Saturday, January 2, 2016

මගේ කතාව 2 - දරුවන්ගේ පෝෂණය

ගොඩක් පවුල් වල මෙන්ම අපේ පවුලේ ද ගෘහ මූලිකයා තාත්තා වුනත් මහ මොළකරු ද පවුලේ වගකීම් දරන්නා ද අම්මා විය. එබැවින් අපේ පවුලේ අනාගතය සැලසුම් කලේ ද ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ග ක්‍රියාත්මක කලේ ද අම්මාය. තාත්තා කලේ ඒ සඳහා අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සහ බුද්ධිමය හා කායික ශක්තිය ලබා දීමයි. ඊට අමතරව අම්මා පවුලේ අභ්‍යන්තර ගැටළු විසඳු අතර තාත්තා බාහිරින් පැමිනෙණ ගැටළු වලින් පවුල ආරක්ෂා කලේය. අම්මත් තාත්තාත් සහයෝගයෙන් කටයුතු කලත් දෙදෙනා අතර බහින් බස් වීම් ද නිතර නිතර ඇති විය.
එක් දවසක් මා පාසැල් ඇරී ගෙදර එනවිට කම්බුල් දෙක කසන්නට විය. වේදනාව වැඩිවන විට කලහැකි යමක් නොතිබූ බැවින් තාත්තාගේ ඇඳට වී නිදා ගත් අතර නැවත ඇහැරුනේ අම්මා ගෙදර පැමිණි විටය. අම්මා පරික්ෂාකොට බලා මට කම්බුල් ගාය සෑදී ඇති බව තීරණය කෙරිණි. ඒ සඳහා අලි හක්කක් උරච්චිකොට ගෑ යුතු බැවින් තාත්තා එනතුරු අත්බෙහෙතක් කිරීමට තීරණය කලාය. එනම් නිල් කුඩු දෙහි සමඟ මිශ්‍රකොට කම්බුල දෙපැත්තේ ඉලීමයි. නැවත මට නින්ද ගිය අතර නැවත මට ඇහැරුනේ ටකරන් වහලයට වැස්ස වැටීම නිසා ඇති වූ ශබ්දයටයි. මට මගේ මූණ ඉතා බර වී ඇති බවක් හැඟින. ඇස් කරකවා වට පිට බැලූ විට සුපුරුදු පරිදි වැහි වතුර රැස් කිරීමට තැන තැන හට්ටි වළං තබා තිබෙනු පෙනිණ. ඒ වර්ෂාවේ ශබ්දය අතරේ මට තවත් ශබ්දයක් ඇසිණ. ඒ අම්මාත් තාත්තාත් අතර වූ ගෝරණාඩුවකි. “මේ මනුස්සයට කොච්චර කිව්වත් තේරෙන් නෑනේ. මේ ළමයට බෙහෙත් ටිකක් ගේන්න නැතුව ඉදලා ෆිට් එකට ආවොත් මොකද කරන්නේ?“ යැයි අම්මා කෑ ගෑවාය. “මේ රෑ කොහෙන්ද මං අලි හක්කක් හොයන්නේ. අනික මේ වැස්සේ කොහොම ද මේ ළමයා ස්පිරිතාලෙට එක්ක යන්නේ“ තාත්තා පවසනු ඇසින. “ ඇයි මනුස්සයෝ මේ ළමයා එළි වෙනකන් මෙහෙම තියන්නද කියන්නේ, ත්‍රී වීල් එකකින් හරි ගිහිල්ලා බෙහෙත් ටිකක් අරන් එන්න බැරිද“ අම්මා නැවතත් ගෑ ගෑවාය. එවිට තාත්තාට තරහ ගියේය. “කට වහගනින් , මේක මල වදයක් උනානේ, වැඩ ඇරිල ආව වෙලේ ඉඳන් කනක් ඇහිල ඉන්න නෑ. කම්බුල් ගාය කියන්නේ මහ ලෙඩක් නෙවේ, මටත් පොඩිකාලේ හැඳිල තියෙනවා“ කියූ තාත්තාගේ අතින් හට්ටික් බිමට වැටුණු හඩක් ඇසිණ. ඉන් පසු ඇසුනේ අම්මාගේ කෙඳිරිලි හඩක් පමණි. අම්මාත් තාත්තාත් රණ්ඩු වන්නේ මා නිසායැයි මට මහත් සංවේගයක් ඇති විය. මා නිදා ඉන්නවා සේ දෑස් පියාගෙන උන්නත් මගේ දෑස් අඟින් කඳුළු කඩා හැලින.

අපේ අම්මා අපේ පෝෂණය ගැන බොහෝ උනන්දු විය. ඒ කෙතරම් ද යත් නැදැයින් අපේ ගෙදර හැඳින් වූයේ වෙද ගෙදර ලෙසිණි. සෑම ආහාර වේලකටම කොල මැල්ලුමක් හා මස්, මාළු, කරවල, බිත්තර යන වර්ග වලින් එකක් ද කරවිල, දඹල, මුං ඇට වැනි ආහාරයක් ද එක් විය. බොහෝ විට තුන් වේලම කෑවේ බත් ය. නමුත් අම්මා මහන්සි වී හෝ පමා වී හෝ ගෙදර පැමිණෙන දින වලදී කඩෙන් පාන්, ආප්ප, ඉඳිආප්ප වැනි දෙයක් රැගෙන එන්නී ය. එසේ ගෙනාවත් හට්ටි වල යම් එළවළුවක් ඉතිරි වී තිබුනොත් ඒවා බලහත්කාරයෙන් අපට කවන්නී ය. අම්මා කියන්නේ බත් නොකෑවත් හොඳි ටික කෑ යුතු බවයි. ඉඳින් අපි දහවල් එළවළු ඉවර කිරීමට අපොහොසත් වූවොත් රාත්‍රියට නික්න් හෝ කන්නට සිදුවන බැවින් සමහර දින වල දී ඉතිරිවන එළවළු ගේ පිටිපස්සේ හලා සියල්ල කෑ ලෙස හට්ටි හිස්කර තබන්නේ ය.
අම්මා අපිට පෝෂණිය ආහාර කැවීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කළා ය. සෑම ඉරිදාවකම වාගේ උදේට කොළකැඳ හදන අම්මා ඒවා කෝප්ප වලට දමා අපට කතා කරයි. “අද අපි තරඟයක් තියමු. ඔය තුන්දෙනා අතන ඉඳන් දුවන් ඇවිල්ලා ඉක්මනටම කොළකැඳ බීලා ඉවර කරන කෙනා දිනුම්.“ මෙසේ අම්මා අපිට උපක්‍රමයෙන් කොළ කැඳ පොවයි. තවත් දවසෙක කොළ කොටා ඉස්ම ගන්නා අම්මා ඉන් අඬු කෝප්ප කාල බැගින් දමා වෙද පප්පාගේ අරිශ්ඨය සාදා ඇති බව පවසා සූර පප්පා වගේ ශක්තිමත් වන්නට එක හුස්මට බොන ලෙස කියයි.  අපි ද සූර පප්පා වගේ වීමට එක හුස්මට එය බී ගනී. එවිට එහි සැරට අපේ ඇඟපුරා සියුම් විදුලියක් යනු දැනෙයි. එවිට ඇත්තටම ඇඟට යම් ජීවයක් ද ලැබෙයි.
අම්මා ඉරිදා පොළේ ගියවිට අනිවාර්යයෙන්ම වෙරළු, උගුරැස්ස, ලොවි, නෙල්ලි වැනි පලතුරු වර්ග කීපයක් රැගෙන එයි. ඉරිදාට අම්මා අපි තුන් දෙනාටම කවයි. ලොකු හට්ටියකට බත් බෙදා ගන්නා අම්මා අපි තුන්දෙනාටම පිලිවෙළට කවයි. බත් හට්ටිය අවසන් කිරීමට පෙර අප කෑම ප්‍රතික්ෂේප කලොත් අම්මා කරන්නේ බත් ගුලි තුනක් ගසා පිඟානක තබා එක් එක් ගුලිය අපි තුන්දෙනාට බෙදා පිඟාන කරකවයි. කරකවා තම තමන්ට අයිති ගුලිය පෙන්නන්ට කියයි. අපි පෙන්වන ගුලිය නිවැරදි යයි පවසා එය අපිට කවයි. මෙසේ උපක්‍රමයෙන් බත් හට්ටියම අවසන් කරයි.
අම්මා ඉස්සො, දැල්ලෝ, කකුළුවෝ වැනි කෑමක් උයන්නේ කලාතුරකිනි. එසේ ඉව්වත් එහි උෂ්ණය කැපෙන ලෙස මුං ඇට හෝ පළා මැල්ලුමක් හෝ සාදයි. එවැනි ආහාර සඳහා මුරුංගා කොළ යෙදීම ද අනිවාර්යය වේ. මෙසේ නිතරම අම්මා අපේ පෝෂණය ගැන උනන්දු වූවා ය.
 

No comments:

Post a Comment