Thursday, November 21, 2013

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 3

වේදනාවට ස්පර්ශය හේතුවෙන විදිය ගියවර ලිපිය මගින් අපි දැනගත්තා. එහි දී මා කල විග්‍රහයේ තිබුනේ පිටින් අපිට මේ මොහොතේ අරමුණු ලැබෙන විදිය. ඒ විදියට භාහිර අරමුණු ලැබෙන විට සංඥා සකස් වන බව එහි දී මා සඳහන් කලා. නමුත් එහි තවත් දෙයක් තියෙනවා දැනගත යුතු. එකම අරමුණ ඉන්ද්‍රියන්ට ස්පර්ශ වුනත් එක් එක් අවස්ථාවල ලැබෙන සංඥාව වෙනස් වන්නේ ඇයි?

උදාහරණයක් ලෙස වෙස්මූණක් දකින කුඩා දරුවකුට යකකුගේ සංඥාව ඇවිත් බය වෙනවා. ඒ ළමයාම වැඩිහිටියෙක් වෙන විට එන්නේ වෙස්මූණක් කියන සංඥාව. ඒ නිසා ඔහු තවදුරටත් බය වෙන්නෙ නෑ. ඒකට හේතුව තමයි අවබෝධයේ වෙනස් වීම. නැත්නම් ප්‍රඥාවේ වෙනස. කුඩා ළමයාගේ නොදැනීම නිසා වැරදි සංඥාවකුත්, වැඩිහිටියා දන්නා නිසා නිවැරදි සංඥාවකුත් ලැබෙනවා. මෙහිදි තව දෙයක් පැහැදිලි කරගත යුතුයි. එනම් ළමයා බය උනේ සංඥාවට ම නොව සංඥාවට අනුව සකස් කරගන්නා “යක්කු මාව මරයි හෝ කයි හෝ“ යන කල්පනාවටයි. නැත්නම් චේතනාවටයි. එවැනි චේතනාවක් ඇතිවුනේ නොදන්නා කම නිසයි.
ඇත්තටම ඒක වෙස්මූණක් මිස යකකු නොවන බව දන්නේ නම් වැරදි සංස්කාර ඇති වන්නේ නෑ. ඒ නිසා අවිද්‍යාව නිසා වැරදි සංස්කාර ඇතිවනවා කියන්න පුලුවන්. මේ අවිද්‍යාව නිසා වැරදි සංස්කාර ඇතිවීම සෑම මොහොතකම වන දෙයක්.

මෙහිදී මම අවිද්‍යාව නිසා වැරදි සංස්කාර ඇතිවනවා යැයි කීවේ, විද්‍යාව නැතිනම් සත්‍ය දන්නා බව නිසා සංස්කාර ඇති නොවන්නේ නැති නිසා. ඉහත උදාහරණයේ වැඩිහිටියා එය වෙස්මූණක් බව දැනගත්ත පසු ඔහුටත් ඒ පිළිබඳ නිවැරදි සංස්කාරයක් ඇති වෙන බව පේනවා. (මෙහි දී එය වෙස්මූණක් ලෙස දැනීම ත් නිවැරදි සංඥාවක් නොවේ. නමුත් උදාහරණයේ හැටියට එය නිවැරදි සංඥාව ලෙස ගන්න)

කලින් ලිපියේ සදහන් කල උදාහරණයේ දී ද අප සඳහන් කල “පේනවා“ යන වචනයේ සංඥාව එන්නේ තවත් සංඥා කීපයක් සමගින්. නිත්‍ය සංඥාව හෙවත් දිගටම පෙනෙන්නේ කලින් දුටු “පේනවා“ යන වචනයම ලෙස හැ‍ගෙන සංඥාව අවිද්‍යාව නිසා හට ගන්නා එක් වැරදි සංඥාවක්. මේ නිසා අවිද්‍යාව  වැරදි සංස්කාර ඇති කිරීමට හේතු වන හැටි පැහැදිලි ඇතැයි සිතමි.

ඒ නිසා වැරදි දැනීම් ඇතිතෙක් අපට ලැබෙන අරමුණු අල්ලා ගන්නේ වැරදි ආකාරයටමයි. ඒ නිසා ඇතිවන සංස්කාර හෙවත් චේතනා ද වැරදි වේ. දැන් අපිට ස්පර්ශය නිසා වේදනා ඇතිවන හැටිත් ඒ වේදනාවන් අවිද්‍යාව නිසා වැරදි ලෙස අල්ලාගන්නා හැටිත් පැහැදිලි. මේ වැරදි හදුනාගැනීම නිසා වේදනාව නිත්‍ය දෙයක් නැතිනම් මොහොතකට හෝ නොවෙනස්ව පවතින දෙයක් ලෙස ගන්නවා. ඒ නිසා ඒ වේදනාවට එක්කො කැමති වෙනවා එක්කො අකමැති වෙනවා නැතිනම් එය නොසලකා හරිනවා. නොසලකා හැරියොත් එතනින් එහාට එම චක්‍රය ගමන් කරන්නෙ නෑ. නමුත් කැමැත්තක් හෝ අකමැත්තක් ආවොත් එය තණ්හාව ලෙස හදුන්වනවා. වේදනාවක් නොදැනුනොත් කැමැත්තක් හෝ අකමැත්තක් ඇතිවන්නේ නැති නිසා තණ්හාවට වේදනාවත් හේතු වෙනවා. ඒ වගේම ඉහත සදහන් කල ආකාරයට වැරදි හදුනාගැනීමත් නැතිනම් අවිද්‍යාවත් හේතු වෙනවා.
නමුත් අවිද්‍යා පච්චයා තණ්හා නොකියා වේදනා පච්චයා තණ්හා කියල තියෙන්නේ ඇයි කියල පස්සෙ සොයා බලමු. දැන් අපි පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා සහ අවිද්‍යා පච්චයා සංස්කාර කියන කොටස් තුන සාකච්ඡා කලෙමු. ඒ ගැන ඔබේ අදහස්, ගැටළු හා විවේචන ඉදිරිපත් කරන්න.

ඔබට නිවන් සුව ලැබේවා. !
  

No comments:

Post a Comment