Saturday, April 5, 2014

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 25

අනූෂාගේ මූණ හරියට නිකන් යකෙක් දැකලා බය වෙච්ච එකක් වගේ ඒ වෙලාවේ තිබුනේ. හාන්සි වෙලා උන්නු මම එයා දැකක් ගමන් ඉද්ද ගැහුව වගේ කෙලින් උනා. කෙලින් වෙලා ඇද මිට්ටමට හේත්තු වෙලා අනූෂාගෙන් ඇහුවා "මොක ද අනුෂා මේ රෑ, මොකක්ද ප්‍රශ්නේ ?" කියලා. එතකොට එයා කිව්වා "අනේ අරවින්ද ඔයාට ඉනෝකා ඕනනම් මෙහෙන් යන්න. මට හරි බයයි අරවින්ද " කියලා. මං බැලුවා මොකක්ද මේ එකපාරටම කඩන් වැටිච්ච හෙනේ, මට නම් මෙලෝ දෙයක් තේරුණේ නෑ. ඉතින් මං අනූෂාට කිව්වා "හරි හරි දැන් මොකක් ද වෙලා තියෙන්නේ ඇයි මං මෙහෙන් යන්නේ කලබල නැතුව මෙහෙන් ඉදගෙන හරියටම මොකක්ද උනේ කියන්න" කියලා.

අනූෂා දොර ලග තිබුනු පුටුව දිහා බලලා ඒක උඩ ඉන්දඋනා. ඊ ළගට ටිකක් වෙලා බලන් ඉදලා "අද අපි දෙන්නව ඩැඩීගේ අතටම අහුවුනා. මායි ඉවෝනුයි ක්ලබ් එකේ ඉන්නකොට ඩැඩී එකපාරටම ක්ලබ් එකට ආවා. මායි ඉවෝනුයි සැටි එකක් උඩ හිටියේ. ඩැඩී ළගට එනකම්ම දැක්කෙ නෑ. එක පාරටම "අනූෂා.." කියලා මගේ අතින් ඇදලා අරන් කම්බුලට පාරක් ගහලා "පලයං ගිහින් කාරෙකට නැගපන්.." කියලා මාව තල්ලු කලා. ඊ ළගට ඉවොන් දිහා බලලා "උඹ ගැන මං පස්සේ බලා ගන්නම් සිරිල්ගේ කටු කන බල්ලා.." කියලා මාවත් ඇදගෙන ඇවිත් කාරෙකට නග්ගගෙන ගෙදර ආවා. ගෙදර ඇවිත් මට හොදටම දෙහි කපලා අන්තිමට කිව්වා "තෝ ආයේ ඉගෙන ගන්න ඕන නෑ. ඔය ඉගෙන ගත්ත හරිය ඇති. දැන් ඉතින් කසාදයක් කරල දෙන එකයි තියෙන්නේ. උඔ ලැස්ති වෙයන් අරවින්ද ව බදින්න" කියලා. ඔයා දන්නේ නෑඅපේ ඩැඩිගේ හැටි, එයා දෙයක් කිව්වොත් කිව්වා. අනේ අරවින්ද ඔයා මෙහෙන් ගිහින් වෙන කොහේ හරි ඉන්න. නැත්නම් ඩැඩී ඔයාව මට බන්දන එක නම් ෂුවර්" කියලා කිව්වා.

අලි මදිවට හරක් කියන්නැහේ මේ මොකක් ද බොල මේ වෙන්නේ කියලා මාව තුෂ්නි:භූත වෙලා ගියා. එයා කියපු දේවල් හරියට මොලේට තේරුම් යනකන් ටිකක් ඉදලා මං කිව්වා "එහෙම කොහොමද අනූෂා මිනිස්සුන්ව බලෙන් බන්දන්නේ, ඔයා බය නැතුව ඉන්න. අනික ඔය තාත්තා තරහට කියපු දෙයක් මිසක් හිතලා කියපු දෙයක් නෙවේ. ඔයාගේ තාත්තට පිස්සුයෑ මං වගේ හිඟන්නෙකුට තමන්ගේ එකම දුව බන්දල දෙන්න. පිස්සු නැතිව ගිහින් බුදිය ගන්න අනූෂා" කියලා.ඒ පාර අනූෂා කියනවා "විහිළු නෙවේ අරවින්ද ඩැඩී ඒක කියපු විදියට නම් එයා මාව ඔයාට බන්දලා දේවීමයි. මං කියන දේ අහලා ඉනෝකාගේ තාත්තට කියලා හරි කමක් නෑ, වෙන රස්සාවක් හොයාගෙන මෙහෙන් යන්න ප්ලීස්.." කියලා. මං ඉතින් එයාගේ හිත හදන්නත් එක්ක "හරි හරි ළමයෝ මං ඒක බලා ගන්නම්, ඔයා දැන් ගිහින් බුදිය ගන්න, දැන් මුදලාලී මේ පැත්තට ආවොත් විසුමක් වෙන්නේ නෑ, මාත් කපෝතියි" කියලා කිව්වා. ඊට පස්සේ අනූෂා " මං ඔයාගේ හොදටයි කිව්වේ, මං කොහොමත් ඉවොන්ට ආදරේ කලේ නෑ, ඒත් ඔයයි ඉනෝකායි අතර තියෙන්නේ ඇත්තම ඇත්ත ආදරයක්, එහෙම නේද අරවින්ද?, ඒක නිසා ඔයාට ඉනෝකාව ඕන්නම් මෙහෙන් යන්න.." කියලා ඉක්මනට දොර ඇරගෙන එළියට ගියා. 

එයා ගියාට පස්සේ මට අමුතු බයක් දැනෙන්න පටන් ගත්තා. මාව නිකන් කුම්නත්‍රණ කාරයෝ ගොඩකට අහුවෙලා වගේ දැනෙන්න පටන් ගත්තා. කවුරු හරි ද කවුරු වැරදි ද, මං කා ගැන ද විශ්වාස තබන්නේ කියලා හිතාගන්න බැරුවයි මන් උන්නේ. ඇත්තටම අනූෂා කියපු දේ ගනන් ගත යුතු දෙයක් ද?, තාත්තලා තරහ ගියාම ඔයවගේ දේවල් කියන එක සාමාන්‍ය දෙයක්නේ. ඒක හරියට තෝ මං කියන විදියට හිටියේ නැත්නම් නරියෙකුට බන්දලා දෙනවා කිව්ව වගේ කතාවක්නේ කියලා මට හිතුනා. ඒත් එක්කම මුදලාලී කියපු දෙයකින් ආයෙත් හිත ගැස්සෙන්න පටන් ගත්තා. මොකද මිනිහා කිව්වනේ  මට පුතත් එක්ක වැදගත් කාරණාවක් තියෙනවා කතා කරන්න කියලා.ඒ මේ කාරණාව ගැනද? නැත්නම් වැඩපලේ දෙයක් ගැනද? 

Next chapter - http://asanka-mind.blogspot.com/2014/05/26.html

No comments:

Post a Comment