Saturday, November 28, 2015

මගේ කතාව 2 - අවුරුදු නිවාඩුව

ඉස්සර අපේම ගෙදර ඉන්නකාලේ අලුත් අවුරුද්ද ලබනකොට පවුලේ හැමෝම එකතුවෙලා නැකතට කිරි ඉතිරෙව්වත් කුළී ගෙදර දී නැකතට කිරි ඉතිරුවේ නැත. අලුත් අවුරුද්දට දින දෙක තුනකට කලින් අපි ගමේ යන්නෙමු. ඒ යන්නේ සතියක්වත් අවුරුදු නිවාඩුව ගමේ ගතකිරීමටයි.

 අපි ඒ කුළී ගෙදර හිටියේ අවුරුදු දෙකක් පමණයි. ඉන්පසු අපි වෙනත් කුළී ගෙදරකට ගියෙමු. ඒ අවුරුදු දෙකෙන් දෙවැනි අලුත් අවුරුද්ද ගෙවුනේ මං තුන වසරේ සිටිද්දීය. මං තුන වසරේ සිටිද්දී පළමු වාරයේ දී පාසලේ විවිධ ප්‍රසංගයක් පැවැත් වීය. එහි දී මං නැටුම් දෙකක් සඳහා ඉදිරිපත් කෙරිණ. ඒ ආජු තපර පීජු තපර  ගීතයට හා සිංහල රජ කාලේ නොවේ යන ගීත දෙකටය. එහි දී මා හැඳ සිටියේ ඕලන්ද තරුණයෙකුට ය. මාගේ මිතුරකු ඕලන්ද තරුණියකට හැඳ මා සමග නැටීය. නැටුමට එවැනි ජෝඩු හයක් හෝ අටක් සහභාගී විය. ප්‍රසංගය පැවතීයේ එල්ෆීස්ටන් රඟහලේ ය. එම නැටුම නිසා මට අලුත් ඇදුමක් ලැබිණි. අලුත් අවුරුද්දට එය හැඳගෙන යාමට සිතුනත් එය සුදුසු මඟුල් ගෙදරකට බැවින් මඟුල් ගෙයක් උනාම අඳින්නයැයි අම්මා කී බැවින් ඒ ආශාව උපන් ගෙයිම මිය ගියේය.

අලුත් අවුරුද්දට ගමේ යාමත් ලේසි වැඩක් නොවීය. සතියකට පමණ සෑහෙන රෙදි හා නැදෑයින්ට දෙන තෑගිද දමා ගැනීමට ලොකු ගමන් මළු දෙකකට අමතරව ලොකු බිස්කට් පෙට්ටි දෙකක්වත් අවශ්‍ය විය. එයින් වැඩි බරක් පැටවෙන්නේ තාත්තාගේ කරටය. අම්මා ඇඳුම් බැග් දෙකෙන් එකක් එක් කරක දා ගත් විට අවශ්‍ය වුවොත් මා වඩා ගැනීමට අනෙක් කර නිදහස්ව තබා ගත්තාය. අයියාට ද මග දී අවශ්‍ය වන වතුර බෝතල් හා ආහාර වර්ග ද දැමූ බෑගය ඔසවාගෙන යාමට සිදුවෙයි. මා වඩාගන්නා අවස්ථා වලදී අම්මාගේ ගමන් මල්ල (හැන්ඩ් බෑගය) නංගීට භාර වෙයි. ඒ අනුව කිසි බරක් නැතිව මෙන්ම අම්මාගේ කරේ ද යාමේ අවස්ථාව ලැබෙන්නේ මටයි. පළමුව දෙහිවලට බස් එකෙන් ගොස් එතැන් සිට කොච්චියේ හෝ බස් රථයකින්ම හෝ අම්බලන්ගොඩට යයි. කෝච්චියේ ගියත් බස් එකේ ගියත් බොහෝ විට ආසනයක් නම් ලැබෙන්නේ නැති තරම් ය. නමුත් කෝච්චියේ යාමට අපි තුන්දෙනා වැඩි කැමැත්තක් දැක්වීමූ. නමුත් බොහෝ අවස්ථාවල අපට අවශ්‍ය වේලාවට දුම්රියක් නොපැමිනේ. 

ගමේ ගියපසු ළමයින්ගේ රාජකාරිය සෙල්ලම් කිරීමත්, කැවිලි පෙවිලි වල රස බැලීමත් ය. අප අවුරුද්දට කරන ක්‍රීඩා අතර වල කජු ගැසීම, පංච කෙලිය, එළුවන් කෑම, තොරන් කොට්ට පැනීම විශේෂ තැනක් ගනී. අපිට වඩා වැඩුමල් අයියලාගේ ක්‍රිඩා වූයේ කැට ගැසීම හෝ ගුඩු පැනීම යි. මා වඩාත් ප්‍රිය කලේ පංච කෙළියටයි. මන්ද මට මහන්සි නොවී කලහැකි වූ එකම අවුරුදු ක්‍රීඩාව එයයි. 

අවුරුදු දවසේ නැකතට කිරි ඉතිරවීම කරන්නේ ගෙදරම්මලාගේ ගෙයි සාලය මැදයි. සියළු නෑයන් වට වී සිටිද්දී ගෙදරම්මා ලිප මොළවයි. ඉන්පසු ඇත්තේ තමාගේ පැත්තට කිරි උතුරුවා ගැනීමට කරන අරගලයයි. ඒ සඳහා කවුරුත් තමා සිටින දිශාවේ ගින්න වැඩි කර ගැනීමට දර හා පොල් කොළ ඔබයි. අවසානයේ කාගේ හෝ පැත්තට කිරි ඉතිරෙයි. එවිට කාගේ පැත්තට කිරි ඉතිරුව ද  හැමෝම ප්‍රීතියෙන් අත්පොළොසන් ගසයි.  ගෙදර තාත්තා විසින් (අම්මාගේ තාත්තා) නැකතට කාටත් කිරිබත් කවා ආහාර අනුභවය ආරම්භ කරයි. එකල ආහාර ඉඳුල් කිරීම නැතහොත් අලෙවි කිරීම නම් චාරිත්‍රයක් වෙයි. එනම් වාසනාවන්තයැයි සැළකෙන හෝ කවුරුත් ආදරය කරන හෝ පිරිමි දරුවකුට පළමුව ආහාර ගැනීමට සැලැස්වීමයි. බොහෝ විට ලොකු අයියාට එම අවස්ථාව හිමි වේ. අපේ පවුලේ පමණක් නොව පිරිමි දරුවකු නොවූ අල්ලපු නිවසේ ද ඉඳුල් කිරීමේ චාරිත්‍රයට අයියාව කැඳවයි. එවිට ඔහුට පඬුරක් ද ලැබෙයි.  නැකතට තෙල් ගැමේ චාරිත්‍රය ද සිදුකරන්නේ ගෙදර තාත්තා විසිනි. උඩට උඩුවියන්, පයට පාවඩ නැතත්, ඖෂධ තෙල් නොවුනත් ගෙදර තාත්තාගේ ආශිර්වාදය සමඟ පොල්තෙල් ගෑවද අපිට එය ලොකු දෙයකි. පසුව කවුරුත් ලිඳට ගොස් නා ගන්නෝය.  අවුරුදු චාරිත්‍ර අවසානයේ නෑ ගෙවල්වල යයි. ඒ ඒ නෑයාගේ ගෙදර එක් ආහාර වේලක් සියළු නෑයන්ට ලබා දේ. එදිනට සියළු නෑයින් ඒ නිවසට රැස්වේ. ඒ හැම නිවසකම සිටින වැඩිමහළු අයට බුලත් දී ඒ නිවසින් පිටවන විට අපට බුලත් කොලයක එතූ පඬුරක් හෝ තෑගි ලෙස ඇඳුමක් ලැබේ.

මෙසේ අලුත් අවුරුද්දට ගමේ ගොස් සතියකට පමණ පසුව නැවත කොළඹ පැමිණියත් අවුරුදු උණුසුම දිගටම පවතී. අවුරුදු උත්සව මාසය පුරාවටම ඇත. කොළඹ පැමිණි පසුද අම්මා සමඟ පංච කෙළියේ යෙදෙන්නේ පාසැල් නිවාඩුව අවසන් වන තුරුය. කොළඹ පැමිණ ගෙවුනු දෙවන අළුත් අවුරුද්දේ එක් අවුරුදු උත්සවයක විකට ඇදුම් තරඟයකට මා ඉදිරිපත් වුනේ ඕලන්ද තරුණයෙකුටයි. ඒ පාසැලේ ප්‍රසංගයට ඇන්ද ඇඳුම නිසයි. නමුත් සිදු වූයේ මා වේදිකාවට නගිනවාත් සමඟ මගේ කලුපාට උස හිස්වැස්ම දුටු නිවෙදකතැන මාව මැජික් ශිල්පියකු ලෙස හඳුන්වාදීමයි. මට කරගතහැකි දෙයක් නොවීය. මා මගේ නම පමණක් කියා වේදිකාවෙන් බැස්සේ ය. තාත්තා පැමිණ“පුතේ දැන් මොනවාහරි ඉදිරිපත් කිරීමක් කරන්න කීවොත් ඔයා කියන්න වැස්ස නිසා මැජික් පෙන්නන්න බෑ. පස්සේ දවසක පෙන්නන්නම් කියලා හොඳද“ කියා මාව දිරිමත් කලේය. ඒවේලේ වැහිබර කාලගුණයක් ද තිබූ බැවින් මම ද තාත්තා කියු විදියටම කලේය.  ඉන් මට ජයක් නොලැබෙන බව දන්නා මම ගෙදරට වී උන්නෙමි. නමුත් හැන්දෑවේ යකඩකටින් මගේ නම කියනු ඇසින. ඒ සැනසිලි තැග්ගක් වශයෙන් මට ප්ලාස්ටික් බෝලයක් ප්‍රදානය කිරීමටයි.

6 comments:

  1. //කුළී ගෙදරට ආ පසු නැකතට කිරි ඉතිරුවේ අම්මාගේ මහ ගෙදරදීය//

    sampoornayen waradi wadak. ethakota kulee gedara inna ayta hariyanne naa.

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් අම්මාගේ විශ්වාසේ නේ.

      ඒ වාක්‍යයත් ගැළපෙන්නෑ වගේ. මං ඒකත් හදන්නම්. ස්තූතියි.

      Delete
  2. ලස්සනට ලියල තියනවා,// හිස්වැස්ම දුටු නිවෙදකතැන මාව මැජික් ශිල්පියකු ලෙස හඳුන්වාදීමයි// හා හා කොහොමත් නිවේදකයෝ බක පණ්ඩිත ලා.

    ReplyDelete
  3. කුළී ගෙදරක ඉන්න එක මහ කරුමයක්...
    දැනට ඒ කරුමය විඳින නිසා තේරෙනවා, මටත් අවුරුද්දට කුළී ගෙදර ඉන්න හිතෙන්නේ නැති නිසා අපිත් කිරි උතුරවන්නේ මහගෙදර තමා...

    ReplyDelete
    Replies
    1. ඔව් අපි පොඩි නිසා අපට නොතේරුනාට දෙමව්පියන්ට ඒක දැනෙනවා ඇති.

      Delete