Monday, July 22, 2013

12 ලිපිය - ගැටළු වලට පිළිතුරු

 මගේ 200 වන පෝස්ට් එක තමයි මේ ලියන්නේ. යථාර්තය සොයා යටතේ නම් 41 වන ලිපිය. ඉතින් මෙච්චර දුරක් එන්න ලැබීම ගැන මං ගොඩාක් සතුටු වෙනවා. මට ගොඩක් අය පැසසුම් එවල තියෙනවා. ඒ වගේම කීප දෙනෙක් අඩුපාඩූ පෙන්නල තියෙනවා. මං ගොඩාක්ම ඒ ගැන සතුටු වෙනවා. ඒක මට ලොකු ශක්තියක්. සමහර පෝස්ට් ගැන ගැටළු එහෙමත් ඉදිරිපත් වුනා. ඒවට මං ඒ ඒ තැනදි පුලුවන් විදියට පිළිතුරු දුන්නා. ඒ අතරින් අපේ මාලු යාළුවා පහත ගැටළුව ඉදිරිපත් කරල තිබුනා.

   යථාර්ථය සොයා යනවා කියන්නේ, අපි “ඇයි“ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයනවාකියන එක නේද?
අනිත් එක අයියේ.....
යථාර්ථය සහ විමුක්තිය කියන්නේ දෙකක් නේද?
ඔය කොයික වෙතත්, යථාර්ථය හොයා ගෙන යනවා කියන්නේ, අපි යථාර්ථය කියන දේ අර්ථයවත් නොදැන ඒ පස්සේ දුවනවා කියන එක නේද?
ඊට පස්සේ අපි “ඇයි“ යථාර්ථය සොයන්නේ? කියන ප්‍රශ්නෙත් එනවා නේද?

ඉතින් මේ ගැටළුවටත් ඒ තැනදි පිළිතුරක් දුන්නත් මට හිතුනා මේ ගැටළුවට,( ඇත්තටම මෙතන ප්‍රශ්න 3ක් විතර අහල තියෙනවා) ටිකක් විස්තරාත්මකව පිළිතුරක් දෙන්න. මොකද ඒක අනිත් අයටත් වැදගත් වෙන්න පුළුවන්.

සමහර විට කෙලින්ම නොකිව්වට කෙනෙක්ට හිතෙන්න පුළුවන් “විමුක්තිය ලබන්න නෙවේ නම් මොන මගුලකට ද මේ යථාර්තය සොයන්නෙ? අපි නොදන්න මගුලක් හොයා හොයා ගියා කියල ඇති වැඩේ මොකක් ද? “ වගේ දේවල්. ඉතින් ඒ කාරණය නිසාත් මේ ගැන ලිපියක් ලියන්න හිතුවා.

මල්ලි මුලින්ම අහල තියෙන්නෙ “යථාර්ථය සොයා යනවා කියන්නේ, අපි “ඇයි“ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයනවාකියන එක නේද?“  කියලා.
ඇත්තටම යථාර්තය හොයනව කියන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට පිලිතුරු හොයන එක. මිනිසා මේ ලෝකෙට බිහිවූ දා ඉදලම කරන්නෙ ඔය දේ තමයි. මොකද මිනිසා කියන්නෙ කුතුහලයෙන් පිරිච්ච කෙනෙක්. සාමාන්‍යෙයන්  මේ ලෝකෙට කෙනෙක් එන කොට මේ ලෝකෙ ගැන කිසිම දෙයක් නොදැනයි බිහිවෙන්නේ.
ඉතින් ඒක නිසා අරක මොකක්ද? මේක මොකක්ද? මේක කොහොමද වෙන්නේ? ඒක එහෙම වෙන්නෙ ඇයි? යනා දී ලෙස නොයෙක් ගැටළු මනසට එනවා. ඉතින් සමාජය විසින් ඔවුන් දන්නා විදියට ඒ දේවල් පැහැදිලි කරල දෙනවා. සමහර දේවල් හිතින්ම නිර්මාණය කර ගන්නවා. මේ මේක වෙන්න ඇති. මේකට මෙහෙම කියමු යනා දී වශයෙන්. ඉතින් අපි ඔය කොයි විදියට උනත් ඇයි මේක මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තර හොයන එක තමා කරන්නේ.

අපිට ඔය ප්‍රශ්නෙට හරියටම විසදුමක් හොයන්න නම් ඉස්සර වෙලාම සියලු විශ්වාසයන්ගෙන් තොර වෙන්න ඕන. නමුත් අපි බොහෝ දෙනෙක් ඇයි කියන ප්‍රශ්නෙට විසදුම් හොයන්නෙ අප විසින්ම හදා ගත්තු රාමූ වලට කොටු වෙලා. උදාහරණයකින් කියනවනම් ඉතාමත් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ගේ චිත්‍ර ප්‍රදර්ශනයක දී විචාරකයෙක් මේ චිත්‍ර විස්තර කරනවා. මේ විචාරකයාට චිත්‍ර ශිල්පියා ගැන තියෙන්නෙ බොහොම පැහැදීමක්. ඔහු විශ්වාස කරනවා කවදාවත් මේ චිත්‍ර ශිල්පියා නිකන් වර්ණ යොදන්නැති වග. ඒ නිසා විචාරකයා හොදින් ඒ චිත්‍ර වල වර්ණ සංකලනයන් ගැන පැහැදිලි කරනවා. මෙහෙම යන කොට මුල්ලකට වන්න තුබුණු අවසාන චිත්‍රයේ තිබෙන්නේ රතුපාට විතරයි. ඉතින් මේ විචාරකයා මේක වර්ණනා කරන්නේ මේ චිත්‍රයෙන් ඉතා බිහිසුණු අපරාධයක් නිරූපණය කරන බව පවසමින්. මේ වර්ණනාවට සවන් දෙන චිත්‍ර ශිල්පියා අවසානයේ කියනවා “ඔබේ වර්ණනාවනම් බොහොම අපූරුයි මිත්‍රයා. හැබැයි මම නම් ඔහොම අදහසකින්  ඕක රතුපාට කලේ නෑ. වැරදීමකින් තීන්ත කුප්පිය පෙරලුණ නිසයි ඔහොම වුනේ.“ කියලා.

එතනදි ඇයි රතු පාට කලේ කියන ගැටළුවට එයා පිලිතුරු දුන්නේ  “ කවදාවත් මේ චිත්‍ර ශිල්පියා නිකන් වර්ණ යොදන්නැ“ කියන රාමුවෙ කොටුවෙලා ඉදගෙනයි. ඒ නිසා අපි ඇයි කියන ප්‍රශ්නෙට පිලිතුරු සෙවිය යුත්තේ ද බුදු දහම කියන්නෙ යථාර්ථය.... කියන තැන ඉදල හෝ වෙනත් ආගමක් යථාර්තය කියන තැන ඉදල හෝ නූතන  විද්‍යාව කියන්නේ යථාර්තය කියල හෝ නෙවෙයි. 
හොදයි මං ඊළඟ ලිපි වලින් පිළිවෙලින්
  • යථාර්ථය හොයා ගෙන යනවා කියන්නේ, අපි යථාර්ථය කියන දේ අර්ථයවත් නොදැන ඒ පස්සේ දුවනවා කියන එක නේද?  
  •  යථාර්ථය සහ විමුක්තිය කියන්නේ දෙකක් නේද?
  •  අපි “ඇයි“ යථාර්ථය සොයන්නේ?
කියන ගැටළු වලට පිළිතුරු සපයන්න බලා පොරොත්තු වෙනවා. 

2 comments:

  1. ජීවිතේම ප්‍රශ්නාවලියක් වූ කල මානව සිතෙහි ඇතිවන තොරතුරු දැනගැන්ම ඇති කැමත්ත කිසිදා නොනවතී.

    ඔබේ 200වැනි පොස්ටුවට උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා !

      Delete