Friday, August 5, 2011

3 ලිපිය - ලෝකයේ ක්‍රියාකාරිත්වය

අප දෙවන ලිපි පෙල මගින් ලෝකයේ සංයුතිය ගැන සොයා බලන ලදී. අප මීලගට ලෝකය ක්‍රියා කරන්නේ කෙසේද යන්න සොයා බලමු. එහිදි අපට සතර මහා භුතයන්ගෙන් සැදුනු අජීවි ලෝකය හා විඥ්‍යාන ධාතුව සම්බන්ධ වන සජීවි ලෝකය යන කොටස් දෙක වෙන වෙනම සොයා බැලීම යෝග්‍යයැයි මට සිතේ. එහි පලමු පියවර වශයෙන් අජීවි ලෝකයේ ක්‍රියාකාරිත්වය සොයා බලමු.
 මෙහිදි අපි මේ ලෝකයේ ස්භාවික සිද්ධි ඇති වන්නේ කෙසේද යන්න සොයා බලමු. වැස්ස ඇතිවෙන්නේ කොහොමද? කවුරුහරි අහසෙ ඉදන් වතුර හලනවද, නැත්නම් වැස්සට අධිපති දෙවි කෙනෙක් මිනිසුන්ගේ හිත සුව පිනිස වැස්ස මවනවද? ඒ වාගේ අනිත් සංසිද්ධින් වෙන්නේ කොහොමද?
  අපි බලමු කාටත් වැටහෙන නිසා වැස්ස ඇති වෙන්නේ කොහොමද කියලා. අහසෙ තිබෙන ජල වාශ්පවල බර වැඩිවීම නිසාත් ගුරුත්වාකර්ෂණ බලය නිසාත් නේද වැස්ස ඇති වෙන්නේ. එතකොට අහසේ හැමදාම වහින්න තරම් ජලය කොහින්ද? අහසට ජලය ලැබෙන්නේ පොළවෙ ඉදලා වාශ්පීකරණය වීම නිසා. එතකොට අපිට පෙනෙනවා වැස්ස කවුරුවත් ඇති කරන දෙයක් නොවෙයි හේතු කීපයක් නිසා ඇතිවන බව. මෙහිදී අපට තව කාරණයක් පැහැදිලි වෙනවා. ඒ තමයි යම් ප්‍රතිඵලයක් ඇතිවීමට හේතු බලපානවා. ඒ හේතු ඇතිවීමට වෙන හේතු බලපානවා. මේ විදියට ගියාම නැවතත් මුලින්ම ඇතිවූ ප්‍රතිඵලය අවසානයට ඇතිවූ ප්‍රතිඵලයටම හේතු වෙන බව. ඒ නිසා අපට පටන්ගත් හෝ අවසාන වන තැනක් දකින්න බෑ. ඒක චක්‍රාකාරව දිගටම සිදු වෙනවා. ඒකට අපි ජල චක්‍රය යැයි කියමු.
 මේ විදියට කල්පනා කලවිට හැම සංසිද්ධියක්ම ගත් විට, ගස්වැල් ඇතිවීම , වායු චක්‍ර , මූලද්‍රව්‍ය චක්‍ර වගේම සංසාර චක්‍රය, කල්ප චක්‍ර වාගේ විවිධ ප්‍රමානයේ චක්‍ර ලෙස දැකිය හැකි. ඒ නිසා විය යුතුයි ආරම්භය සොයන්න මහන්සි වෙන්න එපායැයි බුදුන් වදාලේ. ඒ වාගේම තව කරුණක් මෙහිදි අපට පැහැදිලි වෙනවා. ඒ තමයි මේ චක්‍ර ක්‍රියාත්මක වන එක නැවැත්වුවොත් අපට කෙලවරක් දැකියහැකි බව. කොහොමද මේ චක්‍ර නවත්වන්නේ.
  අපි හිතමු අපිට ජල චක්‍රය නවත්වන්න උවමනායි කියලා. අපි මුලින්ම හේතුවක් අල්ල ගන්න ඕන. අහසට ජලවාශ්ප ලැබීමට හේතුව පොලවේ ජලය වාශ්පවීමනේ. අපි පොලවට වැටෙන හා පොලවේ තිබෙන සියලුම ජලය වාශ්ප නොවන සේ වායුගෝලයෙන් ආවරණය කලොත් යම් දවසක වැස්ස නැතිවෙනවා. එසේ නම් අපිට පෙනෙනවා යමක හේතුව නැති කිරීමෙන් එය නැතිකල හැකි බව. ඇත්තටම ප්‍රතිඵලයක් ඇතිවීමට හේතු ගොඩක් තිබෙනවා. එයින් එක් හේතුවක් නැති කලද ප්‍රතිඵලය නැතිවෙනවා. මන්ද යත් ප්‍රතිඵලයක් ඇති වුනාම ඊට හේතුවූ කරුණු සියල්ල පවතින්නේ නෑ. උදාහරණයක් වශයෙන් ගසක් ඇතිවීමට බීජය හේතු වුනත් ගස සැදුනු පසු අපිට ගස නැති කරන්න බීජය නැති කරන්න බෑනේ. 
 ඉතින් දැන් පැහැදිලී නේද මෙ ලෝකයේ ක්‍රියාවන් සිදුවන්නේ දෙවියන්ගේ හරි භ්‍රහ්මයන්ගේ හරි මිනිසුන්ගේ හරි වෙනත් කෙනෙක්ගේ හරි කැමැත්තට නොවන බව. වෙනත් බොහෝ ආගම් වලට වඩා බුදුසමයෙ ඇති එක් ප්‍රධාන වෙනසක් ලෙස මා දකින්නේ මේ විද්‍යානූකුල විග්‍රහයයි. නමුත් මා මෙයින් අනෙත් ආගම් කිසිසේත් හෙලා නොදකින බව කරුණාවෙන් සලකන්න.ඔබ ඔබේ ප්‍රඥ්‍යාවෙන් සිතාබලා හරි වැරදි මෙහි ලියා දක්වන්නේ නම් මැනවි. ඔබට නිවන් සුව ලැබේවා.

No comments:

Post a Comment