Sunday, August 28, 2011

14 කොටස

දැන් සියල්ල හමාරය. වෛද්‍යවරුද ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇත. දරුවා ගැන සියලු බලා පොරොත්තු අත්හැර දැමීමට සිදු වී ඇත. දැන් ඔවුන්ට ඇති එකම සරණ ආගම ධර්මය පමණි. කරුණාරත්න නම් දරුවා පිළිබද ආශාව අත්හලේය. නමුත් අම්මා කෙනෙකුට එය කිසිසේත් කල නොහැක්කකි. ඔහු ද ඒ බව දන්නා බැවින් නන්දා කියන ඕනෑම දෙයක් කිරීමට කරුණාරත්න සහයෝගය දුන්නේය.
 නන්දා තම දරුවා වෙනුවෙන් කල හැකි සියලුම දේ කලාය. ඕ දන්නා කියන සෑම පන්සලකටම දේවාලයකටම බඩ ගෑවාය. බෝධි පූජා පැවැත්වූවාය. සෑම රාත්‍රියකම නින්දට පෙර පිරිත් කියා සත්‍යග්‍රහ කළාය. දෛවඥයන් ලවා කේන්දර බලවා කල යුතු සියල්ලක්ම උපදෙස් පරිදි කලාය. ඉන් දරුවා යම් සුවයක් පෙන්වුවද දිනෙන් දින ඇටසැකිල්ලක් බවට පත් විය. මූණ ඉදිමෙන්නට විය.

 ඒ දරුවාගේ දෙවන උපන් දිනයයි. නන්දා එදින අලුයම පිබිදී නැවුම් බවකින් යුතුව වැඩෙහි යෙදුනාය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ නන්දාගේ කුසට දරුවකු පිළිසිද ගැනීමයි. මෙයින් ඈ ප්‍රබෝධමත් වූයේ දිනක් දෛවඥයකු පැවසු කරුණක් නිසාය. ඈ දරුවාගේ කේන්දර කොපිය බැලවීමට එක් ස්ථානයකට ගියේ යහලුවකුගේ මග පෙන්වීම යටතේය. එහිදී කේන්දරය බැලූ දෛවඥයයා නන්දාට කිසිසේත් ඇදහිය නොහැකි ප්‍රකාශයක්  කලේය . " කවුද කියන්නේ මේ ලමයා ලෙඩෙක් කියලා, මේ ලමයගේ කේන්දරේ හැටියට දැන් ටිකක් කරදර කාලයක් උනාට මේක විශේෂ කේන්දරයක්. මේ වගේ වාසනාවන්ත කේන්දරයක් බොහොම කලාතුරකින් තමයි ලැබෙන්නේ. මේ දරුවා ලෙඩෙක් නෙවෙයි. මේ දරුවා ගෙදර සින්දු කිය කිය නට නටා ඉන්න ඕන ලමයෙක්. නොනාට තව ගැහැණු ළමයෙක් ලැබෙන්න තියෙනවා. ඒ මෙ ලමයා පතාගෙන එන දැරිවියක්. ඈ මේ ලමයගේ වාසනාවටයි උපදින්නේ."  මෙයින් නන්දාට එදා ඇති වූයේ තරහවකි. මෙහෙමත් බොරුකාරයෙක් මේ ලමයා ජීවත් කරන්නේ කොහොමද කියලා මං මේ කල්පනා කරන්නේ යැයි ඕ තමාටම කියා ගත්තාය. නමුත් ඉන් එක් අනාවැකියක් දැන් නිවැරදි වී ඇත. ඇයගේ කුසට තවත් දරුවෙකු ලැබී ඇත. මෙදින ද දරුවාගේ උපන්දිනය නිසාද යම් බලාපොරොත්තුවක පෙරනිමිත්තක් හිතට දැනුණු නිසාදෝ හෝයි ඈ කිරිබතක් සෑදුවාය.
  එදින රැකියාවට ගොස් ප්‍රබෝධයෙන් වැඩ කල ඈට කෑම පැයේදී තම යහලුවකුගේ බත් පත එතූ පත්තරෙහි  තුබූ ලිපියක් නෙත ගැටිණි. එය තම පවුලේ දෛවය වෙනස් කරතැයි ඈ කිසිසේත් නොසිතන්නට ඇත.

No comments:

Post a Comment