Saturday, December 24, 2016

ඔබට කලින් ඈ පෙම් කෙරුවේ

කෙලෙසක කීවද ඔබටම පමණක් ආදරේ කරනු කියා
ඔබට කලින් මට ඈ පෙම් කෙරුවේ මා ඇගෙ පණය කියා

ඈ හින්දයි මා ඔබහට ලැබුනේ ඇයි එය නොතකන්නේ
ඈ මා අතගෙන ඇවිද ගිය නිසයි ඔබ හා ඇවිදින්නෙ

මා ඉපදුනු දා සිට ලඟ සිටියා මගෙ සෙවනැල්ලක් සේ
ඔබ හැර ගියමුත් ඇය මගෙ අම්මා අමතක කරනු කෙසේ

Saturday, December 17, 2016

177 සතිය

සැනසීම ඇත්තේ පංච කාම වස්තූන්ගේ නොව සිතේ නිදහස්බව තුලය. කාම වස්තූන්ට ආශාව වැඩිවන විට එම නිදහස නැතිවන බැවින් ධනය බලය උපයන අයට අනුකම්පා කල යුතුය. ඊර්ෂ්‍යයා නොකල යුතුය.

Friday, December 2, 2016

176 සතිය

මේ ලොකේ ප්‍රශ්න කවදාවත් විසදලා ඉවර කරන්න බෑ. ඒත් ප්‍රශ්න ප්‍රශ්නයක් නොකර ගන්නේ නම් කිසි ප්‍රශ්නයක් නෑ.

Saturday, November 26, 2016

Wallpaper එක

අම්මාගේ රුව විය
අැයගේ රුව වීය
දුවගේ රුව වීය
අනේ නැවතත්
මවම එහි විය

175 සතිය

සමානාත්මතාව යනු සැමට එක ලෙස සැලකීම නොව සැමදෙනාම එකම තත්වයකට ගෙන ඒමයි.

Friday, November 11, 2016

ඊනියා දියුණුව

අප දැන් සිටින්නේ 21 වන ශත වර්ශයේය. එනම් ඉතා දියුණු ලෝකයකයි. ඒ බව වඩාත් ප්‍රත්‍යක්ෂ වන්නේ අතීතය හා සසඳා බැලීමෙනි.
දැන් වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණුද යත් මිනිසුන්ගේ පරමායුෂ දිනෙන් දිනම වැඩිවෙමින් පවතින අතර අනාගතයේ දී නොමැරෙන මිනිසුන් බිහිවීමට ඉඩ ඇත. ඉස්සරනම් සිටියේ සීයලාය. දැන් දස දහස්ලා ද දක්නට පුලුවන. ඉස්සර තිබුනු ලෙඩ වල හැටියට දැන් ලෙඩුන් බෙහෙතකටවත් සොය ගැනීම අපහසු වනු ඇත. එතරම්ම දැන් වෛද්‍ය විද්‍යාව දියුණුය.
තාක්ෂණයද විශාල වශයෙන් දියුණු වී ඇත. ණවීන උපකරණ නිසා මිනිසුන්ට කටයුතු ඉතා පහසුවෙන්ද ඉක්මනින්ද කරගත හැකි වීම නිසා මිනිසුන්ගේ විවේකය එන්න එන්නම වැඩි වී මිනිසුන් විනෝදයෙන්ම කල් ගතකරන තත්වයක් දක්නට ඇත. ආතතිය ඔවුන් හදුනන්නේම නැති තරම් ය. අතීතයේ මිනිසුන්ට මේ තරම් විවේකයක් නොතිබුණි. මේවා නවීණ විද්‍යාවෙන් අප ලද දායදයන්ය.
අධ්‍යාපනය අතින්ද අද ලෝකය ඉතා දියුණු අඩියකට පැමිණ ඇත. ඒ අධ්‍යාපනය ලබන අප ඉතා ගුණ යහපත් මිනිසුන් බවට පත් වී ඇත.බුද්ධිමත් මෙන්ම ප්‍රඥාව අතින්ද ඉතා දියුණු තත්වයක සිටින ඔවුන් අතින් අපචාර දූෂණ වන්චා සිදුවීම ඉතා අවම වී ඇත්තෙ ඒ අධ්‍යාපනයේ දියුණුව නිසාම ය.
අතීතයේ සිටි බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ ට වඩා මයිකල්ලාට බොබ්මාලිලාට දේවත්වයෙන් සලකන්නේ ඔවුන් මැත යුගයේ පහල වූ අරිටත් වඩා දාර්ශනික අයවූ බැවිනි.
මෙසේ සෑම අතින්ම අද ලෝකය දියුණු වී ඇත. මේ අනුව බලන කල මෙවැනි දියුණු ලෝකෙක ඉපදීමට තරම් අප භාග්‍යවන්ත වී ඇත.

Sunday, October 30, 2016

174 සතිය

තමන් කන දේ තමන්ට ද අනුන් කන දේ අනුන්ට ද දිරවා ගැනීමට සිදුවන බැවින් අනුන් කන දේට ඉරිසියා නොකර තමන් කන දේ දිරවාගතහැකි දැයි සිතා බැලිය යුතුය.

Thursday, October 27, 2016

කෙලෙසද මා සිතන්නේ ඔබ කෙරේ එලෙසින්

පෙම්වතකු තම පෙම්වතිය දෙස
නෙත් යොමන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
ඔබ කියන විලසින්

හැඳින ගත්තේ අප ඔවුන්
මිතුරුදම් නාමෙන්
හමුවුනා සරසවි බිමේ
සහෝදර හැඟුමින්
ඉතින් කෙලෙසද මා සිතන්නේ
ඔබ කෙරේ එලෙසින්

මුල් දිනේ ඔබ දුටුගමන්
මට හැඟුනේ මෙලෙසින්
මගේ නැගනිය වගේමයි
ඔබ පෙනේ එලෙසින්
ඉතින් කෙලෙසද මා සිතන්නේ
ඔබ කෙරේ එලෙසින්


Tuesday, October 18, 2016

173 සතිය

යමෙක් සර්වබලධාරීනම් හේ කරුණාවන්ත විය නොහැක.යමෙක් කරුණාවන්තනම් හේ සර්වබලධාරී විය නොහැක.

Sunday, September 25, 2016

කාලය නැවතී ගිහින්

රාත්‍රිය ගෙවී ගිහින් ඇයිද හිරු නොඑන්නේ
දිවා කල ගෙවී ගිහින් ඇයිද සඳු නොඑන්නේ

ඇය රට ගියදා පටන් කාලය නැවතී ගිහින්
අඩ පැයක් ගෙවී ගියත් කල්පයක් ගියා වගේ

රෑ තුන් යමදී වුනත් මා හදවත අවදියෙන්
ඇය ගැනම කතා කියයි නින්දටත් නොදී ඉඩක්

172 සතිය

අපට ජීවත් වන්න පමණක් ඇතිනම්, ඔවුන් මේ ලෝකෙම සල්ලිවලට හෝ බලයෙන් හෝ ලබා ගත්තාවේ. ඔවුන් යන දවසට ඒවා අරගෙන යනවනම් ඔවුන්ට විරුද්ධව නැගී සිටිමු. පෙළ ගැසෙමු.

Saturday, August 27, 2016

දුරු රට යන ඇය

සිතට එරෙහිව මං - කියමි
යන්න සතුටින් කියා
සිතට එකගව නම් - නොයනු
ඉන්න මා හා ඔයා

හමු වූවත් සැමදා හැර යාම වේ
එක් වූවත් කවදා වෙන් වීම වේ
සිත කීවත් හැරදා යා යතුම වේ
නෙත නොහඩත් සැමදා සිත දුකින් තැවේ

හමු නොවුනත් කිසිදා යලි දෙනෙත් අපේ
ඇත කොහොමත් සැමදා මේ මතක අපේ
මව් දෙරණත් හැරදා ගිය නමුත් අපේ
සිත තවමත් නොම දා ගිය මිතුරි අපේ

Monday, August 15, 2016

171 සතිය

මතකය නමැති හුය අපට ජීවිතයක් ලබා දී ඇත්තේ ය. ඒ හුයෙන් ගැටගසා නොතිබුනි නම් ඇත්තේ මොහොතක් පමනි ජීවිතයට.

Wednesday, August 3, 2016

170 සතිය

ක්ෂණික නොවන තීරණයක් ගැනීමේ දී සෑම දෘශ්ඨියකින්ම සිතා බැලිය යුතුය.

Monday, July 25, 2016

දෙවෙන්දොරා සං

දෙවෙන්දොරා සං
ව්‍යාජ කලාකරුවා
ලෝ දමින් කම්පා නොවන බව
මවාපාමින් ලෝකයට
ජිවිතාවබෝධය ලද්දකු සේ

සිටියත් පවසමින්
අතිර බව ලෝකයේ
රහසින් පලාගොස් ජීවිතයෙන්
අනාගතයට බියෙන්
සැගවුනා බියසුලෙකු සේ
 
එහෙත්, නොරිකා සං
මෝඩ ජපන් ගෑනි
අනාගතය ගැන පොරොත්තුවෙන්
මවමින් අහස් මාලිගා
පෘත:ඡන ස්ත්‍රියක සේ
 
සිටියා නුඹ වෙනුවෙන්
හැර ගිය සෑම විටම
උසුලා සියළු දුක් වේදනාවන්
අත් නොහැර කිසිදා
පැලඳ කටු කිරුළ හිසේ
 
උඹ පරාදයි ඉතින්
ඈ නොමැත ඇඩුවේ
නොයිදියි තවත් නුඹ වෙනුවෙන්
ජීවිතයේ අනියත බව
පසක් කර ගත්තියක සේ

Saturday, July 16, 2016

දෙවන සැත්කම

1999 පෙබරවාරී 26 වෙනිදා මා ඇහැරුවේ මට එන්නත් කිරීමක් සඳහා හෙදියක පැමිණ සිටී බැවිනි. හෙදිය පැමින මට මුනින් අතට සිටින සේ පවසා මාගේ තට්ටමට එන්නතක් විද්දාය. මට ඕනෑ තරම් එන්නත් කර ඇතත් එම එන්නත් කිරීමට දවල් තරු පෙනිණි. අදටත් එය සිහි වන විට ඇගේ මවිල් කෙලින් වේ. ඉන් පසු උදේ 10 වනවිට සැත්කමට සූදානම් වන ලෙස පවසා ඈ යන්නට ගියාය. වේදනාව සමනය වනතුරු මා ඇඳේ සිටින අතරතුර අම්මා පොතක් ගෙන මට පවන් සලමින් සිට වේදනාව අඩු වූ පසු මගේ මුහුණ කට සේදුවාය. පෙරදා රාත්‍රී 10 ට පසු ආහාර නොගන්න යැයි උපදෙස් දී තිබු බැවින් උදේ ආහරයට මට ලැබුනු පාන් භාගය අම්මා කැවාය.
උදේ 9.00 පමණ වන විට තාත්තා ද වාට්ටුවට පැමිණියේය. තාත්තා මට සුදු සරමක් ගෙනැවිත් තුබූ අතර අම්මා මට එය ඇන්දවිය. ඉන්පසු අපි තිදෙනා රෝහල් භුමියේ කෙලවරට වන්නට තිබූ බුදු කුටියට ගොස් 10.00 පමණ වනවිට නැවත වාට්ටුවට ආවෙමු. 10.15 විතර වන විට මා රැගෙන යාමට ට්‍රොලියක් ආවේය. මට පයින් යන්න හොඳටම පුළුවන් උනත් ට්‍රොලිය ගෙනා පුද්ගලයා මට ලෝගුවක් වැනි ලා කොල පාට කබායක් දී එය ඇඳගෙන ට්‍රොලියට නගින්නට උපදෙස් දුන් බැවින් මා ද එය හැදගෙන ට්‍රොලියට නැග වාඩි විය. ඔහු මා දමාගෙන සැත්කම් කාමරය වෙත තල්ලුකරගෙන රැගෙන ගියේය. අම්මාත් තාත්තාත් ඒ පසුපස ආවත් සැත්කම් කාමරයට පැමිණිමට ඔවුන්ට අවසර නොලැබිණි. මට යම් බියක් එවේලේ හිතට ඇතුළු විය. එය මහ ගුප්ත කලුවර කාමරයකි. කාමරයේ තවත් ට්‍රොලි තිබුන ද ඒවායේ රෝගින් සිටියාදැයි මට මතක නැත. මම වටපිට බැලීමට බිය විමි. ඒ නිසා හාන්සි වීගෙනම සිටියෙමි. මොහොතකින් කෙනෙක් කාමරයට ඇතුලු වී අතට බෙහෙතක් එන්නත් කලේය. ටික වේලාවකින් මට නින්ද ගියායැයි සිතමි. නැවත මට කල්පනාවට ආවේ දෙදෙනකු විසින් මා අල්ලා වෙනත් ඇඳකට ඔසවා තබන විටය. එය සීතල කාමරයක් බව දැනිණි. ඒ ඇඳට ඉහලින් විශාල බල්බ කීපයක් සහිත විදුලි පන්දමක් විය. මා වටා දෙතුන් දෙනකුවත් සිටින බව දැනිණි. ඉන් කෙනෙක් “බබා ඔයාට දැන් බෙහෙතක් විඳිනවා “ කියා අතේ මැණික්කටුව අසලට එන්නත් කලේ ය. මා විදුලි පන්දම දිහා බලා ගෙන සිටියෙමි.

කෙමෙන් කෙමෙන් මට නින්ද යන්නාක් මෙන් හැඟින. ටික වෙලාවකින් මා පාවෙනවා මෙන් සැහැල්ලුවක් දැනිණි. මා ටික ටික ඉහලට ගොස් විදුලි පන්දමට ආසන්න විය. පහල බැලූ මට දැක ගතහැකි වූයේ කොළ පාට කබා ඇඳගත් පිරිසක් මගේ ශරිරය වටා හිටගෙන මොනවාදෝ කරමින් සිටින බවයි. එත් මගේ ශරිරය දැක ගැනීමට නොහැකි වුයේ ඔවුන් මගේ ශරිරය දෙසට නැමී සිටි බැවිනි. එක වරම මා කොහෙදෝ ඇඳී ගියේ ය. එවිට මා සිටියේ උස තාප්පයක් උඩයි. එය රාත්‍රියක් වූ බැවින් වටපිටාව හොඳින් දැකගත නොහැකි විය. මා සිටි තාප්පය අසලම විශාල ගසක් වූ අතර එය බෝ ගහක් යැයි මට සිතිනි. ඊට මඳක් එහාට වන්නට විශාල චෛත්‍යයක් වූ අතර එහි චූඩා මාණික්කය පමණක් දිලිසෙමින් තිබිණ. ඉන් පසු කිසිවක් මට මතකයේ නැත. නැවත අම්මා “පුතේ, සුදු පුතේ..... පැටියෝ........ “ කියමින් කතාකරන හඩ ඇසී මට ඇහැරෙන තුරු කිසිවක් නොදැනිණි. අම්මා මගේ ඔලුව අත ගාමින් සිටියාය. මට ශරීරයක් ඇති බව කෙමෙන් කෙමෙන් දැනෙන්නට විය. ඒත් මට කිසිම චලනයක් කරගත නොහැකි විය. වේදනාවන් දැනුනත් ඒ මගේ වේදනාවන් නොවීය. ඒ නිසා මට ඒ වේදනාවන් නැති කර ගන්න උවමනාවක් ද නොවීය.

ටික වේලාවකින් තරුණ හෙදියක් පැමිණ මගේ තොල්පෙති තෙමුවා ය තෙත පුළුන් කැබැල්ලකින්. ඉන් පසු වතුර බේසමක් ගෙනැවිත් මගේ මූණ හා අත පය තෙත මාත්තු කලාය. මම කිසිවක් සිතා ගත නොහැකිව හිස් මනසින් සියල්ල ඉවසුවෙමි. නැවත මොහොතකින් මම නින්දට වැටුනෙමි. 

Friday, July 15, 2016

169 සතිය


තමා යහපත් වීම අනෙක් අයගෙන් යහපත බලාපොරොත්තු වීමට සුදුසුකමක් නොවන බැවින් එසේ බලාපොරොත්තු නොවන යහපත් පුද්ගලයා සත්පුරුෂයෙකි.

Thursday, June 30, 2016

168 සතිය


අප උත්සහ නොකරන්නේ නම් දෙවියන්ටවත් අපව අරමුණට ගෙන යා නොහැකිය. නමුත් අප  උත්සහය අත් නොහරින්නේ නම් කවදා හෝ අරමුණට ලගා වීම දෙවියන්ටවත් නතර කල නොහැක.අප උත්සහ නොකරන්නේ නම් දෙවියන් වහන්සේටවත් අපව අරමුණට ගෙන යා නොහැක. ඒ සේම අප උත්සහය අත් නොහරින්නේ නම් කවදා කුමන අයුරින් හෝ අරමුණ ජය ගැනීම දෙවියන් වහන්සේටවත් වැලැක්විය නොහැක.

 

Monday, June 27, 2016

කලියුග ප්‍රේමය


 
දා බිදු වෑහෙන ගිනි මද්දහනේ
මා තුරුලට වී උණුසුම් වන්නට
ඔබ එනතුරු මා බලා සිටින්නේ
මා යෞවනියේ මා පෙම්වතියේ

මා යෞවනියේ මා පෙම්වතියේ
ඔබ එනතුරු මා බලා සිටින වේලේ
 දූවිලි වර්ෂා කලු දුම් අතරේ
නැහැවී නැහැවී ඔබ සිපගන්නට
ඔබ එනතුරු මා බලා සිටින්නේ
මා මියුලැසියේ මා සුමිහිරියේ
මා මියුලැසියේ මා සුමිහිරියේ
ඔබ එනතුරු මා බලා සිටින වේලේ

පෙර දා වාගේම ඔබ හා ලං වී
පෙම්බස් සමඟින් දොඩමළු වන්නට
බස් රථයක හිඳ කෙලවර අසුනේ
එන්නෙ ද මා වෙත කියනු සොදුරියේ

එන්නෙ ද මා වෙත කියනු සොදුරියේ
ලොවම අපදිහා බලා සිටින වේලේ

උන්නලු යෞවන ප්‍රේමවන්තයෝ
ගංඟා ඉවුරක තුරු සෙවනක් යට
තරු කැට දෙක තුන එබෙනා යාමේ
නොසිත සොඳුරියේ නොඅස බොලැඳියේ

නොසිත සොඳුරියේ නොඅස බොලැඳියේ
මුසා බසකි ඒ කවියන් මුමුණන්නේ

 

Wednesday, June 15, 2016

167 සතිය

අප යමක් කිරීමට පෙර එහි අවශ්‍යතාවය සහ ප්‍රතිඵලය ගැන සිතන්නේ නම් අප අතින් වැරදි තීරණ ගැනීම අවම වනු ඇත.

Thursday, June 9, 2016

166 සතිය


තමා නිදහස් කරන ලෙස ඉල්ලමින් තදින් අල්ලා සිටින්නො අපි වෙමු.

Tuesday, June 7, 2016

සැත්කමට පෙර

එක්දහස් නවසිය අනූ නවය අවුරුද්ද පළමු සහස්ශ්‍රයේ අවසන් අවුරුද්ද පමණක් නොව අපේ ජීවිත වල ද හැරවුම් ලක්ෂයක් විය. එපමණක් ද නොව අලුත් යුගයක අාරම්භය ද විය. දෙමව්පියන්ට නොයෙක් ගැටළු වලට උත්සහයෙන් ද මහන්සියෙන් ද කටයුතු කිරීමට සිදු වූ වසරකි.
අවුරුද්ද අාරම්භ වූයේ පෝය දිනකිනි. එනිසා අපි කවුරුත් බෙල්ලන්විල පන්සලට ගොස් අවුරුද්දට අාශිර්වාද ලබාගත්තා. මගේ සැත්කම වෙනුවෙන් දෙවන හරකා නිදහස් කිරීමට අම්මා මුදල් එකතුකර තිබූ නිසා මමත් අම්මලා එක්ක මස් මඩුවට ගියේ පළමු හරකා නිදහස් කිරීම ගැන මට කිසිම අදහසක් නොවුනු බැවිනි. අප හරක් මඩුවට යනවිට විශාල හරක් ප්‍රමානයක් ගැටගසා තිබුනේ හරහට දැමූ පොලු දෙකකට ගෙල හිරකිරීමෙනි. එ් අතර ගැබ්බර වැස්සියන් ද, කුඩා හරක් පැටවුන් ද විය. මඩුවට තරමක් අෑතින් ගඩොල් තුනක් උඩ තැටියක් තබා තිබූ අතර යටින් අළු දක්නට ලැබුනා. තාත්තා කීවේ හරකුන් මරන්නේ එහි උඩ හිටගෙන බවයි. අප සමග බර්ටි නම් අම්මාගේ මිතුරෙක් පැමිණ සිටී අතර නිදහස් කල හරක් පැටියා සාදා ගැනීමට ඔහුට බාර දුන්නා.
ජනවාරී විසි පස්වැනිදා මා රෝහල් ගත කිරීමට නියමිතව තිබුනත් එය පෙබරවාරී අට වැනිදාට කල් ගිය බැවින් නැවත පෙබරවාරී අට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මා නේවාසික ව ප්‍රතිකාර ගැනීම අාරම්භ කලා. නමුත් සෑම අවුරුද්දකම වාගේ මේ අවුරුද්දෙත් කතරගම යා යුතු බැවින් සැත්කමට පෙර එහි භාරවිය යුතුයැයි අම්මා කී නිසා පෙබරවාරී හතර වැනිදා වෙනදා වගේම පාරේ බස් එකේ කතරගම ගොස් පසුවදා පැමිණියා.
මා රෝහල් ගතවූ පසු තාත්තා මා සමග රාත්‍රිය රෝහලේ ගතකර අතර දහවලට සුපුරුදු පරිදි මා රෝහලේ තනිවම පරික්ෂණ වලට ගියා. සති අන්තයේ පමණක් අම්මා මා සමග රෝහලේ නතර විය. කලින් සිටී කොළඹ මහ රෝහල සමග සසදන විට එ් රෝහල හෝටලයක් වැනි යැයි මට සිතුනා. සෑම අතින්ම පිරිසිදු වූ එහි රූපවාහිනී යන්ත්‍රයක් ද කැරම් බෝඩ් එකක් ද වූ බැවින් දහවල ගත කිරීම එතරම් අපහසු වුනේ නැත. එම වාට්ටුවේ අසාධ්‍ය රෝගීන් නොවූ බැවින් රාත්‍රියට කාගෙවත් කෙදිරිලි හඩවල් නෑසී සුවෙස් නිදා ගැනීමට ද අවස්ථාව හිමි වුනා. එසේම හැමදාම උදේට වෛද්‍ය ශිෂ්‍යන් පැමිණ මගෙන් නොයෙක් විස්තර අසා මගේ කතාවලින් ඔවුන් විස්මයට පත් වන හැටි බලන්න ද අවස්ථාව හිමිවුනා. වෛද්‍යවරයාද මගේ අැද මිට්ටමේ එල්ලා  තිබූ පුවරුවේ යමක් සටහන් කරන්නේ මගේ යම් යම් ස්ථාන පරිතක්ෂා කොට මගෙන් නොයෙක් ප්‍රශ්ණ අැසීමෙන් පසුවයි.
සැත්කම කිරීමට යෙදී තිබුෙන් පෙබරවාරී විසි හය වැනිදා ය. ඊට සතියකට පමණ පෙර තවත් කටයුක්තක් අාරම්භ විය. එනම් හවස් වරුවට පැමිණෙන වෛද්‍යවරෙයක් මගේ පිටට වැරෙන් තට්ටු කරමින් මට කහින ලෙස අණ කිරීමය. මුල් දිනවල යම් ප්‍රමාණයක් සෙම පිට වුනද අවසන් දිනවනවිට සෙමතියා කෙලවත් කටේ ඉතිරි නොවිනි. එම සතිය තුල සිදුකල විවිධ පරික්ෂණ හේතුවෙන් සමහර දිනවල මට නිරාහාරව සිටීමට ද පැය ගනණ් පෝලිමේ සිටීමට ද සිදු විය. නමුත් පාසැල් යනවාට වඩා කකා බීබී රෝහලේ සිටීමට මා වඩාත් කැමති විය. එහි සේවය කල හෙදියන් ද මට හුගාක් කුළුපග වුනා. සමහර දිනවල ඔවුන් මට අතුරුපසට අයිස්ක්‍රීම්, ජෙලි, පළතුරු වැනි යමක් දීමට පුරුදු වී සිටියා. නමුත් මගේ සිත් ගත්තේ මට ස්ටිකර් ගෙනත් දුන් තරුණ හෙදියකි. සමහර විටක අෑට හොරෙන් අැගේ පිටුපසින් සැංගී අෑව බය කරන්නත් අෑ සිටිය කාමරයේ තිබූ ශිතකරණයෙන් යම් යම් දේ ඉල්ලා ගන්නත් පුරුදු වුනා.
මම රෝහලේ අැති සුවදට වඩාත් ප්‍රිය කලෙමි. සමහරු එ් සුවදට අප්පිරියා වුනත් මා අදටත් එ් සුවදට කැමතිය. රෝහලේ දෙන කෑම වේලට ද කැමතිය. බෙහෙත් වල තිත්ත රසක් මට නොදැනිනි. එ් දිනවල මා විවිධ පාට හැඩ අැති බෙහෙත් අහුරු ගනන් කිසි අප්පිරියාවක් නැතිව බිව් හැටි තාමත් මතකය. කෙසේ හෝ මගේ ජීවිතයේ දෙවන වරටත් මාරයා හමුවට යන දවස කෙමෙන් කෙමෙන් ලං විය. මට එය එතරම් ගණනක් නැති වුනත් දෙමව්පියන්නම් දෙවියන් සිහිකරමින් සිටීබවනම් නිසැකය. මන්ද මට පෙර මේ සැත්තමට භාජනය කල දැරිවියක් මරණයට පත් වී තිබුනේ මගේ සැත්කමට දින දෙක තුනකට ප්‍රථමය.    

Wednesday, June 1, 2016

165 සතිය


තීරණයක් ගැනීමේ දී අතීතයත් අනාගතයත් ගැන කල්පනා කල යුතුය. නමුත් බොහෝ දෙනා අතීතයත් අනාගතයත් ගැන කල්පනා කරන්නේ වැඩක් නැති වේලාවට කරන විනෝදාංශයක් ලෙසය. එයින් බොහෝ විට සිදුවන්නේ බය වීමත්, දුක් වීමත්, සිහින මැවීමත්, සිනහ පහල විමත් පමණි.

Tuesday, May 31, 2016

පිදුරු දමා ගිනි නිවීම


ගිහි ගෙයි ගිනි ඇවිළි යයි
නැගෙනා මහ රති ගින්නෙන්
ඒ ගිනි නිවනට වෙහෙසෙයි
නෙත් අඳ වී ඇති මිනිසුන්
 
තණ්හා ගිනි දළු විහිදී
ආශාවෝ බුර බුරා නැගෙයි
පස් කම් සැප පිදුරු දමයි
ගිනි නිවනට අඳ බාලුන්
 
පිදුරු වලට යටවන ගිනි
යලි මතුවී බුර බුරා නැගෙයි
තණ්හා ගිනි නොම නිමවෙයි
ඇවිලෙනු මිස තව වැඩෙමින්
 
 

Friday, May 6, 2016

164 සතිය

අපට උත්සහ කිරීමට වඩා දෙයක් කල නොහැක.

Wednesday, April 27, 2016

මට සැප නැති නුඔට වටින මා

ඔබ කෙතරම් මිහිරි වදන් පැවසූවත් කුමට ඉතින් 
 ආදරයෙන් බලා ගත්තු දෙසවන මගෙ නෑසී යා නම්
ඔබ කෙතරම් වත්සුනු ගා හැඩ වූවත් කුමට ඉතින් 
ආදරයෙන් බලා ගත්තු දෙනුවන් මගෙ නොපෙනී යා නම්
ඔබ කෙතරම් රසමසවුලු මට දුන්නත් කුමට ඉතින් 
ආදරයෙන් බලා ගත්තු දිවට මගේ නොදැනී යා නම්
ඔබ කෙතරම් ආදරයෙන් ලඟ උන්නත් කුමට ඉතින්
 ආදරයෙන් බලා ගත්තු සිරුර මගේ වලංගු නැති නම්

Wednesday, April 20, 2016

163 සතිය

තමාට සාපේක්ෂව ලෝකය දෙස නොව ලෝකයට සාපෙක්ෂව තමා දෙස බලන්න.

Sunday, April 17, 2016

මගේ කතාව 2 - පවුල් බර

මාගේ දෙවන සැත්කම සඳහා  කැපවීමෙන් දෙමව්පියන් කටයුතු කලත් පවුලක් පවත්වාගෙන යාම හුදෙක් වර්තමාන ප්‍රශ්න වලට පිලිතුරු සෙවීම පමනක් නොව අනාගතය ගැනද සැලකිලිමත් වී පවුලේ සියලු සාමාජිකයන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම බව ඔවුන් හොඳින් වටහාගෙන තිබුණි. ඒ නිසා ළමයින්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකවරණය මෙන්ම ගුණ ධර්ම වර්ධනය කෙරෙහි ද අම්මා තම අවධානය යොමු කලාය. ඈ අප අළුත් කුළි නිවසට පැමිණි වහාම කලේ අප තිදෙනා අලුත් දහම්පාසලකට යොමු කිරීමය. ඒ දහම්පාසල තරමක් පොහොසත් පවුල්වල දරුවන් සිටී දහම් පාසලක් විය. අපි මුලින් ගිය දුප්පත් දහම්පාසලට සාපේක්ෂව විශාල ශිෂ්‍ය පිරිසක් සිටී මෙහි එක් වසරක් සඳහා පන්ති කීපයක්ම තිබුණි. කලින් දහම්පාසලේ තරම් නිදහස් බවක් ඒ ලොකු දහම්පාසලේ නොතිබුණි. විනය ඉතා තදින් ක්‍රියාත්මක වුන ඒ දහම්පාසැල තරඟ විභාග ඉලක්ක කර අධාපනය ලබා දීමට ක්‍රියා කලේය. ඒ නිසා ඒ දහම්පාසල පෙර දහම්පාසල මෙන් අපට සිත් ගත්තේ නැත.

අපව දහම්පාසැලකට යොමු කිරීමෙන් අනතුරුව අපව ඉංග්‍රීසි පන්තියකට යොමු කිරීමට අම්මා කටයුතු කලාය. එකල ඉංග්‍රිසී නැතිනම් කිසිවක් කරගත නොහැකි යැයි මතයක් ගොඩනැගෙමින් පැවිතිනී. මේ නිසා ගහක් ගලක් ගානේ ඉංග්‍රීසි පන්ති බිහි විය. වඩාත්ම ප්‍රචලිත වූයේ ස්පොකන් ඉංග්ලිෂ් ක්ලාස් ය. එය කෙතරම් විශාල රැල්ලක් වී ද යත් වැඩිහිටියන්ට පවා ඉංග්‍රූීසි පන්ති පැවැත් විනි. අම්මා ද "මම ඉගැන්වීමටම උපන්නෙමි" කියා ස්පෝකන් ඉංග්ලිෂ් කල ගුරුවරයකු ගාවට ක්ලාස් ගියාය. එකල ඔහු නෑගී එන තරුණ ගුරුවරයකු විය. නමුත් මාස කීපයකින්ම අම්මා එය අත්හැර දැමුවේ අම්මාට ඊට වඩා බොහෝ දේ පවුල වෙනුවෙන් ඉටු කිරීමට තිබූ බැවිනි. අප තිදෙනා ගිය ඉංග්‍රීසී පන්තිය, අසල නිවසක වූ අක්කා කෙනෙකු විසින් කල පන්තියකි. අප එහි දී ඉංග්‍රීසී ඉගෙන ගත්තාදැයි යන්න සැක සහිතය. නමුත් පන්ති අවසානයේ ඒ ගෙදර උන් අයියා කෙනෙකු සමඟ ක්‍රිකට් ගැසූ හැටි නම් හොඳටෝම මතකය.

අම්මා ඊ ළගට මුල් තැන දුන්නේ අපේ පෝෂණයටයි. ඉරිදා පොළට යන ඈ එළවළු වලට අමතරව උගුරැස්ස, වෙරළු, පේර ආදී දේශීය පලතුරු වර්ග කීපයක් ද රැගෙන එයි. මසකට වතාවක් පමණ ඉස්සො කකුළුවො වැනි උෂ්ණ ආහරයක් ගෙනෙයි. ඒ ගෙනෙන දවසට මුරුංගා කොල ගෙන ඒමට මාව පිටත් කර හරී. එදාට මුං ඇට හෝ කොළකැඳ අනිවාර්යය. නිතරම ආහාරවේල සම බල කිරීමට ඈ උත්සහ කලාය. ඉරිදා දවසට ඈ අප තුන්දෙනාටම කවන්නී ය. සතියේ දවස් වල අපගේ ආහාරය කෙසේ සිදු ව්න්නේ දැයි ඇයට නොපෙනේ. ඒ නිසා අම්මා ඉරිදාට වඩාත් පෝශදායි ආහාරවේලක් සකසා විශාල හැලියකට බත් බෙදාගෙන අප තිදෙනාටම කවයි.
පවුලක බර උසුලන්නේ තාත්තා කීව ද අම්මා ඊටත් වඩා පවුල වෙනුවෙන් වෙහෙස වන්නේ යැයි මට සිතේ. මන් ද අපේ ගෙදර තාත්තාට වඩා වැඩි පඩියක් ගන්නේ අම්මා ය. ගෙවල් කුලියත් බිල් ටිකත් ගෙවූ විට තාත්තාගේ පඩියෙ ඉතුරුවක් නැති තරම්ය. ඉතුරු සියල්ල කරන්නේ අම්මාගේ පඩියෙනි. සාමාන්‍යයෙන් තාත්තාට සහය වන්නී අම්මා යැයි කීවද අපෙ පවුලේ නම් සියල්ල සැලසුම් කරමින් පවුල ඉදිරියට පවත්වාගෙන ගියේ අම්මා ය. තාත්තා ඈට සහය විය.

එක් අතකින් මාගේ අසනීපය ය. අනෙක් අතට අප තිදෙනාගේ අධ්‍යාපනය ය. කූලී ගෙදර ප්‍රශ්න තවත් පැත්තකිනි. ඒ සියල්ලම අතරේ රස්සාව කල යුතුය. මේ නිසා 1998 වසර ඉතා දිගු වසරක් විය. ඒ වර්ශය අවසන් වූයේ ගැටළු අවසන් කර නොව තව තවත් ගැටළු රාශියක් ඇති කරමිනි.    

Saturday, April 9, 2016

162 සතිය

මේ ලෝකේ පිළිකුල් කලයුතු දෙයක් නැත. ඇත්තේ පිළිකුල් කලයුතු ක්‍රියාවන් පමණි.

Thursday, April 7, 2016

අවීචිකම හා සමාජසේවය

ඔන්න එකෝමත් එක කාලෙක අවිචියේ නරකයන් එකතුවී අවිචීකම රැකගැනීම හා සමාජසේවය පිළිබඳ රැස්වීමක් තිබුණා. ඉතින් එක් නරයෙක් නැගිට මෙසේ අදහස් ඉදිරිපත් කලා. “අපි අපේ අවිචීකම සමාජසේවය උදෙසා පාවිච්චි කල යුතුයි. අපි අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ නරකාදියේ අපි විඳින දුක නැති කිරීමට කටයුතු කල යුතුයි. නැතිනම් ඔවුන් අපට සාප කරාවී. ඒ නිසා මා යෝජනා කරනවා මේ කටු ඉඹුලේ කටු මොට කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් ලෝදිය සිසිල් කිරීම සඳහා පර්යේෂණ කිරීම සඳහා අපේ උගත් බුද්ධිමත් පුද්ගලයන්ට පැවරීමටත්.

මේ කතාවට බොහෝ දෙනෙක් අත්පොලොසන් දුන්නා. ඊ ළඟට තවත් අයෙක් නැගිට කම අදහස ඉදිරිපත් කලා. “අපේ සහෝදරයා ප්‍රකාශකලා වගේ අපි මේ නරකාදිය සුරපුරයක් කලයුතුයි. එය අපේ අනාගත පරම්පරාවට වගේම අපටම කරගන්නා සේවයක් වෙනවා. මන්ද නැවත අපි මේ නරකාදියේ උපදිනකොට මෙය දියුණු ලෝකයක් වී තියේවී. ඒ නිසා මා යෝජනා කරනවා කටු ඉඹුල කුෂන් කිරීමටත් ලෝදිය හැලිය උණු කරන ලිප නොදැල්වෙන ආකාරයේ නව තාක්ෂණික ක්‍රමවේදයක් සොයා ගැනීමට පර්යේෂණ කලයුතු බවටත්.

මෙසේ ඔහුගේ අදහසත් ඉදිරිපත් කල පසු තවත් නරකයෙක් නැගිට මෙසේ අදහස් ප්‍රකාශ කලා. “ මට පෙනෙන විදියටනම් අපි මුලාවට පත්වෙලයි ඉන්නේ. කලින් අදහස් දැක් වූ දෙදෙනා නිවැරදි ලෙස ගැටළුව අධ්‍යනය නොකර ඇති බවයි හැඟී යන්නේ. ඔවුන් යෝජනා කරන දේවල් තාවකාලික විසඳුම් පමණක් බවයි මගේ හැඟීම. ඔවුන් ප්‍රකාශ කල පරිදි අපි කටු ඉඹුල කුෂන් කලත් මොට කලත් නැවත අලුතින් කටු සැදී එනවිට පරන කටු හැලී යනවා. ඒ වගේම අපි ලෝදිය උණු කරන ලිපේ ගිනි නැති කලත් යමපල්ලෝ විදුලියෙන් හරි ලෝදිය උණු කරාවී. අපිට කවදාවත් මේ නරකය සුරපුරයක් කරන්න නොහැකී. එම නිසා මා යෝජනා කරන්නේ අපි මේ නරකාදියෙන් බේරී පලා යාමට මාර්ගයක් සොයාගතයුතු බවත් ඒ මාර්ගය ලෝකය පුරා ප්‍රචාරය කර අනාගතයේ මෙහි නොපැමිනෙන ලෙසට ඒ මාර්ගය සියල්ලන්ටම උගැන්වීමත් ය. එවිට අපට නැවතත් කිසි දිනක මේ දුක උරුම නොවනු ඇත. එසේයි අප සමාජසේවය කලයුත්තේ.


ප.ලි. මනුස්ස ලෝකයේද මනුස්සකම හා සමාජසේවය පිළිබඳ මෙවැනි කතා අසන්නට ලැබේ.

Saturday, April 2, 2016

මගේ කතාව 2 - තාත්තාගේ වෑයම

මගේ දෙවන සැත්කම කර ගැනීම උදෙසා අම්මාත් තාත්තාත් සෑහෙන වෙහෙසක් ගන්නට විය. එන්න එන්නම මගේ හතිය වැඩි වීමත් ශරීරය දුර්වල වීමත් නිසා ඔවුන් වඩාත් බිය වන්නට ඇත. මට අවුරුදු නවය ලබන විට එනම් 1998 මාර්තු මාසය වන විට තාත්තා මාව සායනයන්ට රැගෙන ගිය අතර ඩොක්ටර් නරෙන්ඳ්‍ර සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව ද උදා විය. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නෙවාසිකව ප්‍රතිකාර ලබමින් සැත්කමට පෙරාතුව කලයුතු පරික්ෂණ සඳහා කටයුතු කෙරිණි. නමුත් වෛද්‍යවරයා නිතර නිතර විදේශ ගතවීම නිසා සියල්ල පරීක්ෂණ වලට සීමා විය. එය රජයේ රෝහලක් නොවූ නිසා සෑහෙන විදමක් දැරීමට ද දෙමව්පියන්ට සිදුවිය. හතර වසර අවසන් වනතෙක්ම විටින් විට රෝහලේ නෙවාසිකව පරික්ෂණ කෙරුණු අතර විවිධ හේතුන් මත සැත්කම කල් දැමීමට සිදුවිය.

මේ අතර ඩොක්ටර් නරේන්ද්‍ර දිගු කාලයකට ඉන්දියාවට යන බව පවසා තම මිතුරකු වන ඩොක්ටර් පනෙල් ගුණරත්නට මගේ වගකීම පැවරීය. එතැන් පටන් එම වෛද්‍යවරයා යටතේ නැවත පරික්ෂණ වලට මා භාජනය කල නමුත් ඒ සෑම පරික්ෂණයකම අවසාන ප්‍රතිඵලය වූයේ සැත්කමට දිනයක් සොයා ගැනීමට නොහැකි වීමයි. හදිසි සැත්කම් කිරීමට ඇති බැවින් මාගේ සැත්කම දිගින් දිගටම කල් යැවුණි. නමුත් තාත්තා උත්සහය අත් නොහැර මාගේ සැත්කම ඉක්මනින් කරදෙන මෙන් වෛද්‍යවරයාට කන්නලව් කලේය. අම්මාගේ අඳා්ෙවැඩියාව නිසා තාත්තාට නිතර නිතර වෛද්‍යවරයා හමුවීමට සිදුවිය.

එහි දී ලොකුම ගැටළුව වූයේ කෙලින්ම වෛද්‍යවරයා මුණගැසීමට ඇති බාධාවයි. වෛද්‍යවරයා මුණගැසීම සඳහා දිනයක් වෙනු වූ අතර එදිනටද රෝගින් විශාල ප්‍රමාණයක් පෝලිමේ සිටි බැවින් තාත්තාට නිවාඩු දමා සායනයන්ට සහභාගි වීමට සිදුවිය. එය දිගටම කලහැකි කටයුක්තක් ද නොවූ බැවින් තාත්තා ඊට කදිම උපායක් යෙදී ය. තාත්තා කොපමණ වාරයක් රෝහලට පැමිණ ඇත්දැයි කිවහොත් ආරක්ෂක අංශ විසින් තාත්තා පරික්ෂා නොකර ඇතුළු කරන තරමටම තාත්තාව ඔවුන්ට මතක තිබිණි. මේ කරුණ ප්‍රයෝජනයට ගත් තාත්තා සුදු කලිසමක් හා සුදු කමිසයක් හැඳ රෝහල් සේවකයකු සේ රෝහලට ඇතුලු වී කෙලින්ම වෛද්‍යවරයාගේ කාමරයට ගොස් වෛද්‍යවරයා හමු විය. වෛද්‍යවරයා ද යහපත් අයෙකු වූ බැවින් තාත්තාගේ තත්වය තේරුම් ගත්තේය. තාත්තා රෝහලේ කිසිවකුටත් සැක නොසිතෙන අයුරින් උදේ පාන්දරම ගොස් දින කීපයක්ම වෛද්‍යවරයා හමු වීමට සමර්ථ විය. එහි ප්‍රතිඵලයක් ලෙස මාගේ තත්වය බරපතල බවද වහා සැත්කම කල යුතු බවට ද වෛද්‍යවරයාගෙන් නිර්දේශයක් ලබා ගත්තේ ය. ඒ අනුව එම වර්ශය අවසන් වනවාත් සමඟම තාත්තාගේ ද අම්මාගේ ද උත්සහය සාර්ථක විය.

කෙසේ වෙතත් සැත්කමට පෙර කලයුතු පරීක්ෂණ රාශියක් විය. මන්ද ඒ වනවිට කර තිබූ පරික්ෂණ ප්‍රතිඵල ඒවා සිදුකල මාසයන්ට පමණක් වලංගු වීමය. මේ නිසාම සැත්කමට අමතරව සෑහෙන මුදලක් අනවශ්‍ය ලෙස වියදම්ව තිබිණ. ඒ නිසා මී ළඟට දෙමවුපියන්ට මුහුණපෑමට සිදුවූයේ මුදල් සොයා ගැනීමේ ගැටළුවටයි. ඒ අනුව ජනාධිපති අරමුදලෙන් ද, හිත මිත්‍රාදින්ගෙන ද, ටිකට් පත් විකිණිමෙන් ද, මාගේ ජීවිත රක්ෂණයෙන් ද, ඉඩමේ කොටසක් විකිණිමෙන් ද සහ බැංකු ණය ලබා ගැනීමෙන් ද අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට තීරණය කෙරිණි. මෙලෙස මාගේ දෙවන සැත්කම කිරීමට අවශ්‍ය මූලික පියවර සකස් කෙරිණි.
 

Thursday, March 31, 2016

161 සතිය

ඇත්ත සගවන්න උත්සහ කරනඅපි, අපිම මවාපාන ලෝකයට රැවටී සිටින්නෙමු.

Sunday, March 27, 2016

වහල්ලූ

මේ ලෝ මායාවේ වෙලීලා
බැදීලා ලෝ දනා 
පස්කම් සොයමින් වෙහෙසෙන්නේ 
නිවනක් කිසිදින නෑ ගන්නේ
 
නෙක නෙක රස දිව පිනවන්නේ 
විසිතුරු දේ නෙත ඉල්ලන්නේ 
නැහැයට සුගන්ධ සොයමින්නේ 
දනෝ ඇයිද මේ වෙහෙසෙන්නේ
 
නහවන්නේ ගත සරසන්නේ 
සතපන්නේ එය නලවන්නේ 
කුමක් කලත් නෑ ඇතිවන්නේ 
සිරුරට ඇයි වහලෙකු වන්නේ

Tuesday, March 22, 2016

160 සතිය

යම් කරුණක් ඇසූ පමණින් විශ්වාස කරන්නා මෝඩයෙකි. ප්‍රඥාවන්තයා යනු ඇසූ දෙයහි සත්‍ය අසත්‍ය තාව සොයාබලා අවබෝධකොට ගන්නා පුද්ගලයාටය. බුද්ධ දේශනාව ද ඇත්තේ ප්‍රඥාවන්තයින්ටයි. සෑම කාරණාවකට ම එහෙයි කියන්නා ට නොවේ.

Friday, March 11, 2016

මගේ කතාව 2 - හතරේ පන්තිය

අප අළුත් නිවසට එනවිට මා සිටියේ හතර වසරේය. ඒ වන විට මගේ දෙවැනි සැත්කම කිරීමට සුදුසු කාළය එලැඹෙමින් පැවතිනි. නමුත් දෙවන සැත්කම කිරීමට ඩොක්ටර් නරෙන්ද්‍ර අල්ලා ගැනීම පහසු කටයුක්තක් නොවීය. ඒ ඔහු නැවත ඉන්දියාවටනිතර යන එන බැවිනි. තාත්තා වෛද්‍යවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කරමින් සිටියේය.

ඒ ගැන එතරම් අවබෝධයක් නොතිබූ මම සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු කරගෙන ගියෙමි. හතර වසරේ පන්ති භාර ගුරුතුමා වූයේ ඩග්ලස් සර් ය. ඔහු අපට ගණිතය උගැන්වුවේය. වෙන පන්තිවල ගුරුවරු මෙන්ම මොහුද අධ්‍යාපන සමූපකාර සමිතියේ සාමාජිකයෙක් වූ බැවින් අපේ තාත්තාගෙන් ණය ගැනීමට උපකාර ලබා ගත්තේ ය. අවශ්‍ය ලියකියවිලි ගෙන්වා ගැනීමට පෝරම පුරවා ගැනීමට ගුරුවරුන්ට මා පියාගෙන් උදවු ලැබිනි. දිනක් අප ගණන් සාදමින් සිටින විට වෙනත් ගුරුවරයකු මා සොයා පැමිණියේය. ඒ මගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙනි. සර් ළමුන්ට ගණන් සාදන්නට කියා මාව කැඳවා අවශ්‍ය උපකාරය කල හැකිදැයි විමසීය. ඒ අතරතුර ළමුන් ගණන් සෑදීම පැත්තකින් තියා කෑකෝ ගසන්නට වූ බැවින් සර් කීපවරක්ම නිශ්ශබ්ද වන ලෙස සංඥා කලේ ය. නමුත් අනෙක් ගුරුතුමා යන තුරුම ඝෝෂාව පැවති බැවින් සර්ට තරහ ගියේ ය. ඔහු ඒ වනවිට ගණන් සාදා අවසන් නොමැති සිසුන්ට වේ වැල් කසාය දුන්නේ ය. මම සර් සමඟ සාකච්ඡා කල බැවින් මට ද ගණන් සෑදීමට වෙලා මඳ විය. මේ නිසා මට ද වේවැල් පහරක් වැදින. එවේලේ මට ඇඩුනි. ඒ වේ වැල් පාරටත් වඩා උදව් කරන්න ගිහින් මා නිරපරාදේ ගුටි කෑ නිසාය.

පුංචිම කාලේ සිටී අනුරධාගෙන් පස්සේ මගේ හොඳම යාළුවා වුනේ අනුරාධ ය.ඔහු මට මුණ ගැසුනේ දෙකේ පන්තියේ දීය. එනම් මා මහානාමයට ඇතුල් වූ වර්ශයේ මය. ඒ මට පන්තියේ තවත් ළමයෙකු පහරදෙන අවස්තාවක විය. මා දුර්වල ළමයෙකු බැවින් ඔහුට එරෙහිව සටන් කිරීමට ශක්තියක් මට නොතිබුනි. එවේලේ එතනට පැමිණි අනුරාධ වීරයකු සේ මා බේරා අනෙක් සිසුවාට පහර දී පලවා හැරියේ ය. එතැන් පටන් ඔහු මගේ හොඳම මිතුරා ද වීරයා ද විය. ඔහු ඒ කාලේ සිටම නාහෙට අහන්නැති දරුවකු වූ අතර ඉගෙනුමට ද දක්ෂ නොවීය. කෙසේ නමුත් ඔහු මා සමඟ හතර වසර දක්වාම එකට පැමිණියේ ය. ඉන් පසු අප දෙදෙන එකම පන්තියට වැටුනේ නැත. ඒ නිසාම ඔහුත් මාත් අතර වූ සම්බන්ධය ද බිඳ වැටිනි. පසුව ඔහු මයිකල් නයිට් ලෙස කා අතරත් ප්‍රසිද්ධ විය. නමුත් ඔහු තවදුරටත් චණ්ඩිය කු නම් නොවිනි.

දිනක් මගේ නැති වුනු පැන්සලයක් අනුරාධ ලඟ තිබෙනු මා දුටුවෙමි. මා එය ඉල්වූ විට ඔහු කීවේ ඒ තමාගේ පැන්සල බවයි. පසුව එය අප අතර දබරයක් ඇති කිරීමට හේතු විය. අවසානයේ පැමිණිල්ල ඩග්ලස් සර්ට යොමු විය. ඔහු පැන්සල තම බාරයට ගෙන පැන්සල උල් කලේ කෙසේදැයි දෙදෙනාගෙන් ම විමසීය. මා පැන්සල් උල් කරන්නේ පිහියෙන් බවත් ඔහු උල් කලේ කටර් එකෙන් බවත් පැවසූ විට පැන්සල හොඳින් නිරික්ෂණය කල ගුරුතුමා එය අනුරාධට අයිති බවට නිගමනය කලේය. නමුත් එක වරම පන්තියෙන් එම තීරණයට එරෙහි ඝෝෂාවක් ඇති විය. ඒ මා බොරු නොකියන බවත් එය මගේ පැන්සල විය යුතු බවත් පවසමිනි. ඒ අනුව බහුතර කැමැත්තට ඉඩ දෙමින් පැන්සල මට බාර දුන් අතර පැන්සල හොරකම් කිරීම සම්බන්ධයෙන් අනුරාධව දණ ගැස්වීමට කටයුතු කලේය. එවිට අනුරාධ දණ ගසාගෙන තරහ පිට කිරීමට මෙන් බිම තිබු වැලි කන්නට පටන්ගත්තේ ය. මෙයින් බියට පත් සර් ඔහු ලවා ලියුමක් ලියවා ගත්තේ ය. තමා වැලි කෑ බවත් එයින් යම් ආබාධයක් වූවොත් එහි වගකීම තමා සම්පූර්ණයෙන් බාර ගන්නා බවත් එහි සඳහන් විය.
පසු දිනක මට මගේ පැන්සල ගෙදර තිබී හමු විය. එයින් මම මහත් කම්පාවට පත් විය. සර් ගැටළුව විසඳු ආකාරය මට සිහිපත් විය. එවෙලේ මට සිහි වූයේ උම්මග්ග ජාතකයේ එන මහෝෂධ පණ්ඩිතයන් ය.  

Monday, March 7, 2016

159 සතිය

යම් ප්‍රතිඵලයක් සඳහා තිබියයුතු ‍හේතූන්ට වඩා නොතිබිය යුතු හේතුන් රාශියක් ඇති බව මතක තබා ගත යුතුය.

Saturday, February 27, 2016

මගේ කතාව 2 - සෙල්ලං ලෙල්ලං 2

ලැබුනු අලුත් නිදහස් පරිසරය තුල අපි නොයෙකුත් ක්‍රියාකාරකම් කිරීමට පෙළඹුනෙමු. ගෙවත්තක අත්දැකීම අවුරුදු දෙකක් නොලැබුනු අපිට එතරම් විශාල නොවුනත් ඒ වටපිටාව හොදටෝම ප්‍රමානවත් විය. අපේ නිදහස ටිකක් හෝ ඇහිරුනේ සීනි ආච්චිගේ අඳා්ෙවැඩියාව නිසාය. හැමදාම හැන්දාවට වත්තේ මල්ගස් කැඩුවාය, මිදුල හැඩි කලාය යැයි අම්මාට ගතු කීම නිසා අම්මාගෙන් අපට බැනුම් අසන්නට සිදුවිය. අම්මා මෙය අපේ තැනක් නොවන බව සිහිතබාගන්නා ලෙස තරයේ අවවාද කර සිටියාය. නමුත් කොලු වයසේ සිටී අපට එය එතරම් ගනණක් නොවීය. අප සුදුරුදු පරිදි සෙල්ලමෙහි නිරත විය.

මා වඩාත් කැමති වූයේ සර්පයන් ගැන අවධානය යොමු කිරීමටය. එතරම්ම එහි විවිධ සර්පයන් දකින්නට ලැබුණි. වත්තට ඇතුලු වන තැනම ඇඹරැල්ලා ගසට යාව පිහිටි පොල් ගස්, කෝපි ගස් හා වෙනත් පඳුරු වර්ග තිබුනු කොටසේ ඇහැටුල්ලන්, පලා පොළඟන්, මාපිලන් හා අහර කුක්කන් වැනි කුඩා සර්ප වර්ග මෙන්ම නයි ගැරඬි හා පොළඟුන් වැනිතරමක් විශාල සර්පයන් ද ගැවසෙනු දැකගත හැකි වෙයි. දිනක් මට එහි සර්පයින් දෙදෙනකු වෙලී සිටිනු දැක ගන්නට හැකිවිය. පළමුව මා සිතුවේ ඒ ගැරඬි දෙදෙනකුකියාය. නමුත් ලංව බැලූ කල එක් සර්පයකුගේ හිසෙහි වූ 'ප' අකුර දැක ගත හැකි විය. දෙදෙනා එකට වේලී ඇඹරෙමින් රණ්ඩු කරන්නේ ද නැතිනම් ප්‍රේමාලිංගනයේ යෙදෙන්නේ දැයි මට කුතුහලයක් විය. ඒ අවදිය වන විට මා හතර වසරේ සිටී අතර ස්ත්‍රි පුරුෂ ප්‍රේමය ගැන පාසැල් වැන් රියේදී උගෙන ගත්තේ ඒ අවධියේ දීය. මේ නිසා එකට ඇලී සිටින කුහුඹු, මැසි, මැඬි වැනි සතුන් ජෝඩු දකින විට ඔවුන් ප්‍රේමයෙන් වෙලි සිටින්නේ යැයි අදහසක් මගේ සිතට නිතතින්ම පැමිණියේය. මේ නිසා දෝ මා සර්පයින් දෙදෙනාගේ වෙලීමත් හොඳින් නිරික්ෂණයේ නිමග්නව සිටියේ. එහෙත් එක වරටම පොල් ගසක් උඩ සිට වියලි පොල් අත්තක් සමඟ තවත් සර්පයෙක් ඒ අසලට වැටින. ඒ කුමන වර්ගයේ සර්පයෙක් දැයි දැන ගැනීමටත් පෙර උෟ බිලක් තුලට රිංගා ගත්තේ ය. වලිගයේ ස්භාවය අනුව ඒ විශාල ගැරඬියෙකැයි මම නිගමනය කලෙමි. මෙම සිද්ධියෙන් කලබලයට පත් අනෙක් සර්පයින් දෙදෙනා ද වෙලුම ලිහා ගැනීමටවත් ප්‍රමාද නොවී කොළරොඬු අතරේ සැඟවී ගියෝය.

මෙසේ කාලය ගෙවන අතර දිනක් අයියා මට රොබින්හුඩ් කරමුදැයි යෝජනා කලේය. එකල රොබින්හුඩ් යනු අයියාගේ වීරයෙක් විය. අපි ගමේ ඉන්නකාලයේ දුනු ඊ තල සාදාගෙන ටාසන් සමඟ දඩයමේ ගියාට පසු නැවත එවැනි ක්‍රිඩා කිරීමේ අවස්තාවක් අපට නොලැබිණි. ඒ කාලයේ රොබින්හුඩ්ලා සිටියේ නැත. කෙසේ වෙතත් දුන්නකට මගෙත් ආසාවක් තුබූ බැවින් කෝපි දඬු දෙකක් ගෙන එවායේ ලනු දෙකක් බැඳ දුනු දෙකක් සාදා කෝපි කොටුම කීපයක් උල් කර ඊ තල ද සාදාගෙන අපි රොබින් හුඩ් කලෙමු. එහිදි දෙදෙනා මීටර 100ක් පමණ දුර සිට මාරුවෙන් මාරුවට ඊ තල විද ගනිමු. ඊ තල වලින් බේරුනු කෙනා ජය ගන්නා අතර ඊ තල වැදුනු කෙනා පරාජය වේ. අප අතර තුබුනු දුරේ හැටියට ඊ තලයක් වැදුනේ බොහොම කලා තුරකිනි. වැදුනත් උල් කල පැත්තම නොවැදී යන අතර වදින වේගය ද ඉතා අඩු බැවින් දෙදෙනාටම අනතුරක් නොවිනි. එහෙත් සවස් වන විට ඊ තල පැහැදිලිව නොපෙනීමට විය. මේ නිසාම එක් වරම පැමිනි ඊ තලයක් මගේ දකුණු ඇසේ වැදින. වහාම ඇස දෑතින් වසා ගත් මම එතැනම වාඩි විය. එයින් බයටත් තැතිගැනීමටත් පත් අයියා මා අසලට පැමිණ ඇහැ පරික්ෂා කර බැලීය. එය ඇසත් නාසයත් අතර තැනක වැදී ඇති බවත් ඇස කෙලවරින් ලේ ගලන බවත් වහා ඇස සොදාගන්නා ලෙසත් අයියා පැවසීය. නමුත් මට ඇස ඇරගැනීමට නොහැකි විය.අම්මා පැමිණි විට කීමට බොරුවක් ද අපි ගොතා ගතිමු. සාදා ගත් දුනු ඊ තලද හතරට පහට කඩා ඈත වත්තකට විසි කලෙමු.

හවස අම්මා පැමිණි විට ඇසට වූ විපත දැක වහා මා ආරෝග්‍යශාලාවකට ගෙන ගියේය. වත්තේ අැවිදින විට කෝටුවක් ඇනුණු බවයි මා ඔවුන්ට පැවසූවේ. ඇස පරික්ෂා කල වෛද්‍යවරයා ඇසට හානියක් නොමැති බව පවසා බෙහෙත් දමා ඇස රෙදිකඩකින් වැසුවේ ය. ඇසෙහි ගැල්වීමට බෙහෙත් වර්ගයක් ද දුන්නේ ය. ඇස සුව අතට හැරීමට මාසයක් පමණ ගත විය. ඊට පෙර දිනයක දිමි ගොට්ටක් ඇසට වැටීවූ අලකලංචියද එවේලේ මගේ සිහියට නැගින.
  

Thursday, February 25, 2016

සංසාරය

පෙරදිනේ කුමක් වී දැයි නොදනිමි
හෙටදිනේ කුමක් වේ දැයි නොදනිමි
ඉන්නෙ මා දන්නෙ මා අදගැනයි එපමණයි
හමුවුනේ වෙන්වුනේ කෙලසදැයි දන්නෙ මං අද ගැනයි
 
පෙරදිනේ රැස්කලා යම් දෙයක් මා ඉතින් - විඳින්නේ වේදනා ඒ නිසයි මේ ලෙසින්
පෙරදිනේ ඔබ සොයා ආ නිසයි මා ඉතින් - හමුවුනේ අද දිනේ අප යලිත් ‍මේ ලෙසින්
 
අද දිනේ රැස් කලොත් යම්දෙයක් මේ ලෙසින් - ලැබෙන්නේ මට යලිත් ඒ දෙයයි හෙට ඉතින්
පතන්නේ මා යලිත් ඔබව නම් මේ ලෙසින් - විඳින්නේ මේ වියෝ දුක තමයි හෙට ඉතින්

Friday, February 19, 2016

158 සතිය

අප විසින් ම සාදාගත් සීමාවන්ට අප සිර වී සිටින්නෙමු.

Friday, February 12, 2016

මගේ කතාව 2 - අලුත් ලෝකය

සීනි ආච්චි තරමක් ලෝභ තැනැත්තියක් වූ අතර පැණි ආච්චි යහපත් කෙනෙක් විය. ඈට තිබුනු එකම හා ලඟම මිතුරා වූයේ වෑර්ලස් රේඩියෝවයි. නිතරම එයට සවන් දෙමින් කාමරයට වී සිටී ඈ එළියට ආවේ ආහාර ගැනීමටත්, හවස බුදුන් වැඳීමට මල් කැඩීමටත්ය. එම නිවසේ ඉදිරිපස වම් කෙලවරට වන්නට පිච්ච වැලක් තුබූ අතර ඈ මල් පෙති අත ගාමින් හීන් සීරුවට හොඳම මල් පමණක් තෝරා ගනී. නංගී නිවසේ සිටියෝත් ඈ නංගීව ද බුදුන් වැඳීමට අඬ ගසා ගනී.

පිච්ච වැලට අමතරව රෝස, ඇන්තූරියම්, වද, කූඩළු, දාස් පෙතියා ඇතුලු විවිධ වර්ගයේ මල් ගස් මෙන්ම වෙනත් වර්ගයේ ගස් ද විශාල ප්‍රමාණයක් වත්තේ තිබිණ. අපේ මුල්ම නිවසේ තිබූ තරම් විශාල වත්තක් නොවුනත් කලින්  කොහෙත්ම වත්තක් නොතිබුනු කූඩුවට වඩා අලුත් නිවස අපට දෙව් විමනක් විය. එය ප්‍රධාන පාරෙන් ඇතුලට වන්නට ගුරු පාරකට මුහුණලා තිබුනු බැවින් අපට පාරද සෙල්ලම් කිරීමට යොදා ගතහැකි විය. එය දෙමව්පියන්ට ද මහත් සහනයක් වන්නට ඇත. මන්ද අප වාහනයකට යටවීමේ අවධානමක් එහි නොවීමය. ඒ බය අපට ද නොවුනු බැව්න්දෝ මා පා පැදියකට හැප්පුනේ.

වත්තට ඇතුලු වන තැනම වම් කෙලවරේ ඇඹරැල්ලා ගසක් ද පොල්ගස් කීපයක් ද සහිතව කැලෑව වැවී තිබූ අතර එය ගැරඬියන්, නයින් හා පොළඟුන්ට ද නවාතැනක් විය. ඊට අමතරව පලා පොළගුන් හා ඇහැටුල්ලන් ද ඉඳහිට එහි පැමිණ සිටිනු අපට දැක ගත හැකි විය. වත්තේ ඉදිරිපස දකුණු පැත්තේ කෝපී ගස් සිටුවා තිබූ අතර ළිඳ පිහිටියේ ද ඒ හරියේ ය. එය විශාල ළිඳක් වූ අතර දැලකින් ආවරණය කොට තිබිණ. එහි හුංඟන් කීප දෙනෙක් සහ ඉස්ගෙඩියන් විශාල ප්‍රමාණයක් ද ජිවත් විය. නිවසේ දකුණු දෙසින් නම නොදන්නා ගසක් තිබූ අතර එයට නැගීමෙන් නිවසේ වහලට නැගීමට හැකිවිය. නමුත් එහි දිමිගොටු දහයක් පහලොවක් තිබූ බැවින් වහලට නැගීම එතරම් පහසු කාර්යයක් ද නොවීය. වත්ත පිටුපස වතුර ටැංකිය ද වැසිකිලිය ද විය. ඒ හරියේ නිතර තෙත ගතියෙන් යුක්ත වූ බැවින් මඩේ සැදෙන කටු පඳුරු කීපයක් විය.

මේධංකර පාර ප්‍රධාන පාරේ සිට පල්ලමට වූ බැවින් වත්තේ වම් පැත්තට අල්ලපු ඉඩම තරමක් ඉහලිනි පිහිටියේ. එහි තරමක් පරණ නිවසක් වූ අතර එහි ජීවත් වූ පවුලේ අයියා කෙනෙක් හා අක්ක කෙනෙක් වූ නමුත් අප සමඟ මිත්‍රවූයේ අක්කා පමණි. ඇය නමින් සාගරිකා ය. එම නිවසේ ද ඇනෙක්සියක මුස්ලිම් පවුලක් ජීවත් විය. ඒ අළුත විවාහ වූ ජෝඩුවකි. අප නිවසේ ඇනෙක්සියේ උන්නේ ද අළුත විවාහ වූ ජෝඩුවක් නමුත් ඔවුන්ට කිරිකැටියෙක් ද විය.
ඉදිරි පසින් ගුරුපාර ද, දකුණු පසින් හා පිටු පසින් හිස් ඉඩම් ද වූ බැවින් අසල්වැසියන් ලෙස සිටියේ සාගරිකා අක්කලා පමණි. සාගරිකා අක්කා ද නංගිගේ පාසලේම විය. ඒ නිසයි ඈ හා අප ඉක්මනින් ම මිතුරු වූයේ. ඇඹරැල්ලා ගස ඔවුනගේ වත්තට මායිම්ව පැවති නිසා අප එකතු වූයේ ඇඹරැල්ලා ගස අසලටයි. ඒ කාලයට පවතින උඩින් යෑමේ ආසාව නිසා අප බොහෝවිට උන්නේ ගස උඩය. සාගරිකා අක්කා සෙල්ලම් කිරීමට වැඩි ප්‍රියතාවයක් නොදැක් වූ අතර කෑදර තැනැත්තියක් විය. ඒ නිසා බොහෝ විට ඈ යෝජනා කලේ ආහාර ගැනිමේ ක්‍රම පිළිබඳවයි. ඈ අක්කා වු බැවින් ඈ කරන යෝජනා බොහෝ විට ක්‍රියාත්මක විය. ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් ගෙන එහි ඇති රසකාරක පැකට්ටුවේ ඇති කුඩුත් සමඟ බයිට් වර්ග කන්නා සේ අමුවෙන් ආහාරයට ගැනීම ඇගේ විනෝදාංශයක් වූ බැවින් අපි ඇඹරැල්ලා ගස උඩ ඉඳගෙන ඒවා ආහාරයට ගතිමු. ඊට අමතරව පාන් පුඩින් සෑදීම, වෙරළු තම්බා අච්චාරු දැමිම ඇතුළු විවිධ ආහාර වර්ග සෑදීම සාගරිකා අක්කා සමඟ කල ක්‍රියාකාරකම් අතර විය. ඇගේ කෑදරකම නිසාමදෝ ඇය අපට පෙනි පෙනී මහත් විය.

Monday, February 8, 2016

157 සතිය

අනුන් ලියන නව කතාවකින් තමා කැමති කතාවක් බලාපොරොත්තු වීම මෝඩ කමකි.

මල් වත්ත

සමනලයින් පියඹනවා 
මල් සමඟින් හිනැහෙනවා 
 මල් වට උන් රඟදෙනවා 
මල් නොතලා පැණි බොනවා

මී මැස්සන් ගුම් දෙන්නේ 
රොන් ගන්නට පැමිණෙන්නේ 
පැණි විතරයි උන් ගෙනයන්නේ 
මල ගස උඩ හිනැහෙන්නේ

මල් අයිතිය ගස්වලටයි 
මලේ සුවඳ මුළු ලොවටයි 
මල් පිපිලා හරිම හැඩයි 
මල් වත්තම සිරියාවයි 

Thursday, January 28, 2016

156 සතිය

අද ප්‍රේමයට එරෙහිව එන ඕනැම භාහිර බලවේගයකට ජීවිත පරිත්‍යාගයෙන් සටන්කරන මිනිසුන් ඒ ප්‍රේමය බිඳ වැටුනු විට ඉතා ඉක්මනින් තවකෙක් හා පෙමින් බැදෙන්නේ ඔවුන් කාමයට දාසකම් කරන්නෝ බැවිනි.

Saturday, January 16, 2016

155 සතිය

එකම රූපය අන්වීක්ෂයෙන් බැලූ විට හා පියවි ඇසින් බැලූ විට පෙනෙන්නේ වෙනස් විදියටයි. එසේ නම් ඇත්තම රූප මොන වගේ ඇත්ද?

Sunday, January 10, 2016

මගේ කතාව 2 - වෙනත් කූඩුවක් කරා.....

අප කොළඹට ඇවිත් අවුරුදු දෙකක් වන්නේ 1998 පෙබරවාරි මාසයටයි. අප එසේ පැමිණි මුල්ම කුඩා නිවස අප එනවිටත් ඉතා පැරණි නිවසක් විය. නමුත් ගෙවල් හිමිකරු විසින් එය පිළිසකර කර දුන් අතර නොබෝ කලකින්ම එහි යතා ස්වරූපය අපට අවබෝධ වන්නට විය. දහවලට ටකරන් රත් වී පෝරණුවක් සේ ගෙතුල රත් විය. වැසි කලට ගෙදර සියලු හැලිවලං වතුර රැස් කිරීමට තැබීමට සිදුවිය. නමුත් අප ගෙවූ කුලියේ හැටියට ඒ මුදලට කොළඹින් වෙනත් නිවසක් සොයා ගැනීම ද අපහසු විය. කෙසේ නමුත් අම්මාගේ අදහස වූයේ තවදුරටත් එම නිවසේ විසීමෙන් එකතැන පල්වනවා මිස අනාගතයක් නොමැති බවයි. එබැවින් දෙහිවලම වෙනත් නිවසක් සොයා ගැනීමට අම්මා වෙහෙසිනි. අම්මා වැඩ කලේ දෙහිවල ජල සම්පාදන මණ්ඩලයේ වූ බැවින් අම්මාට ඒ කාරිය එතරම් අපහසු දෙයක් ද නොවීය. නමුත් දැරිය හැකි මුදලකට කුළි නිවසක් සොයා ගැනීම ද ලෙහෙසි නොවිනි. අවසානයේ කෙසේ හෝ අම්මා වෙනත් කුළි නිවසක් සොයා ගත්ත ද එහි කුළිය තරමක් වැඩි විය. කෙසේ නමුත් අම්මාගේ අදහස වුයේ මේ නරකාදියෙන් ගැලවී යාම වඩා සුදුසු බවයි. අප වෙනත් නිවසකට යනබව නිවෙස් හිමිකරුට දැන්වූ විට ඔහු පවසා සිටියේ අප වැනි කුළී කරුවන් ඔහුට හමු වී නැති බවත් තව දුරටත් එහි රැදෙන්නේ නම් නිවස පිළිසකර කර දෙන බවත් ය. නමුත් අම්මාගේ තීරණය වෙස් නොවිනි.
ඒ අනුව දෙහිවල කරගම්පිටිය ප්‍රදේශයේ මේධංකර පාරේ පිහිටි නිවසකට අපි පදිංචියට පැමිණියෙමු. එය කලින් නිවසට වඩා විශාල නිවසක් වුවත් එය සම්පූර්ණයෙන්ම අපට අයිති නොවිනි. එහි කුලියට දීමට තිබුනේ ඇනෙක්සියක් වුවත් එය ඒ වනවිටත් කුලියට දී තිබුණි. මේ නිසා අපට හිමි වුයේ අයිතිකරුවන් පදිංචි නිවසේම විසිත්ත කාමරයේ හාඩ් බෝඩ් වලින් වෙන් කරන ලද කොටසකි. ඊට අමතරව කුස්සියක් ද අපට හිමි විය. එහි අයිතිකරු වූයේ බර්නාඩ් නම් පුද්ගලයෙකි. කාමර දෙකකින් හා කුස්සි දෙකකින් සමන්විත වූ ඒ නිවසේ ඔහුත්, බිරිඳත්, අම්මලා දෙදෙනාත් පුතාත් විය. අපත් සමඟ එහි මුළු සාමාජික සංඛ්‍යාව 10ක් විය. අප නැවතත් කුඩූ වූ නමුත් එහි යම් ප්‍රමාණයක මිදුලක් තිබීම කුඩා වයසේ වූ අපට සතුටට කාරණාවක් විය. අප කලින් උන් නිවසේ මිදුලක් තිබුනේම නැත. වතුර ගැනීමට විශාල ලිඳක් තිබූ අතර එයට මෝටරයක් සවිකොට ටැංකියකට වතුර පිරීවීය. එයින් නිවසට නල ජලය ලැබිණ. කෙසේ වෙතත් මෙහි දී ද ඇඳක නිදා ගැනීමේ භාග්‍ය හිමිවූයේ තාත්තාට පමණි. ඒත් පෙර පරදිම කුස්සියේ ය.
බර්නාඩ් අංකල් කුමන රස්සාවක් කලේ දැයි අපි නොදනිමු. නමුත් ඔහු ඉතා රෑ බොවී නිවසට පැමිණි අතර උදේ පාන්දරින්ම නිවසින් පිටවිය. ඔහුගේ පුතා පසන් වූ අතර අම්මා නිතරම ඔහු පස්සෙන් වූ බැවින් ඇන්ටී ද දහවලට ගෙදර උන්නේ ළමයාට පන්ති නැත්නම් පමණි. ඔවුන්ගේ අම්මලා දෙදෙනා පමණක් දහවලට නිවසේ වූ අතර ඉන් එක් මවක් අන්ධ තැනැත්තියකි. ඇගේ උදව්වට හිටියේ අනිත් අම්මාය.  ඈ අන්ධ වූ නමුත් බොහෝ වැඩ තනියම කර ගැනීමට ඈට හැකිවිය. අපට වඩා හොඳට ගේ ඇතුලේ ඇවිදීමට ඈට හැකිවිය. අපි ඈට පැණි ආච්චි යැයි ද අනෙක් තැනැත්තියට සීනි ආච්චියැයි ද පැවසුවෙමු.

Wednesday, January 6, 2016

154 සතිය

ගැටුමක දී ප්‍රතිවාදීයාගේ මානසිකත්වයෙන් බැලූ කල තමාගේ වරද දැකිය හැක.

Saturday, January 2, 2016

මගේ කතාව 2 - දරුවන්ගේ පෝෂණය

ගොඩක් පවුල් වල මෙන්ම අපේ පවුලේ ද ගෘහ මූලිකයා තාත්තා වුනත් මහ මොළකරු ද පවුලේ වගකීම් දරන්නා ද අම්මා විය. එබැවින් අපේ පවුලේ අනාගතය සැලසුම් කලේ ද ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ග ක්‍රියාත්මක කලේ ද අම්මාය. තාත්තා කලේ ඒ සඳහා අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සහ බුද්ධිමය හා කායික ශක්තිය ලබා දීමයි. ඊට අමතරව අම්මා පවුලේ අභ්‍යන්තර ගැටළු විසඳු අතර තාත්තා බාහිරින් පැමිනෙණ ගැටළු වලින් පවුල ආරක්ෂා කලේය. අම්මත් තාත්තාත් සහයෝගයෙන් කටයුතු කලත් දෙදෙනා අතර බහින් බස් වීම් ද නිතර නිතර ඇති විය.
එක් දවසක් මා පාසැල් ඇරී ගෙදර එනවිට කම්බුල් දෙක කසන්නට විය. වේදනාව වැඩිවන විට කලහැකි යමක් නොතිබූ බැවින් තාත්තාගේ ඇඳට වී නිදා ගත් අතර නැවත ඇහැරුනේ අම්මා ගෙදර පැමිණි විටය. අම්මා පරික්ෂාකොට බලා මට කම්බුල් ගාය සෑදී ඇති බව තීරණය කෙරිණි. ඒ සඳහා අලි හක්කක් උරච්චිකොට ගෑ යුතු බැවින් තාත්තා එනතුරු අත්බෙහෙතක් කිරීමට තීරණය කලාය. එනම් නිල් කුඩු දෙහි සමඟ මිශ්‍රකොට කම්බුල දෙපැත්තේ ඉලීමයි. නැවත මට නින්ද ගිය අතර නැවත මට ඇහැරුනේ ටකරන් වහලයට වැස්ස වැටීම නිසා ඇති වූ ශබ්දයටයි. මට මගේ මූණ ඉතා බර වී ඇති බවක් හැඟින. ඇස් කරකවා වට පිට බැලූ විට සුපුරුදු පරිදි වැහි වතුර රැස් කිරීමට තැන තැන හට්ටි වළං තබා තිබෙනු පෙනිණ. ඒ වර්ෂාවේ ශබ්දය අතරේ මට තවත් ශබ්දයක් ඇසිණ. ඒ අම්මාත් තාත්තාත් අතර වූ ගෝරණාඩුවකි. “මේ මනුස්සයට කොච්චර කිව්වත් තේරෙන් නෑනේ. මේ ළමයට බෙහෙත් ටිකක් ගේන්න නැතුව ඉදලා ෆිට් එකට ආවොත් මොකද කරන්නේ?“ යැයි අම්මා කෑ ගෑවාය. “මේ රෑ කොහෙන්ද මං අලි හක්කක් හොයන්නේ. අනික මේ වැස්සේ කොහොම ද මේ ළමයා ස්පිරිතාලෙට එක්ක යන්නේ“ තාත්තා පවසනු ඇසින. “ ඇයි මනුස්සයෝ මේ ළමයා එළි වෙනකන් මෙහෙම තියන්නද කියන්නේ, ත්‍රී වීල් එකකින් හරි ගිහිල්ලා බෙහෙත් ටිකක් අරන් එන්න බැරිද“ අම්මා නැවතත් ගෑ ගෑවාය. එවිට තාත්තාට තරහ ගියේය. “කට වහගනින් , මේක මල වදයක් උනානේ, වැඩ ඇරිල ආව වෙලේ ඉඳන් කනක් ඇහිල ඉන්න නෑ. කම්බුල් ගාය කියන්නේ මහ ලෙඩක් නෙවේ, මටත් පොඩිකාලේ හැඳිල තියෙනවා“ කියූ තාත්තාගේ අතින් හට්ටික් බිමට වැටුණු හඩක් ඇසිණ. ඉන් පසු ඇසුනේ අම්මාගේ කෙඳිරිලි හඩක් පමණි. අම්මාත් තාත්තාත් රණ්ඩු වන්නේ මා නිසායැයි මට මහත් සංවේගයක් ඇති විය. මා නිදා ඉන්නවා සේ දෑස් පියාගෙන උන්නත් මගේ දෑස් අඟින් කඳුළු කඩා හැලින.

අපේ අම්මා අපේ පෝෂණය ගැන බොහෝ උනන්දු විය. ඒ කෙතරම් ද යත් නැදැයින් අපේ ගෙදර හැඳින් වූයේ වෙද ගෙදර ලෙසිණි. සෑම ආහාර වේලකටම කොල මැල්ලුමක් හා මස්, මාළු, කරවල, බිත්තර යන වර්ග වලින් එකක් ද කරවිල, දඹල, මුං ඇට වැනි ආහාරයක් ද එක් විය. බොහෝ විට තුන් වේලම කෑවේ බත් ය. නමුත් අම්මා මහන්සි වී හෝ පමා වී හෝ ගෙදර පැමිණෙන දින වලදී කඩෙන් පාන්, ආප්ප, ඉඳිආප්ප වැනි දෙයක් රැගෙන එන්නී ය. එසේ ගෙනාවත් හට්ටි වල යම් එළවළුවක් ඉතිරි වී තිබුනොත් ඒවා බලහත්කාරයෙන් අපට කවන්නී ය. අම්මා කියන්නේ බත් නොකෑවත් හොඳි ටික කෑ යුතු බවයි. ඉඳින් අපි දහවල් එළවළු ඉවර කිරීමට අපොහොසත් වූවොත් රාත්‍රියට නික්න් හෝ කන්නට සිදුවන බැවින් සමහර දින වල දී ඉතිරිවන එළවළු ගේ පිටිපස්සේ හලා සියල්ල කෑ ලෙස හට්ටි හිස්කර තබන්නේ ය.
අම්මා අපිට පෝෂණිය ආහාර කැවීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කළා ය. සෑම ඉරිදාවකම වාගේ උදේට කොළකැඳ හදන අම්මා ඒවා කෝප්ප වලට දමා අපට කතා කරයි. “අද අපි තරඟයක් තියමු. ඔය තුන්දෙනා අතන ඉඳන් දුවන් ඇවිල්ලා ඉක්මනටම කොළකැඳ බීලා ඉවර කරන කෙනා දිනුම්.“ මෙසේ අම්මා අපිට උපක්‍රමයෙන් කොළ කැඳ පොවයි. තවත් දවසෙක කොළ කොටා ඉස්ම ගන්නා අම්මා ඉන් අඬු කෝප්ප කාල බැගින් දමා වෙද පප්පාගේ අරිශ්ඨය සාදා ඇති බව පවසා සූර පප්පා වගේ ශක්තිමත් වන්නට එක හුස්මට බොන ලෙස කියයි.  අපි ද සූර පප්පා වගේ වීමට එක හුස්මට එය බී ගනී. එවිට එහි සැරට අපේ ඇඟපුරා සියුම් විදුලියක් යනු දැනෙයි. එවිට ඇත්තටම ඇඟට යම් ජීවයක් ද ලැබෙයි.
අම්මා ඉරිදා පොළේ ගියවිට අනිවාර්යයෙන්ම වෙරළු, උගුරැස්ස, ලොවි, නෙල්ලි වැනි පලතුරු වර්ග කීපයක් රැගෙන එයි. ඉරිදාට අම්මා අපි තුන් දෙනාටම කවයි. ලොකු හට්ටියකට බත් බෙදා ගන්නා අම්මා අපි තුන්දෙනාටම පිලිවෙළට කවයි. බත් හට්ටිය අවසන් කිරීමට පෙර අප කෑම ප්‍රතික්ෂේප කලොත් අම්මා කරන්නේ බත් ගුලි තුනක් ගසා පිඟානක තබා එක් එක් ගුලිය අපි තුන්දෙනාට බෙදා පිඟාන කරකවයි. කරකවා තම තමන්ට අයිති ගුලිය පෙන්නන්ට කියයි. අපි පෙන්වන ගුලිය නිවැරදි යයි පවසා එය අපිට කවයි. මෙසේ උපක්‍රමයෙන් බත් හට්ටියම අවසන් කරයි.
අම්මා ඉස්සො, දැල්ලෝ, කකුළුවෝ වැනි කෑමක් උයන්නේ කලාතුරකිනි. එසේ ඉව්වත් එහි උෂ්ණය කැපෙන ලෙස මුං ඇට හෝ පළා මැල්ලුමක් හෝ සාදයි. එවැනි ආහාර සඳහා මුරුංගා කොළ යෙදීම ද අනිවාර්යය වේ. මෙසේ නිතරම අම්මා අපේ පෝෂණය ගැන උනන්දු වූවා ය.