Saturday, June 6, 2015

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු

යථාර්තය සොයා යටතේ ඉදිරිපත් කිරීමට සිටී කාරණා අවසන් උනත් පාඨක ඉල්ලීම් මත ඔවුන්ගේ ගැටළු වලට පිළිතුරු සැපයීමට දුන් පොරොන්දුව අනුව හැකි අවස්ථා වලදී ඒවාට පිළිතුරු සැපයීමට මම උත්සහ කරමි. ඒ අනුව එක් මිතුරියකගේ ඉල්ලීමකට අනුව මෙම ලිපිය ලියනු ලැබේ. මෙම ලිපිය ඇයට පමණක් නොව අනෙක් මිත්‍රයන්ට ද ප්‍රෙයා්ජනවත් වේ යැයි මම සිතමි.

ඇගේ ගැටළුව සත්වයාගේ සංසාර ගමන පිළිබඳවයි. අප කවුරු තුලත් පවතින මමත්වය නැතිනම් මගේ පැවැත්ම යන හැඟිම නිසා අපි කොහෙන්ද ආවේ කොහේටද යන්නේ කියන ගැටළුවත් ඊට යම් යම් පිළිතුරුත් ඒ ඒ පුද්ගලයන් තුල දක්නට ලැබෙනවා. මෙන්න මේ ගැටළුවම තමයි ඇයත් ඉදිරිපත් කර තිබුනේ. මෙම ගැටළුවට මා සඳහන් කල පරිදි විවිධ පුද්ගලයන් තුල පවතින පිළිතුරු පලමුව සාකච්ඡා කිරීමටත් ඉන්පසුව ඒවායින් නිවැරදි පිළිතුරක් තොරා ගැනීමටත් අපි උත්සහ කර බලමු.

අපි පළමුව මෙම පර්යේෂණය කොටස් කීපයකට වෙන්කර සිදු කරමු. එවිට අපට වඩාත් නිවැරදි පිළිතුරකට පැමිණිය හැකි වේවී.
ලෝකය සහ මම

අපිට ප්‍රධාන වශයෙන් මේ ලෝකය භෞතික හා අභෞතික ලෙස කොටස් දෙකකට වෙන්කර දක්වන්න පුළුවන්. මෙයින්, භෞතික කොටස මාතෘකාවේ ලෝකය ලෙසත් අභෞතික කොටස මම ලෙසත් සඳහන් කලෙමි. හෞතික ලෝකය යනු අපට පෙනෙන දැනෙන ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට ගෝචර දේවල් බැවින් ඒ ගැන වැඩි ගැටළුකාරී බවක් අපට දැනෙන්නේ නැත. මිනිසුන්ට ගැටළුවක් වී  ඇත්තේ අනෙක් කොටසයි. එනම් මනසට පමනක් ගෝචර වන මේ මම යන හැඟීමයි. මොකද අභෞතික ලෝකය හැම විටම යම් සත්වයෙක් මුල් කරගෙනයි පවතින්නේ. ඒ නිසා ඒ යියළු සත්වයන් මම යන පොදු නාමයෙන් දැක්විය හැක. මන්ද ඒ ඒ සත්වයන් ඒ ඒ සත්වයන් හඳුන්වාගන්නේ “මම“ලෙසටයි.

හෞතික ලෝකය ගැන එතරම් ගැටළුවක් නැතත් ලිපියේ පූර්ණත්වය සලකා ඒ පිළිබඳවත් යම් තරමකට හෝ පර්යේෂණය කිරීම අභෞතික ලෝකය තේරුම් ගැනීමටත් උපකාරී වේ යැයි සිතමි. මන්ද පෙනෙන දැනෙන ලෝකය ගැන අවබෝධයකින් තොරව නොපෙනෙන ලෝකය තේරුම් ගැනීම ඉතා දුෂ්කර බැවිනි.

 ලෝකය ගැන සම්පූර්ණ විස්තරයක් මගේ මුල් ලිපිවල අන්තර්ගත බැවින් මෙහි දි ඒ පිළිබඳ කෙටි විස්තරයක්
පමණක් දක්වමි. අපි එහිදී මේ ලෝකය ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මූලික ශක්තීන්ගෙන් නිර්මිත බව දැන ගතිමු. මෙහිදී අවධාරණය කලයුතු කරුණක් වන්නේ ශක්තියක් ලෙස හදුන්වන්නේ දෙයක් නොව ක්‍රියාවක් බවයි. මන්ද අපි භෞතික විද්‍යාවේ දී ශක්තිය ගබඩා කර තැබීමක් ගැන සඳහන් කරන බැවින් ශක්තියත් අක්‍රිය අවස්ථාවේ පවතිනවා යැයි කෙනෙකුට හැඟී යා හැක. නමුත් මෙහි සඳහන් කරන නැත්නම් ලෝකය නිර්මිත වී පවතින කිසිම ශක්තියක් අක්‍රිය අවස්ථාවේ නොපවතින බව තේරුම් ගත යුතුය. ඒ පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි. එවිට එය වඩාත් විස්තරාත්මකව සාකච්ඡාවට බඳුන් කල හැකිය.
අපි මෙම මූලික ශක්තීන්ගෙන් එකක් පමණක් මෙහිදි සාකච්ඡා කිරීම සෑහේ. මන්ද එවිට අනෙක් තුන ගැනද අදහසක් ගත හැකිය. ආපෝ යනු ගලායන වැගිරෙන, ඇලෙන ස්භාවයයි (ආකර්ශන ශක්තිය). අපි දන්නවා මෙම ස්භාවය සෑම වස්තුවකම තියෙනවා. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ ගලායාමේ ශක්තිය සෑම වස්තුවකම ගබඩා වෙලා තියෙනවා ගලායනකොට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. එයින් අදහස් වෙන්නේ සෑම වස්තුවක්ම ගැලීම, ඇලීම නම් ක්‍රියාවන් හී යෙදෙන බැවින් ආපෝ ගුණය සෑම වස්තුවකම ඇති බවයි. ඉතින් මේ වාගේ තේජෝ, වායෝ, පඨවි කියන ක්‍රියා තුනම ද සෑම විටම ක්‍රියාවේ යෙදෙනවා. මේ නිසා මේ ලෝකය නිර්මිත වෙලා තියෙන්නේ ක්‍රියාවන්ගෙනුයි. ඒ නිසා මේ ලෝකය ක්‍රියාවලින්ගේ එකතුවක් ලෙස දැක්විය හැකිය.
මේ ක්‍රියාවලීන් එකට එකක් වෙන් වී ක්‍රියාත්මක වන නිසා අපට ඒ ඒ වස්තුන් එකිනෙකින් වෙන් කොට හදුනාගන්න පුළුවන්. උදාහරණයකට පොත් දෙකක් එක ලඟ තැබුවහොත් එක් පොතක ක්‍රියාවලිය අනෙක් පොතෙහි ක්‍රියාවලිය සමඟ මිශ්‍ර වී එක පොතක් බවට පත් නොවීම දැක්විය හැකියි. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ පොත් දෙක කිසිසේත් එක පොතක් කල නොහැකී කියා.
මේ අනුව අපට පෙනී යනවා ලෝකය යනු ක්‍රියාවලීන් අනන්ත ප්‍රමාණයක එකතුවක් බවත් ඒ ඒ ක්‍රියාවලීන් බොහෝ විට එකිනෙකින් ස්වායක්තව ක්‍රියාත්මක වුවත් යම් යම් අවස්ථාවලදී එක් එක් ක්‍රියාවලින් අනෙක් ක්‍රියාවලින් සමඟ ද අන්තර්ක්‍රියා කරන බවත්.
මී ළඟට අප තේරුම් ගතයුත්තේ ක්‍රියාවක් යනු කුමක් ද? එහි ගති ලක්ෂණ කෙසේද? යන්නයි.  ඒ පිළිබඳව ඊ ළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. ඔබට තෙරුවන් සරණයි.

නිවන් සැප ලැබේවා !

No comments:

Post a Comment