Sunday, February 2, 2014

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 7

භව පච්චවයා ජාතී කිව්වත්, විඥාන පච්චයා නාමරූප කිව්වත් සිද්ධ වන්නේ පංචස්කන්ධයාගේ පහල වීමමයි. මොකද නාමරූප කියනකොට එතැන මනසිකාර, ඵස්ස, වේදනා, සංඥා, චේතනා (සංස්කාර) කියන නාම ධර්මතා ටිකත් අපට අරමුණු වන රස, පහස, වර්ණ, ශබ්ද, ගන්ධ යන රූප ධර්මතා ටිකත් ඇතුලත් වී ඇත. ජාති හෙවත් පංචස්කන්ධයේ පහල වීම දී වන්නෙත් මේවායේ පහල වීමමයි.

දැන් පටිච්ච සමුප්පාදයේ අපට සාකච්චා කරන්න තියෙන්නේ නාමරූප පච්චයා සලායතනත්, සලායතන පච්චයා ඵස්ස කියන කොටස් දෙකත් පමණයි. ඒ දෙකනම් තේරුම් ගැනීම එතරම් අපහසු නෑ. මොකද අපි කලිනුත් සදහන් කලා අපට බාහිරින් කනක් තියෙනව වගේ පෙනුනත් ඇත්තටම කනක් පහල වෙන්නේ ශබ්දයක් ඇසෙන කොට පමණක් බව. ඇසක් තිබුනත් රූප නොපෙනේ නම් එය ඇසක් නොව මස් ගොබයක් පමණි. ඒ නිසා නාමරූප නැත්නම් එකම ආයතනයක් වත් විද්‍යාමාන වෙන්නෙ නෑ. අනෙක් අතට නාමරූප පහලවෙන්න ආයතනයක් ද තිබිය යුතුයි.ආයතනයක් නැතුව ස්පර්ශයක් නෑ, වේදනාවක්, සංඥාවක්, චේතනාවක් පහල වෙන්නෙත් නෑ. ඒ කියන්නේ නාමරූප පහල වෙන්න ආයතනයක් තිබිය යුතුමයි.

දැන් නාමරූප ආයතනයන්ට හේතු වන හැටිත් ආයතනයන් නාමරූපයන්ට හේතුවන හැටිත් පැහැදිලි ඇතැයි සිතමි. ඒ අනුවත් පටිච්ච සමුප්පාදයේ අංග සියල්ලම එකවිට පහලවී එකවිට නිරුද්ධ වන බව පැහැදිලි වෙනවා. ඒවා එකක් පසුපස දැක්වුවත්, චක්‍රාකාරව දැක්වුවත් සියල්ල එකටම පහල වී එකටම නිරුද්ධ වන ධර්මතාවයන්ය.
අවසාන වශයෙන් සාරාංශයක් ලෙස ගතහොත් එක් එක් ක්ෂණයක් පාසා එකිනෙකට උපකාර වන්නාවූ ධර්මතා නිසා යම් ප්‍රතිඵලයන් හටගන්නා බවත් ඒ හේතූන් ඒ ඒ මොහොතේම නිරුද්ධ වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නැවතත් ඊළඟ ක්ෂණයේ දීත් ඒ දේම නැවත සිදුවන බවත් පටිච්ච සමුප්පාදයේ ස්භාවය යැයි කිව හැක.  

දැන් මට තේරෙන හැටියට පටිච්ච සමුප්පාදය විවරණය කරල ඉවරයි. දැන් තියෙන්නේ නොපැහැදිලි සහ ගැටළු සහිත තැන් නිරාකරණය කර ගැනීමයි. මින් ඉදිරියට පොදුවේ කාටත් ඇතිවියහැකියයි මා අනුමාන කරන ගැටළු වලට පිළිතුරු සැපයීමට බලාපොරොත්තු වන අතර ඔබට යම් ගැටළුවක් ඇත්නම් එයද සදහන් කරන ලෙස ඉල්ලා සිටිමි.

ඔබට නිවන් සුව ලැබේවා !

No comments:

Post a Comment