Sunday, December 29, 2013

82 සතිය

දිගු ගමනක් යන අප රැයක් ගත කරන අම්බළමට ගහ මරා ගන්නේ ඇයි ? එවිට එය වෙහෙසකාරී දිගු ගමනක් වේවි.

Thursday, December 26, 2013

මාර දූතිකාව

මාර දුවක් මා අභියස මැවිලා
ඈ වෙත මා අලවන්න බලයි
ඉගිබිඟි කරමින් පියබස් තෙපලයි
මා සිත ඈ ළඟ සසල වෙලා

පහන් සිලකි ඈ දෙන ආලෝකේ
දල්වන්නට සිත මාන බලයි
ගිනිගෙන දැවෙනා පළඟැටි වාගේ
බැදි රා ගින්නෙන් සිත ඇවිලෙයි

පෙණ පිඬ වාගේ රූපය ලෝකේ
බුදු හිමි දෙසු බණ පද සිහිවෙයි
අනියත බව පෙන්වා මා ඈගේ
හිමිහිට හදවත නිසල කරයි

Sunday, December 22, 2013

81 සතිය

යම් සේ රියදුරකු ඉදිරියේ ඇති ප්‍රපාතය දැක එය නොසලැකීමෙන් හෝ තමා රක්ෂණය කිරීමෙන් හෝ වැලකි තිරිංග තද කිරිමට උත්සුක වන්නා සේ අපද මාරයා අමතක කර හෝ මතු බවයට පිං කිරිමින් සිටීමට වඩා ගමනට තිරිංග යෙදීමට උත්සුක විය යුතුය.

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 18

“ඇයි ඉනෝකා“ මට නිකන්ම කියැවුනා. “මට ඔයාට වැදගත් දෙයක් තියෙනවා කියන්න. ම්ම්ම් මේ.... අපි කොහාට හරි යමුද?“ ඉනොකා එහෙම කියලා මගේ දිහා ඇස්දෙක ලොකු කරගෙන බලං හිටියා. ඒ වෙලාවේ එයාගේ ඇස් දෙක දිලිසෙනවා මං දැක්කා.

“ඕ හෝ ප්යාර් හෝගයා කාජල් මිල්ගයා.. හරි හරි චෝරි චෝරි නේ... කම් නහි බාබුජී...පලයන් පලයන් අපි මෙතනම ඉන්නම්“ කියලා  බර්ටියා පපුවට අතකුත් තියාගෙන මොනවද බහු බූත කියවන්න පටන්ගත්තා. ඉනෝකා රවලා බැලුවා බර්ටියා දිහා බැලිල්ලක් ඌ දැක්කනම් බෂ්ම වෙලා යන්න.

මං ටක්ගාලා “ හරි හරි අපි කැන්ටිම දිහාට යන්කෝ “ කියලා ඒ පැත්තට ගියා. එතකොට ඉනෝකාත් පස්සෙන් ආවා. අපි බංකුවක් උඩ වාඩි උනා. වාඩි වෙලා මං ඉනෝකගෙන් ඇහුවා මොනවහරි බොමුද කියලා. “ඔයාට ඕනනම් ගන්න“ එයා කිව්වා. මං ඒ පාර ඇහුවා මොනාද බොන්නෙ කියලා. ඈ “ඕන දෙයක් ගන්න අරවින්ද මට තිබහ නෑ“ කියලා නුරුස්සන විදිහට කිව්වා. “මෙයාට මාර තදියමක්නෙව තියෙන්නෙ“ මං මටම කියා ගත්තා. “ආ හරි හරි, ටී දෙකක් දාන්න“ කියලා මුදලාලිට කියලා “දැන් මොකද්ද ඔච්චරටම ඉස්පාසුවක් නැතිව කියන්න හදන්නේ“ කියලා ඇහැව්වා.

“අර ඔයා අනූෂාට කියල තිබුනේ?“ කියලා ඈ මං දිහා බැලුවා. “ මොකක්ද?“ මංඇහුවා. “ඇයි අනේ ඔයා කියල තිබුනේ අපේ පේරන්ට්ස්ලා කැමතිනම් ඔයා කැමති කියලා“ එයා කිව්වා.
  “ඉතින්“ 
කියලා මං ගානක් නෑ වගේ කිව්වා. මං දන්නවා දැන් මොකාටද මේ එන්න හදන්නෙ කියලා. මගේ පපුවත් දැන් ටික ටික ගැහෙන්න පටන් ගත්තා. “ඉතින් කියන්නේ, මං තාත්තට ඔයා ගැන කිව්වා. තාත්තා කිව්වා එයාට ඔයත් එක්ක කතා කරන්න ඕන කියලා“ ඉනොකා කිව්වා. ඒක ඇහුනා විතරයි මගේ පපුව හිර වුනා. “න්නෑ“ මට කියවුනා. මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බැරි උනා. මං තුෂ්නි:භුත වෙලා බලා උන්නා.
“මොකද අරවින්ද ගල් ගැහිලා වගේ බලං ඉන්නේ. බය වෙන්න එපා අපේ තාත්තා ඔයාට කැමති වෙනවමයි. මොකද ඔයාට තියෙන්නෙත් අපේ තාත්තගෙ ගතිගුණමයි. එයා කතා කරන්නෙත් ඔයා වගේ. දැන් ඔයා මොකද කියන්නෙ අරවින්ද?“ 
“අනේ මන්දා ඉනෝකා, මට නං හිතෙන්නෙ ඔයාගේ තාත්තා හදන්නෙ මට ඔයාගෙන් ඇත් වෙන්න කියලා බල කරන්නද දන්නෑ“ මං කිව්වා. “නෑ නෑ අපේ තාත්තා එහෙම කෙනෙක් නෙවේ. එහෙනං එයා ඒක මටයි කියන්නෙ. මට විශ්වාසයි එයා ඔයාට කැමති වෙනවමයි.“ එක පාරටම එයා කිව්වා. මේක සතුටුදායක ආරංචියක්ද නැත්නම් භයානක ආරංචියක් ද කියලා මට හිතා ගන්න බැරුවයි හිටියේ. අන්තිමට මං කිව්වා “හොඳයි එහෙනම් මං තාත්තව හම්බුවෙන්නම්, එතකන් අපි උන්නු විදියටම ඉමු“ කියලා. ඒ උත්තරේට ඉනෝකා සැටිස් උනේ නෑ. එයා කිව්වා “ හරි කමක් නෑ. මට මේක කියන්න, ඔයා මට ආදරේ ද කියල කියන්න, මට ඒක ඔයාගෙ කටින්ම අහන්න ආසයි“ කියලා.

මං මුකුත් ම කියන්නැතුව ටිකක් වෙලා ඉනෝකාගේ ඇස් දෙක දිහා බලං හිටියා. එයත් මා දිහා බලං හිටියා. එහෙම ඉන්නකොට මගේ ඔලුවේ එයා හම්බවෙච්චි වෙලේ ඉදන් සිද්ධ වෙච්ච හැමදේම මතක් වෙන්න ගත්තා. එයා දැකපු මුල් දවස, එයත් එක්ක කතා කරපු දේවල්, එයා ලස්සනට ඇදගෙන ඇවිත් මා එක්ක ඇස්වලින් කතා කරපු හැටි, මගේ උරහිස උඩ ඔලුව තියන් හිටපු දවස, ඒ ඔක්කොම මැවිලා පෙන්න ගත්තා. අන්තිමට “ඔව් ඉනෝකා, මං ඔයාටආදරෙයි, හැමදාම මං ඔයාට ආදරෙයි“ කියලා කියවුනා. ඒක ඇහුනා විතරයි කෙල්ලගෙ මූණ මලක් වගේ පිපිලා ආවා. “මාත් ඔයාට ගොඩාක් ආදරෙයි පන“ කියලා මගේ අතින් අල්ලා ගත්තා.
ඒ වෙලාවේ අත හිරි වැටිලා සීතල වෙලා ගියා. මං වටපිට බැලුවා, කවුරුත් හිටියෙ නෑ. මං වෙලාව බැලුවම කමයි දැක්කෙ පන්ති පටන් අරගෙන විනාඩි පහලොවක් විතර ගිහින් කියලා. මං දඩබඩ ගාලා පන්තියට දුවන්නයි හැදුවේ. “ අප්පටසිරි පන්ති පටන් අරගෙන, ඉක්මනට යමු ඉනෝකා “ කියලා මං නැගිට්ට විතරයි ඉනෝකා ආයේ මගේ අතින් අල්ලලා “ අද අපි වෙන කොහේ හරි යමු?“ කියලා කිව්වා. 

Next chapter - http://asanka-mind.blogspot.com/2014/01/19.html      

Sunday, December 15, 2013

80 සතිය

පවතින තත්වය තුල සතුටු නොවන්නා සියල්ල ලදත් දුප්පතෙකි.

Saturday, December 14, 2013

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 4

පසුගිය ළිපි දෙක කියවූ අය අතරින් සමහරක්ට පැහැදිලිව ඵස්සයේ සිට තණ්හාවට එන හැටිත්, අවිද්‍යාවෙන් සංස්කාර ඇතිවන හැටිත් තේරුම් ගැනීමට හැකිවන්නට ඇති නමුත් සමහර අයට කිසි දෙයක් නොතේරී යන්නටත් ඇති. (නිකන් මඤ්ඤං වගේ ඇති)
ඒ නිසා ඊළඟ කොටසට යන්න කලින් උදාහරණයකින් ඒ ටික නැවත විග්‍රහ කිරීම සුදුසු යැයි සිතුණා.

යම් රූපයක් මිනිස් ඇසට පෙනෙන විදියත් ඒ රූපයම වෙනත් සත්වයකුට පෙනෙන ආකාරයත් සිතන්න. උදාහරණයකට ඔබ ප්‍රෙඩේටර් නරඹා ඇත්නම් ඒ සත්වයාට මිනිසුන් පෙනෙන්නේ රතු ගිනිගොඩක් වගේ. මොකද ඌට තිබෙන්නේ උෂ්ණත්වයට සංවේදී ඇසක් නිසා. අපිට දෘෂ්‍ය පරාසයට අයත් ආලෝකයට සංවේදී ඇස් තිබෙන්නේ. මේ නිසා අපට පැහැදිලි වෙනවා අපි දකින විදිය හෝ ප්‍රෙඩේටර් දකින විදිය හෝ ඇත්තටම ඒ රූපයේ ස්භාවය නොවන බව. ඇත්තටම ඒ රූපය මොන ස්භාවයද යන්න කිසිවෙකුට මසැසින් දැකිය නොහැකි. එසේනම් අපි දකින, ඇසෙන, දැනෙන, විදින කිසි දෙයක් අරමුණේ ප්‍රකෘති ස්භාවය නොව වෙනත් ස්භාවයක් බව පැහැදිළි ඇති.
 අපිට ලස්සනට පෙනෙන ස්ත්‍රී හෝ පුරුෂ රූපයක් ප්‍රෙඩේටර් ට පෙනෙන විදියට පෙනෙන්න ගත්තොත් ඒ ලස්සන තව දුරටත් එතැන නෑ. අඩුම තරමේ ස්ත්‍රී පුරුෂ භාවයවත් දකින්නට නෑ. එසේනම් මේ ලෝකය අපට පෙනෙන ආකාරය සම්පූර්ණයෙන්ම මනස විසින් නිර්මාණය කරන ලද්දක් මිස සැබෑ ලෝකය අපට දකින්නට නෑ.

අපි තව උදාහරණයක් ගනිමු. අපි දන්නවා අපේ ඇස සංවේදී වන්නේ ආලෝකයට පමණයි. එනම් අපට පෙනෙන්නේ වර්ණ ගොඩක් විතරයි. මේ වර්ණ එකක් උඩ එකක් ලෙස පිහිටීම මගින් අපට විවිධ රූප නිර්මාණය කරල පෙන්වනවා. චිත්‍ර ශිල්පියෙක් උනත් කරන්නේ මේ ටිකම නේද?. විවිධ වර්ණ එක මත එක උලා විවිධ රූප මතු කරනවා. ඒ වාට අපි වර්ණ ගොඩක් නොකියා ගසක්ය, මලක්ය, මිනිසෙක්ය ආදී නම් දෙනවා. මේක තමයි මුලාව, අවිද්‍යාව. අපි දකින දකින ඒවට ආලෝක කිරණ නොකියා විවිධ හැදින්වීම් නැතිනම් සංඥා ලබා දෙනවා. එසේනම් මේ සකස් කිරීම කරන්නේ විඥානය මගින් අවිද්‍යාව හෙවත් නොදන්නා කම නිසයි. මේ නිසයි බුදු හාමුදුරුවෝ විඥ්‍යානය මායාකාරයෙක් වගේ කිව්වෙ. නැති දෙයක් ඇති දෙයක් ලෙස පෙන්වනවා. නිකන්ම නිකන් වර්ණ ගොඩක් මේ ඉන්නේ උඹේ අම්මා, මේ උඹේ කෙල්ල, මේ උඹේ තරහකාරයා ආදී වශයෙන් මවා පෙන්වනවා. එසේනම් අවිද්‍යා පච්චයා සංස්කාරෝ යන්න හැම මොහොතෙම සිද්ධ වන දෙයක්.

ඒ හැම මොහොතකම ස්පර්ෂයත්, වේදනාවත්, තණ්හාවත් ඇතිවෙනවා. ඒසේනම් අවිද්‍යා නිසා වැරදි සංස්කාර ඇතිවන හැමවිටම ස්පර්ෂයත්, වේදනාවත්, තණ්හාවත්, උපාදානත් ඇතිවන බව පැහැදිලි. මෙහි උපාදාන යනු දැඩි උවමනාවයි. අනාගතය ගැන ඇති බලාපොරොත්තුවයි. එය වඩාත් පැහැදිලි ලෙස ඊ ළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.  

ගැටළු හෝ විවේචන ඇත්නම් ඉදිරිපත් කරන්න. ඔබට නිවන් සුව ලැබේවා. !

Sunday, December 8, 2013

79 සතිය

ඔබේ සතුට නැති කරගත හැක්කේ ඔබට පමණමයි. අන් අයට කලහැක්කේ අනුබල දීම පමණයි.

Saturday, December 7, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 17

උඹට කිව්වට මොකද ඒක ලව් ලෙටර් එකක් නොවේ. එයාගේ තාත්තවයි මාවයි කම්පෙයාර් කරල එවපු එකක්. මං ළග ඉන්නකොට එයාට දැනනෙන්නේ තාත්තා ලඟ ඉන්නවා වගේලූ, තාත්තගේ දාඩිය සුවඳ මං ගාවින් දැනෙනවලු. එයා තාත්තට ගොඩාරියක් ආදරේලූ. තාත්තා නැති දවසක ඒ අඩුව පුරවන්න පුළුවන් එකම කෙනා මං විතරයිලු. ඔන්න ඔය වාගේ විකාර තමා වැඩි හරියක් තිබුනේ. කොහොම හරි යන්තම් සනීප වේගෙන එනකොටම ඒ ලියුම ලැබිච්ච එකෙන් උනේ ආයේ හිත ඔද්දල් වෙන එක.
මං ඒ යොජනාව ගැන සෑහෙන්න කල්පනා කලා. එයා මොනා කීවත් මචං මං අප්ප නැති අන්තිම දුප්පත් කොයි වෙලේ ජොබ් එක නැති වේද දන්නෙ නැති නිකමෙක්. ඒ වගේ, පෝසත් රටේ සුප්‍රසිද්ධ බිස්නස් කාරයෙක්ගේ දුව දෙයිද බං මට. මං ඊළඟ සතියෙ පන්ති ගිහින් ලියුම කියෙව්වෙ තියා දැක්කෙවත් නැති ගානට උන්නා. ඒත් වෙනදා වගේ එදා ඉනෝකාත් එක්ක සැහැල්ලුවෙන් හිනා වෙලා කතා කරන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ.
එදා රෑ අනූෂා ආවා මගේ කාමරේට. ඇවිත් මගෙන් ඇහුවා "අරවින්දත් එක්ක මට ටිකක් කතා කරන්න පුළුවන්ද?" කියලා. මං කිව්වා "අපෝ පුළුවන්, ඇයි දැන් ඔය යසට කතාකලේ කියලා. "විහිළු නෙවේ මෝඩයෝ, මං ආවේ ඉනෝකගෙන් බේරෙන්න බැරි කමට, අර ලියුමට උත්තරයක් ගන්න කියලා ඒකිගෙන් එක වදයයි" කියලා අනූෂා ඇවිත් ලියන මෙසේ උඩ වාඩිඋනා.
ඒ පාර මං ඇහුවා "ඇයි අනූෂා ඔයා ඔච්චර මෝඩද, තේරෙන්නැද්ද ඉනෝකායි මායි අහසයි පොළවයි වගේ කියලා. ඔච්චර උඩ අතු අල්ලන්න ගිහින් අතපය කඩාගන්න මට බෑ" කියලා.

ඒ පාර එකී කියනවා "ඔයා සල්ලි වලින්ද ආදරේ මනින්නෙ අරවින්ද, මං ඉනෝකා ගැන හොදට දන්නවා, එයා අපි වගේ නෙවේ හරිම හොද ළමයෙක්, කවදාවත් කොල්ලෙක් එක්ක රවුම් ගහලවත් මං වගේ ක්ලබ් ගානේ ගිහින්වත් නෑ. එයාලට සල්ලි වලින් වැඩක් නෑ. තියෙන සල්ලිවලට කරන්න දෙයක් නැතුව එයාලගේ ඩැඩි දන්සැල් දානවා. එයාලට ඕනේ ඔයා වගේ උගත් බුද්ධිමත් නිහතමානී කෙනෙක් මිසක් තව සල්ලි කාරයෙක් නෙවේ." කියලා.
මටම පුදුමයි මේ අනූෂාමද කියලා. එයා ඔය තරම් හැඟීමෙන් කතා කරනවා මං කවදාවත් අහල නෑ. මට කට උත්තරත් නෑ. අන්තිමට මං කිව්වා "මේ ගැන මං තව ටිකක් කල්පනා කරන්න ඕන. ඔයා මොනා කියැව්වත් ඉස්සෙල්ලම ඒ දෙමව්පියන්ගේ අවසරය ගන්න ඕන" කියලා.
ඒ පාර අනූෂා "මේ මොන මොඩයෙක් ද මන්දා, කොයි ලොකෙද දෙමව්පියන්ගෙන් අහලා ලව් කරන්නේ. මෙයාව නම් හදන්න බෑ" කියාගෙන ගස්සගෙන ගියා.  



ඊට පස්සෙ සති දෙකක් විතර කිසි හැල හොල්මනක් නැතිව ගෙවිලා ගියා. ඔන්න එක දවසක් ඉනෝකා ලස්සනම ලස්සන දම්පාට ගවුමක් ඇදලා කොණ්ඩේ ලස්සනට ගොතලා මල් කුමාරියක් වගේ පන්ති ආවා. එයා එදා අමුතු සතුටකින් උන්නේ. අපි සෙට් එක උන්නු තැනට ඇවිත් මා දිහා හොරෙන් බලලා  බිම බලාගෙන තනියම හිනා වෙනවා. ටිකක් වෙලා නිෂ්ශබ්දව ඉදලා එකපාරටම "අරවින්ද" කියලා හෙමිට බිම බලාගෙනම කතා කලා. ඒක කොච්චර ලයාන්විතව කිව්වද කිව්වොත් හැමෝම තම තමන්ගෙ කතා නවත්තලා ඉනෝකා දිහා බැලුවා.

Next chapter - http://asanka-mind.blogspot.com/2013/12/18.html

Sunday, December 1, 2013

78 සතිය

කෙතරම් දුක් මහන්සියෙන් ආර්ථික දියුණුව ලැබුව ද සියල්ල මොහොතින් නැතිවිය හැක. නමුත් මොහොතක උත්සහයකින් ලබා ගන්නා අධ්‍යාත්මික දියුණුව නැති නොවේ.

Wednesday, November 27, 2013

නොදනි සිත කොහෙද කියා

මට නින්ද නොආවේ නින්ද නොආවේ නින්ද නොආවේ
හද සැංගුනානේ සැංගුනානේ සැංගුනානේ

මට නින්ද නොආවේ  හෝ........
මට නින්ද නොඑවී හද සැඟවේවී ඉවසා ගන්නට බෑ
නොදනි සිත කොහෙද කියා //

මුළු රෑ සීනෙන් ඔබෙ වත පමණයි මා දුටුවේ
නිදි නැති රෑ ඔබ රහසින් මගෙ සිහියට එන්නේ//
හිමිහිට මා වෙත ලංවෙලා - සවනට මොනවද මුමුණනා//
මට දෙනවද පහදා ඇයි ඔබ සැමදා මා සිත ගෙන යන්නේ
නොදනි සිත කොහෙද කියා ////

සිතනැති කය සයනේ තනිවී මේ රාත්‍රියේ
එහෙ මෙහෙ පෙරැලෙයි නින්දක් නෑ මට ප්‍රේමියේ//
මට මා නැති වී යයි කියා - යන්නෙමි හදවත සොය සොයා //
මට හදවත ආයේ දෙනවද මාගේ එය ඔබ ලඟ නොවෙදෝ
නොදනි සිත කොහෙද කියා ////

මට නින්ද නොආවේ.....//

Sunday, November 24, 2013

77 සතිය

මට ප්‍රේම කරන සිල්ලෝ මට කලින් මැරී යහපත් තැනක වහා ඉපැදේවා !

Thursday, November 21, 2013

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 3

වේදනාවට ස්පර්ශය හේතුවෙන විදිය ගියවර ලිපිය මගින් අපි දැනගත්තා. එහි දී මා කල විග්‍රහයේ තිබුනේ පිටින් අපිට මේ මොහොතේ අරමුණු ලැබෙන විදිය. ඒ විදියට භාහිර අරමුණු ලැබෙන විට සංඥා සකස් වන බව එහි දී මා සඳහන් කලා. නමුත් එහි තවත් දෙයක් තියෙනවා දැනගත යුතු. එකම අරමුණ ඉන්ද්‍රියන්ට ස්පර්ශ වුනත් එක් එක් අවස්ථාවල ලැබෙන සංඥාව වෙනස් වන්නේ ඇයි?

උදාහරණයක් ලෙස වෙස්මූණක් දකින කුඩා දරුවකුට යකකුගේ සංඥාව ඇවිත් බය වෙනවා. ඒ ළමයාම වැඩිහිටියෙක් වෙන විට එන්නේ වෙස්මූණක් කියන සංඥාව. ඒ නිසා ඔහු තවදුරටත් බය වෙන්නෙ නෑ. ඒකට හේතුව තමයි අවබෝධයේ වෙනස් වීම. නැත්නම් ප්‍රඥාවේ වෙනස. කුඩා ළමයාගේ නොදැනීම නිසා වැරදි සංඥාවකුත්, වැඩිහිටියා දන්නා නිසා නිවැරදි සංඥාවකුත් ලැබෙනවා. මෙහිදි තව දෙයක් පැහැදිලි කරගත යුතුයි. එනම් ළමයා බය උනේ සංඥාවට ම නොව සංඥාවට අනුව සකස් කරගන්නා “යක්කු මාව මරයි හෝ කයි හෝ“ යන කල්පනාවටයි. නැත්නම් චේතනාවටයි. එවැනි චේතනාවක් ඇතිවුනේ නොදන්නා කම නිසයි.
ඇත්තටම ඒක වෙස්මූණක් මිස යකකු නොවන බව දන්නේ නම් වැරදි සංස්කාර ඇති වන්නේ නෑ. ඒ නිසා අවිද්‍යාව නිසා වැරදි සංස්කාර ඇතිවනවා කියන්න පුලුවන්. මේ අවිද්‍යාව නිසා වැරදි සංස්කාර ඇතිවීම සෑම මොහොතකම වන දෙයක්.

මෙහිදී මම අවිද්‍යාව නිසා වැරදි සංස්කාර ඇතිවනවා යැයි කීවේ, විද්‍යාව නැතිනම් සත්‍ය දන්නා බව නිසා සංස්කාර ඇති නොවන්නේ නැති නිසා. ඉහත උදාහරණයේ වැඩිහිටියා එය වෙස්මූණක් බව දැනගත්ත පසු ඔහුටත් ඒ පිළිබඳ නිවැරදි සංස්කාරයක් ඇති වෙන බව පේනවා. (මෙහි දී එය වෙස්මූණක් ලෙස දැනීම ත් නිවැරදි සංඥාවක් නොවේ. නමුත් උදාහරණයේ හැටියට එය නිවැරදි සංඥාව ලෙස ගන්න)

කලින් ලිපියේ සදහන් කල උදාහරණයේ දී ද අප සඳහන් කල “පේනවා“ යන වචනයේ සංඥාව එන්නේ තවත් සංඥා කීපයක් සමගින්. නිත්‍ය සංඥාව හෙවත් දිගටම පෙනෙන්නේ කලින් දුටු “පේනවා“ යන වචනයම ලෙස හැ‍ගෙන සංඥාව අවිද්‍යාව නිසා හට ගන්නා එක් වැරදි සංඥාවක්. මේ නිසා අවිද්‍යාව  වැරදි සංස්කාර ඇති කිරීමට හේතු වන හැටි පැහැදිලි ඇතැයි සිතමි.

ඒ නිසා වැරදි දැනීම් ඇතිතෙක් අපට ලැබෙන අරමුණු අල්ලා ගන්නේ වැරදි ආකාරයටමයි. ඒ නිසා ඇතිවන සංස්කාර හෙවත් චේතනා ද වැරදි වේ. දැන් අපිට ස්පර්ශය නිසා වේදනා ඇතිවන හැටිත් ඒ වේදනාවන් අවිද්‍යාව නිසා වැරදි ලෙස අල්ලාගන්නා හැටිත් පැහැදිලි. මේ වැරදි හදුනාගැනීම නිසා වේදනාව නිත්‍ය දෙයක් නැතිනම් මොහොතකට හෝ නොවෙනස්ව පවතින දෙයක් ලෙස ගන්නවා. ඒ නිසා ඒ වේදනාවට එක්කො කැමති වෙනවා එක්කො අකමැති වෙනවා නැතිනම් එය නොසලකා හරිනවා. නොසලකා හැරියොත් එතනින් එහාට එම චක්‍රය ගමන් කරන්නෙ නෑ. නමුත් කැමැත්තක් හෝ අකමැත්තක් ආවොත් එය තණ්හාව ලෙස හදුන්වනවා. වේදනාවක් නොදැනුනොත් කැමැත්තක් හෝ අකමැත්තක් ඇතිවන්නේ නැති නිසා තණ්හාවට වේදනාවත් හේතු වෙනවා. ඒ වගේම ඉහත සදහන් කල ආකාරයට වැරදි හදුනාගැනීමත් නැතිනම් අවිද්‍යාවත් හේතු වෙනවා.
නමුත් අවිද්‍යා පච්චයා තණ්හා නොකියා වේදනා පච්චයා තණ්හා කියල තියෙන්නේ ඇයි කියල පස්සෙ සොයා බලමු. දැන් අපි පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා සහ අවිද්‍යා පච්චයා සංස්කාර කියන කොටස් තුන සාකච්ඡා කලෙමු. ඒ ගැන ඔබේ අදහස්, ගැටළු හා විවේචන ඉදිරිපත් කරන්න.

ඔබට නිවන් සුව ලැබේවා. !
  

Saturday, November 16, 2013

76 සතිය

මා වඩාත් අපහසුතාවයට පත්වන්නේ මට ප්‍රේම කරන අය නිසා මිස මාව අප්‍රිය කරන අය නිසා නොවේ.

Monday, November 11, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 16

එතනින් එලියට ඇවිත් කෙලින්ම වැඩපලට ආවා. එතකොටත් මහත්තයලා බිල්ඩිමේ ස්ලැබ් එකේ ඩැඩ බලනවා. මාව දැක්ක ගමන් මහත්තයා ඇහැව්වා “මොකද අයිසෙ පරක්කු, තැන හොයාගන්න අමාරූ උනාද “ කියලා. මං ඉතින් “ආ.... ආ ඔව් ඔව් ටිකක් විතර“ කියලා ශේප් උනා. ඊට පස්සෙ මහත්තයා මගෙන් ඇහුවා “ සෝ, හව් ලොන්ග් විල් යු හෑව් ටු ස්පෙන්ඩ් ෆිනිශ් දිස් සෙකන්ඩ් ෆ්ලෝර් අරවින්ද?“ කියලා. මට එතකොටත් ඉංග්‍රිසි එච්චර දන්නෑ. ඒත් කියන එක කේරුම් ගන්න පුලුවන් කම තිබුනා. මං “හ්ම්ම් වන් මන්ත් සර්“ කියලා කිව්වා.
 “ඕ නෝ නෝ අරවින්ද., මිස්ටර් ෆ්‍රනාන්ඩෝ ආස්ක් ඉට් බිෆෝ නිව් ඉයර් ෆෙස්ටිවල්, කාන්ට් වි ඩු ඉට් ඉන් හරී?“ කියලා මහත්තයා ඇහුවා. මං කිව්වා “ බිෆෝ නිව් ඉයර් නම් සර්, වී වර්ක් නයිට් ඇන්ඩ් ඕකේ සර්.“  කියලා. ඊට පස්සෙ මුදලාලි කිව්වා “ඕකේ එහෙනම් කොහොමහරි ලබන 10 වෙනකොටවත් වැඩේ ඉවර කරනවා. රෑ වැඩ කරනවට කොල්ලොන්ට පඩි ටිකක් වැඩිපුර ගෙවනවා“ කියලා.
ඊට පස්සෙ අපි ඔෆිස් එකට ගිහින් පේමන්ට්ස් ගැන බජට් එක ගැන කතා කරගත්තා. ඒ වැඩේට හිරවෙච්ච හින්දා අනූ ගැන හොයන්න වෙලාවක් ලැබුනෙම නෑ. අවුරුද්ද වෙනකොට කන්ට්‍රැක්ට් එක ඉවර කරගත්ත නිසා සති දෙකක නිවාඩුවකට ගෙදර ආවා.

ගෙදර ඇවිල්ලා අම්මගේ අසනීපෙට බෙහෙත් එහෙම අරන් දීලා, උඹලයි ගෙදරත් ගිහින් අම්මව බලා ගන්න කියලා පේමා නංගිටත් කියලා ආයෙ කොළඹ ආවා. එතකොට අනූෂා ට එක්සෑම් අන්තිම හරිය. එයයිගේ එක්සෑම් ඉවර උනාම දවසක් අපි සෙට් එක ගියා මරදානේ හෝල් එකට චිත්‍රපටියක් බලන්න. එදා පොඩි වැඩක් උනා. කොහොම හරි ඉවෝනුයි අනූෂායි කෙලවරම සීට් දෙක අල්ලා ගත්තා. ධම්මිට අනූෂා ළඟ වාඩිවෙන්න ඕන කියලා ඊ ළඟට ධම්මි වාඩි උනා, බර්ටියා පැනපු ගමන් ධම්මි ළඟ වාඩි උනා. ඊ ළඟට මං වාඩි උනා. ඉනෝකා අන්තිමට මට එහා පැත්තේ. බර්ටියා නම් ටිකක් වෙලා ධම්මිට අනං මනං කියෝ කියෝ ඉදලා ශ්‍රී දේවී නටන දිහා කන්න වගේ බලන් උන්නා. මට නම් මොලෝ මලදානයක් තේරුනේ නෑ. අරුන් දෙන්නනම් මෙලෝ සිහියක් නැතුව ලව්. මටනම් විලි ලැජ්ජාවේ බෑ. මහත්තයා මේවා දන්නවනම් කියලයි මට හිතුනේ. ධම්මිත් හිනාවෙවී බයිස්කෝප් එක දිහා බලන් උන්නා. එයාටත් මුකුත් තෙරීලා නෑ. ඔහේ පිංතූර බලබල ඉදලා තියෙන්නේ. ඉනෝකාට ටිකක් වෙලා යනකොට නින්ද ගිහිල්ලා, දන්නෙම නැතුව ටික ටික මගේ උරහිස උඩ ඔලුව. කවදාවත් කෙල්ලෙක්ගෙ ඔලුවක් උරහිසේ තිබිල තියෙන එකක්යෑ. මාව ගැස්සිලා වගේ ගියා. මොනා උනත් ලස්සන කෙල්ලනෙ මාත් හෙලවෙන්නැතුව දිගටම උන්නා. හේහේ..හේ.

කොහොම හරි කොල්ලා එලියට එනකොට හිත ගැස්සිලා තිබුනේ. ඒත් ඉනෝකා කියන්නේ ගොඩක් පෝසත් කෙල්ලෙක්. ඕවා හරියන දේවල් නෙවේ. නිකන් කලු ගලේ ඔලුව ගහගන්නේ මක්කටෙයි කියලා මං එදා රෑ තිස්සෙම ඒ ගැන කල්පනා කරලා කරලා, නියපොත්තෙන් කඩන්න පුලුවන් එක පොරවෙන් කපනකන් උඩුදුවන්න නොදී හිත හදා ගත්තා.

පස්සෙ තමා දැනගත්තේ ගෑනී ඕන කමින්මයි ඔලුව තියන් ඉදල තියෙන්නෙ කියලා. මොකද ඊට සති දෙකකට විතර පස්සෙ එයා මට ලියුමක් එවලා තිබුනා. එදාට කලින් සතියේ කොහොමහරි ඉනෝකා පන්ති ආවේ නෑ.
ඊ ළඟ සතියේ ඒකී මොකද කරේ ගිය සතියෙ වැඩ බලාගන්න කියලා අනූෂාගෙන් බොරුවට පොත ඉල්ලුවා. අනූෂා ගෙදර වැඩ කරල නෑ කියලා මගේ පොත ඉල්ලලා ඉනෝකාට දුන්නා. ආයේ මට පොත ලැබුනේ ඉනෝකාගේ ආදර හසුනත් එක්ක. ඒක තමා මට මුලින්ම ලැබුණු සෙනෙහෙ කොලේ හහ්..හහ්...හා.....    

Next chapter - http://asanka-mind.blogspot.com/2013/12/17.html

Friday, November 8, 2013

75 සතිය

හිඟන්නෙක් උනත් ප්‍රකෝටිපතියෙක් උනත් ආයේ මැරිල උපදිනකොට ඇඟේ නූල්පටක්වත් නෑ.

Saturday, November 2, 2013

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 2

පටිච්ච පමුප්පාද ධර්මය මේ දවස්වල විවිධ පුද්ගලයන් විවිධ අයුරින් විග්‍රහකරමින් සිටින බව පේනවා. මේ නිසාම මිනිස්සු තව තවත් පැටලෙනවා. ඒ නිසා මා නැවතත් කියන්නේ ඔබ ඔබ තුලින් මේ දේවල් දකින්න උත්සහ කරන්න. මා කියන දේ මට තේරුන අයුරින් කරන විග්‍රහයක් පමණක් බැවින් යම් ප්‍රමාද දෝෂයක් වේ නම් එය ධර්මයේ වරදක් නොව මගේ වරදකි.

මම අන්තිමට කිව්වා පටිච්ච සමුප්පාදය දැක ගැනීමට ඇති සුදුසුද ක්‍රමයනම් මේ මොහොතේ සිදුවන දේ පිළිබඳ විග්‍රහකර බැලීම කියලා. ඒ අනුව දැන් මේ ලිපිය කියවන විට සිදුවන දේ විග්‍රහ කරන්න කියලා. මන් මට තේරෙන විදියට විග්‍රහයක් කරනවා, ඒක ඔබේ විග්‍රහය හා සසඳා බලන්න. හිතන්න ඔබ දැන් කියවන්නේ පලමු පේලියේ අවසාන “පේනවා“ යන වචනය කියලා.

අපි ඇස්දෙක  පරිගණක තිරය ඉදිරියේ විවෘත කල විට එහි යටිකුරු ප්‍රතිබිම්භයක් ඇසේ දෘෂ්ටිවිතානයේ සෑදෙනවා. නමුත් අපිට පේන්නේ එක වචනයක් හෝ අකුරක් පමණයි. ඊට හේතුව අපි අවධානය යොමු කරන්නේ ප්‍රතිබිමභයේ එක් ලක්ෂයකට විතරක් නිසා. දැන් අපි ඒ වචනයට අවධානය යොමුකිරිමත් සමඟම ඇසේ ස්නායූ පද්ධතිය උත්තේජනය වී  සංඥාවක් නිකුත් වෙනවා. අපි ඒ සංඥාව අපේ දැනුමට අනුව හදුනාගන්නවා, ඒ මේ වචනයයි එහි තේරුම මෙයයි කියලා. ඊළඟට අපි ඒ වචනය අපි කියවමින් සිටි වාක්‍යයට සම්බන්ධ කරලා සම්පූර්ණ තේරුම වටහාගන්න උත්සහ කරනවා. ඊළඟට කැමැත්ත පරිදි ඊ ළඟ වචනය බැලීම හෝ වෙනත් දෙයකට අවධානය යොමු කරනවා. මේ දේ තමයි මට තේරෙන විදියට මේ ලිපිය කියවද්දි සිද්ධ වන්නේ.

දැන් අපි ඔය සිද්ධිය අප දන්නා පටිච්ච සමුප්පාදයට යොදා බලමු. මුලින්ම ඇසේ ඡායාව හටගත්තා. අවධානය යොමු කිරීම නැත්නම් මනසිකාරය මගින් එක් ලක්ෂයක් අල්ලා ගත්තා. ඒතකොට ඒකට කියනවා ස්පර්ෂය කියලා. මේ ස්පර්ශයත් එක්කම හටගත්තු උත්තේජනයට කියනවා වේදනාව කියලා. ඒ සමඟම ඇතිවන “පේනවා“ කියන වචනය අදුනා ගැනීමට සංඥාව කියන්න පුලුවන්. අපේ දැනුමට අනුව එහි තේරූම දැන ගැනීමට සංස්කාරය නැතිනම් චේතනාව කියන්න පුලුවන්. මේ එක් එක් අවස්ථා වලදී එනම් මනසිකාරය, වේදනාව දෑනීම, සංඥාව දැනීම, ඒ අනුව චේතනාව ඇති කිරීම යන දැන ගැනීමේ ක්‍රියාවන් සිදුකල ශක්තියට විඥ්‍යානය කියන්න පුලුවන්. මෙහි දී මනසිකාරය නැතිනම් අවධානය යොමු කිරීම නැතිව ඉතුරු ක්‍රියාවන් සිදු නොවන බවනම් මා ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නා කරුණකි. ඊට අමතරව මට තේරෙන ලෙසට නම් ස්පර්ශය සිදුවන මොහෝතේම ඒ හේතුවෙන් වේදනාව ඇතිවන අතර සංඥාවද ඇතිවන්නේ ස්පර්ශයත් සමඟම මිස වේදනාව නිසා හටගන්නක් නොවේ. මොකද කටුවකින් ඇන්නත්, මදුරුවෙකු ඇන්නත් දැනෙන වේදනාව සමානයි. නමුත් සංඥාව වෙනස්.

දැන් මගේ විග්‍රහය ඉවරයි. එය ඔබේ විග්‍රහය හා ගැලපෙනවද බලන්න. නැතිනම් ඒ බව මෙහි දන්වන ලෙස මා ඉල්ලා සිටිමි. අපි සාකච්චා කල කොටසට පටිච්ච සමුප්පාදයේ, ඵස්ස පච්චයා වේදනා කියන කොටස ඇතුලත් බව නම් පේනවා. එතකොට අනෙත් කොටස් සම්බන්ධ වන්නේ කොහොමද? ඒ ගැන අපි ඊ ළඟ ලිපියෙන් සොයා බලමු.

ඔබට නිවන් සුව ලැබේවා !   

Friday, November 1, 2013

74 සතිය

යමක් හෝ කෙනෙක් ගැන සිතිය යුත්තේ මම එහි භාරකරු මම එයාගෙ තාත්තා, මම එයාගෙ පුතා,මම එයාගෙ බිරිඳ, මම එයාගෙ සහෝදරයා යනා දී වශයෙනි.

Sunday, October 27, 2013

සරසවි මිතුදම

අවුරුදු තුනක් අසුරූ සැනින් - නොදැනීම වාගෙයි ගෙවිලා ගියේ
නොමැතත් සැකක් පුදුමයි ඉතින් - අද ඊයේ වාගෙයි අප හමුවුනේ

තරහා වුනත් නිකමට වගේ - වෙන්වන්නෙ නෑ හදවත් අපේ
බැදුනා යලිත් රන්රස වගේ - බිදලන්න බෑ සමගිය අපේ

එක්වී අපි කල සෑමදේ - සරසවි බිමේ පවතී සදා
වෙන්වී අපි ගියමුත් රැදේ - මිතුදම අපේ මියෙනා තුරා

Friday, October 25, 2013

73 සතිය

ඔබේ වගකීම් යුතුකම් යැයි සලකන්න. එවිට එය ඔබට කරදරයක් නොවනු ඇත.

Saturday, October 19, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 15

"ඩිපොසිට් ෆයිව් රුපීස් තියල යන්න මිස්ටර්. පැයකට වැඩියෙන් ඉන්න හැම පැය භාගයකටම වන් රුපී ඇඩ් වෙනවා. එහෙමයි මෙහෙ විදිය“ කියලා ඒ ගැනී කිව්වා. මං හොල්මන් වෙලා ගියා. “නෑ නෑ මට එයාව විනාඩි පහකට මුණ ගැහෙන්නයි ඕන“ මං කිව්වා. ඒ පාර ඒ ගැනී ඇහි බැම අකුලලා යටැහින් මා දිහා ටිකක් වෙලා බලා හිටියා. ඊට පස්සෙ “ ඕ... එහෙමද එහෙනම් ඔය ටේබල් එකෙන් වාඩි වෙලා ඉන්නකො“ කියලා එතන උන්නු මනුස්සයෙක්ට කතා කරලා “විල්බට් අර විස්ස කාමරේ ඉන්න ගර්ල්ට කියනවා පොඩ්ඩක් පහලට එන්න කියලා“ කිව්වා.

මං එතන තිබුනු ටේබල් එකේ වාඩිවෙලා ඉන්නකොට අර දොරින් අනූ එලියට ආවා. මට හිතා ගන්න බැරිඋනා ඇත්තටම ඒ එදා මං දැකපු එක්කෙනාමද මේ කියලා. මොකද එයා ඇදන් හිටපු ඇදුමටම එයාට තිබුනේ පුදුම කාමුක පෙනුමක්. දණහිසට දිග රතුපාට සායක් ඇදලා හිටියට ඒක දෙපැත්තෙන්ම පලලා තමයි තිබුනේ. ඇවිදගෙන එන කොට දූරියන් ගෙඩියක ඇටේ පාට කලව දෙක හොදට පෙනුණා. උඩට ඇදලා තිබුනු හැට්ටයෙ නූල තදට ගැට ගහලා නෑ කියලයි මට හිතුනේ. ඊට උඩින් දුහුල් සලුවක් පොරවගෙන හිටියත් රතු පාට බල්බ් එලියට දුහුල් සලුව යටින් හැට්ටයෙන් එලියට පනින්න දඟලන හන්ස යුවලක් වැනි ලැම දිලිසෙමින් තිබුනා. ඇය මං ලඟට එනකන්ම මට තේරුනේ නෑ.

“ඇයි මහත්තයා, ජයසිංහ මුදලාලීගේ පනිවිඩේකටද? “ කියලා අහනකන්ම මං හිටියේ එයාගේ ඇස් දෙකේ අතරමං වෙලා වගේ. ඒ තරම්ම ඒ ඇස් දෙකේ අමුතු සුන්දරත්වයක් තිබුණා. එදා ඈතට දැක්කට එවෙලෙනෙ ලඟට දැක්කේ. කම්මුල් දෙකේ රෝසපාට ගාලා කොණ්ඩේ සූරියකාන්ත මලක් වගේ කොණ්ඩ කටුවක් ගහලා විසිරෙන්න නොදී හිර කරලා තිබුණා. බුලත් කහට නිසා තොල් දෙක රතුම රතු පාටයි. සුවඳ විලවුන් වල සුවඳට නහය කඩාගෙන යනවා. ඉතින් කරූ මං මගේ ශරීරය පාලනය කරගත්තෙ කොච්චර අමාරුවෙන්ද? අරහෙම ඇහුවම තමයි ඒ දැහැනින් මං බිදුනේ.

“ආ...ඕඕ..නෑ නෑ මං මේ ආවේ ඔයාගෙන් යමක් දැනගන්න“ මං කිව්වා. ඊට පස්සෙ  එයා ටේබල් එක ලඟ අනිත් පුටුවකින් වාඩි උනා. “ඔයැයි අපේ සර්රුයි අතරෙ තියෙන සම්බන්ධය මොකක්ද?. ඇයි ඔයැයි වගෙ කෙනෙක් අතේ අපේ සර්ට පණිවිඩ එවන්නේ“ කියලා මං එකපාරටම මගේ හිතේ තිබ්බ දේ කෙලින්ම ඇහුවා. ඒක ඇහුව ගමන් ගෑනි අප්සෙට් ගියා. ඒකි මට කියනවා “ මහත්තයට මොකොටෙයි ඒ වගක්. මහත්තය ආව වැඩේ කරගෙන යන්න මහත්තයා යන්න, ආවා මෙතන තෝම්බුව හොයන්න“ කියලා. ඒ පාර මටත් ටිකක් කේන්ති ගියා. මං කිව්වා “අපේ මහත්තයා වැදගත් මහත්තයෙක් ඔහේ වගේ ගෑණූ අතේ අපේ මහත්තයට පණිවිඩ ගෙනාවම මිනිස්සු ඒ මනුස්සයට කතා හදනවා. ඒ මහත්තයා දන්නෙත් නැතුව ඇති ඔහේ මේ වගේ රස්සාවකුත් කරනවා කියලා. මට ඔයැයිගේ තෝම්බුවක් ඕන නෑ. ඒත් අපේ මහත්තයට කතා හැදෙනවට මං කැමති නෑ“ කියලා. ඒ පාර ඒකී බයවෙලා වගේ මං දිහා බලං ඉදලා “වැදගත් හාහ් හා හා.. වැදගත්“   කියලා හිනා වෙලා ආයෙ  අඩන්න පටන් ගත්තා. “මං දන්නවා මුලු ලොකෙම මිනුස්සුන්ට පෙන්නේ අපේ වැරුද්ද, අපිව මේ තත්වෙට ඇදලා දාපූ අපේ රීරි මාංසෙ හූරන් කන හැත්තට වැදගත් මහත්තැන්ලා විදියට සලකනවා. මට මගේ පාඩුවේ ඉන්න දීලා යන්ඩ මහත්තයා යන්ඩ මෙතනින්“  කියලා අත් දෙකෙන් මූණ වහගෙන ඉකි ගහන්න ගත්තා. හොද වෙලාවට එතන ටිකක් කරුවල තැනක්.

“හරි හරි ළමයෝ අඩන්න එපා. මට සමා වෙන්න. මට ටිකක් තරහ ගියා. ඇත්තටම ඇයි ඔයා නංගි මේ වගේ රස්සාවක් කරන්නේ“ කියලා මං කරුණාවන්ත ස්වරයෙන් ඇහුවා. මොකද අනූ අඩනවා බලන් ඉන්න බැරිතරමටම දුකයි. ඒ ඇඬීමට මගේ පපුව හෝස් ගාලා ගියා. ඊට පස්සෙ එයා අඬන ඒක නවත්වලා ටිකක් වෙලා බිම බලන් ඉදලා ආයේ මං දිහා බලලා ආයෙත් බිම බලාගෙන “ ඒක දිග කතාවක් මහත්තයා“ කියලා තමාටම කියා ගත්තා.

“මං ආසයි ඒ කතාව අහන්න“ මං කිව්වා.
 “ඒක මෙහෙම කියන්න පුලුවන් කතාවක් නෙවේ“ කියලා  අනූ එකපාරටම මං දිහා තියුණු බැල්මක් දාලා “මගේ රූම් එකට යන්ද“ කියලා ඇහැව්වා. ඒ බැල්මට මාව පිස්සු වැටුනා.
 “ නෑ නෑ මං වෙන වෙලාවක එන්නම් ඒ කතාව අහන්න, මට දැන් ඉක්මනටම යන්න ඕන. මුදලාලී බලාගෙන ඇති“ කියලා මං ඔරලෝසුව දිහා බලලා නැගිට්ටා. නැගිටලා සාක්කුවෙන් රුපියල් දෙකේ කොලයක් අරන් එයාගෙ අතින් තියලා “මං අනිවාර්යයෙන්ම ඔයාගෙ කතාව අහන්න එනවා“ කියාගෙන එතනින් පිටවෙලා ආවා.

Next chapter - http://asanka-mind.blogspot.com/2013/11/16.html
   

Thursday, October 17, 2013

72 සතිය

මං ඔයාට ආදරෙයි. ඒත් මට ඔයාව මගේ කර ගන්න ඕනෙ නෑ. මොකද ඔයා වෙන කාටවත් අයිති කර ගන්න බැරි නිසා.

Sunday, October 13, 2013

13 ලිපිය - පටිච්ච සමුප්පාදය

බුදු  දහමේ එන “පටිච්ච සමුප්පාදය“ එහි හරය ලෙසද සමහර තැන්වල දැක්වෙන අතර යමෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමෙන් සෝවාන් වන බවත් දැක්වෙනවා. ඒ අනුව බලන කල පටිච්ච සමුප්පාදය යනු ඉතා ගැඹුරු ධර්මයකි. එබැවින් මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන කරුණු 100% ක් නිවැරදි දැයි මා නොදනිමි. මෙහිදි මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මා අසා ඇති පරිදි හා මා විසින් තර්කානූකූලව දැනගත් කරුණු පමණි. මෙහි සමහර කරුණු මා ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගෙන ඇති අතර ඒවා ඒ ඒ තැන්හී දී ඉදිරිපත් කරමි.

මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ නිතරම මා සැක කොට ඒ සැක දුරු කර ගන්නා ලෙසය. ඒ සදහා මා ඉදිරිපත් කරන කරුණු විවේචනය කිරීමේ පූර්ණ අයිතිය ලබා දෙන අතර එම විවේචනයන් ද්වෙශයෙන් හෝ රාගයෙන් හෝ නොකරන ලෙසද ඉල්ලා සිටිමි.

පළමුව පටිච්ච සමුප්පාදය කවුරුත් දන්නා පරිදි ඉදිරිපත් කර පසුව එක් එක් කාරණා ගැඹුරින් සලකා බලමු.
 සංස්කාර ඇතිවීමට අවිද්‍යාව ද හේතු වේ.
විඥානය ඇතිවීමට සංස්කාර ද හේතු වේ.
නාම රූප ඇතිවීමට විඥානය ද හේතු වේ.
සලායතන ඇතිවීමට නාම රූප ද හේතු වේ.
ඵස්ස ඇතිවීමට සලායතන ද හේතු වේ.
වේදනා ඇතිවිමට ඵස්ස ද හේතු වේ.
තණ්හාව ඇතිවීමට වේදනා ද හේතු වේ.
උපාදාන ඇතිවීමට තණ්හාව ද හේතු වේ.
භව ඇතිවීමට උපාදාන ද හේතු වේ.
ජාති ඇතිවීමට භවය ද හේතු වේ.
ජරා මරණ ඇතිවීමට ජාතී ද හේතු වේ.

මෙහි මා සාමාන්‍ය ක්‍රමයට ටිකක් වෙනස් විදියට එය ඉදිරිපත් කලේ ඒ ඒ ප්‍රතිඵල ලැබීමට ඇති එකම හේතුව එහි සදහන් දෙය නොවන බැවිනි. අපිට වැටහෙන සරළ උදාහරණයකින් කීවොත් ස්පර්ෂය ඇති වීමට සලායතන පමණක් නොව භාහිර රූපද විඥානය ද හේතු වන බැවිනි. ඒ අනුව එස්ස ඇතිවිමට විඥානය හේතු වේ කීවත් වරදක් නැත.

පටිච්ච සමුප්පාදය දැන ගැනීමට ඇති සුදුසුම ක්‍රමය ලෙස මා දකින්නේ මේ මොහොතේ සිදුවන දේ ගැන විමර්ශනාත්මකව බැලීමයි. ඔබත් මේ මොහොතේ සිදුවන යම් සිද්ධියක්, ඒ කියන්නේ භාහිර ලොකේ සිදුවන දෙයක් නොව තමා තුලම සිදුවන සිද්ධියක් ගැන අවබෝධයෙන් යුතුව බලා හිද ඒ ඒ අවස්ථාවේ වන දේ හේතු ඵල වශයෙන් දකින්න. උදාහරණයකින් කීවොත් ඔබ දැන් මෙම ලිපියේ අකුරු දැකීමේ සිට එහි අර්තය තේරුම් ගැනීම දක්වා වන දේ විග්‍රහ කර බලන්න.

ඊ ළඟ කොටසින් මා ඒ විග්‍රහ කරන විට ඔබේ විග්‍රහය ඊට වඩා වෙනස් විය හැක. එවිට ඔබ නිවැරදි යයි දැනුනොත් එය මට දන්වන්න. මන්ද මට අවශ්‍ය මා නිවැරදී කියන්න නොව මගේ මිත්‍යා විශ්වාසයන් බිද ගැනීමටයි.

ඔබට නිවන් සුව ලැබේවා !   

Tuesday, October 8, 2013

71 සතිය

ඔබ ආදරය කරන අයට ඔබ පැවසිය යුත්තේ මං කවදාවත් වෙනස් වෙන්නෑ කියා නොව, මං කොයි වෙලේ වෙනස් වෙයිද දන්නෑ කියාය.

Saturday, October 5, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 14

මිනිහගේ කතාව මට එච්චර ඇල්ලුවෙ නෑ .මට සැකයක් ආවා මෙතන මොකක් හරි හුටපටයක් තියෙනවා කියලා. මොකද මිනිහගෙ මූණ හනිකට වෙනස් වුනා ,මට තේරුනා මිනිහා අමාරුවෙන් බොරු හිනාවක් දැම්මා කියලා. ඒත් මට ආයෙ හිතුනා මගේ හිතේ සැකෙන් බලපු නිසා එහෙම පෙනුනදෝ කියලා. මොකද ඒ ගෑණි ගණිකාවක් උනාට වැඩ කරන්නෙ ප්‍රසිද්ධ කොම්පැණියකටනේ, ඉතින් ඔය ඩෙල්සි නොනා ඒකේ කවුරුහරි වෙන්න ඇති කියලත් හිතුනා. අපේ මුදලාලි මහත්තයත් ලොකු ලොකු කොම්පැණි එක්ක කනෙක්ෂන් තිබුනු කෙනෙක්නේ. කොහොම හරි ඊළඟ දවසෙම මට හෝඩුවාවක් දැන ගන්න ලැබුණා. මොකද මිනිහා මගේ අතේ තමා අර ලියුම යැව්වේ.

පහුවෙනිදා සර් මට කතා කරල කිව්වා "අයිසේ මෙන්න මේ ලියුම අර ඩෙල්සි නෝනාට දෙන්න ඕන. මට හදිස්සියෙම අර මහේන්ද්‍ර මහත්තයා හම්බෙන්න යන්න තියෙනවා. මෙන්න මේ ඇඩ්ඩ්‍රස් එකට ගිහින් බලනවා එතන ඇති ස්ටාර්ස් වයින්ස්ටෝර් කියලා තැබැරුමක්. අන්න ඒකේ කවුන්ටරේ ඉන්න ගෑනූ කෙනාට මේක දෙනවා. දීලා පුලුවන් ඉක්මනට එනවා වැඩපලට, තමුසෙ නැතිව මට අර මහත්තයට ගණන් හිලව් බේරන්න බෑ" කියලා. මං "හා හොදයි මහත්තයා" කියලා කෙලින්ම ගියා වැඩපලට. මොකද මට ඕන වෙලා තිබුණා අර කෙල්ලගෙ නම දැනගන්න. ප්‍රේමයාගෙන් නමත් අහගෙන මං ගියා ඒ කිව්ව තැනට. ඒක කොල්ලුපිටියේ ප්ලේස් එකක්. මං කෙලින්ම ගාලූ පාරට ඇවිත් ගාල්ල බස් එකක එල්ලිලා ඉක්මනට ම කොල්ලු පිටියට ආවා. එතන තැබෑරුමක් කිව්වට නිකන් හෝටලයක් වගේ. අර ගමේ තැබෑරුම් වගේ නෙවේ.

මං කෙලින්ම ඇතුලට ගියා. කවුන්ටරේ ටිකක් තරබාරූ අම්මන්ඩියෙක් හිටියා. දැක්කහම ටිකක් බය හිතෙන පෙනුමක් තිබ්බේ. හැබැයි ඇස් දෙකනම් ලස්සනයි,හොදට දැකල පුරුදුයි වගේ. ගෑණි මං දැක්ක ගමන් කටපුරා හිනාවක් දාලා ටිකක් ඇහිබැම හකුලලා"මේ මහත්තයා දැකල පුරුදුයි වගේ. ඒත් නිච්චියක් නෑ." කියලා කිව්වා. මාත් හිනාවක් දාලා "මේ ඩෙල්සි නොනා වෙන්න ඇති, මං ආවේ ජයසිංහ මුදලාලිගේ පණිවිඩේකට, හැබැයි මං නං මෙහෙ ආවේ පළවෙනි වතාවට" කියලා කිව්වා. ඒ පාර ඒ ගෑනී මහ හයියෙන් හිනා වෙලා "ඕ හොහ් හෝ වෙන්න ඇති වෙන්න ඇති, යස් යස් ඉතින් ඉතින් ජයේ මොකක්ද කිව්වේ " කියලා ඇහැව්වා. මං කිව්වා "මෙන්න මේ ලියුම දෙන්න කිව්වා" කියලා ලියුම දුන්නා. "ඕකේ ඕකේ සන්, ම්ම්.... මුකුත් ඩ්‍රින්ක් එකක් ගන්නවද" කියලා අහලා ලියුම දිහා ටිකක් බලලා ඒක ලාච්චුවට දා ගත්තා.

"නෑ මට මොකුත් ඕන නෑ. මට පුලුවන්ද අර අනූති  කියන ගෑණු කෙනාව හම්බවෙන්න" කියලා මං ඇහැව්වා. ඒ පාර ඒ ගැනී ටිකක් පුදුමෙන් වගේ බලං ඉදලා ආයේ අමුතු හිනාවක් දාලා "ඕ හොහ් හෝ යස් යස් වයි නොට් බෝයී වයි නොට් ඔය කෙලවරේ තියෙන ඩෝ එකේන් උඩට නැග්ගාම  කෙලින්ම හෙවන්" කියලා ඒ පැත්තට අත දික්කරලා පෙන්නුවා.

ඒ කාමරේ මේස වටේට පුටුවල මිනිස්සු බීබී කයිය ගහනවා. ඒක ඇතුල බියර් ගදේ බෑ. ඒකේ කෙලවරට වෙන්න දොරක් තිබුණා. මං "ස්තූතියි නොනා කියලා ඒ පැත්තට යන්න හදනකොටම ඒ ගෑනී " ඕ.. . මිස්ටර් පොඩ්ඩක් ඉන්න" කියලා කිව්වා.       

Next chapter - http://asanka-mind.blogspot.com/2013/10/15.html

Saturday, September 28, 2013

70 සතිය

දැන දැන කරන ලොකුම මෝඩකම නම් වෙනස්වන දෙයහි ඇලීමයි.

Thursday, September 26, 2013

අබිනික්මන

කෝපි මල් සුවද දැනෙනා වදුලු වන පෙතේ
මා හුදකලා උනත් නුඹ ලඟ සිටිනු සේ දැනේ
මුලු ලෝකයම මකා දැමුවත් මම මගේ සිතේ
නුඹ මතක නැති කරන්නට ඇයි මට නොහැකි උනේ

අබිනික්මන් කෙරුවත් මා හැරදා ගිහිගේ
නුඹ සක්මන් කරන්නෙ ඇයි තවම මගෙ හදේ
යලි හොල්මන් කරමින් නුඹ හදවතෙහි මගේ
පෙම් යදමින් සන්තානයෙ තව තවත්  බැදේ

හැම පැතුම් දවා දැමුවත් සව්සිතින් මගේ
නුඹ ඉතිරි උනේ කොහොමද මට කියා දෙන් හදේ
මට එතෙර වන්න සහය දෙන්න මේ සසර ගගේ
නුඹ දුන් පොරොන්දු අද අමතක උනා දෝ ලදේ

Saturday, September 21, 2013

12 ලිපිය - ගැටළු වලට පිළිතුරු 4

අද ලියන්න යන්නේ මේ ලිපි පෙළහි අවසාන ලිපිය. අන්තිමට අපි නතර උනේ මොකක්ද යතාර්ථය දැන ගැනීමේ ඇති වැදගත්කම කියන ප්‍රශ්නෙන් සහ යතාර්ථය දැන ගැනීමෙන් විමුක්තිය ලැබිය හැකිද යන ප්‍රශ්නෙන්.

යතාර්ථය කියන්නේ විද්‍යාවයි. එනම් මේ ලෝකේ නියම තත්වය දැන ගැනීමයි. විද්‍යාවෙන් ලැබෙන ප්‍රයෝජන ම යතාර්ථය දැන ගැනීමෙන් ද ලැබෙනවා. එකක් තමයි අපිට යම් අවස්ථාවන් වලදි තින්දු තීරණ ගැනීමට උපකාර වෙනවා. උදාහරණයකින් කියනවනම් තමන් ආදරය කරන කෙනෙක් තමන්ව දාලා ගියාම මොකද කරන්නේ? එයත් එක්ක තරහ වෙනවද? අඩ අඩා දුක් වෙනවද? නැත්නම් ගිය එකා ගියාවේ කියල වෙන එකෙක් එක්ක යාලු වෙනවද? නැත්නම් සියදිවිහානී කරගන්නවද? නැත්නම් එයාව මරාගෙන මැරෙනවද?
දැන් යතාර්ථය දන්න කෙනා දන්නවා ඒ දාල ගියකෙනා මං යාලු උන කෙනා නෙවෙයි, වෙනස්වන කයකුත් සිතකුත් පමණයි. මම එයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු නිසා මගේ මෝඩකම නිසා තමයි මට මෙවැනි දුකක් ඇති උනේ කියලා. එහෙම දන්න කෙනාට පුලුවන් හිත හදාගෙන මීට පස්සෙ අනිත්‍ය වෙලා යන දෙයකට ප්‍රෙම නොකර ඉන්න.

දෙවැනි ප්‍රයෝජනය තමයි දන්නා බව. නැතිනම් සැක නැති බව. යමක් සිද්ධ උනාම එතැන සිද්ධ උනේ මොකක්ද? ඇයි එහෙම උනේ කියන එක වැටහෙනවා. එතකොට තමන් ඒ ගැන දන්නා බව නිසා සිතේ සැක පහල වෙන්නෙ නෑ. ඒ වගේම වැරදි මත වලට යන්නෙ නෑ. කවුරුත් දන්න උදාහරණයක් කිව්වොත් අර කණ්නාඩියක් නොදැකපු ගමරාල මේ මගේ තාත්තාගේ රූපය කියලා කණ්නාඩියට දුම් අල්ලන්න ගියා වගේ වැඩ වෙන්නෙ නෑ. යතාර්ථය දන්න කෙනා දන්නවා දර්පණය කියන්නෙ මොකක්ද, කොහොමද ඒකෙන් රූප පෙන්නෙ යනාදිය. ඒ නිසා එයා වැරදි නිගමන වලට එන්නෙත් නෑ. සැක ඇති කරගන්නෙත් නෑ. තමාගේ දැනුවත්බව ගැන සතුටු වෙන්නත් පුළුවන්.

ඊ ළඟ ප්‍රයෝජනය තමයි යතාර්ථය තමාගේ දියුණූවට (සතුටට) යොදාගන්න පුලුවන් වීම. සැම ක්‍රියාවකටම සමාන  හා ප්‍රතිවිරුද්ධ බලයක් ඇති බව දැනගත් නිසා තමයි අද රොකට් හදන්න පුළුවන් උනේ. ඒ වගේ යතාර්ථය දන්න කෙනා දන්නවා කොහොමද අතහැරීමෙන් සතුට වැඩි කරගන්නෙ කියලා. සහ ඒ වගේ සතුට (පරම ධනය) වැඩි කරගන්නා බොහෝ ක්‍රම සොයා ගන්න.
ඉතින් යතාර්ථය දැන ගැනීමෙන් මේ වාගේ ලෞකික වශයෙන් බොහෝමයක් ප්‍රයෝජන තියෙනවා.

දැන් ඊ ළඟ ගැටළුව තමයි යතාර්ථය දැන ගැනීමෙන් විමුක්තිය ලැබිය හැකිද යන්න. අනෙක් බොහෝ ආගම් වල විමුක්තිය මරණින් මතු ලැබෙන දෙයක් බැවින් යතාර්ථය දැන ගැනීමෙන් විමුක්තිය නොලැබෙන බව පැහැදිලි. බුදු දහමේ විමුක්තිය මේ ආත්මයේම ලැබිය හැකි දෙයක් බැවින් මෙම ගැටලුව සාකච්ඡා කල යුතුයි. ඇත්තටම යතාර්ථය දැන ගැනීමෙන් අපට දැන ගන්න ලැබෙන්නෙ දුක හා දුකට හේතුවත් පමණයි. “යතාර්ථය සොයා“ ලිපි පෙළ කියවු අයෙකුට නම් ඒ බව පැහැදිලි ඇති.  ඒ හේතුව නැති කිරීමෙන් විමුක්තිය ලැබෙන බව අපට සිතා ගත හැක. නමුත් එය කරන ක්‍රමය කුමක්ද යන්නදැනගැනීම සහ ඒ ක්‍රමය ක්‍රියාවට නැංවීම යන දෙක සිදු නොකර විමුක්තිය ලැබිය නොහැක. එම නිසා ඒ ක්‍රමය සොයාගෙන ඒ මාර්ගය තුල ගමන් කිරීමෙනුයි විමුක්තිය ලැබෙන්නේ.

ඒ සදහා අඩිතාලම යතාර්ථ දැනගැනීමෙන් ලැබෙන වැදගත්ම ප්‍රයෝජනයයි. ඒ නිසා යතාර්ථය දන්නා ඔබ විමුක්තිය ලැබීමේ මාර්ගය දැනගෙන ඒ මඟ ගමන් කර විමුක්තිය ලබා ගනිත්වා !

ඔබට නිවන් සුව ලැබේවා! 

Thursday, September 19, 2013

69 සතිය

නැතිවීමේ දුකත් බයත් ආශාවේ ප්‍රමාණයට අනුලෝම වේ.

Saturday, September 14, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 13

“ජයසිංහ මුදලාලී නම් නෑ. ප්‍රේමදාස මුදලාලී නම් ඉන්නවා. මොකෝ නංගි කානූවක් කපා ගන්නද? පොළව මට්ටම් කර ගන්නද?“ ප්‍රේමදාසයා කෑ ගහල ඇහුවා.
“අනේ පලයන් මහත්තයො යන්න මගෙන් මුකුත් නාහ“ ඈ ප්‍රේමසදාසයට බැණ අඩගැහුවා.

ඈ ඇද හිටියේ කලු සායකුත් අළු පාට හැට්ටයකුත්ය. හැට්ටයට උඩින් තවත් රතුපාට බැනියමක් ඇදගෙන හිටියා. ඒකේ පිටිපසිනුත් ඉදිරියෙනුත් ‘ස්ටාර් සර්විස්‘ යනුවෙන් සදහන් කර තිබුනා. එයින් ඇය ස්ටාර් සර්විස් ආයතනය මගින් කන්ට්‍රැක්ට් බේසිස් නගර සභාවට අනුයුක්ත කල කෙනෙක් බව දැන ගත්තා. ඒත් ඇය අපේ මහත්තයා හොයන්නේ මොකටෙයි කියලා මට කුකුසක් තිබ්බා. ඒ නිසා මං ඇහුවා
“මුදලාලි මහත්තයා අද මෙහෙ එන්නෑ. මක්කටෙයි මුදලාලී මහත්තයා හොයන්නේ?“ කියලා. ඊට පස්සෙ ඈ මා දිහා ටිකක් වෙලා බලන් ඉදලා කිව්වා “ අනේ මහත්තයා ජයසිංහ මුදලාලිට කියනවද ඩෙල්සි නොනා හම්බුවෙන්න කිව්වා කියලා“ .  ඊට පස්සෙ “හා මං කියන්නම්“ කියලා මං කිව්වම මාත් එක්ක හිනා වෙලා නැවතත් අනිත් උන් දිහාට විරිත්තලා ඉදලත් අද්දව අද්දව යන්න ගියා. කොල්ලො ටික ඈට හූ තියමින් කෑ ගැසුවා.

ඈට ඉතා සුරූපී ඇග පසඟක්  තිබූ බව ඇත්තය. නමුත් රස්සාවක් තියෙද්දි මොකටද ගණිකා වෘත්තිය කරන්නෙ? කාම තණ්හාවත් මුදල් තණ්හාවත් නිසා ස්ත්‍රීන් තම ඇඟ විකුණාගෙන කෑමට තරම් පහතට වැටෙන්නේ ඇයිදැයි ඒ වෙලාවේ මට හිතුනා. ඒත් ඇත්තටම ඈ ගණිකාවක්ද කියලත් සැක හිතුණා. “ඇත්තටම ඒකී වෙසගනක්ද බාං “ කියලා මං ඇහැව්වා. “ඔව් බං ඔව්, එකී වේසියක් තමා. බොරුනම් ලොක්කගෙන් අහාල බලහං“ කියලා ජයේ කිව්වා.

ඈ කවුරු උනත් ලොකු මහත්තයට නිග්‍රහ කරපු එකට නම් මට තරහ ගිහිල්ලයි තිබුනේ. “අනේ අපේ මුදලාලි මහත්තයා රත්තරන් මනුස්සයා. කන්න දෙන අත හපාකන්න එපා බාල්ලා“ කියාගෙන මං එතනින් නැගිටලා එන්න ආවා.

මං එදා රෑ නිදාගන්න යනකොට හවස වෙච්චි සිද්ධිය නැවත මතක් උනා. ඇත්තටම ඇගේ නියපොතු වවා රතු වර්ණ කර තිබූ බවත් තැන තැන දූවිලි වැදී අවපැහැගැනුණූ සමට යටින් දිලිසෙන රන්වන් සමක් තිබූ බව හැට්ටය අතරින් මා දැකගත් බවත් මතක් උනා. මට ඈ ගැන ඇති වුනේ පිළිකුලක්. කෙනෙකුට මේ මගේ අම්මා, සහෝදරී, දුව කියල කියන්න බැරි රස්සාවක් මොකට කරනවාද. ඔවුන් ගැන විතරක් නෙවේ ඔවුන්ගෙන් පහස ලබන්න යන කාමාතුරයන් ගැනද මට තිබුනේ පිළිකුලක්.

කොහොම හරි එදා මුදලාලී මහත්තයා මොකක්හරි හේතුවක් නිසා ගෙදර නොසිටිය නිසා පණිවිඩය කියන්න බැරි උනා. ඊට දවස් දෙකකට විතර පස්සෙ හවස් වරුවක මහත්තයා මගෙන් වැඩකටයුතු හොදින් කෙරීගෙන යනවාදැයි විස්තර කතා කර කර උන්නා. ඔය වෙලාවේ මට ඒ සිද්ධිය මතක් වෙලා ඒ ගැන මහත්තයට කිව්වා.
“ආ මහත්තයාට මට කියන්න අමතක වුනානෙව. කවුද නගර සභාවේ වැඩ කරන ගෑනූ කෙනෙක් ඇවිත් මහත්තයාව ඇහැව්වා පෙරේදට පළමු දා හැන්දෑවේ. මං නැතෙයි කියෙව්වම මහත්තයට ඩෙල්සි ද ඩල්සි ද කියලා නෝන කෙනෙක් හමබ වෙන්න කියන්නෙයි කිව්වේ“.
ඒක කිව්වා ගමන් මිනිහගේ මූන ඇඹුල් වෙලා ගියා. ආයේ අමාරුවෙන් හිනාවක් දාලා, “ආ ඔව් ඔව් ලියුමක් තියෙනවා ගිහින් දෙන්න“ කියලා කිව්වා.    

Next chapter - http://asanka-mind.blogspot.com/2013/10/14.html

Monday, September 9, 2013

68 සතිය

අපිට අපි කැමති විදියට අපව පාලනය කල හැකිනම් අපිට අපි කැමති විදියට අපි කැමති කෙනාව ද පාලනය කල හැකිය.

Saturday, September 7, 2013

12 ලිපිය - ගැටළු වලට පිළිතුරු 3

යතාර්ථය හා විමුක්තිය කියන්නේ එකක් ද? දෙකක් ද? මේ ගැටළුවට පිළිතුරු දීමට නම් යතාර්ථය හා විමුක්තිය කියන දෙක තෝරා ගතයුතුයි. යතාර්ථය කියන්නේ මොකක් ද කියන එක කලින් ලිපියේ සදහන් කලා. කෙටියෙන් කියනවනම් යතාර්ථය කියන්නේ ලෝකයේ ඇත්ත තත්වය සහ පැවැත්ම සිදුවන ආකාරයයි. නැත්නම් මේ ලෝකයේ අපට විශය වන දේවල් වන්නෙ ඇයි මොකක්ද හේතුව කියන කාරණයයි .

එතකොට විමුක්තිය කියන්නෙ මොකක් ද? ඕනෑම ආගමක මූලික පරමාර්ථය වන්නේත් මේ විමුක්තිය ලබා ගැනීමයි. එහි වචනාර්ථය ගත්කල එන්නේ නිදහස් විම යන්නයි. මොකෙන්ද නිදහස් වෙන්නෙ, දුකින්. එතකොට මේ ලෝකේ දුක බව (ත්‍රිලක්ෂණයේ එන දුක නෙවේ) ඕනෑම ආගමක් අදහන කෙනෙක් දන්නවා. එතකොට ඒ දුකින් නිදහස් වී සදාකාලික සැපයට පත් වීමට කියනවා විමුක්තිය ලබනවා කියලා.

එහෙනම් පැහැදිලි වෙනවා යතාර්ථය හා විමුක්තිය දෙකක් බව. එතකොට අපිට ගැටළුවක් එනවා විමුක්තිය හා යතාර්ථය දෙකක් නම් ඇයි අපි විමුක්තිය ලබා ගැනීමේ ක්‍රමය අනුගමනය නොකර යතාර්ථයක් හොය හොය යන්නේ (මේ ගැටළුවම ඩීප් මාළු යාලූ ටත් ඇවිල්ලා තිබුණා) කියලා.

හැම ආගමකම තියෙනවා විමුක්තිය ලැබීමේ මාර්ගයක්. හැබැයි ඒ එකකට එකක් වෙනස්. එතනදි ගැටළුවක් එනවා දැන් කොයි මාර්ගයද හරි කියලා තෝරගන්න. අන්න එතනදි අපට සිදුවෙනවා මං මේ මේ ආගමේ, ඒ නිසා මේක තමයි හරි කියන රාමුවෙන් එලියට ඇවිල්ලා ඇත්තටම මේ දුක මොකක්ද, ඇයි මේ දුක ඇතිවෙන්නේ කියලා සොයා බලන්න. නමුත් අපිට ඒ තරම් නුවණක් නැති නිසා අපට කල හැක්කේ එක් එක් දේශනා අරගෙන ඒවා යතාර්ථයත් එක්ක ගැලපෙනවද කියලා හොයල බලන එකයි.
උදාහරණයක් කිව්වොත් අපිට බඩගිනි වෙන්නේ බඩේ පණූවොන්ට කන්න ඕන නිසාද? ( පොඩිකාලේ කියන්නෙ එහෙමනේ)  නැත්නම් ඒක දෙවියන්ගෙ කැමැත්තද?  ,නැත්නම් යක්ෂ බලවේගයක් නිසාද? එහෙමත් නැතිනම් බඩේ තියෙන පිත( ආම්ලිකතාව)  නිසා ආමාශයේ ඇතිවන දැවිල්ල නිසාද? නැතිනම් හැමදාම කාලා කාලා කන්න නැතිඋනාම හැදෙන මානසික රෝගයක් ද?
මෙන්න මේ වගේ එකින් එක අරගෙන බලලා හරියටම දැන ගන්න ඕන. එතකොට ඒ නිවැරදි පිළිතුර ලබා දීල තියෙන්නේ කොයි ශාස්තෘන් වහන්සේද?  කියලා දැනගන්න පුළුවන්.

ඒ මං දැක්වූ වේ යතාර්ථය දැන ගැනීමේ එක් ප්‍රතිඵලයක් පමණයි. නමුත් විමුක්තිය ලැබීමට මෙහා යතාර්ථය දැන ගැනීමේ වාසී රාශියක් තියෙනවා. ඒ වාසීත් සමඟම යතාර්ථය දැනගැනීමෙන් විමුක්තිය ලැබේද? යන ගැටළුවටත් ඊළඟ ලිපියෙන් පිළිතුරු ලබා දෙන්නම්      

ඔබට නිවන් සුව ලැබේවා!   

Sunday, September 1, 2013

ආදරයේ නාමයෙන්

මේ ලඟදි දොහක අපෙ අම්මා කියාපිනා “ඈ බං හිච්චි එකෝ දැන් දැන් උඹට විසි හතරත් ඉවරයි, තව නැද්ද ගෑනූ ලමිස්සියක් හොයා ගත්තේ“ කියාලා. ඉතිං මං ඇහැව්වා “හිච්චි එකාලාට මොකටෙයි ගෑනූ“ කියාලා.

ඒක නොවෙයි මං මේ කියන්ට හැදුවේ. මං ඒත් ඒ වෙලාවේ කල්පනා කොලේ ඇත්තටම දෙමවිපියෝ මක්කටද මේ දරුවෝ විවාහ කොරල දෙන්න මෙච්චරටම වලිකන්නේ කියාලා. ඒ අයගෙන් ඇහැව්වම නම් කියන්නේ “උඹ තනියෙන් දුක් විදිනව බලන්ට අපට බෑ“ නැත්නම් “උඹ ගෙදෙට්ට නාකි වෙන්ට දෙන්න ඇහැක්යෑ“ එහෙමත් නැතිනම් “ උඹ තනිවෙන්ට දාලා අපි කොහොමෙයි නිදහසේ ඇහැ පියා ගන්නේ“ වගේ දේවල්නේ. ඒ කතා වලින් නම් අපට දැනෙන්නේම අපිට ආදරේට බන්දන්ට හදනවායි කියාල නෙව. හැබැයි ඕං සමහර මව් දෙමව්පියොනම් කෙලින්ම කියනව “අපිට ඇහැක්යෑ තවත් තොපිලව රක්ෂා කොරන්ට, බොලාගෙන් නිදහස් වෙන්ට එපැයෑ“ කියලත්. ඒත් ඉතින් රස්සාවක් නැති ගෑනු ළමයෙක්ට නෙව එහෙම කියන්ට පුලුවන්.

ඔය කොයිහැටි වෙතත් සමස්තයක් වසයෙන් බලාපිනාම ආදරේට නොවැ ළමයි සරණපාවා දෙන්නේ. අපි අනෙක් අය පැත්තට දාමූ. බෞද්ධ ඕනෑම කෙනෙක් දන්නව නෙව බැදීම් දුකක් කියලා. එහෙම බලාපිනාම අපෙත් මව් දෙමව්පියෝ ආදරෙටනේ කියාලා අපිව දුකටනෙව දාන්ට යන්නෙ. කොයි දෙම්ව්පියෝද කියන්නේ “ඇයි දරුවො පෙන්නැද්ද මේ බැදීම් නිසා නේද දුක ඇතිවෙන්නේ, ඒ හන්දා බදින්න නම් එපා. පේන්නැද්ද අපි මේ බැදලා දරුවෝ හදන්නයි, වාහේ සතුටු කොරන්නයි විදින වදයක්. උඹ ගෙහුං මහණ වෙලා සසර දුකින් එතෙර වෙයං මයෙ පුතේ“ කියාලා. දැන් ඉතින් බලාගෙන ගියාම දෙමව්පියොත් ආදරේ නාමයෙන් ළමයි දුකටනෙව තල්ලු කොරන්නේ.

අනෙක් කාරණාව තමා ඔය ආදරවන්තයෝ මක්කටද ආදරය කරන ඇයොම බදින්න හදන්නේ. අම්මාපල්ලා මං නම් කියන්නේ තරහකාරයෙක්ම තමා බදින්ට ඕනෑ. මොකොද එතකොට බැරියෑ, ගෙදරදොරේ වැඩ, ළමයින්ගෙ වැඩ පඩියක් නොගෙවාම කොරගන්න. නෑ මං අහන්නෙ කොයි වාහෙද කියන්නෙ, “අනේ මං උඹට පනවගේ ආදරෙයි, උඹ මහන්සිවෙනවා දුක්වෙනවා බලන්ට මට වාවන්නෑ. ඒ නිසා උඹ මනාප විදියට හිටපන්, මං ඔක්කොම වැඩ කොරඤ්ඤං“ කියාලා.

බලාගෙන ගියාම බොහොමයක් ඈයෝ කොරන්නේ ආදරෙයි කිය කියා තමන්ගෙ වාසිය, ආසාව ඉස්ට කොරගන්න බලන එක තමා.

ප.ලි.- මේ ලෝකේ තියෙන කාම සැපයන් අතරින් ලොකුම සැපය ලිංගිකව එකතු වීම කියනවනෙව. ඉතින්            එහෙව් එකේ තරුණ ළමයි බන්දලා නොදුන්නොත් ඕකුන් දෙමව්පියන්ටත් සාප කරනව නෙව. ඒ              හින්දා සුදුසු කල්හි ආවාහ විවාහ කොරල දෙන එක මව් දෙමව්පියන්ගේ යුතුකමක්. ඒත් බලෙන්                     බන්දල දෙන එකනම් පාපයක්.    

Thursday, August 29, 2013

67 සතිය

මධ්‍යම ප්‍රතිපදාව යනු දුකෙහිත් සැපයෙහිත් 50% බැගින් වූ එකතුවක් නොවේ.

Tuesday, August 27, 2013

අසරණකම

ඔබ පතනා ලොව ඔබ පතනා ලෙස මට දෙන්නට බැරිනම්
කෙලෙසක පවසමි ඔබට ආදරෙයි ඔබ සතුටින් නැතිනම්
මා නැතිමුදු ඔබ සතුටින් බව මට ඉදුරා කිව හැකිනම්
මිතුරෙකු ලෙස මම ඉන්නම් ඔබ ලග සගවා පෙම් හැගුමන් //

මගේ කැදැල්ලට කැදවාගෙන ඔබ
ආවත් දින මතුයම්
නෙතගට නුඔගේ නැගුනොත් කදුලක්
වාවනු බෑ මටනම්

ඔබ පතනා ලොව ඔබ පතනා ලෙස.../

ඔබ සැනහෙනු මැන ඔබ නැලවෙනු මැන
මගෙ හදවත දෙන්නම්
හදවත පුද දී ඔබහට මේ ලෙස
සැමදා තනි වෙන්නම්


ඔබ පතනා ලොව ඔබ පතනා ලෙස....//

Saturday, August 24, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 12

එදායින් පස්සෙ මාස දෙකක් විතර සාමාන්‍ය විධියට කාලය ගතවුනා. මං හිතන්නෙ එතකොට මං කොළඹ ඇවිත් මාස හයක් විතර වෙන්න ඇති, ඔව් මාස හයයි. මාර්තු මාසේ අග වගේ වෙනකොට ඒ කියන්නෙ අනූෂාට එක්සෑම් ලංවෙලා තිබුනේ. අපි හය දෙනා හොද යාලුවො වගෙ හිටියා. අපි එක එක්කෙනාට ගොඩක් වෙනස්. ඉවොන්ගෙ චරිතෙනම් මට එච්චර රිස්සුවෙ නම් නෑ. ඒත් අපි අතරෙ ගැටළුවක් මතු උනේ නෑ. බර්ටියානම් පිස්සු හාදයෙක්. ඌට තිබුනෙ හින්දි උණක්. මරදානේ ෆිල්ම්හොල් එකට එන කිසිම හින්දි චිත්‍රපටයක් ඇරියෙ නෑ. සමහර දාට අපිත් ගිහින් බලනවා. ධම්මිනම් එච්චර කතාකලේ නෑ. එයාටත් එක්ක අනූෂා කතා කලා. ඉනෝකාගෙ තිබුනෙ තැම්පත් බවක්. ඒත් හිටපු ගමන් පණ්ඩිත කතාවක් එහෙමත් කියනවා. කොහොම හරි ඔය කාලෙදි හරි පුදුම දෙයක් සිද්ධ උනා.

මං ඉගෙන ගත්තට රස්සාවත් දිගටම කරගෙන ගියා. අර අලුතින් පටන්ගත්ත වැඩෙත් සෑහෙන්න ඉවර කරලයි තිබුනේ. මට තිබුනෙ එතන වැඩ බලන්න. ඒත් මම එතන ලොක්කාවගේ නෙවෙයි කොල්ලොත් එක්ක සෙට්වෙලා ෆන් එකේ හිටියේ. අඩුපාඩු එහෙම බලලා ගෙන්නගන්න වැඩ සහ අකව්න්ට්ස් වැඩත් මං තමා කලේ.  ඒ වෙනකොට බිල්ඩිමේ ස්ලැබ්එක දාලා දෙවැනි තට්ටුවටත් කණු දාලා තිබුනේ. ඒක කඩසාප්පු සංකීර්ණයක් දාන්න හදන එකක්. එක නිසා ප්‍රධාන පාරට මූණ දාලා තමයි තිබුනේ. අපි එතන වැඩකරන සෙට්එක සමහරදාට වැඩ ඉවරවෙලා කලුවර වැටෙනකන් එක එක දේවල් ගැන අල්ලාප සල්ලාප දොඩව දොඩව ඉන්නවා. එදත් බැල්කනියෙ උඩ පේළියට කට්ටියම කකුල් දෙක පහතට දාලා වාඩිවෙලා  උන්නා

ඒ වෙලාවේ මං දැක්කා කවුද ගෑණූ කෙනෙක් පාර අයිනෙ ඉදලකුත් තියාගෙන පාර අතුගාගා අපේ බිල්ඩිම තියෙන පැත්තට ආවා. මේක දැකපු ජයන්ත කියනවා “ආං අදත් අරකි මේ පැත්තට එනවා. බොසා හම්බවෙන්න තමයි“ කියලා. ඉතින් මං ඇහුවා කවුද බන් ඒ නගර සභාවේ වැඩ කරන ගෑණියෙක් නේද කියාලා. එතකොට ජයා (ජයන්ත) කියනවා “ ඇයි බන් ඔය බොසාගේ කේජු කැල්ලනේ. උඔටත් ඕන්නම් බොසාගෙන් ටිකක් ඉල්ල ගනින්“. “කේජු කැල්ල?“ මං පුදුමෙන් වගේ ඇහුවා. “ඔවු බන් ඕකි වේසියක් බං. අපිත් ඉතින් ඇගේ අමාරුවට තෙල් ගාගන්න එහෙම යනවා, අපි දන්නවනේ උඹේ හැටි, උඹට කිව්වට වැඩක් නැති නිසා කිව්වෙ නෑ“ කියලා ප්‍රේමදාසයා විස්තර කලා.

ඒක ඇහුවම මට තරහක් ආවා. “අනේ මේ මුදලාලි මහත්තයට පද හදන්නැතුව හිටහන් බං. උබලා වලත්තගැනු පස්සෙ ගියා කියලා බෝධිසත්වයෙක් වගේ ඉන්න මනුස්සයට ජරා කතා බදින්නැතුව“ කියලා මං බැන්නා. එතකොට ජයේ කියනවා “අනේ තෝ දන්න හරියත මයි ඒ, අපේ බොසාගෙ වැඩ ගැන උඹ දන්න අටමගලයක් නෑ. සල්ලිකාරයො කවුරුත් එකයි. ඔන්න බලපන්කෝ ඔය ගෑනී එන්නෙ බොසා හම්බවෙන්න නොවෙයිද කියලා“.

අර ගැණු කෙනාද බිල්ඩිම ඉස්සරහටම අතුගාගෙන විත් කුණු ඔක්කොම බැරල් එකකට දැම්මා. දාලා වටපිට බලලා අපි දිහාටත් බැල්මක් දාලා කටේ පුරවන් හිටපු බුලත් කෙල පාරක් තපාස් ගාලා දකුණතේ ඇගිලි දෙකක් අතරින් කාණුවට ගැහුවා. ඊට පස්සේ ඒ අතින්ම කට පිහදාගෙන පාර පැනලා අපි දිහාට ඇවිත්,

“කෝ ජයසිංහ මුදලාලී ඉන්නවද?“   කියලා ඇහුවා.

Next chapter - http://asanka-mind.blogspot.com/2013/09/13.html

Tuesday, August 20, 2013

66 සතිය

අනුන්ගේ වැරදි නොසොයා තමන්ගේ වැරදි සොයාගන්න, මන්ද තමාට මානසික දඩුවම් ලැබෙන්නේ තමා කල වැරදි වලට පමනයි.

Friday, August 16, 2013

12 ලිපිය - ගැටළු වලට පිළිතුරු 2

අද ලිපියෙන් මං බලාපොරොත්තු වන්නේ පසුගිය ලිපියේ සදහන් කල පරිදි “යථාර්ථය හොයා ගෙන යනවා කියන්නේ, අපි යථාර්ථය කියන දේ අර්ථයවත් නොදැන ඒ පස්සේ දුවනවා කියන එක නේද?“ කියන ගැටළුවට විසදුමක් සොයන්නයි.
අප යමක් සොයනවනම් අනිවාර්යයෙන්ම අපි සොයන්නේ කුමක්ද යන්න දැන ගතයුතුයි. අප සොයන්නේ කුමක්ද නොදැන සෙවීම යන්න අර්ථ විරහිතයි. ඒ අනුව සෙවීම දෙයාකාරයි. එකක් නම් අප ලඟ තිබූ දෙයක් අස්ථාන ගතවී ඇති විට සෙවීම හා අප බලාපොරොත්තු වන දෙයක් සෙවීමයි. යථාර්තය සේවීම අයත් වන්නේ දෙවැනි ආකාරයටයි.

එතකොට අප යථාර්තය දැනගෙන යථාර්තය සොයනවා කියන අදහස මතුවෙන්නෙ නෑ. අප දන්නෙ යථාර්තය නොව යථාර්තය කියන්නේ මොකක්ද කියල විතරයි. ඒක මේ වගේ දෙයක්. කෙනෙක් කවදාවත් අලියෙක් දැකල නෑ. නමුත් අලියා කියන්නේ මේ වගේ සතෙක් කියල ඔහු දන්නවා. ඔහු අලියෙක් සොයාගෙන කැලේ යද්දී ඔහු කවදාවත් අලියෙක් කියලා වෙන සතෙකුට රැවටෙන්නෙත් නෑ. අලියෙක් දැක්කොත් මේ අලියා නොවෙයි කියලා රැවටෙන්නෙත් නෑ. නුමුත් අලියා මොන වගේද කියලවත් නොදන්න කෙනෙක්ට අලියෙක් සොයන්න බෑ. මේ නිසා අපි යථාර්තය සොයන්න ඕන යථාර්තය කියන්නේ මේ වගේ දේකටයි කියල දැනගෙනමයි.

මං තව උදාහරණයක් කියන්නම්. සිදුහත් කුමරා නිවන සොයන් ගියේ නිවන කියන්නේ මේ දේටයි කියල නොදැන නම් නිවන සොයාගන්න උන්වහන්සේට බැරි වෙනවා. සිදුහත් තවුසා ඒ ඒ ගුරුවරු අත්හැරියේ තමා සොයන නිවන ඒ අය ලඟ නොතිබූ නිසා. එහෙනම් සිදුහත් තවුසා දැනගෙන තියෙනවා නිවන කියන්නේ මේ වගේ දෙයක් කියලා.

එසේනම් යථාර්තය කියන්නේ මොකක්ද? යථාර්තය යනු යථා අර්තයයි. එනම් නිවැරදි අර්තය හෙවත් නිවැරදි හේතුවයි. මාලූ යාළු කිව්වා වගේ මේ දේ මෙසේ සිදුවන්නේ ඇයි කියල හොයන එක  තමයි යථාර්තය සොයනවා කියන්නේ. එතනදි අමාරුම දේ තමයි අප විසින් ඉදිරිපත් කරන හෝ හොයාගන්නා හේතුව නිවැරදිම හේතුවද යන්න නිශ්චය කිරීම.

 ඒක නිසා තමයි මං කලින් ලිපියෙත් සදහන් කලේ අප යථාර්තය සොයා යනවනම් කිසිම රාමුවකට කොටු නොවී විවෘත මනසකින් එය කල යුතුයි කියා. මං හිතනවා බුදු රජාණන් වහන්සේ ද සමාධිගත වූ සිතින් විදර්ශනා කරන්න (සත්‍ය සොයන්න) කියන්න ඇත්තෙ ඒ නිසා කියලා. සියලු බැදීම් වලින් ( සියළු විශ්වාසයන්ගෙන් හා උපකල්පන වලින්) නිදහස් වූ විටයි අප සොයාගත් දේ නිවැරදිම හේතුවද කියලා විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන්නෙත් ඒ දේම තමයි.

මං හිතනවා ඒ ගැටළුවට පිළිතුරක් ලැබෙන්න ඇති කියලා. යම් අදහසක් හෝ ගැටළුවක් ඇත්නම් අහන්න. ඊ ළඟ ලිපියෙන් “යථාර්ථය සහ විමුක්තිය කියන්නේ දෙකක් නේද?“ කියන ගැටළුවට පිළිතුරක් දෙන්නම්

ඔබට නිවන් සුව ලැබේවා !

Saturday, August 10, 2013

65 සතිය

ඇසුනු දෙයහිද දැනුණ දෙයහිද පෙනුණ දෙයහිද වෙනස් ආකාරයක ඉදිරිපත් වීමක් නව නිර්මාණයකි.

Friday, August 9, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 11

“එයාගේ තාත්තා දහම්පාසල් ළමයින්ට ඇදුම් පොත්පත් එහෙම ඩොනේට් කරනවා. ගිය ඉරිදා එයා ඒ ඉවෙන්ට් එකට ගිහින්, මොකද ඔච්චරටම ඉනෝකා ගැන අහන්නේ, කොල්ලගෙ හිත ගිහින්වත් ද? ආ..“

“අනේ එහෙම දෙයක් නෑ. මගේ ස්කොලේ හිටියා පද්මා කියල යාලුවෙක්, එයත් ඉනොකා වගේමයි. මං නිකන් ඇහුවෙ“ කියලා මං කිව්වා. ඒ පාර ඒකි මට කොලොප්පන් කරන්න පටන් ගත්තා.
“ආ ආ පද්මා නේද, ඉතින් ඉතින් පද්මාව අමාරුවෙ දාලා කොල්ලා කොළඹ පැන්නා නේ“
“පිස්සු ද අනූෂා එයා මගේ සහෝදරියක් වගේ. මගේ එහෙම දෙයක් තුන් හිතකවත් තිබුන්නෑ“ කියලා මං අමනාපෙන් වගේ කිව්වා.
ඒ පාර එයා “අයියෝ මං විහිලුක් කලේ. ජස්ට් අ ජෝර්ක්, ඩෝන්ට් ගෙට්ඉට් මච් සීරියස්“ කියා කියල, ආයේ “ඇත්තටම අරවින්දට ස්කෝලේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙ නැද්ද“ කියලා ඇහුවා.
“ඒ කියන්නෙ ආදරවන්තියක් ද, අපෝ නෑ. ඒ කාලේ අපිට ඕවට වෙලාවක් තිබ්බෙ නෑ, සමහර අයටනම් හිටියා, ඒත් මටනම් ඊට වඩා ඕන තරම් ප්‍රශ්න තිබුනා හිතන්න“ කියලා මං කිව්වා.
ඒ පාර අනූෂා කියනවා “ඔය ඉතින් ඔයා සීරියස් ගන්නවනේ, මං කිව්වේ ඉතින් ඔය කාලෙට ඒ වගේ දෙයක් නැත්නම් කිසි ගෝ එකක් නෑ නේ. මේ කාලෙට ලයිෆ් එක එන්ජෝයි කරන්න එපැයි“ කියලා. මහ පිස්සු කෙල්ලෙක්.
මං කිව්වා “අනේ මීට වඩා මොන ඇන්ජෝයිද, මට මේ ඉන්න විදිය හොදා“ කියලා. ඒ පාර ඒකී  “අනේ ඉන්න. අයි නෝ අබව්ට් බොයිස් වෙරි වෙල්. ඉන්නකො මං ඔයාට ලයිෆ් එක එන්ජෝයි කරනහැටි කියා දෙන්න“ කියලා මං දිහා රොමැන්ටික් බැල්මක්  දාලා මේකී මගේ උරහිස අල්ලා තල්ලුවක් දැම්මා. එක පාරටම වාහනේ දකුණට කැපුනා. තව පොඩ්ඩෙන් ඇක්සිඩන්ට් වෙනවා.
මට තරහ ගියපාර මං කිව්වා“ ඔයැයිට පිස්සුද අනූෂා, තව පොඩ්ඩෙන් හැප්පෙනවනේ“ කියලා. කෙල්ලත් ටිකක් බය වෙලා හිටියේ. “අනේ සොරි අනේ, මං හිතල නෙවේ කලේ, ප්ලීස් ෆොගිව් මී ප්ලිස් ප්ලීස්.. “ කියලා ඇස් දෙක චුටී කරලා මං දිහා පොඩිඑකියක් වගේ බලං හිටියා. ඒ බැල්මට මටත් අප්සෙට්. ඒ පාර මං කිව්වා “හරි හරි, මීට පස්සෙවත් ඔය වගේ මෝඩ වැඩ කරන්න එපා. වාහනේ හැප්පුනානම් එහෙම, මට සර්ගෙන් ඉන්න හම්බවෙන්නෑ. “ කියලා. 

එදා රෑ නිදාගන්න ගියාම හවස වෙච්ච දේවල් ආපහු මතක් වෙන්න ගත්තා. “ඇත්තටම අනුෂායි ඉනෝකායි කොච්චර වෙනස් ද, ඒත් ඉතින් ඉනෝකා දැක්කෙත් අද, එක දවසකින් ගැනියෙක් මනින්න පුලුවන් ද, එක වගේ පෙනුම තිබ්බට ඉනොකා පද්මා වගේ කියල හිතන්න බෑනේ“ ඔය විදියට එක එක දේවල් හිතෙන්න ගත්තා. මං හිතන්නේ එදා මට නින්ද යනකොට රෑ දොළහත් පහුවෙන්න ඇති.

Next chapter - http://asanka-mind.blogspot.com/2013/08/12.html

Tuesday, July 30, 2013

64 සතිය

බැදෙන තැන නොබැදී සිටීමටත් ගැටෙන තැන නොගැටී සිටීමටත් ආත්ම ශක්තියක් තිබිය යුතුයි

Friday, July 26, 2013

වරදක් නැති වරද

මලදෝ....... වන බඹරින්දෝ ලොව රැවටී ඉන්නේ
කවුදෝ....... එය පහදා දෙන්නේ

එක මලකින් මකරන්ද උරා බොන
වන බඹරුන් කොයි දේසෙද උන්නේ
කුසුමට ලංවී එහෙ මෙහෙ ඉගෙලෙන
එක බඹරාටද මල් පැණි දෙන්නේ

මලදෝ......./

මගෙ උරහිස මත හිස සතපා උන්
කුමරිය අද තවකෙකු සනහන්නේ
මිලිනව මියයන දහසක් කුසුමන්
දැක දැක ඇයිදෝ හද ලතැවෙන්නේ

මලදෝ......./


Monday, July 22, 2013

12 ලිපිය - ගැටළු වලට පිළිතුරු

 මගේ 200 වන පෝස්ට් එක තමයි මේ ලියන්නේ. යථාර්තය සොයා යටතේ නම් 41 වන ලිපිය. ඉතින් මෙච්චර දුරක් එන්න ලැබීම ගැන මං ගොඩාක් සතුටු වෙනවා. මට ගොඩක් අය පැසසුම් එවල තියෙනවා. ඒ වගේම කීප දෙනෙක් අඩුපාඩූ පෙන්නල තියෙනවා. මං ගොඩාක්ම ඒ ගැන සතුටු වෙනවා. ඒක මට ලොකු ශක්තියක්. සමහර පෝස්ට් ගැන ගැටළු එහෙමත් ඉදිරිපත් වුනා. ඒවට මං ඒ ඒ තැනදි පුලුවන් විදියට පිළිතුරු දුන්නා. ඒ අතරින් අපේ මාලු යාළුවා පහත ගැටළුව ඉදිරිපත් කරල තිබුනා.

   යථාර්ථය සොයා යනවා කියන්නේ, අපි “ඇයි“ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයනවාකියන එක නේද?
අනිත් එක අයියේ.....
යථාර්ථය සහ විමුක්තිය කියන්නේ දෙකක් නේද?
ඔය කොයික වෙතත්, යථාර්ථය හොයා ගෙන යනවා කියන්නේ, අපි යථාර්ථය කියන දේ අර්ථයවත් නොදැන ඒ පස්සේ දුවනවා කියන එක නේද?
ඊට පස්සේ අපි “ඇයි“ යථාර්ථය සොයන්නේ? කියන ප්‍රශ්නෙත් එනවා නේද?

ඉතින් මේ ගැටළුවටත් ඒ තැනදි පිළිතුරක් දුන්නත් මට හිතුනා මේ ගැටළුවට,( ඇත්තටම මෙතන ප්‍රශ්න 3ක් විතර අහල තියෙනවා) ටිකක් විස්තරාත්මකව පිළිතුරක් දෙන්න. මොකද ඒක අනිත් අයටත් වැදගත් වෙන්න පුළුවන්.

සමහර විට කෙලින්ම නොකිව්වට කෙනෙක්ට හිතෙන්න පුළුවන් “විමුක්තිය ලබන්න නෙවේ නම් මොන මගුලකට ද මේ යථාර්තය සොයන්නෙ? අපි නොදන්න මගුලක් හොයා හොයා ගියා කියල ඇති වැඩේ මොකක් ද? “ වගේ දේවල්. ඉතින් ඒ කාරණය නිසාත් මේ ගැන ලිපියක් ලියන්න හිතුවා.

මල්ලි මුලින්ම අහල තියෙන්නෙ “යථාර්ථය සොයා යනවා කියන්නේ, අපි “ඇයි“ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයනවාකියන එක නේද?“  කියලා.
ඇත්තටම යථාර්තය හොයනව කියන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට පිලිතුරු හොයන එක. මිනිසා මේ ලෝකෙට බිහිවූ දා ඉදලම කරන්නෙ ඔය දේ තමයි. මොකද මිනිසා කියන්නෙ කුතුහලයෙන් පිරිච්ච කෙනෙක්. සාමාන්‍යෙයන්  මේ ලෝකෙට කෙනෙක් එන කොට මේ ලෝකෙ ගැන කිසිම දෙයක් නොදැනයි බිහිවෙන්නේ.
ඉතින් ඒක නිසා අරක මොකක්ද? මේක මොකක්ද? මේක කොහොමද වෙන්නේ? ඒක එහෙම වෙන්නෙ ඇයි? යනා දී ලෙස නොයෙක් ගැටළු මනසට එනවා. ඉතින් සමාජය විසින් ඔවුන් දන්නා විදියට ඒ දේවල් පැහැදිලි කරල දෙනවා. සමහර දේවල් හිතින්ම නිර්මාණය කර ගන්නවා. මේ මේක වෙන්න ඇති. මේකට මෙහෙම කියමු යනා දී වශයෙන්. ඉතින් අපි ඔය කොයි විදියට උනත් ඇයි මේක මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තර හොයන එක තමා කරන්නේ.

අපිට ඔය ප්‍රශ්නෙට හරියටම විසදුමක් හොයන්න නම් ඉස්සර වෙලාම සියලු විශ්වාසයන්ගෙන් තොර වෙන්න ඕන. නමුත් අපි බොහෝ දෙනෙක් ඇයි කියන ප්‍රශ්නෙට විසදුම් හොයන්නෙ අප විසින්ම හදා ගත්තු රාමූ වලට කොටු වෙලා. උදාහරණයකින් කියනවනම් ඉතාමත් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ගේ චිත්‍ර ප්‍රදර්ශනයක දී විචාරකයෙක් මේ චිත්‍ර විස්තර කරනවා. මේ විචාරකයාට චිත්‍ර ශිල්පියා ගැන තියෙන්නෙ බොහොම පැහැදීමක්. ඔහු විශ්වාස කරනවා කවදාවත් මේ චිත්‍ර ශිල්පියා නිකන් වර්ණ යොදන්නැති වග. ඒ නිසා විචාරකයා හොදින් ඒ චිත්‍ර වල වර්ණ සංකලනයන් ගැන පැහැදිලි කරනවා. මෙහෙම යන කොට මුල්ලකට වන්න තුබුණු අවසාන චිත්‍රයේ තිබෙන්නේ රතුපාට විතරයි. ඉතින් මේ විචාරකයා මේක වර්ණනා කරන්නේ මේ චිත්‍රයෙන් ඉතා බිහිසුණු අපරාධයක් නිරූපණය කරන බව පවසමින්. මේ වර්ණනාවට සවන් දෙන චිත්‍ර ශිල්පියා අවසානයේ කියනවා “ඔබේ වර්ණනාවනම් බොහොම අපූරුයි මිත්‍රයා. හැබැයි මම නම් ඔහොම අදහසකින්  ඕක රතුපාට කලේ නෑ. වැරදීමකින් තීන්ත කුප්පිය පෙරලුණ නිසයි ඔහොම වුනේ.“ කියලා.

එතනදි ඇයි රතු පාට කලේ කියන ගැටළුවට එයා පිලිතුරු දුන්නේ  “ කවදාවත් මේ චිත්‍ර ශිල්පියා නිකන් වර්ණ යොදන්නැ“ කියන රාමුවෙ කොටුවෙලා ඉදගෙනයි. ඒ නිසා අපි ඇයි කියන ප්‍රශ්නෙට පිලිතුරු සෙවිය යුත්තේ ද බුදු දහම කියන්නෙ යථාර්ථය.... කියන තැන ඉදල හෝ වෙනත් ආගමක් යථාර්තය කියන තැන ඉදල හෝ නූතන  විද්‍යාව කියන්නේ යථාර්තය කියල හෝ නෙවෙයි. 
හොදයි මං ඊළඟ ලිපි වලින් පිළිවෙලින්
  • යථාර්ථය හොයා ගෙන යනවා කියන්නේ, අපි යථාර්ථය කියන දේ අර්ථයවත් නොදැන ඒ පස්සේ දුවනවා කියන එක නේද?  
  •  යථාර්ථය සහ විමුක්තිය කියන්නේ දෙකක් නේද?
  •  අපි “ඇයි“ යථාර්ථය සොයන්නේ?
කියන ගැටළු වලට පිළිතුරු සපයන්න බලා පොරොත්තු වෙනවා. 

Thursday, July 18, 2013

63 සතිය

ඔබ යමෙක් හා තරහ වීමෙන් නැතිවන්නේ එක් පුද්ගලයෙක් නොවේ.

Saturday, July 13, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 10

“උඹට මතකද පද්මාව, අර මං වගේමයි කියලා කොල්ලො ජරා කතාවක් හැදුවේ. මතකනේ උඹයි මායි එකෙට්ට පතබෑවේ වදේ ගහන්න ඇවිත්“. අරවින්ද මගෙන් අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

“ඔව් ඔව් උඹේ තාත්තයි පද්මාගේ තාත්තයි එක්කෙනෙක් කියලා කියපු එකාටනේ, උඹයි මායි දුන්නෙ සම්බුව, මට මතකයි ඉතින්?“ මම ද කතාවේ හොදම හරිය දැන ගැනීමේ අටියෙන් තව තවත් අරවින්දගේ මූනට එබිමි.

අන්න ඒ පද්මාව තමයි මට ඒ කෙල්ල දැක්ක ගමන් මතක් උනේ. ඒ හින්ද වෙන්නත් ඇති ඒ ළමයා දැක්කම මට අමුත්තක් හිතෙන්නත් ඇත්තෙ. අනූෂා වගේ නෙමෙයි එයාට තිබුන අහිංසක පාටකුත්. අනූෂාට තිබුනෙ ටිකක් සරාගී පෙනුමක්නේ. මේ කෙල්ල කොණ්ඩෙ ගොතලා දණහිස ලඟට රතුපාට ගවුමක් ඇදලා පිළිවෙලකට ඇවිත් මා ගාව වාඩි වෙලා හිටියා.
සර් පාඩම ආයෙත් පටන් ගත්තා. අර කෙල්ල ලඟ ටියුට් තිබුනෙත් නෑ. මගේ ටියුට් එකට හොරෙන් එබෙනවා මං දැක්කා. ඒ පාර මං කලේ ඉනෝකාට දෙන්න කියලා දුන්නු ටියුට් එකක් අරගෙන එයාට දීලා කිව්වා “මේක ගන්න, ඕක වෙන ළමයෙක්ට ගත්තෙ. ඒක නිසා මුකුත් ලියන්න එපා“ කියලා. එයා මං දිහා බලලා හීං හිනාවක් දාලා ඇහෙන නොහැන ගානට තැන්ක් යූ කියලා ටියුට් එක ගත්තා. මං හිතන්නෙ එයා තැන්කියු එක ගිල්ලා. මං එයා දිහා ටිකක් බලං ඉන්නකොට මට මතක් උනේම පද්මාව. කොල්ලො කතා හදපු නිසාමද කොහෙද පද්මාව මට පෙනුනෙ මගේම නංගි කෙනෙක් වගේ. සර් ගෙ කටහඩ නොඇසෙන හින්දා මගේ අවධානය ආයේ වර්තමානයට ආවම තමයි දැක්කෙ සර් මං දිහා වපරැහින් බලන් ඉන්නවා.

ඉතින් එදා පන්ති ඇරුනම මං ගියා කාර් එක ලගට අනූෂා ඇවිල්ල ද කියලා බලන්න. ඒත් එයා එතන හිටියෙ නෑ. මං කාර් පාර්ක් එකේ ඉවොන් කාරයගෙ වාහනේ තියනවද කියලා බැලුව ඒකත් නෑ. මට ඉතින් නිකන් තොන්තුව වගේ. මේ ගෑනි රෑ උනොත් එහෙම මට මහත්තයගෙන් විසුමක් වෙන්නෑ. ඒ පාර මං ගේට් එක පැත්තට ගියා බලන්න. මෙන්න පාර අයිනෙ ඉන්නව නඩේම. පස් දෙනාම එතන කැකිරි පලනවා. මට අදහගන්නත් බෑ. අර අලුත් කෙල්ලත් එතන. එයාගෙ අතින් අල්ලගෙන අනූෂා හිනා වෙනවා ඉනාවක් කැවිල ගානට. මාව දැක්ක විතරයි වක්කඩේ කැඩුව වගේ හිනාව හෝස් ගාලා ගියා නිකන් සර්කස් එකේ ජෝකර් දැක්ක වගේ.
මමත් බොරු හිනාවක් මවාගෙන ගියා. මෙන්න බර්ටියා අර කෙල්ල පැත්තට හැරිලා “නහි වොරින්ගෙහේ දේකෝ ටියුට් කර්තාහේ. නහි මාන්ගේ ටියුට් හෙනා නහි කුරුටු කර්තාහේ සම්ජා..“ කියලා දෙකට නැවිලා ෆයිල් එකක් දික්කරා. මං දැනගත්තා වැඩේ ජෝන්බාස්ට ගිහින් කියලා.
අලුත් කෙල්ල ඒ පාර බර්ටියාට රවලා “පව් අනේ ඒ ළමයා“ කියලා කිව්වා. මටත් ඉතින් ඇඩෙන්න වාගේ. මං ඉනෝකාගෙ ටියුට් ටික අරගෙන අනූෂාට දුන්නා. දීලා  “ඉනෝකා අදත් ඇවිත් නැද්ද කොහෙද“ කියලා කිව්වා විතරයි ඔක්කොම ටික හූ තිය තිය පැලෙන්න ගත්තා. බර්ටියනම් උඩ පැන පැන හිනා වෙනවා රිලවෙක් වගේ. ඉවොන් කාරයනම් මහ නෝන්ජල් හිනාවක් දාගෙන හිටියා. කෙල්ලො තුන් දෙනත් හිනා වෙනව කදුලු බේර බේර. ඒ පාර අනූෂා බොහොම අමාරුවෙන් හිනාව යටපත් කරගෙන “ඔහේ ටියුට් දීලා තියෙන්නෙ ඉනොකාට තමා මෝඩයෝ“ කියලා කිව්වා.
මට නිකන් හුස්ම හිරවෙලා වගේ. එක වෙලාවෙම හිනාවයි ඇඩිල්ලයි දෙකම එලියට පනින්න හදනවා. කොහොම හරි ඒ වෙලාවෙම වගේ ඉනෝකාගේ මොරිස් මයිනර් කාර් එක ආවා. ඊට පස්සෙ කට්ටියම විසිර ගියා.
ඉවොනුයි මායි අනූෂායි විතරයි ඉතුරු උනේ. ඉවොන් මගෙ පැත්තට හැරිලා “අයිසෙ තමුසෙ අනූෂාගේ ඩැඩීට අනම් මනම් කියන්න එපා. විශේෂයෙන් අද අනූෂා පන්තියෙ හිටියෙ නැති වග හරිනේ“ කියලා කිව්වා. මටත් “හොදයි සෑර්“ කියලා කියැවුනා. ඒ පාර   මිනිහා හිනා වෙලා කියනවා “මොකක්ද අයිසෙ සැර් කියන්නෙ. අපි ෆ්‍රෙඩ්ස්ලා නෙ. තමුසෙගෙ ගොඩේ ගතිනම් තාම ඇරිල නෑනේ“ කියලා. මාත් ඉතින් හිනාවෙලා නිකන් හිටියා.
පස්සෙ මිනිහා අනූෂාගෙ නළල ඉඹලා ගුඩ් නයිට් චෙරියො ඩාර්ලින් කියලා කාර් එකට ගොඩ උනා. ඒක දැක්කම මගේ හිතටත් නිකන් ඉරිසියාවක් වගෙත් ආවා. ඊට පස්සෙ අපි දෙන්නත් කාර් එකේ ගෙදර ආවා.

එන ගමන් මං ඉනෝකා ගැනත් ඇහුවා. “ඉනෝකාලා ගාල්ල පැත්තෙද ?“
“ඇයි එහෙම අහන්නෙ ?“
“නෑ නිකන් එයාගෙ පෙනුම ටිකක් ඒ පැත්තෙ වගේ“
“නෑ එයාලා මෙහේ ඉන්නෙ, එයාගෙ තාත්තා ලොකු බිස්නස්මන් කෙනෙක්.“
මං ආයෙත් ඇහුවා එයා මොකොද ඉතින් ගිය සතියෙ නෑවිත් ඉදල තියෙන්නෙ කියලා.  

Next chapter - http://asanka-mind.blogspot.com/2013/08/11.html

Thursday, July 11, 2013

62 සතිය

සිත සතුටින් සිටින කිසිවෙක් දුප්පත් නැත.සියලු සැප සම්පත් ලබා ගත්තද අසතුටින් සිටිනතාක් ඵ් දුප්පතෙකි.

Tuesday, July 9, 2013

11 ලිපිය - සතුට (අවසානය)

සතුටින් සිටිමේ ක්‍රම යටතේ අපි ක්‍රම කීපයක් සාකච්ඡා කලා. එම ලිපි පෙළහි අවසන් ලිපිය ලෙස එම ක්‍රම නැවත සාරාංශ කිරීමක් මෙම ලිපියෙන් සිදුවේ. ඒ අනුව සැනසීමෙන් එදිනෙදා වැඩ කටයුතු කරගැනීමේ ප්‍රායෝගිකව මා විසින් අනුගමනය කරන ක්‍රම කීපයක් මෙලෙස සංශික්ප්තව නැවත දක්වමි.

අප බොහෝ දෙනෙකුට අවශ්‍යව ඇත්තේ විමුක්තිය ලබා ගැනීමට වඩා සැනසිල්ලේ ජීවත් වීමටයි. නමුත් එසේ ජීවත් වීමේදී අපේ සැනසිල්ලට බාධා පමුණුවන නොයෙක් දේවල් වලට මුහුණ පෑමට අපට සිදුවේ. එවැනි අවස්තාවලදී සිත නැවත සකස් කරගැනීමට පහත ක්‍රම අනුගමනය කලහැක.
  1. වෙනත් කෝණයකින් ප්‍රශ්න දෙස බැලීම
    1. සුභවාදීව බැලීම
    2. පරාර්ථකාමීව බැලීම
  2. අත්හැරීම
    1. කාලය අත් හැරීම
    2. තණ්හාව අත්හැරීම
      1. සම්මුතිය තුලින් අත්හැරීම
      2. පරමාර්ථය තුලින් අත්හැරීම
වෙනත් කෝණයකින් බැලීමේදී අප කලයුත්තේ එක්කො එම ගැටලුව නිසා තමාටත් අනුන්ටත් වන යහපත ගැන සිතා සිත හදා ගැනීමයි. ගම්වල මිනිසුන් යමක් බිදුනු විට “ඇස්වහ යන්නත් එක්ක ඕක බිදුන එක හොදයි“ කියල කියන්නේ ඔය ක්‍රමයෙන් හිත හදා ගැනීමෙනි. නැත්නම්  ගැටලුවකට අදාල අනෙක් පාර්ශ්වයන්ගේ මානසිකත්වයෙන් සිතා සැනසීම ඇතිකර ගැනීමයි. “එයාට හොදක් වෙනවනම් මට මොනව උනත් කමක් නෑ“ කියලා කියන්නේ එහෙම හිතන අයයි. හොදම උදාහරණයනම් දෙමව්පියන් ගැටළුවකදී දරුවන් දෙස බලන ආකාරයයි.

අනෙක් ප්‍රධාන ක්‍රමයනම් අත්හැරීමයි. අප බොහෝවිට සිත් තැවුල් ඇතිකර ගන්නේ පසුගිය සිදූ වීමක් මුල් කරගෙනය. අතීතය යනු කවදාවත් යලි වෙනස් නොකලහැකි දෙයක් ලෙස සිතා එම දේවල් සිතෙන් බැහැර කිරීම මෙයින් සිදු කරයි. අනාගතය ගැනද එසේමය. වර්තමානයේ දී නම් කල යුත්තේ දිගින් දිගට කල්පනා කරමින් නොසිට කරන දෙය (මේ මොහොත) ගැන අවධානයෙන් සිටීමයි. මන්ද අප සිත් තැවුල් ඇති කරගන්නේ සිතින්ම නිර්මාණය කරගන්නා මිත්‍යාවකටයි. උදාහරණයකින් දක්වනවනම් අපට ඇසෙන්නේ ශබ්ද රාශියක් පමණි. ඒ ශබ්ද වචනවලට හරවා එයට අර්ථකතනයන් දී සිත් තැවුල් ඇති කරගන්නේ අපේම සිතයි. 

අවසාන වශයෙන් අපට තණ්හාව අත්හැරීමට පුලුවන්. එය ටික ටික පුහුණු විය යුතු කුසලයක් වන අතර එය ද අපට දෙයාකාරයකට පුරුදු විය හැක. ලෝකයේ පවතින අසුබ, පිළිකුල්, අසාර , අප්‍රිය දේවල් සිහිකර ලෝකය පිළිබද ඇලීම අත් හැරීම හෝ ලෝකයේ පවතින අනිත්‍ය ස්භාවය යතාර්ථවාදීව සිහිකිරිමෙන් ඇලීම දුරු කිරීම එම ක්‍රම දෙකයි.

මෙලෙස විවිධ උපක්‍රම යොදා ගැනීම මගින් අපට එදිනෙදා ජීවිතයේ දී සැනසීමෙන් කල්ගත කිරීමට අපට හැකියාව තිබෙනවා. ඔබ කුමන ක්‍රමයක් බාවිතා කලද එය නිවැරදී ක්‍රමයක්දැයි සලකා බැලිය යුතුයි. ඒ සදහා ඇති හොදම ක්‍රමයනම් තමා සැනසීම ලැබීමට යොදාගන්න ක්‍රමයෙන් තමාටත් අනුන්ටත් කිසිම අයුරක අයහපතක් නොවනවාදැයි සලකා බලන්න. එසේ කිසිවකුටත් අයහපතක් නොවී සැනසීම ලබාගතහැකි ක්‍රමයක් ඇත්නම් එය බාවිතා කරන්න.

ඔබ බාවිතා කරන ක්‍රම ඇත්නම් සදහන් කරන්න. ඔබට නිවන් සුව ලැබේවා !  

Monday, July 1, 2013

61 සතිය

වේදනාවෙන්, බයෙන්, දුකින්,හෝ තරහින් ඉන්නනම් පිළිවෙලින් නරක, තිරිසන්, ප්‍රේත, හෝ අසුර භවයක ඉපදෙන්න තිබුණා. මිනිහෙක් වෙන්න ඕන නෑනේ.

Friday, June 28, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 9

ඔය ඉවෝන් කියන හාදයා සිරිල් මන්ත්‍රි ගේ චක් ගෝලයෙක්ගෙ පුතෙක්ලු. මිනිහගෙ හරි නම අයිවන් සිරිතුංග. ඒ වුනාට මෑන් කැමති ඉවෝන් කියනවට. මොකද මිනිහා ටිකක් නහරයා. පොලවට ටිකක් ඉහලින් තමයි ඉන්නේ. ක්ලාස් එන්නෙත් බෙන්ස් එහෙක. කොයිවෙලෙත් යතුර අතේමයි, දබරැඟිලෙ දාගෙන කර කව කව ඉන්නවා. කෙල්ලො පන ඇරලා ඒකට. ඇයි ඉතින් බෙල්බොටමක් ගහලා ට්ඩිඩ් කමිසයක් ඇදලා සපත්තු එහෙම දාලා හැන්ඩියා වගේනේ ඉන්නේ. කොන්ඩෙත් තෙල් අට්ටියක් විතර ගාලා තලාගෙන තමයි ඉන්නේ. අපි ඉතින් ඒ දවස්වල හම්පඩයොනෙ හි හි.
ඉතින් ඒකත් එක්ක අනුෂගෙ පටලැවිල්ලක් තිබුණා. ඒක තාත්තට කියයි කියල තමයි එයා බයවෙලා හිටියේ. අපි ආපහු එනකොට එයා කිව්වා “ ප්ලීස් අරවින්ද ඩැඩිටනම් ඉවෝන් ගැන කියන්න එපා. මං දන්නවා ඩැඩි ඔයාව මේ පන්තියට දැම්මෙ මං ගැන ඔත්තු බලන්න තමයි“.
 “අනේ නෑ මිස් සර් හරි හොදයි. මට සර් එහෙම දෙයක් කිව්වෙ නෑ මිස්.“ කියලා මං කිව්වා. එතකොට එයා කිව්වා “ හරි හරි ඒ වුනාට ඩැඩීට මුකුත් කියන්න එපා. අනිත් එක මට මිස් මිස් කියන්නත් එපා, අරුන්ට ඇහුනොත් එහෙම මට වදේ දාවී.“   “හරි හරි අනූෂා මිස්“ කියලා මං කිව්වම ඒකිට හිනාවක් ගියා.

ඊ ළඟ සතියෙත් අනූෂයි මායි කාර් එකෙන් පන්තියට ගියා. එදා අපි යනකොට ඉවොන්ගේ කාර් එකත් පාර්ක් එකේ තිබුනා. අපේ කාර් එක නැවැත්තුවා විතරයි මිනිහා කාර් එකේ ඉදන්ම අනූෂට අත වැනුවා. ඊට පස්සෙ අනුෂා බැග් එකෙන් ටියුට් වගයක් අරගෙන “ අරවින්ද අද මං ඉවෝන් එක්ක ගමනක් යනවා. ඔයා ක්ලාස් එකට යන්න, මං ක්ලාස් ඉවරවෙන වෙලාවට මෙතන ඉන්නම්. මේ ටියුට් ටික ඉනෝකාට දෙන්න. ඩැඩීටනම් කියන්න එපා හොදේ“ කියලා කිව්වා. මං ඒ පාර කිව්වා “අනේ මිස් නෑ.. අනුෂා මාව අමාරුවෙ දාන වැඩනම් කරන්න එපා“කියලා. “අනේ මේ ඔහේ බය නැතුව ඉන්නවා ඩඩාලට මේවා තේරෙන්නෑ. මං වේලාවට ඇවිල්ලා ඉන්නම්“ කියලා කිසි ගානක් නෑ වගේ කිව්වා. මං ඉතින් මොනා කරන්න ද මාත් ටියුට් ටිකත් අරගෙන පන්තියට ගියා.
මං යනකොට පන්තියෙ ළමයි පිරිලා. බර්ටියා ඉන්නව දැකලා මං ගියා මිනිහා ලගට. ගිහින් ඇහුවා “ මේ ඉනෝකා කියන්නෙ කවුද“ කියලා. මිනිහා මාව දැක්ක ගමන් “ආ කෝ අනූෂා........ආ සම්ජා සම්ජා ඕ.. නහි ඉනෝකා ආවෙ නෑ“ කියලා කිව්වා. මං කිව්වා “ එයාට මේ ටියුට් ටික දෙන්න කියලා කිව්වා“ කියලා.
 ඒ පාර  බර්ටියා කියනවා “අදත් ඉනෝකා එයිද දන්නෑ, ඔය ටික ඔයාම තියාගන්න කියලා. ඒ වෙලාවෙම ඈත ධම්මි එනවා දැකලා මිනිහා පැනලා ඒ පැත්තට ගියා “ආවෝනා ආවෝනා මේරේ ප්‍රේමී“ කියාගෙන. මාත් ඉතින් තාම එක දවසනේ ක්ලාස් ගිහින් තිබුනේ. යාලුවොත් නැති එකේ මං ගිහින් ඉස්සරහින්ම ඉදගත්තා. කොහොමත් අනිත් උන් පස්සෙ සීට් අල්ල ගන්නවනේ.

කොහොමහරි ක්ලාස් පටන් අරගෙන ටික වේලාවක් යනකොට ආවා නිකන් අමුතු ලස්සනක් තියෙන ගෑනූ ළමයෙක්. ඇවිල්ලා “එක්ස්කියුස් මී සර්“ කියාගෙන පස්සට යන්න හදනකොට මං වාඩීවෙලා හිටපු තැන පෙන්නලා “කම් කම් ෆෝවඩ් සිට් හීයර්“ කියලා කිව්වා. මට නිකන් කරන්ට් එක වැදුන වගේ උනා ඒක ඇහිලා හී... එයාගෙනම් මූන ඇඹුල් වෙලා ගියා. මොනවා කරන්නද ඉතින් මාත් එක්ක අමාරුවෙන් වගේ හිනා වෙලා ලගින් ඉදගත්තා.   

Next chapter - http://asanka-mind.blogspot.com/2013/07/10.html

Wednesday, June 26, 2013

තාරුකා

රාත්‍රීයේ පිපෙන්නේ තාරුකා
නුඹෙ නෙත් විලේ දිලෙන්නෙ තාරුකා
මා දිහා බලන්න - ලංවෙලා හිදින්න
ආදරෙයි කියන්න තාරුකා

තාරුකා තාරුකා මා ඔබේ කියන්න තාරුකා //

මාහදේ ආදරේ-සේ රැදේ සාගරේ
මා ලගින් හිදින්න - ආදරෙන් බලන්න
ලංවෙලා කියන්න තාරුකා
තාරුකා තාරුකා මා ඔබේ කියන්න තාරුකා

රාත්‍රියේ පිපෙන්නෙ....../

ජීවිතේ යාවුනේ-මීවිතේ සේ දැනේ
මේ වගේ හිදින්න - වෙන්වෙලා නොයන්න
මංමුලා නොවන්න තාරුකා
තාරුකා තාරුකා මා ඔබේ කියන්න තාරුකා

රාත්‍රීයේ පිපෙන්නෙ....//

Sunday, June 23, 2013

60 සතිය

ජීවිතයත් ක්‍රිකට් වැනිය, අරමුණක් ඇතත් මූණ දිය යුත්තේ පන්දු එන හැටියටය.

Saturday, June 22, 2013

11 ලිපිය - සතුට 9

අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සතුටින් සිටීමේ අවසාන ක්‍රමයේ අවසාන කොටසයි. ඒ තමයි අත්හැරීමේ දෙවැනි ක්‍රමය:
පරම අර්ථය තුලින් අත්හැරීම
මොකක්ද මේ පරම අර්ථය තුලින් අත්හරිනවා කියන්නෙ? එයින් මා අදහස් කරන්නේ ලෝකයේ පරම සත්‍ය හදුනාගැනීම තුලින් ආසාවන් අත් හැරීමයි. ගිය ලිපියෙන් අපි සාකච්ඡාකලේ අපිට පෙනෙන දැනෙන ලෝකයේ ඇති අසුබ පිළිකුල් ස්භාවය මෙනෙහි කරමින් ආසාවන් අත්හරින ආකාරයයි.

නමුත් මෙම ක්‍රමය ලෝකයේ යතාර්ථය නැතිනම් ලෝකයේ සංයුතිය හා පැවැත්ම පිළිබද පරම සත්‍ය මෙනෙහි කිරීම තුලින් ආසාවන් අත් හැරීමයි. ඒ සදහා අප මුලින්ම යතා ස්භාවය දැනගතයුතුයි.  මා පළමු ලිපි තුලින් ලොකයේ සංයුතිය හා පැවැත්ම පිළිබද සාකච්ඡා කර ඇත.

අපිට යම් දෙයක් පිළිබද දුකක්, වේදනාවක්, තරහවක් ඇතිවන්නේ ඒ පිළිබද අපතුල යම් බලාපොරෝත්තුවක් ආසාවක් ඇති නිසයි. අපි යතාර්ථය දන්නේ නම් අපිට කල්පනා කරන්න පුලුවන් අපි මේ ඇලෙන හෝ ගැටෙන දෙය ආපෝ,තේජෝ, වායෝ, පඨවි හා විඥ්‍යාන කියන මූලික ධාතුවලින් සෑදුනු කිසිවකුගේ පාලනයකින් තොර හේතු නිසා හටගත් හේතුන්ගේ අස්ථිර බව නිසාම සෑම විටම වෙනස්වන ස්භාවයක් පමණක් බව. එවිට අපේ හිතේ ඇතිවුනු ඇලීම හෝ ගැටීම නැතිවෙලා යනවා.

මේ මොන මෝඩ වැඩක්ද මගේ හිතින් මං ඇලිලා ඉන්නේ හේතු නිසා වෙනස්වෙමින් යන ධාතු ගොඩකට නේද කියලා අපි කල්පනා කරනකොට අපට ක්‍රමයෙන් ආසාවන් අඩුකරගන්න හැකියාව ලැබෙනවා.

සාමාන්‍ය ජීවිතයේ දී අපිට අත්විදින්න වන බොහෝ සංවේදී දේවල් වලදී මෙම ක්‍රමයතුලින් සිත හදාගන්න අපිට පුලුවන්. ඒ වාගේම අප මෙම ලෝකය දෙස යතාර්ථවාදී ව කල්පනා කිරීම තැම්පත් වූ ශාන්ත සිතකින් කරන්න පුළුවන්නම් එය නිවන් දැකීමටද හේතු වෙනවා. මන්ද එවිට යතාර්ථය අවබෝධ වන බැවිනි. 

මෙතැනින් සතුටින් සිටීමේ ක්‍රමයන් විශේෂයෙන් මා ප්‍රායෝගිකව භාවිතාකර ප්‍රතිඵල ලබා ඇති ක්‍රමයන් අවසන් වෙනවා. මේ ලිපි පෙලෙහි සාරාංශයක් ඊ ළඟ ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබට නිවන් සුව ලැබේවා!

Friday, June 14, 2013

59 සතිය

ආදරය යනු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බඹ විහරණ මිස යමෙක් කෙරෙහි ඇතිවන ඇල්ම නොවේ.

Sunday, June 9, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 8

මොකක්ද දන්නවද මුදලාලී මහත්තයගෙ යෝජනාව, මිනිහා කියනවා “අයිසෙ තමුසෙ යනවා අනූෂා යන ඉංග්‍රීසි ක්ලාස් එකට, ඩොන්ට් වොරි අබවුට් ක්ලාස් පීස්, සල්ලි ගැන මං බලාගන්නම්, ඒක අනූෂටත් හොදයි.
දෙන්නත් එක්ක වැඩ කරනකොට එයත් හැදේවී. “

ඊළඟ දවසේ හවස මහත්තයා අනූෂට මේ ගැන කිව්වා. “ අනූෂා හෙට ඉදන් අරවින්දත් එනවා ඔයාගෙ ටියුෂන් එකට. එයාටත් ඕන කරන පොත් පෑන් දෙන්න. ඕකේ. “ ඒක ඇහුවම ගෑනිගේ මූණ ඇඹුල්වෙලා ගියා මං දැක්කා. තාත්තා යනකන් ඉදලා ඒකී මට කියනවා “ආවට කමක් නෑ ඩැඩීගේ කන්ට්‍රැක්ට් බාර ගන්නව නෙවෙයි“. මොන කන්ට්‍රැක්ද මිස් කියලා මං ඇහුවම “හරි බලමුකෝ“ කියලා ගසාගෙන යන්න ගියා.

පහු වෙනිදා අනූෂා එක්ක මාත් ක්ලාස් යන්න සෙට් වුනා. කොහොමත් මං එයාව ඩ්‍රොප් කරන්න යනවනේ. වෙනදට එයාව ඩ්‍රොප් කරගෙන මං සයිට් එකට යනවා. අද වාහනේ පාර්ක් එකට දාලා දෙන්නත් එක්කම පන්තියට යනකොට ඉස්සරහට ආවා ජෝඩුවක්. “ආ අද ඩ්‍රයිවරුත් පන්ති ඇවිල්ලා වගේ“ කියලා එතනට ආපු කෙල්ල අනුෂගෙ අතින් ඇදල ලඟට ගත්තා. මට ඉතින් පොළව පලන් යන්න තරම්. “නෑ එයා අපේ ගෙදර නැවතිල ඉන්න කෙනෙක්. වෙනදට වැඩට යනගමන් මාව ඩ්‍රොප් කරගෙන යනවා. ඩඩා කිව්වා එයාවත් එක්ක යන්න කියලා“ කියලා අනූෂා මගේ නම්බුව බේර ගත්තා හොද වෙලාවට.
එතනට ආපු අනෙක් හාදයා ටිකක් කොට පොරක්. මිනිහගෙ නම බ(ර්)ටි. ඒ වුනාට බර්ටි, බෙටී, බට්ටා වගේ එක එක වෙලාවට එක එක නම් වලින් තමයි කතා කරන්නෙ.

මිනිහා ටිකක් විහිලු කාරයා. එක පාරටම අනූෂයි ධම්මී කතා කර කර ඉන්න මැද්ට පැනලා “ අන්න ඉනෝකා කිව්වා අද එයාටත් එක්ක ටියුට් ගන්න උඹට කියන්න කියලා සම්ජා.. “ කියලා අනුෂට ඇඟිල්ලක් උලුක් කරා. "තමුසෙට කොහෙන් ද එයාව මීට් වුනේ“ කියලා ධම්මී ඇහුවා. “ඇයි අනේ අපි හැන්දෑවට ප්ලේ කරන්න යන්නේ ඒකිගෙ ගේ ගාවින්නේ. ඔන්න ඊයෙත් අපි මැච් ගහන්න යනකොට මෙන්න ඉනෝකා ඉන්නවා මධුරි දිස්ටිය වගේ සදලු තලේ බලාගෙන. මාව දැක්ක විතරයි අතක් වනලා හයියෙන් කෑ ගහලා මට අඩගහනවා. ඒයී... බර්ටී, ඒයී.. බර්ටී දේකෝනා. මේහු නහී කම් ටුමාරොන්ගේ, ටියුට් ගන්න අනූෂාට බෝලෝනා.. සම්ජා කියලා කිව්වා. ඉතින් ඒක මං ඔන්න දැනුම් දුන්නා සම්ජා...“ කියලා මිනිහා ඇක්ටින් පාරකුත් දැම්මා

එතකොටම එතෙන්ට ආපූ කොල්ලෙක් “ අනේ පල පල ඩෝ. තෝයී මායී දන්න හින්දි“ කියලා බර්ටියට පල් එකක් දැම්මා. දාලා අනූෂා දිහා බලලා මං දිහාත් බලලා කවුද මූ කියලා අහන්නා වගේ ඇහි බැම අකුලලා ආයේ අනූෂා දිහා බලලා මූන උලුක් කලා.

“ඇයි බබා මං ඔයාට කිව්වේ.. අර අපේ ගෙදර නැවතිලා මට අකවුන්ට්ස් උගන්නනවා කියලා. එයා තමා මේ අරවින්ද“ කියලා අනූෂා කිව්වම ඒ යකා මට අත දික් කරලා “ හලෝ අයිම් ඉවෝන්“ කියලා කිව්වා. මාත් ඉතින් අතට අත දීලා මුදලාලි මහත්තයා කරන්න වගේ “නයිට් සූ මීට් ටූ“ කියලා කිව්වා. ඒ පාර මිනිහට බකස් ගාලා හිනා ගියා. ආයෙ ඔලොක්කුවට වගේ හිනා වේගෙන අනුෂෘ දිහා හැරිලා “වටර් රූස්ටික් ගයි“ කියලා හෙමීට කියලා ඈගේ කරට උඩින් අතක් දා ගත්තා.   

Next chapter - http://asanka-mind.blogspot.com/2013/06/9.html

Friday, June 7, 2013

58 සතිය

භය යනු තිරිසන් සතුන්ගේ ආවේණික ලක්‍ෂණයකි. යහපත් මිනිසුන් කිසිවකට භය නොවේ.

Wednesday, June 5, 2013

11 ලිපිය - සතුට 8

මෙතුවක් කල් සතුටින් සිටීමේ ක්‍රමයන් සාකාච්ඡා කල අපි අද අවසාන ක්‍රමය ගැන සාකච්ඡා කරන්නයි යන්නේ. මෙම ක්‍රමය තමයි සදාකාලිකවම දුක නැති කිරීමේ එකම ක්‍රමය. ඒ වාගෙම අපහසුම ක්‍රමය. නමුත් අපට මෙම ක්‍රමය  ද යම් තරමකින් හෝ දුක නැතිකිරීමට භාවිතා කල හැක. එම ක්‍රමය තමයි තණ්හාව නැති කිරීම. නැතිනම් ආසාව නැති කිරීම. එය කියන තරම් හෝ පෙනෙන තරම් පහසු දෙයක් නොවෙයි. එම ක්‍රමය ද ක්‍රම දෙකක් යටතේ සාකච්ඡා කිරීමට මා බලා පොරොත්තු වෙනවා. එනම්,
  1. සම්මුතිය තුලින් අතහැරීම
  2. පරම අර්ථය තුලින් අතහැරීම
මෙම ක්‍රමයන් බුද්ධ භාෂිතයන් යැයි වරදවා නොගන්නා ලෙස මුලින්ම කිව යුතුයි. බුදු දහම මට තේරුම් ගිය ආකාරය අනුව ඉදිරිපත් කිරීමක් පමණකි මෙය.

සම්මුතිය තුලින් අත්හැරීම ලෙස මා අදහස් කරන්නේ අපට පෙනෙන ඇසෙන දැනෙන ලෝකයේ වන දේවල් අත් දැකීම තුලින් අත් හැරීමට පුරුදු වීමයි. සිදුහත් කුමරා ද පළමුව කලකිරීමට පත් වුයේ මෙම සත්‍ය දැකීම නිසයි. එනම් මේ ජීවිතයේ හා සියලුම ලෞකික දෙයහි ඇති අස්ථිර අනියත බව දැකීමයි.

මූලික වශයෙන් අප සියල්ලන්ම වයසට යෑම, ලෙඩ වීම, මරණය කියන පොදු ධර්මයට යටත් බව වටහාගත යුතුය. ඊ ළඟට එම ධර්මතාවයට අප යටත් නම් යමක් අල්ලා ගැනීමේ ප්‍රයෝජනය හා වැදගත්කම කල්පනා කල යුතුය. අප යමකට ආසා වූ සැනින්ම කල්පනා කල යුත්තේ එහි ස්ථිර අස්ථිර බවයි. යමක් අප කැමති විදියට පවත්නා කාලය කොපමණ ද?
ඔබට අලුත්ම කාර් එකක් නොමිලෙම ලැබුනොත් එය ඔබ සතුව ස්ථිරවම පවතින කාලය කොපමණ ද? අවුරුද්දක්, මාසයක්, දවසක්, පැයක්, විනාඩියක්? එය කොහොමටවත් කිය නොහැක. සියල්ල ඒ තරම්ම අස්ථිරය. ඔබට ලැබුණු වාහනය නැවත අයිතිකාරයා ඉල්ලුවොත් මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම ඔබේ සිතේ කාරය පිළිබද තිබූ ආසාවේ ප්‍රමාණයට වේදනාවක් ඇතිවෙනවා.
මේ ලෝකයේ ආසාවක් ඇතිවන සියල්ලම මේ වගේ අස්ථිරයි. ඔබේ පෙම්වතා/ පෙම්වතිය ඊ ළඟ මොහොතේ වෙනස් නොවේ යැයි කාට කිව හැකිද, ලෙඩ නොවේ, මිය නොයයි කාටනම් කිව හැකිද? තමාට ඊ ළඟ  මොහොතේ සිදුවන දේ ස්ථිරව කිව හැක්කේ කාටද?
දැන් ඉතින් ඔය අත් හරිනව කියන එක අනිත්‍ය බව දැනගත්තා කියලා අත්හරින්න පුලුවන් කාටද?
අම්ම කෙනෙක්ට තමාගේ එකම දරුවා මිය ගියොත් “අනේ ඕක මොකක්ද, අපි කවුරුත් මැරෙනවා නේ“ කියලා හිත හදාගන්න පුලුවන් ද? ඒක නිසා තමයි මා කිව්වේ මේක අමාරුම ක්‍රමය කියලා.

ඒ නිසා අත් හැරීම කියන්නෙ ටික ටික පුරුදු කලයුතු දෙයක් කියලා. ඒ සදහා ඔබට අනවශ්‍ය වැඩිපුර ඇති දේ දන් දීමෙන් පටන් ගෙන ක්‍රමයෙන් තමා වඩ වඩාත් කැමති දේවල් දීමට පුරුදු විය හැක. තමා බඩ ගින්නේ ඉන්න විට තමාගේ කෑම එක වෙනකාට හරි දීලා එයා ඒක කන දීහා බලන් ඉදල තියෙනවනම් දන්නව ඇති අපි බඩගින්නේ හිටියත් දැනෙන සතුට.
මේ අතරම අපි තව දෙයක් කල යුතුයි. එනම් අසුභය, පිළිකුල් හෝ මරණානුස්සතිය වැනි භාවනාවක් කිරීම. මෙය පැත්තනට වෙලා කලයුතු දෙයක්ම නොවෙයි. නිකන් ඉන්න හැම වේලාවේම මේ ශරීරයේ ඇති තිස් දෙකක් වූ කුණූප කොටස් ගැන, ලෙඩ රෝග වර්ග ගැන, මැරුණ කෙනෙකුගේ ශරීරය කුණු වෙන ආකාරය ගැන කල්පනා කල හැක. මෙය තමාට යම් ආසාවක් ඇතිවූ විටම කල හැකිනම් වඩා ප්‍රායෝගිකයි. මොකද මං එහෙම කරල තියෙන නිසා. ගෑණු ළමයෙක් ගැන තදින් හිතට ආසාවක් ආ විට මා කල්පනා කරන්නේ ඔය ඇදුමට යටින්, සමට යටින් තියෙන්නේ මොනවා ද කියලයි.
ලස්සනට තියෙන කෙස් ටිකක් කන පරිප්පු එකේ තිබුනොත් කොහොමද?, අපස්මාරය හැදිලා කටින් සෙම දදා හිටියනම් මොන වගේ ද?, වයසට ගිහින් හම රැළි වැටිලා, හකු බැහැලා, මූණේ ලප දාලා ඉන්නකොට කොහොමද? මට මේ ආසාවක් ඇති වුනේ අපි අකමැති කැතම කැත කෙල්ලෙකුටත් තියෙන දේවල් වලටම නේද? මගේ ඇස් නොපෙනුනානම් ආච්චි කෙනෙකුගෙයි මේ කෙල්ලගෙයි වෙනස මොකක්ද?

මෙන්න මේ වගේ නිතරම තමාට දකින්න ලැබෙන සියලු භෞතික දේවල් ගැන කල්පනා කරන කොට අපේ හිතේ ඒ දේවල් වලට තියෙන ආසාව ටික ටික නැති වෙලා යනවා. ඊට පස්සෙ ඒ දේවල් ඇතත් නැතත් සිතට ආසාවක් බයක් ඇති වෙන්නේ නෑ.

මෙය ටිකක් අපහසු, ඉතා කල්පනාකාරීව ප්‍රඥ්‍යාවෙන් යුතුව කලයුතු සහ ගොඩක් අය අකමැති ක්‍රමයක්. මොකද එකක් එවිට ජීවිතය ගැන කලකිරේවී කියන බය. මොකද ගොඩක් අයට ඕන නිවන් දකිනවට වඩා කාලා බීලා ජොලියෙ ඉන්නයි. අනිත් කාරණයනම් ප්‍රඥ්‍යාවෙන් තොරව  අසුභය, පිළිකුල් හෝ මරණානුස්සතිය ගැන කල්පනා කොට ජීවිතය එපා වීමයි. කලකිරීම ගැටලුවක් නැතත් ජීවිතය එපා උනොත් සමහර විට සියදිවි නහගැනීමට වුනත් සිතෙන්න පුලුවන්.

කෙසේ වෙතත් මෙම ක්‍රමය තුලින් ආසාවන් නැති කිරීමටත්, දුක නැති කරගැනීමටත් හැකියාව ඇත. ප්‍රඥ්‍යාවන්තව ලෝකයේ සිදුවන දේවල් ගැන විමසා සිත හදාගැනීමට හැකියාව ලැබේවා.
ඔබට නිවන් සුව ලැබේවා !
 

Wednesday, May 29, 2013

57 සතිය

ඔබට සතුටු විය යුත්තේ කැමති දේ කිරීමෙන් නොව, කල යුතු දේට කැමති වීමෙනි.

Saturday, May 25, 2013

අවසන් මොහොත

ගොක් කොල රෑන් පෙනෙනා විටරෑ සීනේ
සිත සැනසෙන්න කිසිවක් සිහි කෙරුවානේ
අවසන් හුස්ම වැටෙනා  විට   සිරි   යහනේ
මට  සිහි  වුනේ  මා  කල  පින දී   දානේ
දහසින් පියළි දී ගත් ඉඩ කඩම්      ගැන
නෑදෑ හිත මිතුරු සහචර යෝ ද    ගැන
රතු තරු ලකුණු ඇති කඩදහි කෑලිගැන
සිතුවත් අනේ නෑ මට ඉන් වැඩක්   උන
යදිමින් හිගා තැන තැන ඔහෙ ඇවිද   යන
යාචකයකුට දුන්නා රුපියලක්        ගෙන
මතකෙට ආව ඒ දානය හිතට         ගෙන
සැනසුම් සුසුම් හෙලුවෙමි හිත පහද ගෙන

Saturday, May 18, 2013

56 සතිය

අපි තරහ පෙන්විය යුතු අවස්ථා පැමිණේ නමුත් තරහ ගත යුතු අවස්ථා නැත.

Sunday, May 12, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 7

අම්මෝ ඈට උගන්වනව කියන්නෙ මාළුවෙක්ට ඇවිදින්න උගන්නනව වගේ. මං කිව්වා ඔක්කොම අකව්න්ට්ස් පොත් ටික අරන් එන්න කියල බලන්න. ඔන්න ඉතින් උඩට ගිහින් විනාඩි විස්සක් විතර ඉදලා ගෙනාවා පොත් ගොඩක්. ඔක්කෝම ටියුෂන් පන්ති වලින් දීපු පොත්. අලුත්ම ඒවා, අල්ලලවත් නෑ. මං ඒකෙන්ම හිතාගත්තා කෙල්ලගෙ තරම.
ඈත් මගේ වයසමයි. ගියපාර විශයයන් හතරම අසමත්. සම වයසෙ නිසා මං කියන දේවල් වැඩිය ගනන්ගත්තෙ නෑ. උගන්නන්න පටන් ගත්ත වෙලේ ඉදන් වොශ්රූම් එකට ගිහින් එන්නම්, වතුර ටිකක් බීලා එන්නම් කිය කියම යනවා. මං කිව්වා “මේ මිස් මට ඔය විදියට නම් උගන්නන්න බෑ. පොඩ්ඩක් උනන්දුවෙලා මං කියනදේ හොදට අහං ඉන්න කියලා“ ඒ පාර ඒකි කියනවා “ඔහේට උගන්නන්න බැරිනම් මං ඩඩාට කියල වෙන කෙනෙක් හොයා ගන්නම්“ කියලා. අතට ගත්තු එක කටට දාගන්නැතුව වෙන මොනවා කරන්නද කියලා මාත් කාගෙනම හිටියා.
ටික දවසක් ඔය විදියට කරගෙන යනකොට මේකිට වෙන පිස්සුවක් හැදීගෙන ආවා. ඔන්න හිටපු ගමන් මං උගන්නන දිහා ඔහේ බලං ඉන්නවා, කිසිම දෙයක් ඔලුවට ගන්නෙ නෑ. දවසක් මං ඇහැව්වා කොහෙද බලං ඉන්නෙ මං කියන ඒවා තේරෙන්නැද්ද මිස්“ කියලා. “තෙරෙනවා. තෙරෙනවා..... මට මෙ ගාන ආයෙ කියල දෙන්න බැරිද හලෝ අර අන්තිමට කියපු ටික තේරුනෙ නෑ“ කියලා ආයෙ ඒකම ඒකම අහනවා. මං ඉතින් බිංදුවෙ ඉදලා කියලා දෙනවා.
මාසයක් විතර කරනකොට කොහොම හරි ඕනෑම ගණුදෙනුවක් කිව්වම හර බැර හරියට කියාගන්නයි, මොන එකව්න්ට් එකටද එන්නෙ කියන්නයි පුළුවන් ගානට ගොඩ ගත්තා. දොණියැන්දගෙ දියුණුව දැකලා මුදලාලි මහත්තයටත් හරි හැපි. මිනිහා මට කියනවා “අයිසෙ තමුසෙ මෙයාව පාස් කරල දුන්නොත් තමුසෙට ඕන දෙයක් මං දෙනවා“ කියලා. මං කිව්වා අනේ සර් අකව්න්ට්ස් වලට නම් කොහොම හරි සම්මාන සාමාර්ථයක් අරන් දෙන්න පුළුවනි, අනෙක් ඒවාට මොනවා කොර ගනීද දන්නෑ“ කියලා. ඒ පාර මිනිහා කියනවා “මොකක්ද අයිසෙ තමුසෙ අනිත් ඒවත් ටික ටිකවත් කියල දෙනවකෝ, එයාට අකව්න්ට්ස් අමාරයි කියපු හින්දයි මං ඔහේට ඒක උගන්නන්න කිව්වේ. අනිත් ඒවා ෆේල් වෙලා එකක් පාස් වෙලා මොන උලව්වකටද?“
මං ඉතින් මොනා කරන්නද හාං කියලා නිකන් හිටියා. හැබැයි මොනව උනත් මහත්තයා මට මාර ආදරෙයි.

මොකද, ආයෙ සතියකට විතරපස්සෙ මාර වැඩක් උනා. මිනිහා මාත් එක්ක ගියා ගෙදරකට මොකක්ද වැඩක් බලන්න. මිනිහා ඉතින් පොඩි පොඩි වැඩ කරන ගමේ බාස් කෙනෙක් නෙවේනේ. ලොකු කොන්ත්‍රාත් වලට තමා කෙලින්ම අත ගහන්නේ. ඒක තනිතට්ටුවේ කඩයක් කඩලා තට්ටු පහක ලොකු බිල්ඩිමක් ගහන වැඩක්. ඉතින් මිනිහයි මායි ගියා ඒක බලන්න. ඒ කඩේ අයිති මහත්තයා ෆොරින් බිස්නස් කරන බිස්නස් කාරයෙක්, ඉංග්‍රීසියෙන් තමා වැඩ. ඒ දවස්වල මට ඉංග්‍රීසිත් බෑ. ඔය වචනයක් දෙකක් තේරුනාට එහෙමටම ඉංග්‍රීසි දන්න එකක්යෑ. මාත් ඉතින් ඒ ගොල්ලො කතා කරන දිහා බලන් හිටියා. මෙන්න බොලේ එකපාරටම මුදලාලි මගේ පැත්තට හැරිලා “වට් ඩූ යූ තින්ක් අරනවින්ද?“ කියලා ඇහැව්වා. මං එකපාරටම රත්වෙලා ගියා. මොන උලව්වක්ද මං කොහොමද දන්නෙ, මාත් ඉතින් හිනාවක් දාලා “ආ....යස් සර් යස් සර් කිව්වා“ මිනිහට බකස් ගාලා හිනා ගියා. අර යකාටත් වැඩේ තේරුනාද කොහෙද බොහොම අමාරුවෙන් බිම බලාගෙන කට උල් කරගෙන හිටියා.

පස්සෙ කොහොම හරි වැඩේ ඉවර වෙලා කාර් එකේ එන ගමන් මහත්තයා මගෙන් අහනවා “ඈ ඕයි මං හිතුවෙ තමුසෙට ඉංග්‍රීසී ටිකක් හරි පුළුවන්ය කියලා. තමුසෙ කිව්ව නේද ලොකු මහත්තයෙක් වෙන්න හිතාගෙනයි කොළඹ ආවේ කියලා.“
ඔව් සර් ඒකනම් එහෙම තමයි. මට ඉංග්‍රීසි ටිකක් පුළුවන්. සර් එකපාරටම අරම ඇහුවම මං බයවුනා ඒකයි“ කියලා මං ශේප්එකක් දැම්මා. ඊට පස්සෙ සර් කියනවා
“එහෙම නෙමෙයි අයිසෙ මං කියන්නම් තමුසෙට වැඩක්. ඔහොමනම් පුතෝ මේ කපේදි ගොඩ යන්න බෑ“
  
Next chapter - http://asanka-mind.blogspot.com/2013/06/8.html

Friday, May 10, 2013

55 සතිය

පොඩිඋන්ට ලොවෙත් ප්‍රශ්ණ ඇත්තේ කුතුහලය නිසාය. වැඩිහිටින්ට නම් වගකීම් නිසාය.

Monday, May 6, 2013

11 ලිපිය - සතුට 7

අතීතයත් අනාගතයත් අත්හැරීමෙන් අපට සතුටින් සිටිය හැකිද?. පසුගිය ලිපිවල දී අතීතයත් අනාගතයත් අතහැරීමේ අගය ගැන පැහැදිලි කලා එමගින් අපිට 90% විතර දුක නැති කරගන්න පුලුවන්. එහිදි මා සදහන් කලා වර්තමානයේ කලයුතු වැඩ කරන්න අතීතයත් අනාගතයත් ගැන සිතමින් ඉදීමෙන් පලක් නෑ කියලා. නමුත් අපි එදිනෙදා වැඩකටයුතු කරද්දි උනත් අපිට දුක වේදනාව ඇතිවෙනවා. ඒකට හේතුව තමයි අපි වර්තමායට ඇලීම. අපි දැන් කරන වැඩේ ගැන උනත් හිතන්න පටන් ගන්නවා. ඊට පස්සෙ නොයෙක් විදියෙ සිතුවිලි ඇවිත් අපිට දුක, තරහව ඇතිකරනවා.

උදාහරණයක් ලෙස හිතන්න අපි බර වැඩක යෙදී සිටිනවා කියලා. අපේ හිතේ අතීතය ගැනවත් අනාගතය ගැනවත් කිසිම අදහසක් නෑ. නමුත් අපේ පංචේන්ද්‍රියන් වැඩ. අපිට අතේ පයේ වේදනා ඇති වෙනවා. එහෙම වේදනාවක් ආපු ගමන් අපි සිතන්න පටන්ගන්නවා. “මොන කරුමයක් ද මන්දා, කිසිම නිදහසක් නෑ, වැඩ වැඩ ඉවරයක් නෑ. මීට හොදා හිඟා කෑවනම්. ..........." මේ වගේ සිතුවිලි එනවිට අපිට කරමින් සිටින වැඩේ එපා වෙනවා විතරක් නෙවේ, තරහව, ඉරිසියාව, තණ්හාව වගේ අකුසල් සිතුවිලි ද පහල වෙනවා. ඒ නිසා අපි වර්තමානයද අත්හැරිය යුතුයි. අපි කොහොමද වර්තමානය අත්හරින්නේ?

අපි සිතන එක නතර කලයුතුයි. ඒ කොහොමද ඒ?. අපිට නොසිත ඉන්න බෑනේ. මොනවම හරි සිතුවිල්ලක් හැම වෙලේම හිතේ තියෙනවනෙ. ඇත්ත අපිට හිතෙන්නෙ එහෙම තමයි. නමුත් මෙහි හිතන එක නතර කරනවා කියන්නෙ අඩුම තරමින් කරන වැඩේ ස්භාවයේ දිග පලළ ගැන හිතන එකවත් නවත්තන එක. මොකද ඇත්තටම අපිට හොද පුහුණුවක් ඇත්නම් නොසිත ඉන්න පුලුවන් නිසා (සමථ භාවනාව හොදින් වඩන්නෙකුට සිතිවිලි නතර කල හැක). නමුත් එතකොට වැඩ කරන්න බෑනේ. ඒක නිසා වැඩ කරන වෙලාවට කරන ක්‍රියාව කල්පනාවෙන් කරන්න. ඊට අදාල වෙනත් දේවල් ගැන හිතන්න යන්න එපා.

අපි උදාහරණයක් අරගනිමු. ඔබ උදේ පාන්දර ඇහැරුණාම කල කිරෙනවද? “මොන වදයක්ද නිදිමතේ බෑ“ කියමින් ඈණූම් යවනවද?. පුටුව උඩම නින්ද යනවද?. නමුත් බලන්න විනෝද චාරිකාවක් යන්න උදේම නැගිට්ටාම කිසිම නිදිමතක් ඇගේ අමාරුවක් නෑ. එහෙම වෙන්නෙත් අපි හිතන විදිය නිසයි. වර්තමානයේ අපි කරනවැඩේ ගැන අපි හිතන විදිය අනුව දුක සතුට වෙනස්වෙන්නෙ එහෙමයි.

ඔබ පන්තියේ ගුරුවරයා කියන දේ අහන් ඉන්න විට ඔබට නොදැනිම වගේ ගුරුවරයා කියූ වචනයක් ඔස්සෙ සිත ඈතට ඈතට ගමන් කරනවා අත්විද ඇති. එවිට කරමින් සිටි වැඩය අමතක වී ගොස් මොහොතකින් නැවත පියවි සිහියට එනවිට ගුරුවරයා කියූ බොහෝ දේ ඔබට මඟහැරීත් ඇති. එතනදි සිදුවුනෙත් වර්තමානයෙ ඇසුනු වචනයකට ඇලීම නිසා සිත ඒ වෙත ඇදී යාමයි. මේ විදියට තමා වර්තමානයේ කරන ක්‍රියාව නිසා සිතට එන අරමුණු වලට ඇලීම නිසා අපි දුකට වේදනාවට පත් වෙන්නේ. මේ නිසා තමයි වර්තමානය අප අත් හැරිය යුත්තේ.
 ඒ සදහා මේ මොහොතේ සිත ගැන කල්පනාවෙන් සිටිය යුතුය. තමාගේ සිතේ මේ මොහොතේ ඇත්තේ කුමන සිතුවිල්ලක්ද? යහපත් එකක්ද අයහපත් එකක්ද යන්න කල්පනාවෙන් සිට අයහපත් සිතුවිලි ආ වහාම එය අත්හැර යහපත් සිතුවිල්ලක් ඇති කරගත යුතුයි. එවිට අපිට හැම මොහොතම සතුටින් සිටිය හැකි.


ඉහත සදහන් කල පරිදි අතීතයටත් අනාගතයටත්  වර්තමානයටත් නොඇලී සිටීම හුදකලා වී සිටීම කියලත් කියනවා. මෙය ක්‍රමයෙන් පුහුණු කල යුතුයි. ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව හෝ වෙනත් ඕනෑම සමථ භාවනාවක් තුලින් තමාගේ සිත පිලිබද කල්පනාව හෙවත් යෝනිසෝ මනසිකාරය වැඩීම කරගන්න පුලුවන්. එවිට සිතට දුක, වේදනාව, තරහව, ඊරිසියාව, දැඩි ආශාව වැනි අකුසල සිතුවිලි එන එක වලක්වා ගැනීමට පුලුවන් වෙනවා.

මෙයින් සතුටින් සිටීමේ දෙවැනි ක්‍රමයේ පළමු කොටස අවසන් වන අතර ඊලඟ ලිපියෙන් අවසන් ක්‍රමය හෙවත් තණ්හාව නැති කිරීම ගැන සොයා බලමු.

Thursday, May 2, 2013

54 සතිය

ආදරය එක් අයකුට සීමා නොවන අතර එක් අයකුට සීමා වන්නේ ආදරය නිසා ද නොවේ.

Saturday, April 27, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 6

කොහොමහරි මට එතන රස්සාව ලැබුණා. මට මුලින්ම තිබුනේ බාස්ලට අත්වැඩ දෙන්න තමයි. ඒත් සති දෙක තුනක් යනකොට මුදලාලිගේ විශ්වාසය දිනාගන්න මට පුලුවන් උනා. අර පණ්ඩිත කෙල්ලට නම් මාත් එක්ක මාර කෝන්තරයක් තමයි තිබුනේ. මං පුදුමත් උනා මෙච්චර හොද මහත්තයෙක්ට මේ වගේ නාහෙට අහන්නැති දුවක් ඉන්න එක ගැන. මං උන්නෙ සල්ලිකාරකම නිසා කියලා. ඒත් පස්සෙ තමයි තේරුනේ වැඩේ.

කොහොම හරි මං මහත්තයගේ හිත දිනාගෙන හිටපු නිසා දුව කෑම ගේනන කම්මැලි දවසට හරි පන්ති යන දවසට හරි මාව තමයි ගෙදරින් කෑම එක ගේන්න යැව්වේ. දවසක් මං මුදලාලිගේ ගෙදරින් කෑම එක ගෙනැල්ලා වාඩියෙන් තියන්න යනකොට මුදලාලි ගණන් වගයක් හදමින් උන්නා. මං කෑම එක තියලා මේස උඩ තිබුනු හිස් වතුර බෝතලය ගත්තා පුරවන් එන්න. එතකොටම මුදලාලී මගෙන් ඇහුවා
“අයිසෙ තමුසෙ ඇඩ්වාන්ස් ලෙවල් පාස් උනා කියලා කිව්ව නේද?.“
“ඔව් සර්. මට වාසිටියට යන්න තරම් ලකුණු ගන්න බැරිඋනා“ මං කිව්වා.
“තමුසෙ මොන අන්සෙන්ද උසස් පෙළ කලේ. මැතමැටික්ස් ද?“
“අනේ නෑ සර්. වාණිජ අංශයෙන් කලේ“
“ඉතින් හොදයිනෙ මනුස්සයෝ. තමුසෙට අකව්න්ටින් එහෙම පුලුවන්ද?“
“අපෝ පුලුවන් සර්.මට ඒකට සම්මාන සාමාර්ථයක් තියෙනවා. ඇයි සර් කාටහරි පන්තියක් කරන්නද?“
“නෑ අයිසෙ. තමුසෙට පුලුවන්ද මට මේ අකව්ට්ස්  වැඩවලට හෙල්ප් එකක් දෙන්න. මං රුපියලකින් තමුසෙගෙ පඩිය වැඩි කරල දෙන්නම්“
“හරි සර් මට පරන එකව්ට්ස් වල විස්තර දෙන්නකො. මං බලලා සර්ට කියන්නම්“

කොහොමහරි සති තුනක් යද්දි මට උසස් වීමකුත් ලැබුනා. මං අම්මා ගැන කිව්වම මිනිහා මට බැංකු ගිණුමකුත් ඇරලා දුන්නා රු 100 ක් දාලා හදිස්සියක් උනොත් ගන්න කියලා. ඒ විදියට මං මාස තුනක් විතර වැඩ කලා. මං එකව්න්ට් ඔක්කොම පිළිවෙලට ගානට තියාගෙන ආවා.මිනිහටත් පුදුමයි එච්චර පැහැදිලිව ගනණ් මිනුම් තියනවා දැකලා. ඉතින් දවසක් මුදලාලි මහත්තයා මට කතා කරලා කිව්වා “තමුසෙ කිව්ව නේද තමුසෙට අකව්ට්ස් උගන්නන්න පුලුවන් කියලා. මට තමුසෙව විස්වාසයි. උඹ හොද එකා.. හවසට තමුසෙ එනවා අපේ ගෙදර, අපේ දුවගෙ විභාගෙටත් තව මාස 3 4කට වඩා නෑනේ“
“මේ මොන හෙනයක්ද මේ කඩා පාත්වෙන්නේ අර යක්ස ගැනීට උගන්නන? “කියලා මට හිතුනා. ඒත් මොනවා කරන්නද රස්සාව බේරගන්න ලොක්කා කියන දෙයක් කරන්නත් එපැයි. මං කිව්වා හරි සර් මං ඇවිල්ලා කියල දෙන්නම්“

මං ඉතින් කිව්ව විදියට හවස සර්ලගෙ ගෙදර ගියා. එතන මට දැන් නුහුරු තැනකුත් නෙවෙයි. එත් එදානම් මං ගියේ බයෙන්. මොන මගුලක් වෙයිද දන්නෑනේ. මං ගියේ සර් එක්කම සර්ගෙ කාර් එකෙන්මයි.
“අරවින්ද ඔහොම වාඩිවෙලා ඉන්නවකො. මං දුවට කියල එන්නම්. එයාට මං කිව්වෙ නෑ ඔහේවයි එක්කන් එන්නෙ කියලා. ඔහොම ඉන්නවකෝ“ එහෙම කියලා සර් උඩ තට්ටුවට ගියා. ටික වෙලාවකින් පඩිපෙල දිගේ අරකි පහලට ආවා. හිරට හිරේ කලිසමකුත් ගහගෙන හරියටම ඉන ගාවට දිග ෂර්ට් එකකුත් දාගෙන. දැක්ක ගමන්නම් මගේ හිතත් මොකක්ද උනා. ඒකි දැක්කවෙලේ ඉදන් පපුව දඩස් දඩස් ගාලා ගැහෙන්න ගත්තා. මං ඕන තරම් මීට කලින් දැකල කතා කරල තිබුනත් උගන්නන්න යන්නෙ පලවෙනි වතාවටනේ. ඉස්කොලේ යන කාලේ මතකනේ මං ඕන තරම් කෙල්ලොන්ට පන්ති දාලා තියෙනවනේ හිහ් හිහ් නැද්ද මචං.

මේ ගැනී මාව දැක්කගමන් මොකක්ද දන්නවද කිව්වේ. “ අපෝ ! මේ මොඩයද මට උගන්නන්න එක්ක ආවේ“

මට පොලව පලන් යන්න තරම් හිතුනා. පස්සෙ ලොකු සර් ඒකිට බැන්නා “ඔහොමද ළමයො කතා කරන්නේ. මේ ළමයට හොදට අකව්න්ට්ස් පුලුවන්. ඒ ළමයා කියන විදියට ඉදලා දන්නැති දේවල් අහගන්නවා. මේ පාරනම් මාත් එක්ක සෙල්ලම් කරන්න ලැස්ති වෙන්න එපා අනූෂා “ .

Next chapter - http://asanka-mind.blogspot.com/2013/05/7.html


Wednesday, April 24, 2013

ආදර විභාගා


අප හමුවුන හැටි මතකද සොදුරිය
මට වාගෙම නුඹටත් අමතක ඇති
එනමුත් මතකයි අද වාගෙම මම
සිටියා දවසක් නුඹ හමුවී...//

දෑතට බරදී උඩ බිම බලමින්
අහස පොළව ගෙන ගැටලන විලසින්
සිටියා එදවස වාගෙම මෙලසින්
නු‍ඹෙ පැනයට මා පිළිතුරු සොයමින්

අප හමුවුන හැටි.../

එදවස ඔබ මා හමුවී තෙවරක්
නොම මගහැර හැම පාසා වසරක්
අද ඇයි වසරට හමුවී දෙවරක්
රිදවන්නේ අසමින් පැන දහසක්

අප හමුවුන හැටි.../

Sunday, April 21, 2013

53 සතිය

අප අමනාප විය යුත්තේ පුද්ගලයා සමඟ නොව වැරැද්ද සමඟයි. පුද්ගලයා තුල වැරැද්දට ඉඩ නොතැබිය යුතුය.

Tuesday, April 16, 2013

11 ලිපිය - සතුට 6

පසුගිය ලිපිය මගින් අප තේරුම් ගත්තා අතීතය අත් ඇරීමෙන් අපේ සිතේ ඇතිවන දුක 50%කින් පමණ අවම කරගත හැකි බව. අද අපි අනාගතය තේරුම් ගැනීමට උත්සහ කරමු. අනාගත යනු නොපැමිණි යන්නයි. එනම් තවම සිදුනොවුනු නැතිනම් සිදුවිය හැකි හෝ සිදුවිය නොහැකි දෙයකි. අප බොහොවිට අසා ඇති දෙයක් තමයි අනාගතය සැලසුම් කිරීම. ඇත්තටම අපිට අනාගතය සැලසුම් කල හැකිද?
පුළුවන්. 
කොහොමද අනාගතය සැලසුම් කරන්නේ?
  • ඉලක්කයක් තබා ගැනීම
  • මාර්ගය තීරණය කිරීම
  • මාර්ගයේ ගමන් කිරීමේදී සිදුවිය හැකි හා සිදුකලයුතු දෑ තීරණය කිරීම
  • ඒ සදහා අවශ්‍ය දෑ සූදානම් කිරීම
හොදයි මං හිතනවා මගේ ඉලක්කය උසස් පෙළට ඒ සාමාර්ථ 3ක් ගැනීම. මාර්ගය නම් සැලසුම් සහගතව පාඩම් කිරීම. දාන ගෙවල් මගුල් ගෙවල් ආවොත් ලෙඩ උනොත් කල යුතු දෑ සැලසුම් කිරීම. අවශ්‍ය පන්ති, පොත්පත්, සහ අනෙතකුත් දෑ සූදානම් කිරීම. දැන් මම අනාගතය සැලසුම් කරලයි තියෙන්නේ. දැන් නම් මම ඒ 3ක් ගන්නවමයි.
දැන් මං සැලසුම් කල විදියටම කටයුතු කරගෙන ගියා. නමුත් විභාගය දවසේ මං ගමන්ගත් වාහනය අනතුරකට පත් වුනා. මගේ බලාපොරොත්තු සියල්ල අවසානයි.

දැන් මං මේ කතාව කිව්වේ අනාගතයේ අවිනිශ්චිතතාවය පෙන්වන්නයි. දැන් අපට පැහැදිලි වෙනවා අනාගතය සැලසුම් කලත් ඒ විදියටම ඒ දේවල් සිද්ධ නොවන වග. මෙයින් මං කියන්නෙ නෑ අනාගතය සැලසුම් කිරීම වැඩක් නෑ කියල. අප තේරුම් ගන්න ඕන අනාගතය කියන දෙය අප සිතන පතන විදියටම නොවන නිසා අනාගතයට ඇලෙන්න හොද නැති බව. මං ඒ 3ක් ගන්නවාමයි කියලා ඒ වෙනුවෙන් තදින් බැදුනානම් මොකද වෙන්නෙ? මට විශාල දුකක් වේදනාවක් ඇතිවෙනවා. ඒ නිසා තමාට නොලැබුනු නොසිදුවුනු දෙයක් ගැන ආසාවල් තබා ගැනීම අත්හැරීම, අනාගතය අත් හැරීම වෙනවා.

මෙහිම අනෙක් පැත්ත තමා බයවීම. එයද සිදුවන්නේ අනාගතයෙන් යමක් බලාපොරොත්තු වීම නිසයි. බය ඇතිවන්නේ එය එසේ සිදු නොවේයැයි සිතෙන නිසාය. මට ඒ තුනක් ගන්න බැරිවෙයි. මෙහෙම උනොත් මං ඉවරයි. ඒක එහෙම වුනොත් ඉදල මොකටද වශයෙන් අනාගතයට ඇලුනු නිසාමයි බිය ඇතිවන්නේ. අප තේරුම් ගන්න ඕන ඒ දෙය සිදුවීමට වගේම සිදු නොවීමට ද හැකියාව ඇති බව. අපිට යම් ප්‍රමාණයකට මෙය උනොත් මෙය කරනවායැයි විකල්ප තබාගත හැක. නමුත් සිදුවිය හැකි සියල්ල අපට උපකල්පනය කල නොහැක. ඒ නිසා අපිට අතීතය වාගේම අනාගතයද වෙනස් කල නොහැක. මන්ද එය තවමත් සිදු නොවූ මන:කල්පිතයක් පමණක් බැවිනි.
බුදුරජානණ් වහන්සේ විසින් අනාගතයේ ස්ථිර වශයෙන් සිදුවන දේ දේශනා කර ඇත. ලෙඩ වීම, වයසට යාම, මරණය, ලෝක විනාශය, කල්ප විනාශය වගේ. මීට අමතරව පොදුවේ අප දන්නා ඉර පායන බව, දවස් ගෙවෙන බව වගේ දේවල්ද තියෙනවා. ඒ නිසා අනාගතය සැලසුම් කිරීම වැදගත්. නමුත් එහි ඇලීම අනවශ්‍ය දෙයක්.

ඒ නිසා අනාගතයට බියවීමත්, ඇලුම් කිරීමත් දුකට හේතු වන බව දැන අනාගතය අත්හැර දැමිය යුතුය. අද කල යුතු වැඩ අද කරන්න. හෙට කුමක් වුවත් කමක් නැත. මන්ද අද නැති සතුට හෙට කෙසේවත් නොලැබේ. ඔබ අනාගතයට බයවී සිටීනම්, සිතන්න මා බයවී සිටින දෙයටම මීට කලින් දහසක් දෙනා මුහුන දී ඇත. ඉන් පසුවත් ඔවුන් සතුටින් සිටී බවද මතක තබා ගන්න. සමහර විට ඔබට මතක ඇති ඔබ සෑම විභාගයකට කලින්ම බය වී සිටිය බව. ඉන් සමහරක් ඔබ සමත් සමහරක් ඔබ අසමත්. නමුත් ඔබ තවමත් සතුටින් සිටිනවා.

අනාගතයේ මැරුණු අය නැත. අනාගතයේ ලෙඩ වුවෝද නැත. අනාගතයේ කිසිවක් සිදු වී නැත. අනාගතය අතහැර මේ මොහොතේ කලහැකි සහ කලයුතු දේ කරන්නේ නම් අනාගතයේ පසුතැවීමට සිදු නොවනු ඇත. 

Saturday, April 13, 2013

52 සතිය

ඔබ ස්ථීරව නොදන්නා කිසිවක් විශ්වාස නොකරන්න. බෞද්ධයා ඇදහීම් වලින් තොරවිය යුතුය.

Friday, April 12, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 5

එදා දවසම රස්සාවක් හොය හොයා ඇවිද්දත් මට කිසිම රස්සාවක් හොයාගන්න බැරිඋනා. උඹට කියන්න අපේ අධ්‍යාපන සුදුසුකම් වලට සලකන රටක් නෙවේ මේක. අන්තිමට කකුල් ගෙවෙනකම් ඇවිදලා කළුවර වැටෙනකොට කොම්පඤ්ඤ වීදියේ බස් නැවතුම්පලක ලැල්ලක ඉදගත්තා. හතරවටින් කළුකරන විට කඩවිදීයේ  පහන්කණුවල එළිය වැඩියෙන් පේන්න ගත්තා. මං එහෙන්ම ලෑල්ලෙ දිගා වුනා. එතැනට පැමිණි ගෑණුද පිරිමිද මා දිහා හොරෙන් බලමින් සිටියේ වෙරිමතේ පාරවල් අයින් වල වැටිලා ඉන්න මිනිහෙක් දිහා බලන ගානටයි. “කොළඹ ඇවිල්ලා මං කරගත්තු මෝඩ කමක මහත“ යැයි මට සිතුණා.

ඒත් නැවත ගෙදර ගිහින්ද පලක් නැත. ගෙදර යාමට තරම් මුදලක් ද දැන් මා ළග ඉතිරිව නැත. ලොකු රස්සාවක් ගැන තිබූ මගේ හීනයද කෙමෙන් කෙමෙන් බොදවී යන්නනට විය. දැන් ඉතිරිව ඇත්තේ ජීවත් වීමට කීයක් හරි සොයා ගැනීමයි. හොද රස්සාවක් හොයා ගන්න අදුරන කිසිවකු හෝ සිටිය යුතුය. මට එවිට අම්මා සිහිවිය. අම්මා මා නැති සෝකයෙන් වැළපෙමින් සිටිනු ඇත. ඈ මා කිසිදාක බඩගින්නේ නොතුබුවාය. තාත්තා ද නැතිව ඈ මා වෙනුවෙන් කොතරම් ගැහැට විද ඇත්ද?.

ඈත අහසෙන් තරුවක් කඩා වැටෙන දිහා මා බලාගෙන හිටියා. මෙහේ ගමේ වගේ රෑ වෙනකොට මං මාවත් පාළුවට නොයයි. සමහර කඩවල් වැසෙද්දී අලුත් කඩවල් විවෘත වෙයි. අප එතැනම සිටියදී පරිසරය වෙනස් වෙයි. දහවල් දූවිල්ලෙන් ද කසඩ මිනිස්සුන්ගෙන් ද පිරී තුබු නගරය. නෝනාලගෙන් ද මහත්වරුන්ගෙන් ද මෝටර් රථ වලින්ද පිරෙයි. හෙට කුමක් කල යුතුදැයි නැවතත් මගේ හිත ප්‍රශ්න කරයි. මා එදා රාත්‍රියේ නින්දට ගියේ ලැබෙන ඕනෑම වැඩක් කර කීයක් හෝ හම්බුකරගැනීමේ අටියෙනි.

ඊ ලඟ දවස මා අවදිවන විට හොදටම හිරු ඒළිය වැටී තිබුණා. මිනිස්සුන්ගෙන් නගරය පිරී ගිහින්. ඇදුමේ තිබුනු දූවිළි ගසා දමා බෑගයත් කරේ ඒල්ලාගෙන නැවතත් පාරදිගේ ගමන් කෙලමි. පාර අයිනේ තුබූ ජලනලයකින් මූණ සෝදාගෙන පාර දිගේ ඇබැර්තුවක් සොයමින් ඇවිද්දෙමි. අවසානෙය් "මේසන්වරු හා අත් උදව්කරුවන් අවශ්‍යයි“ කියා පූවරුවක් ගසා තිබෙනු දැක මා ඒ පැත්තට ගිහින් බැලුවා. එය විශාල ගොඩනැගිල්ලක් වූ අතර තෙවන තට්ටුවේ කොන්ක්‍රීට් කණු බාගෙට දමා තිබුනා. ඒ අසලම ලෑලී කාමර කීපයක් තිබූ අතර කොන්ත්‍රාත් කරුවන්ට ලැගුම්ගැනීමට ඒවා තනා තිබුනා. මං යන විටත් ඔවුන් වැඩ අරඹමිනුයි හිටියේ. මං එතැන වැඩ කරමින් සිටී කොල්ලෙකුගෙන් “මල්ලී ලොකු මහත්තයා කොහෙද?“ කියලා ඇහුවම ඒ යකා මා දිහා අමුතු බැල්මක් හෙලා කට කොනින් සිනා සී රස්සාවක් දැයි ඇසීය. මේක මහ පුදුමයක් මං දැක්ක ගමන්, රස්සාවක් හොයන බව මේ මිනිස්සු දන්නෙ කොහොමද?. මමත් සිනා සී “ඔව් ලොකු මහත්තයා ඉන්නවදැ“ යි නැවත ඇසිමි. ලෑලි ගෙවල් දිහාට ඇඟිල්ල දිගුකල ඔහු “ඇතුලෙ. කනවා“ යැයි කියමින් වැලි ගොඩට සවල් පාරක් ගැසීය.

මම ද ඒ දෙසට ගමන් කර ලෑලි කාමරපේලියේ ඉදිරියෙන්ම කුබු කාමරයේ දොර වෙතට ගියා. එකවරම දොරෙන් එලියට ආවේ තරුණ ගෑනූ ළමයෙක්. ඇගේ අතේ පාර්සලයක් තිබූ අතර ඈ එළියට ආ වේගයට එය මගේ කකුලේ වැදුනා. ඈ මා දිහා බලා ඔලොක්කුවට මෙන් සිනාසී යන්නට ගියාය. “මහ පිස්සු කෙල්ලෙක්. මාව තුට්ටුවකට මායිම් කලේ නෑ“ යි මට සිතුනා. මා කාටවත් නොපෙනෙන ලෙස දණහිස හෙමින් අත ගා ගනිමින් දොරට තට්ටුක් දැම්මා. ඇතුලේ සිටි පුද්ගලයා“කවුද? ඇතුලට එන්න“ යැයි කිව්වා. මං ඇතුල් වූ විට දැකගතහැකි වූයේ වයස 50ක් පමණ වූ මහත්මයෙකි. සුදු කමිසයක් ඇද සිටී ඔහු මා දෙස ගල් ගැසී බලා හිටියා. ඔහුට තිබුනේද කලින් එළියට ගිය කෙල්ලගේ නහහයමය. එය දිගටි නහයක් වූ අතර අග වක් වූ ස්භාවක් තිබුණා. කොණ්ඩය තැනින් තැන සුදූ වී තිබුනත් වර්ණ ගන්වා තිබුනා.

“සර් මං ආවේ......... අර ලැල්ලෙ ගහලා තිබුනේ....... අත්උදව්“ මා වාක්‍ය ඉවර කිරීමට පෙර ඔහු රස්සාවක් නේද? යැයි ඇසීය. මීට කලින් වැඩ කරල එහෙම තියෙනවද?. නම මොකද්ද කිවිවේ?
“මං අරවින්ද සර් අරවින්ද නානායක්කාර. මං මේසන් බාස්ලට අත් උදව් දීල තියෙනවා ඉස්කොලෙ යන කාලේ ඉදලම.“ මං කිව්වා.
“තමුසේ කොහෙද ඉන්නේ?“
“මං අම්බලන්ගොඩ කිරිනුගේ ඉන්නෙ. මායි අම්මයි විතරයි ඉන්නෙ, මං කොහොම හරි රස්සාවක් හොයා ගන්න ඕන සර්, අම්මට සලකන්න කවුරුත් නෑ සර්“ මං මගේ දුක්ගැනවිල්ල කිව්වා. මිනිහා ටිකක් වෙලා මා දිහා බලා ඉදලා “සතියට රුපියල් පහයි, කැමතිද?“ කියලා ඇහුවා.


“මං කැමතී !“

Next chapter - http://asanka-mind.blogspot.com/2013/04/6.html

Saturday, April 6, 2013

ආගම රට ජාතිය බේරා ගැනීම !

හුඟ කාලයකට පස්සෙ මෙ පැත්තෙ ඒන්ට හිතුනෙ අහවල් එකක් නොවෙයි කට කහනවට. මෙච්චර දවසක් කිසි ගැටළුවක් නැතුව ඉදපිනා. මේ මාධ්‍යයෙන් කනින් කොනින් ඇහෙන පෙනෙන එව්වා දැක්කාම කට කොයි කොයි ගානව නෙව.

මෙන්න මේකයි කාරණාව. කාරණාව කියාපියන්ට ඉස්සරින් වෙන කාරණා ඇබින්දක් තියෙනවා කියාපියන්න. අපි ඉතින් බෞද්ධයන් හැටියට බුදු දහම අදහන එව්වො නොවෙයිනෙව. බුදුන් වදාළ අයුරින් කාරණා කාරණා තේරුම් අරගෙන ඒ පෙන්නාලා දුන්නු මගෙ යන්න ඕන එව්වොනේ. ඉතින් බාල්ලා ආවේගය, තරහව කියාපියන්නෙ උන්නාන්සේ අනුමත කොල එව්වද? උන්නාන්සෙ රැක ගන්නැයි කියැව්වේ අහවල් එකද? හිත නෙව. උන්නාන්සේ ආගම රැකගන්න කියාලා මොකෑ කොලේ. එහෙම එකක් කොලේ නෑ නෙව. ඇත්ත ඇතිසැටියෙන් පෙන්නා දීල වැරදි පාරේ ගිය එව්වො, මං මුලා වෙච්ච ඈයෝ හරි මගට ගත්ත මිසක්කා. එහෙනං ඕං කෙලවරක ඉදන් ඔක්කොම එව්වෝ මහණ කොරගෙන කොරගෙන යන්ට තිබ්බ නෙව. සාසනේ රැක ගන්ට, පිරිස වැඩි කරගන්ට.

උන්නාන්සෙ වදාලේ මක්කද? මොඩයානම් තමාට දරුවො ඇත, ධනය ඇත කියාලා වෙහෙසෙනවාය තමාට තමනුත් නැති කලේ මොන අහවල් එකක් රැක ගන්ඩද කියාලනෙව. දැන් මේ ලගදි මට කියවන්ඩ ලැබුනනෙව හොද පොතක්. එකෙ තිවුනා ඕකට යස කතාවක්. අම්මපා එකෙ තියෙච්ච විදියෙන්ම ඒකත් දමාලම ඉන්නම්කො එහෙනං

සමුදය සත්‍ය වසන මෝහය අප්‍රහීණ බැවින් ඔහුට ඒ ඇල්ම දුක් ඇතිවිමේ හේතුව බව නොපෙනෙන්නේ ය. ඔහුට පෙනෙන්නේ ඒ ඇල්ම සැපයට හේතුවක් ලෙසය. ඒ ඇල්ම උතුම් කොට ගන්නා වූ තැනැත්තේ සමහරවිට එයින්,  "මම දරුවන්ට ආලය ඇත්තා වූ නෑයන්ට - මිතුරන්ට - රටට-  ජාතියට ආලය ඇත්තා වූ කෙනෙක් වෙමිය  " යි තමා ගැන ආඩම්බර ද වෙයි. ආලයක් නැතියවුන් පහත් කොට ද සිතයි.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමිපාදයන් වහන්සේ (පටිච්ච සමුප්පාද විවරණය- 14 වන මුද්‍රණය)

ඉතින් මං මෙ කියාපියන්ට ගියේ මේකයි බොල. මේ ලොකයේ හැමදේම නැතිවෙනවානෙව. ඒක සක්කරයටවත් නවත්තන්ට ඇහැකියෑ. ඉතින්බොලන් ධර්මයත් කවදා හෝ වැලලි යනවනෙව. අපි බලන්ට ඕනෑ ඊට කලියෙන් ඇහැකි ඇහැකි එව්වොන්ට ඇත්ත කියාපිනාලා නිවැරදි මග පෙන්නා දෙන එක නෙව. සීලය රකින්ට ඕන, නිවැරදි මඟ කියා දෙන්ට ඕන එව්වොම පෙළපාලි යන්ටයි, පිකැටින් කොරන්ට යන්ටයි, පිසුනා වාචා, පරුසා වාචා කොරන්ට ගියාමයි, බේරගන්ට පුලුවන් ඈයොත් අනික්පැත්ත ගැහෙනව නෙව.

අනුන්ගෙ වැරදි හදන්ට කලියෙන් තමන් කරන්නෙ කියන්නෙ මක්කද, බුදුන්නාන්සේ අනුමත කොරාපුවාද නැද්ද කීයාපිනාලා හිතා බලාපිනානම් තමා ඕං හොද.

ප.ලි- බුදු හාමුදුරුවෝ මගේ සාසනය අහවල් කාලයක් පවතීවා කියාලා ප්‍රාර්ථනා කොලානම් ඒක එහෙම්මම තමා. ආයෙ ඕක රැක ගන්නට නටන්න ඕනැන්නෙ නෑ. අපි බලන්න ඕනෑ කොහොමින් හරි ඒ කාලය ඇතුලත තමනුත් ගොඩ ගිහින් හැකි හෑම කෙනෙක්ටත් ගොඩයන්න උපකාර කොරන එක නෙව.

Tuesday, April 2, 2013

51 සතිය

ඔබේ අත්‍යාවශ්‍යතාවන් හා උවමනාවන් අතර පරතරය අවිවේකී බවට අනුලෝමව සමානුපාත වේ.‍

Friday, March 29, 2013

උඹට මං රැවටෙන්නේ නෑ

හරි පණ්ඩිතයි උඹ
මට උගන්නන්නද හදන්නේ
කවුරුවත් ලොව කියාදුන් දෙය
සැබැයැයි උඹ සිතන්නේ

දෙයක් දුටු විට ඇසුනු විට උඹ
 ඒ මෙයැයි මට කියන්නේ
මව මවා රූ පෙන්නුවත් නුඹ
නැතේ රැවටී සිටින්නේ

වර්ණ පමනයි ශබ්ද පමනයි
පෙනෙන්නේ මට ඇහෙන්නේ
කවුරුවත් ලොව කියාදුන් දෙය
සැබැයැයි උඹ සිතන්නේ

Friday, March 22, 2013

50 සතිය

නොදැන වැරදි සියයක් කරන තැනැත්තා දැනගෙන එක වැරැද්දක් කරන කෙනාට වඩා හොදය.

Thursday, March 21, 2013

11 ලිපිය - සතුට 5

පසුගිය ලිපි වලදී අපි සතුට ලගා කරගැනීමේ පළමු ක්‍රමය හෙවත් වෙනත් කෝණයකින් බැලීමේ ක්‍රමය ගැන සාකච්ඡා කලෙමු.
මීට ඉහත ලිපියේ මා යමෙක් බැන්න විට එහි යහපත දැකීම අපහසු බව සදහන් කලත් මගේ මිත්‍රයකු පැවසුවේ තමා ඒ වෙලාවට මෙය නම් මාගේ ඉවසීම පුරුදු කිරීමට ලැබුණු මහගු අවස්ථාවක් යැයි සිතා සතුටු වන බවයි. ඇත්තටම ඒ වාගේ අපි ප්‍රඥාවන්තව ගැටලු දිහා බැලීම තුලින් සතුට ලගා කර ගත හැකිය.

 අද මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ  සතුට ලබා ගැනීමේ දෙවැනි ක්‍රමයයි. එය අත්හැරීම වේ. මෙය ඉහත ක්‍රමයට වඩා අපහසු ක්‍රමයක් වන අතර මෙම ක්‍රමය වඩා යහපත් වේ.
මෙම ක්‍රමයද ආකාර දෙකකට සිදුකල හැක. එනම්,
  1. කාලය අත්හැරීම
  2. තණ්හාව අත් හැරීම
අද මා සාකච්ඡා කරන්නේ මෙහි පළමු ක්‍රමයයි.

කාලය අත් හැරීම

අපි කවුරුත් දන්නා පරිදි කාලය ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැක. එනම්,
  • අතීතය
  • අනාගතය
  • වර්තමානය
පලමුව අප මෙම කාලයන් තුන පිළිබද අවබෝධයක් ලබා ගත යුතුයි. අතීතය යනු අවසන් වූ කාලයයි. එම කාලය නැවත කිසිලෙසකවත් නොපැමිණේ. ඒ බව ඕනෑම කෙනෙක් දන්නවා. ඒ නිසා අපි අතීතයට බය නොවෙමු. ඒත් බොහෝ දෙනෙකු අතීතය පිළිබද දුක් වෙයි. “අයියෝ මං මොකක්ද කලේ, මට මෙහෙමනෙ කරන්න තිබුනේ, මං කවදාවත් නොහිතපු දෙයක්නෙ උනේ“ ආදී වශයෙන් පසුතැවෙති. නමුත් අප අවබෝධ කරගත යුත්තේ සිදුවූ කිසිවක් නැවත ආපසු හැරවිය නොහැක යන්නයි. අපට අතීතය වෙනස් කල නොහැකි නම් එතැනින් එහාට ඒ ගැන සිතීම මෝඩ කමකි. අපට අතීතයේ වැරදුනු තැන් බලා ඒවා නැවත නොවන්නට කලහැකි යමක් ඇද්දැයි කල්පනා කල යුතුය.

නමුත් අප බොහෝ දෙනෙකු කරන්නේ හැකිතාක් අතීතය ගැන දුක්වී හෝ තරහගෙන වැරදි තීරණවලට එලැඹීමයි. සමහරෙක් අතීතයේ වූ සිදුවීමක් නිසා සියදිවි හානි කරගන්නා අතර තවකෙක් මිනී මරයි. එයින් කිසිවිටකත් අතීතය වෙනස් නොවන බව ඔවුන් කල්පනා නොකරයි. අප කල යුත්තෙ යම් සිදුවීමක් වී නම් එය නිවැරදි කරගැනීමට කලහැකි යමක් ඇත්නම් එය කිරීමත් නැතිනම් එය අත්හැර දැමීමත් පමණි.

අතීතයේ යම් සිදුවීමක් ගැන නැවත නැවත දුක් වීම පවකි. එය දිගින් දිගටම පැවතීම අකුසලයකටද හේතු වේ. මේ නිසා අතීතය අත් හැරීම අනාගතයටද යහපත්ය. මා බොහොවිට තරහව නැති කිරීමට මෙම ක්‍රමය භාවිතා කරයි. යමෙක් මට අවැඩක් කල විට මම එය ගනන් නොගෙන සිටිමි. එය මට නැවත ආපස්සට කරකැවිය නොහැක. ඔහුට බැනීමෙන් හෝ ඔහු සමග තරහ ගැනීමෙන් ඔහු කල දෙය නැතිවන්නේ නැත. වන්නේ තව තවත් ගැටලුව වර්ධනය වීමයි. ඒ නිසා මා එය අත්හැර දමමි.

තමා අතින් දෝශයක් වූ විටද මෙම ක්‍රමය අනුගමනය කල හැක. සිදුවූ දෙය ගැන දුක්වීමෙන් කිසිවක් දෝශය නිවැරදි වීම පිණිස සිදු නොවේ. ඒ නිසා කල හැක්කේ සමාව ගැනීම හෝ සුදුසු වෙනත් යහපත් කටයුත්තක යෙදීමයි. ඒ නිසා අප අතීතය ගැන සිහිකරමින් දුක් වීම හෝ තරහ ගැනීම කිසිම ප්‍රයෝජනයක් නැති තව තවත් ගැටලු වැඩි වන දෙයක් ලෙස නුවණින් දැක එය අත් හැර දැමීම මගින් සිත සනසා ගතහැකිය.

“ඔබේ කමිසයට තේ කහට වැටුනේ නම් ඔබ කුමක් කලද පෙරැලුනු තේ එක නැවත කෝප්පයට යන්නේ නැත. ඔබ වහාම කමිසය සොදා ගන්නේ නම් අඩුම තරමින් කමිසය හෝ බේරා ගැනීමට හැකිවනු ඇත“