Saturday, December 26, 2015

මගේ සොඳුරියේ

ටිකිරි සිනහ සලන මාගේ
සිඟිති ලදැරියේ
කොමළ අඟර දඟර පාන 
මගේ සොඳුරියේ
 
මේ වනන්තරේ 
හිඳ නිරන්තරේ 
කුරුළු ගීත අසන්නේ 
තුරුළු වී හදේ
 
ඔබ සැරින්සැරේ 
දී සිහින්සරේ 
මගේ අදර සිඹින්නේ 
හැඟේ පෙම් සුවේ

Thursday, December 24, 2015

153 සතිය

ඇදුමෙහි මඩ ගෑවුනු කල එය සෝදා පිරිසිදු කරගන්නා නුවණැත්තෙකි, දක්ෂයෙකි. නමුත් පිරිසිදු ඇදුම් මඩෙහි දමමින් සෝදන්නා දක්ෂයකු නොව මෝඩයෙකි.

Friday, December 18, 2015

කණ්ඩායම් සාදය

බොලාලාට කියාපිනාලන්ට මේ පහුගිය දොහක අපේ පාසැල් වාරොසික කණ්ඩායම් සාදය සංවිධානය වුනා නෙව. මටත් ඕං ආරාධනාවකුත් කොරාලා ලඟටම පුරවේස පත්තරයකුත් ගෙනත් දුන්නු හින්දා පළමු වතාවට ඕං මාත් සහභාගී වුනා කියමුකෝ.
හප්පච්චියේ කලැබ් එකට ඇතුළු වෙනකොටම සල්ලි කොල පුලුස්සාගෙන දුම් පිට කොර කොරා සැට් එකක් දොරකොඩට වෙලා අල්ලාප සල්ලාපයේ. බොලාට කියාපියාලන්ට මේ හිච්චියට උන්න මිත්තරයො බාප්පොච්චිලා වගේ නෙව අඳුරගන්නත් අමාරුයි. මාත් ඕං දුං ගහනඑක ඉවසා දරාගන්න බැරිව කලැබ් එක ඇතුලට ගියා. ඇතුලට ගිය හැටියෙම නැටුම් තෙල් සප්පායම. මට ඉතින් නටාපිනාලන්ට ඔය තෙලේ මක්කටැයි කියාලා ඇපොල් කැල්ලක් දෙකක් කාපිනාලා සිසිල් බීම වීදුරුවක් තොල ගාපිනා. ඉතිං ඕං පුරාණ යාළු මිත්තරයෝ ඇවිත් “ආ මචාං කොහොමදැයි, මක්කදැයි මේ දවස්වල කොරාපිනාලන්නේ “ කියාලා අතට අත දීලා බදාගෙන ඉඳලා යනවා.

ඒ අස්සේ මේං දහඅටේ විස්සේ ගැටිස්සියො ටිකකුත් මුන් ගෙන්නාපිනාලා. තනියෙන් නටාපිනාලන්ට බැරි ඈයින්ට ඡෝඩු දමාගෙන නටාපියාලන්ට. හප්පොච්චියේ මේ ගැටිස්සියොටික දැක්කම මට හෝස් ගාලා ගියා. අම්මාපල්ලා මුන් මව් දෙමව්පියො නැති අහසින් වැට්ච්චි එවුන් වගේනෙව හැසිරුනේ. තමන්ගේ දුවලා මේ වයසට කොරන එව්වා දැක්කොත් ඒ අම්මලා විලි ලැඡ්ඡාවේ පොලෝ පලාපියාගෙන යාවී කියලා මට හිතුනා.

කොහොමැ කොහොමැ හරි රෑ දෙගොඩහරිය වෙනකම් කකා බිබී නටාපිනාලා කට්ටිය ගෙවල්වලට ගියාපිනා. සමහරු නැටුම්තෙල් වැඩිවෙලා උන්ගේ බාල සන්ධිය මතක්වෙලා වාගේ දණගාපිනාලා, බඩ ගාපිනාලා, තව අයගේ කර උඩින් නෙව ගියේ.

අම්මාපල්ලා මට මේ සේරම අවසානයේ මගේ මේ ඔළුවට ආවේ, අර ගැටිස්සියොයි අපෙයි අතරේ වෙනස මක්කදැයි කියාලා. අපි කාපිනාලා බී පිනාලා, නටාපිනාලා රුපියල් දෙතුන්දාහකුත් වියපැහැදම් කොරාපිනාලද්දී එවුනුත් කාපිනාලා බී පිනාලා, නටාපිනාලා රුපියල් දෙතුන්දාහකුත් උපයා සපයාගෙන ගියා.

බලාපිනාලාගෙන යනකොට බාබර්ට සල්ලිත් දීලා කොණ්ඩෙත් දීපිනාලා එනවා වගේ පිරිමි වෙච්චි අපිත් සමහර වේලාවට  ගැනූන්ට වින්දනයත් දීලා සල්ලිත් දීපිනාලා එනවා නෙව 

Saturday, December 12, 2015

152 සතිය

අපට ලෝකේ කැමතිම දේ තුරුලු කරගෙන ඉන්න දුන්නොත් කොපමණ කාලයක් එසේ සිටිය හැකිද?
මවකට තම එකම දරු සිඟිත්තා එපා නොවී කොපමණ කාලයක් තුරුළු කරගෙන සිටිය හැක්ද?

Tuesday, December 1, 2015

151 සතිය

පිං කිරීමෙන් ප්‍රාර්ථනා කල යුත්තේ කල්‍යාණ මිත්‍රයකු ඇසුරට ලැබීමයි.

Saturday, November 28, 2015

මගේ කතාව 2 - අවුරුදු නිවාඩුව

ඉස්සර අපේම ගෙදර ඉන්නකාලේ අලුත් අවුරුද්ද ලබනකොට පවුලේ හැමෝම එකතුවෙලා නැකතට කිරි ඉතිරෙව්වත් කුළී ගෙදර දී නැකතට කිරි ඉතිරුවේ නැත. අලුත් අවුරුද්දට දින දෙක තුනකට කලින් අපි ගමේ යන්නෙමු. ඒ යන්නේ සතියක්වත් අවුරුදු නිවාඩුව ගමේ ගතකිරීමටයි.

 අපි ඒ කුළී ගෙදර හිටියේ අවුරුදු දෙකක් පමණයි. ඉන්පසු අපි වෙනත් කුළී ගෙදරකට ගියෙමු. ඒ අවුරුදු දෙකෙන් දෙවැනි අලුත් අවුරුද්ද ගෙවුනේ මං තුන වසරේ සිටිද්දීය. මං තුන වසරේ සිටිද්දී පළමු වාරයේ දී පාසලේ විවිධ ප්‍රසංගයක් පැවැත් වීය. එහි දී මං නැටුම් දෙකක් සඳහා ඉදිරිපත් කෙරිණ. ඒ ආජු තපර පීජු තපර  ගීතයට හා සිංහල රජ කාලේ නොවේ යන ගීත දෙකටය. එහි දී මා හැඳ සිටියේ ඕලන්ද තරුණයෙකුට ය. මාගේ මිතුරකු ඕලන්ද තරුණියකට හැඳ මා සමග නැටීය. නැටුමට එවැනි ජෝඩු හයක් හෝ අටක් සහභාගී විය. ප්‍රසංගය පැවතීයේ එල්ෆීස්ටන් රඟහලේ ය. එම නැටුම නිසා මට අලුත් ඇදුමක් ලැබිණි. අලුත් අවුරුද්දට එය හැඳගෙන යාමට සිතුනත් එය සුදුසු මඟුල් ගෙදරකට බැවින් මඟුල් ගෙයක් උනාම අඳින්නයැයි අම්මා කී බැවින් ඒ ආශාව උපන් ගෙයිම මිය ගියේය.

අලුත් අවුරුද්දට ගමේ යාමත් ලේසි වැඩක් නොවීය. සතියකට පමණ සෑහෙන රෙදි හා නැදෑයින්ට දෙන තෑගිද දමා ගැනීමට ලොකු ගමන් මළු දෙකකට අමතරව ලොකු බිස්කට් පෙට්ටි දෙකක්වත් අවශ්‍ය විය. එයින් වැඩි බරක් පැටවෙන්නේ තාත්තාගේ කරටය. අම්මා ඇඳුම් බැග් දෙකෙන් එකක් එක් කරක දා ගත් විට අවශ්‍ය වුවොත් මා වඩා ගැනීමට අනෙක් කර නිදහස්ව තබා ගත්තාය. අයියාට ද මග දී අවශ්‍ය වන වතුර බෝතල් හා ආහාර වර්ග ද දැමූ බෑගය ඔසවාගෙන යාමට සිදුවෙයි. මා වඩාගන්නා අවස්ථා වලදී අම්මාගේ ගමන් මල්ල (හැන්ඩ් බෑගය) නංගීට භාර වෙයි. ඒ අනුව කිසි බරක් නැතිව මෙන්ම අම්මාගේ කරේ ද යාමේ අවස්ථාව ලැබෙන්නේ මටයි. පළමුව දෙහිවලට බස් එකෙන් ගොස් එතැන් සිට කොච්චියේ හෝ බස් රථයකින්ම හෝ අම්බලන්ගොඩට යයි. කෝච්චියේ ගියත් බස් එකේ ගියත් බොහෝ විට ආසනයක් නම් ලැබෙන්නේ නැති තරම් ය. නමුත් කෝච්චියේ යාමට අපි තුන්දෙනා වැඩි කැමැත්තක් දැක්වීමූ. නමුත් බොහෝ අවස්ථාවල අපට අවශ්‍ය වේලාවට දුම්රියක් නොපැමිනේ. 

ගමේ ගියපසු ළමයින්ගේ රාජකාරිය සෙල්ලම් කිරීමත්, කැවිලි පෙවිලි වල රස බැලීමත් ය. අප අවුරුද්දට කරන ක්‍රීඩා අතර වල කජු ගැසීම, පංච කෙලිය, එළුවන් කෑම, තොරන් කොට්ට පැනීම විශේෂ තැනක් ගනී. අපිට වඩා වැඩුමල් අයියලාගේ ක්‍රිඩා වූයේ කැට ගැසීම හෝ ගුඩු පැනීම යි. මා වඩාත් ප්‍රිය කලේ පංච කෙළියටයි. මන්ද මට මහන්සි නොවී කලහැකි වූ එකම අවුරුදු ක්‍රීඩාව එයයි. 

අවුරුදු දවසේ නැකතට කිරි ඉතිරවීම කරන්නේ ගෙදරම්මලාගේ ගෙයි සාලය මැදයි. සියළු නෑයන් වට වී සිටිද්දී ගෙදරම්මා ලිප මොළවයි. ඉන්පසු ඇත්තේ තමාගේ පැත්තට කිරි උතුරුවා ගැනීමට කරන අරගලයයි. ඒ සඳහා කවුරුත් තමා සිටින දිශාවේ ගින්න වැඩි කර ගැනීමට දර හා පොල් කොළ ඔබයි. අවසානයේ කාගේ හෝ පැත්තට කිරි ඉතිරෙයි. එවිට කාගේ පැත්තට කිරි ඉතිරුව ද  හැමෝම ප්‍රීතියෙන් අත්පොළොසන් ගසයි.  ගෙදර තාත්තා විසින් (අම්මාගේ තාත්තා) නැකතට කාටත් කිරිබත් කවා ආහාර අනුභවය ආරම්භ කරයි. එකල ආහාර ඉඳුල් කිරීම නැතහොත් අලෙවි කිරීම නම් චාරිත්‍රයක් වෙයි. එනම් වාසනාවන්තයැයි සැළකෙන හෝ කවුරුත් ආදරය කරන හෝ පිරිමි දරුවකුට පළමුව ආහාර ගැනීමට සැලැස්වීමයි. බොහෝ විට ලොකු අයියාට එම අවස්ථාව හිමි වේ. අපේ පවුලේ පමණක් නොව පිරිමි දරුවකු නොවූ අල්ලපු නිවසේ ද ඉඳුල් කිරීමේ චාරිත්‍රයට අයියාව කැඳවයි. එවිට ඔහුට පඬුරක් ද ලැබෙයි.  නැකතට තෙල් ගැමේ චාරිත්‍රය ද සිදුකරන්නේ ගෙදර තාත්තා විසිනි. උඩට උඩුවියන්, පයට පාවඩ නැතත්, ඖෂධ තෙල් නොවුනත් ගෙදර තාත්තාගේ ආශිර්වාදය සමඟ පොල්තෙල් ගෑවද අපිට එය ලොකු දෙයකි. පසුව කවුරුත් ලිඳට ගොස් නා ගන්නෝය.  අවුරුදු චාරිත්‍ර අවසානයේ නෑ ගෙවල්වල යයි. ඒ ඒ නෑයාගේ ගෙදර එක් ආහාර වේලක් සියළු නෑයන්ට ලබා දේ. එදිනට සියළු නෑයින් ඒ නිවසට රැස්වේ. ඒ හැම නිවසකම සිටින වැඩිමහළු අයට බුලත් දී ඒ නිවසින් පිටවන විට අපට බුලත් කොලයක එතූ පඬුරක් හෝ තෑගි ලෙස ඇඳුමක් ලැබේ.

මෙසේ අලුත් අවුරුද්දට ගමේ ගොස් සතියකට පමණ පසුව නැවත කොළඹ පැමිණියත් අවුරුදු උණුසුම දිගටම පවතී. අවුරුදු උත්සව මාසය පුරාවටම ඇත. කොළඹ පැමිණි පසුද අම්මා සමඟ පංච කෙළියේ යෙදෙන්නේ පාසැල් නිවාඩුව අවසන් වන තුරුය. කොළඹ පැමිණ ගෙවුනු දෙවන අළුත් අවුරුද්දේ එක් අවුරුදු උත්සවයක විකට ඇදුම් තරඟයකට මා ඉදිරිපත් වුනේ ඕලන්ද තරුණයෙකුටයි. ඒ පාසැලේ ප්‍රසංගයට ඇන්ද ඇඳුම නිසයි. නමුත් සිදු වූයේ මා වේදිකාවට නගිනවාත් සමඟ මගේ කලුපාට උස හිස්වැස්ම දුටු නිවෙදකතැන මාව මැජික් ශිල්පියකු ලෙස හඳුන්වාදීමයි. මට කරගතහැකි දෙයක් නොවීය. මා මගේ නම පමණක් කියා වේදිකාවෙන් බැස්සේ ය. තාත්තා පැමිණ“පුතේ දැන් මොනවාහරි ඉදිරිපත් කිරීමක් කරන්න කීවොත් ඔයා කියන්න වැස්ස නිසා මැජික් පෙන්නන්න බෑ. පස්සේ දවසක පෙන්නන්නම් කියලා හොඳද“ කියා මාව දිරිමත් කලේය. ඒවේලේ වැහිබර කාලගුණයක් ද තිබූ බැවින් මම ද තාත්තා කියු විදියටම කලේය.  ඉන් මට ජයක් නොලැබෙන බව දන්නා මම ගෙදරට වී උන්නෙමි. නමුත් හැන්දෑවේ යකඩකටින් මගේ නම කියනු ඇසින. ඒ සැනසිලි තැග්ගක් වශයෙන් මට ප්ලාස්ටික් බෝලයක් ප්‍රදානය කිරීමටයි.

Thursday, November 26, 2015

විට ගීතය

කට රතුකරන් හැමදාම මන් ඉන්නේම විටයක් හපන්
බත් නැති උනත් වේලක් දෙකක් මට ඉන්න බෑ විට නැතිවනම්
නිතර හැපෙනා විටකට ඉතින් කතාකර ගන්න පුලුවන්නම් 
කියයි හඩගා ලොවට මතුදා විටට මං ආදරෙයි කියලා
 
විටක හුණු වැඩි විටක හුණු නැති ප්‍රමිතියක් නෑ විටේ
කෙලවරක් බලා කෙලම ගසනවා හප හපා මේ විටේ
ඉන්නෙ පිළිකන්නේ මම නම් මිදුළ කැත වෙයි කියා
 
නොනිද රෑ පුරා හපන විට පිරේ පඩික්කම ඇඳ යටේ
විඳින වේදනා පුවක්ටික හපා ගන්න බෑ මට අනේ
නැතිව දුංකොළ විටේ කොහොමැයි රස ගන්නේ නොදනිමි අනේ 
 
 

Friday, November 20, 2015

150 සතිය

පුරුදු කිරීමෙන් තොරව නිදහස් විය නොහැක. වීර්යයෙන් යුතුව පුරුදු කල යුතුය.

Thursday, November 12, 2015

149 සතිය

සියල්ල වෙනස්වෙයි නම් අපට බලාපොරොත්තු තබාගත හැක්කේ වෙනස්වීම ගැන මිස කුමක් ගැනද ?

Saturday, November 7, 2015

මගේ කතාව 2 - සෙල්ලං ලෙල්ලං 1

අයියාගේ ශිෂ්‍යත්ව විභාගය නිසා අම්මාගේ වැඩි අවධානයක් අයියා වෙත යොමු වුනත් අයියා පමණක් පාඩම් කරද්දි අපට රූපවාහිනිය නැරඹීමට හැකියාවක් නොවුනු බැවින් අපටද ඒ කාලය ඉගෙනීමට යෙදවීමට සිදුවිය. මන්ද නිවසේ සියල්ලටම තිබුනේ එක කාමරයක් පමණි.

අයියාත් මමත් පාසැල් වෑන්රියෙන් පාසැල් ගිය බැවින් අපට විවිධ වයස්වල සිසුන් මිතුරන් ලෙස ඇසුරුකිරීමට ලැබුණා. වැඩිහිටි අයියලා පාසැල් වෑන්රිය තුලදී කරන ක්‍රීඩා, කතා වලට අපද සහභාගී විය. කාඩ් සෙල්ලම් කිරීම, වලලු දැමීම, කරන්ට් පාස් කිරීම වැනි ක්‍රිඩා ඒ අතර විය. ඊට අමතරව අසභ්‍ය ගනයේ බයිලා කීම ද, පෙම්වතියන් ගැන කතා කිරීම ද අපට අසන්නට ලැබිණි. පාසැල් ඇරී ගෙදර ආ විට අයියා වැන්රියෙන් බැස මා රැගෙන අල්ලපු ගෙදර ගේට්ටුව අසලට වී වැන්රිය යනතුරු සැඟ වී බලා සිටී. පසුව වැන්රිය නොපෙනී ගිය පසු ගෙදර යයි. පළමුව අයියාගේ මේ හැසීරීම මට ද ප්‍රහෙලිකාවක් විය. පසුව දැනගන්නට ලැබුණේ  අයියා මිතුරන්ට  අපේ ගේ තට්ටු දෙකේ ගෙයක් වූ අල්ලපු ගේ බව කියා තිබූ බවයි.

ඒ ගෙදර විසූ දමිළ පවුල මුලින් අප සමඟ ගනුදෙණු නොකලත් පසුව ඔවුන් අප සමඟ හොඳින් සිංහලෙන් ගනුදෙණු කලේය. ඒ පවුලේ ද පිරිමි ළමුන් දෙදෙනෙක් හා අක්කා කෙනෙක් සිටි බැවින් අපි හැන්දෑවට එම නිවසේ මිදුලෙහි ක්‍රීඩා කළෙමු. එම නිවසේ ඔවුන්ගේ ආච්චී කෙනෙක් ද විසූ අතර අප ක්‍රීඩා කරනවිට ඈ ආලින්දයේ සිට රූපවාහිනිය නරඹමින් සිටී. දිනක් අප ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවනවිට සුපුරුදු පරිදී ඈ රූපවාහිනිය නරඹමින් සිටියා. හදිසියේම අයියා වැරෙන් පන්දුවට පහරදීමට උත්සහ කිරීමකදි පිත්ත ගිලිහීගොස් නිවසේ උළුවස්සේ වැදී ගේ තුලට පියාසර කලා. එකවරටම ආච්චීගේ විළාපයක් ඇසුනා. පිත්ත ගොස්  ඇයගේ හිසමතයි පතිතවී තිබුනේ. එයින් බයට පත් අයියා ගෙට්ටුවෙන් එළියට පැන දිව්වා. වෙනකලයුතු යමක් නොතිබූ මම ද දිවගොස් ගෙයි දොර මුල්ලේ සැංඟී හිටියා. පසුව ආරංචි වූයේ වරද ඒ අයියා බාරගෙන ඇති බවත් ආච්චි අම්මා රෝහල්ගතකර ප්‍රතිකාර කරවූ බවත් ය. ඒ නිසා ඒ සිදුවීම ගැන කිසිම තොරතුරක් අපේ දෙමව්පියන්ට ආරංචි නොවී ය. එය අපේ අයියාගේ අතින් සිදුවූ බව දැනගත්තේ නම් අයියාට අම්මාගෙන් හොඳහැටි ලැබෙන්නට තිබුණි.

මොන සෙල්ලං දැම්ම ද අයියා අවසානයේ යන්තම් හෝ අම්මාගේ බලාපොරොත්තුව ඉෂ්ඨකරමින් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් විය. ඒ එක් ලකුණකිනි. සමත් අවම ලකුණ 113ක් වූ අතර අයියා 114ක් ලබාගෙන තියුණු ජයක් අත්කරගත්තේය. අයියා ගෙදර ලොකුපුතා බැවින් ද එය දරුවකු ලැබූ පළමු අධ්‍යාපන ජයග්‍රහණය නිසා ද අම්මා තාත්තා මෙන්ම අයියා කුඩාකල සිට බලාගත් ගෙදම්මා(ආච්චී) ද සතුටු විය. ගෙදරම්මා (ගෙදම්මා) අයියාගෙන් මොනවාද ඕනේ යැයි ඇසූවිට ඔහු කීවේ “මට තට්ටු දෙකේ ගෙයක් ඕනෑ“ ය කියා යි. 


Thursday, November 5, 2015

148 සතිය

අපට අරමුණු ජය ගැනීමට අවශ්‍ය සැලැස්මක් නොව, අරමුණ දෙසටම ගමන් කිරීම පමණයි.


Wednesday, October 28, 2015

හිමිකම

දිය දහරක සුමිහිරි බව
විඳ ගත්තෙමි මා හොඳහැටි
දිය දහරේ මිහිරියාව 
රැගෙන ආවේ නොමැතිය මම
දුන්හිඳ නරඹන ලෙස ආ 
සුන්දර යුවතියකගෙ රුව 
මගෙකොට විඳ ගන්නට එය 
රැගෙන ආමි නිවසට මම
තිස් වසරක් ගෙවී ගිහින් 
දරු මල්ලන් සමගින් මම 
දුන්හිඳ බලනට ආ සඳ 
හැඟුනා මේ දෙය නොදැනිම
පෙර දින දුටු මිහිරියාව 
තවමත් ඇත දුන්හිඳ මත 
එනමුත් සොඳුරිගෙ රුව මට 
නොපෙනේ එහි පෙර ලෙසටම 

147 සතිය

යම් ගැටලුවකට අප දෙන පිළිතුර නිසා වෙනත් ගැටලු ඇති වේ නම් එය නිවැරදි පිළිතුර නොවේ.

Saturday, October 10, 2015

මගේ කතාව 2 - හරි මඟ පෙන්වීම

අම්මාත් තාත්තාත් කොළඹට ආවේ අප පිළිබඳ විශාල බලාපොරොත්තු රාශියක් ඇතිවය. අප තිදෙනාට හොඳ අධ්‍යාපනයක් දීම ඉන් එක් බලාපොරොත්තුවකි. නමුත් දෙදෙනාම රැකියාවට යන බැවින් ද අපට හොඳ නරක කියා දීමට වෙනත් වැඩිහිටියකු නොමැති බැවින්ද අපේ ආරක්ෂාව පිළිබඳ විශාල ගැටළුවකට ඔවුන් මැදිවිය. ඒ වන විට අයියා පහ වසරේද, මම තුන වසරේද , නංගී එක වසරේද විය.

නංගී පාසලකට ඇතුලත් කිරීම ද පහසු නොවීය. කොළඹ ජනප්‍රිය පාසැල් කීපයකටම අයැදුම්පත් දැමූව ද ඒ කිසිවකට විශාල මුදලක් නැතිව ඇතුලත් කරගැනීමට නොහැකි විය. අවසානයේ දී දෙහිවල ප්‍රස්බිටීරියන් බාලිකා විද්‍යාලයට ඇතුලත් කරවීමට හැකිවිය. අම්මා නිතරම අපගේ අධ්‍යාපනය ගැන වෙහෙසුනාය. අයියාගේ දඟවැඩ නිසා අම්මා සිටියේ කනස්සල්ලෙනි. කොයිවෙලේ හෝ ඔහුගේ වැඩවලින් මටත් නංගිටත් අනතුරක් වේයැයි ඇය බිය වුවාය. මේ නිසා අපව නිදැල්ලේ හැරීමට අම්මා ඉඩ නොතැබීමට හැකි පියවර ගත්තාය. මුලින්ම අප තිදෙනා දහම්පාසලකට යොමුකරවීමට ඇය කටයුතු කලාය.

ශ්‍රී සිරිවර්ධනාරාමය පිහිටියේ අපේ ගේ පිහිටි සිරිවර්ධන පාරට අල්ලපු වැටේය. ඒ නිසා ප්‍රධාන පාරෙන් යනවාට වඩා පහසුවෙන් මලිත් අයියාගේ නිවස අසලින් වැටී තුබූ අඩිපාරකින් පන්සලට යාමට අපට හැකි විය. ඉරිදා උදේම ගෙයි මුල්ලේ පිහිටි වතුසුද්ද ගසෙන් මල් නෙලාගෙන මල්වට්ටියක් සකස් කරගෙන තුන්දෙනාත් සමඟ දහම්පාසැල් ගියහැටි මට තාම මතකය. හැමදාම දහම්පාසල ආරම්භ කරන සීනූව නාදකරන හඬ ඇසෙන විට අපි ගෙදරින් පිටත් විමු. පළමුව රැස්වීමට සහභාගී වන ළමෝ පේලි සැදී නායක හාමුදුරුවන් සමඟ පන්සිල්ගෙන බුදුන්ට මල් පහන් පූජා කරයි. අනතුරුව හාමුදුරුවන් කෙටි අනුශාසනාවක් කරන අතර, ගුරුවරයකුගෙන් කතාවක් ද, ඉහළ පන්තියක සිසුවෙකුගෙන් කතාවක් ද බැගින් කතා දෙකක් පවත්වා රැස්වීම අවසන් කෙරේ.  පසුව අපි පන්ති වලට ගොස් දහම් අධ්‍යාපනය ලැබුවෙමු. එහිදී උගෙනගත් සිරිත් මල්දමෙහි එන එක් කවියක් මට තාම මතකය.
උරුවන් බබා වත් 
සිව්පද කියා ගෙන වත්
 සින්දු කියමින් වත්
 ගෙවල් අසලින් යාම නොහොබිත්

අයියාව මට්ටු කිරීම පිණිස ඔහුව ශිෂ්‍යත්ව පන්තියකටත්, රිචීලයි අම්මා විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි පන්තියටත් ඇතුලත් කලේය. පාසැල් ඇරී පැමිණිමෙන් පසුව අයියාට අමතර පන්ති යාමට තුබූ නිසා ටිකක් ඔහුගේ දඟවැඩ පාලනය කරගැනීමට මව සමත් විය. නංගී සුපුරුදු පරිදි සවස්කාලය ගතකලේ අම්මාගේ වැඩපලේය. හැන්දෑවට බොහෝවිට ගෙදර ඉතිරි වූයේ මා පමණි. මම එවැනි දිනවල හැන්දෑව ගතකලේ සාංකාවෙනි. 



නමුත් නිවාඩූ කාලවලදී තුන්දෙනාම ගෙදර බැවින් අම්මා අලුත් වැඩපිළිවෙලක් පටන් ගත්තාය. අයියා ශිෂ්‍යත්වයට සූදානම් වන බැවින් ඔහුට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් ද, මට කොටුරූල් පොතක ලියන ලද එකතු කිරීමේ, අඩු කිරීමේ හා ගුණ කිරීමේ ගනණ් සියයක් හෝ පනහක් ද, නංගීට ඩබල් රූල් පොතක අකුරක් හෝ අකුරු පේලීයක් ද බැගින් දී හැන්දෑවට එනවිට ඒවා සම්පූර්ණ කර තබන ලෙස අණකොට වැඩට යයි. හැන්දෑවට පැමිණි පසු ගෙදර වැඩ පරික්ෂා කරන මව ඒවා නොකර තිබුනේ නම් වේවැල් කසාය දුන්නාය. මීට අමතරව දවසට එක සංඛ්‍යාව බැගින් චක්‍කරය ද පාඩම් දිය යුතුය. නංගීට ලැබෙන්නේ දෙවරක් සිට පස් වරක් දක්වා වන අතර මට එය අට වරක් දක්වාද අයියාට දොලොස් වරක් දක්වා ද වෙයි. 

මෙසේ අපව යහමඟ පෙන්වීමට අම්මා විශේෂයෙන් කැප වී කටයුතු කලාය.


  

Friday, October 2, 2015

146 සතිය

ධර්මය යටනොවී තබා ගැනීම කලහැක්කේ ධර්ම ප්‍රචාරය කරමින් ප්‍රඥාවන්තයන් බිහිකිරීමෙන් මිස උප්පැන්නෙට සිමා වූ බෞද්ධයන් බිහිකිරීමෙන් නොවේ.

Sunday, September 27, 2015

හමුවේවී වෙන්වේවී සංසාර ආදරේ

ගැ : සසර සරනා තුරා නොයමි හැරදා මෙමා
       කියූ ඔබ මා හැරා ගියේ ඇයි දෝ දමා

පි : ගතින් ගියදෝ හැරා සිතින් ඔබ හා මෙමා
      ඉදිමි සසරේ පුරා නොයමි කිසිදා දමා

ගැ : සිතින් එක්වීමදෝ ගතින් ලංවීමදෝ
      ආදරේ කුමකදෝ මට කියා දෙන්නෙදෝ

පි : සිතින් එක්වීම හෝ ගතින් ලංවීම හෝ
      බිදේ කවදාක හෝ සසර නපුරුයි බොහෝ

ගැ : අපගේ ප්‍රේමේ නමින් උන්නේ ඔබගේ ලගින්
       මගෙන් වෙන් වී ගිහින් කුමක් කරනුද ඉතින්

පි : සසරේ පෙරදා ලෙසේ වෙන්ව ගියසේ මෙසේ
     යලිත් එක් වී එසේ ඉදිනු සැමදා කෙසේ


Monday, September 21, 2015

145 සතිය

තමන් හා ලෝකය දෙකක් ලෙස නොව තමාත් ලෝකයටම අයත් අනෙක් මනුස්සයන් වගේම තවත් මනුස්සයෙක් පමණක් යැයි සිතා කටයුතු කිරීමෙන් මමත්වය නැති වේ.

Sunday, September 13, 2015

144 සතිය

වස්තුවත්, ආලෝකයත්, දර්පණයේ ඔපයත් නිසා ප්‍රතිබිම්බය සැදෙන බව නොදත් මෝඩයින් මේ ප්‍රතිබිම්බය නිර්මාණය කල කෙනා සොයමින් වෙහෙසෙයි.

Saturday, September 12, 2015

මගේ කතාව 2 - නසරානියන්ගේ නිවාඩු සෙල්ලං

අයියාට කුකුළු පැටව් විකුණා තිබුනේ ද මලිත් අයියා විසිනි. දිනක් මලිත් අයියාගේ ගෙදර තිබෙන දිහාවට ගිය විට මට දක්නට ලැබුනේ කුකුළු සායම් ගා පාට පාට කල කුකුළු පැටව් වේලෙන්නට අව්වේ දමා තිබෙන අයුරු ය.  එය ඔහුගේ එක් අමතර ව්‍යාපාරයක් විය. ඊට අමතරව ගප්පි වර්ග විකිණිම ද සිදු කරන ලදී. අවසානයේ අයියාට කියා පලක් නොවුනු කල තාත්තා විසින් මලිත් අයියාට අපේ නිවස තහනම් කලාපයක් කලේය. නමුත් දෙමව්පියන් නොමැති විට අයියා ඔහුව ගෙන්වා ගත් අවස්ථා තිබුනු බව මගේ මතකයේ ඇත.

අප පාසැල් නිවාඩු කාලයට විවිධ ක්‍රිඩා කරනු ලැබීය. අප වෙනත් ළමුන් ඇසුරක් එතරම් නොවූ බැවින්ද සෙල්ලම් කිරීමට තරම් ඉඩ කඩක් කුළි නිවස තුල නොවූ බැවින් ද, අපි අලුත් අලුත් දේ අත්හදා බැලීමූ. ඒ ගෙදර ඇඳක් තැබීමටවත් ඉඩකඩ මදි වූ බැවින් එක ඇඳක් පමණක් තාත්තා වෙනුවෙන් තිබුනු අතර අනෙක් හතර දෙනා නිදා ගත්තේ බිමය. අම්මා මදුරුදැල් දෙකක් එක්කොට එක් විශාල මදුරුදැලක් සකසා එය වහලයේ එල්ලා පැදුරු වටේට ගඩොල් හතරක් තබා නිදන යහන සකස් කලාය. උදේට සාලය රාත්‍රියට නිදන කාමරය වන්නේය.

තාත්තාගේ ඇඳ දමා තිබුනේ කුස්සියේය. ඒ ඇඳ වටේට ලනු ඇද එහි තෙත රෙදි එල්ලා එය ගුවන්යානයක් සේ බාවිතා කර අපි සෙල්ලම් කලෙමු. එ් අසලින් හිටවන විදුලිපංකාව දැමූ විට ගුවන්යානය තුල සිසිල් වෙයි. අයියා විදුලිපංකාව ඉදිරියට ගොස් “ගුවන්යානය ගුවන්ගතවීමට නියමතයි. සියළු මගීන් ආසනපටි පැලඳගන්න“ විධාන කරයි. විදුලිපංකාව ඉදිරියට ගොස් කතා කරනවිට ඔහුගේ කටහඩ ඇසෙන්නේ ඈත සිට මයික්‍රෆෝනයකින් කතා කරන ආකාරයටයි. ඉන් පසු විදුලිපංකාව ද රෙද්දකින් වැසූවිට ගුවන්යානයක හඞ නිකුත්වෙයි. ඉන්පසු පැමිනෙන්නේ ගුවන්සේවිකාව විසින් මගීන්ට ආහාර සපයන අවස්ථාවයි. අයියාගේ විධානයෙන් නංගී ගොස් ආහාර සූදානම් කරයි. තැටියක් ගෙන එහි අප තුන්දෙනාගේ කෝප්ප තබා ඒවාට සිනි හා කිරිපිටි එක්කර තනාගන්නා විශේෂ ආහාරය දමා රැගෙනවිත් බෙදාහැරීම සිදූකරන්නේ ඇයයි. ඉන්පසු අප තුන්දෙනා එක්වී එහි රස විඳිමු.
කුළි නිවසේ වහලය ටකරන්ය. ඒ නිසා දහවලට උණුසුම දරා ගැනීම ඉතා අපහසුය. එබැවින් අපි දිනපතාම වාගේ ස්නානය කරමු.  ස්නානය කිරීමට ඇත්තේ සිමෙන්තියෙන් බදින ලද විශාල ටැංකියකි. එයට වතුර පුරවා බාල්දියෙන් වතුරගෙන නා ගැනීම දෙමාපියන් සිදුකල ද අප තුන් දෙනාටම ඒ ටැංකියට බැසගතහැකි බැවින් අපි ටැංකියට බැස නා ගනිමු. අම්මා අපට ආකිමිඩිස් ගේ නිරුවතින් දිවූ කතාව කියා දී තිබූ බැවින් අපි ටැංකියට නිරුවතින් බැස ඔහුගේ ඉපිලුම් නියමය ආදර්ශනය කරන්නෙමු.
 එක් දිනක් චිත්‍රපටියක් රූගත කරමුයැයි යෝජනා කොට රූපවාහිනියේ දැක ඇති ජවනිකාවක් රූ ගත කිරීමට සැරසිමු. කතාවේ අධ්‍යක්ෂක තැනද කැමරා ශිල්පියා ද අයියා ය. මම ප්‍රධාන නලුවෙකි. මුලින්ම රූගත කිරීමට තිබුනේ ගෙල වැලලා ගැනීමකි. ඒ සඳහා ලණුවක් ගෙන අපහසුවෙන් අල්මාරිය උඩට නැග ලණුව පරාලයක එල්ලන ලදී. දැන් මට ඇත්තේ මේසය මත පුටුවක් තබා එයට නැග ගෙල වැලලාගෙන පුටුවට පයින් ගැසීමටයි. අයියා සියල්ල සූදානම් කර කැමරාව ඒ දෙසට යොමු කලේය. මම ඇක්ෂන් යැයි කියූ විට පුටුව උඩට නැග්ගෙමි. එවිටම වාගේ සියල්ල කඩාකප්පල් කරමින් තාත්තාගේ මිතුරෙකු නිවසට පැමිණියේ ය. එයින් අපේ සෙල්ලමද නැවතිණි. සකස් කල පසුතලය දුටු තාත්තාගේ මිතුරා කාරණා සියල්ලම අපෙන් දැනගෙන හැන්දෑවේ සිදුවීම තාත්තාගේ කනේ තිබ්බේය. එදා රාත්‍රීයේ ද අයියාට හොඳටම ගුටි කෑමට සිදුවූ අතර නංගිටයි මටයි ද හොඳටම බැනුම් ඇසීමට සිදුවිය. 
     

Monday, August 31, 2015

143 සතිය

අනුන්ගේ වැරදි වලට තමන්ගේ සිත රිදවගන්න එපා. එවිට එය ඔබේ වරදක් වේවී.

Wednesday, August 26, 2015

අප්පච්චී....

කාටත් නොපෙනෙන කවුරුත් නොහඳුනනා
හද තුල තෙරපෙන උතුරා ගොඩගලනා

ඒ ආදරයයි - ඔබගේ ආදරයයි //

සඳකට සැගවී මා වෙත සුව ගෙනෙනා
මා සතුටේ උල්පතටත් දිය බෙදනා
සිහිනෙන් ඇවිදින් මා සුරතල් කරනා
ඒ ආදරයයි - ඔබගේ ආදරයයි

හිරු ඇහැරෙන සඳ නිවසින් පිය මනිනා
මට නොපෙනෙන දුර ඈතක බර අදිනා
නුඔමයි කඩ ඇණ ගමනට මඟ සදනා
ඒ ආදරයයි - ඔබගේ ආදරයයි

Sunday, August 16, 2015

142 සතිය

ලෝකය ගැන හරියට දැනගත් කෙනෙක් මේ ලෝකේ දේකට කැමති නෑ අකමැතිත් නෑ.

Saturday, August 8, 2015

මගේ කතාව 2 - අයියාගේ වීර වික්‍රම

අවසානයේ බයිසිකලය අපේ බාප්පා කෙනෙකුට ඉතා අඩු මුදලකට විකුණා දැමීමට තාත්තාට සිදු විය. අයියා තාප්පයෙන් පැනයන බව ආරංචි වීමත් සමඟ තව දුරටත් දොරගුළු දමායාම නිරර්ථක ක්‍රියාවක් බව පෙනීගිය බැවින්ද, බයිසිකලය විකුණා දැමිමෙන් පසු අපව පාසැල් වෑන් රථයකට යොමු කිරීමට සිදුවූ බැවින්ද අපට නිදහස හිමි විය. නමුත් අම්මා විසින් වෙනත් උපක්‍රමයක් යෙදවීය. උෟරාගේ මාළු ඌරාගේ පිටේතියා කපන්නා වාගේ නංගිගේත් මල්ලීගේත් ආරක්ෂාව අයියාට බාර දීමට අම්මා කටයුතු කළාය. “ඔන්න නංගිවයි මල්ලීවයි ඔයා තමයි බලා ගන්න ඕන. පාරට එහෙම පනින්න එපා. ගෙට වෙලා තුන් දෙනත් එක්ක අපි එනකන් ඉන්න ඕන හරිද?“, නිවාඩු කාලවල දී උදේට අම්මා අයියාට උපදෙස් දෙයි. නමුත් එය වඳුරකුට පූස් පැටව් බලාගන්න දීමක් වැනි විය.
අයියා රස්තියාදුවේ යාමෙන් සොයාගත් මිතුරෙක් විය. ඒ මලිත් අයියාය. මලිත් අයියා අපේ අයියාට ත් වඩා අවුරුදු කීපයකින් වැඩිමාලුය. ඔහු රජ අංකුට්ටෙකි. නමුත් අපිට නම් ඔහු රජවැඩ කාරයෙකි. අපේ අයියා රැගෙන යාමට ඔහු උදේ වරුවේම එන්නේ ය. අයියා ගමනට ලැස්ති වන තුරු මාවත් නංගිවත් පුදුම කරවන විදියේ විජ්ජාවක් කරන්නේ හෝ කතාවක් කියන්නේය. විටෙක ඔහු වතුසුද්ද ගසෙන් පොහොට්ටු දෙකක් කඩාගනී. අපේ ගෙදර වම්පැත්තේ මුල්ලට වන්න වතුසුද්ද මල් ගසක් විය. එසේ කඩාගන්නා පොහෝට්ටු දෙකෙන් අර්ධය බැගින් ඔහු කටෙදමාගෙන ඉතිරි බාග දෙක විසිකරයි. කටේ ඇත්තේ බාග දෙකක් බව දිව ඇද පෙන්වන ඔහු කට වසා තත්පර කීපයක් ගත කරයි. ඉන් පසු කටින් එළියට ගන්නේ සම්පූර්ණ මල් පොහොට්ටුවකි. මෙවැනි විජ්ජාවල් කීපයක්ම ඔහු කර පෙන්වීමට සමත්ය. විටෙක ස්ටෙප්ලර් කටු අතේ ගසාගෙන පෙන්වයි. ඔවැනි දේවල් වලින් අපේ සිත් දිනා ගත් ඔහු අපිට වීරයෙක් විය.
අයියා ඔහු සමඟ රස්තියාදුවේ ගොස් කුමක් කරනවාදැයි අපි නොදනිමු. නමුත් එක් දවසකට අයියා හවස ගෙදර එන්නේ සරුංගලයක් අතැතිවය. තවත් දිනක බැට් එකක් බෝලයක් රැගෙන එයි. එක් දවසක් ඔහු ගෙදර ගෙන ආවේ මාළු ටැංකියකි. ඉන්පසු දිනක එයට ගප්පි වගයක් ගෙනැවිත් දැමීය. ඔහු මලිත් අයියා සමඟ ගප්පි අැල්ලීම සඳහා වෙලේ යනවායැයි කියා යන්නේ ය. මේ හේතුවෙන් හැමදාම වාගේ රාත්‍රියට අයියාට දෝස් මුරය ලැබෙයි. ඒ අම්මාගෙනි. “තෝ ඔය මල්ලි නංගි බලා ගන්නහැටි නේද?“.  මෙසේ කෙතරම් බැන්නද ඒ සියල්ල බීරි අලියාට කරන විනා වැයිල්ලක් විය. අවසානයේ අම්මා වේ වැලක් ද ගෙනැවිත් තැබුවාය. නමුත් එය දිනකට දෙකකට වඩා ප්‍රයෝජනයට ගැනිමට නොහැකි වෙයි. එක්කෝ අයියාට තලන විට ඉන් ආරක්ෂා වීමට බිත්තියකට මුවා වන විට වේ වැල බිත්තියේ වැදී කැඩී යයි. (සමහර විට ඕනැ කමින්ම අම්මා බිත්තියට ගැසුවා ද විය හැක.) නැතිනම් අයියා විසින්ම එය කඩා දමයි. එවැනි දවසකට අම්මා අතට අසුවන කොස්සකින් හෝ පුටුවකින් හෝ අයියාට ප්‍රහාර එල්ල කරයි. නමුත් ඒ එකක්වත් ඉලක්කයට ගසා ගැනීමට අම්මාට නොහැකි වෙයි. බොහෝ විට අයියා දුවගොස් සැඟවෙන්නේ ගෙයි දකුණු පැත්තේ පිහිටි තාප්පයත් බිත්තියත් අතර පිහිටි දොරුව අස්සේ ය. එ දොරුවට රිංගීමට අයියාටද හැක්කේ හරස් අතටය. එතැනට රිංගූ විට සියලු ආරක්ෂාව අයියා ට ලැබෙන්නේ එබැවිනි.
දිනක් සුපුරුදු පරිදි දෙමව්පියන් ගෙදර පැමිණි විට ගෙදර සාමකාමී තත්වයක් තිබිණි. ටිකක් කලුවර වැටීගෙන එනවිට මී පැටව් හඩන සද්දයක් ගෙයි ඇතුලෙන් ඇසෙන්නට විය. තාත්තා අයියා දෙස බැලීය. “ඒ පාර ආයෙත් මී පැටව් ඇති කරන්න පටන් ගත්තද?“ තාත්තා එසේ ඇසුවේ වතාවක් අයියා ගෙයි වහලයෙන් බිමට වැටුනු මී පැටව් වගයක් ලාච්චුවේ දමාගෙන ඇති කරන්නට උත්සහ කල බව සිහි විමෙනි. “නෑ තාත්තේ, මීයෝ නෙවේ. ඒ කුකුළු පැටව්.“ අයියා නිල්පාට කහපාට කුකුළු පැටව් වගයක් මේස ලාච්චුවට යටින් තිබූ කබඩ් එකේ දමා තිබුනේ ය.    

Wednesday, August 5, 2015

141 සතිය

බොහෝ දෙනා ලෝකය ගැන සොයන්න උනන්දු වෙද්දි තමා ලෝකයෙන් මිදෙන අයුරු සොයන්න

Sunday, July 26, 2015

තාම මං තනිකඩය

ගං තෙරේ හැමදාම දිය දහර ගැලුවාට
ළිං පතුල තාමත් ඉරි තලයි දිය නොඑන
තුන්යාමේ සිහිනයක නුඹ මාව සිම්ඹාට
කන්වයින තාමත් තනිකඩය නිදි යහන

කතර ගඟුලක් වේද මල් තුහින වැස්සාට
මලේ පැණි රස වේද සමනළුන් වැසුවාට
සඳේ ලප නැතිවේද වළාවෙන් පිස්සාට
තාම මං තනිකඩය නුඹ ලඟින් හිටියාට

සයුර මට හිමිවේද රළ පතුල් තෙමුවාට
පැලේ තනි නැතිවේද නුඹ ගැනම සිතුවාට
ලඳේ නූඹ මගෙ වේද තුටු වදන් දෙඩුවාට
ප්‍රේම රන් මන්දිරය ඇරෙන්නේ කවදාට

140 සතිය

බොහෝ දෙනා අන් අය ගැන විවෙචනය කරද්දි තමන් තමන් ගැන විවේචනයක යෙදෙන්න

Thursday, July 16, 2015

ඊනියා ආත්ම ගරුත්වය

මගේ හිතවත් මිත්‍රයන් මට කියනවා ඇයි බං උඹ මිනිස්සු ඉස්සරහා චාටර් වෙන්නේ. මිනිස්සුන්ට විහිළුවක් වෙන්න එපා බං උඹ මෝඩයෙක් වගේ පේනවා. උඹ උපාධිධාරියෙක් නේද? ඔහොම නෝන්ඩි වෙන එක උඹේ ආත්ම ගරුත්වයට හොඳ නෑ බං.

ඉතින් මට මෙහෙම කල්පනා වෙනවා, රන් මුතු මැනික් වලින් නැතුව සෙම් සොටු සැරව මළ මුත්‍රාදියෙන් හැදුනු මගේ ආත්ම ගරුත්වය මොක? කලින් අසූචි කන මැස්සෙක් වෙලා හිටියද, ඊ ළගට සෙවල පෙරේතයෙක් වෙිද, එලෝ මෙලෝ නොදන්න, කොහෙන් ආවද කොහේ යන්නෙද නොදන්න මගේ ආත්ම ගරුත්වය මොක? අඩුම තරමින් ලස්සන කෑමක් දැක්කම කටට කෙල උනන එක නවත්තගන්න බැරි කෙලතොල්ලෙක් වගේ ඉන්න, පොත්ත සුදු ලමිස්සියෙක් දැක්කම අහවල් එක කෙලින් වෙනඑකවත් නවත්තගන්න බැරි, නිදහස් වෙලාවක වැසිකිලි යාමවත් යොදාගන්න බැරි මගේ ආත්ම ගරුත්වය මොක?

ඉතින් එහෙම චාටර් මං නිසා හරි, මට හරි මිනිස්සු හිනාවෙන එක කොච්චර දෙයක්ද බොලව්?
 ආත්ම ගරුත්වයට හානි උනා කියලා කෝටි ගනණ් වන්දි ඉල්ලන මහ ලොකු කියුම් කාරයෝ මාරයා "හා දැන් යං පුතා " කිව්වම රෙද්ද පල්ලෙන් බෙරෙන ඊනියා ආත්ම ගරුත්වය. බම්බුව තමා ! 

Monday, July 13, 2015

139 සතිය

සැනසීම යනු අනාගතයත් අතීතයත් කියන බර දෙකෙන් නිදහස් වීමයි

Saturday, July 4, 2015

මගේ කතාව 2 - ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා ලොකු අයියා

අම්මාග‍ේ නිගමනයෙන් පසු එදිනෙදා ගමන් බිමන් සඳහා බයිසිකලය භාවිතා කිරීම ද තහනම් විය. ඒකත් පුදුම දෙයකි. ඒ දිනවල බයිසිකලය නිසා අපේ පවුල කොතරම් වැඩකටයුතු පහසු කර ගත්තාද? ඒත් දැන් ඒ බයිසිකලයම පවුලට අපලයක් වෙලා ලූ. කොහොමින් හෝ අවසානයේ මාවත් අයියාවත් පාසැල් වෑන් රථයකට දැමුවේය. තාත්තා බසයෙන් රස්සාවට ගියේ ය. බයිසිකලයට ගැණූම්කරුවකු ලැබෙන තුරු හදිසි අවස්ථාවකට පමණක් එය ගෙයින් පිටතට ගත්තේ ය.

නිවාඩු කාලයට මමත් අයියාත් නංගීත් ගෙදර දමා අම්මත් තාත්තාත් වැඩට යන නිසා අපේ ආරක්ෂාවට එය තර්ජනයක් යැයි සිතූ නිසා දෝ අම්මලා වැඩට යනවිට අපව අර හුන්ඩුවක් වැනි ගෙයි දමා දොර අඟුළු ලා යන්නෝය. අපිට සිදුවන්නේ ගෙයි ඇතුලට වෙලා කරන සෙල්ලමක් කරන්නයි. මමත් නංගීත් කුඩා බැවින් ඒ පිළිබඳ එතරම් ගැටළුවක් නැතත් කොලු වයසට පැමිණ සිටී අයියාට නම් එය දඟගෙයි ලෑමකි. අප ඒ දිනවල ගෙයි ඇතුලට වෙලා කරන සෙල්ලම් ගැන වෙනම ලියන්නට තරම් දේවල් ඇත.

අපේ කූලී නිවසට දකුණු පැත්තේ තිබුනේ දෙමහල් නිවසකි. එහි ජීවත් වූයේ දමිළ පවුලකි. පිටු පසින් පිහිටියේ මැලේ පවුලක් ජීවත් වූ නිවසකි. එහි ගරාජය පිහිටියේ අපේ නිවසට වම් පැත්තෙනි. නාන කාමරය අසලින්ම ඇති එලිමහන් කොටස රෙදි වේලීමට භාවිතා කෙරිණි. එය දෙපැත්තකින් තාප්පයෙන් වට වී තිබුනා. එක් පැත්තක් පාරට ද අනිත් පැත්ත අල්ලපු ගෙදර ගරාජයට ද සම්බන්ධ විය. ගෙයි ඉදිරිපස දොර විවෘත වන්නේ කෙලින්ම පාරට ය.  අප හදිසියේ වත් එලියට පැන්නොත් පාරේ යන වාහනයකවත් හැප්පේ වී යැයි දෙමව්පියන්ට හිතෙන්නට ඇත. මේ නිසා නිවාඩූ කාලයේ දී අපට සිදු වූයේ සිංහබාහූටත් සිංහ සීවලීටත් සිදු වූ දෙයයි.

නමුත් අයියාට එය තවදුරටත් දරා ගැනීමේ හැකියාවක් නොවීය. මේ නිසා අයියා ලීයක් තාප්පයට හේත්තු කොට තාප්පය උඩට නැංගේ ය. පාර පැත්තට පැනීමට නොහැකි තරම් තාප්පය උස විය. මේ නිසා සිදු වූයේ අල්ලපු ගෙදර ගරාජයට පැනීමට යි. ඒ ගෙදර අපේ අයියාට වඩා අවුරුද්දක් හෝ දෙකක් වැඩිමල් අයිය කෙනෙක් හිටියා. ඔහු ගේ නම රිචී ය. අයියා ඔහුව මිතුරු කරගෙන ඒ පැත්තෙන් ද පුටුවක් තබ්බවා ගත්තේ ය. ගේට්ටුව ද අරවා ගත්තේ ය. පසුව තාප්පයෙන් පැනගත් අයියා රීචී සමඟ සෙල්ලමට වැටිණි.

රිචී ගෙදර නැති දවසට අයියා අමාරුවෙන් ගේට්ටුව දිගේ පහළට බඩ ගා එළියට පැන ගනී. ඉන් පසු අසල් වැසි කොල්ලන් සමඟ රස්තියාදු වේ යන්නේ ය. මෙසේ අයියා ලෙනින් පැන ගත් නමුත් මටත් නංගීටත් කල හැක්කක් නොවී ය. මේ නිසා අපිට සිදු වූයේ සෙල්ලං ගෙවල් හදන්නට පමණි. නමුත් අපි අලුත් වැඩක් ද මේ අතර පටන් ගත්තා. මමත් නංගීත් පෙට්‍රල් සුවඳ ට දැඩි කැමැත්තක් දැක් වීය. මේ නිසා ගෙදර තිබූ බයිසිකලයේ තෙල් ටැංකිය බාගෙට හැර එහි සුවඳ ආග්‍රහනය කරන්නට පටන්ගත්තෙමු. මෙයින් සිදු වූයේ අපව මත් වීමයි. මට විවිධ රූප, පාට සහ විකාර පෙනෙන්නට පටන් ගත්තේ ය. මං එතනින් එහාට සිදුවන්නේ කුමක් දැයි නොදනිමි. නමුත් හවස අම්මා ගෙදර එනවිට අප තැන තැන වැටී නිදා උන්නෙමු. අම්මා සිතන්නේ අප නිදිමතට මෙසේ වැටි නිදා ගන්නවා කියාය. අම්මා “පව් පොඩි එවුන් “ යැයි කියනු ද මට ඇසී ඇත.

මෙසේ අපේ ජිවිත හුදකලාවේ වැඩිහිටියකුගේ ආරක්ෂාවකින් තොරවම වැඩිවියට පත්විය. ඒ වන විට අයියා පහ වසරේ ද මං තුන වසරේද නංගි පළමු වසරේ ද විය. 



Tuesday, June 30, 2015

138 සතිය

ඔබව ඔබෙන් වෙන්කොට දකින්න උත්සහ කරයි නම් හැම දේම තවත් සිදුවීමක් පමණක් වනු ඇත.

Sunday, June 28, 2015

වියෝ දුක

මාස දෙකයි හාද වෙලා හෙට්ටි ගෙදර කෙල්ල එක්ක - දුරකථනේ එල්ලීගෙන නන් දොඩවනවා
තරහ උනයි කියලා ඈ මුළු ලෝකෙම යාලුවන්ට - මුහුණු පොතේ එව්වා මෙව්වා ලියා යවනවා
හිතේ දුකට නොකා නොබී හූල්ලමින් සුසුම් ලමින් - බලා උන්නු අතේ ඔහේ බලා ඉන්නවා
හරි පුදුම්යි ඒකෙත් හැටි අම්මා තාත්තට වැඩියෙන් - එහෙනං ඒ කෙල්ලව දැන් උඹට වටිනවා

උඹේ අම්මා උඹට කවපු හැටි උඹ දන්නෑ මල්ලියේ
අවුරුදු විස්සක් තිස්සේ උඹව හදනවා
කාටත් නොකියා ඇගෙ දුක මුලු ලෝකෙන් වහුං කරන්
ලුනු වෙනුවට බත් හැලියට කදුළු හලනවා

අප්පච්චිත් උඹ දැක්කම මුවින් නොබැන ගෙට ගියාට
හිතේ කදුළු හිටි හැටියේ නෙතට උනනවා
හොඳ තැනකින් කටයුත්තක් හොයා දෙන්න බැරිවද හෙට
අම්මා අප්පා එක්ක ටිකක් කතා කරනවා

Saturday, June 20, 2015

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු 4

දැන් මම ගැන මගේ විග්‍රහය සිදු කිරීම සුදුසු යැයි සිතමි. මෙතෙක් කල් සාකච්ඡා කල දේවල් මෙම විග්‍රහය තේරුම් ගැනීමට උපකාරීවන බැවින් නැවත නැවත එම කොටස් කියවා හොඳ අවබෝධයක් ලබාගෙන මෙම කොටස කියවන ලෙසද ඉල්ලමි.

මා කලින් සඳහන් කල පරිදි ලෝකය යනු කියාවලියන්ගේ ක්‍රියාවලියකි. හරියට අන්තර්ජාලය වැනිය. ඒ සියළු ක්‍රියාවලීන් සැදී ඇත්තේ මූලික ක්‍රියාවන් පහකින් බවද සදහන් කලෙමි. හරියට මේ සියළු දේ කරන පරිගණක ක්‍රියා කරන්නේ විද්‍යුත් ආරෝපණ ඇති නැති බව පමණකින් වාගේය. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ක්‍රියාවන් හතර දන්නා බැවින් අපට සාකච්ඡා කිරීමට ඇත්තේ විඥාන ක්‍රියාව පමණි. ලෝකයේ මමය, සත්වයාය, ආත්මයය ලෙස බොහෝවිට හඳුනාගන්නේ මේ ක්‍රියාවයි. විඥ්‍යාන ක්‍රියාවනම් විජානනයයි. (විජානාති' ති ඛෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණන්ති වුච්චති.) එනම් විශේෂයෙන් දැන ගැනීමයි. උදාහරණයකින් කීවොත් බොහෝ නම් ඇහෙන විට තමාගේ නම ඇසුනු විට ඒ මගේ නම යැයි විශේෂයෙන් දැන ගැනීමක් ඇත. මෙසේ නොයෙක් එවා අතුරින් එකක් දැන ගැනීම විඤ්ඤාණ (විඥාන) ක්‍රියාවයි. එය ඕනැම දැන ගැනීමක් විය හැකිය. සාමාන්‍යයෙන් දැන ගැනීම් හතරක් දැක්විය හැක. එනම් රූප දැන ගැනීම, වේදනා දැන ගැනීම, හඳුනා ගැනීම් (සංඥා) දැන ගැනීම, සිතුවිලි (චේතනා) දැන ගැනීම යි.

දැන් අපි ලෝකයේ මූලික ක්‍රියාවන් පහම සාකච්ඡා කල බැවින් ලෝකයේ සිදුවීම් විග්‍රහ කර ගැනීමට එම දැනුම භාවිතා කිරීමට උත්සහ කරමු. අපි පෙනීම සිදුවන හැටි මෙම ක්‍රියා පහෙන් විග්‍රහ කරගන්න බලමු. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ක්‍රියාවන් වල ක්‍රියාකාරීත්වය නිසා වර්ණ රූප හටගනී. එසේම එම මූලික ක්‍රියාවන් නිසා අතීත හේතු (අතීත හේතු බලපාන හැටි අප සාකච්ඡා කර ඇත්තෙමු. මෙහි අතීත හේතුව ද විඥාන වේ) ද උපකාරී වීමෙන් ඇසේ ප්‍රසාද රූපය ද හටගනී. මෙම වර්ණ රූප ද ප්‍රසාද රූපයෙහි ගැටුනු කල විඤ්ඤාණ (ක්‍රියා) පහක් ඇතිවේ.
එනම් ඇසේ වර්ණයක් ගැටුනා කියන රූපය දැනීම, ඒ ගැටුණු වර්ණය සැපය හෝ දුකය හෝ වශයෙන් වේදනාව දැනීම, ඒ ගැටුණු වර්ණය රතුය නිල්ය ආදී වශයෙන් සංඥාව දැනීම, වර්ණයක් දැක්කා බැලුවා ආදී වශයෙන් චේතනාව දැනීම, නැවත නැවත ඒ වර්ණය දකිමී යන කර්ම-ඵල දැනීම (ඊ ළඟ දැකීමට හේතුවන අතීත හේතුව ලෙස ඉහත සඳහන් කල විඥානය) යන පහයි.
දැන් දැකීම යන ක්‍රියාව සිදුවන හැටි පැහැදිලි ඇතැයි සිතමි. මෙසේ අනෙක් රස දැනීම, ශබ්ද ඇසීම, පහස දැනීම, ගන්ධ දැනීම හා සිතුවිලි පහලවීම යන ක්‍රියාවන් සිදුවන හැටිද වටහා ගත යුතුය. දැන් මම දකිමි, මම අසමි, වශයෙන් සිදුවන්නේ සිතුවිලි පහල වීම නම් ක්‍රියාවයි. අපට අතීතයක් තිබුනා, අනාගතයක් ඇතැයි සිතෙන්නේ අතීත හේතුවල බලපෑම නිසයි. උදාහරණයකින් කීවොත් කෝපී ඇටෙන් පැලයක් හටගත් පසු එම ඇටේ එහි නැත. ඉන්පසු ගස වැඩෙන්නේ පොළවේ, ජලයේ, වායුවේ ඇති සාරයෙනි. නමුත් අපි හැමදාම එයට කෝපි ගසක් යැයි නියනු මිස පොළවේ ගස හෝ, පස් වතුර වායූ ගස හෝ නොකියයි. ඒ අතීත හේතුව කෝපී ඇටයක් වීමයි. එසේ අපි ද ඉස්සරත් මං හිටියා දැනුත් මං ඉන්නවා යැයි කියයි. නමුත් අතීතයේ මගේ කිසිදු දෙයක් දැන් නැත. දැන් ශරීරය ඇත්තේ දැන් කන ආහාර නිසා මිස කුඩා අවදියේ කෑ ආහාර නිසා නොවේ. දැන් පහලවන සිතුවිලි ද දැන් ලැබෙන අරමුණු නිසා ඇතිවනවා මිස කුඩාකල ඇති වූ සිතුවිලි දැන් නැත. ඒ නිසා මම කියා කාලයක් පවතින දෙයක් නැත. නමුත් සම්මුති කතාවේ දී මම යැයි හැඳින්වීමේ ද දෝශයක් නැත.
මම ගැන මගේ විග්‍රහය අවසන්ය. යම් ගැටළුවක් ඇත්නම් හෝ අදහසක් ඇත්නම් සඳහන් කරන ලෙස ඉල්ලමි. ඊ ලඟ ලිපියෙන් අපහැදිලි ගැටළු සහගත තැන් පිළිබඳව ද අපි තවදුරටත් අවබෝධ කරගතයුතු කාරණා පිලිබඳව ද සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි.

ඔබට නිවන් සුව ලැබේවා !    

137 සතිය

සටන ඇත්තේ ලෝකයා සමග නොව තමාගේම සිත සමගයි

Saturday, June 13, 2015

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු 3

අප මෙතෙක් සාකච්ඡා කලේ හෞතික නැත්නම් පසිඳුරන්ට ගෝචර ලෝකය හා එහි යතාර්ථය පිළිබඳයි. ඒ ගැන ඔබට දැන් හොඳ අවබෝධයක් ඇතැයි සිතමි. මී ළඟට අපට සොයා බැලීමට ඇත්තේ ආත්මය යැයි වෙනත් දර්ශණයන් තුල පැවසෙන මේ මම  පිළිබඳවයි. මට ඉදිරිපත් කැරුණු ගැටළුවද මේ පිළිබඳවයි. නමුත් මගේ අදහස දක්වන්නට මත්තෙන් ලෝකයේ පවතින අදහස් කීපයක් සලකා බැලීම ද යොග්‍ය යැයි හැඟෙන බැවින් මුලින් ඒ පිළිබඳව කරුණු ටිකක් ඉදිරිපත් කරමි.

 මා දැනගත් පරිදි ලෝකයේ පවතින සියලු දර්ශනයන් ප්‍රධාන කොටස් දෙකකටද ඒ එක් එක් කොටසක් තවත් කොටස් දෙක බැගින් කොටස් හතරකට ද බෙදේ. උච්ඡේද වාදය හා ශාස්වථ  වාදය ලෙස බුදු දහමෙහි මෙම ප්‍රධාන කොටස් දෙක හැඳින්වේ.
එක් අදහසක් නම් ස්ථිර වූ යමක් ඇත යන්නයි. අනෙක් අදහසනම් කිසිවක් නැත යන්නයි. මෙම අදහසින් පළමු අදහස කොටස් දෙකක් වන්නේ මෙසේය:
ආත්මයයි ස්ථිර දෙයක් පවතින අතර එය මරණින් මතු සදාකාලික ජීවිතයකට පැමිණේ යන්න එක් මතයක් වන අතර එම ආත්මය මරණින් මතු සදාකාලික ජීවිතයකට නොගොස් දිගටම නැවත නැවත ඉපැදෙමින් ශරීර පමණක් වෙනස් කරමින් පවති යන්න අනෙක් අදහසයි.
දෙවන ප්‍රධාන අදහස කොටස් දෙකක් වන්නේ මෙසේය:
මේ ලෝකයතුල සියල්ල මරණින් අවසන් වන අතර ආත්මයයැයි ස්ථිර වූ දෙයක් නැත යන්න එක් මතයක් වේ.  මේ ලෝකය ශුන්‍ය යැයිද අපට ඇති ලෙසට පෙනෙන හැඟෙන සියල්ල මන:කල්පිතයක් (හරියට හීනයක් වගේ) පමණක් බවද අනෙක් මතයයි.

අප මෙම මත හතර පිළිබඳව ටිකක් සොයා බලමු. ආත්මයයැයි ස්ථිර වූ යමක් ඇත්නම් ඒ ස්ථිර වූ ආත්මය කුමක්ද? එය පාලනය වන්නේ කෙසේද? එය තිබෙන්නේ ශරීරයේ කුමන ස්ථානයක මොන ආකාරයකින්ද? අප දන්නවා අපි ඉපැදෙන මොහොතේ යමක් තිබුණි නම් ඒ අපේ ශරීරයත් මනස නමින් හැදින්වෙන සිතුවිලි සමූහයත් පමණි. එම ශරීරයේ කිසිවක් වැඩිවියට පැමිණෙන විට නොපවතින බව ඕනැම සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුට වැටහිය යුතුය. අඩුගානේ මැරුණට පස්සෙවත් ඒ සියල්ල පොළවටම එකතුවන බවවත් වැටහිය යුතුය. එසේනම් ආත්මයයැයි අප සලකනු ලබන්නේ අපේ සිතුවිලි සමූහය විය යුතුය. නමුත් හොඳින් කල්පනා කලවිට අපට වැටහෙනවා අපි කුඩාකල සිතූ කිසිවක්, ගති ලක්ෂණ කිසිවක් දැන් ඇත්තේ ද සිතන්නේ ද නැති වග. ඔනෑ තරම් “ඉස්සර හිටිය ඔයා නෙවේ දැන් ඉන්නේ“ යන පාඨය ඔබ ද අසා ඇතැයි මම සිතමි. එයින් අදහස් වන්නේ කලින් තිබූ අදහස්, මත, හැඟීම්, ගති ලක්ෂණ සියල්ල දැන් වන විට වෙනස් වී ඇති බවයි. එසේ නම් ස්ථිර වූ යමක් ඇත යන්න කොතරම් දුරට සාධාරණ දැයි අප සිතා බැලිය යුතුය.

අනෙක් මතයනම් කිසිවක් නැත යන්නයි. එයින් පළමු මතය වන සියල්ල මරණින් අවසන් වේ යන්න නම් අපට විග්‍රහ කරගතයුතු වන්නේ ඕනෑම දෙයක් කර මේ ජීවිතය හැකි පමණ සතුටු විය යුතුයි කියාය. නමුත් එසේ පවසන ඇතමුන්ද හොල්මන්, මලගිය ඇත්තන් විශ්වාස කරයි. එය සර්ව භෞතිකවාදී දර්ශනයකි.
ලෝකය ශුන්‍ය යැයි යන්න නම් තර්කානූකූලව පැහැදිලි කල නොහැක්කකි. මන්ද සියල්ල මන:කල්පිත නම් මගේ මන:කල්පිත ලෝකයේ පවතින දේ ඔබේ මන:කල්පිත ලෝකයේ පැවතීම තර්කාණුකූල නැත. මගේ මන:කල්පිත ලෝකයේ ඔබ සිටීම ද ඔබේ මන:කල්පිත ලෝකයේ මා සිටීම ද තර්කාණුකූල නැත.

මෙම මත හතරට අමතරව යම් මතයක් පවතී නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි. මෙම මත හතරින් යම් මතයක ඔබ සිටී නම් සහ තව දුරටත් එය නිවැරදි යැයි හැඟේ නම් ඉදිරිපත් තරන මෙන්ද ඉල්ලා සිටිමි. එවිට අපට ඒ පිළිබඳව වඩාත් ගැඹුරට සාකච්ඡා කල හැකි වෙයි. මම මම විග්‍රහ කරන ආකාරය ඊ ළඟ ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ඔබ මම ගැන සිතාබලා නිවැරදි අදහසකට අවබෝධයකට පැමිණිමට උත්සහ කරත්වා. තෙරුවන් සරණයි.

ඔබට නිවන් සැප ලැබේවා ! 

Tuesday, June 9, 2015

136 සතිය

අප ජීවත්වන්නේ මන:කල්පිත ලෝකයකයි. සෑබෑ ලෝකය තුල ජීවත් වන්නෙක් නැත.

Sunday, June 7, 2015

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු 2

ක්‍රියාව හා ශක්තිය 

මං කලිනුත් සදහන් කලා ක්‍රියාව හා ශක්තිය කියන්නේ දෙකක් නෙවේ එකක් කියලා. මොකද යම් ක්‍රියාවක්ම තමයි ශක්තිය ලෙස අපට විද්‍යාමාන වන්නේ. හෞතික විද්‍යාවේ උනත් ඒ දෙකම මනින්නේ ජූල් කියන එකම ඒකකයකින් සහ දෙකටම තියෙන්නේ එකම මාන. ඉතින් ශක්තියේ ස්භාවය තමයි ක්‍රියාවේ යෙදෙන එක. ඉතින් මේ ලෝකේ නිර්මිත වෙලා තියෙන්නේ ශක්ති පහකින්. ඒ තමයි ආපෝ, තේජෝ, වායෝ, පඨවි, විඥ්‍යාන කියන්නේ. කලින් ලිපිවල සඳහන් කලත් ඔබේ පහසුව පිණිස නැවත මේ එක් එක් ශක්තීන්ගේ ක්‍රියාකාරීත්වය යම් පමණකින් හෝ මෙහිදී ද සඳහන් කරමු.

ආපෝ යනු ආකර්ශණ ශක්තියට අනුරූප ක්‍රියාවක්. එයින් ශක්තීන් එකතු කරනවා. එනම් අනෙක් හෞතික ක්‍රියාවන් තුන එක්කරනවා. ඒ වගේම ක්‍රියාවලින් දෙකක් උනත් එක් කරන්න පුළුවන් උදාහරණයකින් කිව්වොත් තඹ කුට්ටි දෙකක් එකට තිබ්බට ඒ දෙක එක කුට්ටියක් වෙන්නෙ නෑ. නමුත් ඒ දෙක අතර ආපෝ ක්‍රියාව වැඩි කලොත් ඒ දෙක එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ද්‍රව කලොත්.
වායෝ යනු ප්‍රසාරණය කිරීමයි. ආපෝ වලින් එක් කරන ක්‍රියාවන් වෙන් කිරීම වායෝ ක්‍රියාවේ ප්‍රධාන ලක්ෂණයයි. සියළු වස්තූන්ට යම් ප්‍රමාණවත් බවක් (පරිමාවක්) ලැබෙන්නේ එබැවිනි. නැතිනම් සියළු ක්‍රියා එක් ලක්ෂයකට සීමා වේ.
පඨවි ක්‍රියාවනම් දැඩිබවක් කර්කශ බවක් ඇති කිරීමයි. අපේ ශරීරයට දැනෙන්නේ මේ ක්‍රියාවයි. 

 තේජෝ කියන්නේ ශක්තින්ගේ ක්‍රියාවේ ස්වරූපය වෙනස් කිරීම. මෙහිදි අවධාරණය කල යුත්තේ ස්වරූපය වෙනස් කිරීම යනු ඇති දෙයහි වෙනසක් කිරීම නොව ඉපැදෙන ක්‍රියාව නැවත ඒ අයුරින්ම ඉපැදීමට නොදී වෙනත් අයුරකින් ඉපැදීමට ක්‍රියා කිරීමයි. උදාහරණයකින් කියනවනම් මුලින් ඉපැදුනු ආපෝ ක්‍රියාව එකක් නම් තේජෝ ක්‍රියාව නිසා ඊ ළඟට උපදින ආපෝ ක්‍රියාව දහයක් විමයි. එහිදි කලින් හටගත් ආපෝ ක්‍රියාව දහගුණයක් වීමයැයි ගැනීම වැරදි ගැනීමකි. මන්ද ඕනෑම ක්‍රියාවක ඇත්තේ හටගෙන ක්‍රියාව සිදුකර එතැනම අවසන් වීම මිස ක්‍රියාවේ වේගය, ආකාරය, තරම වෙනස් කිරීමක් නොවේ.


හේතුව හා ඵලය

ලෝකය ගැන යම් අවබෝධයක් දැන් අපට ඇත. නමුත් මම ගැන සෙවීමට පෙර ලෝකයේ ක්‍රියාකාරීත්වය හෙවත් හේතු ඵල නියාය ගැන අවබෝධයක්ද ලබා ගැනීම සුදුසු යැයි සිතමි. හේතුව හා ඵලය ගැන කතා කරන විට අපට අතීත හේතූ වර්තමාන හේතූ යැයි දෙකක් අසන්නට ලැබේ.පටිච්ඡ සමුප්පාදයේ එන්නේ වර්තමාන හේතු බව ඉහත ලිපි පෙළ කියවූ අයටනම් වැටහීමක් ඇති යැයි සිතමි. නමුත් සාමාන්‍ය ලෝකයාට ඇත්තේ අතීත හේතු පිළිබඳ අවබෝධයකි. අතීතයේ සිදුවූ යම් ක්‍රියාවක් නිසා වර්තමානයේ ප්‍රතිඵලයක් ලැබේ යැයි ඔවුන්ගේ හැඟිමයි. එහි වරදක් නැතත් එහි යම් අඩුවක් ඇත. මන්ද අතීත හේතුවක් නිසා වර්තමාන ප්‍රතිඵලයක් ලැබේයැයි ගැනීමෙන් නැති දෙයකින් යමක් හට ගැනීමක් අදහස් වේ. මොකද අතීත ක්‍රියා කිසිවක් දැන් නොවේ නම් වර්තමානයේ ක්‍රියාවකට එය හේතුවක් වෙන්නේ කොහොමද? එය හරියට ගිය සතියේ කාපූ කෑමකට දැන් බඩපිරුණා කීම වැනිය. ඒ නිසා සෑම ක්‍රියාවකටම වර්තමාන හේතු තිබිය යුතුය. නමුත් අතීත හේතු නැතැයි ගැනීමද නොමඟ යැමකි. එසේනම් බුදුන් වහන්සේ කීයටවත් පෙර කල අකුසලයක් නිසා මෙය සිදු වී යැයි නොවදාළති. අපි එය උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.
කෝපි මලකට අනන්‍ය වූ සුවඳක් ඇත. නමුත් ඒ සුවඳ කෝපි ගසේ කිසිම කොටසක නැත. කෙනෙක් කෝපී ඇටයක් පැල කලා යැයි සිතමු. ඒ ඇටේ කෝපී මල් සුවඳ නැත. ඉන් හටගන්නා පැළයේවත් ඒ සුවඳ නැත. නමුත් එහි හටගන්නා මල පෙර මලෙහි තිබූ සුවඳම විහිදුවයි. එයින් රෝස මල් සුවඳක් වහනය නොවේ. මීට හේතුව පැලකල ඇටය කෝපී ඇටයක් විමයි ගැනීම වරදක් නැත. නමුත් ඇත්තටම නම් මලේ සුවඳට හේතුව මලේ ක්‍රියාවමයි. ඒ නිසයි මල නැසීමෙන් සුවඳ නැසිය හැක්කේ. නමුත් ඒ මලේ ක්‍රියාව රෝස මලේ ක්‍රියාවක් නොවී කෝපි මලේ ක්‍රියාවක්ම වූයේ එය කෝපී ගසෙහි හටගත් නිසයි. එනම් අතීත හේතුවයි.

හේතු ඵල දහම ගැන තවත් දැනගතයුතු කරුණක් ඇත. එනම් අපට කිසිම ක්‍රියාවක් සිදුවන්නේ කෙසේදැයි නොකිය හැකි අතර අපට කිව හැක්කේ එසේ වන්නේ ඇයි යන්න පමණි. නෙළුම් අලනම් කොපමණ කලක් ගියද මඩ හා ජලය ඇති විට පැල වෙයි. නමුත් එය සිදුවන්නේ කෙසේදැයි අපි නොදනිමු. එසේම අතීත හේතු වර්තමාන ක්‍රියාවන්ට බලපෑවත් එය වන්නේ කෙසේදැයි අපි නොදනිමු.

දැන් අපි භෞතික ලෝකය ගැන හුඟක් කරුණු දන්නා බැවින් දැන් මම ගැන සෙවීමට පහසුය. ඒ කොටසට යන්න මත්තෙන් මෙතෙක් සාකච්ඡා කල දේ ගැන යම් අදහසක් ගැටළුවක් ඇත්නම් දක්වන මෙන් ඉල්ලා සිටිමු. ඔබට තෙරුවන් සරණයි.

නිවන් සැප ලැබේවා !



Saturday, June 6, 2015

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු

යථාර්තය සොයා යටතේ ඉදිරිපත් කිරීමට සිටී කාරණා අවසන් උනත් පාඨක ඉල්ලීම් මත ඔවුන්ගේ ගැටළු වලට පිළිතුරු සැපයීමට දුන් පොරොන්දුව අනුව හැකි අවස්ථා වලදී ඒවාට පිළිතුරු සැපයීමට මම උත්සහ කරමි. ඒ අනුව එක් මිතුරියකගේ ඉල්ලීමකට අනුව මෙම ලිපිය ලියනු ලැබේ. මෙම ලිපිය ඇයට පමණක් නොව අනෙක් මිත්‍රයන්ට ද ප්‍රෙයා්ජනවත් වේ යැයි මම සිතමි.

ඇගේ ගැටළුව සත්වයාගේ සංසාර ගමන පිළිබඳවයි. අප කවුරු තුලත් පවතින මමත්වය නැතිනම් මගේ පැවැත්ම යන හැඟිම නිසා අපි කොහෙන්ද ආවේ කොහේටද යන්නේ කියන ගැටළුවත් ඊට යම් යම් පිළිතුරුත් ඒ ඒ පුද්ගලයන් තුල දක්නට ලැබෙනවා. මෙන්න මේ ගැටළුවම තමයි ඇයත් ඉදිරිපත් කර තිබුනේ. මෙම ගැටළුවට මා සඳහන් කල පරිදි විවිධ පුද්ගලයන් තුල පවතින පිළිතුරු පලමුව සාකච්ඡා කිරීමටත් ඉන්පසුව ඒවායින් නිවැරදි පිළිතුරක් තොරා ගැනීමටත් අපි උත්සහ කර බලමු.

අපි පළමුව මෙම පර්යේෂණය කොටස් කීපයකට වෙන්කර සිදු කරමු. එවිට අපට වඩාත් නිවැරදි පිළිතුරකට පැමිණිය හැකි වේවී.
ලෝකය සහ මම

අපිට ප්‍රධාන වශයෙන් මේ ලෝකය භෞතික හා අභෞතික ලෙස කොටස් දෙකකට වෙන්කර දක්වන්න පුළුවන්. මෙයින්, භෞතික කොටස මාතෘකාවේ ලෝකය ලෙසත් අභෞතික කොටස මම ලෙසත් සඳහන් කලෙමි. හෞතික ලෝකය යනු අපට පෙනෙන දැනෙන ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට ගෝචර දේවල් බැවින් ඒ ගැන වැඩි ගැටළුකාරී බවක් අපට දැනෙන්නේ නැත. මිනිසුන්ට ගැටළුවක් වී  ඇත්තේ අනෙක් කොටසයි. එනම් මනසට පමනක් ගෝචර වන මේ මම යන හැඟීමයි. මොකද අභෞතික ලෝකය හැම විටම යම් සත්වයෙක් මුල් කරගෙනයි පවතින්නේ. ඒ නිසා ඒ යියළු සත්වයන් මම යන පොදු නාමයෙන් දැක්විය හැක. මන්ද ඒ ඒ සත්වයන් ඒ ඒ සත්වයන් හඳුන්වාගන්නේ “මම“ලෙසටයි.

හෞතික ලෝකය ගැන එතරම් ගැටළුවක් නැතත් ලිපියේ පූර්ණත්වය සලකා ඒ පිළිබඳවත් යම් තරමකට හෝ පර්යේෂණය කිරීම අභෞතික ලෝකය තේරුම් ගැනීමටත් උපකාරී වේ යැයි සිතමි. මන්ද පෙනෙන දැනෙන ලෝකය ගැන අවබෝධයකින් තොරව නොපෙනෙන ලෝකය තේරුම් ගැනීම ඉතා දුෂ්කර බැවිනි.

 ලෝකය ගැන සම්පූර්ණ විස්තරයක් මගේ මුල් ලිපිවල අන්තර්ගත බැවින් මෙහි දි ඒ පිළිබඳ කෙටි විස්තරයක්
පමණක් දක්වමි. අපි එහිදී මේ ලෝකය ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මූලික ශක්තීන්ගෙන් නිර්මිත බව දැන ගතිමු. මෙහිදී අවධාරණය කලයුතු කරුණක් වන්නේ ශක්තියක් ලෙස හදුන්වන්නේ දෙයක් නොව ක්‍රියාවක් බවයි. මන්ද අපි භෞතික විද්‍යාවේ දී ශක්තිය ගබඩා කර තැබීමක් ගැන සඳහන් කරන බැවින් ශක්තියත් අක්‍රිය අවස්ථාවේ පවතිනවා යැයි කෙනෙකුට හැඟී යා හැක. නමුත් මෙහි සඳහන් කරන නැත්නම් ලෝකය නිර්මිත වී පවතින කිසිම ශක්තියක් අක්‍රිය අවස්ථාවේ නොපවතින බව තේරුම් ගත යුතුය. ඒ පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි. එවිට එය වඩාත් විස්තරාත්මකව සාකච්ඡාවට බඳුන් කල හැකිය.
අපි මෙම මූලික ශක්තීන්ගෙන් එකක් පමණක් මෙහිදි සාකච්ඡා කිරීම සෑහේ. මන්ද එවිට අනෙක් තුන ගැනද අදහසක් ගත හැකිය. ආපෝ යනු ගලායන වැගිරෙන, ඇලෙන ස්භාවයයි (ආකර්ශන ශක්තිය). අපි දන්නවා මෙම ස්භාවය සෑම වස්තුවකම තියෙනවා. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ ගලායාමේ ශක්තිය සෑම වස්තුවකම ගබඩා වෙලා තියෙනවා ගලායනකොට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. එයින් අදහස් වෙන්නේ සෑම වස්තුවක්ම ගැලීම, ඇලීම නම් ක්‍රියාවන් හී යෙදෙන බැවින් ආපෝ ගුණය සෑම වස්තුවකම ඇති බවයි. ඉතින් මේ වාගේ තේජෝ, වායෝ, පඨවි කියන ක්‍රියා තුනම ද සෑම විටම ක්‍රියාවේ යෙදෙනවා. මේ නිසා මේ ලෝකය නිර්මිත වෙලා තියෙන්නේ ක්‍රියාවන්ගෙනුයි. ඒ නිසා මේ ලෝකය ක්‍රියාවලින්ගේ එකතුවක් ලෙස දැක්විය හැකිය.
මේ ක්‍රියාවලීන් එකට එකක් වෙන් වී ක්‍රියාත්මක වන නිසා අපට ඒ ඒ වස්තුන් එකිනෙකින් වෙන් කොට හදුනාගන්න පුළුවන්. උදාහරණයකට පොත් දෙකක් එක ලඟ තැබුවහොත් එක් පොතක ක්‍රියාවලිය අනෙක් පොතෙහි ක්‍රියාවලිය සමඟ මිශ්‍ර වී එක පොතක් බවට පත් නොවීම දැක්විය හැකියි. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ පොත් දෙක කිසිසේත් එක පොතක් කල නොහැකී කියා.
මේ අනුව අපට පෙනී යනවා ලෝකය යනු ක්‍රියාවලීන් අනන්ත ප්‍රමාණයක එකතුවක් බවත් ඒ ඒ ක්‍රියාවලීන් බොහෝ විට එකිනෙකින් ස්වායක්තව ක්‍රියාත්මක වුවත් යම් යම් අවස්ථාවලදී එක් එක් ක්‍රියාවලින් අනෙක් ක්‍රියාවලින් සමඟ ද අන්තර්ක්‍රියා කරන බවත්.
මී ළඟට අප තේරුම් ගතයුත්තේ ක්‍රියාවක් යනු කුමක් ද? එහි ගති ලක්ෂණ කෙසේද? යන්නයි.  ඒ පිළිබඳව ඊ ළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. ඔබට තෙරුවන් සරණයි.

නිවන් සැප ලැබේවා !

Monday, June 1, 2015

මගේ කතාව 2 - යතුරුපැදියේ මාරයා

 අපි කොළඹට සංක්‍රමණය වන විට අයියා උන්නේ හතර වසරේය. ඒ නිසා අයියාට යමක් කමක් තේරෙන බැවින් මාව බලා ගැනීමේ වගකීමෙන් කොටසක් අයියාට ද හිමි විය. පාසලේ දී අනෙක් ළමුන්ගෙන් සිදුවන අඩන් තේට්ටන් වල දී ද වෙනත් අකරතැබ්බ වලදී ද මා වෙනුවෙන් අයියා ඉදිරිපත් විය. කවුරුන් හෝ මට තරවටු කලහොත් අයියාගේ පවර් ගෙන මම ද ඔවුන්ට ප්‍රති වාග් ප්‍රහාර එල්ල කරයි.

මෙසේ කාලය යද්දී සිදුවූ එක් සිදුවීමක් මට මතකය. මම එතරම් කාර්යය ශූර්යය ළමයෙක් නොවුනත් අනෙක් ළමුන් හා කරට කර වැඩ කිරීමේ උවමනාවක් මට ද තිබුනු බැවින් මටත් පුළුවන් යැයි පෙන්වීමට උඩවල් වල, ගස් වල නැගීමට, අල්ලන සෙල්ලං වැනි මහන්සි වන වැඩ කිරීමට පෙළඹුනි. දිනක් විවේක කාලයේ දී පාසැල් භුමියේ පිහිටි කපා දැමූ ගසක කොටයක් මතට නැගෙමින් එයින් බිමට පනිමින් ළමුන් ක්‍රිඩාවක යෙදී සිටිනු දුටු මම මටත් පුළුවන් යැයි සිතා කොටය උඩට නැග එයින් බිමට පැනීමට බිම බැලිමී. මට එවිට බියක් ඇති වී පනිම් දෝ නැද්දෝයි කියා සිතමින් සිටින විට මට පිටු පසින් කොටය මතට නැඟි සිසුවා “පනිනවා ඕයි ඉක්මනට“ කියා මාව තල්ලු කලේ ය. නොසිතූ මොහොතේ ලැබුනු තල්ලුවෙන් මා විසි වී ගොස් බිම වැටී අත පය තුවාල විය. ඒ වේලාවේ මිතුරන් එක් වී වහා ගොස් ගුරු මැණි කෙනෙකුන් ට දන්වා මට බෙහෙත් දැමීමට යුහුසුළු විය. තාත්තාට දුරකතන ඇමතුමක් දුන්අතර තාත්තා එනතුරු මා බලා ගැනීමට අයියා ට සිදුවිය.

කාලයක් ගතවන විට තාත්තා ට උසස් වීමක් ලැබුනු අතර තව දුරටත් අපි දෙන්නාව තාත්තාගේ රැකියා ස්ථානයේ හවස් වරුවේ තබා ගැනීමට දුෂ්කර විය. ඒ නිසා මාව හවස් වරුවට බලා ගැනීම අයියාට බාර දී මාවත් අයියාවත් පාසැල් ඇරුණු පසු ගෙදරට ගෙනැවිත් දමා දොරවල් වසා නැවත වැඩට යාමට තාත්තා පුරුදු විය. ඒ අතරතුර තාත්තා ව කවුරුන් හෝ සෙව්වොත් ගැටළු මතුවිය හැකි බැවින් අපව ගෙදරට දමා හැකි ඉක්මනින් නැවත වැඩට යාමට තාත්තාට සිදු වූ අතර වැඩපලේ සිටින මිතුරන්ගෙන් ද උපකාර ලැබිණ. එසේ යන එක් දිනක තාත්තා අනතුරට පත් වී තිබිණ. අපි ගෙදර සිට තාත්තා පරක්කු මොකදැයි හැන්දෑවේ බලා උන්නෙමු. ඒ කාලයේ ජංගම දුරකතන ද නොතිබූ බැවින් සොයා බැලීමට විධියක් ද නොතිබිනි. නමුත් බිම් කළුවර වැටීගෙන එනවිට තාත්තා අතපය වෙලාගෙන පයින්ම ගෙදර ආවේය. තාත්තා අනතුරට පත් වී තුබූ අතර බයිසිකලය පොලීසිය බාරයේ තිබිනි.

තවත් දිනක් ගේ ගිනි ගැනීමට ද බයිසිකලය හේතු විය. එදා පුරුදු පරි දි අම්මා වැඩට ගොස් සිටි අතර මමත් අයියා ත් පාසල් යාමට සූදානම් වී සිටියෙමු. එදා උදේ වරුවේ විදුලිය ද බිඳ වැටී තිබුනි. තාත්තා බයිසිකලය ක්‍රියා කරවීමට උත්සහ කලත් එහි දෝශයක් විය. විදුලියත් නොමැති බැවින් තාත්තා ඉටි පන්දමක් දල්වාගෙන බයිසිකලය අලුත් වැඩියා කිරීමට පටන් ගත්තේය. එකපාරටම ඉටිපන්දම පෙරැලි තෙල් වලට ඇවිලීගොස් විශාල ගින්නක් ඇතිවිය. එයින් නැගුනු ගිනිදැල් වහල දක්වා උසට විය. ඇතුලේ සිටි අපි වතුර ගෙනත් ගැසුවෙ මු. ගෝනී ගෙනත් දැමු විට එවාට ද ගිනි ඇවිලිනි. මෙවිට බයිසිකලයට ගිනි ඇවිලි තිබුනු බැවින් එය පිපිරී යාමේ අවධානමක් ඇති බව දැනගත් තාත්තා වහා බයිසිකලය දෑතින් ඔසවා එලියට විසි කලේය. එවිට පාරේ යමින් සිටි තරුණ අයියලා දෙදෙනෙක් පැමිණ බයිසිකලයට වැලි ද පස් ද ගසා ගින්න නිවා දැමීය. ඒ අතර තාත්තා වතුර ගසා කෙසේ හෝ ගෙයි ගින්න මැඩ පැවැත් වීය. එයින් ගෙදර තුබූ බඩු කීපයක්ම අර්ධ වශයෙන් පිලිස්සුණි.
මෙම සිද්ධිය සැළ වූ පසු අම්මාගේ නිගමනය වූයේ බයිසිකලය අපට අපල බවත් වහාම බයිසිකලය විකුණා දැමිය යුතුය යන්නයි.   

Sunday, May 31, 2015

135 සතිය

සුළඟට ඔබේ නිරුවත පෙනේ නම් එය සුළඟේ වරදක් නොව ඔබේ ඇඳුමේ වරදක් බව සිතන්න.

Wednesday, May 27, 2015

මට නොතේරෙන ලොවේ ප්‍රේමය

ඔය තරම් මිහිිරි නම් ලාෙවේ ප්‍රේමයක්
අැයි ඉතින් ලියැවුනේ විරහ ගීතයක්

එක් වරක් පෙම් කවක් අසන්නට ලැබුනා
සිය දහස් වාරයක් විරහ ගී ගැයුනා

අෑ ඔබෙන් ඔබ අැගෙන් පතන අාදරේ
මිහිරි පැන් පැතුව සේ ලෙසද සාගරේ

දුන් දෙයක් නැති වුනත් දුකක් නෑ සිතේ
අාදරේ පිදුවනම් අැයි කඳුළු නෙතේ

Thursday, May 21, 2015

134 සතිය

යහපත් මිතුරා මතක් වන්නේ උපකාරයක් අවශ්‍ය විටයි.

Saturday, May 9, 2015

133 සතිය

අපේ ජීවිත වැල්ලේ හදන මාලිගා වැනිය. කොයි මොහොතේ හෝ රැල්ලට ගසාගෙන යන්නේම ය. ඒ බව දැන දැනත් ආසාවෙන් නැවත නැවතත් සාදන්නෝය.

Sunday, May 3, 2015

මගේ කතාව 2 - දෙවන පාසැල

මමත් අයියාත් රැගෙන අම්මාත් තාත්තාත් පෙබරවාරී මාසයේ මැද දවසක මහානාම විද්‍යාලයට ගිය හැටි මට තවමත් යන්තම් මතකයේ ඇත. මුලින්ම මුල් ගුරුතුමාගේ කාර්‍ය්‍යාලයට ගොස් ඔහු සමඟ මඳ වේලාවක් සාකච්ඡා කල පසු අප අදාල පන්ති කාමර වෙත කැඳවාගෙන ගියේය. මා ඇතුලත් කලේ 2 -බී පන්තියටයි.

මා දුටු විගස පන්ති භාර ගුරුතුමිය විසින් ඉතා ලෙන්ගතු සිනාවකින් සංග්‍රහයක් කලාය. මගේ හිතේ යම් බියක් තිබුණා නම් එය කුතුහලයක් හා සබකෝලයක් බවට පත් කිරීමට ඒ සිනාව සමත් විය. පසුව යම් ආසනයක් පෙන්වා මට එහි වාඩී වීමට කිවාය. තාත්තා ද ඈ සමඟ මඳක් කතාකොට මා දිහා හැරී සිනාවක් පා යන්නට ගියේ ය. පන්තියේ එක් බංකුවක් වටා ළමුන් පස් දෙනෙකු පමණ වන සේ පන්තිය කණ්ඩායම්ගතකොට තිබිණ. මා වාඩි වූ බංකුවේ සිටී ළමෝ මා දිහා අමුතු සතකු දෙස බලන්නා මෙන් බලා සිටි අයුරු ද මට යන්තම් මතකය.
පාසැල ඇරුණු පසු තාත්තා මමත් අයියාත් බයිසිකලයේ නංවාගෙන වැඩපලට යන්නේය.වැඩ ඇරෙන තුරු වැඩපලේ ලියුම් ගබවාවට යන අප එහි සිටින මාමාගෙන් කඩපු ලියුම් කවර ඉල්ලා ගනිමු. එ්වා තාත්තාගේ වතුර කෝප්පයට දමා පෙඟුන පසු ඒවායේ මුද්දර ගලවා ගනිමු.මෙසේ මුද්දර රැස් කිරීම මගෙත් අයියාගේත් විනෝදාංශය බවට පත් විය. නංගී කුඩා බැවින් දවසම අම්මා සමඟ අම්මාගේ වැඩපලේ සිට චිත්‍ර අඳින වැඩ අකුරු ලියන වැඩ වාගේ වැඩ කරමින් සිට හවස අම්මා සමඟම ගෙදර එයි.

පාසැලට ඇතුලත් කල මුල් කාලයේ සිදු වූ සිදුවීම් වලින් එක් විශේෂ සිද්ධියක් පමණක් මගේ මතකයේ ඇත. ඒ දිනවල මා නියපොතු වවාගෙන සිටියේය. පන්තියේ උගන්වමින් සිටින අතරතුර පිටුපස සිටී සිසුවකු මට අඩිරූලෙන් තට්ටු කලේය. මා පසුපස හැරී ඔහුට රැව්වේය. එයින් කුපිත වූ ඔහු නැවත රූලෙන් මට ගැසුවේය. මම ඔහුට බැන වදිමින් නියපොතු වලින් ඔහු සූරන්නට තැත් කලවිට එය ගුරුතුමිය දුටුවාය. ඈ මට කෑ ගැසුවාය. “ශෂික මොකද ළමයෝ කරන්නේ, මේ ගණන් ටික හදන්නැතුව මගෙන් ගුටි කන්න ඕනෙද?“ එයින් මම මඳක් බිය විමි. වහාම ඉදිරියට හැරුණු මම කලු ලෑල්ල මත තිබූ ගණන් සියල්ලම එක හුස්මට හදාගෙන ගියෙමි. කෙසේ හෝ පන්තියේ මුලින්ම ගණන් ටික හැදුවේ මමය. ඒවාත් ඉතා නිවැරදි විය. මා මුලින්ම පොත පෙන්වීමට ගියවිට ගුරුතුමිය මගේ ගණන් ටික දැක ඉතා සතුටටත් පුදුමයටත් පත්විය. “දඟල දඟල ඉදලා මෙච්චර ඉක්මනට ගණන්ටික හැදුවේ කොහොමද දරුවෝ“ ඇය ඇසුවා ය. මට නම් එහි එතරම් විශේෂකත්වයක් නොවීය. ඒ නිසා මා මුවින් නොබැන හිනාවක් දමා නැවත මහත් ආම්බරයෙන් පැමිණ ඉඳ ගතිමි. එ තැන් පටන් පන්ති භාර ගුරුතුමිය විසින් මට විශේෂ සැලකිල්ලක් ආදරයක් දැක් වී යැයි මට සිතේ.

එම සිද්ධිය හැරෙන්නට දෙක වසරේ දී සිදුවූ වැදගත් සිද්ධියක් මගේ මතකයේ නැත. නමුත් පාසැල් ඇරී ගෙදර නෑවිත් තාත්තාගේ වැඩපලේ සිටි බැවින් පාලුවක් නම් නොදැනිණි. නමුත් ඒ වැඩි කාලයකට නොවේ.

Saturday, May 2, 2015

132 සතිය

නොවටිනා දේ වලට වටිනාකම් දෙන්නෝ ද ඒවාට ගහ මරා ගන්නෝ ද අපිම වෙමු.

Saturday, April 25, 2015

අවුරුද්ද ඇවිල්ලා

අවුරුද්ද ඇවිල්ලා අවුරුද්ද ඇවිල්ලා
වසරක් ගතවී අවුරුද්ද ඇවිල්ලා
අවුරුද්ද ඇවිල්ලා අවුරුද්ද ඇවිල්ලා
දවස් තුනක නිවාඩුවක් ඕං ඇවිල්ලා

ඔලිද කෙලින්නට පෝරුව කොහෙන් සොයන්නේ
පංච දමන්නට කවුරුද පෙතක් අඳින්නේ
අපි නොදන්න එල්ලෙ මොටද ක්‍රිකට් තියෙන්නේ
පරිඝණකයේ ඕන තරම් ගේම් ගහන්නේ

කැවුම් කොකිස් මුං අළුවා කවුරු හදන්නේ
විදුලි උඳුනේ කොහොමද අපි කොකිස් බදින්නේ
කඩෙන් ගෙනා කැවිලි ජාති එමට තියෙන්නේ
දවස් තුනේ අවුරුද්දේ සතුටු වෙයන්නේ

Thursday, April 16, 2015

131 සතිය

අනාගතය අප කොතරම් සැලසුම් කලත් අවසානයේ සිදුවන්නේ වර්තමානයට අනුව සැලැස්ම වෙනස් කිරීමයි. සැලැස්මකට අනුව ජීවත් විය නොහැක

Thursday, April 9, 2015

130 සතිය

කාලයට ඉහලින් කැලන්ඩරයත් ඔරලෝසුවත් හරස් වී ඇත.

Saturday, April 4, 2015

මගේ කතාව 2 - සංක්‍රමණය

තාත්තාගේ රස්සාව නැතිවීමෙන් මාස තුනකට පමණ පසු තාත්තාට අළුත් රැකියාවක් සොයා ගැනීමට හැකිවිය. ඒ කොල්ලුපිටියේ පිහිටි අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමිතියේ ය. ඒ අතරතුර කාලයේ තාත්තාට එරෙහිව විනය පරීක්ෂණය කෙරෙමින් පැවතිනි. අළුත් රැකීයාවත් සමඟම තාත්තාට වෙනදාටත් කලින් රැකියාවට පිටත් වීමට සිදුවිය. එයින් තාත්තාට පමණක් නොව පවුලේ සියළු දෙනාටම පාන්දර 3.00 පමණ වනවිට අවදි වීමට සිදුවිය.

ගෙදර ප්‍රශ්න ද අවසානයක් නොවීය. මෙය ගෙදර දෝසයක් බව සමහරුන්ගේ මතය වන විට තවත් සමහරෙක් කීවේ කවුරුන්හෝ කොඩිවිනයක් කරන්නට ඇති බවයි. ඔවැනි කතා ගම්වල පැතිර යාම සාමාන්‍ය දෙයකි. අවසානයේ මවගේ අදහස වූයේ කොළඹට සංක්‍රමණය වීම ප්‍රශ්න වලට ඇති හොඳම විසඳුම බවයි. ඒ අනුව අම්මාගේ හා තාත්තාගේ සැලැස්ම ක්‍රියාත්මක කෙරිණ.

පළමුව අම්මා කළුතරින් දෙහිවටල මාරුවක් සාදා ගත්තාය. ඉන්පසු තාත්තා මටත් අයියාටත් පාසැලක් සොයද්දී අම්මා කුළි නිවසක් සෙවීය. අම්මා වැඩ කරන ස්ථානයේ කෙනෙකුගේ මාර්ගයෙන් කුළි නිවසක් සොයා ගැනීමට ද, තාත්තා අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමිතියේ සාමාජිකයකු වන කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පතිගේ උපකාරයෙන් එම පාසලට අප දෙදෙනාව ඇතුලත් කරවීමට ද, සමත් විය. එසේ මූලික කටයුතු සම්පාදනය කර ගැනීමෙන් පසුව අපේ නිවස කුළියට දී ලබාගත් අත්තිකාරම් මුදලින් දෙහිවල පිහිටි නිවස කුළියට ගත්තේ ය.

මෙසේ මුලින්ම අම්පාරේ තැනින් තැනට මාරූ වෙමින් කුළියට සිටී අම්මාත් තාත්තත් ඉතා වෙහෙස මහන්සි වී තමන්ටම කියා සාදාගත් නිවස අතහැර නැවතත් කූළි නිවසකට යාමට තීරණය කලේ දෛවයේ හැටි එසේ යැයි කියාපාමිණි. ඒ කාලයේ කුඩා දරුවන් වූ අපට එය එතරම් දෙයක් නොවුනත් තමා හදාගත් නිවස අතහැර කුකුළු කූඩුවක් වැනි කුළි නිවසකට ගාල් වීමට සිදු වීම දෙමව්පියන්ට නම් සතුටක් නොවන්නට ඇත.

එදා එක්දහස් නවසිය අනූ හයේ ජනේරු මස යම් දිනක උදෑසන අවදී වූ අප කැන්ටර් වර්‍ගයේ ලොරියක නැගී කොළඹට සංක්‍රමණය වූ සැටි මට යන්තම් මතකය. ලොකු නැන්දාගේ පුතා චන්දන අයියාගේ ද පොඩි බාප්පා හා ලොකු බාප්පා ගේ ද සහයෝගය ඇතිව බඩු මුට්ටු ලොරියට දමාගෙන ඒ ලොරියටම නැගී අප ද කොළඹ බලා පිටත් විය. තාත්තා අාවේ මෝටර් සයිකලයෙනි. මට ලොරියෙම නින්ද ගිය අතර සීත සුළං වැදී නැවත අවදි වන විට යන්තම් තරු එකක් දෙකක් අහසේ දක්නට ලැබීණ. උදේ හයයි තිහ පමණ වන විට කූළි නිවසට ලඟා වීමට හැකිවිය.

එය ඉතා කුඩා නිවසකි. අපේ ගෙදරින් අඩක්වත් තරම් නොවූ එහි සාලයත්, කුස්සියත් හැරුණු විට තිබුනේ නාන කාමරයත් රෙදි වේලා ගැනීමට පමණක් සෑහෙන එළිමහන් ප්‍රදේශයකි. එබැවින් අපේ ගෙදර තිබූ බොහෝ ගෘහභාණ්ඩ තාවකාලිකව හා සදාකාලිකවම නැදෑයින් අතට පත්විය.

මෙසේ අපි ගමින් කොළඹට සංක්‍රමණය විමු. එය මුහුදේ මාළුවකු ගෙනැවිත් අඟල් දොලහේ ටැංකියකට දැමුවාක් වැනි විය.

Wednesday, April 1, 2015

129 සතිය

වැලි පෑගෙනවට අකමැතිනම් ලෝකෙම තියෙන වැලි අයින් කරන්න යන්නෙ නැතුව පාවහන් දෙකක් දාගන්න එක තමා හොද

Saturday, March 28, 2015

කාටද පිස්සූ



කුස ගින්නේ හම්බු කරන අපේ මිනිස්සු
දුක් විඳගෙන සතුට සොයන අපේමිනිස්සු
අදට වැඩිය හෙට හොඳ වෙයි සිතනමිනිස්සු
ටිකක් නැවතිලා බැලුවා කාටදපිස්සු

තෙල පෙනෙනා සුරපුරයට යන්න

මිනිස්සු
සද්දේ වේගෙට වැඩියෙන් දුවනමිනිස්සු
ඒ මිරිඟුව වෙත යන්නට හදනමිනිස්සු
හැම දා මත් අද ජීවිතේ ගෙවන මිනිස්සු

දෙපයින් ඇවිදින මිනිහා රෝද දෙකක් ගන්න

බලයි
රෝද දෙකෙන් යන මිනිහා රෝද හතර ගන්නසොයයි
සියළු රෝද තියෙන කෙනා අහසින් ඉගිලෙන්නසිතයි
ඒ සියල්ල ලැබුන එකා සතුට නැතිව ලොවපෙරලයි

Saturday, March 21, 2015

128 සතිය

ඇත්තනම් තර්කානූකූලයි. තර්කානූකූල සියල්ල ඇත්ත නොවේ.

Sunday, March 8, 2015

127 සතිය

වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක්. නමුත් එය සාමාන්‍ය දෙයක්ලෙස නොසලකා හැරීම තකතීරු වැඩක්.

Friday, February 27, 2015

ප්‍රථම රාත්‍රිය

ආදර හැගුමින්  හද මත්වේවී
                   නෙත් පියැවේ  ලැජ්ජාවේ
වතමල නුඹගේ පුන්සඳ වාගේ
                   රත් පැහැ වේ ලැජ්ජාවේ
නිදි නැති රෑ මේ කොපුලට ලංවි
                   හෙලනා සුසුම් සමීරේ
මා හද පිබිදී කුල්මත් වේවී
                 මා වෙත එන්න ප්‍රියාවේ


සයුරේ රළ පෙල නැලවෙන තාලෙන් -  කෙහෙරැල් සැදුනිද ඈගේ
මැදුරේ කෙලවර දැල්වෙන පහනේ - සිල මෙන් බබලන දෑසේ
ඈ හා ගෙවනා ප්‍රථම රාත්‍රියේ මිහිරයි මේ විදගන්නේ
රෑ දුටු සිහිනේ එලිවූවා සේ ඈ ඇත දැන් ලග මාගේ

මදමරු පහසේ නැලවෙන දළු සේ - දෙතොලැල් සැදුනිද ඈගේ
රන්තරු වාගේ දිදුලන අහසේ - දිලිසෙයි කදුළැලි දෑසේ
ඒ කදුළැල්ලේ දෝරේ ගලන්නේ සතුටලු ඇගෙ සන්තානේ
හිරු නොම ආ දෙන් හෙට මගේ ලෝකෙට එය වේ පැතුම මගේ මේ

Wednesday, February 25, 2015

126 සතිය

අතපය බැද ඇති විට පිළිමල් ඉදිරියේ අසරණවන්නේ යම් සේද, බැදීම් ඇති තැනැත්තාද මාරයා ඉදිරියේ අසරණවනු ඇත.

Sunday, February 22, 2015

මගේ කතාව 2 - එක පිට එක

එකදාස් නවසිය අනූ පහේ අළුත් අවුරුදු කාලයේ දී ද සාමාන්‍ය පරිදි බක් මහ අකුණු පටන් ගත්තත් එවර වෙනදට වඩා දරුණුවට අකුණු වදින්නට පටන් ගත්තේ ය. අපේ ගෙදර ඉදිරිපස යකඩවරං (ඇලස්ටෝනීයා) ගස් තුනක් තිබුනු නිසා අහක යන අකුණුත් අපේ ගේ පැත්තට ඇදී ආවේ ය. ඒකෙන් සිද්ධ වුනේ විදුලි උපකරණ කීපයක්ම වාගේ ම ප්‍රධාන විදුලි පේනූවද අලුතින් ගැනීමට සිදු වීමයි. ඒ දවස්වල අපේ නංගී ගොරවනවට හරි බයයි. ඉතින් මමත් අයියා ත් ගොරවන වෙලාවට නංගී ව ගෝනි බිල්ලාගෙන් බේර ගන්නයැයි පවසමින් ඇඳට පැන නංගීව කොට්ට වලින් වසා ඈව බදා ගනිමු.

මේ අතර වැස්ස නිසා දෝ අපේ ගෙදරට විවිධ සත්තු ඇදෙන්නට විය. ඒ අතර ගොණුස්සන්, පත්තෑයන් මෙන්ම පොළොන් ගැරඩි හා නයි පැටව් ද විය. ඒ කාලයේ දී ම මාළු වැස්සක් ද වැටුනා මතකය. කෙසේ වෙතත් එයින් වඩාත් කරදරකාරයින් උනේ පත්තෑයන් ය. පවුලේ කීප දෙනෙකුම පත්තෑ ප්‍රහාරයට ලක් වූ අතර එයිනුත් නංගී ට තුන් හතර වතාවක්ම පත්තෑ ප්‍රහාර වලට ලක් වන්නට විය. ඒ නිසා සෑමදාම රාත්‍රියට ඇඳ වටා රතු ළුෑණු ගෙඩි කීපයක් තැබීමට ද සිදු විය.

මෙවැනි අසුභ නිමිති ලොකු ගැටළුවක පෙර නිමිති බවට අම්මාගේ විශ්වාස ය සපථ කරමින් නැවත වරක් තාත්තාට රැකියාව අහිමි විය. මොනවා දෝ බොරු චෝදනා පත්‍රයක් ලබා දී තාත්තා අනිවාර්‍ය්‍ය නිවාඩු යැවී ය. මේ නිසා නැවතත් පවුලේ බර කරට ගන්න සිදු වූයේ අම්මාට ය. නමුත් තාත්තා ද ඉඩමේ උඩ කැල්ලේ ගම්මිරිස් ද අන්නාසී ද ඇතුලු ව තවත් එළවලු වර්‍ග කීපයක් ද පහල කොටසේ කෙසෙල් ද වගා කලේ තාත්තා ට පරම්පරාවෙන් උරුම වූ හැකීයාව අනුවයි.

මේ කාලයෙ දීම කොරේ පිටට මරේ කියන්නැහේ නංගී ඇදෙන් වැටී අතක් කඩා ගත්තා ය. තාත්තාගේ රැකියාව අහිමි වීම එක් අතකින් වාසියක් ද වූයේ නංගීට සාත්තු කිරීමට අයා කෙනෙකුගේ අඩුපාඩුව එයින් පිරිමැහීමයි. නංගිගේ අතේ පත්තු බැදීමට වෙද ආච්චි කෙනෙක් සතියට සැරයක් වාගේ අපේ ගෙදර ආවා ය. උන්දෑ ද ජීවත් උනේ අපේ පාරේ ය. ඒ නිසා නිතරම වෙද ආච්චී අපේ ගේ අසලින් එහේ මෙහේ ගියා ය. ඒ යන විට මමත් අයියාත් නංගීට “අන්න වෙද ආච්චි එනවෝ“ කියා නංගීව බය කරන්නෝ ය. නංගී ද පාරට එබී බලා ආච්චි එන බව දැක හූ තියාගෙන ගෙට දුවන්නා ය.  ඒ වගේම තවත් දෙයක් මගේ මතකයේ ඇත. තාත්තා නංගීගේ දත් මැද්දවීමට පස්සෙන් දුවපු හැටි මට අද වගේ මතකය. ඈ මර ලතෝනී දී අඬද්දී තාත්තා නංගී ගේ දත් මද්දවයි.
මෙලෙස එම වර්ශය ගෙවී යද්දී මගේ අසනීප ය වෙනුවෙන් ද කොළඹ යෑමට සිදුවූ වාර ද අඩු නොවී ය. තාත්තාගේ චෝදනා පත්‍රය විමර්ශණ කටයුතු අතර තුරේ වෙනත් රස්සාවලට ද අයැදුම් කලේ ය. නමුත් තාත්තා ට මාස තුනක් පමණ විරැකියාවෙන් කල් ගෙවන්නට සිදු විය.


 

Friday, February 13, 2015

125 සතිය

කලාවන් අතරින් ලෝකයේ විචිත්‍රත්වය දැකීමට වඩාත් සුදුසු කලාවනම් හුදකලාවයි.

Wednesday, February 4, 2015

124 සතිය

බර බිමින් තබා සූදානම් වෙන්න. බර ඔලුවෙ තියාගෙන මාර සටනින් වන පරාජය දරා ගන්න අමාරු වේවී.

Saturday, January 31, 2015

මගේ කතාව 2 - වසන්තයේ නිමාව

මගේ පළමු සැත්කම සාර්ථකව නිම කිරීමෙන් පසු අපේ පවුලට යහපත් කාලයක් උදා උනත් ඒ සතුට වැඩි කාලයක් විඳ ගන්නට කාලයා ඉඩ දුන්නෙ නෑ. ටාසන්ව එක්කගෙන එන්න උනෙත් මේ නිසයි. ඒ කියන්නේ අපේ ගෙදරට හොරු පනින්න පුරුදු උනා.

 ඒ කියන්නේ මහ දවල් හොරු ගෙදරට ඇවිත් නිකාන් බොරුවට දොර ජනෙල් වල අගුළු කඩලා දානවා. මොකද ඉතින් හොරකන් කරන් යන්න තරම් වටින දෙයක් ගෙදර තිබුනේ නෑනේ. ගෙනියනවනම් ඉතින් තිබුනේ අල්මරිය ඇඳ රූපවාහිනිය වගේ වාහනයක දාගෙන යන බඩු විතරයි. ඒ නිසා එක පාරක් විදුලි ස්තිරික්කයයි ප්‍රධාන විදුලි පේනුවයි අරගෙන ගිහින් තිබුණා. හවස ගෙදර එනකොට විදුලියත් නෑ. තව දවසක ඇවිත් අයියාගේ සෙල්ලම් තුවක්කුව අරන් ගිහින් තිබුණා. තව දවසක ගල්ඉන්න අරන් ගිහින්. මේ නිසා දවල්ට ගෙදර කවුරුත් නැති එක ප්‍රශ්නයක් වෙලයි තිබුනේ. අල්ලපු ගෙදර මිනිස්සුත් එච්චර හිතවත් කමක් නොතිබුන නිසා අපේ ගේ ගැන සැලකිල්ලක් දැක්වුවෙත් නෑ. අන්තිමට ටාසන්ට පිං සිද්ධ වෙන්න ටිකක් ඒක නැතිව ගියා.

නමුත් ටික කලක් යද්දි මන්ද මානසික ළමයෙක් අපේ ගෙවල් පැත්තේ ඇවිත් අපේ ගෙදරින් ඉල්ලගෙන කන්න පුරුදු උනා. අපිත් ඒ අයියාත් එක්ක සෙල්ලම් කලා. ඒ අයියාගේ නම බ්‍රසීල්. ඒක ටිකක් අමුතු නමක් හින්දා මට අදටත් ඒ නම හොඳට මතකයි. ටාසන් උනත් ඒ ළමයාට සැලකුවේ පවුලේ කෙනෙක් හැටියටයි. පස්සෙ පස්සේ මේ ළමයා සතියේ දවස්වල අපේ ගෙදර ඇවිත් අපි නැති නිසා ගේ වටේ තියෙන බඩු මුට්ටු අරන් යන්න පුරුදු උනා. මන්ද මානසික ත්තවය නිසා දෙමව්පියන්ටත් බැනලා බය කරලා එලවන්න බැරි උනා. ටික කලක් තරහා වෙලා ඉඳලා ආයෙත් එනවා.

මේ අතරෙම වැට මායිමට රන්ඩු වෙලා සොම්පුල්ලෙ මාමාත් ඉඩං නඩුවක් දැම්මා. තාත්තට ඒකටත් සෑහෙන්න වියදම් කරන්න සිද්ධ උනා. මේ නිසා එක්දහස් නවසිය අනු පහ අළුත් අවුරුද්ද අවසන් වුනේ අපේ පවුලේ වසන්ත සමය ද නිමා කරමිනි. 

Thursday, January 29, 2015

මතකය

ඇයි මා රවටන්නේ බොරු කරලා
මා නුඹ අතහැර යන්නෙමි කියලා
නුඹ මා ගෙන් සමුගත් දා ඉදලා
රැ සිහිනෙන් මා ලග නුඹ රැදිලා

හිරුගේ ලොවෙදි මා හැර ගියමුත්
සදුගේ ලොවෙදි මා වෙත එන්නේ
මා හැර යන්නට බැරි හින්දා දෝ
කියනු සොදුරියේ මා නොරිදා

මටදුන් සියලුම දේ යලි ගත්නුඹ
ඔබගේ රුව හද ඉතිරිකර ගියේ
සදහට වෙන්වනු බැරි හින්දා දෝ
කියනු සොදුරියේ මා නොරිදා

Thursday, January 22, 2015

123 සතිය

වේදනාව ඇති බව තවකෙකුට සාධනය කොට ඔප්පු කල නොහැක. එය තමා විසින් ම අැති නැති බව ප්‍රත්‍යක්ෂයෙන් දත යුතුය .

Monday, January 12, 2015

122 සතිය

මේ ලෝකේ සැපයැයි කියන සියලු දේ අයිසිං කල අසූචි වැනිය. ඉවසීමත් සිහි කල්පනාවත් නොමැති වුවහොත් අසූචි කෑමට සිදුවේ.

Saturday, January 3, 2015

121 සතිය

කොපමණ කාර්යක්ෂම සහ වේගවත් යන්ත්‍ර සෑදුවත් විවේකය ලබා ගත නොහැක. මේ මොහොත තුල හුදකලා වූ විට අපට චිත්ත විවේකය ලැබේ.