Monday, December 31, 2012

10 ලිපිය - ගැටළු වලට පිළිතුරු අවසානය

3 වන ගැටළුවට කලින් මං කැමතී 4 වන ගැටළුවට පිලිතුරක් දෙන්න. ඔය අන්නරා භවය ගැන ගැටළු එන්නේ භවය නොදන්න කම නිසා. යම් තැනක පංචස්කන්ධයෙහි හට ගැනීමක් වෙයිද එතැන භවයක් ඇත. දැන් බලන්න යම් පුද්ගලයෙක් මිය ගිය වහාම නැවත පංචස්කන්ධය පහල වෙනවාමයි නිවන් දැකලා නැත්නම්. ඒක එක් නිමේශයකට වෙන්න පුළුවන් නැත්නම් සතියකට වෙන්න පූළුවන් භවයක් හට ගන්න මවු කුසකින් ම උපදින්න අවශ්‍ය නෑ. සමහර මෝහන කිරීම් වලදී කියැවෙනවා මම මව් කුසක් හොයාගෙන පා වුනා කියලා. ඒක අන්තරා භවයක් නොවෙයි. ඒකත් එක්තරා භවයක්ම තමයි. ඒක තාවකාලික නැතිනම් ටික කාලයකට වෙන්න පුළුවන්. අන්තරා භවයෙහි අර්ථය භවයන් දෙකක් අතර කාලයයි. නමුත් එහෙම එකක් නෑ. චුති චිත්තයට පස්සේ ප්‍රතිසන්ධි චිත්තය ඇති වෙනවාමයි. එයම අලුත් භවයක හට ගැනීමක් වේ.

දැන් අපි 3 වැනි ප්‍රශ්නය බලමු. සංසාරය චක්‍රයක් නම් එකම දේ නැවත නැවත සිදු විය යුතුයි නේද? මෙතනදිත් චක්‍රයක් යනු වලල්ලක් වගේය යන අදහසකින් තමයි ඔය ප්‍රශ්නය අහන්නේ. නමුත් ඒක එවැනි චක්‍රයක් නෙවෙයි. මං ඒක උදාහරණයකින් දක්වන්නම්. හිතන්න රවුම් ගගක් ඒක විශාල රවුමක් සහිත ගගක්. ඒකේ ඉන්න මාලුවෙක් මම මේ ගගෙහි පටන් ගන්නා තැනට යනවයි කියලා ගලන පැත්තට විරුද්ධව පීනනවා. අවුරුද්දක් විතර පීනලා ඌ පටන් ගත්තු තැනටම එනවා. නමුත් ඌට මේ මම පටන් ගත් තැනය කියලා තෙරෙන්නේ නෑ මොකද ගග වෙනස් වෙලා. ඌ දිගටම පීනනවා. කවදාවත් පටන්ගත්තු තැනක් හොයන්නත් බෑ ගග රවුම් කියලා දන්නෙත් නෑ. ඒ වගේමයි ඉදිරියට පීනුවත් මේ මා කලින් පහු කල තැනක් කියලා තැනක් නෑ. නමුත් යම් දවසක ඌ කුරුල්ලෙක් වෙලා ඉහලට පියෑඹුවොත් පෙනේවී මේක රවුම් ගගක් කියලා.

මේ සංසාරෙත් ඒ වගේ කවදාවත් ආරම්භයක් හොයන්න බෑ. මොකද හැම ප්‍රතිඵලයකටම හේතුවක් තියෙනවා. අනෙක් අතට හැම හේතුවක් වගේම ප්‍රතිඵලයක්. හැබැයි හැම ප්‍රතිඵලයක්ම හේතුවක් වෙන්නේ නෑ. ඒකයි නිවන් දකින්න පුළුවන්.

මෙතැනින් 10 වැනි ලිපිය අවසන් වෙනවා. 2012 වර්ශයත් අවසන් වෙනවා.

ප.ලි.   මෙතෙක් කාලයක් මා සමග හිදිමින් මාව දිරිමත් කල ඔබට නිවන් සුව ලැබේවා. !  2013 වර්ශයේ අලුත්ම ලිපි පෙලකින් ඔබව හමුවන්නට බලාපොරොත්තු වන අතර මෙතෙක් ලියූ ලිපි වලින් යම් කිසි ජිවිතාවබෝධක් හෝ යහපතක් ලැබුනේ නම් මගේ අරමුණ ඉටු වී ඇත. මගේ බ්ලොගිය බලන්නන්ගෙන් 1/3 ක් විදේශ ගත වූවන් වීම ද සතුටට කාරණයකි. ඉදිරි ලිපි ඔවුන් වෙනුවෙන් ද ලියමි. ස්තූතියි. !

Saturday, December 29, 2012

42 සතිය

ඔබ කොතරම් අපරාධ කලත් අවසාන මොහොතේ යහපත් සිතිවිල්ලක් ඇත්නම් යහපත් තැනක ඉපැදේ. එම නිසා අයහපත් දේ කලාට කම් නැත.. ඊලග මොහොතේ වුවද ඔබ මිය යා හැක.

Thursday, December 27, 2012

ප්‍රේමයේ සරදම


මා සිත පෙම්කල මා පෙම්වතියේ
ඔබ අද අප නිවසට එනවා
මා නෙතු කැන් කදුලින් පුරවාලා
නුඹ නිවසට කැන්දන් එනවා

මනාලියක් වී නුඹ සැරසේවී
පෝරුව මත හිද මුදු පලදාවී
නිවසෙ සිනා හඩ දෝර ගලාවි
මටම මගේ හිත සාප කරාවි

නුඹේ සිනාහඩ පිලිරැව් දේවි
නුඹේ කතාවන් සවන වැකේවී
ඔබේ දසුන සැම තැනක මැවේවි
කෙලෙසක මා සිත ඒ ඉවසාවි

මා ආදරේ බව ඔබට කියා නැත
මා පෙම් කල බව නුඹ දන්නේ නැත
නුඹේ සතුට නොව පැතුයෙ නුඹේ වත
වැරදි ඔහු නොවෙයි වැරදි මගේ සිත

Monday, December 24, 2012

අනුන්ගේ මගුල

බොලාලා බලනවා ඇති මොකදෑ මේකා මේ හැටි මගුල් වලටම කෙනෙහෙලි කම් කොරන්නේ මුගේ මගුලට කෙලවෙලා වද්ද කියාලා. අනේ අම්මපල්ලා මගේ මගුල් එක්ක එහෙම ආරෝවක් නෑ බාල්ලා. මාත් කැමති බොලාලා ලස්සනට මගුලක් ගන්නවට. ඒත් බාං මේ රටේ එදා වේල කන්ට නැතිව දහසක් එවුන් හූලද්දී එක දොහක් වෙනුවෙන් කරන මේ විනාසය තමා මට රුස්සන්නැත්තේ.
 අම්මාපල්ලන්න මෙව්වා ඇහැට කනට වැටෙනකොට මගේ කට කොයි කොයි ගානවා. ඒක නෙව ඔන්න ඔහේ යන යකා කොරහත් බිදගෙන පලච්චාවේ කියාලා මෙන්න මේකත් කියාලාම යන්න හිතුනෙ.

බොලාට කියන්න අපේ නගා මේ දෙතුන් දොහක ඉදාන් ලක ලැහැස්ති වෙනවා. නෑ නෑ උන්දැගෙ නෙවී යාළුවෙක්ගේ මගුලකට යන්න. ඉතීන් කොච්චරවාත් කන්කෙදිරිගාලා තාත්තාගෙන් තුන් හාරදාහකුත් ඉල්ලාගෙන අම්මාත් එක්ක ගියානෙව සොපින්. බොලාට කිව්වට මොකෑ මේකී කොහොමින් හරි ගෙඩි පිටින්ම රු 10 000කට කෙල කරලනෙව ආවේ. ඒ මදිවට තව ලිවුන් කරදහියක දමා එන්ට රු 3 000 කුත් ඉල්ලා ගත්ත නෙව.

අනේ අම්මාපල්ලා මං අහන්නේ මේ කාගෙවත් මගුලකට ගෙහුන් එක වේලක් කන්ට 15000 වියදම් කොරාපන්කෝ. ඇයි බාන් සැලුන් එකට ගෙහුන් මූනට අත්තිවාරම් දාලා කාරිය හැඩ වෙන්නත් 2 000ක් විතර යනවනෙව. නෑ මං අහන්නේ මොකෝ පිරිසිදු අලුත් පාට ඇදුමක් ඇදලා, නාල කොරලා පිරිසිදු වෙලා , පිළිවෙලකට ඇදගෙන ගෙහුන් යාලුවටත් සුභ පතලා කාරීය ආවාම මක්කා වෙනවද. රු 3 000 ට 5 000ක් දුන්නත් කාරියක් නෑ නෙව එහෙනං. මොකෑ මගුලට උන්ටත් හරි වියදම් නැතෑ.

වෙන මොකටද ඉතින් මහන්තත්ව කමයි, උජාරුවයි පෙන්නන්න නෙව. සමහරක් පිරිමිත් ඔහොම ඉන්නවා. බොලාට කියන්න මං යාළුවෙක්ගේ මගුලට ගියා. රු 1 500 යි ගියේ. මං ගාව තුබුනු අලුත්ම ඇදුම ඇන්දා පොල්තෙල් ටිකක් ගාලා ඔළුව පීර ගත්තා. අපි ඉතින්  දානෙටයි, විනෝද ගමන් යන්නයි හැම මගුලටම කමිසෙයි කලිසමයි නෙව. විස්ස විද්දියාලෙටත් ගෙහුන් ඒ ගමන්ම මගුලටත් ගෙහුන් ආවා.

මං ලග ගද නැති හින්දා සෙන්ට් ගැහුවෙත් නෑ, පොල් තෙල් වලට යසට කොණ්ඩේ හිටින හින්දා ජෙලි ගෑවෙත් නෑ. ස්කෝලෙ දාන සපත්තු දෙක හම ගියපු තැන් පොලිස් කොරගෙන දාගෙන යස අගේට ගෙහුන් ආවා මොකෙක්වත් මුකුත් කීවේ නෑ අම්මා පල්ල. මං ඉතින් ජොබ් එකක් කොලානම් දෙතුන් දාහක් දෙන්ට තිබ්බා කියාලා රු 1 000 දීලා ආවා. මං අහන්නේ ඔය වගේ සෝභන වැඩ වලට නැතිව කාසිය බාගේ ප්‍රයෝජ්ජන් ඇති දේකට විය පැහැදම් කොලානම් මක්ක වෙනවද.

Thursday, December 20, 2012

41 සතිය

යමෙක් ඔබට විශේෂයක් කරන්නේ ඒ සදහා බෑදී ඇති බැවින් හෝ ඔබෙන් යම් බලාපොරොත්තුවක් ඇති බැවිනි.

Sunday, December 16, 2012

10 ලිපිය - ගැටළු වලට පිළිතුරු2

අනිත්‍ය යන්නෙහි අදහස වඩා පැහැදිලි වන්නට ඇතැයි මම සිතමි. අද අපි දෙවන ගැටළුව ගැන සාකච්ඡා කරමු. අකාලික යනු කුමක්ද? සදාකාලික යන්නද? නැතිනම් කාලයෙන් තොර යන්නද?

හොදයි, මං කියවා ඇති ආකාරයට අකාලික යනු සදාකාලික ධර්මයක් යන්න නොව ඒ මොහොතෙම (කාලයක් ගත නොවීම ) ප්‍රතිඵලය ඇති බවයි. වෙනත් ආකාරයකින් කිවහොත් යම් මොහොතක හේතූන් ඇත්ද එවෙලෙහිම ප්‍රතිඵලයද ඇත. යම් මොහොතක හේතූන් නැති වේද එවෙලෙහිම ප්‍රතිඵලයද නැති වන්නේය යන්නය. එනම් හේතූන් සමගම ඇතිවී හේතුන් සමගම නිරුද්ධ වේ යන්නයි.

අපි මෙය උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. ගසක ගෙඩියක් තිබෙනවා. එය බිම නොවැටෙන්නේ ඇයි? නැට්ට ගසට සම්බන්ධ නිසා. එසේනම් නැට්ට යම් මොහොතක ගස සමග සම්බන්ධය නැතිවේද එවෙලෙහිම ගෙඩිය බිමට වැටීමට පටන් ගනී. නැට්ට ගැලවීමත් ගෙඩිය වැටීම ඇරඹිමත් එක විටම සිදු වේ. මෙලෙස සෑම සිදුවීමකම හේතුව ඒ සිදුවීම සමගම ඇතිවේ. විද්‍යාවට අනුව ද බලය ඇතිතෙක් වස්තුව ත්වරණය වේ. බලය යම් ක්ෂණයක නැතිද එකෙනෙහිම ත්වරණය ද නැති වේ.

අපි වෙනත් ආකාරයක උදාහරණයක් ගනිමු. මෙහිදි හුගක් අයට ඇතිවන ගැටළුවක් තමයි. කර්මය පඩිසන් දීම. ඒක මේ කාරයට පටහැනිද? අපි දන්නවා සමහර කර්ම පඩිසන් දෙන්නේ ඊලග ආත්මයේ (භවයේ). එහෙනම් ඒක අකාලික නෑනේ. ඇත්තටම එය සිදුවන ආකාරය මා කර්මය යටතේ සදහන් කලා. මා එය නැවත සදහන් කරන්නම්. යම් කර්මයක් කල පසු කිරි මිදෙන්නා සේ එය පඩිසන් දෙනතුරු මෝරයි කියා බුදුරජාණන් වහන්සේ දෙසා ඇතැයි මා අසා ඇත. ඇත්තටම කිරි මිදීම සෑම මොහොතකම සිදුවෙමින් පවතී. එය යම් කාලයක් තිබී එකවර මිදීමක් නැත. හැම මොහොතකම හේතුව ඵලය ලෙස සිදුවන ක්‍රියාවලියක යම් අවස්ථාවක් අප මිදුනු කිරි ලෙස දක්වමු. කර්මයද එසේම එක දිගට සිදුවුන ක්‍රියාවලියක අපට දෘශ්‍යමාන වන එක් අවස්ථාවක් දක්වා එය ඉහත සිදුකල ක්‍රියාවක ප්‍රතිඵලය ලෙස දක්වමු. එතැනින් පඩිසන් දීම අවසානයි දැන් ඉතින් ඒ කරුමෙත් ඉවරයි කියා සමහරු කියයි. ඇත්තම කතාවනම් එයත් සිදුවීම් මාලාවක එක් අවස්ථාවක් පමණයි.

අපි ගසකින් ගෙඩියක් කන ගමන් මේ මං ඇටේ පැල කල එකේ ප්‍රතිඵලය තමා යැයි කීම වැරදි නැත. නමුත් ඇත්තටම ඇටේ පැල කල එකේ ප්‍රතිඵලය ඇටේ පැල වීමයි. එනම් අකාලික ධර්මතාවයයි. ගෙඩිය රස දැනීමට හේතුව රසය දිවේ ස්පර්ශ වීමයි. ඇටේ පැල කිරීම නොවේ.

මං හිතනවා අකාලික යන්න ඔබට පැහැදිලි ඇති කියා. යම් ගැටළුවක් ඇත්නම් විමසන්න. අදහසක් ඇත්නම් දක්වන මෙන්ද ඉල්ලා සිටිමි.

if you have any question or comment put here in English. No matter. Thank you.

Wednesday, December 12, 2012

40 සතිය

ලෝකය නිර්මාණය වී ඇත්තේ එහි පැවැත්ම තහවරු කිරීමට පමණි. ආතල් ගැනීමට ඇවැසි දේ මිනිසාගේ නිර්මාණයන් ය.

Friday, December 7, 2012

ඔබෙන් සමුගනිමි.

කොටස් 30 කින් යුත් මගේ කතාවෙහි පලමු පරිච්ඡෙදය මින් අවසන් වන අතර මෙතෙක් කාලයක් ඒය රස විදිමින් හා අදහස් දක්වමින් මාව දිරිමත් කල ඔබ සැමට මා ප්‍රණාමය පුද කරන අතර ඔබගෙ රසාස්වාදය උදෙසා ද ඒ තුලින් ජිවිතාවබෝධය ලැබිම උදෙසාද යම් දවසක ඉතිරි පරිච්ඡෙද ද ලියනා බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු ගනිමි.

සමු ගැනිමට පෙර යමක් සදහන් කල යුතුය. මා මේ කතාව ලියන්නෙ මා ලැබූ ජයග්‍රහනයන් දැක්වීමට නොව පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට දෙමාපියන් කෙතරම් කැප වනවාද යන්න දැක්වීමටයි. සමහර විට ඔබෙ දෙමව්පියන් මීට වඩා දහස් වාරයක් ඔබ වෙනුවෙන් අනන්ත දුක් වෙදනා විද ඇති. සමහර විට ඒවැනි අවස්ථා උදා වී නැතුවත් ඇති. ඔවුන් කවදාවත් මම උඹට මෙච්චර කලා යැයි නොකියනු ඇත. බොහෝ දෙමව්පියන් පවුල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න දරුවන්ට  දැනෙන්න දෙන්නෙ නැත.

ඔබ කවදාවත් පවලේ ආදායම් වියදම් සොයා බැලුවාද? තමන් වෙනුවෙන් මසකට වියදම කොපමණද? ඔබ ඒ ගැන සෙවීමෙන් දැන ගන්න ලැබෙවී ඔවුන් නුඹට ඇදුම් 5ක් අරන් දෙන විට ඔවුන්ට 1 ඇදුමක්වත් අරන් නොමැති බව. ඔබට හොදම කෑම දීලා ඔවුන් කියාවී මං ඔවා කන්න කැමති නෑ, පුතා කන්න කියලා.

 මගෙ කතාව කියවන විට ඔබට සිතෙවී මං සෑහෙන්න දුක් විදලා කියලා. ඒත් මං අතීතය දෙස හැරී බලද්දී මට මතක් වන්නෙ මා සතුටින් ගත කල ලමා කාලයයි. ඒ කෙතරම් මිහිරිද කියතොත් මං අදටත් රෝහලේ නැවතී ඉන්න ආසයි.

නැවත හමුවන තුරු, මගේ බ්ලොගිය බලන නුඹලාට ස්තූතියි !

Friday, November 30, 2012

39 සතිය

ඔබට ලැබෙන  සුඛවිහරණ වෙනුවෙන් ස්තූතිවන්ත විය යුත්තෙ දෙවියන් වහන්සේට නොව වැඩ කරන මිනිසාටත් ස්භාවධර්මයාටත්ය.

Sunday, November 25, 2012

ඔබ මගේද?

කෙලෙස කියන්නද මම ඔබගෙයි සැමදා
 මම මටවත් නැති ලොව අනියත හින්දා
 සිතුවත් ඉන්නට ඔබ මගෙ ලග රන්දා
 නුඹ රැක ගන්නට මට හැකිවෙද මන්දා

 පිපෙනා මල හවසට පරවෙනවා
 නැගෙනා සද උදයට බැස යනවා
 ගලනා ගග මුහුදට එක් වෙනවා
 කෙලෙසක මා එය වලකාලනවා

 මරුවා හෙට මා හමුවට ඒදෝ
කැදවා ඔහු ඔබ අරගෙන යාදෝ
 සොදවා මගෙ සිත අවනතවේදෝ
අනියත ලොව කෙලෙසක රැකගමිදෝ

Friday, November 23, 2012

ලැජ්ජා නැති හිතක් පපුවක් නැති එකා


හාමුදුරුවෝ-

අප මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මරණයදී කම්පා වුනේ නෑ. අඩා වැලපුනේ නෑ.  සියල්ල සම සිතින් දැරුවා
උපාසිකාව-අනේ සාදු සාදු සාදු!!
මිනිහෙක්-


 බොලාට කියන්න ඇලිසෝ  ජන්තුවගේ අම්මා මළා. මූට අම්මාපල්ලා කිසි වගක් නෑ නෙව  අපි ඉලව් ගෙදර ගොඩ වැදිච්චි වෙලේ මං දැක්කා මිනිස්සුත් එක්ක ඔහේ කතා කොර කොර  උන්නා දැන් ඉතින් වල දාන එකනෙවෑ තියෙන්නේ කියාලා.
 උපාසිකාව-
ඕකා මහ නැහැදිච්චි හිතක් පපුවක් නැති එකෙද්ද කොහෙද. නැතිනම් අම්මා මැරිලත් වගක් නැතිව ඉදීවිය. හිතේ කිසි තෙතමනයක් නෑ නෙව. අනේ මෙහෙමත් දරුවෝ චී නොදෝමකින
හාමුදුරුවෝ-


අප මහා කාරුණික බුදුරජාණන් වහන්සේට විවිධ අපහාස උපහාස ආවත් ඒ සියල්ල අළුයම කෙල පිඩක් සේ බැහැර කල සේක. ඒ කිසිවකින් කම්පා නොවී සියල්ටම එකසේ සැලකුවා.  මහා කරුණාවෙන් ඒ අය කෙරෙහි අනුකම්පා කල සේක. 
උපාසිකාව-අනේ සාදු සාදු සාදු !
මිනිහෙක්-




ඇලිසට කිව්වට මොකද අපේ සරනේරිසා මාර වැඩක් කොලා නෙව. අර ජොසපියාට මිනිහා ව පේන්න බෑ නෙව. ඒකී මේ ලගදී සරනේරිසාට කුණූ හරපෙනුත් බැන්න නෙව. ඒ ගෑනී ඊයේ ලිද    ලග වැටිලා ඇදේ නෙව හිටියේ. සරනේරිසා ගෙහුන් එකිට කෑම උයා දෙන්ට කියලා. ඒකී අහලා උඹ මගේ ගෙදර බත්ටික ඉවරකරන්නද ආවේ කියලා. ඒ පාර මේකා කඩෙන් බත් ගෙනැල්ලා දීල නෙව.
උපාසිකාව-

 
ඕකා මහ ලැජ්ජා නැති මිනිහෙක්. නැතිනම් අච්චර කුණු හබ්බ කියද්දිද් ඒ ගැනිට කන්ට දෙන්ට යාවියෑ. මහ නෝන්ජලයෙක්. මං වගෙනං ගෙහුං හොදවයින් දෙකක් කියලා එනවා අම්මාපල්ලා.


                

Monday, November 19, 2012

38 සතිය

මේ ලෝකේ හැමෝම ඔබගේ යාලුවෝ යැයි සිතන්න එපා. නමුත් ඔබ හැමෝගේම මිතුරා වෙන්න.

Friday, November 9, 2012

10 ලිපිය - ගැටළු වලට පිළිතුරු1

දුක යන්න වෙනස්වීම වන්නේ කොහොමද? මෙතැනදී ගැටලුවට හේතුව වී ඇත්තේ චතුරාර්යය සත්‍යයයේ එන දුක්ඛ සත්‍ය හා ත්‍රිලක්ෂණයේ එන දුක්ඛ ලක්ෂණයයි පටලවා ගැනීමයි. මේ තැන් දෙකෙහි අදහස් වන්නේ කාරණා දෙකකි. උදාහරණයකින් කියනවනම් “කෑම“ කියූ විට ඔබ අදහස් කරන්නේ කුමක්ද? එය යෙදෙන තැන අනුව තේරුම වෙනස් වෙනවා. “තුන් වේලටම කෑම කෑම යහපත්ය“. මෙහි පලමු කෑම නාමයකි. දෙවන කෑම ක්‍රියාවකි. මෙලෙස දුක යන්න අවස්ථා දෙකෙහි යෙදී ඇත්තේ අර්ථ දෙකකිනි.

ත්‍රිලක්ෂණයේ දී හේතුවත් චතුරාර්යය සත්‍යෙයහි ඵලයත් දැක්වෙනවා. එනම් ලෝකයේ දුක ස්හාව (වෙනස් වීම) නිසා සත්වයා තුල ඇති වන්නා වූ කණගාටුව, වේදනාව වැනි ස්වභාවය දුකයි. ලෝකයේ කිසිවක් වෙනස් නොවී (දුක ස්භාවයෙන් තොරව ) තිබුනේ නම් සත්වයන් දුකට පත් නොවේ. නමුත් අපට තබා කිසිම බලවේගයකට වෙනස් වීම නැවැත්විය නොහැක.
යම් ප්‍රතිඵලයකට හේතු කීපයක් තිබේ. දුකට එක හේතුවක් වෙනස් වීමයි( දුකයි) අනෙක් හේතුවක් නම් ආසාවයි. නැතිනම් ස්භාවිකව වෙනස් වන දෙයක තමා කැමති හැසිරිමක් බලාපොරොත්තුවයි. අපට වෙනස් වීම නතර කල නොහැකි නමුත් අසාව අත්හැරිය හැක. ඒ නිසා චතුරාර්යය සත්‍යයයේදී දුකට හේතුව දුක (වෙනස් වීම) යයි නොකියා තෘෂ්ණාව (දැඩි ආසාව) ලෙස දක්වා ඇත. 

එහෙනම් වෙනස් වීම දුකය, ආසාව නිසා හටගන්නා දේ දුකය නොකියා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා ලෙස සදහන් කලේ මොකක්ද?
ඇත්තටම ඒ දෙකම එම දේශණාවේ ඇති බවයි මට පෙනෙන්නේ. ජාතියය, ජරාවය, මරණයය යනු වෙනස් වීමයි. දුක්ඛය, දෝමනස්සයය, සෝකය, පරිදේවය යනු ආසාව නිසා හටගන්නා දේ ය. මෙහිදි තව ගැටළුවක් ඇත. එනම් යමෙක් ඉපදීමය, වයසට යැමය, මරණයය, ප්‍රියයන්ගෙන් වෙන් වීමය ආදී අවස්ථා හැරුණු විට අනෙක් සෑම අවස්ථාවම දුකින් තොරද යන්නයි.
මට පෙනෙන හැටියට මෙහිදි ජාතියය, ජරාවය, ආදී වශයෙන් දක්වන්නේ ඉපදීමය, වයසට යැමය, යන්න නොවේ. මන්ද ධර්මය ස්වාක්ඛාතය. එනම් තමා විසින් ප්‍රත්‍යක්ෂයෙන් දත යුතුය. මරණය ප්‍රත්‍යක්ෂයෙන් දැකීමට මැරිය යුතුය. එසේ නම් නිවන් අවබෝධ වන්නේ මැරෙන විටය. එසේ ගැනීම වැරදිය. එසේනම් මේ ජාතියය, ජරාවයය යනුවෙන් දැක්වෙන්නේ පංචස්කන්ධයේ ජාතියය, ජරාවය, ආදී වශයෙන් විය යුතුය.
එය ප්‍රඥාවන්ත පුද්ගලයාට ඕනෑම විටක ප්‍රත්‍යක්ෂ කල හැකිය.
දැන් අපට දුක යනු අප ව්‍යවහාරයේ භාවිතා වන ඉපදීමය, වයසට යෑමය, මරණයය, ප්‍රියයන්ගේ වෙන් වීමය ආදී දේ නොවන බවත් පංචස්කන්ධයේ හට ගැනීමය, දිරිමය, නැති වීමය, තමා වසගයේ නොපැවතීමය ආදී වශයෙන් වූ වෙනස් වීම බව පැහැදිලි වේ.

අනෙක් ගැටළු පසුව සාකඡ්චා කරමු. ගැටළුවක් ඇත්නම් විමසන්න.
ඔබට නිවන් සැප ලෑබේවා !

Monday, November 5, 2012

37 සතිය

අරමුණු ඔබව පාලනය කරන බැවින් යහපත් අරමුණුම ලැබේවා!.

Saturday, November 3, 2012

අවසානය

“දැන් මට ඇවිදින්න පුලුවන් නේද අම්මේ ?“
මං අම්මාගෙන් එසේ ඇසූයේ දිනක් අම්මා එසේ කියා තුබූ නිසාය. ඒ මීට මාස කීපයකට කලිනි. එදා අපි ගමනක් යමින් සිටියෙමු. හැමදාම වාගේ මා යන්නේ තාත්තාගේ කරේය. අයියාත් නංගීත් පයින් යද්දී තාත්තා මා වඩාගෙන යාම මට මදිකමකි. ඒ නිසා අසල සිටී අම්මාගෙන් මා මෙසේ ඇසුවේය.
“මට ඇයි අයියලා වගේ ඇවිදින්න බැරි?“
“එහෙම තමා පුතේ හැමෝම. ඒකට පොඩි ඔපරේෂන් එකක් කරනවා. එතකොට තමයි ඇවිදින්න පුළුවන් වෙන්නේ“
“එතකොට ඇයි මට කලේ නැත්තේ?“
“ඔයා තාම පොඩී නේ. තව ලොකු වෙන්න ඕනනේ“
“ එතකොට නංගි පයින් යන්නේ එයත් තාම පොඩි නේ“
එයට පිළිතුරක් දීම වෙනුවට අම්මා එකවර ගල් ගැසිණි. ටික ටික ඇස් දෙක රතු වෙත්ම අම්මා නංගී දෙස හැරී “චූටි දූ මෙහාට එන්න“ යැයි කියමින් නංගී දෙසට ගියාය.

ඒ නිසා මේ කලේ ඒ ඔපරේෂන් එකයැයි මට සිතුණි. මා ඇසු පැනයට අම්මා “ඔව් මයෙ පුතේ කියමින් මගේ ඔලුව අත ගැවාය. ඇගේ දෙනෙත් කදුලින් බර විය. ඒ සතුටු කදුළු විය හැක.

රිජ්වේ ආර්යයා ළමා රෝහලේ මාස කීපයක් විවිධ හෙදකම් වලට භාජනය වෙමින් සිට ටිකට් කපා නිවසට ආවත් විවිධ ආසාත්මිකතා නිසාත් නැවත නැවත රෝල් ගත වීමට සිදු විය. වම් අතෙහි පිට අල්ලේ ද වැලමිට හරියේද දිගින් දිගටම කටු ගැසීම නිසා ඇතිවූ පැසවීම් නිසා එම ස්ථාන ද මැහුම් දැමීමට සිදු විය.
ඊට අමතරව සෑම දිනකම තුන් වේලටම තුවාල වේලීමට ගන්නා ඖෂධ නිසා තොල් ද සම ද වියළිමට ලක් විය. දිගින් දිගටම ක්ලිනික් සදහා කොළඹ යාමට ද සිදු විය. නමුත් මගේ මතකයේ නොමැකෙන සිද්ධියක් වූයේ මැහුම් කපන දවසේය.
 එදින අම්මා මාව වඩාගෙන සිටි අතර වෛද්‍යවරයා මැහුම් කැපීම ආරම්භ කලේය. එවිට දැනුණු වේදනාවෙන් රෝහල දෙවනත් වන තරම් කෑ ගැහිල්ලක් පිට විය. මා ගිරිය යටින් බෙරිහන් දෙද්දී අම්මා මට ජනේලයෙන් පිට තුබූ අඹ ගසක් පෙන්වමින් අන්න පුතේ ලේනා අර අර යැයි කියමින් ඒ දෙසට ඇගිල්ල දිගු කරමින් සිටියාය. මම ලේනා බැලීමට උත්සහ ගනිද්දීම පිටට පිහිපාරක් අනින්නා සේ වේදනාව වැඩි වන්නේය. ඒ දවස මට තවමත් මතකය.
මාත් අම්මාත් ඒ අවුරුදු පහෙන් වැඩි කාලයක් ගත කලේ රෝහලේය. නමුත් රෝහලෙන් සමු ගැනීමට තවත් බොහෝ කාලයක් යනු ඇත. මන්ද තව තවත් අවුරුදු පහකින් නැවතත් මා මාරයා හමු විය යුතුය.
එතෙක් මටත් මගේ  පවුලේ අයටත් හොද කාලයක් උදා වෙයිද?
මේ කතාව "ඉන් පසු ඒ  කුමාරයාත් පවුලේ අයත් සතුටින් ජිවත් වුනා" කියලාඉවර කරන්නද? 

Wednesday, October 31, 2012

අමාරුම වැඩේ

මං මේ කටකහනවට ඇදබාන එව්වා තමන්ගේ මට්ටං තම්මැට්ටන් කියලා ආරෝවක් නැතිව තම තමන්ට අඩංගු වන තරමට ගනිල්ලා....

මේ ලගදි ඕං මට ඇහුනා කවුදෝ කියාපිනා මේ ලොකේ අමාරුම වැඩේ ගැනියෙක් දරුවෙක් බිහි කොරන එකය ඒකත් හරියට බඩවිරේක ඇරගෙන පුක මහගන්නවා වාගේය කියාලා. ඇත්තටම ඕක ඔච්චරම අමාරුනම් මොකට කොරනවද? මං කියාපියන්නේ ඕක ගැනම නොවෙයි. ඕනෑම අමාරු වැඩක් අපිට ජිවිතේ ගැටගහගන්න අත්තියාවස්ස නැතිනම් කාරිය නොකර ඉන්ට බැරි ඇයි.

දැන් ඕං සමහරක් ඇයින් කියාපිනා පවුල් කන එක තරම් අමාරු වැඩක් නෑ බාං කියාලා. මං ඉතිං ඇහෙව්වා එහෙනං මක්කටෙයි බැදගත්තේ කියාලා. අම්මාපල්ලා මංනං ඕං අමාරු වැඩ අත්තියවස්ස නැත්තං කොරන්නෙ නෑ නෙව. මෙකනෙව කාරනාව අපේ උන් ඕනැ එකයි එපා එකයි අහවල් එකයි හැම මගුලම බදා ගන්න යනවනෙව.
එකෙක් මක්කහරි කොරාම අනිත් එකාටත් ඒ මගුල ඕනෑ වෙනවා. අල්ලපු එකා ලෙඩක් හදා ගත්තම මේකාටත් ඒක ඕනැ වෙනවා. ඒක මට මොකැටෙයි කියාලා හිතන්නෑ නෙව. පස්සෙන් පහු අමාරුයි අමාරුයි කිය කියා ඉන්ටවා.
මේ ලගදි දවසක් මගේ මිත්‍ර සගයෙක් ඇවිත් කියාපිනා මට මේ අහවල් විභාගේ එපා වෙලා බාං තියන්නේ කියාපිනාලා. මං ඇහැව්වා ඕක කොරාම මක්කෙයි ලැබෙන්නේ කියාලා. හොද රස්සාවක් ලැබෙයිලු. ලොකූ පඩිපතක් ලැබේලූ. මං කියෙව්වා උඹට ජීවත්වෙන්න අවස්ස අවම පඩිය ලැබුනම මදෑ අමාරුවෙන්නම් ඕක නොකර හිටපන් කියාලා. ඌ කියාපි නෑ බං අපේ නැන්දගෙ දුවත් කොරනවා අම්මට මාවත් දාන්න ඕනෑ උනානෙව කියාලා.

හැබැයි ඕං මං බොලාලාට එකක් කියන්නං දැන් නැති සැප පස්සෙං පහු ලැබෙන්නෙත් නෑ. කල යුතු වැඩක් ඇත්නම් ඒක ගැන හිත හිතා අමාරුය, දුකය කියාපිනන්නේ නැතිව ඒක කොරපල්ලා. අර විලිරුදාව උනත් මතක් කොරනකොට, බලං ඉන්නකොට අමාරුම වැඩේ වගේ පෙනුනට ඒ වෙලාවට අම්මට නම් එහෙම හිතෙන්නැතුව ඇති. මොකෑ කියනවනම් පිරිමි අරහෙම කියෙව්වට අම්මා කෙනෙක් කියනවා නම් මං අහලා නැතිය.

Friday, October 26, 2012

මිල් ගයා


සිත පිරුණා - මගෙ හදවත පිරුණා//
ඔබ පැමිණි - හද පිරුණි
සිත පිරුණා - මගෙ හදවත පිරුණා//

නෙත පිරුණා - ඔබ මැවුණා
නෙත යන සැම තැන
ඔබ සිටියා
මග නැවතී - මම සිටිමි
බිතු සිතුවම් මත
ඔබ දකිමි

සිත පිරුණා - මගෙ හදවත පිරුණා//

කණ පිරුණා - හඩ ඇසුණා
ඔබ මට අමතන
හඩ ඇසුණා
රථ නැවතී - හඩ තලති
මම සිටියේ මහ
මග නැවතී

සිත පිරුණා - මගෙ හදවත පිරුණා//

Thursday, October 25, 2012

36 සතිය

විභාග ජය ගැනීමෙන් මරණය ජය ගත නොහැක. එම නිසා විභාග වලට මදකුදු බිය නොවෙමු.

Wednesday, October 24, 2012

10 ලිපිය - ගැටළු වලට පිළිතුරු

ඉතින් යාලුවනේ ලියන්න උවමනාව තිබුනත් සරසවි වර්ජනය අවසන් උන නිසා ලියන්න ඉස්පාසුවක් ලැබුන්නෑනේ. දැන් උනත් වැඩ ගොඩක් තියෙද්දී නොලියා බැරිනිසයි ලියන්නේ.

ඔයාල දන්නවා මෙච්චර දවසක් මං ඔයාලට කිව්වේ මං ඉගෙනගත් දේවල් මට වැටහුන විදියටයි. ඒ නිසා සමහර කරුණුවල සත්‍යතාව ඔබ විසින් අවබෝධයෙන් යුතුව වටහාගන්නැයි මා ඉල්ලා සිටිමි. මොකද මං අවසාන ලිපියේ සදහන් කල පරිදි බුදු දහම හුදෙක් විශ්වාසය මත පදනම් වූ දෙයක් නොව තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කලයුතු දෙයක් බව. ඒ නිසා මං කල්පනා කලා මින් ඉදිරියට මං ප්‍රත්‍යක්ෂ කරගත් දේවල් ඉදිරිපත් කිරීමට. මෙයින් අදහස් වෙන්නේ නෑ මෙතෙක් කල් කියූ කිසිම දෙයක් මං ප්‍රත්‍යක්ෂ නොකල බව.

කෙසේ නමුත් අලුත් ලිපියක් ලියන්නට පෙර මා සිතුවා මෙතෙක් දවස් මා වෙත එළැඹි ගැටළු කීපයකට පිලිතුරු දීම සුදුසුයි කියා.
1. දුක යනු වෙනස් වීමයැයි 1 ලිපියේ මා අර්ථදක්වා තිබූ නමුත් ධම්මචක්කපවත්වන සූත්‍රයේ “ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ....“ ලෙස විස්තර කිරීම පරස්පරයි නේද?
2.  අකාලික යනු කුමක්ද? අතීත වර්තමාන අනාගත කාල තුනෙහිම පවතිනවා යනු එහි තේරුම නොවේද?
3.සංසාරය චක්‍රයක් නම් එකම දේ නැවත නැවත විය යුතුයි නේද?
4. මැරුණු ගමන් නැවත ඉපදෙනවද, අන්තරා භවයක් නැද්ද?

ඉහත ගැටළු ඔබටත් ඇති. මේ සිල්ලටම විසදුම් මේ කොටසින් ලියන්න අමාරු බැවින් ඉදිරියේ දී විස්තරාත්මකව පැහැදිලි කරමි. මේ දිනවල කාලය සොයා ගැනීම ඉතා අපහසුයි. මා හැකි සෑම විටම මේ සදහා කාලය යොමු කරමි. මීට අමතරව මගේ ලිපි කියැවීමේ දී හෝ වෙනත් අවස්ථාවක දී යම් ගැටළුවක් ආවේ නම් පවසන ලෙසද ඉල්ලා සිටිමි. මගේ අවබෝධයේ හැටියට මා පිළිතුරු සපයන්නම්.

ඔබලාට නිවන් සුව ලැබේවා !

Saturday, October 13, 2012

35 සතිය

ඔබ ආදරයෙන් පැරදී දුක් වෙනවාද? වහාම සූදුව නවතා ආදරය කරන්න පටන් ගන්න.

Friday, October 5, 2012

අවසාන දින කීපය

දැඩිසත්කාර ඒකකයේ සිටි සති දෙකෙන් පලමු දින දෙක දී මට කිසිදු ආහාරයක් නොලැබුනු අතර වතුර ද ලැබුනේ තොලකට තෙමා ගැනීම සදහා පමණි. අවශ්‍ය සියළු දේ ලැබුනේ බට ආධාරයෙනි. ඒ සති දෙක අවසානයේ සියලු බට ඉවත් කෙරිණි. එය සිදු කලේ හිරි වැට්ටවීමෙන් පසුවය. නමුත් මා බලා සිටිද්දීම ඒවා ඉවත් කිරීම ඇග කිලිපොළා යන්නකි.

සති දෙක අවසානයේ මා ළමා වාට්ටුවට ඇතුලත් කෙරිණ. එහි ඇදන් උසය, ඇද වටා යකඩ වැටකි. මෙතෙක් දවස් අම්මා නිදා ගත්තේ පුටුවක වාඩි වී ඇද මත හිස තබාගෙනය. නමුත් මෙහි දී වැට නිසා එය කල නොහැකි බැවින් අම්මා ද මා සමග ඇදේ නිදා ගත්තාය. දිනක් මහ රෑ ශබ්දයකින් ඇහැරුනි. නර්ස් කෙනෙකු අම්මාට බැන වදිමින් සිටියාය.
"ඔය ළමයව මරා ගන්නද හදන්නේ, ඇද තියෙන්නේ ලෙඩාට මිසක් අම්මලට නෙවෙයි" යනාදී දොස් නගමින් නර්ස් කෑ ගැවාය. ඒ හඩින් ඇහැරුණු අනෙක් ළමෝද පූස් පැටව් මෙන් චෑස් චෑස් ගාන්න ගත්තෝය.  එදායින් පසු අම්මා නිදා ගත්තේ ඇද යටය. මට අම්මා ගැන දුක සිතුණි.

දිනක් හදිසියේ බබෙක්ව වාට්ටුවට ඇතුල් කලේය. ඩොක්ටර් ඇවිත් ළමයාට සේලයින් දිය යුතු බැවින් සමනල කටුවක් ගෙනෙන ලෙසට මවට දැන්වීය. වාට්ටුවේ සිටින සියලු අය එවැනි කටුවක් ලග තබා ගැනීමට උපදෙස් ලබා ඇත. ඒ අවස්ථාවේ දී කිසිවකුත් තමා සතු කටුව දීමට ඉදිරිපත් නොවූයෙන් ඇයට සිදුවූයේ ෆාමසියක් සොයා යෑමටයි. ඒත් එවේලෙහි අම්මා මා වෙනුවෙන් තබා ගෙන සිටි කටුව ඇයට පිරිනැමූ බැවින් වහා ළමයාට ප්‍රතිකාර කල හැකි විය.

රෝහලේ සිටි අවසාන දින කීපයේ මා බැලීමට නෑදැයින් හා හිතවතුන් කීප දෙනෙකුම පැමිණියෝය. ඒ අතර මට ලේ දුන්නු අමරේ මාමා ද , නිහාල් අංකල්ද සිටියෝය. තාත්තා ද මට ලේ දී තිබිණ. නමුත්  බොහෝ දිනවල මට තනිවම දිවා කාලය ගෙවා දැමීමට සිදු වූයේ  අම්මා සැමදා වැඩට ගිය බැවිණි. සමහර දිනවල වෙනත් ලෙඩුන් බලන්නට එන අය මා සමගද කතා කර ගියේ මා තනිවම ඇදේ සිටිනු දැක විය හැක.

අවශ්‍ය පරීක්ෂණ සදහා ද මා තනිවම ගියේය. රෝහල මට ගෙදර තරම්ම විය. බොහෝ දෙනෙකු මා ගැන ආඩම්බර විය. මට තෑගී බෝග ද ලැබිණ. මෙසේ මාසයක් පමණ ළමා වාට්ටුවේ ගත කලේය.

Wednesday, October 3, 2012

34 සතිය

යමෙක් ඔබට උපකාර කෙරේද අපකාර කෙරේද ඒ දෙකම අමතක කරන්න

Wednesday, September 26, 2012

ගගට කැපූ ඉනි

message එකක් මං එවපු වෙලේ ඔබ නෑ reply එකක් කලේ
ඇයි එහෙම කලේ මගෙ සිත දුකින් පිරේ
request එක confirm කලේ මං දුක්විද ගන්න නොවේ
කෙල්ලේ ඒකයි මෙච්චර උඹ මට එපා උනේ

සැමදා ඔබගේ status මං බැලුවා
ඒවට comment කලා
මං  like කලා


මහ රෑ වෙනකම් blog එක බැලුවා
මේ මං comment කලා
hits වැඩිත් කලා

Saturday, September 22, 2012

ඉල්ලං කෑම 

ඒ කාලේ මං කියෙව්වේ ඒ කාලේ පවුලක ස්වාමියා කොරන වැඩයි භාර්යාව කොරන වැඩයි කියලා තිවුනනෙව. පුරුසයා ඉතිං කොලේ හරි හම්බු කොරගෙන ඇවිල්ලා අඹු දරුවන් රකින එකයි නෙව. භාරිය ඉතින් ගෙදර දොරේ වැඩපලක් කොරාපිනාගෙන දරුවන්ට කන්ට බොන්ට ටික සකස් කොල එක නෙව කොලේ. සැමියා කන්ට බොන්ට කැමති දෙයක් හදා දෙනකොට සැමියා තෑගිබෝග මං කියෙව්වේ ආබරණ රෙදිපිලි වගේ ගෙනත් දෙනව නෙව.
හැබැයි ඕං මේ අල්ලපනල්ලේ කොහෙන්ද මන්දා පාත්වෙච්චි කාන්තා විමුක්තියක් ඇවිත් අපේ ගැනුන්ගේ ඔළුවලට විස දමාපිනාලා අන්තිමට මක්කෙයි උනේ. පිරිමි කොරන වැඩ ගැනුන්ටත් කොල හැකිය ඒ නිසා අපිටත් සම තැන ඕනැන්නේය කියාපිනාලා අපේ වැඩ අපිට තනියෙන් කොර ගන්ට කියාපිනාලා හම්බුකොරන්න පටන්ගත්තා නෙව. ඒ මදිවට අපිට පිරිමින්ගේ ආරක්සාවක් ඔනැන්නේ නැතේය කියාපිනාලා උන්ගේ හයිය පෙන්නන්ට යුද්ධ වැඩ කොරන්නයි කාය සක්තිය පෙන්නන්ට පටන් ගත්තනෙව. අන්තිමට මක්කෙයි උනේ.
පිරිමි උන් ගියාද දරුවො හදන්නයි කුස්සියෙ වැඩ කොරන්නයි. නෑ නෙව. බොලාට පිරිමි කොරන වැඩ කරන්ට ඕනැනම් හම්බු කරලා දරුවොත් හදලා කුස්සියෙ වැඩත් කොරාපිය කියාපිනාලා උන්ටම කියාලා හම්බුකොරාගෙන හිටියා මිසක්කා. අන්තිමට විමුක්තිය හොයන්ට ගොහින් ගෑනුන්ට උනේ ඔක්කොම වැඩ තනියෙන් කොරන්ටයි.
ඇත්තටම බොලාට කියන්න ගැනුන්ටයි පිරිමින්ටයි මොන සම තැනක්ද? මොකෑ එහෙමයි කියාලා පිරිමින්ට ලමයි වදන්ට පුළුවනෑ. තමන්ට අදාල වැඩේ කොරාපිනාගෙන හිටියනං අහවරයිනෙව


ප.ලි.-  දැන්නං ඕං සමහර තැන් තියෙනවා හැම වැඩක්ම දෙන්නම කොරන පවුලුත්. ඒත් හැබැයි ඒකෙනුත් වෙන්නේ ගොඩාක් වෙලාවට දෙන්නම මමයි ලොක්කා කියලා හිතන එක.

Wednesday, September 19, 2012

33 සතිය

ඔබ අරමුණු තබා ගන්න. ඒ සදහා හැකිතාක් විකල්ප මාර්ග තබා ගන්න. නමුත් ඒ සියලු මාර්ග අවහිර විය හැකි බවද මතක තබාගන්න. අරමුණෙහි නොඇලෙන්න.

Thursday, September 13, 2012

9 ලිපිය- නූතන විද්‍යාව හා බුදු සමය2

ගියවර ලිපියෙන් අපි සොයා බැලුවේනූතන විද්‍යාත්මක ක්‍රමයයි. අද ලිපිය ලියන්නට කලින් මා කිව යුතුයි මම කිසිවිටකත් නූතන විද්‍යාව මගින් සොයාගත් සියල්ල අසත්‍යයැයි නොකියමි. එම ක්‍රමය තුලින් නිවැරදි නිගමනයන්ට ද එළැඹ ඇත. එසේම එළැඹිය හැක. පසුව උදාහරණයකින් සලකා බලමු.
බෞද්ධ ක්‍රමයනම් පරික්ෂණ මගින් නීරීක්ෂණය කොට ප්‍රත්‍යක්ෂ කරගැනීම සිදුවේ. එහි දී නිරීක්ෂණයන්ම ප්‍රත්‍යක්ෂය වෙයි. තව ද ඒ සදහා පන්චේන්ද්‍රියට අමතරව මනස දියුණු කිරීමෙන් ලබා ගන්නා අධිමානසික බලයන්ද භාවිතා වේ. එනම් දිවඇස දිවකන, විවිධ ඥාන ආදියයි.

පලමුව ප්‍රත්‍යක්ෂ යන්නෙ හි අදහස සලකමු. අපි අහල තියෙනවා දේශිය වෛද්‍ය විද්‍යාවේ දී අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියා සදහන් වෙනවා. එයින් අදහස් වන්නේ මෙම ඖෂධය භාවිතයෙන් තමා රෝගය සුවපත් කරගෙන ඇති බව හෝ එසේම අන් අය සුවපත් වී ඇති බවද තමා අත් දැක හා අත් විද ඇති බවයි. නමුත් එයින් කියැවෙන්නේ නෑ ,මෙය රසායනාගාර පරික්ෂණ වලින් මෙහි සංඝඨක රෝග සහිත ශරීර කොටස් හා ප්‍රතික්‍රියා කර රෝගය සුව වන බවට සහතික කල බවක්. ඒ නිසා තමයි එය පාරම්පරිකව පැවත එන වෙදකමක් වන්නේ. එනම් එයින් ලක්ෂ සංඛ්‍යාත පිරිස් සුවය ලබා ඇති බව ප්‍රත්‍යක්ෂයි.
නැවතත් අපි මාතෘකාවට එමු. බුදු දහම ද ප්‍රත්‍යක්ෂ ධර්මයකි. එහි කිසි විටකත් මෙ මේ හේතු නිසා මේ මාර්ගයෙන් නිවනට ලගා විය හැකි බව නිගමනය නොකෙරේ. මේ පාරෙන් ගිය විට නිවනට යා හැකි බව මා අත් දැකීමෙන් හා අත් විදීමෙන් දනිමි. එනිසා ඔබත් මේ මාර්ගයෙන් එන්න යැයි වදාරනු ලැබේ.
දැන් කොහොම ද ගුරුත්වාකර්ෂණය මේ ක්‍රමයෙන් හොයා ගන්නේ? ඇත්තටම මේ ක්‍රමයෙන් ඒක හෝයා ගන්න බෑ. නමුත් අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් කියන්න පුලුවන් ස්කන්ධයන් බිමට වැටීම නම් වු ධර්මතාවයක් ලොකයේ පවති කියලා. හැබැයි අපිට කිසිසේත්ම ගුරුත්වාකර්ෂණය නැත යන්න ද පැවසිය නොහැක. අපගේ ඉන්ද්‍රිය ගෝචර නොවූ පමණින් යමක් නැත යන්න කීම මිත්‍යා දෘෂ්ඨියකි.

දැන් මං උදාහරණයකින් මේ ක්‍රම දෙක දක්වන්නම්. තුවාල වූ විට වේදනාව දැනේ ද යන්න නූතන විද්‍යාවෙන් සොයනු ලබන්නේ පුද්ගලයින් දෙදෙනකු ගෙන දෙදෙනාම සමාන තත්ව යටතේ තබා එක් අයකුට තුවාල කිරීමෙනි. එවිට ඔහුගේ ඉරියව් අනුව හා ප්‍රතිචාර අනුව අපට නිගමනය කල හැකි තුවාල වීමෙන් වේදනාව දැනේ කියලා.
බෞද්ධ ක්‍රමය නම් තමා තුවාල කර ගැනීමෙන් වේදනාව අත් විදීමෙන් හෙවත් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම එය අවබෝධ කිරීමයි. නමුත් මේ ආකාරයෙන් අපට සියල්ල දත නොහැක. ඒ නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කල කෙනෙක්ගෙන් දත යුත්තේ වෛද්‍යවරයා විශ්වාස කොට බෙහෙත් ගන්නා සේය. එහිදි ඔහු බොරු නොකියන බව ද ප්‍රත්‍යක්ෂ කොට ගැනීම වඩාත් යෝග්‍යය. 

Monday, September 10, 2012

32 සතිය

ආත්මාර්ථකාමියා පිං කරයි. පරාර්ථකාමියා කුසල් කරයි.

Sunday, September 9, 2012

නැවත උපන්නෙමි 

"පුතා.. පැටියෝ.. සුදු පැටියෝ.. " හොදට පුරුදු කටහඩකි. මා අපහසුවෙන් දෙනෙත් හැරීයේය. විශාල අහිංසක ඇස් දෙකක් මා දෙස බලා සිටී. මොහොතකින් මා අම්මා හැදින ගත්තේය. මම කතා කීරීමට උත්සහ ගතිමි. නමුත් එය කල නොහැකි විය. එය දැනුණු නිසාදෝහෝයි අම්මා කදුළු පිරි දෙනෙතින් මා දෙස බලා අහිංසක හිනාවක් මවා ගත්තාය. මොහොතක් හිස අතගාමින් සිට ඈ යන්නට ගියාය. තාත්තා ද ඒ අසල සිට යනු දුටුවේ එවිටයි.
ඔවුන් ගොස් මද වේලාවක් යන විට මට වම් පැත්තට වන්න පිට පැත්ත සියුම් වේදනාවක් හට ගෙන එය ක්‍රමක්‍රමයෙන් වැඩිවන්නට විය. මම එය දත් මිටි කාගෙන ඉවසමි. ටික වේලාවකින් එය සුපුරුදු වේදනාවක් විය. මා සිටින්නේ සීත කාමරයකය. එය මොන වාගේදැයි බැලිමට සිතුනමුත් ඒ මේ අත හැරීමට යම් බියක් ඇතිවිය. මම මගේ සිතින් ශරීරය ඔස්සේ ගමන් කලෙමි. ඉකිලි දෙපස ප්ලාස්ටර් කර ඇත. ඉන අසලින් බට කීපයක් ඇතුලු කර ඇත. වම් අතෙහි සමනල කටුවකින් සම්බන්ධ කර ඇති බටයක් සහ නහය තුලින්ද බට දෙකක් ඇතුළු කර ඇත. ඉතින් මට එක් ඇලයක සිට අනෙක් ඇලයට හැරීමට අවශ්‍ය වුවද එය කල නොහැක.
ඒ අවස්ථාවේ මා අසලට නර්ස් නොනා කෙනෙක් පැමින බට ටික පරික්ෂා කර බලා මා හා සිනා සි ඔළුව අතගා යන්නට ගියාය. නැවතත් මට නින්ද ගියේය. නැවත ඇහැරෙන විට කලින් ඇවිත් ගිය මිසී මා අසල සිටියාය. ඈ උණුසුම් වතුර භාජනයක් සහ තුවායක් ඇද අසල බංකුවක හෝ මේසයක, (එය ඔළුව අසල තිබූ බැවින් හරියටම නොපෙනුණි) තබා මගේ මූණද ප්ලාස්ටර් නොතිබූ සිරුරේ සියළු කොටස් ද තෙත මාත්තු කළාය. මට මගේ ගෙදම්මා සිහි විය.

මම මෙලෙස සති දෙකක් පමණ අයි. සී. යූ එකේ සිටියේය.

Tuesday, September 4, 2012

31 සතිය

යමෙක් දුටු පමණින් සිතක් පහල වීමට හේතුව පෙර පුරුද්ද හෝ රාගය විය හැක.

Sunday, September 2, 2012

9 ලිපිය-  නූතන විද්‍යාව හා බුදු සමය

සමහර ආගම් සහ ඒවායේ විශ්වාසයන් විද්‍යාවේ දියුණුවත් සමග සාවද්‍ය විය. නමුත් තවමත් ඒ මතයන්හිම එල්බගත් ජනයා ලෝකයේ ඇත. සමහර දර්ශණයන් විද්‍යාවේ දියුණුවත් සමග බලපෑමකට යටත් නොවී පවති. ඒවා නූතන විද්‍යාවෙන් අසත්‍යය හෝ සත්‍යය බව ප්‍රකාශකල නොහැකි වී ඇත. මන්ද එවා තවමත් ගූඩ(ගුප්ත) කරුණු සහිත බැවිනි. තවත් දර්ශණයන් නූතන විදයාවත් සමග ගැලපෙමින් ස්ථිර බවට පත්වෙමින් ඇත.
බුදු දහම වූ කලි බොහෝ විට නූතන විද්‍යාව මගින් සනාථ වන අතර යම් විටෙක ගැටළුකාරි තත්වයන්ට පත්වී ඇත. කෙසේ නමුත් විද්‍යාත්මක ක්‍රමයත් බෞද්ධ ක්‍රමයත් යම් ආකාරයකින් සමාන වේ. විද්‍යාත්මක ක්‍රමය නම් පරික්ෂණ, නිරීක්ෂණ මගින් නිගමනයන්ට එලැබීමයි. බෞද්ධ ක්‍රමය නම් පරීක්ෂණ, නිරීක්ෂණ මගින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි.
 මෙය උදාහරණ මගින් පැහැදිලි කර ගනිමු. නිව්ටන් විසින් ගුරුත්වාකර්ෂණය සොයා ගත්තේ පරීක්ෂණ රාශියක් කිරීමෙනි. එහිදි ඔහු නිරික්ෂණය කලා සෑම වස්තුවක්ම පොළවට නියත ත්වරණයකින් වැටෙන බව. මෙහිදී වැදගත් වන විශේෂ කාරණය නම් එම නිරීක්ෂණය ඔහු සිදුකලේ පන්චේන්ද්‍රියෙන් වීමයි. මා කලින් ලිපියේ සදහන් කලා පන්චේන්ද්‍රියෙන් කරන නිරීක්ෂණ සෑම විටම සත්‍ය නොවන බව. මේ නිරීක්ෂණයන්ට අනුව ඔහු විසින් ඒවා පැහැදිලි කිරීමට නැතිනම් නිගමනයන්ට එළැඹීමට යම් මොඩලයක් නිර්මාණය කලා. ඒ තුල ස්කන්ධ අතර ගුරුත්වාකර්ෂණය නමැති බල හටගන්නා බව නිගමනය කලා. නමුත් එය පැහැදිළි කිරීමට ගණිතය උපකාරී කරගතයුතු වුන නිසා ඔහු පරීක්ෂණ හා ගණිතමය මූලධර්ම නොබිදෙන පරිදි සමීකරණයක් ඉදිරිපත් කලා. නමුත් ඒ සමීකරණය මගින් ඔහුගේම නිරික්ෂණ සාවද්‍ය වුනත් ඒවා නොගිණියහැකි තරම් කුඩා යැයි කියනු ලබන සුදු හුණු වලින්ම වසා දැම්මා. විද්‍යාත්මක ක්‍රමය නම් පන්චේන්ද්‍රියෙන් කරනු ලබන නිරීක්ෂණයන් පැහැදිලි කිරීමට අවශ්‍ය කතාවක් ගෙතීම මගින් නිගමනයන් කොට ඒවා පැහැදිලි කිරීමයි. පරමාණු පිලිබද හැදැරීම් වලදී ද මෙවැනි මොඩලයන් නීර්මාණය කිරීම තුලින් නිරීක්ෂණ පැහැදිලි කිරීම් දැකිය හැක. මන්ද යත් ඇත්තටම පරමාණුවල ස්හාවය දැක නොමැති බැවින් නිරීක්ෂණයන්ට උචිත පරිදි කතාවක්  ඕනෑම කෙනෙකුට නිර්මාණය කල හැකි බැවිනි.
මෙම විද්‍යාත්මක ක්‍රමය ගැන තව දෙයක් පැවසිය යුතුය. මෙම ක්‍රමය ගල් යුගයේ මිනිසුන් භාවිතා කල ක්‍රමයම වේ. ඔවුහූ ද ඔවුන් නිරික්ෂණය කල දේ අනුව කතා නිර්මාණය කිරීම තුලින් ඒවා පැහැදිලි කලෝය. ඔවුන් පොළවෙහි සෑම තැනම තිරස් බවත් සූර්යයා හා චන්ද්‍රයා මුහුදේ ගිලෙන බවත් නිරීන්ෂණය කර විවිධ නිගමනයන්ට එළැඹ ඒවා විස්තර කලා. එදා ඔවුන් සතු වූ තාක්ෂණයට අනුව ඒවා සත්‍යයැයි පිළිගැනුණා. අදත් සිදුවන්නේ ඒ දේමය. අද තිබෙන තාක්ෂණයන්ට අනුව නූතන විද්‍යාව සත්‍ය වුවත් හෙට ඒවා අසත්‍ය විය හැක. යම් දිනක පරමාණුව දැකිය හැකි තරම් සූක්ෂම උපකරණ සොයා ගන්නා තුරු පරමාණු මෙසේයැයි උපකල්පනය කර පිළිගනිමු. වෙන මොනව කරන්නද නේද?

එහෙනම් බුදු දහමට අනුව කොහොමද පරමාණුව විග්‍රහ කරන්නේ? දැන් ඔබට ඇති ගැටළුව එය නේද?  එය අපි ඊ ළග කොටසින් එය සොයා බලමු. 

Thursday, August 30, 2012

හිත රැවටීම

බොලා ලා බලලා ඇතිනෙව ගුසාරිස් ද මොකක්ද කියන චිත්තරපටිය. ඒකේ තිවුනා ආස්චරියා රායි අතගානකොට රිතික් ආතොල් එකට කෙදිරිගාන කැල්ලක්. ඉතින්  ඔය කෑල්ල යද්දි මට මතක් උනා නෙව මට වෙච්චි හදියක්.
ඕං මං ඉස්කොලේ යන කාලේ දවහක් බස් එකේ ඉදගෙන ඉදපිනා. මේං එක පාරොටම ඩෙනින් කලිහමක් ඇද ගත්තු කෙල්ලෙක් මා ගාවින් හිට ගතපිනා. බස් එක ගැස්සෙන පාරට ඕං ඒකිගේ කකුල වැදෙනවා මගේ කරේ. මොක වුනත් අංගපුලාව ඇති සුකුමාල කෙල්ලනෙව මටත් මාර ආතොල් එක. මාත් ඉතින් ඉබ්බා දියට දැම්මහම ඇන්නෑවේ කියන්නැහේ ඈ ගේ උකුලට හේත්තුව දමාපිනාලාගෙන මාත් නොදන්නවා වාගේ අහක්ක බලං උන්නා. ඈගේ මූණ බැලුවොත් ඒකි මං හිතාමතාම හේත්තුව දාන බව දැන ගනීවීයැයි කියාලා මාත් දිගටම ඕං ජනේලෙන් එලිය බලාගනමයි උන්නේ.

කොහොමින් කොහොම හරි මාත් ආතොල් එකේ බහින තැනට කිට්ටුවෙනකම්ම හේත්තූව දාං ඇවිල්ලා බහින්න කලින් සුකුමාල මූණ බලන්න ඕනෑය කියාලා හොරෙන් බලාපිනා. හුටා පටස් ඇයි යකඩෝ මං ආතොල් එකේ හේත්තුව දාං ආපු කෙල්ල මේං අංකොල් කෙනෙක් වෙලා. මහ හම්පඩ මූණක් නෙව ඒකාට තියෙන්නේ. මගේ ආතොල් එක අහවරයි. මං ටිකක් එහාට වෙලා ඉදගතිපිනා ඒ පාර. මේකා බස්එක ගැස්සෙනකොට මගේ කරේ. අම්මපා ඉතින් මට කුණුහබ්බ තමා මතක් වෙන්නේ. හොද වෙලාවට බහින්න කිට්ටු හින්දා ඉවසා දරාගෙන උන්නා.

හැබැයි ඕං මං දැන් කල්පනා කොරන්නේ එකම ඩෙනිං රෙද්ද අස්සට ගෑණීයෙකුයි පිරිමියෙකුයි බැස්සාම තියෙන වෙනස. අපි ඉතින් මොකාක් හරි සැපයි කියාලා හිතාගෙන ඉන්නකං සැපයි නැත්නං ඉතිං ඇති බක්කක් නෑ. දෙතිස් කුණුප දාතුව දෙතිස් කුණුප දාතුවම තමයි බාං.

ප.ලි. මීට ඉහත පන්චේන්ද්‍රිය 2 දී කියනවයි කියෙව්වේ මේක තමා ඕං
 

Sunday, August 26, 2012

පළමු මෙහෙයුම (Operation I)  

යම් කිසි කසුකුසුවකින් මා නැවත ඇස් අරින විට පළමුව නෙත ගැටුනේ විදුලි පහන් රැසකින් සමන්විත රවුම් විශාල විදුලි පහනකි. මා සැප පහසු ඇදක් මත හොවා බෙල්ලට කොට්ටයක් තබා තිබිණ. එහෙයින් මට පහල බැලීමට අපහසු වූ අතර ඇස් කරකවා බැලූ විට මා වටා මා ඇද සිටිනා වූ ආකාරයේ කොල පැහැති කබා ඇදගත් වෛද්‍යවරු පිරිසක් ඇද වටා ඔවුනොවුන් හා කතා කරමින් සිටිනු පෙනිණ.
ඉන් එක් වෛද්‍යවරයෙක් මා ඇස් කරකවකවා බලනු දැක "ආ බබා බයවෙන්න එපා අපි ඔයාට ඉන්ජෙක්ෂන් එකක් විදිනවා රිදෙන්නේ නෑ" කියා දකුණු අත ගෙන මැණික්කටුව ලගින් බෙහෙතක් එන්නත් කලේය. එය සියුම් වේදනාවක් දුන්නද මා විදිනු ලැබූ වේදනාවන් වල හැටියට එය තරම් නොවීය. නැවතත් වෛද්‍යවරු අර විශාල විදුලි පහන් එළිය මගේ ඉනේන් ඉහල කොටසට වදින සේ පහත් කලේය. නැවතත් මට නින්ද ගියේය.
එක් වරම මට ඇහැරිණ. පෙර පරිදිම වෛද්‍යවරු මා වටා හිදිමින් යුහුසුළුව යමක් කරමින් සිටියෝය. මට කිසිදු වේදනාවක් නොවූ අතර සැහැල්ලු බවක් ද දැනිණ. නැවත් මගේ නෙත ගැටුනේ අර විදුලි පහනයි. මා එයට වශි වී සිටියේය. ටිකෙන් ටික මා ඒ දෙසට ඇදී ගියේය .ස්වල්ප වේලාවකින් මා උන්නේ ඒ පහන මතයි. පහල බැලූ විට මා ඇදක් මත හොවා වෛද්‍යවරු මොනවාදෝ කරනු පෙනිණ. නමුත් ඔවුහු මා වෙත නැඹුරු වී සිටි බැවින් ඔවුන් කුමක් කලේදැයි පැහැදිලි නැත. එතැන සිටීමෙන් පලක් නැතැයි මට සිතිණි. එකෙනෙහිම මා සිටියේ ඉතා උස තාප්පයක් මතය. හාත්පස අන්ධකාරයෙන් පිරී ඇත. ඒ අසල මහා දා ගැබක ඡායාවකි. එය සමහර විට කළුතර වෛත්‍ය වියහැකියයි මට සිතිණ. ඒ එතෙක් කල් ඒ සා විශාල චෛත්‍යකට මා දැක තිබුනේ එය පමණක් නිසා විය හැක. ඒ අදුරු සැන්දෑවකි. එන්න එන්නම අදුර වැඩි වූ නිසා මට කිසිවක් නොපෙණි ගියේය.

හිත් හෙර


පවන කැවුන නුඹෙ සවන පිනන හඩ
නොඑන ලෙසින මම සවන අතින තද කෙරුවා

වුවන රැදුන නුඹෙ දකින සිහින හද
තලන පෙලන විට නිදන යහන නිදි වැරුවා
ගුවන සිඹින මහ සිහින රැගෙන නුඹ
පැමින බිදුන විට නොයන ලෙසින මට කීවා
ගුවන සරන බිගු ලෙසින පැමින නුඹ
රැගෙන ගොසින හද නොඑන ලෙසින මා ගාවා


සුපිපි පුෂ්ප මකරන්ද උරා බොන
සරන බඹර විස තුඩින මිලින වන
කුසුම සේම හද මඩල මිලින කල
රතී සුරග සුර ලියද කියනු නුඹ

පැමීණ පතුල සිඹ කනට කොදුරමින
මියුරු ගීත මුමුණමින් මදුරු ගණ
විදින සේම හද මඩල විසුල කල
කොහිද කොහිද  හද රැගෙන ගියපු නුඹ

Thursday, August 23, 2012

30 සතිය

දුක දැනීමට හේතුව ඇත්ත ඇති සැටියෙන් නොදැනීමයි.

Sunday, August 12, 2012

8 ලිපිය - පන්චේන්ද්‍රිය 2

අප ගියවර සොයාබැලුවේ ඇස ගැනයි. ඒ ආකාරයෙන්ම වාගේ ක්‍රියා කරන තවත් ඉන්ද්‍රියක් ඇත. එනම් කනයි. කන මගින් ද කරනු ලබන්නේ ශබ්දයේ ජායාව මගින් ශබ්දය හදුනා ගැනීමයි. මෙහිදීද ඇතිවන ශබ්දය කනේ ගැටීමක් සිදුනොවේ. එසේ වූවානම් අනිවාර්යයෙන්ම අපට ඇහෙන ශබ්දවලට කන් බෙරය පැලීයනු නිසැකය. ඇසට ආලෝක තරංග මගින් ජායාව රැගෙන එන ආකාරයෙන් ශබ්ද තරංග මගින් ශබ්දයේ ජායාව කනට ලැබෙනු ඇත. එවිට ඵස්සය ඇතිවනවා මිස ශබ්දය කනේ ස්පර්ශ වීමක් සිදු නොවේ. මෙහිදී ද පැහැදිලි වන්නේ අපට ඇසෙන ශබ්ද ඇත්තටම පවතින ශබ්දය නොවන බවයි. එකම ශබ්දය වුවද සියදෙනෙකුට ඇසෙනුයේ සිය ආකාරයකටයි.
ඇත්තටම යම් ශබ්දයක් ඇතිවු දිශාව ද දුර ද අපට නිර්ණය කලහැකි වන්නේ මෙම ඡායාව මගින් ශබ්ද හදුනාගැනීම නිසයි.
අනෙක් ඉන්ද්‍රියන් 3 ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරයකටය. නාසයත් දිවත් ක්‍රියාකරන්නේ එකම ආකාරයකටයි. එහිදි ඡායාව හදුනාගැනීමක් සිදු නොවේ. අරමුණ ඉන්ද්‍රියේ ගැටීමෙන්ම හදුනාගැනීම සිදු වේ. එම නිසා දුර ඇති දෙයක ගන්ධය හෝ රසය හෝ පහස හෝ අපට හදුනාගත නොහැක. නමුත් මෙහිදී ද අපට අරමුණුවල සැබෑ ස්වරූපය දැනගත නොහැක. මන්ද යත් ඉන්ද්‍රියේ ස්භාවය අනුව දැනීම් වෙනස් වීමයි. විශේෂයෙන්ම මේ සෑම ඉන්ද්‍රියකටම ප්‍රසාදයක්(ඔපයක්)  ඇත. එහි ඔපය මත දැනීමේ තීව්‍රතාව වෙනස්වේ. උදාහරණයකින් දක්වන්නේනම් බුලත් කන අයගේ ජිව්හා( දිවේ) ප්‍රසාදයේ ද, කසල ශෝධකයන්ගේ ඝාන (නාසයේ) ප්‍රසාදයේ ද තීව්‍රතාව අඩුවේ.
සම ක්‍රියා කරන්නේද අරමුණ ගැටීමෙන්මය. නමුත් එයට තුන් ආකාරයක රූප අරමුණු වේ. එනම් පඨවි තේජෝ හා වායෝය. යම් වස්තුවක් ගැටුන කල්හි මේ තුනම ගැටෙන නමුත් අරමුණු වන්නේ වැඩිපුර ඇති දෙයයි. උදාහරණයක් ලෙස ගිනිපුපුරක පඨවි තේජෝ වායෝ තුනම ඇතත් අරමුණු වන්නේ තේජෝ ධාතුවයි. මෙහි වෙනස් අරමුණු හදුනාගැනීමක් ද වේ. එනම් අප බලාපොරොත්තු වන අරමුණ හදුනා ගැනීමයි. උදාහරණයකින් දක්වතොත් අප උණ බැලීමට සමට අත තැබුවොත් අපට තේජෝ ධාතුවට අදාලව විඥාණය පහලවේ. නමුත් පහස බලාපොරොත්තුවෙන් අත තැබූ කල්හි පඨවි ධාතුව අරමුණු වේ.
 දැන් අපට පන්චේන්ද්‍රියන් ක්‍රියා කරන ආකාරය පිලිබද යම් වැටහීමක් ඇත. මේ අනුව පැහැදිලි වන වැදගත් කාරණයක් ඇත. එනම් පන්චේන්ද්‍රිය මගින් කරනු ලබන නිරීක්ෂණයන් නිවැරදි නොවන බවයි. එමගින් ගනු ලබන නිගමනයන් ද නිවැරදි නොවේ. අපට ලෝකය පෙනෙන දැනෙන ආකාරයට වඩා තවකෙකුට පෙනෙන ආකාරය වෙනස් ය. වෙනත් සතෙකුට පෙනෙන ලෝකය ඊට වඩා වෙනස්ය. එබැවින් යමක් දුටු පමණින් ද, ඇසූ පමණින් ද, දැනුනු පමණින් ද විශ්වාස නොකල යුතුය. (මීට කදිම නිදසුනක් පසුව දක්වමි)  මන්ද අපට පෙනෙන ඇසෙන දැනෙන දේට වඩා ඇත්ත තත්වය බොහෝ සෙයින් වෙනස් විය හැක.

Thursday, August 9, 2012

සීතාම්බර සළුව ඇන්දවීම

බොලාලා දන්නවනෙව සීතාම්බර සළුව කියන්නේ හරි ලස්සන සළුවක් නෙව. ඕක ඉතින් අන්දවලා රජතුමාව සතුටු කොලාත් මතක ඇතිනෙව. හැබැයි ඕං අන්තිමට උනේ මක්කෙයි? රජතුමා අමාරුවෙ වැටිච්ච එක නොවෑ. ඉතින් මේ අපේ ඇයොත් ඔයි වාගේ වැඩ කරන්නැතුවයෑ. මහ ඉහලින් උත්සව එහෙම තියාලා තමන්ගේ ඇයින්ම අමාරුවේ දානවා. අනේ ඒකත් මොඩයා වාගේ අනේ යසයි කියාලා සළුව ඇදගන්නවා. ටික දොහක් ගියායින් පස්සෙන් පහු තමාඕං වැඩේ වැරදුනා කියාපිනාලා වැටහෙන්නේ. එතකොටනං පුතෝ පෙරහරේ ගෙහුං ඉවරයිනෙව. මක්ක කොරන්න ද කරත්තේ දක්කාගෙන යනවා මිසක්කා.

වහෙන් ඔරෝ නැතිව මයෙ කටකහන කාරනාව කියාපිලන්නම්කෝ. ආයේ මොකෝ මං මුසා ඇදබානවා නොවෙයිනෙව. දැන් මේක නෙව කාරණාව. ඔය අපේඋන් ඉහලින් සමරන උත්සව දෙකක් නෙව ඉපැදීමයි, හිර ගැනීමයි. දැන් ඔය කාරණා දෙකෙන්ම වෙන්නේ ඒ මනුස්සයා දුකට වැටීම නෙවෙද්ද? ඉපැදුන නිසා නෙවෙද්ද මේ හැම නස්පැත්තියක්ම මං අහන්නේ.මොකෝ අපි බොලාලා හිනා වෙවී ආතල් එකේ ඉපදුනායෑ. ඉපැදීම දුකක්ය ආයේ නූපදිනට වැඩ කොරන්නෙයි කියලා බුදු හාන්දුරු වහන්සේ දේසොනා කොලේ අහවල් එහෙකටයෑ එහෙනං. අනෙක් කාරනාව තමා විවාහය. ඕකෙනුත් වෙන්නේ ඒ මනුස්සයෝ අමාරුවේ වැටෙන එක නෙව. වගකීම් වැඩිවෙනවා, නිදහස නැතිවෙනවා, වියදං වැඩිවෙනවා තව කොයිතරං දේවල්ද. ඉතින් ඒක නෙව මං කියැව්වේ අපි අමාරුවේ වැටෙන වෙලාවට අනෙක් උන් උත්සව තියනවා. හැබැයි ඕං අපි කුසල් දහම් කොරලා හොද මිනිහෙක් විදියට මලොත් බිම හැපි හැපි අඩනවා මොකෝ අපිට ආදරේටද මං අහන්නේ. උන්ට ආයේ උපකාර ගන්න බැරි වෙනවට. නැත්නං ඉතින් සතුටු වෙනට එපායැ හොදින් ඉදලා මැරිලා හොද තැනකට යන එකට. 

Saturday, July 28, 2012

මෙහෙයුමට පිටත් වීම 

එදින රාත්‍රිය උදා විය. සුපුරුදු පරිදි ඇග සොදා පිරිසිදු වී රාත්‍රී ආහාරයද ගෙන පිරිත් දේශනය පටන් ගතිමු. නමුත් සුපුරුදු හැගීමට වඩා වෙනස් හැගීමකින් සිත පිරී තිබිණ. කෙසේ වෙතත් නව ග්‍රහ ශාන්තිය අවසන් වන විට නින්ද ද මා කරා පැමිණියේය.
රාත්‍රි 10 න් පසු ආහාර නොදිය යුතුයයි හෙද නැන්දා කියු නිසාදෝ හෝ රාත්‍රියේ මාව කීද්දූ අම්මා මෝල්ට් කිරි එකක් පෙවීය. උදෑසන ඇහැරී මූණ සේදූ පසු මට අදින්න අලුත් ඇදුම් කට්ටලයක් එවා තිබිණ. එය කොල පාට ගවුමකින් ද හිස් වැස්මකින් ද සමන්විත විය. මට ඇවිද යාමේ කිසි අපහසුවක් නොවීය. නමුත් මාව එතැන්ම සිට ට්‍රොලියක නංවා කොරිඩෝව දිගේ තල්ලු කරගෙනගියේය. මවත් පියත් මා පසු පසින් දිගටම පැමිණියෝය.නමුත් එක් කාමරයක් අසලින් ට්‍රොලිය නවත්වා දෙමව්පියන්ට නවතින ලෙස සන් කලේය. මව මගේ හිස සිඹ මුහුණ අතගා භය වෙන්න එපා කිවාය. ඇගේ දෙනෙතේ කදුලු පිරී තිබිණ. නමුත් කුමක් වන්නේදැයි කුමක් නිසා භය වන්නේදැයි මට නම් නොතේරුණි. එවේලෙහි මගේ අතට බෙහෙතක් එන්නත් කලත් එය සාමාන්‍ය දෙයක් මිස බිය විය යුතු දෙයක් නොවීය.
මාව අදුරු කාමරයකට රැගෙන ආවේය. එහි රතු ආලෝකයක් පැතිර තුබූ අතර තවත් ට්‍රොලි කීපයක් ද විය. ඉන්පසු මා සිතන්නේ මට නින්ද ගියාද කොහේ ද. 

29 සතිය 

ආදරය ද්විපාර්ශවික විය යුතු නැත. අනෙකා වෛර කරද්දී වුවද ආදරය කල හැකි නම් එය සැබෑ ආදරයයි.

ආමිස පූජා ප්‍රතිපත්ති පූජා

තොරණ බලන්නට පෝදා
සෙනග මැදින් මා යනවිට
විරිදු රබානක් වයමින්
මුදල් ගරනවා එතැනම
පින් පමුණනවා

මහ සෙනගක් පෝලිමෙ සිට
වෙසක් පහන ඇති මඩුවට
යන්නට යන දොර අභියස
ටිකට් කඩනවා කවුලුවේ
ටිකට් කඩනවා

පුන්සද හිනැහෙන යාමේ
මා ගියවිට වෙහෙර බිමට
අත්තම්මා කෙනෙක් ඉදන්
බුදුන් වදිනවා සිල්ගෙන
බුදුන් වදිනවා

Sunday, June 17, 2012

පෙර සූදානම

ටිකෙන් ටික සැත්කම කරන දිනට ලං වෙමින් පැවතිණ. ඒ සදහා ඇත්තේ තව දිනකි. එනම් අනිද්දා මා සැත්කමට භාඡනය කරනු ඇත. මාගේ ජීවිතයේ තීරණාත්මක දින දෙකෙන් පළමු දිනය එයයි. දෛවඥයන්ට අනුව එදායින් මාගේ ජීවිතය අවසන් වනු ඇත. මෙම සැත්කම ලංකාවේ කරනුයේ ද පළමු වරටයි. ඉන්දියාවේ සිට පැමිණි දොස්තර නරේන්ද්‍ර තේනබදු සහ දොස්තර පනෙල් රණතුංග ඇතුලු වෛද්‍ය කණ්ඩායම ඊට සුදානම් වන අතර මමද අම්මා විසින් සූදානම් කරනු ලෑබීය.

එදින රාත්‍රියේ ද සුපුරුදු පරිදි නව ග්‍රහ ශාන්තිය ද ශ්‍රී මහා බෝධි වන්දනාවද කරණිය මෙත්ත සූත්‍රයද ජයෝ මුනින්දස්ස ගාථාවද කියා නින්දට ගියේ හෙට දිනයේ ගමනක් යාමට තියන බව මව මතක් කර දීමෙන් පසුවය.
වෙනදාටත් කලින් මෙදින මාව කූද්දනු ලැබීමෙන් අනතුරුව මූන කට සෝදවා මාව සූදානම් කරවීය. ඒ සමගම සීනු හඩ නංවමින් උදේ ආහාර කරත්තය පැමිණියේය. සියලුම අය පිගන් කෝප්ප රැගෙන කොරිඩෝව දෙසට දිව ගියෝය. අම්මා ද කැබිනෙට්ටුවෙන් ප්ලාස්ටික් පිගානත් කෝප්පයත් රැගෙන ඔවුන්ට එකතු විය. ස්වල්ප වේලාවකින් බාගෙට තම්බන ලද බිත්තරයක් ද පාන් පෙති කීපයක් ද රැගෙන පැමිනි ඈ බිත්තරයේ කෙලවරක් සිදුරු කොට එය ටික ටික පොවමින් පාන් පෙත්තක් කැව්වාය. උදේ ආහාරයෙන් අනතුරුව මට සුදු සරමක් හා බැනියමක් ඇන්දවීය. සරම ඇදගෙන ටික දුරක් යාමට මත්තෙන් එය කකුලේ පැටලී බිම වැටුනු බැවින් නැවතත් එය අන්දවා කටු කීපයකින් එය රදවා තැබීමට මවටත් පියාටත් සිදුවිය. ඒ වන විට මා බැලීමට තාත්තා ද පැමිණ සිටියේය.

තිදෙනාම ඉන්පසු ස්පිරිතාලයේම කෙලවරක පිහිටි බුදු මැදුර වෙත ගියෝය. එහි පැය භාගයක් පමණ බුදුන් වැද නැවත වාට්ටුවට පැමින සුපුරුදු ඇදුමට මාරු විය. ඉන්පසු අම්මාත් තාත්තාත් සමග ස්පිරිතාලේ සිරි නැරඹීමට ගියේය. ඇතුලේ බේත් සුවදට වඩා නැවුම් මල් සුවද මිදුලේ තිබුණි. ගමනින් වැඩි කොටසක් මා උන්නේ තාත්තාගේ කරේය. පසුව රෝහල් අවන්හලට පැමින කිරි තේ බොමින් සතුටින් තාත්තාගේත් අම්මාගේත් කතන්දර අසමින් සිටියේය. ඒ දවස සම්පූර්ණයෙන්ම වාගේ මා සිටියේ ඔවුන් සමගය. එදින මාව සතුටින් තැබීමට උත්සහ කල බව එදා මට වැටහුනත් ඒ සිනා මුහුණු යට මහත් බියක් වේදනාවක් තූබූ බවනම් කිසිසේත්ම නොවැටහිණි.

Saturday, June 16, 2012

ඉටි පහනක් විය

සද එළිය සොයා ගිය
මගේ අදුරු ලොව
එලිය කලේ ඒ ඉටි පහනයි
සද එළිය නොතිබූ දින
මගේ මිතුරු ලෙස
ලගින් සිටී ඒ ඉටි පහනයි

දැවි දැවී ගිය නමුත් සියොලග
ඉටි කදුලු සගවා දෙවුර ලග
අමාවක දා මගේ තනිකම
දැවූ යේ ඒ ඉටි පහනයි

පෙනි පෙනී ඔබ දැවෙනු මා ලග
සද එළිය දන ගසා ඈ ලග
පැතූයේ හැරදා මෙසේ මම
මව් හදේ රැදි තුම් නිවනයි

28 සතිය

ඔබේ සිතට එන සිතුවිලි ගැන මනා අවබෝධයෙන් සිටින්න. මන්ද ඔබේ සිතුවිලි ඔබේ පැවැත්ම තීරණය කරනු ඇත.

Sunday, June 3, 2012

8 ලිපිය - පන්චේන්ද්‍රිය 

යථාර්තය සොයා ලිපි පෙල ලීවීම ටික දවසක් අතපසු වීම ගැන පලමුව මම සමාව ඉල්ලනවා. මට ලැබෙන සමහර අදහස් වලින් පෙනී යන්නේ සමහරු මේ ලිපිපෙල ලිවීමේ අරමුණ පසක් කරගෙන නොමැති බවයි. මෙහි බුදු දහම ප්‍රචලිත කිරිමේ අදහක් නොමැති බවත් ලෝකයේ ස්භාවය සෙවීමට කරන මගපෙන්වීමක් පමණක් බවත් දත යුතුය. මා බෞද්ධයකු බැවින් මා අසා ඇති දේ ඔස්සේ සිතීම සාමාන්‍ය දෙයකි. 
 මම අද සොයා බලන්නේ අපගේ පන්චේන්ද්‍රියන් ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි. අපට පැහැදිලි කිරීම වඩාත් පහසු ඇසින් ආරම්භ කරමු. ඇසෙන් පෙනෙන්න නම් ආලෝකය, වස්තූන්, හා ඇස අවශ්‍යය. මේ තුන ඇතත් මල කෙනෙකුට නොපෙනේ එම නිසා විඥ්‍යානය ද අවශ්‍ය වේ. මීට පෙර ඇසේ රූපයක් ගැටුනු පසු සිදුවන දේ සාකච්ඡා කල බැවින් අද ඊට පෙර සිදුවන දේ සොයා බලමු.

අප දන්නවා ඇසේ වස්තුවක් ස්පර්ෂ වුවොත් එය අපට නොපෙනෙන බව. එසේ නම් පෙනීම සදහා වස්තුව ඇසේ නොගැටේ. සිදුවන්නේ වස්තුවේ ඡායාවක් ඇසේ යම් විශේෂිත ස්ථානයක (විද්‍යාත්මක නම මතක නැත) ඇති වීමයි. එවිට ඵස්සය ඇතිවේ. මෙම ඇසේ විශේෂිත ස්ථානය චක්ඛු ප්‍රසාද යැයි ධර්මයේ සදහන් වේ. ඇසේ ස්භාවය අනුව මෙම ඡායාව වෙනස් වේ. ඒ ඡායාවේ හැටියට අප වස්තුව හදුනාගනී. ඒ අනුව පැහැදිලි වන්නේ අප දකින දේ ඇත්තටම පවතින දේම නොවන බවයි. ඒ නිසාම එකම දෙය සිය දෙනෙකුට පෙනෙන්නේ සිය ආකාරයටය. එකම කෙනා වුවද සියපාරක් දකින්නේ ද සිය ආකාරයටය. යම් හෙයකින් වස්තුවක් අතේ ගැටුනු විට දැනෙන්නා සේ ඇසේ ගැටුනු විට පෙනීනම් දක්නට වන්නේ ඇසේ ප්‍රමාණයට කුඩා වස්තු පමණක් වරකට එකක් බැගිනි. නමුත් කුඩා දර්පණයක් තුලින් විශාල ප්‍රමාණයේ වස්තූ ඒ ප්‍රමාණයෙන්ම දැකිය හැකි මෙන් චක්ඛු ප්‍රසාදය මගින් ද ඒ හා සමාන කාර්යයක් කෙරේ. මෙහි තව වාසියක් ඇත. එනම් වස්තුව තිබෙන තැන තිබියදී දැකිය හැකි වීමයි. එනිසා වස්තුව පවතින දුර දිශාව නිර්ණය කල හැක.
අනෙක් ඉන්ද්‍රියන් පිලිබද අප පසුව සොයා බලමු. අවසාන වශයෙන් මා කියන්නේ අප දකින්නේ පවතින දේම නොවන බවයි. ඒ නිසා රූපයන් හි නොඇලෙන්න. එය මායාවක් වැනිය. 

Sunday, May 20, 2012

Love make me blind foolish

Heart said me don't be fools
night deepest thought will comes
i fall love in that dreams
but love disturbs to my goals

In every my prayers
heart find me a princess
love make me blind foolish
so I hate the love stories

Sunday, May 6, 2012

27 සතිය

ඔබට ඇති ගැටළු මීට පෙර කිසිවකුට පැමින නැතිනම් පමනක් ඔබ කණගාටු වන්න. මන්ද ඒ සියළු ගැටලු දැන් අවසන් වී ඇත.

Thursday, April 19, 2012

දත් ගැලවීම 

අළුත් නවාතැනෙහි එක් රැයක් පහන් කල පසු දින මා වෙනත් කාමරයකට මාරු කරවීය. ඒ 60 වාට්ටුව නැතිනම් හෘද රෝගින් සිටින අංශයයි. මා පළමු සැත්කම සදහා 10.03 දින සුදානම් කරවීය. ඒ සදහා පරීක්ෂණ කීපයක්ම සිදු කලේය. පළමුව ලේ මුත්‍රා පරික්ෂා කලේය. දෙවනුව X-කිරණ පරික්ෂාව සිදුවීය. ඉන්පසු රුධිර පීඩනයද ස්කෑන් පරීක්ෂණයද කිරීමට අදාල ස්ථානයට රැගෙන ගියේය. එහි තවත් රෝගීන් ඒ සදහා පැමිණ සිටි බැවින් අපට පැයක් පමණ බලා සිටීමට සිදු විය. මා නම් ඒ මේ අත සුදු ඇදගත් මිනිස්සු ලෙඩුන්ද වෙනත් උපකරණද  ට්‍රොලි වල දාගෙන යන සැටි බලා උන්නෙමි. කෙසේ හෝ පරික්ෂනාගාරයට ගිය පසු එහි සිටි දොස්තර නොනලාද මහත්වරුද මට බැනියම ගලවා ඇද මත හාන්සි වන ලෙස කිවෝය. මා එසේ කල පසු කෙනෙක් මගේ පපුවේ තැනින් තැන වයර් කෑලි ඇමුණුවේය. තවත් කෙනෙක් පැමිණ ජෙලි වගයක් පපුවේද ඈ අත තුබූ කෝන් එකකද ගා පපුව මත එය එහා මෙහා කරමින් අසල තූබූ ටී.වී. එකක් දිහා බලමින් අන් අය සමග ඉංග්‍රිසියෙන් දොඩන්නට වූවාය. මම ද ටී.වී. එක දිහා හොරෙන් බැලුවද එහි තිබුනේ ඩබ් ඩබ් ගාන රූපයකි. ඔවුන් ඒ දෙස බලමින් සිනහා වූවද එහි සිනාසීමට තරම් දෙයක් නොවීය. මොවුන් මාව විහිලුවකට ගෙන යැයි වරක් මට තරහ ද ගියේය. අවසානයට දත් පරික්ෂා කලේය.

පසු දින පරීක්ෂණ වාර්තා පැමින තූබූ අතර සියළුම වාර්තා යහපත් වූ නමුත් දත් පරික්ෂණය කල දොස්තර කියා තිබුනේ සැත් කමට පෙර දත් 7 ක් ගැලවිය යුතු බවයි. දත් 7ක් එකවර ගැලවීම පහසු දෙයක් නොවේ. ඒ නිසා මාව දන්ත ශල්‍යාගාරයට ගෙන ගියේය. ඒ සදහා ගිලන්රථයක් භාවිතා කලේය. එහි ගිය පසු මට බෙහෙතක් එන්නත් කොට පැය 1/2ක් එලියෙන් සිටින ලෙස කිවේය. ඉන්පසු හල්‍යාගාරයට රැගෙන ගියේය. එහිදී ද එන්නත් කල මට සිහිසුන් විය. නැවතත් අම්මාගේ කටහඩින් අවදි වූ මා සිටියේ වේදනාවෙන් කෙදිරි ගාමින් සිටින ලෙඩුන් සහිත තැනකය. මම සෙමෙන් ඒ මේ අත ඔලුව හරවා බැලිමී. මගේ නෙත් එක්තරා වයෝවෘද අත්තම්මා කෙනෙකු අසල නතර විය. ඈ කෙදිරි ගාමින් යමක් කීමට උත්සහ කලද කටින් කිසිම වදනක් පිට නොවීය. එවිට මට දැක ගතහැකි වූයේ ඇගේ දිව ගැටගසා ඇති බවයි. එපමණක් නොව ඇගේ නැහැයෙන් බට දෙකක් ද දමා තිබිණ. එවේලෙහි එතැනට පැමිනි හෙදියක් විසින් එක් බටයක් ඔස්සේ කිරි වීදුරුවක් පෙවීය. මට ඈ ගැන මහත් අනුකම්පාවක් ඇතිවිය.

මට සිහිය පැමිණ මද වේලාවක් යන තෙක්ම කිසිවක් නොදැනුනත් පසුව මගේ කටේද සෑහේන දත් ගලවා ඇති බව පසක් විය. එදවස හිරිවට්ටා හෝ සිහිනැති කරවා දත් ගැලෙව්වාට දැන් එසේ නොකරද නොම තේරෙන සේ දත් ගලවන ඈයින්ද මට හමු වී ඇත.

Tuesday, April 17, 2012

අපේ මාවත් කවදා නැවත හමු වේදෝ?

මාද ආදරේ ප්‍රියේ නුඹෙද ආදරේ තියේ.
නුඹ කිම මන්මෙසේ හැර ගියේ.
චපල මා නම් නොවේ චපල නුඹ දෝ නොවේ.
හෝ කිම අප වෙන්වෙලා මේ ගියේ.
යාමින් ගාමන්
අපෙ මාවත් දෙකයි වෙන් වුයේ.
හෝ..ඕ.........ඕ......හෝ..ඕ.....
කිම කරම්, කොහේ අප ගියේ.

ප්යාර හම් කෝ බිහේ ප්යාර තුම් කෝබි හේ.
තුයේ ක්යා සින්සිලේ හෝ ගයේ.
බේවෆා හම් නහි බේවෆා තුම් නහී.
හෝ ක්යු ඉතනේ ගිලේ හෝ ගයේ.
චල්තේ චල්තේ
කෙසෙ යේ ෆාසලේ හෝ ගයේ.
හෝ..ඕ.........ඕ......හෝ..ඕ..... 
ක්යා පතා, කහා හම් චලේ.

Friday, April 13, 2012

26 සතිය

යමෙක් ඔබටඅයහපතක් කෙරේද ඔවුන් කෙරෙහි අනුකම්පා කරන්න.මන්ද මෝඩයන් හා කිපෙන්නාද මෝඩයෙකි.

Monday, April 9, 2012

7 ලිපිය - උසස් මනසක් ඇතී ජීවින් සිටින තවත් ලොවක් 

  බොහෝ දෙනෙකු තුල පිටසක්වල ජීවීන් ගැන ඇත්තේ කුතුහලයකි. ඇත්තටම පෘතුවිය හැර වෙනත් ජීවී ලෝක තිබේද? අපිට වඩා දියුණු මනසක් ඇති ජීවීන් මේ විශ්වය තුල ඉන්නවාද?
  සමහර අය පිටසක්වල යානා දැක ඇති බවද සමහර අය ඒරියා 64 හී එවැනි යානා වලින් පැමිනි අය සිටින බවද පවසයි. පෘතුවිය හැර තවත් ජීවි ලෝක තිබේද යන්නට මට කිව හැක්කේ නොදනි යන්නයි. මන්ද එසේ සොයාගත් බවට පිලිගතහැකි සාක්ෂි මටනම් ලැබී නැත. නමුත් ජිවීන් සිටින ලෝක නැතැයි කියාද මට ඔප්පු කල නොහැක. ජීවින්ට සුදුසු පරිසරයක් යම් තැනෙක වේද ජිවින් එහි සිටීමට ඉතාමත්ම හැකියාවක් ඇත. මන්ද හේතු සකස් වීමෙන් ප්‍රතිඵල ඇතිවන බැවිනි.

  කෙසේ නමුත් බෞද්ධයකු ලෙස සිතනවානම් මට කිව හැක්කේ මිනිසුන්ට වඩා උසස් මනසක් ඇති හෝ මිනිසුන් හෝ සිටින තවත් ලොවක් විශ්වයේ නොමැති බවයි. ඊට හේතුව එසේ වෙනත් ලොවක් තිබුනානම් අනිවාර්යයෙන්ම බුදු රජාණන් වහන්සේ ඔවුන්ගේ හිත සුව පිණිස ඒ ලෝකයට වැඩිය යුතුය. නමුත් එසේ වැඩි බවක් කිසි තැනක සදහන් නොවේ.

 නමුත් මම කිසිම දෘෂ්ඨියක නොපිහිටා සිතන්නේ නම් ඊට ද පිලිතුර නොදනී යන්නයි. මන්ද මීට අවුරුදු 2500 කට එහා සිදුවූවා යැයි සදහන් කිසිවක් මට සනාථ කල නොහැක.  එසේ ජීවින් සිටින ලොවක් ගැන ඔබ දන්නේද?

Friday, April 6, 2012

ආදරයයි කෑදරයයි 

බලපන් ඉතින් මේ ආදරයක් හින්ද මට වෙච්චි දෙයක්. මං ඉතින් බොලාලා දන්නවනේ කාටත් ආදරෙයි කියලා කියනවනෙව. එහෙමයි කියාලා මේ සමහර එවුන් මං දිහා වැරදියට බලනව නෙව. මුං හිතන්නේ මං කෙබරයක් කියනවැයි කියාලා නෙව.
  හැමෝම ඉතින් වෙන කාටවත් නැතිව මට විතරක් ආදරය කොරන කෙනෙක් හොයන්නට නෙව තනන්නේ. ඉතින් බොලව් මුන් ආදරය කියන්නේ අහවල් එකක්දැයි නොදැන මං දිහා ඔහොම බලන එක හරියෑ. ආදරය කියන්නේ අත්හැරීමනෙව. හුගක් ඈයෝ හිතාන ඉන්නේ ආදරයකියන්නේ ලිංගික ආසාව නිසා යමෙක් ආශ්‍රය කිරිමට ඇති කැමැත්තට කියල නෙව. ඒකට කියන්නෙ බොලව් ආදරය නොවේ කෑදරය. නැතිනම් රාගය.
  ඉතින් බාං ආදරය කියන්නේ යමෙක්ගේ සතුට වෙනුවෙන් ඕන එකක්, එයාව උනත් අත්හරිනවා කියන එක නෙව. එතැන කිසිම බැදීමක් නෑ බාල්ලා. ඉතින් මං කියන්නෙත් මං ඔයාට ආදරෙයි , නැතිනම් ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාව අත් අරිනවා කියල නෙව. ඉතින් බොලාලා විසේසොයෙන්ම ගෑනූ  දැරිවියො එහෙම මං ආදරෙයි කිව්වම මං දිහා වැරදි විදියට බලනව එහෙම නෙවෙයි ඕං.  

Friday, March 30, 2012

25 සතිය

දුක් විඳීමෙන් සැප නොලැබේ. සැප ලැබීමට සැප විඳිය යුතුය.

අළුත් නවාතැන

අතීතයෙන් තවමත් මතක තිබෙන සිදුවීම් වලින් තවත් එක් මතකයක් තමයි මං මේ කියන්නේ. ඔයගොල්ලො දන්නවා මං පොඩී කාලේ ඉදන් මාසයකට සැරයක් වත් ඩොක්ටර් අංකල් හමුවෙන්න යන බව. දැන් මට අවුරුදු4 1/2යි. ඒ කියන්නේ දෛවඥයන්ට අනුව මට තව ඇත්තේ මාස6 ක් පමණයි. ඇත්තටම මං මේ වෙනකොට හිටියේ ඉතා දුර්‍වල තත්වයක. ඒ නිසා වහාම සැත්කමක් කල යුතුබැව් වෛද්‍ය මතය විය.
   එදා1993 9 26 වැනිදාය. අපේ අයියාගේ ඉස්කෝලේ ( අම්මාගේ හා තාත්තාගේ ද පාසල) සංගීතයක් තිබූ එදා මාත් අයියාත් තාත්තා සමග එය බැලීමට ගියෝය. එවිට මහා සද්දෙන් රෝස තොල් සිඹින යන ගීතය ගැයුවා මට මතකය. ඒ ඩ්‍රම්ස් හඩ මට මගේ පපුවට ගසන්නාක් මෙන් ඇසුනු නිසා කොයිවේලේ හෝ හදවත බිමට වැටේ යැයි බියෙන් දෝ හෝයි මම "තාත්තේ අපි යමු    "දැයි ඇසුවෙමි. ඒ නිසා තාත්තා නැවතත් අප කැටුව ආවේය. ඊලග දවසේ කොළඹ යා යුතු බැවින් අම්මා හනිකට මාව නිදි කෙරෙව්වාය. මට නින්ද යන විට ද ඈතින් කපුගේ ගේ උන්මා ද සිතුවම් ගිතය ඇසුණි.
  ඊ ළග දවසේ අප කෝච්චියෙන් කොළඹ පැමිණියෝය. එදා හවස් වන විට මාව කොළඹ මහ රෝහලේ 24 වාට්ටුවට ඇතුලත් කළේය. මාත් අම්මාත් ඒ ස්ථානයට ගියේ හොද නින්දක් දමන්නටය. මොකද උදේ පාන්දර නැගිට ඉතා වෙහෙසකර ගමනකින් පසුව අප එම නවාතැනට පැමීණ සිටි බැවිණි.
   ඒ නම් මා කිසිසේත් බලාපොරොත්තු නොවූවකි. එය හිගන්නන්ගෙන් පිරි කාමරයකි. තැනක වේදනාවෙන් කෑ ගසන සීයා කෙනෙකි. තැනෙක හිගන්නෝ කීප දෙනෙක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටී. අපට සුවසේ නිදා ගැනීමට සුදුසු වටපිටාවක් තියා තැනක්වත් එහි නොවීය. අපට සිදු වූයේ මේසයක් යට දමා තුබූ පැදුරක නිදා ගැනීමටයී. කෙසේ වෙතත් මට හුරු පුරුදු බෙහෙත් සුවද එහිද පැතිර තිබුණී.
කෙසේ හෝ තෙහෙට්ටුව නිසාදෝ මොන බාධක තිබුනත් මට නම් අගේට නින්ද ගියේය. නමුත් රාත්‍රියේ මට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇතිවී ඇහැරුණේය. "අම්මේ අම්මේ මට කක්ක බරයි" අම්මා ඇහැරවා ගත් මා අම්මා සමග කොරිඩෝව දිගේ කෙලවරට ඇවිද ගියේය. එහි කෙලවර හුස්ම ගැනීමට අපහසු තරම් සුවදක් එන කාමරයකට මාව රැගෙන ආවාය. එය වලලුකර දක්වා වතුර පිරුණු කාමරයකි. එහි ඇතුලට ඇගිලි තුඩුවලින් ගිය විට වැසිකිලී පේලියක් දක්නට ලැබිණි. ඒ සෑම එකක්ම පාහේ උතුරමින් තිබුණා මට මතකය. අනෙක් පස කොමඩ් පේලියකි. ඉන් සමහරක් කෑඩී තිබුනේය. මටද කොමඩ් එකක් මුලින්ම දක්නට ලැබුණේ එහිදීය. වෙන කරන්නට දෙයක් නොතිබූ බැවින් මා එය මත නැග මලපහ කලේය. පසුව අම්මා කොහේදෝ සිට වතුර බාල්දියක් ගෙනැවිත් මාව සේදුවාය.
   එසේ අළුත් නවාතැන් පොලේ එක දවසක් ගතවිය. මට එය දුකක් යැයි කිසිවිටකත් නොසිතුනේය. නමුත් අද නැවත මතක් වන විට මට සිතෙන්නේ අම්මාත් තාත්තාත් කෙසේ මේවා විද දරා ගත්තාද යන්නය.  

Saturday, March 24, 2012

6 ලිපිය - මමත්වය හා පව්කම් අවසානය 

දැන් අපට වැටහෙනවා කුසලාකුසලත් පින් පව් වලත් මූලික වෙනස. ඒ තමයි මමත්වය. කුසලාකුසල යනු නැවත නැවත යෙදීම තුලින් පුරුද්දට යන්නා වූ හැකියාවක්. නමුත් පින් පව් ඇතිවන්නේ තමාට එය දැනෙන ප්‍රමාණයටය. නැතිනම් එය කෙතරම් තමාගේ කරගන්නවාද යන්න මතයි.
  උදාහරණයකින් පැහැදිලි කරනවානම් අපි දන්නවා සත්ව ඝාතනය අකුසලයක් මෙන්ම පවක් ද වන වග. නමුත් මරණ සතාගේ හැටියට පවේ බරපතලකම නැතිනම් විශාලත්වය වෙනස් වෙනවා. කර්මයේ නම් වෙනස් වෙන්නේ නෑ. මා දන්නා පරිදි ආනන්තරීය පාප කර්ම මිස අකුසල කර්ම නෑ.  සමහර අය කියනවා ගවයකු මැරීම බල්ලකු මැරීමට වඩා පවක්, මිනිසකු මැරීම ඊටත් වඩා පවක් බව. නමුත් ඇත්තටම ගතහොත් එහි බරපතලකම තීරණය වන්නේ ඝාතකයාගේ ස්භාවය අනුවයී. යමෙක් තමා ඉතා ආදරය කල සුනඛයා ක්ෂණික කෝපය මත ඝාතනය කලේ නම් ඒ පව නන්නාදුනන මිනිසකු  මැරීමට වඩා බරපතල විය හැක. මන්ද ඒ තමාගේ බල්ලා නිසාය.
  තව එක් උදාහරණයක් දක්වා මම මෙම ලිපිපෙල අවසාන කරන්නම්. අපි දන්නවා කලු ගලක් කුලුගෙඩියකින් ගසා විනාශ කිරිම පාප කර්මයක් නොවන බව. නමුත් කලු ගලින් කරන ලද පිළිමයක් කඩා දැමීම විශාල පවක් ලෙස සලකනවා. හෞතික වශයෙන් කර්ම දෙකම සමානයි. නමුත් එම පුද්ගලයා පිළිමය ආත්ම වශයෙන් ගත් නිසා තමයි එය කඩා දැමීම පවක් වුයේ. එය පිළිමයක් බව නොදන්නා කෙනෙක් එය කඩා දැමුවේනම් ඔහුට කිසිම පාපයක් සිදු වන්නේ නෑ.

Monday, March 19, 2012

24සතිය

විවාහ වීම යනු අනිවාර්ය ප්‍රශ්න සහිත ප්‍රශ්නපත්‍රයකට ලියාපදින්චි වීමකි.

මගේ මොන්ටිසෝරි ගමන

මට අවුරුදු  4 1/2 වන විට මාව ලදරු පාසලකට යැවිය යුතුයයි ගෙදරම්මා යෝජනා කලේ අයියාද අවුරුදු 4  සිටම පෙර පාසලකට යැවූ බැවිනි. අයියා ගියේ වතුගෙදර ගෙදරතාත්තාගේ සාප්පුව ඉදිරිපිට තුබූ පන්සලකටය. නමුත් මාගේ හැටියට එතරම් දුරක් බසයෙන් යැම අපහසු බැවින් මහගෙදර( අම්මාගේ දෙමව්පියන් ජිවත් වූ ගෙදර) අසලම මදක් දුරින් වූ පෙරපාසලකට මාව ඇතුලත් කලේය. එහි සිටියේ තරුණ ගුරුවරියකි.
    හැමදාම උදයටත් දවල්ටත් මා රැගෙන යාම ඒම කලේ ගෙදරම්මා විසිනි.හුග වේලාවට ඈ මාව වඩාගෙන ගමන් කලාය. නමුත් ඇයට ද එය මහත් අපහසුවකි. එබැවින් සමහර අවස්ථාවල ඈ මාව අතින් අල්වාගෙන ගිය නමුත් අඩි දෙක තුනක් ගිය තැන මට හතිය හැදෙන බැවින් මා ඇවිදගෙන ගියාට වැඩිය ඇදගෙන යාම සිදුවිය. මා කෙතරම් හති ලෑවේද යත් මා හුස්ම ගන්නා හඩ මයිනහමක හඩ වැනි විය.
     අපේ ටීචර් හරිම හැඩය. හැමදාම සාරියක් අදින ඈ දිනක් මුව පැටියකු ගැන කවියක් කියා දුන්නා මතකය. තවත් දිනක ලමයකු මට මූසලයා යැයි කීවේය. එවෙලෙහි මට ඒකව මරන්න තරම් වුවද මා ඉවසා සිටියේය. එය මා එතෙක් අසා තුබූ නරකම වචනය විය.
     මම පෙර පාසලට බාර දී සති 2 කින් පමණ තවත් දිනක් විවේක කාලයේදී මා යාලුවකු සමග සීසෝ පදිමින් සිටියේය. හදිසියේම සීනුව නාද විය. එවෙලෙහිම සීසෝවේ පහල සිටි අනෙක් ලමයා පැන දිව්වේය. මට ද එවේලෙහි කරගතහැකි දෙයක් නොතිබිණි. මාව අඩි දහයකින් පමණ සිට බිමට ඇද වැටුණා මට මතකය. ඉන් පසු කුමක් වූවාදැයි මතක නැත. නමුත් ඒ මොන්ටිසෝරියේ අවසන් දවස විය. යලි මා කවදාවත් පෙර පාසලකට නොගියේය.

Friday, March 16, 2012

සිහින කුමරිය

ඊයේ රෑ මා සිහිනෙන් දුටු ඒ කුමරිය කොහිදෝ ඉන්නේ
මේ ඉර හද යට කොතැනක හිටියද  හමුවන තුරු ඉවසන්නේ
මිහිබට නැති ඒ සුර අගනක්දෝ දෙව් ලොවසිටදෝ එන්නේ
ජීවවමාන ලෙස ඈ හමුවන තුරු සිත මා පෙරුම් පුරන්නේ

කොමඩු දෙපලුවන් දෙතොල් සලා ඈ ගීයක් හිමිහිට මුමුණයි
මේ මිහිපිට ඇති සුමිහිරි වදනක් ඒ ගීයෙන් මට ඇගවෙයි
ආදරයයි ආදරයයි කියමින් දෙසවන් සනහයි
දෙනෙතට මා රසදුනක් මවා වත කමල සලා ඈ රගදෙයි

මා හිස ඈ ලය තුරුලෙ හොවාලා ආදරයෙන් මා නලවයි
හිස අතගා ඈ සිනහ මවාලා දෙකොපුල් සිඹ හද ජල්වයි
නෙත ඇහැරී මා බලනා කල ඈ සයනේ හැරදා  පැනයයි
ඈ මා වෙන්කල නපුරු හිරුට ඒ හදවත මා දොස් පවරයි

Monday, March 12, 2012

දන් දීමයි ! පින් දීමයි !

බොලාට කියන්න මට පරණ හුටපටයක් මතක් වුනා නෙව. ඉතින් ඕං මට හිතුණා බොලාට මෙක කියාපිනාලා යන්න.
 මීට ටික දොහකට කලියෙන් මං කොම්පීටර කලාස් ගියා නෙව. ඉතින් අපේ ගෙදර තියෙනවා ජම්බූ ගහක් ඕං. ඕකේ ජම්බු හැදෙන්න ගියාම ලොරියකට ජම්බු. ඉතින් නිකාං නිරපරාදේ ඉදිලා වැටිලා යනවා. කොරන්ට දෙයක් නැති කමට මාත් ඕං සිලි සිලි මල්ලක් පිරෙන්ටම ඇරන් ගියා කියමුකෝ කලාස් එකට. හප්පේ ඉතින් දන්නැද්ද පෙරෙත හැත්තට අමුර්තය හම්බවුනාහේ ඒව්වා ගිලින ගමන් මට කියාපි බොට වැඩි වැඩියෙන් ජම්බු ලැබෙන්ට ඔනෑ කියාලා. අනේ අම්මාපල්ල මුන්ගේ @#$@#^&* ට මං කියෙව්වා යකුනේ බොලාට බැරිද ඊලග වතාවේ ජම්බු වෙනුවට ඇපල් ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කොරන්න. මං මේ ජම්බු එපා වෙලා කරලන්න දෙයක් නැතිව ඉන්නවා මුන් තව වැඩි වැඩියෙන් ලැබෙන්නලු.
      මං මේ බොලාට කියන්නේ කවුරු නමුත් මොනවා හරි දුන්නාම එව්වාම ලැබෙන්න කියාලා ප්‍රාර්ථනා කොරන්ට යන්න එපා. මොකද සමහරු ඔය පිනට දෙන්නේ කරලන්න දෙයක් නැති නොටනේ. නැත්නං ඕං ඇඹුල් තියල් කොරල හරි තියා ගනී. ඒ හින්දා ඒ මනුස්සයා ප්‍රාර්ථනා කොරන දෙයක් ලැබෙන්නැයි කියාලා ප්‍රාර්ථනා කොරාපිය. 

Saturday, March 10, 2012

6 ලිපිය - මමත්වය හා පව්කම් 2

පව්කම් ගැන තවදුරටත් ටිකක්සොයා බැලීම වටී යැයි මට සිතේ. අපි බුදුදහමට අනුව පස්පව් නමැති පව්කම් 5ක් අහල තියෙනවා. නමුත් පව්කම් සීමාවක් නෑ. ඕනෑම ක්‍රියාවක් පවක් කර ගැනීමේ හැකියාව අපට තිබෙනවා. මන්ද සිහි කිරීමෙන් දුක්වීම පව ලෙස සලකන නිසා යහපත් වූ දෙයක් හෝ යහපත් හෝ අයහපත් හෝ නොවන ක්‍රියාවක් වුවද සිහි කිරීමෙන් දුක්වීම තුලින් එය පාපයක් කර ගැනීමේ හැකියාව තියනවා.
 මං එය අවබෝධ කරගැනීමට එක් උදාහරණයක් දක්වන්නම්. එක් හාමුදුරු නමක් ගසක කොළයක් කඩනවා. නමුත් ගස්වල කොළ නිකන් කඩා දාන්න එපායැයි බුදුන් කියා ඇති බව සිහිවී තමා අතින් ආපත්තියන් (නොකල යුත්තක්) වූවා යැයි ඒ මහණතෙම දුක් වුනා. උන්වහන්සේ මියයන මොහොතේ ද එය සිහි වී මරණින් මතු අපායේ උපත ලැබුවා.
 මෙයින් පැහැදිලි වන්නේ යමෙක් තමා කල යම් කරුණක් ගැන දුක් වෙයිද එය පවක් වන බවයි. ඔබ දන් දුන්නා යැයි සිතන්න. ඔබ පසුව ඒ ගැන දුක් වේ නම් එයද පවක් බවට පත් වෙනවා. එනිසා ඒ පාප කර්මයට ඔබට ප්‍රතිපල ලැබෙනවා. එසේම දන් දීම කුසල කර්මයක් බැවින් එයටද කුසල විපාක ලැබෙනවා. ඒ නිසා අප දැන ගතයුත්තේ යම් ක්‍රියාවක් පවක් වන්නේ එය සිහිකිරිමෙන් තමා දුක් වන්නේ නම් පමණක් බවයි. නමුත් සමහර ක්‍රියා කිරිමෙන් පසු ඒ ගැන දුක් නොවී සිටිය හැකියයි සිතන්න එපා. මන්ද පව්කම් සිහි කිරීමෙන් සතුටු වීම සැමදා කල නොහැක්කකි.
   ඔබට තෙරුවන් සරණයි!

23සතිය

ඔබට යමක් හෝ යමෙක් හමුවූ විට ඒ මොහොතේ සිට එය අහිමි වීමේ හැකියාව පවතී. ඵබැවින් ඕනෑම මොහොතක එය අත්හැරීමට සූදානමින් සිටින්න.

Sunday, February 26, 2012

තවත් එක් දවසක්

මම දක්ෂ කතාකාරයකු නොවේ. නමුත් මං දැන් ඉන්න තැන ගැන මගේ දෙමව්පියෝ කොතරම් සතුටු වෙනවාද? ඒත් මං තවමත් සාමාන්‍ය සරසවි සිසුවෙක් විතරයි.හැම අවුරුද්දෙම 20 000ක් පමණ දෙමව්පියන්ට ඒ සතුට ලැබිය යුතුය. නමුත් වෙන කාටත් වඩා මගේ දෙමව්පියෝ මං ගැන සතුටු වෙන්නේ ඇයි?. මගේ කුඩා කාලයට මං ආසයි. එත් අම්මයි තාත්තයි ඒ කාලෙට පොඩ්ඩක්වත් කැමති නැතිලු. ඒ තරම් ඔවුන් මා වෙනුවෙන් කැපකිරීම් කර ඇත. මගේ කුඩා කාලය සුන්දර කරන්න කොච්චර මහන්සි වී ඇද්ද?. ඉතින් මම දක්ෂ කතාකාරයකුනොවුනත් ඒ අත්දැකිම් නොලියා ඉන්නේ කෙසේද.

මට මතකයි මට අවුරුදු හතරක් පමණ වන විට අපේ තාත්තා වැඩ කලේ බෙන්තර සමූපාකාර සමිතියේය. අම්මා කළුතර ජලසම්පාදන මණ්ඩලයේය. අයියා පාසලේ පළමු වසරේය. නංගීනම් තවමත් අවුරුදු 11/2ක කෙලි පැටික්කියෙකි.
       එදා උදේ 3.30ට පමණ මාව අම්මා අවදීකර කිරිබෝතලයක් දුන්නාය. මම ඇදේ නිදාගෙනම කිරි බිබි උන්නෙමි. අම්මා නැවත පැමින මටත් අයියටත් හිසට ස්කාෆ් දෙකක් දමා 4.00 වන විට මෝටර් සයිකලෙන් ගෙදරම්මාලයි ගෙදර බලා පිටත් උනි. මමත් අයියාත් ටැංකිය උඩ යන අතර අම්මා නංගීව තුරුළු කරගෙන පසුපස අසුනේ ගමන් කරයි. අපි තිදෙනා ගෙදරම්මලහට ගොස් නැවත නිදා ගනිමු. මවත් පියත් අම්මලන්ගොඩට ගොස් රුහුණු කුමාරියේ නැගී රැකියාවට යයි.
 අයියානම් පාසැල් යාමට 7.00 නැවත අවදි කරයි. මමත් නංගීත් 9.00 පමණ වනතෙක් නිදයි. දෙමව්පියන් නැවත එන තෙක් අපව බලා ගන්නේ ගෙදරඅම්මාත් චූටිමම්මාත්ය(පුංචී). ඔවුන් දෙදෙනා නැගිට්ට මොහොතේ සිට කරනුයේ උයන එකය. උදේ ආහාරය ගත් වහාම භාජන සොදා දිවා ආහාරය පිසීමට පටන් ගනී. දිවා ආහාරය සදහා ගෙදරතාත්තා පැමිණෙන විට මුද්දරස්පලන්( වියලි මිදි) හෝ සූකිරි රැගෙන එන්නේය.
 තුන් වෙලටම ආහාර කවන්නේ ගෙදරම්මාත් චූටිමම්මාත්ය. ඔවුන් කවන තරමක් මා කන නමුත් සමහර විට එක් බත් කටක් කෑමට විනාඩි දහයක්වත් යන බැවින් කවන කවන බත්පිඩුවලින් කටපිරීයයි. එවිට ඔක්කාරයට පැමිණ කෑ සියල්ල සමග වමනය කිරීම මාගේ සිරිතය.
 දිවා ආහාරයෙන්පසු නැවත 1.00 සිට 4.00 පමණවනතෙක්  නැවත නිදන වේලාවය. සියලු දෙනාම ඒ වෙලාවට නිදන අතර 4.00 සිට නැවත රාත්‍රී ආහාරය සූදානම් කිරීම අරඹයි. හවස 6.00 පමණ වන විට ගෙදරම්මා අපේ ඇග සෝදවයි. එවිට ගෙදරම්මා සබන්ගානවිට මට දැනෙන්නේ අතපය ගැලවීමට ගන්නා උත්සහයක් ලෙසයි.
 කෙසේ හෝ රාත්‍රී 8.00 පමණ වන විට අප බලා සිටින්නේ දෙමව්පින් නැවත එනතුරුය. නංගීනම් ඒ වෙලාවට නිදිය. අම්මා අපිව ඈ එන බස්රියට ගෙනයයි. එතෙක් බස් රථයද නවතා සිටින්නේ බස් රියදුරන් අම්මාව අදුරන නිසාය. නමුත් එදින සුපුරුදු පරිදි මව්පියන් නොපැමිණියේය. අප ද රාත්‍රී 9.00 වන තෙක් බලාසිට පුටු උඩම නිදන්නට විය.
 පසු දින දැනගතහැකි වූයේ දුම්රිය පීලී පැනීම නිසා අපව රුගෙන යාමට නොපැමිණි බවත් සහ ගෙදර එන විට රැ 11.00 පමණ වූ බවත්ය.
 මෙසේ තවත් දවසක් ගතවිය. 

Saturday, February 25, 2012

6 ලිපිය - මමත්වය හා පව්කම්

මා සිතා සිටියේ යලිත් මෙහි නොලියන්නටය. නමුත් මා වෙත ඉදිරිපත් වූ ගැටළු කීපයක් නැවත ලිපියක් පල කරන්නට බල කර සිටී බැවින් මේ ලිපිය ලියමි.
  අපි .අසා තිබෙනවා යම් පවක් කලවිට එය පඩිසන් දෙන බව. නමුත් මං ඉහත ලිපිවල පැහැදිලි කලා මෙ ලොකේ කිසිම දෙයක් නොපවතින බව. ඒ අනුව පුද්ගලයන් නැතිනම් සත්වයන් කියා පෙන්වියහැකි ස්ථිර වූ දෙයක් නොමැති බව. එසේනම් මේ පව්කම් මොනවද? ඒවා කරන්නේ කවුද? ඒවා පඩිසන් දෙන්නේ කාටද? යනාදී ගැටළු රාශියක් මතු වෙනවා.
 අපි පලමු සිල් පදය ගෙන මෙය පැහැදිලි කර ගන්න උත්සහ කරමු. ප්‍රාණය නිරුද්ද කිරීමේ පව තමයි පලමු පව ලෙස සදහන් වෙන්නේ. අපි දන්නවා පව යනු සතුට නැති කරන ක්‍රියාවන් බව. මේ ලෝකයේ සත්වයෙක් නැතිනම් කෙලෙසද ප්‍රාණඝාතය කරන්නේ? මෙතැනදී අප වටහා ගත යුත්තේ සත්වයකු නැතත් සත්වයකු සිටීයැයි අප සිතන නිසා තමයි එය පවක් වන්නේ. ඒ නිසා තමයි අනේ මං  ප්‍රාණඝාතය කලා යැයි දුක් වන්නේ. එනම් මමත්වය නිසා තමයි පව් පල දෙන්නේ.
             අපි ටිකක් ගැඹුරින් මේ ගැන සොයා බලමු. ප්‍රාණඝාත අකුසලය සිදු වීමට කාරණා 5ක් සම්පූර්ණ විය යුතු බව අප දන්නවා.
1. පණ ඇති බව දැනීම.
2. මැරීමට සිතක් පහල වීම.
3. මැරීමට උපක්‍රමයක් සිතීම
4.මැරීම.
5.මළ බව දැනීම.
           මෙහිදී මෙම කාරණා පහම සිතුවිලි නැතිනම් චේතනා පහක් වෙයි. මෙම චේතනා පහ පහල වී එය තහවරු වී ඇති තෙක් ප්‍රාණඝාතය අකුසල ශක්තිය පවති. එම ශක්තිය ක්‍රියාත්මක වීම පඩිසන් දීම වෙයි. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හේතු ඵල දහම මත පදනම් වූ ශක්තීන්ගේ අන්තර් ක්‍රියාවලියක් මිස කිසිම සත්වයකුගේ සම්බන්ධයක් නොමැත.
      මේ අනුව පෙනීයන කරුණක් වන්නේ ඇත්තටම සත්වයකු නොමැරුවත් ප්‍රාණඝාතය විය හැකි බවයි. උදාහරණයක් ලෙස අප සතකු මරණවායැයි සිතන්න. ඌ මැරුණා සේ සිට අප ගිය පසු නැවත පැන ගියා යැයි සිතමු. නමුත් ඉහත කාරණා පහම ඉටු වී ඇති බැවින් අපට ප්‍රාණඝාත අකුසලය සිදුවී ඇත. ඌ නොමැරුණ බව දැන ගන්නා තෙක් ඒ ශක්තිය අපතුල ඇත. ඒ නිසා තමයි අප නොදැනුවත්ව යම් ප්‍රාණඝාතයක් සිදු වූවත් එය පඩිසන් නොදෙන්නේ.

සංවාදයට විවෘතයි.

Friday, February 24, 2012

ආදරය තහනම් කල හැකිද?

නුබයි මහීයි කිසිදා එක් නොවනු ඇත
එනමුත් ආදරෙන් සැමදා වෙලෙනු ඇත

හෙලනා විටදි නුබ යුවතිය කදුලු කැට
මහී කුමරු සැනහෙයි ඒ තුරුලු කොට

ඒ සිසිලෙන් සැනහෙන මිහි මඩල දෙස
බලා යලිත් උණුසුම් වෙයි අහස් කුස

උණුසුම දැනී නුබ යුවතියහෙලන ලද
දලු ලා නොයෙක් ගහකොල මල් වැඩෙන ලෙද

එනමුදු දෙදෙන කිසිදා එක් නොවනු දැක
කිසිවෙක් ඇද්ද ආදරෙ අව කරනු හැක

22සතිය

යමක් හෝ කෙනෙක් නොවෙනස්ව පවතී යයි පෙනෙන්නේ ඵය සම්මුතියක් බැවිණි. පරමාර්ථ වශයෙන් බැලූ කල කිසිවක් නොපවතී.

Saturday, January 21, 2012

කාටත් එක වගෙයි.

සියොතුනේ එන්න - සිව් දිගින් එන්න
හදෙහි දොර අගුළු හැරී ඇත
හද ලැගුම් ගන්න 

රණ හසුනි මෙහි එන්න - රණ මයුර පැමිණෙන්න
රණ ගිරවියන් රෑන් රෑන්
ඇවිද රග දෙන්න

කවුඩනී එන්න - කෑරලුන් එන්න
ඇවිත් උලමාවියන්
රැයම මොරදෙන්න

ඇවිත් රග දෙන්න - එහිම පහරන්න
මගේ හද අගුළු ඇරී ඇත
සියොතුනේ එන්න

සැවුල නුඹ පැහැය - නොවෙයි මට අගය
කාලවන් කැවිඩියන්
සැවොම එක සමය

රණ මයුර රග දෙන්න - උලම මොර දෙන්න
මෙමට ඉන් පලක් නැත
සැමට එක සිතය.

21සතිය

යමෙකුගේ මරණය ගැන දුක් වන්නා මෝඩයෙකි. නැතිනම් ආත්මාර්ථ කාමියෙකි.

Tuesday, January 17, 2012

කතුවරයාට සමු දුනිමි

ඉතින් යාලුවනේ ලියන්න කියලා පටන්ගත්තට මොකද ලියන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි. දැන් මගේ කතාවේ මට අවුරුදු හතරක් වෙනකං වෙච්චිදේවල් කෙටියෙන් නමුත් ඔයගොල්ලෝ දන්නවනේ. ඒ දක්වා සිදුවුන කිසිම දෙයක් මගේ මතකේ නම් නෑ. ඒ නිසා තමයි ජොරා විසින් ඒ දෙවල් ඔයාලට ඉදිරිපත් කලේ.
 ඉතින් මට හිතුනා මෙකනින් පස්සේ මගේ කතාව මන්ම කියන එක හොදා කියලා. මං මට මතක හැටියට මගේ කතාව කියන්නම්. මං හිතනවා ඔයාලා ඒකට කැමති වෙයි කියලා. මගේ මතකේ එතරම් නැති උනත් පොඩි සිද්ධීන් දෙකක් කියලම කතාව පටන් ගන්නම්කෝ.
 ඉතින් ඒ වෙනකොට මට අවුරුදු 3 2\1 ක් විතර ඇති. මං අපේ අර අලුත් ගෙදර, ඇයි අනේ අපේ නංගි ඉපදෙන්න ඔන්න මෙන්න තියලා හදලා ඉවර කරපු ගේ. ඉතින් මං මිදුලේ ඇවිදිනකොට මට මාර මහන්සියක් ආවා. ඉතින් ඉදගත්තා මිදුලෙන්. එන්න පටන් ගත්තා පරික්ෂණ කරන්න. මුලින්ම දැක්කා දිලිසෙන ගල් කැටයක්. හ්ම්ම්... මැණිකක් ! මට මතක් උනා තාත්තා කියපු කතාවක්. " ඔය මැණික් ගරන අය මැණිකක් දැක්ක ගමන් ගිලිනවා පස්සේ කැලේට ගිහින් කක්ක කරලා ඒක ගන්නවා". ඉතින් මටත් මැණිකක් හම්බ උනානේ. හේහේ නෑ නෑ ප්‍රෂශ්නයක් උනේ නෑ. ඒකට මක් උනාද කියන්න මන් දන්නෙ නෑ. හැබැයි පස්සෙ කාලෙත් මං අයියලත් එක්ක ඔට්ටු අල්ලලා දිලිසෙන තිරුවානා ගල් ගිලලා තියෙනවා. ඒකනේ තාමත් ගල් ගිල්ල වගේ ඉන්නේ.
 ඉතින් ඊට පස්සේ හම්බඋනේ මොකක් ද දන්නවද? අපේ අම්මා මට බත් කවද්දි පෙන්නන රතු පාට ටිකක් දිග සතෙක්. ඔන්න ඉතින් අල්ලා ගත්තා පරික්ෂණයට දන්නවනේ ඉතින් ඔය වයසෙදි කොහොමද පරික්ෂණ කරන්නේ කියලා. කෙලින්ම කටට. හප්පේ මේ මොකක්ද මං කරගත්තේ මහා කටුක ගදක් එක්ක දිව ඇඹරිලා යන රසක්. දැන් ඉතින් මක් කරන්නද හූ තියලා අඩනවා මිසක්. ඔන්න ඒ පාර සද්දෙට අම්මා දුවන් ආපි. මාර කේස් එක මගේ කටින් ලේ එනවා. අම්මා බයවෙලා මාව වඩාගෙන කට තුවාලවෙලාද කියලා බලනවා. මොන තුවාලද පන පිටින්ම හැකරැල්ලෙක්ව කාල නේද මේකා. "අයියෝ මක් කරගත්තද පුතේ" කියපු අම්මා කටට අත දාලා ගත්තා හැකරැල්ලව එලියට අරගෙන කටත් හේදෙව්වා. කොහොමත් ටික දවසක් යනකන් තොල් ඉදිමිලාත් තිබුණා.

ඒ කතාව ඉවරයිග. එන්න ඉතින් තව දවසක් ඔය වගේම පරික්ෂණ කරන වෙලාවක මට හම්බුනා වී ඇටයක්. ඒකේ හැඩේ හැටියටනම් කරන්න ඕන මුඛ පරික්ෂාව නෙමේ කන් පරික්ෂාව, බලන්න ඕන මේක කනේ ගහලා මේ මොකක්ද කියලා. මදෑ කොලා! කනට දානකොටම ඒක අත ඇරිලා ගියා නෙව කන ඇතුලටම. ආයෙත් පුරුදු නිගමනයමයි. හූ තියා ඇඩීම. මේ පාර දුවන් ආවේ තාත්තා. බැලුවා මක්කවෙලාද කියලා. මමත් කන කන  කියලා අඩපු නිසා තාත්තා දැන ගත්තා කනේ මොකක් හරි දාගෙන කියලා. ඒ පාර මාව අරන් ගියාඉස්පිරිතාලෙට. වෛද්‍යවරයා පරීක්ෂණ කරලා තීරණය කරා කණ ඔපරේෂන් කරන්න මහ ඉස්පිරිතාලෙට ගෙනියන්න. ඔන්න ඉතින් අරන් ගියා කරාපිටියට. ඒකෙ දි දොස්තර ඉන්න කාමරේ දොරගාවදි සුපිරියෙන්ටන් අංකල් කෙනෙක් දැකලා ඇහැව්වා ළමයාට මොකද කියලා. ඉතින් තාත්තා විස්තරේ කිව්වම ඒ අංකල් හිනා වෙලා තාත්තට කිව්වා අයියෝ මහත්තයා ඔකට ඔපරේෂන් කරන්න ඕනේ නෑ එන්න මාත් එක්ක කියලා. පස්සේ එයා තව පොඩි දොස්තර කෙනෙක්ට කියලා වී ඇටය එලියට ගැනීමේ මෙහෙයුම පටන් ගත්තා. මුලින්ම ගත්තා වතුර පිරවූ සින්ජරයක්. විද්දා කනට ඇද්දා ආපසු. වී ඇටේ සින්ජරය ඇතුලේ. මෙහෙයුම සාර්ථකයි.
 ඉතින් ඔන්න ඔහොමයි උනේ.

Friday, January 6, 2012

අළුත් ඇරඹුමක්

ඉතින් යාලුවනේ දැන් 2012 වසර ආරම්භයත් සමග නැවතත් ලියන්නට සිතුවේ මගේ ලගම මිතුරන් කීප දෙනෙක්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල නොහැකි නිසාය. මීට   මාස දෙකක් පමණ කාලයකට පෙර මෙම බ්ලොගිය ලිවීම නතර වූයේ සරසවියේ වැඩ අධික වූ නිසාත් මෙහි වටිනාකම මිනුම් කල නොහැකි වූ නිසාත්ය. නමුත් පසුගිය කාලය තුල මට නොයෙක් විදියේ ඇරයුම් ලැබුණා නැවතත් ලියන මෙන්. ඉන් මෙහි යම් වටිනාකමක් ඇති බව මට වැටහුනා. ලියන්නට නොහැකි වීම ගැන මම ඔවුන්ගෙන් සමාව ඉල්ලන අතර මාව දිරිමත් කිරීම වෙනුවෙනුත් අඩුපාඩු පෙන්වා දීම වෙනුවෙනුත් ඔවුන්ට කෘතඥ වෙමි. වැඩ රාජකාරි බහුල වුවත් ඔවුන් වෙනුවෙන් ඉඩ ලැබෙන හැටියට ලියන්නට මා සිතමි. සෑම විටම සතුටින් සිටින සමාජයක් බිහි කිරීම මෙහිලා මාගේ අරමුණ කොට ගනිමි. මෙවර මට කොතක් දුරට ගමන් කල හැකිදැයි යන්න ඔබේ ප්‍රතිචාර මත තීරණය වේවි. මින් ඉදිරියටත් ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙමින් නැවතත් ඔබට ආයුබෝවන් කියමි.