Tuesday, June 30, 2015

138 සතිය

ඔබව ඔබෙන් වෙන්කොට දකින්න උත්සහ කරයි නම් හැම දේම තවත් සිදුවීමක් පමණක් වනු ඇත.

Sunday, June 28, 2015

වියෝ දුක

මාස දෙකයි හාද වෙලා හෙට්ටි ගෙදර කෙල්ල එක්ක - දුරකථනේ එල්ලීගෙන නන් දොඩවනවා
තරහ උනයි කියලා ඈ මුළු ලෝකෙම යාලුවන්ට - මුහුණු පොතේ එව්වා මෙව්වා ලියා යවනවා
හිතේ දුකට නොකා නොබී හූල්ලමින් සුසුම් ලමින් - බලා උන්නු අතේ ඔහේ බලා ඉන්නවා
හරි පුදුම්යි ඒකෙත් හැටි අම්මා තාත්තට වැඩියෙන් - එහෙනං ඒ කෙල්ලව දැන් උඹට වටිනවා

උඹේ අම්මා උඹට කවපු හැටි උඹ දන්නෑ මල්ලියේ
අවුරුදු විස්සක් තිස්සේ උඹව හදනවා
කාටත් නොකියා ඇගෙ දුක මුලු ලෝකෙන් වහුං කරන්
ලුනු වෙනුවට බත් හැලියට කදුළු හලනවා

අප්පච්චිත් උඹ දැක්කම මුවින් නොබැන ගෙට ගියාට
හිතේ කදුළු හිටි හැටියේ නෙතට උනනවා
හොඳ තැනකින් කටයුත්තක් හොයා දෙන්න බැරිවද හෙට
අම්මා අප්පා එක්ක ටිකක් කතා කරනවා

Saturday, June 20, 2015

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු 4

දැන් මම ගැන මගේ විග්‍රහය සිදු කිරීම සුදුසු යැයි සිතමි. මෙතෙක් කල් සාකච්ඡා කල දේවල් මෙම විග්‍රහය තේරුම් ගැනීමට උපකාරීවන බැවින් නැවත නැවත එම කොටස් කියවා හොඳ අවබෝධයක් ලබාගෙන මෙම කොටස කියවන ලෙසද ඉල්ලමි.

මා කලින් සඳහන් කල පරිදි ලෝකය යනු කියාවලියන්ගේ ක්‍රියාවලියකි. හරියට අන්තර්ජාලය වැනිය. ඒ සියළු ක්‍රියාවලීන් සැදී ඇත්තේ මූලික ක්‍රියාවන් පහකින් බවද සදහන් කලෙමි. හරියට මේ සියළු දේ කරන පරිගණක ක්‍රියා කරන්නේ විද්‍යුත් ආරෝපණ ඇති නැති බව පමණකින් වාගේය. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ක්‍රියාවන් හතර දන්නා බැවින් අපට සාකච්ඡා කිරීමට ඇත්තේ විඥාන ක්‍රියාව පමණි. ලෝකයේ මමය, සත්වයාය, ආත්මයය ලෙස බොහෝවිට හඳුනාගන්නේ මේ ක්‍රියාවයි. විඥ්‍යාන ක්‍රියාවනම් විජානනයයි. (විජානාති' ති ඛෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණන්ති වුච්චති.) එනම් විශේෂයෙන් දැන ගැනීමයි. උදාහරණයකින් කීවොත් බොහෝ නම් ඇහෙන විට තමාගේ නම ඇසුනු විට ඒ මගේ නම යැයි විශේෂයෙන් දැන ගැනීමක් ඇත. මෙසේ නොයෙක් එවා අතුරින් එකක් දැන ගැනීම විඤ්ඤාණ (විඥාන) ක්‍රියාවයි. එය ඕනැම දැන ගැනීමක් විය හැකිය. සාමාන්‍යයෙන් දැන ගැනීම් හතරක් දැක්විය හැක. එනම් රූප දැන ගැනීම, වේදනා දැන ගැනීම, හඳුනා ගැනීම් (සංඥා) දැන ගැනීම, සිතුවිලි (චේතනා) දැන ගැනීම යි.

දැන් අපි ලෝකයේ මූලික ක්‍රියාවන් පහම සාකච්ඡා කල බැවින් ලෝකයේ සිදුවීම් විග්‍රහ කර ගැනීමට එම දැනුම භාවිතා කිරීමට උත්සහ කරමු. අපි පෙනීම සිදුවන හැටි මෙම ක්‍රියා පහෙන් විග්‍රහ කරගන්න බලමු. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ක්‍රියාවන් වල ක්‍රියාකාරීත්වය නිසා වර්ණ රූප හටගනී. එසේම එම මූලික ක්‍රියාවන් නිසා අතීත හේතු (අතීත හේතු බලපාන හැටි අප සාකච්ඡා කර ඇත්තෙමු. මෙහි අතීත හේතුව ද විඥාන වේ) ද උපකාරී වීමෙන් ඇසේ ප්‍රසාද රූපය ද හටගනී. මෙම වර්ණ රූප ද ප්‍රසාද රූපයෙහි ගැටුනු කල විඤ්ඤාණ (ක්‍රියා) පහක් ඇතිවේ.
එනම් ඇසේ වර්ණයක් ගැටුනා කියන රූපය දැනීම, ඒ ගැටුණු වර්ණය සැපය හෝ දුකය හෝ වශයෙන් වේදනාව දැනීම, ඒ ගැටුණු වර්ණය රතුය නිල්ය ආදී වශයෙන් සංඥාව දැනීම, වර්ණයක් දැක්කා බැලුවා ආදී වශයෙන් චේතනාව දැනීම, නැවත නැවත ඒ වර්ණය දකිමී යන කර්ම-ඵල දැනීම (ඊ ළඟ දැකීමට හේතුවන අතීත හේතුව ලෙස ඉහත සඳහන් කල විඥානය) යන පහයි.
දැන් දැකීම යන ක්‍රියාව සිදුවන හැටි පැහැදිලි ඇතැයි සිතමි. මෙසේ අනෙක් රස දැනීම, ශබ්ද ඇසීම, පහස දැනීම, ගන්ධ දැනීම හා සිතුවිලි පහලවීම යන ක්‍රියාවන් සිදුවන හැටිද වටහා ගත යුතුය. දැන් මම දකිමි, මම අසමි, වශයෙන් සිදුවන්නේ සිතුවිලි පහල වීම නම් ක්‍රියාවයි. අපට අතීතයක් තිබුනා, අනාගතයක් ඇතැයි සිතෙන්නේ අතීත හේතුවල බලපෑම නිසයි. උදාහරණයකින් කීවොත් කෝපී ඇටෙන් පැලයක් හටගත් පසු එම ඇටේ එහි නැත. ඉන්පසු ගස වැඩෙන්නේ පොළවේ, ජලයේ, වායුවේ ඇති සාරයෙනි. නමුත් අපි හැමදාම එයට කෝපි ගසක් යැයි නියනු මිස පොළවේ ගස හෝ, පස් වතුර වායූ ගස හෝ නොකියයි. ඒ අතීත හේතුව කෝපී ඇටයක් වීමයි. එසේ අපි ද ඉස්සරත් මං හිටියා දැනුත් මං ඉන්නවා යැයි කියයි. නමුත් අතීතයේ මගේ කිසිදු දෙයක් දැන් නැත. දැන් ශරීරය ඇත්තේ දැන් කන ආහාර නිසා මිස කුඩා අවදියේ කෑ ආහාර නිසා නොවේ. දැන් පහලවන සිතුවිලි ද දැන් ලැබෙන අරමුණු නිසා ඇතිවනවා මිස කුඩාකල ඇති වූ සිතුවිලි දැන් නැත. ඒ නිසා මම කියා කාලයක් පවතින දෙයක් නැත. නමුත් සම්මුති කතාවේ දී මම යැයි හැඳින්වීමේ ද දෝශයක් නැත.
මම ගැන මගේ විග්‍රහය අවසන්ය. යම් ගැටළුවක් ඇත්නම් හෝ අදහසක් ඇත්නම් සඳහන් කරන ලෙස ඉල්ලමි. ඊ ලඟ ලිපියෙන් අපහැදිලි ගැටළු සහගත තැන් පිළිබඳව ද අපි තවදුරටත් අවබෝධ කරගතයුතු කාරණා පිලිබඳව ද සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි.

ඔබට නිවන් සුව ලැබේවා !    

137 සතිය

සටන ඇත්තේ ලෝකයා සමග නොව තමාගේම සිත සමගයි

Saturday, June 13, 2015

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු 3

අප මෙතෙක් සාකච්ඡා කලේ හෞතික නැත්නම් පසිඳුරන්ට ගෝචර ලෝකය හා එහි යතාර්ථය පිළිබඳයි. ඒ ගැන ඔබට දැන් හොඳ අවබෝධයක් ඇතැයි සිතමි. මී ළඟට අපට සොයා බැලීමට ඇත්තේ ආත්මය යැයි වෙනත් දර්ශණයන් තුල පැවසෙන මේ මම  පිළිබඳවයි. මට ඉදිරිපත් කැරුණු ගැටළුවද මේ පිළිබඳවයි. නමුත් මගේ අදහස දක්වන්නට මත්තෙන් ලෝකයේ පවතින අදහස් කීපයක් සලකා බැලීම ද යොග්‍ය යැයි හැඟෙන බැවින් මුලින් ඒ පිළිබඳව කරුණු ටිකක් ඉදිරිපත් කරමි.

 මා දැනගත් පරිදි ලෝකයේ පවතින සියලු දර්ශනයන් ප්‍රධාන කොටස් දෙකකටද ඒ එක් එක් කොටසක් තවත් කොටස් දෙක බැගින් කොටස් හතරකට ද බෙදේ. උච්ඡේද වාදය හා ශාස්වථ  වාදය ලෙස බුදු දහමෙහි මෙම ප්‍රධාන කොටස් දෙක හැඳින්වේ.
එක් අදහසක් නම් ස්ථිර වූ යමක් ඇත යන්නයි. අනෙක් අදහසනම් කිසිවක් නැත යන්නයි. මෙම අදහසින් පළමු අදහස කොටස් දෙකක් වන්නේ මෙසේය:
ආත්මයයි ස්ථිර දෙයක් පවතින අතර එය මරණින් මතු සදාකාලික ජීවිතයකට පැමිණේ යන්න එක් මතයක් වන අතර එම ආත්මය මරණින් මතු සදාකාලික ජීවිතයකට නොගොස් දිගටම නැවත නැවත ඉපැදෙමින් ශරීර පමණක් වෙනස් කරමින් පවති යන්න අනෙක් අදහසයි.
දෙවන ප්‍රධාන අදහස කොටස් දෙකක් වන්නේ මෙසේය:
මේ ලෝකයතුල සියල්ල මරණින් අවසන් වන අතර ආත්මයයැයි ස්ථිර වූ දෙයක් නැත යන්න එක් මතයක් වේ.  මේ ලෝකය ශුන්‍ය යැයිද අපට ඇති ලෙසට පෙනෙන හැඟෙන සියල්ල මන:කල්පිතයක් (හරියට හීනයක් වගේ) පමණක් බවද අනෙක් මතයයි.

අප මෙම මත හතර පිළිබඳව ටිකක් සොයා බලමු. ආත්මයයැයි ස්ථිර වූ යමක් ඇත්නම් ඒ ස්ථිර වූ ආත්මය කුමක්ද? එය පාලනය වන්නේ කෙසේද? එය තිබෙන්නේ ශරීරයේ කුමන ස්ථානයක මොන ආකාරයකින්ද? අප දන්නවා අපි ඉපැදෙන මොහොතේ යමක් තිබුණි නම් ඒ අපේ ශරීරයත් මනස නමින් හැදින්වෙන සිතුවිලි සමූහයත් පමණි. එම ශරීරයේ කිසිවක් වැඩිවියට පැමිණෙන විට නොපවතින බව ඕනැම සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුට වැටහිය යුතුය. අඩුගානේ මැරුණට පස්සෙවත් ඒ සියල්ල පොළවටම එකතුවන බවවත් වැටහිය යුතුය. එසේනම් ආත්මයයැයි අප සලකනු ලබන්නේ අපේ සිතුවිලි සමූහය විය යුතුය. නමුත් හොඳින් කල්පනා කලවිට අපට වැටහෙනවා අපි කුඩාකල සිතූ කිසිවක්, ගති ලක්ෂණ කිසිවක් දැන් ඇත්තේ ද සිතන්නේ ද නැති වග. ඔනෑ තරම් “ඉස්සර හිටිය ඔයා නෙවේ දැන් ඉන්නේ“ යන පාඨය ඔබ ද අසා ඇතැයි මම සිතමි. එයින් අදහස් වන්නේ කලින් තිබූ අදහස්, මත, හැඟීම්, ගති ලක්ෂණ සියල්ල දැන් වන විට වෙනස් වී ඇති බවයි. එසේ නම් ස්ථිර වූ යමක් ඇත යන්න කොතරම් දුරට සාධාරණ දැයි අප සිතා බැලිය යුතුය.

අනෙක් මතයනම් කිසිවක් නැත යන්නයි. එයින් පළමු මතය වන සියල්ල මරණින් අවසන් වේ යන්න නම් අපට විග්‍රහ කරගතයුතු වන්නේ ඕනෑම දෙයක් කර මේ ජීවිතය හැකි පමණ සතුටු විය යුතුයි කියාය. නමුත් එසේ පවසන ඇතමුන්ද හොල්මන්, මලගිය ඇත්තන් විශ්වාස කරයි. එය සර්ව භෞතිකවාදී දර්ශනයකි.
ලෝකය ශුන්‍ය යැයි යන්න නම් තර්කානූකූලව පැහැදිලි කල නොහැක්කකි. මන්ද සියල්ල මන:කල්පිත නම් මගේ මන:කල්පිත ලෝකයේ පවතින දේ ඔබේ මන:කල්පිත ලෝකයේ පැවතීම තර්කාණුකූල නැත. මගේ මන:කල්පිත ලෝකයේ ඔබ සිටීම ද ඔබේ මන:කල්පිත ලෝකයේ මා සිටීම ද තර්කාණුකූල නැත.

මෙම මත හතරට අමතරව යම් මතයක් පවතී නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි. මෙම මත හතරින් යම් මතයක ඔබ සිටී නම් සහ තව දුරටත් එය නිවැරදි යැයි හැඟේ නම් ඉදිරිපත් තරන මෙන්ද ඉල්ලා සිටිමි. එවිට අපට ඒ පිළිබඳව වඩාත් ගැඹුරට සාකච්ඡා කල හැකි වෙයි. මම මම විග්‍රහ කරන ආකාරය ඊ ළඟ ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ඔබ මම ගැන සිතාබලා නිවැරදි අදහසකට අවබෝධයකට පැමිණිමට උත්සහ කරත්වා. තෙරුවන් සරණයි.

ඔබට නිවන් සැප ලැබේවා ! 

Tuesday, June 9, 2015

136 සතිය

අප ජීවත්වන්නේ මන:කල්පිත ලෝකයකයි. සෑබෑ ලෝකය තුල ජීවත් වන්නෙක් නැත.

Sunday, June 7, 2015

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු 2

ක්‍රියාව හා ශක්තිය 

මං කලිනුත් සදහන් කලා ක්‍රියාව හා ශක්තිය කියන්නේ දෙකක් නෙවේ එකක් කියලා. මොකද යම් ක්‍රියාවක්ම තමයි ශක්තිය ලෙස අපට විද්‍යාමාන වන්නේ. හෞතික විද්‍යාවේ උනත් ඒ දෙකම මනින්නේ ජූල් කියන එකම ඒකකයකින් සහ දෙකටම තියෙන්නේ එකම මාන. ඉතින් ශක්තියේ ස්භාවය තමයි ක්‍රියාවේ යෙදෙන එක. ඉතින් මේ ලෝකේ නිර්මිත වෙලා තියෙන්නේ ශක්ති පහකින්. ඒ තමයි ආපෝ, තේජෝ, වායෝ, පඨවි, විඥ්‍යාන කියන්නේ. කලින් ලිපිවල සඳහන් කලත් ඔබේ පහසුව පිණිස නැවත මේ එක් එක් ශක්තීන්ගේ ක්‍රියාකාරීත්වය යම් පමණකින් හෝ මෙහිදී ද සඳහන් කරමු.

ආපෝ යනු ආකර්ශණ ශක්තියට අනුරූප ක්‍රියාවක්. එයින් ශක්තීන් එකතු කරනවා. එනම් අනෙක් හෞතික ක්‍රියාවන් තුන එක්කරනවා. ඒ වගේම ක්‍රියාවලින් දෙකක් උනත් එක් කරන්න පුළුවන් උදාහරණයකින් කිව්වොත් තඹ කුට්ටි දෙකක් එකට තිබ්බට ඒ දෙක එක කුට්ටියක් වෙන්නෙ නෑ. නමුත් ඒ දෙක අතර ආපෝ ක්‍රියාව වැඩි කලොත් ඒ දෙක එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ද්‍රව කලොත්.
වායෝ යනු ප්‍රසාරණය කිරීමයි. ආපෝ වලින් එක් කරන ක්‍රියාවන් වෙන් කිරීම වායෝ ක්‍රියාවේ ප්‍රධාන ලක්ෂණයයි. සියළු වස්තූන්ට යම් ප්‍රමාණවත් බවක් (පරිමාවක්) ලැබෙන්නේ එබැවිනි. නැතිනම් සියළු ක්‍රියා එක් ලක්ෂයකට සීමා වේ.
පඨවි ක්‍රියාවනම් දැඩිබවක් කර්කශ බවක් ඇති කිරීමයි. අපේ ශරීරයට දැනෙන්නේ මේ ක්‍රියාවයි. 

 තේජෝ කියන්නේ ශක්තින්ගේ ක්‍රියාවේ ස්වරූපය වෙනස් කිරීම. මෙහිදි අවධාරණය කල යුත්තේ ස්වරූපය වෙනස් කිරීම යනු ඇති දෙයහි වෙනසක් කිරීම නොව ඉපැදෙන ක්‍රියාව නැවත ඒ අයුරින්ම ඉපැදීමට නොදී වෙනත් අයුරකින් ඉපැදීමට ක්‍රියා කිරීමයි. උදාහරණයකින් කියනවනම් මුලින් ඉපැදුනු ආපෝ ක්‍රියාව එකක් නම් තේජෝ ක්‍රියාව නිසා ඊ ළඟට උපදින ආපෝ ක්‍රියාව දහයක් විමයි. එහිදි කලින් හටගත් ආපෝ ක්‍රියාව දහගුණයක් වීමයැයි ගැනීම වැරදි ගැනීමකි. මන්ද ඕනෑම ක්‍රියාවක ඇත්තේ හටගෙන ක්‍රියාව සිදුකර එතැනම අවසන් වීම මිස ක්‍රියාවේ වේගය, ආකාරය, තරම වෙනස් කිරීමක් නොවේ.


හේතුව හා ඵලය

ලෝකය ගැන යම් අවබෝධයක් දැන් අපට ඇත. නමුත් මම ගැන සෙවීමට පෙර ලෝකයේ ක්‍රියාකාරීත්වය හෙවත් හේතු ඵල නියාය ගැන අවබෝධයක්ද ලබා ගැනීම සුදුසු යැයි සිතමි. හේතුව හා ඵලය ගැන කතා කරන විට අපට අතීත හේතූ වර්තමාන හේතූ යැයි දෙකක් අසන්නට ලැබේ.පටිච්ඡ සමුප්පාදයේ එන්නේ වර්තමාන හේතු බව ඉහත ලිපි පෙළ කියවූ අයටනම් වැටහීමක් ඇති යැයි සිතමි. නමුත් සාමාන්‍ය ලෝකයාට ඇත්තේ අතීත හේතු පිළිබඳ අවබෝධයකි. අතීතයේ සිදුවූ යම් ක්‍රියාවක් නිසා වර්තමානයේ ප්‍රතිඵලයක් ලැබේ යැයි ඔවුන්ගේ හැඟිමයි. එහි වරදක් නැතත් එහි යම් අඩුවක් ඇත. මන්ද අතීත හේතුවක් නිසා වර්තමාන ප්‍රතිඵලයක් ලැබේයැයි ගැනීමෙන් නැති දෙයකින් යමක් හට ගැනීමක් අදහස් වේ. මොකද අතීත ක්‍රියා කිසිවක් දැන් නොවේ නම් වර්තමානයේ ක්‍රියාවකට එය හේතුවක් වෙන්නේ කොහොමද? එය හරියට ගිය සතියේ කාපූ කෑමකට දැන් බඩපිරුණා කීම වැනිය. ඒ නිසා සෑම ක්‍රියාවකටම වර්තමාන හේතු තිබිය යුතුය. නමුත් අතීත හේතු නැතැයි ගැනීමද නොමඟ යැමකි. එසේනම් බුදුන් වහන්සේ කීයටවත් පෙර කල අකුසලයක් නිසා මෙය සිදු වී යැයි නොවදාළති. අපි එය උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.
කෝපි මලකට අනන්‍ය වූ සුවඳක් ඇත. නමුත් ඒ සුවඳ කෝපි ගසේ කිසිම කොටසක නැත. කෙනෙක් කෝපී ඇටයක් පැල කලා යැයි සිතමු. ඒ ඇටේ කෝපී මල් සුවඳ නැත. ඉන් හටගන්නා පැළයේවත් ඒ සුවඳ නැත. නමුත් එහි හටගන්නා මල පෙර මලෙහි තිබූ සුවඳම විහිදුවයි. එයින් රෝස මල් සුවඳක් වහනය නොවේ. මීට හේතුව පැලකල ඇටය කෝපී ඇටයක් විමයි ගැනීම වරදක් නැත. නමුත් ඇත්තටම නම් මලේ සුවඳට හේතුව මලේ ක්‍රියාවමයි. ඒ නිසයි මල නැසීමෙන් සුවඳ නැසිය හැක්කේ. නමුත් ඒ මලේ ක්‍රියාව රෝස මලේ ක්‍රියාවක් නොවී කෝපි මලේ ක්‍රියාවක්ම වූයේ එය කෝපී ගසෙහි හටගත් නිසයි. එනම් අතීත හේතුවයි.

හේතු ඵල දහම ගැන තවත් දැනගතයුතු කරුණක් ඇත. එනම් අපට කිසිම ක්‍රියාවක් සිදුවන්නේ කෙසේදැයි නොකිය හැකි අතර අපට කිව හැක්කේ එසේ වන්නේ ඇයි යන්න පමණි. නෙළුම් අලනම් කොපමණ කලක් ගියද මඩ හා ජලය ඇති විට පැල වෙයි. නමුත් එය සිදුවන්නේ කෙසේදැයි අපි නොදනිමු. එසේම අතීත හේතු වර්තමාන ක්‍රියාවන්ට බලපෑවත් එය වන්නේ කෙසේදැයි අපි නොදනිමු.

දැන් අපි භෞතික ලෝකය ගැන හුඟක් කරුණු දන්නා බැවින් දැන් මම ගැන සෙවීමට පහසුය. ඒ කොටසට යන්න මත්තෙන් මෙතෙක් සාකච්ඡා කල දේ ගැන යම් අදහසක් ගැටළුවක් ඇත්නම් දක්වන මෙන් ඉල්ලා සිටිමු. ඔබට තෙරුවන් සරණයි.

නිවන් සැප ලැබේවා !



Saturday, June 6, 2015

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු

යථාර්තය සොයා යටතේ ඉදිරිපත් කිරීමට සිටී කාරණා අවසන් උනත් පාඨක ඉල්ලීම් මත ඔවුන්ගේ ගැටළු වලට පිළිතුරු සැපයීමට දුන් පොරොන්දුව අනුව හැකි අවස්ථා වලදී ඒවාට පිළිතුරු සැපයීමට මම උත්සහ කරමි. ඒ අනුව එක් මිතුරියකගේ ඉල්ලීමකට අනුව මෙම ලිපිය ලියනු ලැබේ. මෙම ලිපිය ඇයට පමණක් නොව අනෙක් මිත්‍රයන්ට ද ප්‍රෙයා්ජනවත් වේ යැයි මම සිතමි.

ඇගේ ගැටළුව සත්වයාගේ සංසාර ගමන පිළිබඳවයි. අප කවුරු තුලත් පවතින මමත්වය නැතිනම් මගේ පැවැත්ම යන හැඟිම නිසා අපි කොහෙන්ද ආවේ කොහේටද යන්නේ කියන ගැටළුවත් ඊට යම් යම් පිළිතුරුත් ඒ ඒ පුද්ගලයන් තුල දක්නට ලැබෙනවා. මෙන්න මේ ගැටළුවම තමයි ඇයත් ඉදිරිපත් කර තිබුනේ. මෙම ගැටළුවට මා සඳහන් කල පරිදි විවිධ පුද්ගලයන් තුල පවතින පිළිතුරු පලමුව සාකච්ඡා කිරීමටත් ඉන්පසුව ඒවායින් නිවැරදි පිළිතුරක් තොරා ගැනීමටත් අපි උත්සහ කර බලමු.

අපි පළමුව මෙම පර්යේෂණය කොටස් කීපයකට වෙන්කර සිදු කරමු. එවිට අපට වඩාත් නිවැරදි පිළිතුරකට පැමිණිය හැකි වේවී.
ලෝකය සහ මම

අපිට ප්‍රධාන වශයෙන් මේ ලෝකය භෞතික හා අභෞතික ලෙස කොටස් දෙකකට වෙන්කර දක්වන්න පුළුවන්. මෙයින්, භෞතික කොටස මාතෘකාවේ ලෝකය ලෙසත් අභෞතික කොටස මම ලෙසත් සඳහන් කලෙමි. හෞතික ලෝකය යනු අපට පෙනෙන දැනෙන ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට ගෝචර දේවල් බැවින් ඒ ගැන වැඩි ගැටළුකාරී බවක් අපට දැනෙන්නේ නැත. මිනිසුන්ට ගැටළුවක් වී  ඇත්තේ අනෙක් කොටසයි. එනම් මනසට පමනක් ගෝචර වන මේ මම යන හැඟීමයි. මොකද අභෞතික ලෝකය හැම විටම යම් සත්වයෙක් මුල් කරගෙනයි පවතින්නේ. ඒ නිසා ඒ යියළු සත්වයන් මම යන පොදු නාමයෙන් දැක්විය හැක. මන්ද ඒ ඒ සත්වයන් ඒ ඒ සත්වයන් හඳුන්වාගන්නේ “මම“ලෙසටයි.

හෞතික ලෝකය ගැන එතරම් ගැටළුවක් නැතත් ලිපියේ පූර්ණත්වය සලකා ඒ පිළිබඳවත් යම් තරමකට හෝ පර්යේෂණය කිරීම අභෞතික ලෝකය තේරුම් ගැනීමටත් උපකාරී වේ යැයි සිතමි. මන්ද පෙනෙන දැනෙන ලෝකය ගැන අවබෝධයකින් තොරව නොපෙනෙන ලෝකය තේරුම් ගැනීම ඉතා දුෂ්කර බැවිනි.

 ලෝකය ගැන සම්පූර්ණ විස්තරයක් මගේ මුල් ලිපිවල අන්තර්ගත බැවින් මෙහි දි ඒ පිළිබඳ කෙටි විස්තරයක්
පමණක් දක්වමි. අපි එහිදී මේ ලෝකය ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මූලික ශක්තීන්ගෙන් නිර්මිත බව දැන ගතිමු. මෙහිදී අවධාරණය කලයුතු කරුණක් වන්නේ ශක්තියක් ලෙස හදුන්වන්නේ දෙයක් නොව ක්‍රියාවක් බවයි. මන්ද අපි භෞතික විද්‍යාවේ දී ශක්තිය ගබඩා කර තැබීමක් ගැන සඳහන් කරන බැවින් ශක්තියත් අක්‍රිය අවස්ථාවේ පවතිනවා යැයි කෙනෙකුට හැඟී යා හැක. නමුත් මෙහි සඳහන් කරන නැත්නම් ලෝකය නිර්මිත වී පවතින කිසිම ශක්තියක් අක්‍රිය අවස්ථාවේ නොපවතින බව තේරුම් ගත යුතුය. ඒ පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි. එවිට එය වඩාත් විස්තරාත්මකව සාකච්ඡාවට බඳුන් කල හැකිය.
අපි මෙම මූලික ශක්තීන්ගෙන් එකක් පමණක් මෙහිදි සාකච්ඡා කිරීම සෑහේ. මන්ද එවිට අනෙක් තුන ගැනද අදහසක් ගත හැකිය. ආපෝ යනු ගලායන වැගිරෙන, ඇලෙන ස්භාවයයි (ආකර්ශන ශක්තිය). අපි දන්නවා මෙම ස්භාවය සෑම වස්තුවකම තියෙනවා. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ ගලායාමේ ශක්තිය සෑම වස්තුවකම ගබඩා වෙලා තියෙනවා ගලායනකොට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. එයින් අදහස් වෙන්නේ සෑම වස්තුවක්ම ගැලීම, ඇලීම නම් ක්‍රියාවන් හී යෙදෙන බැවින් ආපෝ ගුණය සෑම වස්තුවකම ඇති බවයි. ඉතින් මේ වාගේ තේජෝ, වායෝ, පඨවි කියන ක්‍රියා තුනම ද සෑම විටම ක්‍රියාවේ යෙදෙනවා. මේ නිසා මේ ලෝකය නිර්මිත වෙලා තියෙන්නේ ක්‍රියාවන්ගෙනුයි. ඒ නිසා මේ ලෝකය ක්‍රියාවලින්ගේ එකතුවක් ලෙස දැක්විය හැකිය.
මේ ක්‍රියාවලීන් එකට එකක් වෙන් වී ක්‍රියාත්මක වන නිසා අපට ඒ ඒ වස්තුන් එකිනෙකින් වෙන් කොට හදුනාගන්න පුළුවන්. උදාහරණයකට පොත් දෙකක් එක ලඟ තැබුවහොත් එක් පොතක ක්‍රියාවලිය අනෙක් පොතෙහි ක්‍රියාවලිය සමඟ මිශ්‍ර වී එක පොතක් බවට පත් නොවීම දැක්විය හැකියි. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ පොත් දෙක කිසිසේත් එක පොතක් කල නොහැකී කියා.
මේ අනුව අපට පෙනී යනවා ලෝකය යනු ක්‍රියාවලීන් අනන්ත ප්‍රමාණයක එකතුවක් බවත් ඒ ඒ ක්‍රියාවලීන් බොහෝ විට එකිනෙකින් ස්වායක්තව ක්‍රියාත්මක වුවත් යම් යම් අවස්ථාවලදී එක් එක් ක්‍රියාවලින් අනෙක් ක්‍රියාවලින් සමඟ ද අන්තර්ක්‍රියා කරන බවත්.
මී ළඟට අප තේරුම් ගතයුත්තේ ක්‍රියාවක් යනු කුමක් ද? එහි ගති ලක්ෂණ කෙසේද? යන්නයි.  ඒ පිළිබඳව ඊ ළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. ඔබට තෙරුවන් සරණයි.

නිවන් සැප ලැබේවා !

Monday, June 1, 2015

මගේ කතාව 2 - යතුරුපැදියේ මාරයා

 අපි කොළඹට සංක්‍රමණය වන විට අයියා උන්නේ හතර වසරේය. ඒ නිසා අයියාට යමක් කමක් තේරෙන බැවින් මාව බලා ගැනීමේ වගකීමෙන් කොටසක් අයියාට ද හිමි විය. පාසලේ දී අනෙක් ළමුන්ගෙන් සිදුවන අඩන් තේට්ටන් වල දී ද වෙනත් අකරතැබ්බ වලදී ද මා වෙනුවෙන් අයියා ඉදිරිපත් විය. කවුරුන් හෝ මට තරවටු කලහොත් අයියාගේ පවර් ගෙන මම ද ඔවුන්ට ප්‍රති වාග් ප්‍රහාර එල්ල කරයි.

මෙසේ කාලය යද්දී සිදුවූ එක් සිදුවීමක් මට මතකය. මම එතරම් කාර්යය ශූර්යය ළමයෙක් නොවුනත් අනෙක් ළමුන් හා කරට කර වැඩ කිරීමේ උවමනාවක් මට ද තිබුනු බැවින් මටත් පුළුවන් යැයි පෙන්වීමට උඩවල් වල, ගස් වල නැගීමට, අල්ලන සෙල්ලං වැනි මහන්සි වන වැඩ කිරීමට පෙළඹුනි. දිනක් විවේක කාලයේ දී පාසැල් භුමියේ පිහිටි කපා දැමූ ගසක කොටයක් මතට නැගෙමින් එයින් බිමට පනිමින් ළමුන් ක්‍රිඩාවක යෙදී සිටිනු දුටු මම මටත් පුළුවන් යැයි සිතා කොටය උඩට නැග එයින් බිමට පැනීමට බිම බැලිමී. මට එවිට බියක් ඇති වී පනිම් දෝ නැද්දෝයි කියා සිතමින් සිටින විට මට පිටු පසින් කොටය මතට නැඟි සිසුවා “පනිනවා ඕයි ඉක්මනට“ කියා මාව තල්ලු කලේ ය. නොසිතූ මොහොතේ ලැබුනු තල්ලුවෙන් මා විසි වී ගොස් බිම වැටී අත පය තුවාල විය. ඒ වේලාවේ මිතුරන් එක් වී වහා ගොස් ගුරු මැණි කෙනෙකුන් ට දන්වා මට බෙහෙත් දැමීමට යුහුසුළු විය. තාත්තාට දුරකතන ඇමතුමක් දුන්අතර තාත්තා එනතුරු මා බලා ගැනීමට අයියා ට සිදුවිය.

කාලයක් ගතවන විට තාත්තා ට උසස් වීමක් ලැබුනු අතර තව දුරටත් අපි දෙන්නාව තාත්තාගේ රැකියා ස්ථානයේ හවස් වරුවේ තබා ගැනීමට දුෂ්කර විය. ඒ නිසා මාව හවස් වරුවට බලා ගැනීම අයියාට බාර දී මාවත් අයියාවත් පාසැල් ඇරුණු පසු ගෙදරට ගෙනැවිත් දමා දොරවල් වසා නැවත වැඩට යාමට තාත්තා පුරුදු විය. ඒ අතරතුර තාත්තා ව කවුරුන් හෝ සෙව්වොත් ගැටළු මතුවිය හැකි බැවින් අපව ගෙදරට දමා හැකි ඉක්මනින් නැවත වැඩට යාමට තාත්තාට සිදු වූ අතර වැඩපලේ සිටින මිතුරන්ගෙන් ද උපකාර ලැබිණ. එසේ යන එක් දිනක තාත්තා අනතුරට පත් වී තිබිණ. අපි ගෙදර සිට තාත්තා පරක්කු මොකදැයි හැන්දෑවේ බලා උන්නෙමු. ඒ කාලයේ ජංගම දුරකතන ද නොතිබූ බැවින් සොයා බැලීමට විධියක් ද නොතිබිනි. නමුත් බිම් කළුවර වැටීගෙන එනවිට තාත්තා අතපය වෙලාගෙන පයින්ම ගෙදර ආවේය. තාත්තා අනතුරට පත් වී තුබූ අතර බයිසිකලය පොලීසිය බාරයේ තිබිනි.

තවත් දිනක් ගේ ගිනි ගැනීමට ද බයිසිකලය හේතු විය. එදා පුරුදු පරි දි අම්මා වැඩට ගොස් සිටි අතර මමත් අයියා ත් පාසල් යාමට සූදානම් වී සිටියෙමු. එදා උදේ වරුවේ විදුලිය ද බිඳ වැටී තිබුනි. තාත්තා බයිසිකලය ක්‍රියා කරවීමට උත්සහ කලත් එහි දෝශයක් විය. විදුලියත් නොමැති බැවින් තාත්තා ඉටි පන්දමක් දල්වාගෙන බයිසිකලය අලුත් වැඩියා කිරීමට පටන් ගත්තේය. එකපාරටම ඉටිපන්දම පෙරැලි තෙල් වලට ඇවිලීගොස් විශාල ගින්නක් ඇතිවිය. එයින් නැගුනු ගිනිදැල් වහල දක්වා උසට විය. ඇතුලේ සිටි අපි වතුර ගෙනත් ගැසුවෙ මු. ගෝනී ගෙනත් දැමු විට එවාට ද ගිනි ඇවිලිනි. මෙවිට බයිසිකලයට ගිනි ඇවිලි තිබුනු බැවින් එය පිපිරී යාමේ අවධානමක් ඇති බව දැනගත් තාත්තා වහා බයිසිකලය දෑතින් ඔසවා එලියට විසි කලේය. එවිට පාරේ යමින් සිටි තරුණ අයියලා දෙදෙනෙක් පැමිණ බයිසිකලයට වැලි ද පස් ද ගසා ගින්න නිවා දැමීය. ඒ අතර තාත්තා වතුර ගසා කෙසේ හෝ ගෙයි ගින්න මැඩ පැවැත් වීය. එයින් ගෙදර තුබූ බඩු කීපයක්ම අර්ධ වශයෙන් පිලිස්සුණි.
මෙම සිද්ධිය සැළ වූ පසු අම්මාගේ නිගමනය වූයේ බයිසිකලය අපට අපල බවත් වහාම බයිසිකලය විකුණා දැමිය යුතුය යන්නයි.