Friday, March 30, 2012

අළුත් නවාතැන

අතීතයෙන් තවමත් මතක තිබෙන සිදුවීම් වලින් තවත් එක් මතකයක් තමයි මං මේ කියන්නේ. ඔයගොල්ලො දන්නවා මං පොඩී කාලේ ඉදන් මාසයකට සැරයක් වත් ඩොක්ටර් අංකල් හමුවෙන්න යන බව. දැන් මට අවුරුදු4 1/2යි. ඒ කියන්නේ දෛවඥයන්ට අනුව මට තව ඇත්තේ මාස6 ක් පමණයි. ඇත්තටම මං මේ වෙනකොට හිටියේ ඉතා දුර්‍වල තත්වයක. ඒ නිසා වහාම සැත්කමක් කල යුතුබැව් වෛද්‍ය මතය විය.
   එදා1993 9 26 වැනිදාය. අපේ අයියාගේ ඉස්කෝලේ ( අම්මාගේ හා තාත්තාගේ ද පාසල) සංගීතයක් තිබූ එදා මාත් අයියාත් තාත්තා සමග එය බැලීමට ගියෝය. එවිට මහා සද්දෙන් රෝස තොල් සිඹින යන ගීතය ගැයුවා මට මතකය. ඒ ඩ්‍රම්ස් හඩ මට මගේ පපුවට ගසන්නාක් මෙන් ඇසුනු නිසා කොයිවේලේ හෝ හදවත බිමට වැටේ යැයි බියෙන් දෝ හෝයි මම "තාත්තේ අපි යමු    "දැයි ඇසුවෙමි. ඒ නිසා තාත්තා නැවතත් අප කැටුව ආවේය. ඊලග දවසේ කොළඹ යා යුතු බැවින් අම්මා හනිකට මාව නිදි කෙරෙව්වාය. මට නින්ද යන විට ද ඈතින් කපුගේ ගේ උන්මා ද සිතුවම් ගිතය ඇසුණි.
  ඊ ළග දවසේ අප කෝච්චියෙන් කොළඹ පැමිණියෝය. එදා හවස් වන විට මාව කොළඹ මහ රෝහලේ 24 වාට්ටුවට ඇතුලත් කළේය. මාත් අම්මාත් ඒ ස්ථානයට ගියේ හොද නින්දක් දමන්නටය. මොකද උදේ පාන්දර නැගිට ඉතා වෙහෙසකර ගමනකින් පසුව අප එම නවාතැනට පැමීණ සිටි බැවිණි.
   ඒ නම් මා කිසිසේත් බලාපොරොත්තු නොවූවකි. එය හිගන්නන්ගෙන් පිරි කාමරයකි. තැනක වේදනාවෙන් කෑ ගසන සීයා කෙනෙකි. තැනෙක හිගන්නෝ කීප දෙනෙක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටී. අපට සුවසේ නිදා ගැනීමට සුදුසු වටපිටාවක් තියා තැනක්වත් එහි නොවීය. අපට සිදු වූයේ මේසයක් යට දමා තුබූ පැදුරක නිදා ගැනීමටයී. කෙසේ වෙතත් මට හුරු පුරුදු බෙහෙත් සුවද එහිද පැතිර තිබුණී.
කෙසේ හෝ තෙහෙට්ටුව නිසාදෝ මොන බාධක තිබුනත් මට නම් අගේට නින්ද ගියේය. නමුත් රාත්‍රියේ මට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇතිවී ඇහැරුණේය. "අම්මේ අම්මේ මට කක්ක බරයි" අම්මා ඇහැරවා ගත් මා අම්මා සමග කොරිඩෝව දිගේ කෙලවරට ඇවිද ගියේය. එහි කෙලවර හුස්ම ගැනීමට අපහසු තරම් සුවදක් එන කාමරයකට මාව රැගෙන ආවාය. එය වලලුකර දක්වා වතුර පිරුණු කාමරයකි. එහි ඇතුලට ඇගිලි තුඩුවලින් ගිය විට වැසිකිලී පේලියක් දක්නට ලැබිණි. ඒ සෑම එකක්ම පාහේ උතුරමින් තිබුණා මට මතකය. අනෙක් පස කොමඩ් පේලියකි. ඉන් සමහරක් කෑඩී තිබුනේය. මටද කොමඩ් එකක් මුලින්ම දක්නට ලැබුණේ එහිදීය. වෙන කරන්නට දෙයක් නොතිබූ බැවින් මා එය මත නැග මලපහ කලේය. පසුව අම්මා කොහේදෝ සිට වතුර බාල්දියක් ගෙනැවිත් මාව සේදුවාය.
   එසේ අළුත් නවාතැන් පොලේ එක දවසක් ගතවිය. මට එය දුකක් යැයි කිසිවිටකත් නොසිතුනේය. නමුත් අද නැවත මතක් වන විට මට සිතෙන්නේ අම්මාත් තාත්තාත් කෙසේ මේවා විද දරා ගත්තාද යන්නය.  

No comments:

Post a Comment