Sunday, April 17, 2016

මගේ කතාව 2 - පවුල් බර

මාගේ දෙවන සැත්කම සඳහා  කැපවීමෙන් දෙමව්පියන් කටයුතු කලත් පවුලක් පවත්වාගෙන යාම හුදෙක් වර්තමාන ප්‍රශ්න වලට පිලිතුරු සෙවීම පමනක් නොව අනාගතය ගැනද සැලකිලිමත් වී පවුලේ සියලු සාමාජිකයන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම බව ඔවුන් හොඳින් වටහාගෙන තිබුණි. ඒ නිසා ළමයින්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකවරණය මෙන්ම ගුණ ධර්ම වර්ධනය කෙරෙහි ද අම්මා තම අවධානය යොමු කලාය. ඈ අප අළුත් කුළි නිවසට පැමිණි වහාම කලේ අප තිදෙනා අලුත් දහම්පාසලකට යොමු කිරීමය. ඒ දහම්පාසල තරමක් පොහොසත් පවුල්වල දරුවන් සිටී දහම් පාසලක් විය. අපි මුලින් ගිය දුප්පත් දහම්පාසලට සාපේක්ෂව විශාල ශිෂ්‍ය පිරිසක් සිටී මෙහි එක් වසරක් සඳහා පන්ති කීපයක්ම තිබුණි. කලින් දහම්පාසලේ තරම් නිදහස් බවක් ඒ ලොකු දහම්පාසලේ නොතිබුණි. විනය ඉතා තදින් ක්‍රියාත්මක වුන ඒ දහම්පාසැල තරඟ විභාග ඉලක්ක කර අධාපනය ලබා දීමට ක්‍රියා කලේය. ඒ නිසා ඒ දහම්පාසල පෙර දහම්පාසල මෙන් අපට සිත් ගත්තේ නැත.

අපව දහම්පාසැලකට යොමු කිරීමෙන් අනතුරුව අපව ඉංග්‍රීසි පන්තියකට යොමු කිරීමට අම්මා කටයුතු කලාය. එකල ඉංග්‍රිසී නැතිනම් කිසිවක් කරගත නොහැකි යැයි මතයක් ගොඩනැගෙමින් පැවිතිනී. මේ නිසා ගහක් ගලක් ගානේ ඉංග්‍රීසි පන්ති බිහි විය. වඩාත්ම ප්‍රචලිත වූයේ ස්පොකන් ඉංග්ලිෂ් ක්ලාස් ය. එය කෙතරම් විශාල රැල්ලක් වී ද යත් වැඩිහිටියන්ට පවා ඉංග්‍රූීසි පන්ති පැවැත් විනි. අම්මා ද "මම ඉගැන්වීමටම උපන්නෙමි" කියා ස්පෝකන් ඉංග්ලිෂ් කල ගුරුවරයකු ගාවට ක්ලාස් ගියාය. එකල ඔහු නෑගී එන තරුණ ගුරුවරයකු විය. නමුත් මාස කීපයකින්ම අම්මා එය අත්හැර දැමුවේ අම්මාට ඊට වඩා බොහෝ දේ පවුල වෙනුවෙන් ඉටු කිරීමට තිබූ බැවිනි. අප තිදෙනා ගිය ඉංග්‍රීසී පන්තිය, අසල නිවසක වූ අක්කා කෙනෙකු විසින් කල පන්තියකි. අප එහි දී ඉංග්‍රීසී ඉගෙන ගත්තාදැයි යන්න සැක සහිතය. නමුත් පන්ති අවසානයේ ඒ ගෙදර උන් අයියා කෙනෙකු සමඟ ක්‍රිකට් ගැසූ හැටි නම් හොඳටෝම මතකය.

අම්මා ඊ ළගට මුල් තැන දුන්නේ අපේ පෝෂණයටයි. ඉරිදා පොළට යන ඈ එළවළු වලට අමතරව උගුරැස්ස, වෙරළු, පේර ආදී දේශීය පලතුරු වර්ග කීපයක් ද රැගෙන එයි. මසකට වතාවක් පමණ ඉස්සො කකුළුවො වැනි උෂ්ණ ආහරයක් ගෙනෙයි. ඒ ගෙනෙන දවසට මුරුංගා කොල ගෙන ඒමට මාව පිටත් කර හරී. එදාට මුං ඇට හෝ කොළකැඳ අනිවාර්යය. නිතරම ආහාරවේල සම බල කිරීමට ඈ උත්සහ කලාය. ඉරිදා දවසට ඈ අප තුන්දෙනාටම කවන්නී ය. සතියේ දවස් වල අපගේ ආහාරය කෙසේ සිදු ව්න්නේ දැයි ඇයට නොපෙනේ. ඒ නිසා අම්මා ඉරිදාට වඩාත් පෝශදායි ආහාරවේලක් සකසා විශාල හැලියකට බත් බෙදාගෙන අප තිදෙනාටම කවයි.
පවුලක බර උසුලන්නේ තාත්තා කීව ද අම්මා ඊටත් වඩා පවුල වෙනුවෙන් වෙහෙස වන්නේ යැයි මට සිතේ. මන් ද අපේ ගෙදර තාත්තාට වඩා වැඩි පඩියක් ගන්නේ අම්මා ය. ගෙවල් කුලියත් බිල් ටිකත් ගෙවූ විට තාත්තාගේ පඩියෙ ඉතුරුවක් නැති තරම්ය. ඉතුරු සියල්ල කරන්නේ අම්මාගේ පඩියෙනි. සාමාන්‍යයෙන් තාත්තාට සහය වන්නී අම්මා යැයි කීවද අපෙ පවුලේ නම් සියල්ල සැලසුම් කරමින් පවුල ඉදිරියට පවත්වාගෙන ගියේ අම්මා ය. තාත්තා ඈට සහය විය.

එක් අතකින් මාගේ අසනීපය ය. අනෙක් අතට අප තිදෙනාගේ අධ්‍යාපනය ය. කූලී ගෙදර ප්‍රශ්න තවත් පැත්තකිනි. ඒ සියල්ලම අතරේ රස්සාව කල යුතුය. මේ නිසා 1998 වසර ඉතා දිගු වසරක් විය. ඒ වර්ශය අවසන් වූයේ ගැටළු අවසන් කර නොව තව තවත් ගැටළු රාශියක් ඇති කරමිනි.    

No comments:

Post a Comment