Friday, March 21, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 24

එතනින් එළියට ආවට පස්සේ මගේ ඔලුව නිකන් යකාගේ කම්මල වගේ වැඩ කරන්න පටන් ගත්තා. ඔලුව නිකන් පැලෙන්න වගේ. එක පැත්තකින් ගණිකාවක් ඇසුරු කිරීම ගැන මගේ හිත මටම දෙස් තියනවා. අනෙක් පැත්තෙන් මගේ සත්ගුණවත් මුදලාලියා මහ ජඩ නරුමයෙක්. ඒ විතරක් නෙවේ ලෝකෙට සුදනා කියල පෙන්නන ඉනෝකාගේ තාත්තා රැ ඩැනියෙල් දවල් මිගෙල් වගේ දෙබිඩි චරිතයක්.
මං දැන් මොනා කරන්නද කියලා හිත හිත තමයි මං ගෙදර ආවේ. ගෙදර එනකොටම මුදලාලියා ඉන්නවා ඉහඅත බදාගෙන හාන්සි පුටුවකට බරවෙලා අහස පොළව ගැටලන්න වගේ උඩ බලාගෙන. මට දැන් ඒ මිනිහා දිහා කෙලින් බලන්නත් මොකක් ද වගේ. ඒත් අමාරුවෙන් බොරු හිනාවක් මවාගෙන ගෙට ගොඩවුනා.
එතකම්ම මිනිහා මාව දැක්කෙ නෑ. මං ස්තෝප්පුවට ගොඩඋන ගමන් මිනිහා මාව දැකලා මට කතා කලා. "ආ අරවින්ද මොකද මේච්චර රෑ වෙලා. සෑහෙන්න මහන්සි පාටයි. මොකද වැඩ හොදට යනවනේ". මට අහපු ප්‍රශ්නේ එකපාරට ඔලුවට ආවේත් නෑ. මං "ආ.. ම්මෙ.. ඔව් ඔව් ඒවා ඔක්කොම හරි" කියලා මං ගෙට ඇතුල්වෙන්න හැදුවම මිනිහා කිව්වා " මට පුතත් එක්ක වැදගත් කාරණාවක් තියෙනවා කතා කරන්න, ඒත් දැන් රෑ වෙලා වැඩී. ඒක පස්සෙ වෙලාවක  නිදහසේ කතාකරන්න ඕන කාරණාවක්". මුදලාලී මට පුතා කියලා කතා කරන්නේ බොහෝම කලාතුරකින්. ගොඩක් වෙලාවට අයිසේ, තමුසේ, කොල්ලෝ වගේ නම් වලින් තමා කතා කලේ.ඉතින් ඒක නම් සෑහෙන්න වැදගත් දෙයක් වෙන්නැති කියලා මට හිතුනා. ඒත් ඒ වෙලාවේ මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා. මාත්" හොඳයි මුදලාලී " කියලා කාමරේට වැදිලා ඇද උඩ පෙරලුනා. ටිකක් එහෙම ඉදලා වොශ් එකක් දාගෙන සරමට බැහැලා හාන්සියක් දාගෙන උන්නා. මොන, හාන්සියක් දැම්මට කිසි වැඩක් උනේ නෑ. අනුලාගේ කතාවයි, මං අහුවෙලා ඉන්න මේ දුශ්ඨ ලොකේ ගැනයි නොයෙක් දේවල් සොරොව්ව ඇරපු වැවක වතුර වගේ හෝ ගාලා ඔලුවට ගලාගෙන එනවා.

අන්තිමට මං තීරණය කලා සමාජය මොන වගේ උනත් ඒක මගේ වැඩ වලට බාධාවක් නෙවෙයි. මං මුදලාලී ගාව වැඩ කලාට එයාගේ ජරා වැඩ වලට අනුබල දෙන්නෙත් නෑ. ඉනෝකාගෙ තාත්තා මොන විදියෙ මිනිහෙක් උනත් ඉනෝකා හොදට හැදිච්චි ලමයෙක්. ඉතින් මං මොකට ද ඕන්නැති දේවල් ඔලුවට දාගන්නේ කියලා.

ඉතින් ඔයවගේ දේවල් කල්පනා කර කර ඉන්නකොට කවුද කාමරේ දොරට තට්ටු කරන හඩක් ඇහුනා. ඒක  හරිම හෙමින් ඇහුනේ. කවුද මේ වෙලාවේ හෙමීට දොරට තට්ටු කරන්නේ. මුදලාලීගේ හිතේ තියෙන කාරණාව ඉවසන් ඉන්න බැරුව ද දන්නෙත් නෑ. ඒක එහෙමනං ඒ කාරණාව බොහොම රහසිගත එකක් වෙන්න ඕන. නැත්නම් මගේ කාමරේට එන්නවත් හෙමීට දොරට තට්ටු කරන්නවත් හේතුවක් නෑ නෙව කියලා මට හිතුණා. මං "කවුද දොර ඇරල තියෙන්නේ " කියලා කිව්වා.
"මං මේ අනූෂා" කියලා හේමීට කියාගෙන අනූෂා දොර හෙමීට ඇරගෙන ඇතුලට ඇවිත් ටක්ගාලා දොර වැහුවා. 

  Next chapter - http://asanka-mind.blogspot.com/2014/04/25.html

No comments:

Post a Comment