Saturday, December 14, 2013

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 4

පසුගිය ළිපි දෙක කියවූ අය අතරින් සමහරක්ට පැහැදිලිව ඵස්සයේ සිට තණ්හාවට එන හැටිත්, අවිද්‍යාවෙන් සංස්කාර ඇතිවන හැටිත් තේරුම් ගැනීමට හැකිවන්නට ඇති නමුත් සමහර අයට කිසි දෙයක් නොතේරී යන්නටත් ඇති. (නිකන් මඤ්ඤං වගේ ඇති)
ඒ නිසා ඊළඟ කොටසට යන්න කලින් උදාහරණයකින් ඒ ටික නැවත විග්‍රහ කිරීම සුදුසු යැයි සිතුණා.

යම් රූපයක් මිනිස් ඇසට පෙනෙන විදියත් ඒ රූපයම වෙනත් සත්වයකුට පෙනෙන ආකාරයත් සිතන්න. උදාහරණයකට ඔබ ප්‍රෙඩේටර් නරඹා ඇත්නම් ඒ සත්වයාට මිනිසුන් පෙනෙන්නේ රතු ගිනිගොඩක් වගේ. මොකද ඌට තිබෙන්නේ උෂ්ණත්වයට සංවේදී ඇසක් නිසා. අපිට දෘෂ්‍ය පරාසයට අයත් ආලෝකයට සංවේදී ඇස් තිබෙන්නේ. මේ නිසා අපට පැහැදිලි වෙනවා අපි දකින විදිය හෝ ප්‍රෙඩේටර් දකින විදිය හෝ ඇත්තටම ඒ රූපයේ ස්භාවය නොවන බව. ඇත්තටම ඒ රූපය මොන ස්භාවයද යන්න කිසිවෙකුට මසැසින් දැකිය නොහැකි. එසේනම් අපි දකින, ඇසෙන, දැනෙන, විදින කිසි දෙයක් අරමුණේ ප්‍රකෘති ස්භාවය නොව වෙනත් ස්භාවයක් බව පැහැදිළි ඇති.
 අපිට ලස්සනට පෙනෙන ස්ත්‍රී හෝ පුරුෂ රූපයක් ප්‍රෙඩේටර් ට පෙනෙන විදියට පෙනෙන්න ගත්තොත් ඒ ලස්සන තව දුරටත් එතැන නෑ. අඩුම තරමේ ස්ත්‍රී පුරුෂ භාවයවත් දකින්නට නෑ. එසේනම් මේ ලෝකය අපට පෙනෙන ආකාරය සම්පූර්ණයෙන්ම මනස විසින් නිර්මාණය කරන ලද්දක් මිස සැබෑ ලෝකය අපට දකින්නට නෑ.

අපි තව උදාහරණයක් ගනිමු. අපි දන්නවා අපේ ඇස සංවේදී වන්නේ ආලෝකයට පමණයි. එනම් අපට පෙනෙන්නේ වර්ණ ගොඩක් විතරයි. මේ වර්ණ එකක් උඩ එකක් ලෙස පිහිටීම මගින් අපට විවිධ රූප නිර්මාණය කරල පෙන්වනවා. චිත්‍ර ශිල්පියෙක් උනත් කරන්නේ මේ ටිකම නේද?. විවිධ වර්ණ එක මත එක උලා විවිධ රූප මතු කරනවා. ඒ වාට අපි වර්ණ ගොඩක් නොකියා ගසක්ය, මලක්ය, මිනිසෙක්ය ආදී නම් දෙනවා. මේක තමයි මුලාව, අවිද්‍යාව. අපි දකින දකින ඒවට ආලෝක කිරණ නොකියා විවිධ හැදින්වීම් නැතිනම් සංඥා ලබා දෙනවා. එසේනම් මේ සකස් කිරීම කරන්නේ විඥානය මගින් අවිද්‍යාව හෙවත් නොදන්නා කම නිසයි. මේ නිසයි බුදු හාමුදුරුවෝ විඥ්‍යානය මායාකාරයෙක් වගේ කිව්වෙ. නැති දෙයක් ඇති දෙයක් ලෙස පෙන්වනවා. නිකන්ම නිකන් වර්ණ ගොඩක් මේ ඉන්නේ උඹේ අම්මා, මේ උඹේ කෙල්ල, මේ උඹේ තරහකාරයා ආදී වශයෙන් මවා පෙන්වනවා. එසේනම් අවිද්‍යා පච්චයා සංස්කාරෝ යන්න හැම මොහොතෙම සිද්ධ වන දෙයක්.

ඒ හැම මොහොතකම ස්පර්ෂයත්, වේදනාවත්, තණ්හාවත් ඇතිවෙනවා. ඒසේනම් අවිද්‍යා නිසා වැරදි සංස්කාර ඇතිවන හැමවිටම ස්පර්ෂයත්, වේදනාවත්, තණ්හාවත්, උපාදානත් ඇතිවන බව පැහැදිලි. මෙහි උපාදාන යනු දැඩි උවමනාවයි. අනාගතය ගැන ඇති බලාපොරොත්තුවයි. එය වඩාත් පැහැදිලි ලෙස ඊ ළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.  

ගැටළු හෝ විවේචන ඇත්නම් ඉදිරිපත් කරන්න. ඔබට නිවන් සුව ලැබේවා. !

No comments:

Post a Comment