Sunday, February 22, 2015

මගේ කතාව 2 - එක පිට එක

එකදාස් නවසිය අනූ පහේ අළුත් අවුරුදු කාලයේ දී ද සාමාන්‍ය පරිදි බක් මහ අකුණු පටන් ගත්තත් එවර වෙනදට වඩා දරුණුවට අකුණු වදින්නට පටන් ගත්තේ ය. අපේ ගෙදර ඉදිරිපස යකඩවරං (ඇලස්ටෝනීයා) ගස් තුනක් තිබුනු නිසා අහක යන අකුණුත් අපේ ගේ පැත්තට ඇදී ආවේ ය. ඒකෙන් සිද්ධ වුනේ විදුලි උපකරණ කීපයක්ම වාගේ ම ප්‍රධාන විදුලි පේනූවද අලුතින් ගැනීමට සිදු වීමයි. ඒ දවස්වල අපේ නංගී ගොරවනවට හරි බයයි. ඉතින් මමත් අයියා ත් ගොරවන වෙලාවට නංගී ව ගෝනි බිල්ලාගෙන් බේර ගන්නයැයි පවසමින් ඇඳට පැන නංගීව කොට්ට වලින් වසා ඈව බදා ගනිමු.

මේ අතර වැස්ස නිසා දෝ අපේ ගෙදරට විවිධ සත්තු ඇදෙන්නට විය. ඒ අතර ගොණුස්සන්, පත්තෑයන් මෙන්ම පොළොන් ගැරඩි හා නයි පැටව් ද විය. ඒ කාලයේ දී ම මාළු වැස්සක් ද වැටුනා මතකය. කෙසේ වෙතත් එයින් වඩාත් කරදරකාරයින් උනේ පත්තෑයන් ය. පවුලේ කීප දෙනෙකුම පත්තෑ ප්‍රහාරයට ලක් වූ අතර එයිනුත් නංගී ට තුන් හතර වතාවක්ම පත්තෑ ප්‍රහාර වලට ලක් වන්නට විය. ඒ නිසා සෑමදාම රාත්‍රියට ඇඳ වටා රතු ළුෑණු ගෙඩි කීපයක් තැබීමට ද සිදු විය.

මෙවැනි අසුභ නිමිති ලොකු ගැටළුවක පෙර නිමිති බවට අම්මාගේ විශ්වාස ය සපථ කරමින් නැවත වරක් තාත්තාට රැකියාව අහිමි විය. මොනවා දෝ බොරු චෝදනා පත්‍රයක් ලබා දී තාත්තා අනිවාර්‍ය්‍ය නිවාඩු යැවී ය. මේ නිසා නැවතත් පවුලේ බර කරට ගන්න සිදු වූයේ අම්මාට ය. නමුත් තාත්තා ද ඉඩමේ උඩ කැල්ලේ ගම්මිරිස් ද අන්නාසී ද ඇතුලු ව තවත් එළවලු වර්‍ග කීපයක් ද පහල කොටසේ කෙසෙල් ද වගා කලේ තාත්තා ට පරම්පරාවෙන් උරුම වූ හැකීයාව අනුවයි.

මේ කාලයෙ දීම කොරේ පිටට මරේ කියන්නැහේ නංගී ඇදෙන් වැටී අතක් කඩා ගත්තා ය. තාත්තාගේ රැකියාව අහිමි වීම එක් අතකින් වාසියක් ද වූයේ නංගීට සාත්තු කිරීමට අයා කෙනෙකුගේ අඩුපාඩුව එයින් පිරිමැහීමයි. නංගිගේ අතේ පත්තු බැදීමට වෙද ආච්චි කෙනෙක් සතියට සැරයක් වාගේ අපේ ගෙදර ආවා ය. උන්දෑ ද ජීවත් උනේ අපේ පාරේ ය. ඒ නිසා නිතරම වෙද ආච්චී අපේ ගේ අසලින් එහේ මෙහේ ගියා ය. ඒ යන විට මමත් අයියාත් නංගීට “අන්න වෙද ආච්චි එනවෝ“ කියා නංගීව බය කරන්නෝ ය. නංගී ද පාරට එබී බලා ආච්චි එන බව දැක හූ තියාගෙන ගෙට දුවන්නා ය.  ඒ වගේම තවත් දෙයක් මගේ මතකයේ ඇත. තාත්තා නංගීගේ දත් මැද්දවීමට පස්සෙන් දුවපු හැටි මට අද වගේ මතකය. ඈ මර ලතෝනී දී අඬද්දී තාත්තා නංගී ගේ දත් මද්දවයි.
මෙලෙස එම වර්ශය ගෙවී යද්දී මගේ අසනීප ය වෙනුවෙන් ද කොළඹ යෑමට සිදුවූ වාර ද අඩු නොවී ය. තාත්තාගේ චෝදනා පත්‍රය විමර්ශණ කටයුතු අතර තුරේ වෙනත් රස්සාවලට ද අයැදුම් කලේ ය. නමුත් තාත්තා ට මාස තුනක් පමණ විරැකියාවෙන් කල් ගෙවන්නට සිදු විය.


 

4 comments:

  1. කරදර ගොඩක් නෙව....

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නේ ඒකට නෙව

      Delete
  2. අහම්බෙන් ගොඩවැදුනට ලියන විදිහ ගොඩක් හිතට ඇල්ලුවා.
    ඊළඟ කොටස එනතුරු බල ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා !

      සෑහෙන කාලයක් බලං ඉන්න වෙයි.

      Delete