Tuesday, April 16, 2013

11 ලිපිය - සතුට 6

පසුගිය ලිපිය මගින් අප තේරුම් ගත්තා අතීතය අත් ඇරීමෙන් අපේ සිතේ ඇතිවන දුක 50%කින් පමණ අවම කරගත හැකි බව. අද අපි අනාගතය තේරුම් ගැනීමට උත්සහ කරමු. අනාගත යනු නොපැමිණි යන්නයි. එනම් තවම සිදුනොවුනු නැතිනම් සිදුවිය හැකි හෝ සිදුවිය නොහැකි දෙයකි. අප බොහොවිට අසා ඇති දෙයක් තමයි අනාගතය සැලසුම් කිරීම. ඇත්තටම අපිට අනාගතය සැලසුම් කල හැකිද?
පුළුවන්. 
කොහොමද අනාගතය සැලසුම් කරන්නේ?
  • ඉලක්කයක් තබා ගැනීම
  • මාර්ගය තීරණය කිරීම
  • මාර්ගයේ ගමන් කිරීමේදී සිදුවිය හැකි හා සිදුකලයුතු දෑ තීරණය කිරීම
  • ඒ සදහා අවශ්‍ය දෑ සූදානම් කිරීම
හොදයි මං හිතනවා මගේ ඉලක්කය උසස් පෙළට ඒ සාමාර්ථ 3ක් ගැනීම. මාර්ගය නම් සැලසුම් සහගතව පාඩම් කිරීම. දාන ගෙවල් මගුල් ගෙවල් ආවොත් ලෙඩ උනොත් කල යුතු දෑ සැලසුම් කිරීම. අවශ්‍ය පන්ති, පොත්පත්, සහ අනෙතකුත් දෑ සූදානම් කිරීම. දැන් මම අනාගතය සැලසුම් කරලයි තියෙන්නේ. දැන් නම් මම ඒ 3ක් ගන්නවමයි.
දැන් මං සැලසුම් කල විදියටම කටයුතු කරගෙන ගියා. නමුත් විභාගය දවසේ මං ගමන්ගත් වාහනය අනතුරකට පත් වුනා. මගේ බලාපොරොත්තු සියල්ල අවසානයි.

දැන් මං මේ කතාව කිව්වේ අනාගතයේ අවිනිශ්චිතතාවය පෙන්වන්නයි. දැන් අපට පැහැදිලි වෙනවා අනාගතය සැලසුම් කලත් ඒ විදියටම ඒ දේවල් සිද්ධ නොවන වග. මෙයින් මං කියන්නෙ නෑ අනාගතය සැලසුම් කිරීම වැඩක් නෑ කියල. අප තේරුම් ගන්න ඕන අනාගතය කියන දෙය අප සිතන පතන විදියටම නොවන නිසා අනාගතයට ඇලෙන්න හොද නැති බව. මං ඒ 3ක් ගන්නවාමයි කියලා ඒ වෙනුවෙන් තදින් බැදුනානම් මොකද වෙන්නෙ? මට විශාල දුකක් වේදනාවක් ඇතිවෙනවා. ඒ නිසා තමාට නොලැබුනු නොසිදුවුනු දෙයක් ගැන ආසාවල් තබා ගැනීම අත්හැරීම, අනාගතය අත් හැරීම වෙනවා.

මෙහිම අනෙක් පැත්ත තමා බයවීම. එයද සිදුවන්නේ අනාගතයෙන් යමක් බලාපොරොත්තු වීම නිසයි. බය ඇතිවන්නේ එය එසේ සිදු නොවේයැයි සිතෙන නිසාය. මට ඒ තුනක් ගන්න බැරිවෙයි. මෙහෙම උනොත් මං ඉවරයි. ඒක එහෙම වුනොත් ඉදල මොකටද වශයෙන් අනාගතයට ඇලුනු නිසාමයි බිය ඇතිවන්නේ. අප තේරුම් ගන්න ඕන ඒ දෙය සිදුවීමට වගේම සිදු නොවීමට ද හැකියාව ඇති බව. අපිට යම් ප්‍රමාණයකට මෙය උනොත් මෙය කරනවායැයි විකල්ප තබාගත හැක. නමුත් සිදුවිය හැකි සියල්ල අපට උපකල්පනය කල නොහැක. ඒ නිසා අපිට අතීතය වාගේම අනාගතයද වෙනස් කල නොහැක. මන්ද එය තවමත් සිදු නොවූ මන:කල්පිතයක් පමණක් බැවිනි.
බුදුරජානණ් වහන්සේ විසින් අනාගතයේ ස්ථිර වශයෙන් සිදුවන දේ දේශනා කර ඇත. ලෙඩ වීම, වයසට යාම, මරණය, ලෝක විනාශය, කල්ප විනාශය වගේ. මීට අමතරව පොදුවේ අප දන්නා ඉර පායන බව, දවස් ගෙවෙන බව වගේ දේවල්ද තියෙනවා. ඒ නිසා අනාගතය සැලසුම් කිරීම වැදගත්. නමුත් එහි ඇලීම අනවශ්‍ය දෙයක්.

ඒ නිසා අනාගතයට බියවීමත්, ඇලුම් කිරීමත් දුකට හේතු වන බව දැන අනාගතය අත්හැර දැමිය යුතුය. අද කල යුතු වැඩ අද කරන්න. හෙට කුමක් වුවත් කමක් නැත. මන්ද අද නැති සතුට හෙට කෙසේවත් නොලැබේ. ඔබ අනාගතයට බයවී සිටීනම්, සිතන්න මා බයවී සිටින දෙයටම මීට කලින් දහසක් දෙනා මුහුන දී ඇත. ඉන් පසුවත් ඔවුන් සතුටින් සිටී බවද මතක තබා ගන්න. සමහර විට ඔබට මතක ඇති ඔබ සෑම විභාගයකට කලින්ම බය වී සිටිය බව. ඉන් සමහරක් ඔබ සමත් සමහරක් ඔබ අසමත්. නමුත් ඔබ තවමත් සතුටින් සිටිනවා.

අනාගතයේ මැරුණු අය නැත. අනාගතයේ ලෙඩ වුවෝද නැත. අනාගතයේ කිසිවක් සිදු වී නැත. අනාගතය අතහැර මේ මොහොතේ කලහැකි සහ කලයුතු දේ කරන්නේ නම් අනාගතයේ පසුතැවීමට සිදු නොවනු ඇත. 

No comments:

Post a Comment