Friday, November 30, 2012

39 සතිය

ඔබට ලැබෙන  සුඛවිහරණ වෙනුවෙන් ස්තූතිවන්ත විය යුත්තෙ දෙවියන් වහන්සේට නොව වැඩ කරන මිනිසාටත් ස්භාවධර්මයාටත්ය.

Sunday, November 25, 2012

ඔබ මගේද?

කෙලෙස කියන්නද මම ඔබගෙයි සැමදා
 මම මටවත් නැති ලොව අනියත හින්දා
 සිතුවත් ඉන්නට ඔබ මගෙ ලග රන්දා
 නුඹ රැක ගන්නට මට හැකිවෙද මන්දා

 පිපෙනා මල හවසට පරවෙනවා
 නැගෙනා සද උදයට බැස යනවා
 ගලනා ගග මුහුදට එක් වෙනවා
 කෙලෙසක මා එය වලකාලනවා

 මරුවා හෙට මා හමුවට ඒදෝ
කැදවා ඔහු ඔබ අරගෙන යාදෝ
 සොදවා මගෙ සිත අවනතවේදෝ
අනියත ලොව කෙලෙසක රැකගමිදෝ

Friday, November 23, 2012

ලැජ්ජා නැති හිතක් පපුවක් නැති එකා


හාමුදුරුවෝ-

අප මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මරණයදී කම්පා වුනේ නෑ. අඩා වැලපුනේ නෑ.  සියල්ල සම සිතින් දැරුවා
උපාසිකාව-අනේ සාදු සාදු සාදු!!
මිනිහෙක්-


 බොලාට කියන්න ඇලිසෝ  ජන්තුවගේ අම්මා මළා. මූට අම්මාපල්ලා කිසි වගක් නෑ නෙව  අපි ඉලව් ගෙදර ගොඩ වැදිච්චි වෙලේ මං දැක්කා මිනිස්සුත් එක්ක ඔහේ කතා කොර කොර  උන්නා දැන් ඉතින් වල දාන එකනෙවෑ තියෙන්නේ කියාලා.
 උපාසිකාව-
ඕකා මහ නැහැදිච්චි හිතක් පපුවක් නැති එකෙද්ද කොහෙද. නැතිනම් අම්මා මැරිලත් වගක් නැතිව ඉදීවිය. හිතේ කිසි තෙතමනයක් නෑ නෙව. අනේ මෙහෙමත් දරුවෝ චී නොදෝමකින
හාමුදුරුවෝ-


අප මහා කාරුණික බුදුරජාණන් වහන්සේට විවිධ අපහාස උපහාස ආවත් ඒ සියල්ල අළුයම කෙල පිඩක් සේ බැහැර කල සේක. ඒ කිසිවකින් කම්පා නොවී සියල්ටම එකසේ සැලකුවා.  මහා කරුණාවෙන් ඒ අය කෙරෙහි අනුකම්පා කල සේක. 
උපාසිකාව-අනේ සාදු සාදු සාදු !
මිනිහෙක්-




ඇලිසට කිව්වට මොකද අපේ සරනේරිසා මාර වැඩක් කොලා නෙව. අර ජොසපියාට මිනිහා ව පේන්න බෑ නෙව. ඒකී මේ ලගදී සරනේරිසාට කුණූ හරපෙනුත් බැන්න නෙව. ඒ ගෑනී ඊයේ ලිද    ලග වැටිලා ඇදේ නෙව හිටියේ. සරනේරිසා ගෙහුන් එකිට කෑම උයා දෙන්ට කියලා. ඒකී අහලා උඹ මගේ ගෙදර බත්ටික ඉවරකරන්නද ආවේ කියලා. ඒ පාර මේකා කඩෙන් බත් ගෙනැල්ලා දීල නෙව.
උපාසිකාව-

 
ඕකා මහ ලැජ්ජා නැති මිනිහෙක්. නැතිනම් අච්චර කුණු හබ්බ කියද්දිද් ඒ ගැනිට කන්ට දෙන්ට යාවියෑ. මහ නෝන්ජලයෙක්. මං වගෙනං ගෙහුං හොදවයින් දෙකක් කියලා එනවා අම්මාපල්ලා.


                

Monday, November 19, 2012

38 සතිය

මේ ලෝකේ හැමෝම ඔබගේ යාලුවෝ යැයි සිතන්න එපා. නමුත් ඔබ හැමෝගේම මිතුරා වෙන්න.

Friday, November 9, 2012

10 ලිපිය - ගැටළු වලට පිළිතුරු1

දුක යන්න වෙනස්වීම වන්නේ කොහොමද? මෙතැනදී ගැටලුවට හේතුව වී ඇත්තේ චතුරාර්යය සත්‍යයයේ එන දුක්ඛ සත්‍ය හා ත්‍රිලක්ෂණයේ එන දුක්ඛ ලක්ෂණයයි පටලවා ගැනීමයි. මේ තැන් දෙකෙහි අදහස් වන්නේ කාරණා දෙකකි. උදාහරණයකින් කියනවනම් “කෑම“ කියූ විට ඔබ අදහස් කරන්නේ කුමක්ද? එය යෙදෙන තැන අනුව තේරුම වෙනස් වෙනවා. “තුන් වේලටම කෑම කෑම යහපත්ය“. මෙහි පලමු කෑම නාමයකි. දෙවන කෑම ක්‍රියාවකි. මෙලෙස දුක යන්න අවස්ථා දෙකෙහි යෙදී ඇත්තේ අර්ථ දෙකකිනි.

ත්‍රිලක්ෂණයේ දී හේතුවත් චතුරාර්යය සත්‍යෙයහි ඵලයත් දැක්වෙනවා. එනම් ලෝකයේ දුක ස්හාව (වෙනස් වීම) නිසා සත්වයා තුල ඇති වන්නා වූ කණගාටුව, වේදනාව වැනි ස්වභාවය දුකයි. ලෝකයේ කිසිවක් වෙනස් නොවී (දුක ස්භාවයෙන් තොරව ) තිබුනේ නම් සත්වයන් දුකට පත් නොවේ. නමුත් අපට තබා කිසිම බලවේගයකට වෙනස් වීම නැවැත්විය නොහැක.
යම් ප්‍රතිඵලයකට හේතු කීපයක් තිබේ. දුකට එක හේතුවක් වෙනස් වීමයි( දුකයි) අනෙක් හේතුවක් නම් ආසාවයි. නැතිනම් ස්භාවිකව වෙනස් වන දෙයක තමා කැමති හැසිරිමක් බලාපොරොත්තුවයි. අපට වෙනස් වීම නතර කල නොහැකි නමුත් අසාව අත්හැරිය හැක. ඒ නිසා චතුරාර්යය සත්‍යයයේදී දුකට හේතුව දුක (වෙනස් වීම) යයි නොකියා තෘෂ්ණාව (දැඩි ආසාව) ලෙස දක්වා ඇත. 

එහෙනම් වෙනස් වීම දුකය, ආසාව නිසා හටගන්නා දේ දුකය නොකියා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා ලෙස සදහන් කලේ මොකක්ද?
ඇත්තටම ඒ දෙකම එම දේශණාවේ ඇති බවයි මට පෙනෙන්නේ. ජාතියය, ජරාවය, මරණයය යනු වෙනස් වීමයි. දුක්ඛය, දෝමනස්සයය, සෝකය, පරිදේවය යනු ආසාව නිසා හටගන්නා දේ ය. මෙහිදි තව ගැටළුවක් ඇත. එනම් යමෙක් ඉපදීමය, වයසට යැමය, මරණයය, ප්‍රියයන්ගෙන් වෙන් වීමය ආදී අවස්ථා හැරුණු විට අනෙක් සෑම අවස්ථාවම දුකින් තොරද යන්නයි.
මට පෙනෙන හැටියට මෙහිදි ජාතියය, ජරාවය, ආදී වශයෙන් දක්වන්නේ ඉපදීමය, වයසට යැමය, යන්න නොවේ. මන්ද ධර්මය ස්වාක්ඛාතය. එනම් තමා විසින් ප්‍රත්‍යක්ෂයෙන් දත යුතුය. මරණය ප්‍රත්‍යක්ෂයෙන් දැකීමට මැරිය යුතුය. එසේ නම් නිවන් අවබෝධ වන්නේ මැරෙන විටය. එසේ ගැනීම වැරදිය. එසේනම් මේ ජාතියය, ජරාවයය යනුවෙන් දැක්වෙන්නේ පංචස්කන්ධයේ ජාතියය, ජරාවය, ආදී වශයෙන් විය යුතුය.
එය ප්‍රඥාවන්ත පුද්ගලයාට ඕනෑම විටක ප්‍රත්‍යක්ෂ කල හැකිය.
දැන් අපට දුක යනු අප ව්‍යවහාරයේ භාවිතා වන ඉපදීමය, වයසට යෑමය, මරණයය, ප්‍රියයන්ගේ වෙන් වීමය ආදී දේ නොවන බවත් පංචස්කන්ධයේ හට ගැනීමය, දිරිමය, නැති වීමය, තමා වසගයේ නොපැවතීමය ආදී වශයෙන් වූ වෙනස් වීම බව පැහැදිලි වේ.

අනෙක් ගැටළු පසුව සාකඡ්චා කරමු. ගැටළුවක් ඇත්නම් විමසන්න.
ඔබට නිවන් සැප ලෑබේවා !

Monday, November 5, 2012

37 සතිය

අරමුණු ඔබව පාලනය කරන බැවින් යහපත් අරමුණුම ලැබේවා!.

Saturday, November 3, 2012

අවසානය

“දැන් මට ඇවිදින්න පුලුවන් නේද අම්මේ ?“
මං අම්මාගෙන් එසේ ඇසූයේ දිනක් අම්මා එසේ කියා තුබූ නිසාය. ඒ මීට මාස කීපයකට කලිනි. එදා අපි ගමනක් යමින් සිටියෙමු. හැමදාම වාගේ මා යන්නේ තාත්තාගේ කරේය. අයියාත් නංගීත් පයින් යද්දී තාත්තා මා වඩාගෙන යාම මට මදිකමකි. ඒ නිසා අසල සිටී අම්මාගෙන් මා මෙසේ ඇසුවේය.
“මට ඇයි අයියලා වගේ ඇවිදින්න බැරි?“
“එහෙම තමා පුතේ හැමෝම. ඒකට පොඩි ඔපරේෂන් එකක් කරනවා. එතකොට තමයි ඇවිදින්න පුළුවන් වෙන්නේ“
“එතකොට ඇයි මට කලේ නැත්තේ?“
“ඔයා තාම පොඩී නේ. තව ලොකු වෙන්න ඕනනේ“
“ එතකොට නංගි පයින් යන්නේ එයත් තාම පොඩි නේ“
එයට පිළිතුරක් දීම වෙනුවට අම්මා එකවර ගල් ගැසිණි. ටික ටික ඇස් දෙක රතු වෙත්ම අම්මා නංගී දෙස හැරී “චූටි දූ මෙහාට එන්න“ යැයි කියමින් නංගී දෙසට ගියාය.

ඒ නිසා මේ කලේ ඒ ඔපරේෂන් එකයැයි මට සිතුණි. මා ඇසු පැනයට අම්මා “ඔව් මයෙ පුතේ කියමින් මගේ ඔලුව අත ගැවාය. ඇගේ දෙනෙත් කදුලින් බර විය. ඒ සතුටු කදුළු විය හැක.

රිජ්වේ ආර්යයා ළමා රෝහලේ මාස කීපයක් විවිධ හෙදකම් වලට භාජනය වෙමින් සිට ටිකට් කපා නිවසට ආවත් විවිධ ආසාත්මිකතා නිසාත් නැවත නැවත රෝල් ගත වීමට සිදු විය. වම් අතෙහි පිට අල්ලේ ද වැලමිට හරියේද දිගින් දිගටම කටු ගැසීම නිසා ඇතිවූ පැසවීම් නිසා එම ස්ථාන ද මැහුම් දැමීමට සිදු විය.
ඊට අමතරව සෑම දිනකම තුන් වේලටම තුවාල වේලීමට ගන්නා ඖෂධ නිසා තොල් ද සම ද වියළිමට ලක් විය. දිගින් දිගටම ක්ලිනික් සදහා කොළඹ යාමට ද සිදු විය. නමුත් මගේ මතකයේ නොමැකෙන සිද්ධියක් වූයේ මැහුම් කපන දවසේය.
 එදින අම්මා මාව වඩාගෙන සිටි අතර වෛද්‍යවරයා මැහුම් කැපීම ආරම්භ කලේය. එවිට දැනුණු වේදනාවෙන් රෝහල දෙවනත් වන තරම් කෑ ගැහිල්ලක් පිට විය. මා ගිරිය යටින් බෙරිහන් දෙද්දී අම්මා මට ජනේලයෙන් පිට තුබූ අඹ ගසක් පෙන්වමින් අන්න පුතේ ලේනා අර අර යැයි කියමින් ඒ දෙසට ඇගිල්ල දිගු කරමින් සිටියාය. මම ලේනා බැලීමට උත්සහ ගනිද්දීම පිටට පිහිපාරක් අනින්නා සේ වේදනාව වැඩි වන්නේය. ඒ දවස මට තවමත් මතකය.
මාත් අම්මාත් ඒ අවුරුදු පහෙන් වැඩි කාලයක් ගත කලේ රෝහලේය. නමුත් රෝහලෙන් සමු ගැනීමට තවත් බොහෝ කාලයක් යනු ඇත. මන්ද තව තවත් අවුරුදු පහකින් නැවතත් මා මාරයා හමු විය යුතුය.
එතෙක් මටත් මගේ  පවුලේ අයටත් හොද කාලයක් උදා වෙයිද?
මේ කතාව "ඉන් පසු ඒ  කුමාරයාත් පවුලේ අයත් සතුටින් ජිවත් වුනා" කියලාඉවර කරන්නද?