Sunday, December 16, 2012

10 ලිපිය - ගැටළු වලට පිළිතුරු2

අනිත්‍ය යන්නෙහි අදහස වඩා පැහැදිලි වන්නට ඇතැයි මම සිතමි. අද අපි දෙවන ගැටළුව ගැන සාකච්ඡා කරමු. අකාලික යනු කුමක්ද? සදාකාලික යන්නද? නැතිනම් කාලයෙන් තොර යන්නද?

හොදයි, මං කියවා ඇති ආකාරයට අකාලික යනු සදාකාලික ධර්මයක් යන්න නොව ඒ මොහොතෙම (කාලයක් ගත නොවීම ) ප්‍රතිඵලය ඇති බවයි. වෙනත් ආකාරයකින් කිවහොත් යම් මොහොතක හේතූන් ඇත්ද එවෙලෙහිම ප්‍රතිඵලයද ඇත. යම් මොහොතක හේතූන් නැති වේද එවෙලෙහිම ප්‍රතිඵලයද නැති වන්නේය යන්නය. එනම් හේතූන් සමගම ඇතිවී හේතුන් සමගම නිරුද්ධ වේ යන්නයි.

අපි මෙය උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. ගසක ගෙඩියක් තිබෙනවා. එය බිම නොවැටෙන්නේ ඇයි? නැට්ට ගසට සම්බන්ධ නිසා. එසේනම් නැට්ට යම් මොහොතක ගස සමග සම්බන්ධය නැතිවේද එවෙලෙහිම ගෙඩිය බිමට වැටීමට පටන් ගනී. නැට්ට ගැලවීමත් ගෙඩිය වැටීම ඇරඹිමත් එක විටම සිදු වේ. මෙලෙස සෑම සිදුවීමකම හේතුව ඒ සිදුවීම සමගම ඇතිවේ. විද්‍යාවට අනුව ද බලය ඇතිතෙක් වස්තුව ත්වරණය වේ. බලය යම් ක්ෂණයක නැතිද එකෙනෙහිම ත්වරණය ද නැති වේ.

අපි වෙනත් ආකාරයක උදාහරණයක් ගනිමු. මෙහිදි හුගක් අයට ඇතිවන ගැටළුවක් තමයි. කර්මය පඩිසන් දීම. ඒක මේ කාරයට පටහැනිද? අපි දන්නවා සමහර කර්ම පඩිසන් දෙන්නේ ඊලග ආත්මයේ (භවයේ). එහෙනම් ඒක අකාලික නෑනේ. ඇත්තටම එය සිදුවන ආකාරය මා කර්මය යටතේ සදහන් කලා. මා එය නැවත සදහන් කරන්නම්. යම් කර්මයක් කල පසු කිරි මිදෙන්නා සේ එය පඩිසන් දෙනතුරු මෝරයි කියා බුදුරජාණන් වහන්සේ දෙසා ඇතැයි මා අසා ඇත. ඇත්තටම කිරි මිදීම සෑම මොහොතකම සිදුවෙමින් පවතී. එය යම් කාලයක් තිබී එකවර මිදීමක් නැත. හැම මොහොතකම හේතුව ඵලය ලෙස සිදුවන ක්‍රියාවලියක යම් අවස්ථාවක් අප මිදුනු කිරි ලෙස දක්වමු. කර්මයද එසේම එක දිගට සිදුවුන ක්‍රියාවලියක අපට දෘශ්‍යමාන වන එක් අවස්ථාවක් දක්වා එය ඉහත සිදුකල ක්‍රියාවක ප්‍රතිඵලය ලෙස දක්වමු. එතැනින් පඩිසන් දීම අවසානයි දැන් ඉතින් ඒ කරුමෙත් ඉවරයි කියා සමහරු කියයි. ඇත්තම කතාවනම් එයත් සිදුවීම් මාලාවක එක් අවස්ථාවක් පමණයි.

අපි ගසකින් ගෙඩියක් කන ගමන් මේ මං ඇටේ පැල කල එකේ ප්‍රතිඵලය තමා යැයි කීම වැරදි නැත. නමුත් ඇත්තටම ඇටේ පැල කල එකේ ප්‍රතිඵලය ඇටේ පැල වීමයි. එනම් අකාලික ධර්මතාවයයි. ගෙඩිය රස දැනීමට හේතුව රසය දිවේ ස්පර්ශ වීමයි. ඇටේ පැල කිරීම නොවේ.

මං හිතනවා අකාලික යන්න ඔබට පැහැදිලි ඇති කියා. යම් ගැටළුවක් ඇත්නම් විමසන්න. අදහසක් ඇත්නම් දක්වන මෙන්ද ඉල්ලා සිටිමි.

if you have any question or comment put here in English. No matter. Thank you.

No comments:

Post a Comment