Wednesday, December 27, 2017

ආදරය හා ප්‍රේමය

ආදරය ද මල් උයනකි 
මුලු ලෝකෙම සුවද කරන 
සතර දෙසින් එන ජනයා 
ඒ සුවඳින් මුසපත් වන
 
මල් සුවඳින් සුවද කවා 
වෙළදපලක විකිණී යන 
විලවුන් බඳුනකි ප්‍රේමය 
එක් මිනිසෙකු මත තැවරුණ

Tuesday, October 24, 2017

193 සතිය

ඕනෑම සංකල්පයක්  තම යහපතට යොදා   ගැනීමට අප දක්ෂ විය යුතුය. අඥානයාට ලැබුනු පිහිය ඔහුට මෙන්ම අන් අයට ද අනතුරක් කරයිග

Tuesday, September 26, 2017

මෙතෙක් මට අවනතව සිටි සිත



මගේ සිත දුවනවා
නුඹේ ලඟ රැඳෙනවා
නුඹම ගැන කියනවා
කියා මා පෙළනවා

මෙතෙක් මට අවනතව සිටි සිත
මගේ ලඟ මා තබා ගත්තද
ඉඩක් ලද විට දුවයි ඔබ වෙත
කිමද ඔබ කල අරුම කිව මැන

දහක් තරු දැක නොපිපි සියපත
හිරු සදිසි කල පිපී එන ලෙද
නොයෙක් කම් සැප ලදත් මේ සිත
ඔබ වෙතම ඉගිලෙනා අරුමය
 

Monday, September 25, 2017

192 සතිය

ජාත්‍යාන්ධන්ට දියමන්ති පෑමෙන් එහි වටිනාකම ඔවුන්ට නොතේරේ. ඌරන්ට රසමසවුලු දුන්නත් අසූචි තරම් නොවටී. එසේම කෙලෙස් වසඟයට පැමිණි පුද්ගලයා ධර්මයෙහි වටිනාකම තේරුම් නොගනී

Thursday, September 7, 2017

191 සතිය

යමක් ලබාගැනීමට ඇති ආශාව යනු ඒ දේට ඇති ආශාව නොව තමන්ගේ හිතේ ඇති අඩුව නැති කිරීමට ඇති ආශාවයි. ඒ දේ ලැබුනු පසුව එම අඩුව නැති වන විට ඊට ඇති ආශාව ද පහව යයි.

Tuesday, August 29, 2017

අර්ථය ලබයි බණ නුවණින් බැලූවොත්

කලල් ගොඩක් මැද තිබිලා            ලැබූවත්
මැණිකේ අගය අඩු නොමවෙයි කෙසේවත්
කියනා කෙනා  නුහුගුණයෙන්       කියූවත්
අර්ථය ලබයි බණ නුවණින්      බැලූවොත්

ධර්මය කියා දෙන අය ගරහන්න             එපා
බුදුනට නිගා වන ලෙස හැසිරෙන්න        එපා
අනුවණ කමින් පව් සිදුකර ගන්න           එපා
පරලොව නොයන මෙන් ජීවත් වෙන්න එපා

ධර්මය රකින අය ධර්මෙන් රැක       ගන්නේ
ලැජ්ජා භය නිසයි ලෝකය         පවතින්නේ
නුවණින් සිතා මැන කටයුතු       කරගන්නේ
දෙලොවවට වැඩ සදන සේ දිවි ගෙවපන්නේ

Thursday, July 27, 2017

මුහුණු පොතේ කවියක් ලියා

මුහුණු පොතේ කවියක් ලියා
හැගුමන් සිතේ පා කර යවා
මගෙ ජීවිතේ හැර යයි කියා
සිතුනේ නැතේ සිහිනෙන් පවා

කදුලැල් මතින් විදි වේදනා
දහසක් පැතුම් දෙහදේ දරා
ගොඩනැගූ ජිවිතේ
මොහොතින් නැසී වැලළී ගියා

මාගේ නමින් ගිණුමක් තනා
කවුදෝ අයෙක් රවටා ඔයා
ඔබ මගේ ජීවිතේ
සියතින් නසා මෙලොවින් ගියා

190 සතිය

රූප පෙන්වීමෙන් හෝ ශබ්ද ඇසීමෙන් හෝ සුවද ආඝ්‍රාහනයෙන් හෝ රසවත් දේ කෑමෙන් හෝ පහස ලැබීමෙන් හෝ සතුට නොලැබේ, එය කරනු ලබන්නේ සංඥාවෙනි.

Monday, June 26, 2017

මාගේ මරණය සිදු උනා

මා දමා ඈ ඉගිල ගිය දා
                මාගේ හදවත නැවතුනා

මාව අපලේඛණය කල දා
                මාගේ මරණය සිදු උනා

 සොයා මා ඈ  ආව දිනකදි 
                මාගේ හද යලි ගැහේ වී

ඇගේ සිනහව දුටුව දිනකදි
                   යලිත් මා පණ ලබාවී



Tuesday, June 6, 2017

189 සතිය

අප ආදරය කල යුත්තේ රන් කූඩුවක දමා ආරක්ෂා කිරීමෙන් නොව නිදහසේ පියඹා යන විට ආරක්ෂාව සැලසීමෙනි.

Friday, May 26, 2017

නුඹ හිනැහේ නම් - මා සැනසෙන්නම්

සඳට එහා හිරුට එහා 
මට නොපෙනෙන ඈත රටක 
නුඹ හිනැහේ නම් - මා සැනසෙන්නම්
 
නීල පළිඟු මුතු අතුරා 
ඒ මත යහනක් කරවා 
පුළුන් වලා සේද මතින් 
නුඹ සැතපේ නම් 
පන් පැදුරක සීත රැයක 
මා සැනසෙන්නම්
 
බෝ සත් ගුණ සිත පුරවා 
නුඹ අසලින් හිඳින නුරා 
සඳ කිඳුරකු ඔබ සනහා 
සෙවන සදයි නම් 
මං තනිකඩ කුරුළු රජකු 
සේ සැනසෙන්නම්
 
 

Tuesday, May 23, 2017

188 සතිය

අපට ගඟක් හැරවීමට උවමනා නම් කල  යුත්තේ ඒ දෙසට පල්ලම සකස් කිරීම යි.

Saturday, April 29, 2017

187 සතිය

අනිවාර්යයෙන්ම අම්මා මැරෙයි, තාත්තා මැරෙයි, පෙම්වතා පෙම්වතිය මැරෙයි. ඊට පස්සෙ ජීවිතේට මුහුණ දෙන්න අපි සූදානම් ද? නැත්නම් ඒ ප්‍රශ්න දැන්ම හිතන්න ඕනේ නැද්ද?
එහෙනම් ඇයි රස්සාවක් ලැබෙයිද?, ස්ථිර වෙයිද?, ඇත්ත කිව්වොත් තරහවෙයිද?, එයා බෑයි කියයිද? වගේ අනියත ප්‍රශ්න ගැන හිත හිත බය වෙන්නේ, ආතතියට පත් වෙන්නේ ?

Wednesday, April 26, 2017

පරවී යන මල හිමිකම් නෑ

පර සතු උයනේ පිපුනු මලේ
පැහැය විඳින්නට තහනම් නෑ 
සුවඳ විඳින්නට තහනම් නෑ 
ඈත ඉඳන් එන සමනලුනේ
 
මල් අයිතිය මල් කරුවාටයි 
නෙලා ගන්න අයිතිය ඔහුටයි 
එනමුත් ඒ මල වට ඉගිලෙන්නට 
තහනම් නෑ
 
මෙහා ඉමේ මා තනිවී ඉන්නෙමි 
මලේ සුවඳ හා රුව විඳ ගන්නෙමි 
නෙලුවත් මා ඒ පරවී යන මල 
හිමිකම් නෑ

Saturday, April 22, 2017

186 සතිය

පරාර්ථකාමයේ අඩිතාලම විය යුත්තේ අල්පේජ්ජතාවයයි.

Wednesday, April 5, 2017

185 සතිය

දැන් සතුටුවිය නොහැකි තැනැත්තාට කිසිදා නැවත සතුටු විය නොහැක.

Thursday, March 30, 2017

184 සතිය

අප යම් ක්‍රියාවක් විනිශ්චය කල යුත්තේ ක්‍රියාව කරන්නා දෙස බලා නොව ක්‍රියාවේ ආදීනව දෙස බලාය.

අඩුවී නැත ආදර හිත ඈ කෙරේ

මලේ සුවඳ විඳ නැත්තෙමි 
මලේ පැහැය දැක නැත්තෙමි 
මලෙහි මෙලෙක ලැබ නැත්තෙමි 
එනමුත් මම ආදරේ
 
ලඟින් ලංව හිටියත් ඒ කාලයේ 
දුරින් ඈත හිටියත් මේ කාලයේ 
ආලවන්ත කම් නොකලත් මා කෙරේ 
අඩුවී නැත ආදර හිත ඈ කෙරේ
 
ලමැඳ හිස තබා හිඳ නැත මා ඇගේ 
දෑත දෑත බැඳ ගොස් නැත මා ඇගේ 
තුරුලේ හිඳ නැලවි නැතත් මා ඇගේ 
අඩුවී නැත ආදර හිත ඈ කෙරේ
 

Saturday, March 18, 2017

183 සතිය

අපි අපේ අවසන් අරමුණ වෙතට ගමන් කලයුතුය. නමුත් අරමුණ වෙත ගමන් කරනා මාර්ගය අපේ අරමුණ නොකරගත යුතුය.

Thursday, March 2, 2017

182 සතිය

කුළියට ගත් වස්තුවක් භාවිතා කරන්නේ යම් සේ ද එසේ සියල්ල පරිහරණය කල යුතුය.

මාගේ දයාබර කුරුල්ලනේ

ඈත ඉදන් දුර සීත රටින් එන මාගේ දයාබර කුරුල්ලනේ
 මාගේ සිතේ ඇති ආලවන්තකම ඈට කියාපන් කුරුල්ලනේ
 
නීල නුවන් ඇති ඈගේ බැලුම් හෙලන ලෙසින් නුඹ මදෙස ඇයි බලන්නේ
 ඈ ද කියන් ඒ කෝල බැලුම් හෙලන යුරුන් නුඹලාට කියා දුන්නේ
 
හීන හඬින් ඇය කෝල කතා මට දොඩන ලෙසින් කිමද ගී ගයන්නේ
 ඈ ද කියන් ඒ මිහිරි හඬින් ගී ගයන යුරුන් නුඹලාට කියා දුන්නේ

Friday, February 17, 2017

181 සතිය

අපට නොලැබුන දෙයහි අයහපත ද ලැබෙන්නට තිබෙන දෙයහි යහපත ද දැකීමෙන් පශ්චාත්තාප වීමෙන් වැලැකිය හැකිය.

Saturday, February 11, 2017

180 සතිය

අපව අමතක කර දමන මිතුරන්ට වඩා අපට වෛර කරන අයට ස්තුතී වන්ත වෙමු. මන්ද ඔවන් අපව අමතක නොකරනු ඇත.

Friday, January 27, 2017

සල්ලි හොයනවා තක දොං සල්ලි හොයනවා

ඇති හැටියට හිටි කාලේ - අට පැය වැඩ කල කාලේ
නිමාවෙලා මුළු දවසම සල්ලි හොයනවා
ආර්ථිකේ ගොඩ ගන්නට - මගේ පවුල රැක ගන්නට
මුළු දවසම වෙහෙස වෙලා සල්ලි හොයනවා

මට නිදහසෙ ඉන්න කියා වැඩපල අඩුවෙන්න කියා
ගෙනා බිරිඳ සනසන්නට සල්ලි හොයනවා
ළමයින් රැක ගන්නට මා සල්ලි හොයනවා

පයින් යන්න බැරිය කියා වාහනයක් ගත්තු නියා
වාහනයට තෙල් ගහන්න සල්ලි හොයනවා
ලීසිං එක ගෙවාගන්න සල්ලි හොයනවා

ගේ පොඩ්ඩක් හදාගන්න බැංකු ගියේ ණයක් ගන්න
ණය වාරික ගෙවා ගන්න සල්ලි හොයනවා
ගේ වැඩ අහවර කරන්න සල්ලි හොයනවා

Thursday, January 12, 2017

179 සතිය

තමාට කැමැත්තෙන් තරහා ගෙන්නා ගැනීමට නොහැකි සේම අන් අයටත් තරහ කැමැත්තෙන් ගෙන්වා ගත නොහැක. ඒ නිසා යමෙකු තරහින් ඔබට ක්‍රියාවන් කරයි නම් ඔවුන්ට අනුකම්පා කල යුතුය.

Wednesday, January 4, 2017

178 සතිය

අප යම් ක්‍රියාවක් විනිශ්චය කල යුත්තේ ක්‍රියාව කරන්නා දෙස බලා නොව ක්‍රියාවේ ආදීනව දෙස බලාය.එබැවින්, ප්‍රතික්ෂේප කල යුත්තේ පුද්ගලයා නොව ක්‍රියාවයි