Sunday, August 12, 2012

8 ලිපිය - පන්චේන්ද්‍රිය 2

අප ගියවර සොයාබැලුවේ ඇස ගැනයි. ඒ ආකාරයෙන්ම වාගේ ක්‍රියා කරන තවත් ඉන්ද්‍රියක් ඇත. එනම් කනයි. කන මගින් ද කරනු ලබන්නේ ශබ්දයේ ජායාව මගින් ශබ්දය හදුනා ගැනීමයි. මෙහිදීද ඇතිවන ශබ්දය කනේ ගැටීමක් සිදුනොවේ. එසේ වූවානම් අනිවාර්යයෙන්ම අපට ඇහෙන ශබ්දවලට කන් බෙරය පැලීයනු නිසැකය. ඇසට ආලෝක තරංග මගින් ජායාව රැගෙන එන ආකාරයෙන් ශබ්ද තරංග මගින් ශබ්දයේ ජායාව කනට ලැබෙනු ඇත. එවිට ඵස්සය ඇතිවනවා මිස ශබ්දය කනේ ස්පර්ශ වීමක් සිදු නොවේ. මෙහිදී ද පැහැදිලි වන්නේ අපට ඇසෙන ශබ්ද ඇත්තටම පවතින ශබ්දය නොවන බවයි. එකම ශබ්දය වුවද සියදෙනෙකුට ඇසෙනුයේ සිය ආකාරයකටයි.
ඇත්තටම යම් ශබ්දයක් ඇතිවු දිශාව ද දුර ද අපට නිර්ණය කලහැකි වන්නේ මෙම ඡායාව මගින් ශබ්ද හදුනාගැනීම නිසයි.
අනෙක් ඉන්ද්‍රියන් 3 ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරයකටය. නාසයත් දිවත් ක්‍රියාකරන්නේ එකම ආකාරයකටයි. එහිදි ඡායාව හදුනාගැනීමක් සිදු නොවේ. අරමුණ ඉන්ද්‍රියේ ගැටීමෙන්ම හදුනාගැනීම සිදු වේ. එම නිසා දුර ඇති දෙයක ගන්ධය හෝ රසය හෝ පහස හෝ අපට හදුනාගත නොහැක. නමුත් මෙහිදී ද අපට අරමුණුවල සැබෑ ස්වරූපය දැනගත නොහැක. මන්ද යත් ඉන්ද්‍රියේ ස්භාවය අනුව දැනීම් වෙනස් වීමයි. විශේෂයෙන්ම මේ සෑම ඉන්ද්‍රියකටම ප්‍රසාදයක්(ඔපයක්)  ඇත. එහි ඔපය මත දැනීමේ තීව්‍රතාව වෙනස්වේ. උදාහරණයකින් දක්වන්නේනම් බුලත් කන අයගේ ජිව්හා( දිවේ) ප්‍රසාදයේ ද, කසල ශෝධකයන්ගේ ඝාන (නාසයේ) ප්‍රසාදයේ ද තීව්‍රතාව අඩුවේ.
සම ක්‍රියා කරන්නේද අරමුණ ගැටීමෙන්මය. නමුත් එයට තුන් ආකාරයක රූප අරමුණු වේ. එනම් පඨවි තේජෝ හා වායෝය. යම් වස්තුවක් ගැටුන කල්හි මේ තුනම ගැටෙන නමුත් අරමුණු වන්නේ වැඩිපුර ඇති දෙයයි. උදාහරණයක් ලෙස ගිනිපුපුරක පඨවි තේජෝ වායෝ තුනම ඇතත් අරමුණු වන්නේ තේජෝ ධාතුවයි. මෙහි වෙනස් අරමුණු හදුනාගැනීමක් ද වේ. එනම් අප බලාපොරොත්තු වන අරමුණ හදුනා ගැනීමයි. උදාහරණයකින් දක්වතොත් අප උණ බැලීමට සමට අත තැබුවොත් අපට තේජෝ ධාතුවට අදාලව විඥාණය පහලවේ. නමුත් පහස බලාපොරොත්තුවෙන් අත තැබූ කල්හි පඨවි ධාතුව අරමුණු වේ.
 දැන් අපට පන්චේන්ද්‍රියන් ක්‍රියා කරන ආකාරය පිලිබද යම් වැටහීමක් ඇත. මේ අනුව පැහැදිලි වන වැදගත් කාරණයක් ඇත. එනම් පන්චේන්ද්‍රිය මගින් කරනු ලබන නිරීක්ෂණයන් නිවැරදි නොවන බවයි. එමගින් ගනු ලබන නිගමනයන් ද නිවැරදි නොවේ. අපට ලෝකය පෙනෙන දැනෙන ආකාරයට වඩා තවකෙකුට පෙනෙන ආකාරය වෙනස් ය. වෙනත් සතෙකුට පෙනෙන ලෝකය ඊට වඩා වෙනස්ය. එබැවින් යමක් දුටු පමණින් ද, ඇසූ පමණින් ද, දැනුනු පමණින් ද විශ්වාස නොකල යුතුය. (මීට කදිම නිදසුනක් පසුව දක්වමි)  මන්ද අපට පෙනෙන ඇසෙන දැනෙන දේට වඩා ඇත්ත තත්වය බොහෝ සෙයින් වෙනස් විය හැක.

No comments:

Post a Comment