අම්මෝ ඈට උගන්වනව කියන්නෙ මාළුවෙක්ට ඇවිදින්න උගන්නනව වගේ. මං කිව්වා ඔක්කොම අකව්න්ට්ස් පොත් ටික අරන් එන්න කියල බලන්න. ඔන්න ඉතින් උඩට ගිහින් විනාඩි විස්සක් විතර ඉදලා ගෙනාවා පොත් ගොඩක්. ඔක්කෝම ටියුෂන් පන්ති වලින් දීපු පොත්. අලුත්ම ඒවා, අල්ලලවත් නෑ. මං ඒකෙන්ම හිතාගත්තා කෙල්ලගෙ තරම.
ඈත් මගේ වයසමයි. ගියපාර විශයයන් හතරම අසමත්. සම වයසෙ නිසා මං කියන දේවල් වැඩිය ගනන්ගත්තෙ නෑ. උගන්නන්න පටන් ගත්ත වෙලේ ඉදන් වොශ්රූම් එකට ගිහින් එන්නම්, වතුර ටිකක් බීලා එන්නම් කිය කියම යනවා. මං කිව්වා “මේ මිස් මට ඔය විදියට නම් උගන්නන්න බෑ. පොඩ්ඩක් උනන්දුවෙලා මං කියනදේ හොදට අහං ඉන්න කියලා“ ඒ පාර ඒකි කියනවා “ඔහේට උගන්නන්න බැරිනම් මං ඩඩාට කියල වෙන කෙනෙක් හොයා ගන්නම්“ කියලා. අතට ගත්තු එක කටට දාගන්නැතුව වෙන මොනවා කරන්නද කියලා මාත් කාගෙනම හිටියා.
ටික දවසක් ඔය විදියට කරගෙන යනකොට මේකිට වෙන පිස්සුවක් හැදීගෙන ආවා. ඔන්න හිටපු ගමන් මං උගන්නන දිහා ඔහේ බලං ඉන්නවා, කිසිම දෙයක් ඔලුවට ගන්නෙ නෑ. දවසක් මං ඇහැව්වා කොහෙද බලං ඉන්නෙ මං කියන ඒවා තේරෙන්නැද්ද මිස්“ කියලා. “තෙරෙනවා. තෙරෙනවා..... මට මෙ ගාන ආයෙ කියල දෙන්න බැරිද හලෝ අර අන්තිමට කියපු ටික තේරුනෙ නෑ“ කියලා ආයෙ ඒකම ඒකම අහනවා. මං ඉතින් බිංදුවෙ ඉදලා කියලා දෙනවා.
මාසයක් විතර කරනකොට කොහොම හරි ඕනෑම ගණුදෙනුවක් කිව්වම හර බැර හරියට කියාගන්නයි, මොන එකව්න්ට් එකටද එන්නෙ කියන්නයි පුළුවන් ගානට ගොඩ ගත්තා. දොණියැන්දගෙ දියුණුව දැකලා මුදලාලි මහත්තයටත් හරි හැපි. මිනිහා මට කියනවා “අයිසෙ තමුසෙ මෙයාව පාස් කරල දුන්නොත් තමුසෙට ඕන දෙයක් මං දෙනවා“ කියලා. මං කිව්වා අනේ සර් අකව්න්ට්ස් වලට නම් කොහොම හරි සම්මාන සාමාර්ථයක් අරන් දෙන්න පුළුවනි, අනෙක් ඒවාට මොනවා කොර ගනීද දන්නෑ“ කියලා. ඒ පාර මිනිහා කියනවා “මොකක්ද අයිසෙ තමුසෙ අනිත් ඒවත් ටික ටිකවත් කියල දෙනවකෝ, එයාට අකව්න්ට්ස් අමාරයි කියපු හින්දයි මං ඔහේට ඒක උගන්නන්න කිව්වේ. අනිත් ඒවා ෆේල් වෙලා එකක් පාස් වෙලා මොන උලව්වකටද?“
මං ඉතින් මොනා කරන්නද හාං කියලා නිකන් හිටියා. හැබැයි මොනව උනත් මහත්තයා මට මාර ආදරෙයි.
මොකද, ආයෙ සතියකට විතරපස්සෙ මාර වැඩක් උනා. මිනිහා මාත් එක්ක ගියා ගෙදරකට මොකක්ද වැඩක් බලන්න. මිනිහා ඉතින් පොඩි පොඩි වැඩ කරන ගමේ බාස් කෙනෙක් නෙවේනේ. ලොකු කොන්ත්‍රාත් වලට තමා කෙලින්ම අත ගහන්නේ. ඒක තනිතට්ටුවේ කඩයක් කඩලා තට්ටු පහක ලොකු බිල්ඩිමක් ගහන වැඩක්. ඉතින් මිනිහයි මායි ගියා ඒක බලන්න. ඒ කඩේ අයිති මහත්තයා ෆොරින් බිස්නස් කරන බිස්නස් කාරයෙක්, ඉංග්‍රීසියෙන් තමා වැඩ. ඒ දවස්වල මට ඉංග්‍රීසිත් බෑ. ඔය වචනයක් දෙකක් තේරුනාට එහෙමටම ඉංග්‍රීසි දන්න එකක්යෑ. මාත් ඉතින් ඒ ගොල්ලො කතා කරන දිහා බලන් හිටියා. මෙන්න බොලේ එකපාරටම මුදලාලි මගේ පැත්තට හැරිලා “වට් ඩූ යූ තින්ක් අරනවින්ද?“ කියලා ඇහැව්වා. මං එකපාරටම රත්වෙලා ගියා. මොන උලව්වක්ද මං කොහොමද දන්නෙ, මාත් ඉතින් හිනාවක් දාලා “ආ....යස් සර් යස් සර් කිව්වා“ මිනිහට බකස් ගාලා හිනා ගියා. අර යකාටත් වැඩේ තේරුනාද කොහෙද බොහොම අමාරුවෙන් බිම බලාගෙන කට උල් කරගෙන හිටියා.
පස්සෙ කොහොම හරි වැඩේ ඉවර වෙලා කාර් එකේ එන ගමන් මහත්තයා මගෙන් අහනවා “ඈ ඕයි මං හිතුවෙ තමුසෙට ඉංග්‍රීසී ටිකක් හරි පුළුවන්ය කියලා. තමුසෙ කිව්ව නේද ලොකු මහත්තයෙක් වෙන්න හිතාගෙනයි කොළඹ ආවේ කියලා.“
ඔව් සර් ඒකනම් එහෙම තමයි. මට ඉංග්‍රීසි ටිකක් පුළුවන්. සර් එකපාරටම අරම ඇහුවම මං බයවුනා ඒකයි“ කියලා මං ශේප්එකක් දැම්මා. ඊට පස්සෙ සර් කියනවා
“එහෙම නෙමෙයි අයිසෙ මං කියන්නම් තමුසෙට වැඩක්. ඔහොමනම් පුතෝ මේ කපේදි ගොඩ යන්න බෑ“
Next chapter - http://asanka-mind.blogspot.com/2013/06/8.html
No comments:
Post a Comment