්ට මට වාවන්නෑ. ඒ නිසා උඹ මනාප විදියට හිටපන්, මං ඔක්කොම වැඩ කොරඤ්ඤං“ කියාලා.

බලාගෙන ගියාම බොහොමයක් ඈයෝ කොරන්නේ ආදරෙයි කිය කියා තමන්ගෙ වාසිය, ආසාව ඉස්ට කොරගන්න බලන එක තමා.

ප.ලි.- මේ ලෝකේ තියෙන කාම සැපයන් අතරින් ලොකුම සැපය ලිංගිකව එකතු වීම කියනවනෙව. ඉතින්            එහෙව් එකේ තරුණ ළමයි බන්දලා නොදුන්නොත් ඕකුන් දෙමව්පියන්ටත් සාප කරනව නෙව. ඒ              හින්දා සුදුසු කල්හි ආවාහ විවාහ කොරල දෙන එක මව් දෙමව්පියන්ගේ යුතුකමක්. ඒත් බලෙන්                     බන්දල දෙන එකනම් පාපයක්.