Tuesday, March 4, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 9

ගියවර ලිපියේ අවසානයේ මං සදහන් කලා මේ ලෝකයේ අපේ පංචෙන්ද්‍රියට හසුවන සියල්ල අවිද්‍යාව නිසා හටගත් දේවල් ය කියලා. එතකොට අවිද්‍යාව නැතිනම් මේ ලෝකේ කිසිවක් නැද්ද කියන ගැටළුවට විසදුමත් මේ ලිපියෙන් සදහන් කරන්නම් කියලාත් කිව්වා. ලෝකයේ සංයුතිය ගැන 2 ලිපියේ අපි සාකාච්ඡා කරපු නිසා එය කියවපු අයටනම් මේ ගැටළුව එන එකකුත් නෑ. නමුත් එය අපහැදිලි අයත් ඉන්න පුළුවන් නිසා මෙතැන දී ද ඒ පිළිබද යම් විස්තරයක් මං කරන්නම්.

මේ ලෝකයේ සියළු භෞතික දේවල් හැදිල තියනව කියන්නේ ශුද්ධාශ්ඨක වලින්ලූ. මේ ශුද්ධාශ්ඨක අපේ පසිදුරුන්ට ගෝචර දෙයක් නොවෙයි. ඊට අයත් වන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා යන අටයි. බැලූ බැල්මට අපට හිතෙනවා මේවා අපිට පේන, දැනෙන දේවල් කියලා. එහෙම හිතෙන්නේ ගොඩක් අය වර්ණ කිව්වම හිතන්නේ මේ අපිට පෙනෙන රතු, කලු, සුදු ආදී වර්ණ ගැන කියනවා කියලයි. නමුත් වර්ණ කියන්නේ මේ අපිට පෙනෙන පාටම නෙවේ. ඒ ඒ වස්තුවේ අපිට පාට පෙනීමට උපකාර වන හේතුව හෙවත් ප්‍රත්‍ය තමයි වර්ණ කියලා හදුන්වන්නේ.

ඒක උදාහරණයකින් දක්වනව නම්, අපි දන්නවා ලේ රතු පාටයි. මේ ලේ රතුපාට වන්නේ හිමොග්ලොබින් නිසා. හිමොග්ලොබින් කරන්නේ සුදු ආලෝකය උරාගෙන රතු වර්ණය පරාවර්තනය කරන එක. අන්න ඒ කාර්යය කරන හිමොග්ලොබින් වල තියෙන ගුණය තමයි එහි වර්ණය වන්නේ. නැතුව රතුපාට නොවේ. දැන් අපිට ලේ රතු පාටට පෙනුනට වෙනත් සත්වයකුට ඒක වෙනත් පාටකට හෝ පාටක් නැති දෙයක් ලෙස හෝ පෙනෙන්න පුලුවන්. එතකොට පැහැදිලි වෙනවා මේ රතු පාට කියන දේ ඇති දෙයක් නෙවේ, ඒක මිනිස් මනසින් නිර්මාණය කරන දෙයක් විතරයි කියලා. මේ වගේ ඉහත සදහන් කොටස් අටම අපිට ගෝචර වන දෙයක් නොවෙයි. අපිට පෙනෙන ඇහෙන දැනෙන සියලු දේ නොදන්නා කම නිසා මනසින් කරන හදුනාගැනීම් පමණක් බව තේරුම් ගත යුතුයි.

තව එක උදාහරණයක් විතරක් දක්වලා මං මේ ලිපිය අවසන් කරන්නම්. දැන් පිරිමි කෙනෙකුගෙයි ගැහැණු කෙනෙකුගෙයි මුහුණු ගත්තම මේ දෙන්නටම පෙනෙන්න තියෙන්නේ එකම ඉන්ද්‍රියයන්. ඒවා හැදිල තියෙන්නෙත් එකම ද්‍රව්‍ය වලින් ( හම, කෙස්, ලොම් ආදී) තවත් හොදට බැලුවොත් එකම ශුද්ධාශ්ඨක වලින්. නමුත් ඇස් පෙනෙන ඕන කෙනෙක්ට දැක්ක ගමන් කියන්න පුලුවන් මේ පිරිමි මූණක්, මේ ගෑණු මූණක් කියලා. එතකොට පැහැදිලි වෙනවා මේ වෙන් කිරීම කලේ ලෝකය නෙවෙයි අපේ මනසයි (විඥ්‍යානයයි) කියලා. මනස ඒ දේ කලේ අතීත සංස්කාර නිසා. එතකොට මේ ලෝකය නිර්මාණය කරගෙන තියෙන්නේ අපේම මනසින් මිසක් ඇත්තටම ලෝකේ තියෙන්නේ ශුද්ධාශ්ඨක ගොඩක් නේද?

මේ විග්‍රහය කලේ මගේ දැනුමෙන් බැවින් 100% ක් නිවැරදි නොවිය හැක. ගැටළුවක් ඇත්නම් ඉදිරිපත් කරන්න. අපි සාකච්ඡා කරමු.

ඔබට නිවන් සුව ලැබේවා. !

No comments:

Post a Comment