Saturday, June 13, 2015

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු 3

අප මෙතෙක් සාකච්ඡා කලේ හෞතික නැත්නම් පසිඳුරන්ට ගෝචර ලෝකය හා එහි යතාර්ථය පිළිබඳයි. ඒ ගැන ඔබට දැන් හොඳ අවබෝධයක් ඇතැයි සිතමි. මී ළඟට අපට සොයා බැලීමට ඇත්තේ ආත්මය යැයි වෙනත් දර්ශණයන් තුල පැවසෙන මේ මම  පිළිබඳවයි. මට ඉදිරිපත් කැරුණු ගැටළුවද මේ පිළිබඳවයි. නමුත් මගේ අදහස දක්වන්නට මත්තෙන් ලෝකයේ පවතින අදහස් කීපයක් සලකා බැලීම ද යොග්‍ය යැයි හැඟෙන බැවින් මුලින් ඒ පිළිබඳව කරුණු ටිකක් ඉදිරිපත් කරමි.

 මා දැනගත් පරිදි ලෝකයේ පවතින සියලු දර්ශනයන් ප්‍රධාන කොටස් දෙකකටද ඒ එක් එක් කොටසක් තවත් කොටස් දෙක බැගින් කොටස් හතරකට ද බෙදේ. උච්ඡේද වාදය හා ශාස්වථ  වාදය ලෙස බුදු දහමෙහි මෙම ප්‍රධාන කොටස් දෙක හැඳින්වේ.
එක් අදහසක් නම් ස්ථිර වූ යමක් ඇත යන්නයි. අනෙක් අදහසනම් කිසිවක් නැත යන්නයි. මෙම අදහසින් පළමු අදහස කොටස් දෙකක් වන්නේ මෙසේය:
ආත්මයයි ස්ථිර දෙයක් පවතින අතර එය මරණින් මතු සදාකාලික ජීවිතයකට පැමිණේ යන්න එක් මතයක් වන අතර එම ආත්මය මරණින් මතු සදාකාලික ජීවිතයකට නොගොස් දිගටම නැවත නැවත ඉපැදෙමින් ශරීර පමණක් වෙනස් කරමින් පවති යන්න අනෙක් අදහසයි.
දෙවන ප්‍රධාන අදහස කොටස් දෙකක් වන්නේ මෙසේය:
මේ ලෝකයතුල සියල්ල මරණින් අවසන් වන අතර ආත්මයයැයි ස්ථිර වූ දෙයක් නැත යන්න එක් මතයක් වේ.  මේ ලෝකය ශුන්‍ය යැයිද අපට ඇති ලෙසට පෙනෙන හැඟෙන සියල්ල මන:කල්පිතයක් (හරියට හීනයක් වගේ) පමණක් බවද අනෙක් මතයයි.

අප මෙම මත හතර පිළිබඳව ටිකක් සොයා බලමු. ආත්මයයැයි ස්ථිර වූ යමක් ඇත්නම් ඒ ස්ථිර වූ ආත්මය කුමක්ද? එය පාලනය වන්නේ කෙසේද? එය තිබෙන්නේ ශරීරයේ කුමන ස්ථානයක මොන ආකාරයකින්ද? අප දන්නවා අපි ඉපැදෙන මොහොතේ යමක් තිබුණි නම් ඒ අපේ ශරීරයත් මනස නමින් හැදින්වෙන සිතුවිලි සමූහයත් පමණි. එම ශරීරයේ කිසිවක් වැඩිවියට පැමිණෙන විට නොපවතින බව ඕනැම සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුට වැටහිය යුතුය. අඩුගානේ මැරුණට පස්සෙවත් ඒ සියල්ල පොළවටම එකතුවන බවවත් වැටහිය යුතුය. එසේනම් ආත්මයයැයි අප සලකනු ලබන්නේ අපේ සිතුවිලි සමූහය විය යුතුය. නමුත් හොඳින් කල්පනා කලවිට අපට වැටහෙනවා අපි කුඩාකල සිතූ කිසිවක්, ගති ලක්ෂණ කිසිවක් දැන් ඇත්තේ ද සිතන්නේ ද නැති වග. ඔනෑ තරම් “ඉස්සර හිටිය ඔයා නෙවේ දැන් ඉන්නේ“ යන පාඨය ඔබ ද අසා ඇතැයි මම සිතමි. එයින් අදහස් වන්නේ කලින් තිබූ අදහස්, මත, හැඟීම්, ගති ලක්ෂණ සියල්ල දැන් වන විට වෙනස් වී ඇති බවයි. එසේ නම් ස්ථිර වූ යමක් ඇත යන්න කොතරම් දුරට සාධාරණ දැයි අප සිතා බැලිය යුතුය.

අනෙක් මතයනම් කිසිවක් නැත යන්නයි. එයින් පළමු මතය වන සියල්ල මරණින් අවසන් වේ යන්න නම් අපට විග්‍රහ කරගතයුතු වන්නේ ඕනෑම දෙයක් කර මේ ජීවිතය හැකි පමණ සතුටු විය යුතුයි කියාය. නමුත් එසේ පවසන ඇතමුන්ද හොල්මන්, මලගිය ඇත්තන් විශ්වාස කරයි. එය සර්ව භෞතිකවාදී දර්ශනයකි.
ලෝකය ශුන්‍ය යැයි යන්න නම් තර්කානූකූලව පැහැදිලි කල නොහැක්කකි. මන්ද සියල්ල මන:කල්පිත නම් මගේ මන:කල්පිත ලෝකයේ පවතින දේ ඔබේ මන:කල්පිත ලෝකයේ පැවතීම තර්කාණුකූල නැත. මගේ මන:කල්පිත ලෝකයේ ඔබ සිටීම ද ඔබේ මන:කල්පිත ලෝකයේ මා සිටීම ද තර්කාණුකූල නැත.

මෙම මත හතරට අමතරව යම් මතයක් පවතී නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි. මෙම මත හතරින් යම් මතයක ඔබ සිටී නම් සහ තව දුරටත් එය නිවැරදි යැයි හැඟේ නම් ඉදිරිපත් තරන මෙන්ද ඉල්ලා සිටිමි. එවිට අපට ඒ පිළිබඳව වඩාත් ගැඹුරට සාකච්ඡා කල හැකි වෙයි. මම මම විග්‍රහ කරන ආකාරය ඊ ළඟ ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ඔබ මම ගැන සිතාබලා නිවැරදි අදහසකට අවබෝධයකට පැමිණිමට උත්සහ කරත්වා. තෙරුවන් සරණයි.

ඔබට නිවන් සැප ලැබේවා ! 

No comments:

Post a Comment