Monday, November 11, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 16

එතනින් එලියට ඇවිත් කෙලින්ම වැඩපලට ආවා. එතකොටත් මහත්තයලා බිල්ඩිමේ ස්ලැබ් එකේ ඩැඩ බලනවා. මාව දැක්ක ගමන් මහත්තයා ඇහැව්වා “මොකද අයිසෙ පරක්කු, තැන හොයාගන්න අමාරූ උනාද “ කියලා. මං ඉතින් “ආ.... ආ ඔව් ඔව් ටිකක් විතර“ කියලා ශේප් උනා. ඊට පස්සෙ මහත්තයා මගෙන් ඇහුවා “ සෝ, හව් ලොන්ග් විල් යු හෑව් ටු ස්පෙන්ඩ් ෆිනිශ් දිස් සෙකන්ඩ් ෆ්ලෝර් අරවින්ද?“ කියලා. මට එතකොටත් ඉංග්‍රිසි එච්චර දන්නෑ. ඒත් කියන එක කේරුම් ගන්න පුලුවන් කම තිබුනා. මං “හ්ම්ම් වන් මන්ත් සර්“ කියලා කිව්වා.
 “ඕ නෝ නෝ අරවින්ද., මිස්ටර් ෆ්‍රනාන්ඩෝ ආස්ක් ඉට් බිෆෝ නිව් ඉයර් ෆෙස්ටිවල්, කාන්ට් වි ඩු ඉට් ඉන් හරී?“ කියලා මහත්තයා ඇහුවා. මං කිව්වා “ බිෆෝ නිව් ඉයර් නම් සර්, වී වර්ක් නයිට් ඇන්ඩ් ඕකේ සර්.“  කියලා. ඊට පස්සෙ මුදලාලි කිව්වා “ඕකේ එහෙනම් කොහොමහරි ලබන 10 වෙනකොටවත් වැඩේ ඉවර කරනවා. රෑ වැඩ කරනවට කොල්ලොන්ට පඩි ටිකක් වැඩිපුර ගෙවනවා“ කියලා.
ඊට පස්සෙ අපි ඔෆිස් එකට ගිහින් පේමන්ට්ස් ගැන බජට් එක ගැන කතා කරගත්තා. ඒ වැඩේට හිරවෙච්ච හින්දා අනූ ගැන හොයන්න වෙලාවක් ලැබුනෙම නෑ. අවුරුද්ද වෙනකොට කන්ට්‍රැක්ට් එක ඉවර කරගත්ත නිසා සති දෙකක නිවාඩුවකට ගෙදර ආවා.

ගෙදර ඇවිල්ලා අම්මගේ අසනීපෙට බෙහෙත් එහෙම අරන් දීලා, උඹලයි ගෙදරත් ගිහින් අම්මව බලා ගන්න කියලා පේමා නංගිටත් කියලා ආයෙ කොළඹ ආවා. එතකොට අනූෂා ට එක්සෑම් අන්තිම හරිය. එයයිගේ එක්සෑම් ඉවර උනාම දවසක් අපි සෙට් එක ගියා මරදානේ හෝල් එකට චිත්‍රපටියක් බලන්න. එදා පොඩි වැඩක් උනා. කොහොම හරි ඉවෝනුයි අනූෂායි කෙලවරම සීට් දෙක අල්ලා ගත්තා. ධම්මිට අනූෂා ළඟ වාඩිවෙන්න ඕන කියලා ඊ ළඟට ධම්මි වාඩි උනා, බර්ටියා පැනපු ගමන් ධම්මි ළඟ වාඩි උනා. ඊ ළඟට මං වාඩි උනා. ඉනෝකා අන්තිමට මට එහා පැත්තේ. බර්ටියා නම් ටිකක් වෙලා ධම්මිට අනං මනං කියෝ කියෝ ඉදලා ශ්‍රී දේවී නටන දිහා කන්න වගේ බලන් උන්නා. මට නම් මොලෝ මලදානයක් තේරුනේ නෑ. අරුන් දෙන්නනම් මෙලෝ සිහියක් නැතුව ලව්. මටනම් විලි ලැජ්ජාවේ බෑ. මහත්තයා මේවා දන්නවනම් කියලයි මට හිතුනේ. ධම්මිත් හිනාවෙවී බයිස්කෝප් එක දිහා බලන් උන්නා. එයාටත් මුකුත් තෙරීලා නෑ. ඔහේ පිංතූර බලබල ඉදලා තියෙන්නේ. ඉනෝකාට ටිකක් වෙලා යනකොට නින්ද ගිහිල්ලා, දන්නෙම නැතුව ටික ටික මගේ උරහිස උඩ ඔලුව. කවදාවත් කෙල්ලෙක්ගෙ ඔලුවක් උරහිසේ තිබිල තියෙන එකක්යෑ. මාව ගැස්සිලා වගේ ගියා. මොනා උනත් ලස්සන කෙල්ලනෙ මාත් හෙලවෙන්නැතුව දිගටම උන්නා. හේහේ..හේ.

කොහොම හරි කොල්ලා එලියට එනකොට හිත ගැස්සිලා තිබුනේ. ඒත් ඉනෝකා කියන්නේ ගොඩක් පෝසත් කෙල්ලෙක්. ඕවා හරියන දේවල් නෙවේ. නිකන් කලු ගලේ ඔලුව ගහගන්නේ මක්කටෙයි කියලා මං එදා රෑ තිස්සෙම ඒ ගැන කල්පනා කරලා කරලා, නියපොත්තෙන් කඩන්න පුලුවන් එක පොරවෙන් කපනකන් උඩුදුවන්න නොදී හිත හදා ගත්තා.

පස්සෙ තමා දැනගත්තේ ගෑනී ඕන කමින්මයි ඔලුව තියන් ඉදල තියෙන්නෙ කියලා. මොකද ඊට සති දෙකකට විතර පස්සෙ එයා මට ලියුමක් එවලා තිබුනා. එදාට කලින් සතියේ කොහොමහරි ඉනෝකා පන්ති ආවේ නෑ.
ඊ ළඟ සතියේ ඒකී මොකද කරේ ගිය සතියෙ වැඩ බලාගන්න කියලා අනූෂාගෙන් බොරුවට පොත ඉල්ලුවා. අනූෂා ගෙදර වැඩ කරල නෑ කියලා මගේ පොත ඉල්ලලා ඉනෝකාට දුන්නා. ආයේ මට පොත ලැබුනේ ඉනෝකාගේ ආදර හසුනත් එක්ක. ඒක තමා මට මුලින්ම ලැබුණු සෙනෙහෙ කොලේ හහ්..හහ්...හා.....    

Next chapter - http://asanka-mind.blogspot.com/2013/12/17.html

2 comments: