Sunday, June 17, 2012

පෙර සූදානම

ටිකෙන් ටික සැත්කම කරන දිනට ලං වෙමින් පැවතිණ. ඒ සදහා ඇත්තේ තව දිනකි. එනම් අනිද්දා මා සැත්කමට භාඡනය කරනු ඇත. මාගේ ජීවිතයේ තීරණාත්මක දින දෙකෙන් පළමු දිනය එයයි. දෛවඥයන්ට අනුව එදායින් මාගේ ජීවිතය අවසන් වනු ඇත. මෙම සැත්කම ලංකාවේ කරනුයේ ද පළමු වරටයි. ඉන්දියාවේ සිට පැමිණි දොස්තර නරේන්ද්‍ර තේනබදු සහ දොස්තර පනෙල් රණතුංග ඇතුලු වෛද්‍ය කණ්ඩායම ඊට සුදානම් වන අතර මමද අම්මා විසින් සූදානම් කරනු ලෑබීය.

එදින රාත්‍රියේ ද සුපුරුදු පරිදි නව ග්‍රහ ශාන්තිය ද ශ්‍රී මහා බෝධි වන්දනාවද කරණිය මෙත්ත සූත්‍රයද ජයෝ මුනින්දස්ස ගාථාවද කියා නින්දට ගියේ හෙට දිනයේ ගමනක් යාමට තියන බව මව මතක් කර දීමෙන් පසුවය.
වෙනදාටත් කලින් මෙදින මාව කූද්දනු ලැබීමෙන් අනතුරුව මූන කට සෝදවා මාව සූදානම් කරවීය. ඒ සමගම සීනු හඩ නංවමින් උදේ ආහාර කරත්තය පැමිණියේය. සියලුම අය පිගන් කෝප්ප රැගෙන කොරිඩෝව දෙසට දිව ගියෝය. අම්මා ද කැබිනෙට්ටුවෙන් ප්ලාස්ටික් පිගානත් කෝප්පයත් රැගෙන ඔවුන්ට එකතු විය. ස්වල්ප වේලාවකින් බාගෙට තම්බන ලද බිත්තරයක් ද පාන් පෙති කීපයක් ද රැගෙන පැමිනි ඈ බිත්තරයේ කෙලවරක් සිදුරු කොට එය ටික ටික පොවමින් පාන් පෙත්තක් කැව්වාය. උදේ ආහාරයෙන් අනතුරුව මට සුදු සරමක් හා බැනියමක් ඇන්දවීය. සරම ඇදගෙන ටික දුරක් යාමට මත්තෙන් එය කකුලේ පැටලී බිම වැටුනු බැවින් නැවතත් එය අන්දවා කටු කීපයකින් එය රදවා තැබීමට මවටත් පියාටත් සිදුවිය. ඒ වන විට මා බැලීමට තාත්තා ද පැමිණ සිටියේය.

තිදෙනාම ඉන්පසු ස්පිරිතාලයේම කෙලවරක පිහිටි බුදු මැදුර වෙත ගියෝය. එහි පැය භාගයක් පමණ බුදුන් වැද නැවත වාට්ටුවට පැමින සුපුරුදු ඇදුමට මාරු විය. ඉන්පසු අම්මාත් තාත්තාත් සමග ස්පිරිතාලේ සිරි නැරඹීමට ගියේය. ඇතුලේ බේත් සුවදට වඩා නැවුම් මල් සුවද මිදුලේ තිබුණි. ගමනින් වැඩි කොටසක් මා උන්නේ තාත්තාගේ කරේය. පසුව රෝහල් අවන්හලට පැමින කිරි තේ බොමින් සතුටින් තාත්තාගේත් අම්මාගේත් කතන්දර අසමින් සිටියේය. ඒ දවස සම්පූර්ණයෙන්ම වාගේ මා සිටියේ ඔවුන් සමගය. එදින මාව සතුටින් තැබීමට උත්සහ කල බව එදා මට වැටහුනත් ඒ සිනා මුහුණු යට මහත් බියක් වේදනාවක් තූබූ බවනම් කිසිසේත්ම නොවැටහිණි.

No comments:

Post a Comment