Saturday, September 14, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 13

“ජයසිංහ මුදලාලී නම් නෑ. ප්‍රේමදාස මුදලාලී නම් ඉන්නවා. මොකෝ නංගි කානූවක් කපා ගන්නද? පොළව මට්ටම් කර ගන්නද?“ ප්‍රේමදාසයා කෑ ගහල ඇහුවා.
“අනේ පලයන් මහත්තයො යන්න මගෙන් මුකුත් නාහ“ ඈ ප්‍රේමසදාසයට බැණ අඩගැහුවා.

ඈ ඇද හිටියේ කලු සායකුත් අළු පාට හැට්ටයකුත්ය. හැට්ටයට උඩින් තවත් රතුපාට බැනියමක් ඇදගෙන හිටියා. ඒකේ පිටිපසිනුත් ඉදිරියෙනුත් ‘ස්ටාර් සර්විස්‘ යනුවෙන් සදහන් කර තිබුනා. එයින් ඇය ස්ටාර් සර්විස් ආයතනය මගින් කන්ට්‍රැක්ට් බේසිස් නගර සභාවට අනුයුක්ත කල කෙනෙක් බව දැන ගත්තා. ඒත් ඇය අපේ මහත්තයා හොයන්නේ මොකටෙයි කියලා මට කුකුසක් තිබ්බා. ඒ නිසා මං ඇහුවා
“මුදලාලි මහත්තයා අද මෙහෙ එන්නෑ. මක්කටෙයි මුදලාලී මහත්තයා හොයන්නේ?“ කියලා. ඊට පස්සෙ ඈ මා දිහා ටිකක් වෙලා බලන් ඉදලා කිව්වා “ අනේ මහත්තයා ජයසිංහ මුදලාලිට කියනවද ඩෙල්සි නොනා හම්බුවෙන්න කිව්වා කියලා“ .  ඊට පස්සෙ “හා මං කියන්නම්“ කියලා මං කිව්වම මාත් එක්ක හිනා වෙලා නැවතත් අනිත් උන් දිහාට විරිත්තලා ඉදලත් අද්දව අද්දව යන්න ගියා. කොල්ලො ටික ඈට හූ තියමින් කෑ ගැසුවා.

ඈට ඉතා සුරූපී ඇග පසඟක්  තිබූ බව ඇත්තය. නමුත් රස්සාවක් තියෙද්දි මොකටද ගණිකා වෘත්තිය කරන්නෙ? කාම තණ්හාවත් මුදල් තණ්හාවත් නිසා ස්ත්‍රීන් තම ඇඟ විකුණාගෙන කෑමට තරම් පහතට වැටෙන්නේ ඇයිදැයි ඒ වෙලාවේ මට හිතුනා. ඒත් ඇත්තටම ඈ ගණිකාවක්ද කියලත් සැක හිතුණා. “ඇත්තටම ඒකී වෙසගනක්ද බාං “ කියලා මං ඇහැව්වා. “ඔව් බං ඔව්, එකී වේසියක් තමා. බොරුනම් ලොක්කගෙන් අහාල බලහං“ කියලා ජයේ කිව්වා.

ඈ කවුරු උනත් ලොකු මහත්තයට නිග්‍රහ කරපු එකට නම් මට තරහ ගිහිල්ලයි තිබුනේ. “අනේ අපේ මුදලාලි මහත්තයා රත්තරන් මනුස්සයා. කන්න දෙන අත හපාකන්න එපා බාල්ලා“ කියාගෙන මං එතනින් නැගිටලා එන්න ආවා.

මං එදා රෑ නිදාගන්න යනකොට හවස වෙච්චි සිද්ධිය නැවත මතක් උනා. ඇත්තටම ඇගේ නියපොතු වවා රතු වර්ණ කර තිබූ බවත් තැන තැන දූවිලි වැදී අවපැහැගැනුණූ සමට යටින් දිලිසෙන රන්වන් සමක් තිබූ බව හැට්ටය අතරින් මා දැකගත් බවත් මතක් උනා. මට ඈ ගැන ඇති වුනේ පිළිකුලක්. කෙනෙකුට මේ මගේ අම්මා, සහෝදරී, දුව කියල කියන්න බැරි රස්සාවක් මොකට කරනවාද. ඔවුන් ගැන විතරක් නෙවේ ඔවුන්ගෙන් පහස ලබන්න යන කාමාතුරයන් ගැනද මට තිබුනේ පිළිකුලක්.

කොහොම හරි එදා මුදලාලී මහත්තයා මොකක්හරි හේතුවක් නිසා ගෙදර නොසිටිය නිසා පණිවිඩය කියන්න බැරි උනා. ඊට දවස් දෙකකට විතර පස්සෙ හවස් වරුවක මහත්තයා මගෙන් වැඩකටයුතු හොදින් කෙරීගෙන යනවාදැයි විස්තර කතා කර කර උන්නා. ඔය වෙලාවේ මට ඒ සිද්ධිය මතක් වෙලා ඒ ගැන මහත්තයට කිව්වා.
“ආ මහත්තයාට මට කියන්න අමතක වුනානෙව. කවුද නගර සභාවේ වැඩ කරන ගෑනූ කෙනෙක් ඇවිත් මහත්තයාව ඇහැව්වා පෙරේදට පළමු දා හැන්දෑවේ. මං නැතෙයි කියෙව්වම මහත්තයට ඩෙල්සි ද ඩල්සි ද කියලා නෝන කෙනෙක් හමබ වෙන්න කියන්නෙයි කිව්වේ“.
ඒක කිව්වා ගමන් මිනිහගේ මූන ඇඹුල් වෙලා ගියා. ආයේ අමාරුවෙන් හිනාවක් දාලා, “ආ ඔව් ඔව් ලියුමක් තියෙනවා ගිහින් දෙන්න“ කියලා කිව්වා.    

Next chapter - http://asanka-mind.blogspot.com/2013/10/14.html

No comments:

Post a Comment