Wednesday, June 5, 2013

11 ලිපිය - සතුට 8

මෙතුවක් කල් සතුටින් සිටීමේ ක්‍රමයන් සාකාච්ඡා කල අපි අද අවසාන ක්‍රමය ගැන සාකච්ඡා කරන්නයි යන්නේ. මෙම ක්‍රමය තමයි සදාකාලිකවම දුක නැති කිරීමේ එකම ක්‍රමය. ඒ වාගෙම අපහසුම ක්‍රමය. නමුත් අපට මෙම ක්‍රමය  ද යම් තරමකින් හෝ දුක නැතිකිරීමට භාවිතා කල හැක. එම ක්‍රමය තමයි තණ්හාව නැති කිරීම. නැතිනම් ආසාව නැති කිරීම. එය කියන තරම් හෝ පෙනෙන තරම් පහසු දෙයක් නොවෙයි. එම ක්‍රමය ද ක්‍රම දෙකක් යටතේ සාකච්ඡා කිරීමට මා බලා පොරොත්තු වෙනවා. එනම්,
  1. සම්මුතිය තුලින් අතහැරීම
  2. පරම අර්ථය තුලින් අතහැරීම
මෙම ක්‍රමයන් බුද්ධ භාෂිතයන් යැයි වරදවා නොගන්නා ලෙස මුලින්ම කිව යුතුයි. බුදු දහම මට තේරුම් ගිය ආකාරය අනුව ඉදිරිපත් කිරීමක් පමණකි මෙය.

සම්මුතිය තුලින් අත්හැරීම ලෙස මා අදහස් කරන්නේ අපට පෙනෙන ඇසෙන දැනෙන ලෝකයේ වන දේවල් අත් දැකීම තුලින් අත් හැරීමට පුරුදු වීමයි. සිදුහත් කුමරා ද පළමුව කලකිරීමට පත් වුයේ මෙම සත්‍ය දැකීම නිසයි. එනම් මේ ජීවිතයේ හා සියලුම ලෞකික දෙයහි ඇති අස්ථිර අනියත බව දැකීමයි.

මූලික වශයෙන් අප සියල්ලන්ම වයසට යෑම, ලෙඩ වීම, මරණය කියන පොදු ධර්මයට යටත් බව වටහාගත යුතුය. ඊ ළඟට එම ධර්මතාවයට අප යටත් නම් යමක් අල්ලා ගැනීමේ ප්‍රයෝජනය හා වැදගත්කම කල්පනා කල යුතුය. අප යමකට ආසා වූ සැනින්ම කල්පනා කල යුත්තේ එහි ස්ථිර අස්ථිර බවයි. යමක් අප කැමති විදියට පවත්නා කාලය කොපමණ ද?
ඔබට අලුත්ම කාර් එකක් නොමිලෙම ලැබුනොත් එය ඔබ සතුව ස්ථිරවම පවතින කාලය කොපමණ ද? අවුරුද්දක්, මාසයක්, දවසක්, පැයක්, විනාඩියක්? එය කොහොමටවත් කිය නොහැක. සියල්ල ඒ තරම්ම අස්ථිරය. ඔබට ලැබුණු වාහනය නැවත අයිතිකාරයා ඉල්ලුවොත් මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම ඔබේ සිතේ කාරය පිළිබද තිබූ ආසාවේ ප්‍රමාණයට වේදනාවක් ඇතිවෙනවා.
මේ ලෝකයේ ආසාවක් ඇතිවන සියල්ලම මේ වගේ අස්ථිරයි. ඔබේ පෙම්වතා/ පෙම්වතිය ඊ ළඟ මොහොතේ වෙනස් නොවේ යැයි කාට කිව හැකිද, ලෙඩ නොවේ, මිය නොයයි කාටනම් කිව හැකිද? තමාට ඊ ළඟ  මොහොතේ සිදුවන දේ ස්ථිරව කිව හැක්කේ කාටද?
දැන් ඉතින් ඔය අත් හරිනව කියන එක අනිත්‍ය බව දැනගත්තා කියලා අත්හරින්න පුලුවන් කාටද?
අම්ම කෙනෙක්ට තමාගේ එකම දරුවා මිය ගියොත් “අනේ ඕක මොකක්ද, අපි කවුරුත් මැරෙනවා නේ“ කියලා හිත හදාගන්න පුලුවන් ද? ඒක නිසා තමයි මා කිව්වේ මේක අමාරුම ක්‍රමය කියලා.

ඒ නිසා අත් හැරීම කියන්නෙ ටික ටික පුරුදු කලයුතු දෙයක් කියලා. ඒ සදහා ඔබට අනවශ්‍ය වැඩිපුර ඇති දේ දන් දීමෙන් පටන් ගෙන ක්‍රමයෙන් තමා වඩ වඩාත් කැමති දේවල් දීමට පුරුදු විය හැක. තමා බඩ ගින්නේ ඉන්න විට තමාගේ කෑම එක වෙනකාට හරි දීලා එයා ඒක කන දීහා බලන් ඉදල තියෙනවනම් දන්නව ඇති අපි බඩගින්නේ හිටියත් දැනෙන සතුට.
මේ අතරම අපි තව දෙයක් කල යුතුයි. එනම් අසුභය, පිළිකුල් හෝ මරණානුස්සතිය වැනි භාවනාවක් කිරීම. මෙය පැත්තනට වෙලා කලයුතු දෙයක්ම නොවෙයි. නිකන් ඉන්න හැම වේලාවේම මේ ශරීරයේ ඇති තිස් දෙකක් වූ කුණූප කොටස් ගැන, ලෙඩ රෝග වර්ග ගැන, මැරුණ කෙනෙකුගේ ශරීරය කුණු වෙන ආකාරය ගැන කල්පනා කල හැක. මෙය තමාට යම් ආසාවක් ඇතිවූ විටම කල හැකිනම් වඩා ප්‍රායෝගිකයි. මොකද මං එහෙම කරල තියෙන නිසා. ගෑණු ළමයෙක් ගැන තදින් හිතට ආසාවක් ආ විට මා කල්පනා කරන්නේ ඔය ඇදුමට යටින්, සමට යටින් තියෙන්නේ මොනවා ද කියලයි.
ලස්සනට තියෙන කෙස් ටිකක් කන පරිප්පු එකේ තිබුනොත් කොහොමද?, අපස්මාරය හැදිලා කටින් සෙම දදා හිටියනම් මොන වගේ ද?, වයසට ගිහින් හම රැළි වැටිලා, හකු බැහැලා, මූණේ ලප දාලා ඉන්නකොට කොහොමද? මට මේ ආසාවක් ඇති වුනේ අපි අකමැති කැතම කැත කෙල්ලෙකුටත් තියෙන දේවල් වලටම නේද? මගේ ඇස් නොපෙනුනානම් ආච්චි කෙනෙකුගෙයි මේ කෙල්ලගෙයි වෙනස මොකක්ද?

මෙන්න මේ වගේ නිතරම තමාට දකින්න ලැබෙන සියලු භෞතික දේවල් ගැන කල්පනා කරන කොට අපේ හිතේ ඒ දේවල් වලට තියෙන ආසාව ටික ටික නැති වෙලා යනවා. ඊට පස්සෙ ඒ දේවල් ඇතත් නැතත් සිතට ආසාවක් බයක් ඇති වෙන්නේ නෑ.

මෙය ටිකක් අපහසු, ඉතා කල්පනාකාරීව ප්‍රඥ්‍යාවෙන් යුතුව කලයුතු සහ ගොඩක් අය අකමැති ක්‍රමයක්. මොකද එකක් එවිට ජීවිතය ගැන කලකිරේවී කියන බය. මොකද ගොඩක් අයට ඕන නිවන් දකිනවට වඩා කාලා බීලා ජොලියෙ ඉන්නයි. අනිත් කාරණයනම් ප්‍රඥ්‍යාවෙන් තොරව  අසුභය, පිළිකුල් හෝ මරණානුස්සතිය ගැන කල්පනා කොට ජීවිතය එපා වීමයි. කලකිරීම ගැටලුවක් නැතත් ජීවිතය එපා උනොත් සමහර විට සියදිවි නහගැනීමට වුනත් සිතෙන්න පුලුවන්.

කෙසේ වෙතත් මෙම ක්‍රමය තුලින් ආසාවන් නැති කිරීමටත්, දුක නැති කරගැනීමටත් හැකියාව ඇත. ප්‍රඥ්‍යාවන්තව ලෝකයේ සිදුවන දේවල් ගැන විමසා සිත හදාගැනීමට හැකියාව ලැබේවා.
ඔබට නිවන් සුව ලැබේවා !
 

No comments:

Post a Comment